බයිබල් අනාවැකි ඉටු කරන දේශපාලන මතගැටුම්
අද ඉන්න මිනිස්සුන්ට දේශපාලනය ගැන තියෙන එක එක අදහස් නිසා එයාලා ඉන්නේ බෙදිලා. ආණ්ඩුවලින් දාන, මිනිස්සුන්ගේ ජීවිතවලට බලපාන නීති ගැන එයාලට තියෙන්නේ ලොකු අකමැත්තක්. ඒ කේන්තිය එයාලා පිට කරන්නේ හරිම දරුණු විදිහට. ආණ්ඩුවල නීති හදන අයයි, ඉහළ නිලතල දරන අයයි අතර තියෙන්නෙත් එක එක අදහස්. තව කෙනෙක් දෙන අදහසක් පිළි අරන් පොඩි වෙනසක්වත් කරන්න එයාලා කැමති නැහැ. ඒ නිසා එයාලා නිතරම එකිනෙකා එක්ක ගැටෙනවා. මේ වගේ හේතු නිසා සාර්ථක පාලනයක් කරන්න කිසිම ආණ්ඩුවකට බැහැ.
ඒත් ඒ අතරින් ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ (එංගලන්තය කියලත් කියනවා) සිද්ධ වෙන දේශපාලන ගැටුම්වල විශේෂත්වයක් තියෙනවා. ඒ ඇයි? මොකද ඒ රටවල් දෙකේ වෙන ගැටුම් ගැන බයිබලේ කලින්ම කියලා තියෙනවා. දෙවියන්ගේ ආණ්ඩුව මිනිස්සු වෙනුවෙන් පියවරක් ගන්නෙත් ඒ ගැටුම් තියෙන කාලේදීමයි කියලා බයිබලේ කියනවා.
“අවසාන කාලයේදී” ඇති වෙන දේශපාලන ගැටුම්
බයිබලේ දානියෙල් කියන පොතේ හරිම පුදුම හිතෙන අනාවැකියක් තියෙනවා. ඒ අනාවැකියෙන් දෙවියන් හෙළි කළේ දානියෙල්ගේ කාලේදී වෙන්න යන දෙයක් නෙවෙයි, “අවසාන කාලයේදී වෙන්න යන දේවල්” ගැනයි. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන්නේ මිනිස් ඉතිහාසයේ ලොකු වෙනසක් වෙන්න යන කාලයකයි.—දානියෙල් 2:28.
මේ අනාවැකිය දෙවියන් සිහිනයක් මාර්ගයෙන් දැන්නුවේ බැබිලෝනිය පාලනය කරපු රජෙක්ට. ඒ හීනෙන් එක එක ලෝහ වර්ගවලින් හදපු ලොකු රූපයක් ඒ රජ දැක්කා. ඒ රූපයේ එක් එක් කොටස්වලින් නියෝජනය වෙන්නේ මොනවාද කියලා පස්සේ දානියෙල් පැහැදිලි කළා. ඒවායින් නියෝජනය වෙන්නේ මිනිස් ඉතිහාසයේ කාලෙන් කාලෙට බලයට පත් වුණ සහ බලයෙන් පහ වෙලා ගිය ලෝක අධිරාජ්‍යයන්.a ඒ හීනෙන් පෙන්නපු විදිහට අන්තිමට ඒ රූපය විනාශ වෙනවා. ඒක වෙන්නේ කන්දකින් ගැලවිලා ආපු ගලක් රූපයට වැදිලා. ඒ ගලෙන් නියෝජනය වෙන්නේ දෙවියන් පිහිටවපු ආණ්ඩුවක්.—දානියෙල් 2:36-45.
ඒ අනාවැකියේ කියන විදිහට දෙවියන්ගේ ආණ්ඩුව මේ පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම අයින් කරලා පොළොවේ පාලනය අතට ගන්නවා. “ඔබේ රාජ්‍යය පැමිණේවා” කියලා යාච්ඤා කරන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට උගන්වද්දී ඔහු කතා කළෙත් මේ ආණ්ඩුව ගැනයි.—මතෙව් 6:10.
ඒත් දේශපාලන මතගැටුම් ඇති වෙනවා කියලා තේරෙන්නේ මේ අනාවැකියේ කියන මොන දෙයින්ද? ඒ අනාවැකිය කියවද්දී ඔයා දකියි ඒකේ කියනවා “කකුල්වල යට කොටස හැදිලා තිබුණේ යකඩ සහ මැටි කලවමේ” කියලා. (දානියෙල් 2:33) රූපයේ කලින් කොටස් හැදිලා තිබුණේ තනි ලෝහවලින්. හැබැයි මේ කොටස එහෙම නෙමෙයි. ඒකෙන් තේරෙනවා අන්තිම ලෝක බලය අනිත් ලෝක බලයන්වලට වඩා වෙනස් කියලා. මොකක්ද ඒ වෙනස? දානියෙල්ගේ අනාවැකියේ ඒ ගැන මෙහෙම කියනවා.
ඒ අනාවැකියෙන් පේනවා රූපයේ කකුල්වල යට කොටසෙන් නියෝජනය වෙන ලෝක බලය ඇතුළේ හුඟක් දේශපාලන මතගැටුම් තියෙනවා කියලා. ඒකේ යටත්වැසියන් කරන දේවල් නිසා ඒ අධිරාජ්‍යයේ බලය දුර්වල වෙනවා.
දානියෙල්ගේ අනාවැකිය අද ඉටු වෙන විදිහ
රූපයේ කකුල්වල යට කොටසෙන් නියෝජනය වෙන්නේ මොන ලෝක බලයද? ඒ, එකිනෙකා එක්ක අත්වැල් බැඳගෙන මුළු ලෝකෙටම බලය පතුරුවාගෙන ඉන්න ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය. ඒත් කොහොමද අපි හරියටම එහෙම කියන්නේ?
ඔයාට මතක ඇති රූපයේ කකුල්වල යට කොටස හැදිලා තිබුණේ “යකඩ එක්ක මැටි කලවම් වෙලා” කියලා. (දානියෙල් 2:42) ඒ නිසා රූපයේ ඒ කොටස ශක්තියෙන් අඩුයි. අනාවැකියේ කිව්ව විදිහටම ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ මිනිස්සු අතර තියෙන මතගැටුම් නිසා ඒ අධිරාජ්‍යයේ බලය දුර්වල වෙලා තියෙනවා. උදාහරණෙකට, තමන්ගේ අයිතිවාසිකම් ඉටු කරගන්න මිනිස්සු අරගල කරනවා. මිනිස්සු බලයට පත් කරගන්න පාලකයන් අතරෙත් මේ වගේ බෙදීම් තියෙන නිසා ඒ ආණ්ඩු දෙක සැලසුම් කරන සමහර දේවල් ඉටු කරගන්න එයාලට බැරි වෙලා තියෙනවා.
ආණ්ඩුවල වෙන දේවල් සහ ආණ්ඩුවලට වෙන්න යන දේවල් අවුරුදු සිය ගාණකට කලින් දානියෙල් 2වෙනි පරිච්ඡේදයේ සඳහන් වුණා
දානියෙල්ගේ අනාවැකියේ තියෙන තව දේවලුත් අද ඉටු වෙනවා. අපි දැන් ඒ ගැන ටිකක් බලමු.
අනාවැකිය: ‘මේ රාජ්‍යයෙත් ඒ වගේ බෙදීමක් දකින්න තියෙයි. ඒත් ඒ රාජ්‍යයේ කොටසක් යකඩ වගේ දැඩි ස්වභාවයක් පෙන්නයි.’—දානියෙල් 2:41.
තේරුම: ඒ රටවල් දෙකේම දේශපාලන මතගැටුම් තිබුණත් ඒ දෙගොල්ලන්ගේම යුද බලය හරිම ශක්තිමත්. ඒ නිසාම මුළු ලෝකෙටම බලපාන විදිහේ දේවල් කරන්න එයාලට පුළුවන්. ඒ පැත්තෙන් එයාලා යකඩ වගේ ශක්තිමත්.
ඉටු වීම
2023දී යුද බලය වෙනුවෙන් වැඩිපුරම වියදම් කරපු රටවල් ගැන වාර්තාවක් හැදුවා. ඒ වාර්තාවට අනුව ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය තමයි ඒ වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කරලා තියෙන්නේ. කොච්චරද කියනවා නම් ඒ ගාණ ලැයිස්තුවේ ඊට පහළින් තියෙන රටවල් 12ම යුද බලය වෙනුවෙන් වියදම් කරපු ගාණට වඩා වැඩියි.—Stockholm International Peace Research Institute.
‘බ්‍රිතාන්‍යය විදිහට අපි ඇමරිකාවත් එක්ක එකතු වෙලා අපේ රටවල් දෙක ආරක්ෂා කරගන්න එකට වැඩ කරනවා. ඒ වෙනුවෙන් අපි අලුත්ම තාක්ෂණය යොදාගන්නවා වගේම අපි හොයාගන්න අලුත්ම දේවල් එකිනෙකා එක්ක බෙදාගන්නවා. අපි දෙගොල්ලෝ අතරේ තියෙනවා වගේ මිත්‍රත්වයක් වෙන කිසිම රටවල් දෙකක් අතරේ නැහැ. අපි වැඩ කරන්නෙත් එකට, නැඟී ඉන්නෙත් එකට, සටන් කරන්නෙත් එකට.’—Strategic Command, U.K. Ministry of Defence, April 2024.
අනාවැකිය: “කකුලේ ඇඟිලිවල යකඩ එක්ක මැටි කලවම් වෙලා තිබුණ නිසා ඒ රාජ්‍යය එක පැත්තකින් දුර්වලයි. තවත් පැත්තකින් ශක්තිමත්ව තියෙයි.”—දානියෙල් 2:42.
තේරුම: ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ යුද බලය හුඟක් ශක්තිමත් වුණත් ඒ රටවල් දෙකේම තියෙන්නේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රම. ඒ නිසා වැඩිදෙනාගේ කැමැත්ත නැති වෙද්දී එයාලා සැලසුම් කරපු දේවල් කරන්න එයාලට අමාරු වෙනවා.
ඉටු වීම
“ඇමරිකාව කියනවා ආරක්ෂාව, ආර්ථිකය වගේ දේවල් ගැන තියෙන ප්‍රශ්නවලට මුළු ලෝකෙටම විසඳුමක් ගේන්න එයාලට පුළුවන් කියලා. ඒත් විද්වතුන් කියනවා ඇමරිකාවේම තියෙන දේශපාලන ගැටුම් නිසා එයාලට ඒක කරගන්න අමාරුයි කියලා.”—“The Wall Street Journal.”
“වෙන කවදාටත් වඩා අද බ්‍රිතාන්‍යයේ දේශපාලන ගැටුම් සිද්ධ වෙනවා. පාලකයෝ වැඩිපුරම අවධානය දෙන්නේ ඒවාට. ඒ නිසා රටට යහපතක් වෙන දෙයක් කරන එක එයාලටත් රජයේ සේවකයන්ටත් අභියෝගයක් වෙලා තියෙනවා.”—Institute for Government.
අනාවැකිය: ‘ඒ රාජ්‍යයට සාමාන්‍ය මිනිස්සුත් සම්බන්ධයි. ඒත් ඒ රාජ්‍යයේ කිසි සමඟියක් නැහැ.’—දානියෙල් 2:43.
තේරුම: ප්රජාතන්ත්රවාදී රටවල්වල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ටත් ආණ්ඩුවේ සිද්ධ වෙන දේවල්වලට යම් බලපෑමක් කරන්න පුළුවන්. ඒත් මොන දේ කළත් නිලතල දරන අයවවත් ඡන්දය දෙන අයවවත් සීයට සීයක් සතුටු කරන්න බැහැ.
ඉටු වීම
“ඇමරිකාවෙන් වැඩිදෙනෙක්ට දේශපාලනය ගැනයි, දේශපාලනඥයන් ගැනයි තියෙන්නේ හරිම පහත් හැඟීමක්.”—Pew Research Center.
“පහුගිය අවුරුදු 50 එක්ක බලද්දී දැන් එංගලන්තයේ ඉන්න මිනිස්සුන්ට දේශපාලනය ගැනයි, දේශපාලනඥයන් ගැනයි තිබුණ හොඳ හැඟීම අඩු වෙලා තියෙනවා.”—“National Centre for Social Research.”
මේ අනාවැකිය ඉස්සරහට ඉටු වෙන්නේ කොහොමද?
දානියෙල්ගේ අනාවැකියේ කියන විදිහට දෙවියන්ගේ රාජ්‍යය පොළොවේ පාලනය අතට ගද්දී මුළු ලෝකෙම බලය පතුරුවාගෙන ඉන්නේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයයි.—දානියෙල් 2:44.
ඉස්සරහට වෙන්න යන ඒ දේ ගැන බයිබලයේ එළිදරව් කියන පොතෙත් අනාවැකියක සඳහන් වෙනවා. ඒකේ කියන විදිහට “සියලු බලැති දෙවියන්ගේ මහත් දවසේදී සිද්ධ වෙන යුද්ධයේදී” ඒ කියන්නේ අර්මගෙදොන් යුද්ධයේදී යෙහෝවාb දෙවියන්ට විරුද්ධව සටන් කරන්න “පොළොව පුරාම ඉන්න රජවරුන්” රැස් කරනවා. (එළිදරව් 16:14, 16; 19:19-21) ඒ යුද්ධයේදී යෙහෝවා දෙවියන් පොළොව පුරාම තියෙන මිනිස් ආණ්ඩු නැත්තටම නැති කරනවා. එදායින් පස්සේ මේ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙක්ට බලපෑම් කරන්න ඒ ආණ්ඩුවලට බැහැ. මොකද එදාට දානියෙල්ගේ අනාවැකියේ තිබුණ රූපය තියා ඒකේ හෙවණැල්ලවත් දෙවියන් ඉතුරු කරන්නේ නැහැ.
තව විස්තර දැනගන්න “හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?” කියන ලිපිය කියවන්න.
මේ අනාවැකිය ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?
අපි බලපු තොරතුරුවලින් පේනවා ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අද සිද්ධ වෙන දේශපාලන මතගැටුම් ගැන බයිබලයේ හරියටම කියලා තිබුණා කියලා. ඒ ගැන ඉගෙනගන්න එක ඔයාට උදව් වෙයි අද ලෝකේ සිද්ධ වෙන දේවල් වෙනස්ම විදිහකින් දකින්න.
යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දේශපාලන කාරණාවලදී පැති ගන්න එපා කිව්වේ ඇයි කියලා ඔයාට තේරෙයි. (යොහන් 17:16) සැරයක් යේසුස් කිව්වා “මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ” කියලා. (යොහන් 18:36) දෙවියන්ගේ ආණ්ඩුවේ රජ වන යේසුස් එහෙම කිව්වේ ඇයි කියලත් ඔයාට තේරෙයි.
දෙවියන් පොරොන්දු වුණ විදිහටම ඔහුගේ ආණ්ඩුවෙන් මේ පොළොවේ ලොකු වෙනසක් කරලා මිනිස්සුන්ට ආශීර්වාද ගේන දවස වැඩි ඈතක නෙමෙයි කියන විශ්වාසය ඇති කරගන්න ඒක උදව් වෙයි.—එළිදරව් 21:3, 4.
රටවල් අතර තියෙන ගැටුම් නිසා මේ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යයි කියන බය හිතෙන අයින් කරගන්න ඒක ඔයාට උදව් වෙයි.—ගීතාවලිය 37:11, 29.
දානියෙල්ගේ අනාවැකියේ තිබුණ රූපයේ කකුල්වල යට කොටසින් නියෝජනය වෙන්නේ මුළු ලෝකෙම අණසක පතුරුවාගෙන ඉන්න අන්තිම ලෝක අධිරාජ්‍යයයි. කලින් කියපු විදිහට ඒ තමයි එකිනෙකා එක්ක අත්වැල් බැඳගෙන ඉන්න බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය. ඊළඟට පොළොවේ පාලනය අතට ගන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවියන්ගේ රාජ්‍යය. ඒක කිසිම අඩුවක් නැති පරිපූර්ණ ආණ්ඩුවක්.
දෙවියන්ගේ ආණ්ඩුවෙන් මිනිස්සු වෙනුවෙන් කරන තව දේවල් ගැන දැනගන්න ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.
a “දානියෙල් කියපු ලෝක අධිරාජ්‍යයන්” කියන කොටුව බලන්න.
b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.