ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 අප්‍රියෙල් 14-19 පි.
  • එකිනෙකාට ළං වෙන එක අපිට යහපත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එකිනෙකාට ළං වෙන එක අපිට යහපත්
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එකිනෙකාට තව ළං වෙන්න ඕනෙ ඇයි?
  • එකිනෙකාට ගෞරව කරන්න
  • ‘ඔයාලා අතරේ බෙදීමක් තියෙන්න බැහැ’
  • ‘අවංක ආදරේ වැඩ කරන විදිහෙන් පේනවා’
  • දෙවියන්ගේ සෙනෙහස ඔයාට දැනෙනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාට තව තව ළං වෙන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 අප්‍රියෙල් 14-19 පි.

පාඩම් ලිපිය 16

ගීතිකාව 87 එන්න! සහනය ලබන්න

එකිනෙකාට ළං වෙන එක අපිට යහපත්

“සහෝදරයන් එකමුතුව ඉන්න එක කොයි තරම් යහපත්ද! කොයි තරම් ප්‍රසන්නද!”—ගීතා. 133:1.

ලිපියේ අරමුණ

එකිනෙකාට තව ළං වෙන්න උදව් වෙන දේවල් ගැනත් එහෙම කරන එකෙන් ලැබෙන ආශීර්වාද ගැනත් බලමු.

1-2. යෙහෝවාට වැදගත් එක දෙයක් මොකක්ද? ඔහු කැමති අපි මොනවා කරනවා දකින්නද?

අපි මිනිස්සුන්ට සලකන විදිහ ගැන යෙහෝවා ගොඩක් සැලකිලිමත්. යේසුස් කිව්වා අපි අපිට ආදරේ කරනවා වගේ අපේ අසල්වැසියාටත් ආදරේ කරන්න ඕනෙ කියලා. (මතෙ. 22:37-39) අසල්වැසියා කියද්දී යෙහෝවාට නමස්කාර කරන්නේ නැති අයත් ඒකට අයිතියි. අපි ඒ අයට ආදරේ පෙන්නද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවියන්ව. මොකද ඔහු “දුෂ්ට අයටත් යහපත් අයටත් හිරු උදා කරවනවා. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්සවනවා.”—මතෙ. 5:45.

2 ඇත්ත, යෙහෝවා හැම කෙනෙක්ටම ආදරෙයි. ඒත් ඔහුට කීකරු වෙන අය ගැන ඔහුගේ හිතේ තියෙන්නේ විශේෂ ආදරයක්. (යොහ. 14:21) ඒ පැත්තෙනුත් අපි ඔහුව ආදර්ශයට ගන්නවා දකින්නයි ඔහුට ඕනේ. ඒ නිසයි අපේ සහෝදර සහෝදරියන්ට “හද පත්ලෙන්ම ආදරේ කරන්න,” එයාලට ‘සෙනෙහසක් පෙන්නන්න’ කියලා ඔහු අපිට කියන්නේ. (1 පේතෘ. 4:8; රෝම 12:10) ඒ ආදරේ, සෙනෙහස හරියට අපි ගොඩක් ආදරේ කරන අපේ නෑයෙක්ට, කිට්ටු යාළුවෙක්ට පෙන්නන ආදරේ, සෙනෙහස වගේ.

3. ආදරේ පෙන්නන එක ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

3 අපේ ගෙදර තියෙන පැළයක් හොඳට වැඩෙන්න නම් ඒක හොඳට බලාගන්න අපි මහන්සි වෙන්න ඕනේ. අපි අතර තියෙන ආදරෙත් ඒ වගේ. ඒක තව වැඩි වෙන්න නම් අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. පාවුල් අපිට උනන්දු කරන්නේ “තමන්ගෙම පවුලේ අයට පෙන්නනවා වගේ ආදරයක් ඔයාලා දිගටම එකිනෙකාට පෙන්නන්න” කියලයි. (හෙබ්‍රෙ. 13:1) යෙහෝවා කැමති එකිනෙකා ගැන අපිට තියෙන ආදරේ අපි තව වැඩි කරගන්නවා දකින්න. ඉතින් අපි අපේ සහෝදරයන්ට තව ළං වෙන්න ඕනෙ ඇයි කියලත් ඒක දිගටම කරන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

එකිනෙකාට තව ළං වෙන්න ඕනෙ ඇයි?

4. ගීතාවලිය 133:1 කියන විදිහට අපි අතර තියෙන එකමුතුකම ගැන අපිට තියෙන අගය රැකගන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)

4 ගීතාවලිය 133:1 කියවන්න. යෙහෝවාට ආදරේ කරන අයට ළං වෙන එක කොච්චර ‘යහපත්ද! ප්‍රසන්නද’ කියලා ගීතිකාකරු කියපු දේ ඇත්තක්. කොච්චර ලස්සන ගහක් වුණත් නිතර දෙවේලේ දකිද්දී කෙනෙක්ට ඒකේ ලස්සන පේන්නේ නැති වෙන්න පුළුවන්. අපි අතර තියෙන එකමුතුකමේ ලස්සනටත් ඒකම වෙන්න පුළුවන්. අපි සහෝදරයන්ව නිතරම වගේ, සතියට කීප සැරයක්ම වගේ දකින නිසා අපි අතර තියෙන එකමුතුකමේ ලස්සන අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න නොදී සහෝදරයන් ගැන අපේ හිතේ දිගටම අගයක් තියාගන්නේ කොහොමද? සභාවේ ඉන්න එක් එක් කෙනා සභාවටයි, අපිටයි කොච්චර වටිනවාද කියලා හිතන්න. එතකොට එයාලා ගැන අපේ හිතේ තියෙන ආදරේ, අගය වැඩි වෙයි.

පින්තූරවල අදහස: 1. සහෝදරියක් කොළවල පාට වෙනස් වුණ ගහක ලස්සන බලනවා. 2. පස්සේ එයා සමුළුවකදී තව සහෝදරියක්ව ආදරෙන් බදාගන්නවා. සමුළුවේ ඉන්න අනිත් අයත් සතුටින් එකිනෙකා එක්ක කතා කරනවා.

අපි අතර තියෙන එක්සත්කමේ ලස්සන හැමදාම දකින්න උත්සාහ කරන්න (4 ඡේදය බලන්න)


5. අපි අතර තියෙන ආදරේ අනිත් අයට බලපාන්නේ කොහොමද?

5 අපේ රැස්වීම්වලට මුල්ම වතාවට එන සමහරුන්ගේ හිතට තදින්ම වදින්නේ අපි අතර තියෙන ආදරේ. එයාලට ඒකම ඇති සත්‍ය ආගම අඳුරගන්න. යේසුස් කිව්වා “ඔයාලා අතරේ ආදරේ තියෙනවා නම් ඔයාලා මගේ ගෝලයන් කියලා හැමෝම දැනගනියි” කියලා. (යොහ. 13:35) චයිත්‍රා, විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න කෙනෙක්. එයා සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමකුත් කළා. දවසක් එයා අපේ සමුළුවකට ආවා. සමුළුවේ පළවෙනි දවස ඉවර වුණාම එයා එයාත් එක්ක පාඩම කරපු කෙනාට මෙහෙම කිව්වා. “මගේ අම්මායි, තාත්තායි කවදාවත් මාව ආදරෙන් බදාගෙන නැහැ. හැබැයි අද දවස ඇතුළත 52දෙනෙක් මාව ආදරෙන් බදාගත්තා! මේ පවුලේ අයගෙන් යෙහෝවාගේ ආදරේ මට දැනුණා. මටත් ඕනෙ මේ පවුලේ කෙනෙක් වෙන්න.” චයිත්‍රා දිගටම පාඩම කරලා, ජීවිතේ වෙනස් කරගෙන 2024 බව්තීස්ම වුණා. එකිනෙකා ගැන අපිට තියෙන ආදරේ අපි පෙන්නන විදිහ අලුත් අය දකිද්දී යෙහෝවාට සේවේ කරන්න එයාලත් පෙලඹෙයි.—මතෙ. 5:16.

6. සහෝදර සහෝදරියන්ට තව ළං වෙන එක අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

6 අපේ සහෝදර සහෝදරියන්ට තව ළං වෙන එක අපිට ආරක්ෂාවක්. පාවුල් මෙහෙම කිව්වා. “දිගටම එකිනෙකාව දිරිගන්වන්න. හැම දවසකම එහෙම කරන්න. එතකොට නොමඟ යවන්න පාපයට තියෙන බලයට ඔයාලාගෙන් කවුරුත් අහු වෙන එකක් නැහැ. ඒකට අහු වුණොත් ඔයාලාගේ හිත් දැඩි වෙයි.” (හෙබ්‍රෙ. 3:13) හිතන්න, අපි ගොඩක් අධෛර්යය වෙලා සත්‍ය මාර්ගයෙන් ඉවතට යන්න පටන්ගන්නවා කියලා. සහෝදරයෙක් ඒක දකිනවා. යෙහෝවාට පුළුවන් අපිට ඕන කරන උදව් දෙන්න එයාව පොලඹවන්න. (ගීතා. 73:2, 17, 23) ඒ වගේ උදව් ලැබෙන එක යහපත් දෙයක්.

7. ආදරෙයි, එකමුතුකමයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? (කොලොස්සි 3:13, 14)

7 අපි අයිති එකිනෙකාට ආදරේ පෙන්නන්න හුඟක් මහන්සි වෙන සෙනඟකට. ඒ නිසා අපි ගොඩක් ආශීර්වාදත් අද්දකිනවා. (1 යොහ. 4:11) උදාහරණෙකට ආදරේ අපිව පොලඹවනවා ‘දිගටම එකිනෙකා ගැන ඉවසන්න.’ ඒක අපිට උදව් වෙනවා අපි අතර තියෙන එකමුතුකම රැකගන්න. (කොලොස්සි 3:13, 14 කියවන්න; එෆී. 4:2-6) මේ පොළොවේ වෙන කිසිම කණ්ඩායමක් අද්දකින්නේ නැති සමාදානයක් අපි අපේ රැස්වීම්වලදී අද්දකින්නේ ඒ නිසයි.

එකිනෙකාට ගෞරව කරන්න

8. සහෝදර සහෝදරියන් එක්ක එකමුතුව ඉන්න යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?

8 දෙවියන්ගේ සෙනඟ අතර තියෙන එක්සත්කම ඇත්තටම ආශ්චර්යයක්. අපි පව්කාරයන් වුණත් ඒ වගේ එකමුතුකමක් අපි අතර තියෙන්නේ යෙහෝවා නිසයි. (1 කොරි. 12:25) බයිබලේ කියනවා ‘එකිනෙකාට ආදරේ කරන විදිහ ගැන දෙවියන් අපිට උගන්නනවා’ කියලා. (1 තෙස. 4:9) ඒ කියන්නේ බයිබලේ මාර්ගයෙන් යෙහෝවා අපිට කියලා දෙනවා එකිනෙකාට ළං වෙන්න අපි මොනවාද කරන්න ඕනෙ කියලා. ඔහුගේ ඉගැන්වීම් හොඳට අධ්‍යයනය කරලා ඒවා අදාළ කරගන්නවා නම් අපිට ‘උගන්නන්න දෙවියන්ට ඉඩ දෙන්න’ අපිට පුළුවන්. (හෙබ්‍රෙ. 4:12; යාකො. 1:25) ඒක කරන්න තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහන්සි වෙන්නේ.

9. එකිනෙකාට ගෞරවේ පෙන්නන එක ගැන රෝම 12:9-13 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

9 එකිනෙකාට තව ළං වෙන්න බයිබලේ අපිට උදව් කරන්නේ කොහොමද? බලන්න රෝම 12:9-13 පාවුල් කියන දේ. (කියවන්න.) එයා කිව්වා “කැමැත්තෙන්ම එක් එක් කෙනාට ගෞරවය පෙන්නන්න” කියලා. ඒකෙන් අදහස් කරන්නේ එකිනෙකාට ‘සෙනෙහස පෙන්නන්න’ අපි මුල් පියවර ගන්න ඕනෙ කියලයි. කොහොමද ඒක කරන්නේ? ඒකට කැමැත්තෙන්ම සමාව දෙන එක, ආගන්තුක සත්කාරය පෙන්නන එක, ත්‍යාගශීලී වෙන එක වගේ දේවල් අපි කරන්න ඕනේ. (එෆී. 4:32) සහෝදරයන් අපිට ළං වෙන කල් බලන් ඉන්නේ නැතුව අපි “කැමැත්තෙන්ම” එයාලට ළං වෙන්න ඕනේ. එතකොට යේසුස් කිව්වා වගේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලබන්න” අපිට පුළුවන්.—ක්‍රියා 20:35.

10. එකිනෙකාට ගෞරවේ පෙන්නන්න අපිට මහන්සි වෙන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

10 කැමැත්තෙන්ම එක් එක් කෙනාට ගෞරවේ පෙන්නන්න කියලා කියනවාත් එක්කම පාවුල් කියනවා “මහන්සි වෙලා වැඩ කරන්න. කම්මැළි වෙන්න එපා” කියලා. මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට ලොකු උද්‍යෝගයක් තියෙනවා. වැඩක් හම්බ වුණාම එයා අතගගා ඉන්නේ නැහැ. හිතෝපදේශ 3:27, 28 මෙහෙම කියනවා. “උදව් ඕනෙ අයට උදව් නොකර ඉන්න එපා. එයාලා වෙනුවෙන් යහපතක් කරන්න පුළුවන්කම තියෙද්දී ඒක කරන්න අදිමදි කරන්න එපා.” ඉතින් කෙනෙක්ට උදව්වක් ඕනෙ කියලා දකිද්දී පස්ස ගහන්නෙවත් ඒක වෙන කෙනෙක් කරයි කියලා හිතන්නෙවත් නැතුව ඉක්මනින්ම එයාගේ උදව්වට යන්න. මහන්සි වෙලා පුළුවන් හැම දේම එයා වෙනුවෙන් කරන්න.—1 යොහ. 3:17, 18.

තරුණ සහෝදරයෙක් ඉණිමඟක නැඟලා වයසක සහෝදරයෙක්ගේ වහලේ පීල්ල සුද්ද කරනවා.

අපි තමයි උදව් ඕන සහෝදරයන්ට උදව් කරන්න මුල් පියවර ගන්න ඕනේ (10 ඡේදය බලන්න)


11. එකිනෙකාට තව ළං වෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

11 එක් එක් කෙනාට ගෞරවේ පෙන්නන්න පුළුවන් තව විදිහක් තමයි අනිත් අය අපේ හිත රිද්දද්දී ඉක්මනින්ම සමාව දෙන එක. එෆීස 4:26 මෙහෙම කියනවා. “ඉර බහින්න කලින් කේන්තිය නැති කරගන්න.” 27වෙනි පදයේ කියනවා අපි එහෙම කළොත් ‘අපිව පාලනය කරන්න යක්ෂයාට කිසිම ඉඩක් නොදී ඉන්න’ අපිට පුළුවන් කියලා. යෙහෝවා බයිබලේ මාර්ගයෙන් අපිට ආයේ ආයේ මතක් කරනවා එකිනෙකාට සමාව දෙන්න කියලා. කොලොස්සි 3:13 කියනවා ‘හැම වෙලාවෙම මුළු හදවතින්ම සමාව දෙන්න’ කියලා. අනිත් අයගේ අඩුපාඩුවලට සමාව දෙන එක තමයි එයාලට තව ළං වෙන්න අපිට තියෙන හොඳම ක්‍රමය. ‘දෙවියන්ගේ බලයෙන් අපිව එක්සත් කරලා තියෙන නිසා අපි අතර තියෙන එක්සත්කම රැකගෙන සමාදානයෙන් ඉන්න’ ඒකෙන් අපිට පුළුවන්.—එෆී. 4:3.

12. අනිත් අයට සමාව දෙන්න යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?

12 ඇත්ත, අපේ හිත රිද්දපු කෙනෙක්ට සමාව දෙන එක ලේසි නැහැ. ඒත් දෙවියන්ගේ බලයේ උදව්වෙන් අපිට ඒක කරන්න පුළුවන්. ‘එකිනෙකාට සෙනෙහසක් පෙන්නන්න, මහන්සි වෙලා වැඩ කරන්න’ කියලා උනන්දු කළාට පස්සේ බයිබලේ කියන්නේ “හිතේ උද්‍යෝගයක්, උනන්දුවක් ඇති කරන්න දෙවියන්ගේ බලයට ඉඩ දෙන්න” කියලයි. (රෝම 12:11) ඒ කියන්නේ උනන්දුවක්, උද්‍යෝගයක් ඇති කරගන්න අපිට උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන්. එකිනෙකාට සෙනෙහස පෙන්නන එක, කැමැත්තෙන්ම සමාව දෙන එක වගේ දෙවියන් කැමති දේවල් කරන්න ඔහුගේ බලය අපිට උදව් කරනවා. ඒ නිසයි යෙහෝවාගේ උදව් ඉල්ලලා අපි ඔහු ඉස්සරහා වැඳ වැටෙන්න ඕනේ.—ලූක් 11:13.

‘ඔයාලා අතරේ බෙදීමක් තියෙන්න බැහැ’

13. අපි අතර බෙදීම් ඇති වෙන්නේ ඇයි?

13 සභාව හැදිලා තියෙන්නේ ‘හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ගෙන්.’ (1 තිමෝ. 2:3, 4) ඒ නිසා අපි අඳින පලඳින විදිහ, කොණ්ඩ සකස් කරන විදිහ, ගන්න ප්‍රතිකාර, විනෝදයට කරන දේවල් වගේ පැතිවලදී අපේ තේරීම් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. අපි පරෙස්සම් නොවුණොත් ඒ වෙනස්කම් නිසා අපි අතර බෙදීම් ඇති වෙයි. (රෝම 14:4; 1 කොරි. 1:10) හැබැයි එකිනෙකාට ආදරේ කරන විදිහ ගැන දෙවියන් අපිට උගන්නලා තියෙන නිසා අපි කරන තේරීම් අනිත් අයගේ තේරීම්වලට වඩා හොඳයි කියලා අපි පෙන්නන්නේ නැහැ. අපි දේවල් කරන විදිහ තමයි හොඳම විදිහ කියලා කියන්නෙත් නැහැ.—ෆිලි. 2:3.

14. අපි හැම තිස්සේම උත්සාහ කරන්න ඕනෙ මොන වගේ අය වෙන්නද? ඒ ඇයි?

14 සභාවේ බෙදීම් ඇති වෙන එක වළක්වන්න පුළුවන් තව විදිහක් තමයි අනිත් අයට ප්‍රබෝධයක් දැනෙන විදිහට වැඩ කරන එක. (1 තෙස. 5:11) අක්‍රියාශීලී වුණ, සභාවෙන් අයින් කරපු හුඟදෙනෙක් මෑත කාලවලදී ආයේ සභාවට එන්න පටන්ගත්තා. අපි එයාලව ආදරෙන් පිළිගන්නවා. (2 කොරි. 2:8) අවුරුදු දහයක් තිස්සේ අක්‍රියාශීලී වෙලා හිටපු සහෝදරියක් ආයේ රැස්වීමකට ආවා. එයා මෙහෙම කියනවා. “හැමෝම මා එක්ක හිනා වෙලා මාව ආදරෙන් පිළිගත්තා.” (ක්‍රියා 3:19) ඒ පුංචි දේ එයාට උදව් වුණේ කොහොමද? එයා මෙහෙම කියනවා. “නැති වුණ සතුට ජීවිතේට ආයේ එකතු කරගන්න යෙහෝවා මට උදව් කරනවා කියලයි මට දැනුණේ.” අනිත් අය දිරිගැන්වෙන විදිහට අපි හැම වෙලාවෙම වැඩ කරනවා නම් යේසුස්ට පුළුවන් “දරාගන්න බැරි බරකින් පීඩා විඳින, වෙහෙසට පත් වෙලා ඉන්න” අයව ප්‍රබෝධවත් කරන්න අපිව පාවිච්චි කරන්න.—මතෙ. 11:28, 29.

15. සභාවේ එක්සත්කම රැකගන්න අපිට කරන්න පුළුවන් තව දෙයක් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

15 අපි කියන දේවල් ගැන සැලකිලිමත් වෙන එකෙනුත් එක්සත්කම රැකගන්න අපිට පුළුවන්. යෝබ් 12:11 මෙහෙම කියනවා. “දිව කෑමවල රස තෝරනවා වගේ දෙසවන් වචන සෝදිසි කරලා බලන්නේ නැද්ද?” හොඳ කෝකියෙක් එයා හදන ඕනෙම කෑමක් අනිත් අයට පිළිගන්වන්න කලින් ඒවාවල රහ බලනවා. අන්න ඒ වගේ අපිත් දෙයක් කියන්න කලින් ඒ ගැන හොඳට හිතන්න ඕනේ. (ගීතා. 141:3) ‘මං මේ කියන්න යන දේ නිසා අහගෙන ඉන්න කෙනා ප්‍රබෝධවත් වෙයිද, එයාට ශක්තියක් ලැබෙයිද’ කියලා අපි හැම තිස්සේම හිතන්න ඕනේ.—එෆී. 4:29.

සහෝදරයෙක් කෑමක් හදලා ඒක එයාගේ ගෙදරට ඇවිත් ඉන්න අයට දෙන්න කලින් ඒකේ රහ බලනවා.

කියන්න කලින් හොඳට හිතන්න (15 ඡේදය බලන්න)


16. දිරිගැන්වෙන විදිහට විශේෂයෙන්ම කතා කරන්න ඕනෙ කවුද?

16 විශේෂයෙන්ම ස්වාමිපුරුෂයන් සහ දෙමාපියන් අනිත් අය දිරිගැන්වෙන විදිහට කතා කරන්න ඕනේ. (කොලො. 3:19, 21; තීත. 2:4) රැළ බලාගන්න එඬේරුන් විදිහට වැඩිමහල්ලනුත් බැටළුවන්ට ප්‍රබෝධයක්, සහනයක් දැනෙන විදිහට කතා කරන්න ඕනේ. (යෙසා. 32:1, 2; ගලා. 6:1) ඇත්තටම “හරිම වෙලාවේ කියන හොඳ වචනයක් කොච්චර වටිනවාද!”—හිතෝ. 15:23.

‘අවංක ආදරේ වැඩ කරන විදිහෙන් පේනවා’

17. සහෝදරයන් ගැන අපිට තියෙන ආදරේ අවංක එකක් කියලා ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

17 යොහන් මෙහෙම කිව්වා. “අපේ ආදරේ වචනවලට විතරක් සීමා වෙන්න හොඳ නැහැ. ඒක අවංක ආදරයක් වෙන්න ඕනේ. ඒක අපි වැඩ කරන විදිහෙන් පේන්න ඕනේ.” (1 යොහ. 3:18) අපිට ඕනෙ සහෝදරයන්ට ආදරෙයි කියලා මවාපාන්න නෙවෙයි ඒක හදවතින්ම කරන්නයි. ඒක කරන්නේ කොහොමද? සහෝදර සහෝදරියන් එක්ක වැඩිපුර කාලේ ගත කරද්දී අපි එයාලට තව ළං වෙනවා. එයාලා ගැන තියෙන ආදරෙත් වැඩි වෙනවා. ඉතින් එයාලා එක්ක කාලේ ගත කරන්න අවස්ථා හොයන්න. රැස්වීම්වලදී, සේවේදී ඒක කරන්න පුළුවන්. එයාලව බලන්න යන්න. එහෙම කරද්දී ‘එකිනෙකාට ආදරේ කරන විදිහ ගැන දෙවියන් අපිට උගන්නලා තියෙනවා’ කියලා අපි පෙන්නනවා. (1 තෙස. 4:9) මේ වචන කොච්චර ඇත්තද කියලත් අපි අද්දකියි. “සහෝදරයන් එකමුතුව ඉන්න එක කොයි තරම් යහපත්ද! කොයි තරම් ප්‍රසන්නද!”—ගීතා. 133:1.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • එකිනෙකාට ළං වෙන එක අපිට යහපත් කියන්නේ ඇයි?

  • කැමැත්තෙන්ම අනිත් අයට ගෞරවේ පෙන්නන්න පුළුවන් කොහොමද?

  • එක්සත්කම රැකගන්න අපිට පුළුවන් කොහොමද?

ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න