ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 පෙබරවාරි 20-25 පි.
  • බව්තීස්මයෙන් පස්සේ එන අභියෝගවලට ඔයා ලෑස්තිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බව්තීස්මයෙන් පස්සේ එන අභියෝගවලට ඔයා ලෑස්තිද?
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සභාවේ කෙනෙක් ඔයාගේ හිත රිද්දුවොත්
  • අත්හැරපු දේවලට ආයේ ආස හිතුණොත්
  • අනිත් අය යෙහෝවාව අත්හරිද්දී
  • ‘බිඳුණු සිත් ඇති අයව යෙහෝවා සනසනවා’
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • එකිනෙකාට ළං වෙන එක අපිට යහපත්
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 පෙබරවාරි 20-25 පි.

2026 අප්‍රියෙල් 27–මැයි 3

ගීතිකාව 99 දස දහස් ගණන් සොහොයුරන්

බව්තීස්මයෙන් පස්සේ එන අභියෝගවලට ඔයා ලෑස්තිද?

“ඔබ පෙන්වන මාර්ගයේ මම දිගටම ගමන් කරනවා.”—ගීතා. 17:5.

ලිපියේ අරමුණ

බව්තීස්ම වුණාට පස්සේ එන්න පුළුවන් අභියෝගවලට මූණ දෙන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද?

1-2. සත්‍ය මාර්ගයේ යද්දී එන්න පුළුවන් අභියෝගවලට දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න කරන්න පුළුවන් දේවල් මොනවාද? උදාහරණයක් දෙන්න.

සාතන් යටතේ තියෙන මේ ලෝකේ ජීවත් වෙද්දී අපිට හුඟක් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා. යේසුත් කිව්වා “කෙනෙක් වැටිලා යන්න හේතු වෙන දේවල් වෙයි. ඒක වළක්වන්න බැහැ” කියලා. (මතෙ. 18:7) ඒ කියන්නේ අපේ විශ්වාසේ දුර්වල වෙන දේවල් අනිවාර්යයෙන්ම වෙයි. සමහරවිට සභාවේ කෙනෙක් එක්ක අපිට ප්‍රශ්නයක් ඇති වෙයි. ඒත් අපේ විශ්වාසේ දුර්වල කරගන්නේ නැතුව ඒවාට හොඳට මූණ දෙන්න අපි දැන් ඉඳන්ම ඒවාට ලෑස්ති වෙන්න ඕනේ.

2 ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. සංවිධානයෙන් අපිට නිතරම මතක් කරනවා ස්වාභාවික විපත්වලට මූණ දෙන්න කලින්ම ලෑස්ති වෙලා ඉන්න කියලා. ඒකට අපි මුලින්ම අපේ පැත්තට එන්න පුළුවන් මොන වගේ ස්වාභාවික විපත්ද කියලා හඳුනගන්නවා. අපි ඒ පැත්තට අලුත් නම් ඒ දේ විශේෂයෙන්ම කරන්න ඕනේ. ඊටපස්සේ ඒ වගේ එකක් ආවොත් මොනවාද කරන්නේ කියලා අපි කලින්ම සැලසුම් කරනවා. (හිතෝ. 21:5) අපි යන මේ සත්‍ය මාර්ගයේ ඉස්සරහට එන්න පුළුවන් අභියෝග මොනවාද කියලත් අපි කලින්ම අඳුරගත්තොත් ඒවාට මූණ දෙන්න අපිට ලෑස්ති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අභියෝග එද්දී අපේ විශ්වාසේ දුර්වල කරගන්නේ නැතුව දිගටම යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න අපිට පුළුවන්. (ගීතා. 17:5) දැන් අපි ඒ වගේ අභියෝග තුනක් ගැනත් ඒවාට කලින්ම ලෑස්ති වෙන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් බලමු.a

සභාවේ කෙනෙක් ඔයාගේ හිත රිද්දුවොත්

3. බව්තීස්ම වුණාට පස්සේ එන්න පුළුවන් එක අභියෝගයක් මොකක්ද?

3 ඔයාට මතකද ඔයා ඉස්සෙල්ලාම රැස්වීමකට ආපු දවස? සහෝදරයන්ගේ ආදරේ දැක්කාම ඔයාට තේරුණා මෙතන තමයි සත්‍යය තියෙන්නේ කියලා. (යොහ. 13:35; කොලො. 3:12) බ්ලැන්කාටb දැනුණෙත් එහෙමයි. ඒත් එයා බව්තීස්ම වෙලා ටික දවසකට පස්සේ වෙච්ච දෙයක් ගැන එයා මෙහෙම කියනවා. “එක සහෝදරියක් මට හරිම නපුරු විදිහට සැලකුවා. එයා සභාවේ අයගේ වැරදි ගැනත් කතා කළා. ඒ වගේ දෙයක් නං මං බලාපොරොත්තු වුණේ නෑ. මං ඉගෙනගෙන තිබුණේ සාක්ෂිකරුවන් සාමකාමීව ඉන්න, අනිත් අයට ආදරෙන් සලකන්න ගොඩක් මහන්සි වෙන සෙනඟක් කියලා.” ඇත්ත, ඔයාගේ සහෝදර සහෝදරියන් යෙහෝවා කැමති ගුණාංග එයාලාගේ ජීවිතවලට එකතු කරගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒත් එයාලත් පව්කාරයන්. (එෆී. 4:23, 24; 1 යොහ. 1:8) ඉතින් කොයි වෙලාවක හරි එයාලා ඔයාගේ හිත රිදෙන දෙයක් කියන්න, කරන්න ඉඩ තියෙනවා. (යාකො. 3:8) ඒ වගේ දේවල් නිසා සමහරු හිත රිද්දගෙන යෙහෝවාගෙන් ඈත් වෙන එක කොච්චර දුකයිද?

4. සභාවේ කෙනෙක් අපේ හිත රිද්දුවොත් ඒකට මූණ දෙන්න දැන් ඉඳන්ම අපිට කරන්න පුළුවන් මොනවාද? (එෆීස 4:32)

4 සභාවේ කෙනෙක් ඔයාගේ හිත රිද්දුවොත් වැටෙන්නේ නැතුව ඉන්න ඔයාට දැන් ඉඳන්ම මොනවාද කරන්න පුළුවන්? එෆීස 4:32 කතා කරලා තියෙන ගුණාංග ඔයාගේ ජීවිතෙන් පෙන්නන්න පුරුදු වෙන්න. (කියවන්න.) ඔයා නිතරම අනිත් අයට කරුණාවන්තව, අනුකම්පාවෙන් සලකනවා නම් අනිත් අය එක්ක ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්න පුළුවන්. කවුරු හරි ඔයාගේ හිත රිද්දුවොත් එයාට ඉක්මනින්ම සමාව දෙන්න. ඒකට ඔයාට උදව් වෙන්නේ මොනවාද? ඔයා කී සැරයක් නම් යෙහෝවාගෙන් සමාව ඉල්ලනවාද, ඔහු කොච්චර නම් ඔයාට සමාව දෙනවාද කියලා හිතන්න. (මතෙ. 6:12) යෙහෝවා ඔයාට කැමැත්තෙන්ම සමාව දෙන විදිහ ගැන හිතන තරමටම අනිත් අයටත් සමාව දෙන්න ඔයාට ලේසි වෙයි.

5. කෙනෙක් අපේ හිත රිද්දුවොත් අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්තිය මොකක්ද? (හිතෝපදේශ 19:11) (පින්තූරත් බලන්න.)

5 හිතෝපදේශ 19:11 කියවන්න. අපිට වටහාගැනීමේ ශක්තියc තියෙනවා නම්, ඒ කියන්නේ අපි අනිත් අයව තේරුම් අරන් වැඩ කරනවා නම් අනිත් අය අපේ හිත රිදෙන දෙයක් කිව්වත් කළත් අපි ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ. අවුරුදු කීපයකට කලින් බව්තීස්ම වුණ රීමාත් ඒ ප්‍රතිපත්තිය අදාළ කරගත්තා. එයා මෙහෙම කියනවා. “සභාවේ කෙනෙක් හිත රිදෙන විදිහට දෙයක් කිව්වොත් කළොත් මං හිතෝපදේශ 19:11 තියෙන දේ මතක් කරගන්නවා. එයාලා ඉන්න තත්වේ, එයාලාගේ පසුබිම ගැන මං හිතනවා. එයාලා ඒ වගේ දෙයක් කියන්න, කරන්න ඇත්තේ ඇයි කියලා මං තේරුම්ගන්න බලනවා. මාත් එක්ක සේවේ යන්න එන්න කියලත් මං එයාලට කියනවා. එයාලව තව හොඳට අඳුරගන්න මට ඒක උදව්වක්.” සහෝදර සහෝදරියන්ව තව හොඳට අඳුරගන්න දැන් තමයි කාලේ. ඔයා එහෙම කරද්දී ඉස්සරහට එයාලා අතින් ඔයාගේ හිත රිදෙන දෙයක් වුණොත් එයාලට සමාව දෙන්න ඔයාට ලේසියි.

පින්තූරවල අදහස: 1. නමස්කාර මධ්‍යස්ථානයක එළියේ නඩත්තු වැඩක් කරද්දී සහෝදරයෙක් කියන දෙයක් නිසා තව සහෝදරයෙක්ගේ හිත රිදෙනවා. 2. පස්සේ දවසක හිත රිදුණ ඒ සහෝදරයා අනිත් සහෝදරයා එක්ක ගෙයින් ගෙට සේවේ හවුල් වෙනවා.

ඔයාට සභාවේ කෙනෙක් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් එයාත් එක්ක එකට සේවේ යන්න (5 ඡේදය බලන්න)


6. සභාවේ අයව හොඳ යාළුවෝ කරගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

6 සභාවේ අය එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න ඔයාට මොනවාද කරන්න පුළුවන්? එයාලව වැඩියෙන් ආශ්‍රය කරද්දී එයාලාගේ හොඳ පැති දිහා වැඩිපුර බලන්න. (හිතෝ. 10:12; රෝම 12:10; ෆිලි. 2:2, 3) ළඟදී බව්තීස්ම වුණ මාක්ට ඒක උදව් වුණ විදිහ බලන්න. එයා සහෝදරයන් එක්ක වැඩිපුර කාලේ ගත කරද්දී එයාලාගේ අඩුපාඩු දකින්න ගත්තා. මාක් මෙහෙම කියනවා. “ලෝකේ අය කරන වැරදි දිහා බලද්දී මගේ සහෝදරයන් අතින් වෙන අඩුපාඩු කොච්චර පොඩිද කියලා මට තේරුණා. ඉතිං මං හිතාගත්තා එයාලා අතින් වෙන පොඩි පොඩි අඩුපාඩු ගැන වැඩිය හිතන්නේ නැතුව එයාලාගේ හොඳ පැති ගැන වැඩිපුර හිතන්න.” ඔයාත් එහෙම කරනවා නම් ඔයා සභාවේ අයට තව ළං වෙයි.

අත්හැරපු දේවලට ආයේ ආස හිතුණොත්

7. අත්හැරපු දේවල් ගැන ආස හිතෙන්න පුළුවන් ඇයි?

7 ඔයා සත්‍යයට ආවාම සාතන්ගේ ලෝකේ දේවල් අත්හැරලා ආපු එක ගැන ඔයාට ලොකු සතුටක් දැනෙන්න ඇති. සමහරවිට ඔයා හිතන්න ඇති ‘කවුද අප්පා ආයේ ඔය දේවල් හොයාගෙන යන්නේ’ කියලා. හැබැයි පස්සේ ඔයා අමාරු දේවලට මූණ දෙද්දී අත්හැරපු ඒ සමහර දේවල් ගැන ඔයා හිතන්න පටන්ගනියි. ඒ දේවල් ආයේ තිබුණා නම් කොච්චර හොඳද කියලා ඔයාට හිතෙයි. (ගණන්. 11:4-6) උදාහරණෙකට සමහරු හොඳ පිළිගැනීමක් තියෙන, හැබැයි වැඩිපුර කාලේ යොදවන්න වෙන රැකියා අත්හැරලා තියෙනවා. තවත් අය සත්‍යයට එද්දී එයාලාගේ යාළුවෝ එයාලාගෙන් ඈත් වුණා. සමහරු එයාලට සතුටක් ලැබුණ අපවිත්‍ර පුරුදු අත්හැරියා. අත්හැරලා ආපු ඒ දේවල් ආයේ ලබාගන්න තියෙන ආසාව නිසා කෙනෙක් යෙහෝවාගෙන් ඈත් වුණොත් ඒක යෙහෝවාට කොච්චර දුකක්ද! ඉස්සරහට ප්‍රශ්න එද්දී අත්හැරපු දේවල් ගැන හිතේ ආසාවක් ඇති කරගන්නේ නැතුව ඉන්න නම් ඔයාට දැන් ඉඳන්ම කරන්න පුළුවන් මොනවාද?

8. ආබ්‍රහම්ගෙනුයි, සාරාගෙනුයි අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්?

8 අත්හැරලා ආපු දේවල් ගැන ආයේ ආසාවක් ඇති කරගන්න පුළුවන්කම තිබුණ හුඟක් අය ගැන බයිබලේ කතා කරනවා. ආබ්‍රහමුයි, සාරායි ඒ වගේ දෙන්නෙක්. එයාලා යෙහෝවාට කීකරු වෙලා ඌර් නගරය අත්හැරලා කූඩාරම්වල ජීවත් වෙන්න ගියා. (හෙබ්‍රෙ. 11:8, 9) සැපපහසු ජීවිතයක් ගත කරන්න ඕන කරන හුඟක් දේවල් ඌර්වල තිබුණා. ඉඳලා හිටලා එයාලට ඒ ජීවිතේ මතක් වෙන්න ඇති. හැබැයි “එයාලා අතහැරලා ආපු තැන ගැන හිතහිත හිටියා නම්,” ‘ආයේ ඒ දේවල් තිබුණා නං’ කියලා හිතුවා නම් සමහරවිට එයාලා ඒවා හොයාගෙන යන්න ඉඩ තිබුණා. ඒත් එහෙම කරනවා වෙනුවට එයාලා හිතුවේ අනාගතයේදී ලැබෙන ආශීර්වාද ගැනයි.—හෙබ්‍රෙ. 11:15, 16.

9. අත්හැරලා ආපු දේවල් ගැන පාවුල් හිතුවේ කොහොමද? (ෆිලිප්පි 3:7, 8, 13)

9 පාවුලුත් යෙහෝවාට සේවේ කරන්න හුඟක් දේවල් අත්හැරියා. එයා ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් ප්‍රසිද්ධ ගුරුවරයෙක් වුණ ගමාලියෙල් ළඟ යුදෙව් නීතිය ඉගෙනගත්තා. (ක්‍රියා 22:3) යුදෙව් ආගමේ ඉහළටම යන්න එයාට ඕන තරම් අවස්ථාව තිබුණා. (ගලා. 1:13, 14) ඒත් එයා සත්‍යය පිළිගත්තාම ඒ හැම දේම අත්හැරියා. ඊටපස්සේ ක්‍රිස්තියානියෙක් විදිහට එයා ගත කළේ ලේසි ජීවිතයක්ද? නැහැ. එයාට ගුටි කන්න වුණා. හිරේ ඉන්න වුණා. එයාගෙම ජාතියේ අය එයාට වෛර කළා. (2 කොරි. 11:23-26) පාවුල් පීඩා ගැන විතරක් හිතුවා නම්, එයා දැන් ගත කරන ජීවිතේ ඊට කලින් ගත කරපු ජීවිතේ එක්ක සන්සන්දනය කළා නම් ‘අපරාදේ ක්‍රිස්තියානියෙක් වුණේ’ කියලා එයාට හිතෙයි. හැබැයි පාවුල් අවධානය දුන්නේ යේසුස්ට සේවේ කරන්න ලැබුණ එක කොච්චර ගෞරවයක්ද, කොච්චර වටිනවාද කියන එකටයි. ඒ වගේම අනාගතයේදී එයාට ලැබෙන්න යන පුදුමාකාර තෑග්ගටයි. ඒ දේවල් එක්ක බලද්දී එයා අත්හැරලා ආපු දේවල් පොඩ්ඩක්වත් වටින්නේ නැහැ කියලා පාවුල් තේරුම්ගත්තා.—ෆිලිප්පි 3:7, 8, 13 කියවන්න.

10. අපි හැම තිස්සේම හිතන්න ඕනෙ මොන දේ ගැනද? (මාක් 10:29, 30) (පින්තූරත් බලන්න.)

10 සාක්ෂිකරුවෙක් වෙන්න ඔයාට තිබුණ ආසාව නිසා ඔයා අත්හැරලා ආපු දේවල් ගැන ඔයා හිතන්න පටන්ගත්තොත් ඔයා ඒ දේවල් දාලා ආවේ ඇයි කියලත් හිතන්න. (දේශ. 7:10) සත්‍යයට ආපු නිසා ඔයා අද්දකින ආශීර්වාද ඔයා අත්හැරලා ආපු දේවල් එක්ක සන්සන්දනය කරලා බලන්න. දැන් ඔයාට උසස්ම දෙවි යෙහෝවා එක්ක කිට්ටු යාළුකමක් තියෙනවා. (හිතෝ. 3:32) ඔයාට ආදරේ කරන ලොකු පවුලක් ඔයාට ඉන්නවා. (මාක් 10:29, 30 කියවන්න.) ඒ විතරක් නෙවෙයි ඔයා ඉස්සරහා ලස්සන අනාගතයක් තියෙනවා. (යෙසා. 65:21-23) ඔයා දැන් යෙහෝවාට සේවේ කරන නිසා අද්දකින ආශීර්වාද ගැන හිතන්න හිතන්න ඔයා අත්හැරලා ආපු දේවල් ගැන හිතේ දුකක් ඇති වෙන්න තියෙන ඉඩ තව තවත් අඩු වෙනවා.

අත්හැරලා ආපු දේවල් ගැන ආයේ හිතේ ආසාවක් ඇති කරගන්නේ නැතුව යෙහෝවා ඔයාට දැන් දීලා තියෙන වටිනා සේවේ ගැන හිතන්න (10 ඡේදය බලන්න)e


11. රෝස්මරිගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

11 බව්තීස්ම වෙද්දී රෝස්මරිට වයස 50ක් විතර ඇති. එයා මෙහෙම කියනවා. “සත්‍යයට ආපු මුල නත්තල් කාලේදී මගේ හිතට ලොකු දුකක් දැනුණා. නත්තලට අපේ පවුලේ හැමෝම එකතු වෙනවා. පවුලේ අයට තෑගි දීලා, මං දීපු තෑගි දරුවෝ නත්තල් ගහ යට ඉඳන් ඇරලා සතුටු වෙනවා දැකලා මං ලොකු සතුටක් ලැබුවා.” ඒ අතීතය ගැන හිතේ ආසාවක් ඇති කරගන්නේ නැතුව ඉන්න රෝස්මරිට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “පවුලේ අය එක්ක සතුටු වෙන්න මං අවුරුද්දේ වෙන දවසක් වෙන් කරගත්තා. එදාට මං එයාලට තෑගි දෙනවා, මං එයාලට කොච්චර ආදරෙයිද කියලා කියනවා.” රෝස්මරිට අත්හරින්න වුණ තව දෙයක් ගැන එයා මෙහෙම කියනවා. “මං සත්‍යය ඉගෙනගන්න කාලේ මගේ යාළුවෝ මගෙන් ඈත් වුණා. සමහර වෙලාවට එයාලා නැති පාළුව, තනිකම මට දැනෙනවා.”d ඒකෙන් ගොඩ එන්න එයා මොනවාද කළේ? එයා සභාවේ සහෝදරියන්ට කිව්වා එයාත් එක්ක සේවේ යන්න එන්න කියලා. “ඒක මට උදව් වුණා අලුත් යාළුවෝ හොයාගන්න. මට එයාලව ගොඩක් වටිනවා” කියලා එයා කියනවා. ඔයාට මොනවාද එයාගෙන් ඉගෙනගන්න පුළුවන්? සත්‍යය ඉගෙනගන්න කලින් ඔයා සතුටින් කරපු සමහර දේවල් ගැන මතක් වෙද්දී ඔයාට දුකක් දැනෙයි. හැබැයි ඒවා වෙනුවට නියම සතුට ලබන්න කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවා. (ෆිලි. 4:8, 9) මතක තියාගන්න, ඔයා අත්හැරලා ආපු දේවලට වඩා ගොඩක් වටින දේවල් යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාට දෙනවා.

අනිත් අය යෙහෝවාව අත්හරිද්දී

12. ඔයාට දරාගන්න අමාරුම වෙන්න පුළුවන් මොකක්ද?

12 ඔයා සාක්ෂිකරුවෙක් වුණාම සාතන්ගේ දුෂ්ට ලෝකෙන් වෙන් වෙලා සත්‍යය උගන්නන, නිතරම හරි දේ කරන්න උත්සාහ කරන සෙනඟ එක්ක එකතු වෙන්න ලැබුණ නිසා ඔයාට ලොකු සහනයක් දැනෙන්න ඇති. (යෙසා. 65:14) ඒත් සමහරවිට සභාවේ කෙනෙක් බරපතළ වරදක් කළා කියලා ඔයාට ආරංචි වෙයි. එයාව සභාවෙන් අයින් කරන්නත් ඉඩ තියෙනවා. (1 කොරි. 5:13) සමර් කියන සහෝදරියගේ සභාවෙත් ඒ වගේ දෙයක් වුණා. එයා මෙහෙම කියනවා. “මං බව්තීස්ම වුණ අලුත අපේ සභාවේ වැඩිමහල්ලෙක් බරපතළ වරදක් කරලා පස්සේ එයාව සභාවෙන් අයින් කළා. වැඩිමහල්ලෙක් බරපතළ වරදක් කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. ඒක දැකලා මගේ විශ්වාසේ හෙල්ලිලා ගියා.” අපිට විශ්වාසයි අපේ සහෝදරයන් යෙහෝවාට ආදරෙයි, එයාලට ඕනෙ දිගටම යෙහෝවාට ළැදිව ඉන්න කියලා. (1 කොරි. 13:4, 7) ඒත් අපි දන්නවා හැම අවුරුද්දකම සමහර අයව සභාවෙන් අයින් කරනවා කියලා. ඔයා ගොඩක් ආදරේ කරපු කෙනෙක්, ඔයා ආදර්ශයට ගත්ත ගෞරවයෙන් සලකපු කෙනෙක් යෙහෝවාගෙන් ඈත් වුණොත් ඒක දරාගන්න ලේසි නැහැ.

13. අපි ආදරේ කරන කෙනෙක් යෙහෝවාව අත්හැරියොත් සැලෙන්නේ නැතුව ඉන්න නම් අපි දැන් ඉඳන්ම කරන්න ඕනෙ මොනවාද?

13 ඉස්සරහට ඔයා ආදරේ කරන කෙනෙක් යෙහෝවාව අත්හැරියොත් ඔයා වැටෙන්නේ නැතුව ඉන්න නම් ඔයාට දැන් ඉඳන්ම කරන්න පුළුවන් මොනවාද? යෙහෝවා එක්ක ඔයාට තියෙන බැඳීම දිගටම ශක්තිමත් කරගන්න. (යාකො. 4:8) මතක තියාගන්න ඔයායි, යෙහෝවායි අතර තියෙන බැඳීම අනිත් අය කරන කියන දේවල් මත රැඳිලා තියෙන්න හොඳ නැහැ කියලා. උදාහරණෙකට අපි නමස්කාරයට සම්බන්ධ දේවල් පවුලක් විදිහට, සභාවක් විදිහට එකට කරනවා. හැබැයි අපි තනි තනි අය විදිහටත් හැමදාම යාච්ඤා කරලා, බයිබලේ කියවලා යෙහෝවා එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න ඕනේ.—ගීතා. 1:2; 62:8.

14. පේතෘස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (යොහන් 6:66-68)

14 දවසක් යේසුස් කියපු දෙයක් හරියට තේරුම්ගත්තේ නැති නිසා ඔහුගේ අනුගාමිකයන් හුඟදෙනෙක් ඔහුව අත්හැරලා ගියා. පේතෘස්ටත් යේසුස් කියපු දේ තේරුණේ නැහැ. ඒත් එයා වැඩ කරපු විදිහෙන් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. (යොහන් 6:66-68 කියවන්න.) අනිත් අය කරපු දේට අවධානය දෙනවා වෙනුවට පේතෘස් කළේ ඒ වෙද්දීත් යේසුස් උගන්නලා තිබුණ සත්‍ය ඉගැන්වීම් ගැන හිතපු එකයි. ඒක එයාට උදව් වුණා යේසුස්ව අත්හරින්නේ නැතුව ඉන්න. ඔයා ආදරේ කරන සමහරු යෙහෝවාට සේවේ කරන එක අත්හැරියත් මතක තියාගන්න යෙහෝවා ගැන සත්‍යය ඔයාට කියලා දුන්නේ මේ සංවිධානය කියලා. ඔයා ඉගෙනගත්ත ඒ සත්‍යයට ඇලිලා ඉන්න. කලින් කතා කරපු සමර් මෙහෙම කියනවා. “මං හැම වෙලේම මතක් කරගන්නවා එක් කෙනෙක් වරදක් කළා කියන්නේ සභාවේ ඉන්න හැමෝම වැරදි කරනවා කියන එකවත් සංවිධානය වැරදි දේවල් උගන්නනවා කියන එකවත් නෙවෙයි කියලා. මිනිස්සු නරක විදිහට හැසිරුණාට යෙහෝවා කවදාවත් ඒවා අනුමත කරන්නේ නෑ.”

15. එමිලිගේ අද්දැකීමෙන් ඔයා මොනවාද ඉගෙනගන්නේ?

15 එමිලිගේ අද්දැකීම බලන්න. එමිලි බව්තීස්ම වෙලා සතියකට පස්සේ එයාගේ අම්මාව සභාවෙන් අයින් කළා. ඊටපස්සේ අම්මා ජීවත් වුණේ වෙනම. එමිලි මෙහෙම කියනවා. “මං හීනෙකින්වත් හිතුවේ නෑ අම්මා ඒ වගේ දෙයක් කරයි කියලා. ඒක තමයි මගේ ජීවිතේ මට මූණ දෙන්න වුණ අමාරුම දේ. මට අම්මාව ගොඩක් මතක් වෙනවා.” එමිලිට උදව් වුණ දේ ගැන එයා මෙහෙම කියනවා. “මං තනි වුණේ නෑ. තාත්තා මාත් එක්කම හිටියා. සභාවේ අයත් මට ගොඩක් උදව් කළා. එයාලා මට මගේම පවුලේ අය වගේ වුණා. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒකයි අපි හැමෝම එකිනෙකාට ළං වෙලා ඉන්න ඕනෙ, එකිනෙකාව දිරිගන්වන්න ඕනේ.” (1 පේතෘ. 5:9) සහෝදරයන් එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගන්න ප්‍රශ්නයක් එන කල්ම ඉන්න එපා. දැන් ඉඳන්ම එයාලට ළං වෙන්න. එතකොට ඉස්සරහට මොන දේට මූණ දෙන්න වුණත් ඔයා තනි වෙලා නැහැ කියලා ඔයාට දැනෙයි.

16. අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

16 මතක තියාගන්න, යෙහෝවා හික්මවීම් දෙන්නේ ඔහු ආදරේ කරන අයටයි. (හෙබ්‍රෙ. 12:6) ඔහුට ඕනෙ සභාවෙන් අයින් කරපු හැමෝම ආයේ ඔහු ළඟට එනවා දකින්න. (2 පේතෘ. 3:9) ඉතින් ඔයා ආදරේ කරන කෙනෙක්ව සභාවෙන් අයින් කරලා නම් එයාට ආයේ යෙහෝවා ළඟට එන්න උදව් කරන්න වැඩිමහල්ලන් පුළුවන් හැම දේම කරයි කියලා ඔයාට ස්ථිර වෙන්න පුළුවන්.—2 තිමෝ. 2:24, 25.

වැඩිමහල්ලන් දෙන්නෙක් සභාවෙන් අයින් කරපු කෙනෙක්ව බලන් ගිහින්. එක වැඩිමහල්ලෙක් දිග ඇරපු බයිබලයක් අතේ තියාගෙන ඉන්නවා. අනිත් වැඩිමහල්ලා ‘ආයෙත් එන්න’ සඟරාවේ පාඩමක් ඒ කෙනාට පෙන්නනවා.

ඔයා ආදරේ කරන කෙනෙක්ව සභාවෙන් අයින් කළොත් එයාට ආයේ යෙහෝවා ළඟට එන්න වැඩිමහල්ලන් උදව් කරනවා කියලා මතක තියාගන්න (16 ඡේදය බලන්න)f


17. අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

17 අපි කතා කළේ බව්තීස්ම වුණාට පස්සේ ඔයාට මූණ දෙන්න වෙන අභියෝග කීපයක් ගැන විතරයි. ඒත් බය වෙන්න එපා. මොකද ඒ අභියෝගවලට මූණ දෙන්න ඔයාට කලින්ම ලෑස්ති වෙන්න පුළුවන්. ඒත් එක්කම මතක තියාගන්න ඔයාගේ උදව්වට ඉන්නේ ඔයාට උදව් කරන්න පුළුවන් හොඳම කෙනා. ඒ, යෙහෝවා. ඔහු දැනටමත් ඔයාට උදව් කරලා තියෙනවා. ඔහුට ඕනෙ හැමදාටමත් ඔයාට උදව් කරන්නයි. (1 පේතෘ. 5:10) ඉස්සරහට මොන අභියෝග ආවත් ඒවාට මූණ දෙන්න යෙහෝවා ඔයාට ශක්තිය දෙනවා. ඒවා දරාගන්න ඔයාට උදව් කරනවා. ඒ උදව් ඔයා දිගටම පිළිගන්නවා නම් ඔහුගෙන් ඔයාව ඈත් කරන්න ඒ කිසිම දේකට බැරි වෙයි.—ගීතා. 119:165; රෝම 8:38, 39.

මේ අභියෝගවලට මූණ දෙන්න ඔයාට කලින්ම කරන්න පුළුවන් මොනවාද?

  • සභාවේ කෙනෙක් ඔයාගේ හිත රිද්දුවොත්

  • අත්හැරලා ආපු දේවල් ගැන ආයේ ආසාවක් ඇති වුණොත්

  • කෙනෙක්ව සභාවෙන් අයින් කළොත්

ගීතිකාව 154 ප්‍රේමය සදාතනිකයි

a මේ ලිපියෙන් විශේෂයෙන්ම කතා කරන්නේ අලුතින් බව්තීස්ම වුණ අයට වුණත් මේකේ තියෙන තොරතුරුවලින් අපි හැමෝටම ප්‍රයෝජන ගන්න පුළුවන්.

b නම් වෙනස් කරලා තියෙනවා.

c වටහාගැනීමේ හැකියාව තියෙන කෙනෙක්ට පුළුවන් පේන්න තියෙන දේට වඩා දෙයක් දකින්න. අපිට ඒ හැකියාව තියෙනවා නම් කෙනෙක් දෙයක් කියන්න කරන්න පෙලඹෙන්න ඇත්තේ ඇයි කියන දේ අපිට තේරුම්ගන්න පුළුවන්.

d බයිබල් ශිෂ්‍යයන්ට, අලුතින් බව්තීස්ම වුණ අයට එයාලා එක්ක පාඩම කරන අය විතරක් නෙවෙයි සභාවේ ඉන්න අපි හැමෝම ආදරේ පෙන්නන්න ඕනේ. 2021 මාර්තු ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “බයිබල් ශිෂ්‍යයන්ට අපි හැමෝගෙම උදව් ඕනේ” කියන ලිපියේ 15 සහ 16 ඡේද බලන්න.

e පින්තූරවල අදහස: සහෝදරියක් සේවේ යද්දී කට්ටියක් ක්‍රීඩා කරනවා දකිනවා. එයාත් කලින් ඒ ක්‍රීඩාව කරලා තියෙනවා. පස්සේ වෙලාවක ඒ සහෝදරිය ක්‍රීඩිකාවකට ශුභාරංචිය ගැන කියනවා. සමහරවිට එයා කලින් මේ සහෝදරිය එක්ක එකට ක්‍රීඩා කරපු කෙනෙක් වෙන්න ඇති.

f පින්තූරේ අදහස: වැඩිමහල්ලෝ දෙන්නෙක් සභාවෙන් අයින් කරපු කෙනෙක්ව බලන්න ගිහින් එයාට ආයේ යෙහෝවා ළඟට එන්න උදව් කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න