ආගම්වලට මොකක් වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
ආගම් කරන පිළිකුල් වැඩ දැකලා ඔයාත් ඉන්නේ කලකිරිලාද? ආගම්වලින් සමහර අයට යම් විදිහකින් හොඳක් වෙලා තිබුණත් ආගම් නිසා වැඩිපුරම වෙලා තියෙන්නේ ලොකු හානියක්. එක විශ්වකෝෂයක කියනවා “ඉතිහාසයේ වෙලා තියෙන සමහර දරුණුම යුද්ධවලට හේතුව වෙලා තියෙන්නේ වෙනස් ආගමික විශ්වාසයන්” කියලා. (Encyclopedia of Religion and War) හුඟක් වෙලාවට ආගමික නායකයන් ආගම පාවිච්චි කරලා තියෙන්නේ නමස්කාරය වෙනුවෙන් නෙවෙයි, දේශපාලනික අදහස් පතුරුවන්න. ඒ වගේම තවත් ආගමික නායකයන් ඒගොල්ලන්ගේ ආගම් ඇතුළේ වෙන අපචාර, පිළිකුල් ලිංගික දේවල්, මුදල් වංචා යට ගහගෙන ඉන්නවා.
ආගම් ගැන ඔයාට කලකිරීමක් තියෙනවා නම් දෙවියන්ට ඒ ආගම් ගැන කොහොම දැනෙනවා ඇද්ද කියලා ඔයා කල්පනා කරනවා ඇති. බයිබලේ කියනවා ගොඩක් ආගම්වල වෙන දේවල් නිසා දෙවියන්ට ඒ ආගම් ගැන තියෙන්නේ පිළිකුලක් කියලා. ඒ වගේම දෙවියන් ඒ ආගම්වලට කරන්න යන දේ ගැන බයිබලේ කියනවා. කලින් කවදාවත් කරලා නැති දෙයක් දෙවියන් ළඟදීම ලෝකේ පුරාම තියෙන ආගම්වලට කරන්න යනවා. බයිබලේ ඒක විස්තර කරන්නේ සංකේතවලින්.
ආගම්වලට වෙන්න යන දේ ගැන බයිබලේ කියන්නේ මොනවාද?
අනාවැකිය: එළිදරව් කියන පොතේ මහ බැබිලෝනිය කියලා ගණිකාවක් ගැන කතා කරලා තියෙනවා. ඒ ගණිකාව ඉඳගෙන ඉන්නේ තද රතු පාට මෘගයෙක්ගේ පිටේ. ඒත් ඒ මෘගයා ඒ ගණිකාවට විරුද්ධ වෙලා එයාව මරලා දානවා.—එළිදරව් 17:3, 5, 16.
තේරුම: මහ බැබිලෝනිය කියන ගණිකාවගෙන් නියෝජනය වෙන්නේ ලෝකේ පුරාම තියෙන බොරු උගන්වන ආගම්. දෙවියන් ඒ එක ආගමක්වත් පිළිගන්නේ නැහැ.a තද රතු පාට මෘගයාගෙන් නියෝජනය වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.b එතකොට, ගණිකාව තද රතු පාට මෘගයාගේ පිටේ වාඩි වෙලා ඉන්න එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ, බොරු ආගම් දේශපාලනික වැඩවලට ඇඟිලි ගහන්න නැත්නම් ඒවාට බලපෑම් කරන්න උත්සාහ කරලා තියෙන විදිහ. හැබැයි අන්තිමේදී මෘගයා ඒ ගණිකාවව මරලා දානවා. ඒකෙන් පේනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඒකට සහය දෙන ජාතීන් බොරු ආගම්වලට විරුද්ධ වෙලා ඒවා විනාශ කරලා දානවා කියලා. බොරු ආගම් සුනුවිසුනු වෙලා යද්දී මුළු ලෝකෙම කම්පා වෙයි.
බොරු ආගම් විනාශ වෙන්නේ කොහොමද?
අනාවැකිය: ‘ඔයා දැක්ක අං දහය සහ මෘගයා ගණිකාවට වෛර කරලා ඇයව විනාශ කරනවා. ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා. ඒ වගේ දෙයක් වෙන්නේ දෙවියන් එයාලාගේ හිත්වලට [ලෝකේ ඉන්න පාලකයන්ගේ හිත්වලට] යම් අදහසක් දාන නිසයි. එයාලාගේ හිත්වලත් තියෙන්නේ ඒ අදහසමයි. එයාලා එයාලාගේ රාජ්‍යය මෘගයාගේ අතට භාර දෙනවා. ඇයට විඳින්න වෙන පීඩා හැම එකක්ම එකම දවසේ අද්දකින්න වෙන්නේ ඒ නිසයි. ඇයට මරණයත් වැලපීමත් සාගතත් අද්දකින්න වෙනවා. ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා. මොකද ඇයව විනිශ්චය කරපු යෙහෝවාc දෙවියන් හුඟක් බලවත්.’—එළිදරව් 17:16, 17; 18:8.
තේරුම: ලෝකේ ඉන්න ජාතීන්ගේ හිත්වලට දෙවියන් “යම් අදහසක්” දානවා. ඒ තමයි “එයාලාගේ රාජ්‍යය” නැත්නම් එයාලාගේ දේශපාලනික බලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙන එක. ඒ බලය ලැබුණාට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකේ පුරාම තියෙන බොරු ආගම් විනාශ කරනවා. ඒ දේ “එකම දවසේ” වෙනවා කියන එකෙන් තේරෙනවා මේ සිදුවීම හරිම ඉක්මනින්, බලාපොරොත්තු නොවුණ වෙලාවක වෙනවා කියලා. එදාට ඒ සිද්ධ වෙන දේ මිනිස්සුන්ට අදහාගන්නවත් බැරි වෙයි.—එළිදරව් 18:21.
බොරු ආගම් විනාශ වෙන්නේ ඇයි?
අනාවැකිය: “ඇය කරපු පව් කොච්චරද කියනවා නම් ඒවා ස්වර්ගය වෙන කල්ම උසට ගොඩගැහිලා. ඇය කරපු හැම අසාධාරණයක් වෙනුවෙන්ම දෙවියන් දැන් ඇයට දඬුවම් කරන්නයි යන්නේ.”—එළිදරව් 18:5.
තේරුම: අවුරුදු සිය ගාණක් තිස්සේ බොරු ආගම් හිතාගන්නවත් බැරි විදිහේ අපවිත්‍ර, දුෂ්ට දේවල් කරලා තියෙනවා. “ඇය” එහෙමත් නැත්නම් බොරු ආගම් කරපු මොන වගේ “පව්” නිසාද දෙවියන් ඒ ආගම් විනාශ කරන්නේ?
දේශපාලනික බැඳීම්. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා දේශපාලන වැඩවලට හවුල් වෙන්න එපා කියලා. ඒ වෙනුවට ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ රාජ්‍යය ගැන බලාපොරොත්තු තියන්න කියලා ඔහු එයාලට කිව්වා. ඒ රාජ්‍යය ළඟදීම පොළොවේ තියෙන ආණ්ඩු අයින් කරලා මේ පොළොවේ පාලනය අතට ගන්නවා.d (දානියෙල් 2:44; මතෙව් 6:9, 10; යොහන් 6:15; 18:36) හැබැයි අද බොරු ආගම් මිනිස්සුන්ට දිරිගන්වන්නේ යේසුස් කියපු දේට විරුද්ධ දේ කරන්න. එයාලා දෙවියන්ට ද්‍රෝහි වෙලා දේශපාලනයත් එක්ක සම්බන්ධකම් තියාගන්නවා. ඒ නිසා බයිබලේ එළිදරව් පොතේ කියනවා මහ බැබිලෝනිය ඒ කියන්නේ බොරු ආගම් “ලිංගික දුරාචාරයේ” යෙදෙනවා කියලා. එහෙම බලද්දී බයිබලේ බොරු ආගම් “මහා ගණිකාවකට” සමාන කරලා තියෙන එක පුදුමයක් නෙවෙයි.—එළිදරව් 17:1, 2; යාකොබ් 4:4.
දරුණු අපරාධ. බයිබලේ කියනවා බොරු ආගම් “පොළොවේ මරලා දාපු හැම කෙනෙක්ගෙම” ලේවලට වග කියන්න ඕනෙ කියලා. (එළිදරව් 18:24) ගොඩක් ආගම්වලට බැරි වෙලා තියෙනවා මිනිස්සුන්ට සාමයෙන් ඉන්න උදව් කරන්න. ඒ වෙනුවට සමහර බොරු ආගම් යුද්ධවලට වගේම ත්‍රස්තවාදයටත් උල්පන්දම් දීලා තියෙනවා.
කෑදරකම. බොරු ආගම් “කිසි ලැජ්ජාවක් නැතුව අසීමිත සැප සම්පත් භුක්ති විඳිනවා.” (එළිදරව් 17:4; 18:7) ගොඩක් ආගම් එයාලට තියෙන බලය, මිතුරුකම් පාවිච්චි කරලා ලොකු ධන සම්භාරයක් ගොඩගහගෙන තියෙනවා. ඒ කෑදරකම දෙවියන් පිළිකුල් කරනවා.—තීතස් 1:7
බොරුව. බොරු ආගම් බයිබලේ තියෙන සත්‍යයන්වලට විරුද්ධ දේවල් උගන්වනවා වගේම බයිබලේට පටහැනි දේවල් කරන්නත් මිනිස්සුන්ව පොලඹවනවා.e ඒ ආගම් මිනිස්සුන්ව නොමඟ යවන නිසාත් දෙවියන්ට අගෞරවයක් ගේන විදිහට වැඩ කරන නිසාත් ඒ අනාවැකියේ බොරු ආගම් හඳුන්වන්නේ “පොළොවේ තියෙන පිළිකුල් දේවල්වල මව” විදිහටයි.—එළිදරව් 17:5; 18:23.
හැම ආගමක්ම විනාශ වෙයිද?
නැහැ. එළිදරව් පොතේ කතා කරනවා ලෝකේ පුරාම ඉන්න මිනිස්සුන්ගෙන් හැදුණ “මහත් සමූහයක්” ගැන. (එළිදරව් 7:9) ඒගොල්ලන් “සුදු ඇඳුම් ඇඳගෙන” ඉන්නවා කියලා බයිබලේ කියනවා. ඒ කියන්නේ එයාලා දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරනවා කියන එකයි. මේ මහත් සමූහය “මහත් පීඩාවෙන්” බේරෙනවා. බයිබලේ කතා කරන මේ මහත් පීඩාවේදී තමයි බොරු ආගම් සහ දෙවියන්ගේ අනිත් සතුරන්ව විනාශ කරන්නේ. (එළිදරව් 7:13, 14; 19:11, 19-21) සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න මේ මහත් සමූහය තමයි එකම සැබෑ ආගමට අයිති අය. ඒ ආගම තමයි හැමදාටම තියෙන්න යන්නේ.f
බොරු ආගම් විනාශ වෙද්දී දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන මහත් සමූහයක් ඒකෙන් බේරෙනවා.
බොරු ආගම්වල විනාශය ගැන ඔයා දැනගෙන ඉන්න ඕනෙ ඇයි?
බොරු ආගම් කරන දුෂ්ට දේවල් දෙවියන් පිළිකුල් කරනවා කියන දේ දැනන් ඉන්න එක ඔයාට සහනයක් වෙයි. දෙවියන්ට අගෞරවයක් ගේන, මිනිස්සුන්ට පීඩා කරන ඒ ආගම් ළඟදීම විනාශ වෙන නිසා අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්නත් ඔයාට පුළුවන්.
මේ තොරතුරු බලද්දී ඔයාට හිතෙනවාද ‘දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන්න මට පුළුවන් වෙයිද’ කියලා? ඔව්, අනිවාර්යයෙන්ම ඔයාට එහෙම කරන්න පුළුවන්. මොකද බයිබලේ මෙහෙම කියනවා. ‘පියාණන්ගේ සැබෑ සේවකයන් ඔහුගේ බලයේ මඟ පෙන්වීම් පිළි අරන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ඔහුට නමස්කාර කරයි. ඇත්තටම ඒ විදිහට පියාණන්ට නමස්කාර කරන්න ආසාවෙන් ඉන්න අයව ඔහු හොයනවා.’ (යොහන් 4:23) ඔහු ඒ අයට කියනවා “මගේ සෙනඟෙනි, ඇයව [මහ බැබිලෝනිය] අත්හැරලා දැන්මම එළියට එන්න. ඇගේ පව්වලට හවුල් වෙන්නවත් ඇය විඳින්න යන පීඩාවලට අහු වෙන්නවත් ඔයාලා කැමති නැත්නම් දැන්මම ඇයව අත්හැරලා එළියට එන්න” කියලා. (එළිදරව් 18:4, 5) දෙවියන් මිනිස්සුන්ට ආරාධනා කරනවා බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ඔහුට නමස්කාර කරන්න කියලා. (1 තිමෝති 2:3, 4) ඒ ආරාධනාව පිළිගන්න අයට සදාකාල ජීවිතය දෙනවා කියලත් දෙවියන් පොරොන්දු වෙනවා.—1 යොහන් 2:17.
a මහ බැබිලෝනිය අඳුරගන්න උදව් වෙන ලක්ෂණ හතරක් “මහ බැබිලෝනිය කියන්නේ මොකක්ද?” කියන ලිපියෙන් දැනගන්න.
b මේ මෘගයාව අඳුරගන්න උදව් වෙන දේවල් හයක් “එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් රතු පාට මෘගයා කවුද?” කියන ලිපියෙන් දැනගන්න.
c යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.
d තව දැනගන්න “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” කියන වීඩියෝ එක බලන්න.
e ඒ මොන වගේ දේවල්ද කියලා දැනගන්න “මහ බැබිලෝනියට ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගමුත් ඇතුළත්ද?” කියන කොටුව බලන්න.
f සැබෑ ආගම අඳුරගන්න බයිබලේ ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න “සත්‍ය ආගම මොකක්ද කියලා මම දැනගන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.