Imagination World/stock.adobe.com
දේවවචනයෙන් සහනයක් - සරණාගතයන්ට බලාපොරොත්තුවක්!
හැම අවුරුද්දකම මිලියන ගාණකට එයාලාගේ ගෙවල් දොරවල් අතහැරලා යන්න වෙනවා. ඔයාත් ඒ වගේ දේකට මූණ දෙන කෙනෙක්ද? එහෙමනම් ඔයා තනි වෙලා නැහැ කියන දේ මතක තියාගන්න. මොකද සතුටින් පිරුණ අනාගතයක් ගැන ලස්සන බලාපොරොත්තුවක් දෙවියන් දීලා තියෙනවා. ඒ ගැන ඔයාට බයිබලයෙන් දැනගන්න පුළුවන්.
“සරණාගතයන්ටයි, අවතැන් වුණ අයටයිa සහනාධාර දීලා විතරක් මදි. අනාගතේ ගැන හොඳ බලාපොරොත්තුවක් දෙන්නත් ඕනේ.” එහෙම කිව්වේ යුරෝපීය සංගමයේ කොමසාරිස් වන ක්රිස්ටොස් ස්ටිලිඇනිඩස්.b ඇත්තටම, බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට අනාගතේ දිහා හොඳ විදිහට බලන්න පුළුවන්. ඒත් බලාපොරොත්තුවක් දීලා විතරකුත් මදි. එයාලාගේ තැලිච්ච හිත් සනසන්නත් ඕනේ.
“පවුලේ අයවත් දාලා රටෙන් පලා යන්න වුණාම මට ලොකු හිස්කමක් දැනුණා. අන්තිමේදී මට ඉතුරු වුණේ කඳුළයි, කනස්සල්ලයි විතරයි.”—ඉමෑනුවෙල්, හයිටි.
ඔයාටත් දැනෙන්නේ ඉමෑනුවෙල්ට වගේමද? ඔයාත් ගේදොර අතහැරලා ආපු කෙනෙක් නම් ඔයාටත් සහනයක්, බලාපොරොත්තුවක් ඕනේ. දෙවියන් අපිට බයිබලේ මාර්ගයෙන් ඒක දෙන්නේ කොහොමද?
බයිබලෙන් සහනයක්
බයිබලේ මෙහෙම කියනවා. ‘යෙහෝවාc විදේශිකයන්ටත් ආදරේ පෙන්නනවා.’—ද්විතීය කතාව 10:17, 18.
ඒ කියන්නේ ඔයා තනි වෙලා නැහැ. ඔයා දැන් මූණ දෙන තත්වය බයිබලේ කර්තෘ වන යෙහෝවාට තේරෙනවා. ඔහු ඔයාට ආදරෙයි. ඔයාට දැනෙන විදිහ ගැන ඔහු ගොඩක් හිතනවා.
බයිබලේ මෙහෙම කියනවා. ‘යෙහෝවා ඔහුට හඬගසන හැමෝටම සමීපව ඉන්නවා.’—ගීතාවලිය 145:18.
ඒ කියන්නේ යෙහෝවා දෙවියන් ඔයාගේ යාච්ඤා අහනවා. ඔයාව සන්සුන් කරන්න ඔහුට පුළුවන්. ඔහු දීලා තියෙන මඟ පෙන්වීම් අදාළ කරගද්දී ඔයා ඉන්න තත්වය දරාගන්නත් ඔයාට ලේසි වෙයි.
බයිබලේ මෙහෙම කියනවා. ‘සැබෑ දෙවියන් කවදාවත් දුෂ්ට විදිහට වැඩ කරයි කියලා හිතන්න පුළුවන්ද? ඒ වගේ සිතුවිල්ලක්වත් ඔහුගේ හිතට එන්නේ නැහැ. සියලු බලැති දෙවියන් කවදාවත් අසාධාරණ විදිහට වැඩ කරන්නේ නැහැ කියලා ස්ථිරයි.’—යෝබ් 34:10, 12.
ඒ කියන්නේ ඔයා දුක් විඳින්නේ දෙවියන් කරපු දෙයක් නිසා නෙමෙයි. ඔහු කවදාවත් ඔයාට නරකක් කරලා ඔයාව පරීක්ෂා කරන්නේ නැහැ. ඔයාට වුණ දේ දෙවියන්ගේ දඬුවමකුත් නෙමෙයි.
බයිබලෙන් බලාපොරොත්තුවක්
දෙවියන් අපි වෙනුවෙන් කරන්න යන දේවල් ගැන බයිබලේ තියෙනවා. ගේදොර දාලා එන්න වුණ අයට ඒ බලාපොරොත්තුව උදව් වෙන විදිහ බලන්න.
බයිබලේ මෙහෙම කියනවා. “දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා. මරණය නැත්තටම නැති වෙනවා. ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ.”—එළිදරව් 21:4.
ඒ කියන්නේ අපිට හැමදාටම දුක් විඳින්න වෙන්නේ නැහැ. අද අපේ සතුට නැති කරන, බලාපොරොත්තු සුන් කරන හැම ප්‍රශ්නයක්ම විසඳනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.
“මිනිස්සු මූණ දෙන හැම අසාධාරණයක්ම, හැම නරක දෙයක්ම දෙවියන් ළඟදීම නැති කරනවා. ඒ බලාපොරොත්තුව මට ගොඩක් උදව් වෙලා තියෙනවා දැන් වෙන දේවල් ගැනම හිතහිත ඉන්නේ නැතුව ඉස්සරහට එන ඒ හොඳ කාලේ ගැන හිතන්න.”—කාර්ලා, එල් සැල්වදෝරය.
බයිබලේ මෙහෙම කියනවා. “කලින් සිද්ධ වුණ දේවල් ආයේ මතකයට එන්නේ නැහැ. ඒවා ආයේ හිතට බරක් වෙන්නේ නැහැ.”—යෙසායා 65:17.
ඒ කියන්නේ අමිහිරි මතකයන් නිසා අපි හැමදාටම දුක් විඳින්නේ නැහැ. අපි මූණ දුන්න නරක අද්දැකීම් අපේ මතකයෙන් සදහටම අයින් කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.
“අපිට මොන දේ අහිමි වුණත් ඒ නිසා දැනෙන දුක හැමදාටම තියෙන්නේ නෑ කියලා බයිබලේ කියනවා. මොකද ඉස්සරහට දෙවියන් ඒවා අපේ මතකයෙන් අයින් කරනවා. කොච්චර කටුක දේවලට මූණ දුන්නත් මං සතුටින් ඉන්නේ ඒකයි.”—නතාලියා, යුක්රේනය.
බයිබලේ මෙහෙම කියනවා. ‘ස්වර්ගයේ දෙවියන් කවදාවත් විනාශ වෙන්නේ නැති රාජ්‍යයක් පිහිටුවනවා. ඒ රාජ්‍යය මේ හැම රාජ්‍යයක්ම පොඩි කරලා නැති කරලාම දානවා.’—දානියෙල් 2:44.
ඒ කියන්නේ අපේ ප්‍රශ්නවලට නියම විසඳුම් දෙන ආණ්ඩුවක් මුළු පොළොවම පාලනය කරනවා. ළඟදීම දෙවියන් හැම ආණ්ඩුවක්ම අයින් කරලා ස්වර්ගයේ තියෙන ඔහුගේ ආණ්ඩුවෙන් මේ පොළොව පාලනය කරනවා. එදාට හැමෝම නියම සාමය, සුරක්ෂිතභාවය අද්දකිනවා. හැමෝටම යුක්තිය ඉටු වෙනවා. කාටවත් කිසිම දේකින් අඩුවක් වෙන්නෙත් නැහැ.—මීකා 4:3, 4.
“යෙහෝවාගේ පාලනය ආවාම අසරණයන්ට පීඩා කරන එක, තරාතිරම් බලන එක, අනිත් අය දිහා සැකෙන් බලන එක, ජාතිවාදය වගේ දේවල් නැති වෙනවා. ඒ ගැන හිතන එක මට ලොකු ශක්තියක්.”—මුස්තෆා, මැද පෙරදිග.
බයිබලේ තියෙන බලාපොරොත්තුව ඔයාට සහනයක් වෙයි
බයිබලෙන් මඟ පෙන්වීම්
ඔයා මූණ දුන්න කටුක අද්දැකීමෙන් ටිකටික ගොඩ එන්න ඔයා දරන උත්සාහයට බයිබලේ තියෙන මඟ පෙන්වීමුත් ලොකු උදව්වක් වෙයි. ඔයාගේ තත්වය දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා ඇති. සමහරවිට ඔයාගේ මුළු සේසතම නැති වෙන්න ඇති. ඒත් ඒවාටත් මූණ දෙන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවා. බයිබලේ තියෙන මේ උපදෙස් සරණාගතයන්ට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා බලන්න.
බයිබලේ මෙහෙම කියනවා. “කෙනෙක්ට කොච්චර දේවල් තිබුණත් එයා ජීවත් වෙන්නේ ඒ දේවල් නිසා නෙමෙයි.”—ලූක් 12:15.
ඒ උපදෙස ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? සිද්ධ වුණ දේ නිසා ඔයාට ලොකු කම්පනයක් දැනෙනවා ඇති. ජීවිත කාලෙම හරිහම්බ කරපු දේවල් නැති වුණ එක ගැන හිතට ලොකු දුකකුත් ඇති. ඒත් මතක තියාගන්න ඒ මොන දේටත් වඩා ඔයාගේ ජීවිතේ වටිනවා. ඒ ගැන හිතන එක ඔයාට උදව් වෙයි නැති වුණ දේවල් ගැන ඕනාවට වඩා වධ වෙන්නේ නැතුව ඉන්න.
“සල්ලි, බඩු මුට්ටුවලට වඩා ජීවිතේ වටිනවා. ඒ දේවල් කොච්චර තිබ්බත් සමහර ප්‍රශ්නවලට මූණ දෙද්දී ඒවායින් ඇති වැඩක් නෑ.”—නතාලියා, යුක්රේනය.
බයිබලේ මෙහෙම කියනවා. “‘ඉස්සර කාලේ මීට වඩා කොච්චර හොඳද’ කියලා කියන්න එපා.”—දේශනාකාරයා 7:10.
ඒ උපදෙස ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඔයා මේ වෙලාවේ ඉන්නේ ප්‍රශ්න කන්දරාවක වෙන්න ඇති. හැබැයි දැන් ජීවිතේ කලින් ජීවිතෙත් එක්ක සසඳන්න යන්න එපා. කලකිරෙන්නේ නැතුව ඉන්න ඒක ඔයාට උදව් වෙයි.
“වුණ දේ වුණා. දැන් තියෙන්නේ ජීවිතේට මූණ දෙන්න. එහෙම හිතන එක මට උදව් වෙනවා හැම දෙයක්ම හොඳ අතට හැරෙයි කියන බලාපොරොත්තුව තියාගන්න.”—ඊලයි, රුවන්ඩා.
බයිබලේ මෙහෙම කියනවා. “ඒ නිසා අපිට කෑම බීම, ඇඳුම් පැලඳුම් තියෙනවා නම් අපි ඒ දේවල්වලින් සෑහීමට පත් වෙමු.”—1 තිමෝති 6:8.
ඒ උපදෙස ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? කොහොමහරි අත්‍යවශ්‍යම දේවල්වලින් සෑහීමට පත් වෙන්න උත්සාහ කරන්න. ඒක ඔයාට උදව් වෙයි නැති දේවල් ගැන වධ වෙන්නේ නැතුව ඉන්න. එහෙම කරන එක ඔයාගේ මනසටත් හොඳයි.
“බයිබලේ තියෙන මඟ පෙන්වීම් මටයි, මගේ නෝනාටයි උදව් වුණා දේවල් දිහා වෙනස් විදිහට බලන්න. අපි දැන් නැති වෙච්ච දේවල් ගැන හිතහිත ඉන්නේ නෑ. අපේ ජීවිත බේරුණානේ. අනික අපිට දැන් කරදරයක් නැතුව ඉන්න තැනකුත් තියෙනවා. ඒ හොඳටම ඇති.”—අයිවන්, යුක්රේනය.
බයිබලේ මෙහෙම කියනවා. “අනිත් අය ඔයා වෙනුවෙන් කරනවාට කැමති හැම දේම ඔයාත් ඒ අයට කරන්න.”—මතෙව් 7:12.
ඒ උපදෙස ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඉවසන එක, අනිත් අයට කරුණාවන්තව සලකන එක උදව් වෙනවා එයාලා එක්ක පෑහිලා ඉන්න. එහෙම කරද්දී අනිත් අය ඔයාව පහත් කරන එකකුත් නෑ. එයාලාගේ හිත් දිනාගන්නත් ඒක ඔයාට උදව් වෙයි.
“මිනිස්සු සාමාන්‍යයෙන් ආසයි අනිත් අය එයාලට ආදරෙන්, ගෞරවෙන් සලකනවාට. අපි එහෙම සලකද්දී අපි දැන් ඉන්න රටේ, පළාතේ මිනිස්සු එක්ක ඉක්මනින් සුහද වෙන්න පුළුවන්.”—ඇන්ජලෝ, ශ්‍රී ලංකාව.
බයිබලේ මෙහෙම කියනවා. ‘නිතරම දෙවියන්ට කන්නලව් කරන්න. එහෙම කරනවා නම් දෙවියන් ඔයාලට සමාදානය දෙයි. ඒ සමාදානය ඔයාලාගේ හදවතයි, සිතුවිලියි ආරක්ෂා කරයි.’—ෆිලිප්පි 4:6, 7.
ඒ උපදෙස ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? ඔයාට හැඟෙන විදිහ, ඔයාට ඕනෙ දේවල්, ඔයාට දැනෙන බය, ඔයා වධ වෙන දේවල් ගැන දෙවියන්ට කියන්න. එතකොට ඔයාගේ හිතට දැනෙන බර අඩු කරගෙන හිත සන්සුන් කරගන්න පුළුවන්.
“ප්‍රශ්නයක් ආපු ගමන්ම මං ඒ ගැන දෙවියන්ට කියනවා. ඔහුත් වරද්දන්නේ නැතුව මට උත්තර දෙනවා. බයිබලේ කියවද්දී මගේ හිතට පුදුම සහනයක් දැනෙන්නේ.”—යොල්, දකුණු සුඩානය.
“මේ වගේ තත්වෙකට මූණ දෙන්න මනස නිරවුල්ව තියෙන්න ඕනේ. මනස සන්සුන්ව තියාගන්න බයිබලේ තියෙන උපදෙස් මට උදව් වුණා.”—වැලෙන්ටිනා, යුක්රේනය.
“අපි හැමෝම හොයන විදිහේ ජීවිතයක් දෙන්න යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන එක ලොකු සහනයක්!”—ඉමෑනුවෙල්, හයිටි
බයිබලේ ජීවිතේට බලාපොරොත්තුවක්, සහනයක් දෙනවා. ඒ කොහොමද කියලත් ඒකේ තියෙන පොරොන්දු විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලත් දැනගන්න ඔයා කැමතිද? එහෙමනම් ඔයාව හම්බ වෙන්න කෙනෙක්ව එවන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කියන්න. එයාලා ඔයාට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා.
a සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සරණාගතයන් විදිහට සලකන කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කට්ටියක්, තමන්ගේම රටේ වෙනත් පැත්තකට පලා ගිය අය. අනිත් කට්ටිය, තමන්ගේ රටෙන් වෙනත් රටකට පලා ගිය අය. සමහරවිට සරණාගතයන් විදිහට ඒ රටට ඇතුල් වෙන්න එයාලට නීත්‍යනුකූල අයිතියක් නැතුව ඇති.
b මානුෂීය ආධාර සහ අර්බුද කළමනාකරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ මහ කොමසාරිස්.
c යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.