විසඳුම කුමක්ද?
සරණාගත ප්‍රශ්නය දුක්මුසු අන්ධකාරයකින් සම්පූර්ණයෙන්ම වැසී පවතින ප්‍රශ්නයක් නොවේ. ලොව පුරා, මානව හිතවාදී සංවිධාන යුද්ධයෙන් හා වෙනත් ගැටලුවලින් අවතැන් වූවන්ට උපකාර කිරීමට පරිශ්‍රමයක් දරති. සරණාගතයන්ට තමන්ගේම රටවලට යළි යෑමට උපකාර කිරීම, ඔවුන් උපකාර කරන ප්‍රධාන ක්‍රමයකි.
සරණාගතයන් නිවස, ප්‍රජාව සහ රට අත්හැර යන්නේ, මරණයට, වධහිංසා විඳීමට, දූෂණයට ලක්වීමට, අත්අඩංගුවට ගැනීමට, වහල්භාවයට පත්වීමට, සොරකමට ලක්වීමට හෝ සාගින්නෙන් පෙළීමට ඔවුන් බිය වන බැවිනි. එබැවින් සරණාගතයන්ට ආරක්ෂිතව යළි නිවෙස් බලා යෑමට හැකිවීමට පෙර, පලායෑමට තුඩු දුන් ගැටලු විසඳා තිබිය යුතුය. යුද හරඹ නතර වනවා වුවත්, නීතිය හා සාමය නොමැති වීම බොහෝවිට ජනයාව නිවෙස් බලා යෑමට අධෛර්යය කරවන්නකි. රුවන්ඩාවේ සරණාගත තැනැත්තියක් හා හයදෙනෙකුගේ මවක් වන ඇග්නස් මෙසේ පැවසුවාය: “අපිව [ආයිත්] රුවන්ඩාවට ගෙන යනවා කියන්නේ, හරියට අපිව මිනීවළවලට ගෙන යනවා වගෙයි.”
කෙසේවෙතත්, 1989 සිට මිලියන නවයකට වැඩි සරණාගත සංඛ්‍යාවක් තම නිවෙස් බලා යළි පැමිණ ඇත. මොවුන්ගෙන් 3.6ක් පමණ ඉරානෙන් හා පකිස්තානයෙන් ඇෆ්ඝනිස්ථානයට යළි පැමිණියහ. රටවල් හයකින් පැමිණි තවත් මිලියන 1.6ක්, වර්ෂ 16ක් පුරා සිවිල් යුද්ධයෙන් සිඳී බිඳී ගිය රටක් වන මොසැම්බික් වෙත යළි පැමිණියහ.
යළි පැමිණීම පහසු දෙයක් නොවේ. සරණාගතයන් යළි පැමිණෙද්දී බොහෝවිට රටවල් විනාශයට පත් වී තිබේ—ගම්මාන පාළු වී, පාලම් කැඩී, පාරවල හා කෙත්වතුවල බිම් බෝම්බ වපුරා තිබේ. මෙබැවින්, යළි පැමිණෙන සරණාගතයන්ට තම ජීවිත පමණක් නොව, නමුත් ඔවුන්ගේ නිවෙස්, පාසැල්, සෞඛ්‍ය සායන මෙන්ම වෙනත් සෑම දෙයක්ම මුල පටන් නැවත ගොඩනැඟීමට සිදු වේ.
එහෙත්, සරණාගතයන්ට යළි තම නිවෙස්වලට යෑමට සලසමින් සටන් ගිනි දළු එක තැනක නිවී ගියත්, වෙනත් තැනකින් එම ගිනි ඇවිළෙන්නේ නව සරණාගත සමූහයක් බිහි කරමිනි. එමනිසා, සරණාගත අර්බුදය විසඳනවා යන්නෙන් අදහස් වන්නේ, ජනයාට තම ජීවිත බේරාගැනීම සඳහා පලායෑමට සලසන යුද්ධය, පෙළීම, වෛරය, පීඩාව සහ වෙනත් සාධක සම්බන්ධ ගැටලු විසඳීමය.
ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්ස් රෙෆ්‍යූජීස් නයින්ටීන්නයින්ටිෆයිව් මෙසේ පිළිගනී: “[සරණාගත අර්බුදයට] විසඳුම් අවසාන වශයෙන් රඳාපවතින්නේ, ඕනෑම මානව හිතවාදී සංවිධානයක පාලනය අබිබවා යන දේශපාලනමය, යුද්ධමය හා ආර්ථිකමය හේතු . . . මතය යන්න බලවත් සත්‍යය වී ඇත.” බයිබලයට අනුව, මානව හිතවාදී හෝ වෙනත් කිසිම භූමික සංවිධානයකට විසඳුම් ලබා දිය නොහැක.
සරණාගතයන් තොර ලොවක්
කෙසේවුවද, විසඳුමක් තිබේ. තම නිවෙස් හා පවුල් සිඳී බිඳී ගිය අය ගැන යෙහෝවඃ දෙවියන්වහන්සේ සැලකිල්ල දක්වන බව බයිබලය පෙන්නුම් කරයි. පොළොවේ ඇති ආණ්ඩුක්‍රම මෙන් නොව, මිනිස්වර්ගයා මුහුණ දෙන සංකීර්ණ ගැටලු සියල්ල විසඳීමට උන්වහන්සේට බලය හා ප්‍රඥාව තිබේ. උන්වහන්සේ තම රාජ්‍යය මගින් එසේ කරනු ඇත—එය, වැඩි කල් නොගොස් පොළොවේ කටයුතු පාලනය කරනු ඇති ස්වර්ගීය ආණ්ඩුවය.
සියලුම මිනිස් ආණ්ඩුක්‍රම වෙනුවට දේවරාජ්‍යය පැමිණෙනු ඇත. අපට අද තිබෙන්නාක් මෙන් පොළොවේ බොහෝ ආණ්ඩු තිබෙනවා වෙනුවට, මුළු විශ්වයම පාලනය කරනු ඇති එක ආණ්ඩුවක් පමණක් තිබෙනු ඇත. බයිබලය මෙසේ පුරෝකථනය කරයි: “ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45.
මතෙව් 6:9-13හි දක්නට තිබෙන ආදර්ශ යාච්ඤාව ඔබට හොඳින් හුරු වී තිබෙනවා විය හැක. එම යාච්ඤාවේ කොටසක මෙසේ පවසයි: “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” එම යාච්ඤාවට එකඟව, පොළොව සඳහා දෙවියන්වහන්සේගේ අරමුණ ඉටු කිරීමට ඉතා ඉක්මනින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ‘පැමිණෙනු’ ඇත.
දේවරාජ්‍යයේ ප්‍රේමනීය පාලනය යටතේ විශ්වය පුරාම සාමය හා සුරක්ෂිතභාවය තිබෙනු ඇත. පොළොවේ ජනයා හා ජාතීන් අතර වෛරය හා සටන් තවදුරටත් නොතිබෙනු ඇත. (ගීතාවලිය 46:9) තම ජීවිත බේරාගෙන පලායන හෝ කඳවුරුවල මලානික වී සිටින මිලියන සංඛ්‍යාත සරණාගතයන් යළි කිසිදා නොසිටිනු ඇත.
දේවරාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. උන්වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය” යි දේවවචනය පොරොන්දු වෙයි.—ගීතාවලිය 72:12-14.
[10වන පිටුවේ පින්තූරය]
නොබෝ කලකින් සියල්ලන් එකිනෙකාට සැබෑ සහෝදරයන් හා සහෝදරියන් ලෙස සලකනු ඇත