ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 පෙබරවාරි 14-19 පි.
  • බව්තීස්මය ඔයාගේ ඉලක්කය කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බව්තීස්මය ඔයාගේ ඉලක්කය කරගන්න
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමහරු අදිමදි කරන්නේ ඇයි?
  • අවසානය ළඟයි කියලා මනසේ තියාගන්න
  • දැන්ම පියවර ගන්න එකෙන් ප්‍රයෝජන
  • බව්තීස්මයෙන් අදහස් වෙන දේ තේරුම්ගන්න
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්ට ජීවිතේ කැප කරන්න ඔයා ලෑස්තිද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මයෙන් පස්සෙත් යේසුස් අනුව යන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්ම වෙන එක කල් දාන්න එපා!
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 පෙබරවාරි 14-19 පි.

2026 අප්‍රියෙල් 20-26

ගීතිකාව 49 දෙවිගේ හදවත සතුටු කරමු

බව්තීස්මය ඔයාගේ ඉලක්කය කරගන්න

“දැන් තමයි කරුණාව පෙන්නන කාලේ! දැන් තමයි ගැලවීම ලබා දෙන දවස!”—2 කොරි. 6:2.

ලිපියේ අරමුණ

යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන බව්තීස්ම වෙන්න කාලේ දැනුයි.

1. (අ) බව්තීස්ම වුණාම ලැබෙන සමහර ආශීර්වාද මොනවාද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

ඔයා ජීවිතේ යෙහෝවාට කැප කරලා බව්තීස්ම වුණ කෙනෙක්ද? එහෙමනම් ඔයා මේ වෙද්දීත් ඔයාගේ වැරදිවලට සමාව ඉල්ලලා, නිදොස් හෘද සාක්ෂියක් ඇතුව යෙහෝවාට සේවේ කරනවා. (1 පේතෘ. 3:21) ඔයා ඔයාගේ සභාවේ ඉන්න යෞවන අයටයි, අලුත් අයටයි හොඳ ආදර්ශයක්. ඔයා අරන් තියෙන්නේ ඥානවන්ත තීරණයක්. ඒත් ඔයා තවමත් බව්තීස්ම වෙලා නැත්නම්? අපි දන්නවා ඔයා යෙහෝවාට ගොඩක් ආදරෙයි, ඔයාට ඕනෙ ඔහු කැමති දේ කරන්න කියලා. ඔයාගේ වැරදිවලට සමාව අරන්, යෙහෝවාගේ කිට්ටු යාළුවෙක් වෙන්න නම් බව්තීස්ම වෙන්න ඕනෙ කියලා ඔයා දන්නවා. (ක්‍රියා 2:38-40) ඒත් ඔයා බව්තීස්ම වෙන්න අදිමදි කරනවාද? ඔයාට තියෙන බාධා ජය ගන්න පුළුවන් කොහොමද? මේ ලිපියෙන් අපි පැති තුනක් බලමු. (1) සමහරු බව්තීස්ම වෙන්න අදිමදි කරන්නේ ඇයි? (2) අවසානය ළඟයි කියලා නිතරම මනසේ තියාගන්න එක ඥානවන්ත ඇයි? (3) බව්තීස්ම වෙන්න ඕන කරන වෙනස්කම් ඉක්මනින්ම කරගන්න එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

සමහරු අදිමදි කරන්නේ ඇයි?

2. සමහරු බව්තීස්ම වෙන්න අදිමදි කරන්නේ ඇයි?

2 සමහරු බව්තීස්ම වෙන්න අදිමදි කරන්නේ බය නිසයි. යෙහෝවාට සේවේ කරන්න ආස වුණත් සමහරු හිතනවා ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන්න එයාලට බැරි වෙයි කියලා. ඔයාටත් එහෙම හිතෙනවා නම් ඔයා හැම දේම තිතටම කරයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලත් ඔයා ඔයාගේ හොඳම දේ දෙනවා නම් ඔහු සතුටු වෙනවා කියලත් පෙන්නන බයිබල් පද කියවන්න. (ගීතා. 103:13, 14; කොලො. 3:23) විරුද්ධවාදිකම්වලට ඔයා බයයි නම් ගීතිකාකරුට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. එයා මෙහෙම කිව්වා. “යෙහෝවා මගේ පැත්තේ ඉන්න නිසා මම කිසිම දේකට බය වෙන්නේ නැහැ. මිනිසුන්ට මට විරුද්ධව කරන්න පුළුවන් මොනවාද?”—ගීතා. 118:6.

3. තවත් අය බව්තීස්මය පරක්කු කරන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

3 සමහරු බව්තීස්මය කල් දාන්නේ එයාලට දැනුම මදි කියලා හිතන නිසයි. ඒත් බව්තීස්ම වෙන්න බයිබලේ තියෙන හැම දේම දැනන් ඉන්න ඕනෙද? මේ සිද්ධිය බලන්න. දවසක් භූමිකම්පාවක් ඇවිල්ලා පාවුලුයි, සීලසුයි හිටපු හිරගෙදර හෙල්ලිලා ගියා. ඒ නිසා එයාලට අවස්ථාවක් ලැබුණා හිරගෙදර භාරකරුටයි, එයාගේ ගෙදර අයටයි දේශනා කරන්න. පාවුල්වයි, සීලස්වයි බේරගන්න දෙවියන් තමයි භූමිකම්පාවක් ගෙනාවේ කියලා ඒ නිලධාරියායි, පවුලේ අයයි තේරුම්ගත්තා. එදා රෑ එයාලා යෙහෝවා ගැනයි, යේසුස් ගැනයි ඉගෙනගත්තා. ප්‍රතිඵලයක් විදිහට එයාලා ‘පරක්කු කරන්නේ නැතුව බව්තීස්ම වුණා.’ (ක්‍රියා 16:25-33) ඔයාත් යෙහෝවාව අඳුරගෙන ඉන්නවා නම්, මුළු හදවතින්ම ඔහුට ආදරේ කරනවා නම්, බයිබලේ තියෙන මූලික ඉගැන්වීම් ගැන ඔයාට අවබෝධයක් තියෙනවා නම්, කරපු වැරදි ගැන පසුතැවෙනවා නම්, දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට එකඟව දිගටම ජීවත් වෙන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා නම් බව්තීස්ම වෙන්න ඔයාටත් පුළුවන්.—මාක් 12:30.

පාවුල් සහ සීලස් හිරගෙදර භාරකරුටයි, එයාගේ පවුලේ අයටයි රාත්‍රියේ දේශනා කරනවා. එයාලා හැමෝම හරිම උනන්දුවෙන් අහන් ඉන්නවා.

පාවුලුයි, සීලසුයි හිරගෙදර භාරකරුටයි, එයාගේ පවුලේ අයටයි දේශනා කළාම එයාලා ‘පරක්කු කරන්නේ නැතුව බව්තීස්ම වුණා’ (3 ඡේදය බලන්න)


4. සමහරු බව්තීස්මය කල් දාන්නේ තව මොන හේතු නිසාද? (පින්තූරයත් බලන්න.)

4 සමහරු වෙනස්කම් කරගෙන යෙහෝවාව සතුටු කරන්න කැමති වුණත් ඒ වෙනුවෙන් එයාලට කරන්න වෙන කැප කිරීම් ගැන ගොඩක් හිතනවා. ඇත්ත, ඕනම තීරණයක් ගන්න කලින් ඒක අපිට කොහොම බලපායිද කියලා ගණන් බලන්න ඕනේ. (ලූක් 14:27-30) සත්‍යයේ හැදී වැඩුණ කැන්ඩිස් වැඩිහිටියෙක් වුණාට පස්සේ ආයෙත් බයිබල් පාඩමක් කළා. එයා මෙහෙම කියනවා. “යෙහෝවාව සතුටු කරන්න මං මොනවාද කරන්න ඕනෙ, යෙහෝවා මං කරන සමහර දේවලට අකමැතියි කියලා මං දැනං හිටියා. ඒත් මං ඒ ජීවිතේට ආස කළා. මං දැනං හිටියා ඒවා අත්හරින එක මට ලේසි නෑ කියලා.” තවත් අය හිතනවා ‘දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිතිවලට එකඟව එයාලට ජීවත් වෙන්න බැරි වෙයි’ කියලා. එයාලා හිතනවා බව්තීස්ම වුණාට පස්සේ එයාලා අතින් බරපතළ වරදක් වෙලා එයාලව සභාවෙන් අයින් කරයි කියලා. ඔයාත් බව්තීස්මය කල් දාන්නේ ඒ වගේ හේතු නිසා නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්?

සහෝදරියක් කාන්තාවක් එක්ක බයිබල් පාඩමක් කරනවා. සහෝදරිය කතා කරකර ඉද්දී ඒ කාන්තාව නයිට් ක්ලබ් එකක එයාගේ යාළුවොත් එක්ක බීලා නටන විදිහ එයා හිතින් මවාගන්නවා.

සමහරු දෙවියන්ට සේවේ කරන්න කැමති වුණත් ඒ වෙනුවෙන් කැප කරන්න වෙන දේවල් ගැන හිතලා වධ වෙනවා (4 ඡේදය බලන්න)


5. බව්තීස්ම වෙන්න අදිමදි කරනවා නම් ඔයා වැඩියෙන් හිතන්න ඕනෙ මොකක් ගැනද? (මතෙව් 13:44-46)

5 අපි දෙයක් ගද්දී ඒකට යන ගාණ විතරක් නෙවෙයි ඒක කොච්චර වටිනවාද කියලත් බලනවා. ගෙවන ගාණට වඩා ගන්න දේ වටිනවා නම් අපි ඉක්මනටම ඒක මිල දීලා ගන්නවා. බව්තීස්මය ගැන හිතද්දීත් ඔයා කරන්න ඕනෙ ඒ වගේ දෙයක්. වෙනස්කම් කරගන්න ඔයාට කරන්න වෙන කැප කිරීම් ගැන වැඩියෙන් හිතනවා වෙනුවට යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එකේ වටිනාකම ගැන හිතන්න. ඒක තේරුම් කරන්න යේසුස් උදාහරණ දෙකක් කිව්වා. (මතෙව් 13:44-46 කියවන්න.) ඒ උදාහරණ දෙකේ පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාටම හුඟක් වටිනා දෙයක් හම්බ වුණා. එයාලා ඒක ගන්න එයාලා ළඟ තිබුණ හැම දේම වික්කා. ඔයාටත් හම්බ වෙලා තියෙන්නේ මිල කරන්න බැරි තරම් වටිනා දෙයක්. ඒ, දේවරාජ්‍යය ගැන සත්‍යය. ඉතින් ජීවිතේ වෙනස්කම් කරගන්න කරන්න වෙන කැප කිරීම් ගැන ඔයා හිතහිත ඉන්නවා නම් යේසුස් කියපු ඒ උදාහරණ දෙක ගැන හොඳට හිතන්න. ඊටපස්සේ ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මට හම්බ වෙලා තියෙන මේ දේ වටිනවා කියලා මට ස්ථිරද? යෙහෝවා එක්ක තියෙන බැඳීම, ඔහු මට දීලා තියෙන බලාපොරොත්තුව, මට ඉන්න සහෝදර පවුල ගැන මට ලොකු අගයක් තියෙනවාද?’ ඒවාට ඔයා දෙන උත්තර ඔයාට උදව් වෙයි සත්‍යය ගැන ඔයාට තියෙන අගය තව වැඩි කරගන්න වගේම හදාගන්න ඕන පැති තේරුම්ගන්න.

6. වෙනස්කම් කරගන්න කැමති හදවතක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

6 දේවරාජ්‍යයේ පණිවිඩේ ඇහුවත් සමහරුන්ගේ හදවතේ තත්වේ නිසා එයාලා වෙනස්කම් කරගන්නේ නැහැ කියලා වපුරන කෙනෙක් ගැන කියපු උදාහරණේදී යේසුස් කිව්වා. ඒත් තවත් අය “හොඳ, අවංක හදවතකින්” ඒ පණිවිඩේ අහලා වෙනස්කම් කරගන්නවා. (ලූක් 8:5-15) ‘ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න තරම් හොඳ හදවතක් ඔයාට නැහැ’ කියලා හිතලා ඔයා වධ වෙනවා නම් උත්සාහය අත්හරින්න එපා. දෙවියන්ගේ උදව්වෙන් ඔහුගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න පුළුවන් විදිහට “හදවත අලුත් කරගන්න” ඔයාට පුළුවන්. හදවත කියන පස බුරුල් කරලා, ඉගෙනගත්ත දේවල් අදාළ කරගෙන, පල දරන්න උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න.—එස. 18:31; 36:26.

7-8. සමහර යෞවන අය බව්තීස්ම වෙන එක පරක්කු කරන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

7 යෙහෝවාට ආදරේ කරන සමහර යෞවනයන් අනිත් අයගෙන් එන බලපෑම් නිසා බව්තීස්ම වෙන එක පරක්කු කරනවා. උදාහරණෙකට සමහර ගුරුවරු ළමයින්ට කියනවා “බඳින්නේ නැතුව එකට ඉන්න එක, සමලිංගික ආශ්‍රය වගේ දේවල් දැන් සාමාන්‍යයි” කියලා. ඒත් ඒ වගේ උපදෙස් හිතට ගත්තොත් ඒකෙන් ඔයාට ලොකු හානියක් වෙයි. (ගීතා. 1:1, 2; හිතෝ. 7:1-5) ඔයාත් ගීතිකාකරුව ආදර්ශයට ගන්නවා නම් ඔයාට ඒ අනතුරුවලින් බේරෙන්න පුළුවන්. එයා යෙහෝවාට කිව්වා “මගේ ගුරුවරුන් හැමෝටම වඩා මට හොඳ වටහාගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ඔබේ සිහිගැන්වීම් ගැන මම නිතරම කල්පනා කරනවා” කියලා.—ගීතා. 119:99.

8 සමහර දෙමාපියන් බව්තීස්මය කියන ඉලක්කයට යන්න දරුවන්ට බාධා කරනවා. එයාලා වැඩිපුර හිතන්නේ දරුවාගේ අධ්‍යාපනය ගැන නැත්නම් එයාලා කරන්න යන රස්සාව ගැන. තවත් අය දෙවියන්ට කරන සේවේ ඉලක්ක තියලා වැඩ කරන්න දරුවන්ට උදව් කරන්නේ නැහැ. ඔයාටත් හිතෙනවාද බව්තීස්මය කියන ඉලක්කයට යන්න ඔයාගේ දෙමාපියන්ට මීට වඩා ඔයාට හයියක් වෙන්න පුළුවන් කියලා? එහෙමනම් ඔයාගේ දෙමාපියන් එක්ක ඒ ගැන කතා කරන්න. මතක තියාගන්න යෙහෝවාගේ යාළුවෙක් වෙන්න වයස බාධාවක් නෙවෙයි.—හිතෝ. 20:11.

යෞවනයෙක් එයාගේ දෙමාපියන් එක්ක කතා කරද්දී ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 23 පාඩමේ තියෙන දේවල් ගැන කියනවා.

බව්තීස්ම වෙන්න තියෙන ආසාව ගැන ඔයාගේ දෙමාපියන් එක්ක කතා කරන්න (8 ඡේදය බලන්න)


9. සමහරු බව්තීස්ම වෙන එක පස්සට දාන්නේ ඇයි?

9 තවත් අයට බව්තීස්ම වෙන්න පුළුවන්කම තිබුණත් එයාලා දන්න කියන තව කෙනෙක් බව්තීස්ම වෙන කල් ඉන්න ඕනෙ කියලා හිතලා ඒක පස්සට දානවා. උදාහරණෙකට කෙනෙක්ට ඕනෙ ඇති එයාගේ යාළුවා එක්ක නැත්නම් පවුලේ කෙනෙක් එක්ක එකම දවසේ බව්තීස්ම වෙන්න. ඒකේ වරදක් නැහැ. ඒත් ඒ වගේ හේතුවක් නිසා බව්තීස්මය කල් දාන එක ඥානවන්තද? මතක තියාගන්න ඔයා කැප වෙන එක ඔයා පෞද්ගලිකව යෙහෝවාට වෙන පොරොන්දුවක්. ඔයාගේ බව්තීස්මය අනිත් අය කරන දේවල් මත තීරණේ වෙන්න ඕන දෙයක් නෙවෙයි.—රෝම 14:12.

අවසානය ළඟයි කියලා මනසේ තියාගන්න

10. සමහරු දියුණු වෙන්නේ නැත්තේ ඇයි?

10 බව්තීස්ම වෙන එක කල් දාන්න සමහරුන්ට තවත් හේතුවක් තියෙනවා. එයාලා හිතනවා අවසානය එන්න තව සෑහෙන කාලයක් තියෙනවා කියලා. එහෙම හිතන එක ඥානවන්ත දෙයක්ද? යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “ඔයාලත් සූදානමින් ඉන්න. මොකද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔයාලා හිතන්නේ නැති පැයකදියි.”—ලූක් 12:40.

11. යෙහෝවාව තව වැඩියෙන් අඳුරගන්න තරමට ඔහුගේ ආඥා ගැන අපිට දැනෙන්නේ කොහොමද? (ගීතාවලිය 119:60)

11 අපි යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වෙන්න ඕනෙ ඔහු ගැන අපිට තියෙන ආදරේ නිසයි. අපි අපේ ආදරණීය දෙවියන් ගැන තව වැඩියෙන් දැනගද්දී ඔහු ආඥා දීලා තියෙන්නේ අපේම හොඳට කියලා අපිට තව වැඩියෙන් තේරෙනවා. කල් දාන්නේ නැතුව ඒවා පිළිපදින්නත් අපි පෙලඹෙනවා. (ගීතාවලිය 119:60 කියවන්න.) යෙහෝවාගේ ආඥාවලට ඉක්මනින්ම කීකරු වෙන්න තියෙන තව හේතුවක් ගැන යාකොබ් කියනවා. ඒ, හෙට මොනවාද වෙන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැති එක. “හරි දේ” කරන්න අපිට තව දවසක් ලැබෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි කල් නොදා අදම හරි දේ කරන්න ඕනේ.—යාකො. 4:13-17.

12. මිදිවත්තක වැඩ කරන අය ගැන යේසුස් කියපු උදාහරණෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 ඒත් සමහරු හිතනවා දැන් බව්තීස්ම වුණත් පස්සේ බව්තීස්ම වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා. එයාලා එහෙම හිතන්නේ මිදිවත්තක වැඩ කරපු සේවකයන් ගැන යේසුස් කියපු උදාහරණේ මනසේ තියාගෙන. යේසුස් කිව්වා පැයක් විතරක් වැඩ කරපු අයටත් මුළු දවසම වැඩ කරපු අයට ලැබුණ කුලියම හම්බ වුණා කියලා. ඒත් ඇයි එයාලා මුළු දවසම වැඩ කරන්නේ නැතුව පැයක් විතරක් වැඩ කළේ? එයාලා කිව්වා “අපිව කවුරුත් වැඩට ගත්තේ නැහැ” කියලා. එයාලා දවසම වැඩ කළේ නැත්තේ කම්මැළිකම නිසා නෙවෙයි, කවුරුත් එයාලව වැඩට ගත්තේ නැති නිසයි. හැබැයි එයාලට වැඩට එන්න කියපු ගමන්ම එයාලා වැඩ පටන්ගත්තා. (මතෙ. 20:1-16) අද යේසුස් අපිටත් අඬගහනවා ඔහුගේ ගෝලයන් වෙලා, ශුභාරංචිය දේශනා කරන වැඩේට හවුල් වෙන්න කියලා. ඉතින් අපිත් ඉක්මනින් ඒ ආරාධනාව පිළි අරන් වැඩේට බහින්න ඕනේ.

13. ලොත්ගේ බිරිඳට වෙච්ච දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 සමහරු බව්තීස්ම වෙන්න ඕන කරන වෙනස්කම් කරගන්නේ නැත්තේ අවසානය එන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ඒ වෙනස්කම් කරගන්න පුළුවන් කියලා හිතන නිසයි. හැබැයි කල් දාන්න දාන්න ඒ වෙනස්කම් කරගන්න එක අමාරු වෙනවා. ඒකයි යේසුස් ඔහුගේ ගෝලයන්ට අනතුරු ඇඟෙව්වේ “ලොත්ගේ බිරිඳට වෙච්ච දේ අමතක කරන්න එපා” කියලා. (ලූක් 17:31-35) සොදොම්, ගොමෝරා නගර යෙහෝවා ඉක්මනින්ම විනාශ කරනවා කියලා ලොත්ගේ බිරිඳ දැනන් හිටියා. ඒත් එයාට බැරි වුණා එයා අත්හැරලා ආපු දේවල් හිතින් අත්හැරගන්න. (උත්. 19:23-26) එයාට වුණ දෙයින් තේරෙනවා වෙනස්කම් කරගන්න යෙහෝවා අපිට හැමදාටම කාලේ දෙන්නේ නැහැ කියලා. ඒකට අවසානයක් තියෙනවා. එතකොට ඔයා පරක්කු වැඩි වෙයි.—ලූක් 13:24, 25.

14. අවසානය ගැන තියෙන බයිබල් අනාවැකිවලට ඔයා අවධානය දෙන්න ඕනෙ ඇයි?

14 ගත වෙන හැම දවසක් ගාණේම ලෝකේ පුරාම වෙන සිද්ධීන්වලින් පේන්නේ අවසානය ගැන බයිබලේ කියලා තියෙන අනාවැකි ඉටු වෙනවා කියලයි. සමහරවිට ඒ දේවල් ඔයා ඉන්න ප්‍රදේශයේ වෙන්නේ නැතුව ඇති. ඒත් ලෝකේ පුරාම ඒ දේවල් වෙනවා දකිද්දී බව්තීස්ම වෙන්න ඕන කරන වෙනස්කම් ඉක්මනින්ම කරගන්න ඔයා පෙලඹෙයි. පළවෙනි සියවසේදී පේතෘස් ක්‍රිස්තියානීන්ට කියපු දෙයක් බලන්න. එයා කිව්වා “හැම දේකම අවසානය ළං වෙලා තියෙන” නිසා “හොඳ සිහිකල්පනාවෙන් ඉන්න” කියලා. (1 පේතෘ. 4:7) පේන විදිහට පේතෘස් ඒ කතා කළේ යුදෙව් සමාජයේ අවසානය ගැනයි. පේතෘස් ඒක ලියපු අය හිටියේ යෙරුසලමෙන් ගොඩක් ඈත. ඒ නිසා යෙරුසලමේ විනාශය එයාලට කෙළින්ම බලපාන්නේ නැහැ. (1 පේතෘ. 1:1) හැබැයි ඒ අනාවැකිය ඉටු වෙනවා එයාලා දකිද්දී යෙහෝවා දීලා තියෙන අනිත් පොරොන්දුත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන විශ්වාසේ තව වැඩි වෙනවා. අවසානය ගැන බයිබලේ දීලා තියෙන අනාවැකි එකින් එක ඉටු වෙනවා ඔයාත් දකිද්දී අවදියෙන් ඉඳලා, බව්තීස්ම වෙන්න කරන්න ඕන වෙනස්කම් කරගන්න ඔයා පෙලඹෙයි.

15. යෙහෝවාගේ දවසට මූණ දෙන්න ලෑස්ති පිට ඉන්න පුළුවන් කොහොමද? (2 පේතෘස් 3:10-13)

15 පේතෘස්ගේ දෙවෙනි ලිපියේ එයා පැහැදිලි කළා යෙහෝවාගේ දවසට මූණ දෙන්න අපිට ලෑස්ති පිට ඉන්න පුළුවන් කොහොමද කියලා. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට ඒ දවස එන්න අවුරුදු ගාණක් තිබුණා. ඒත් පේතෘස් එයාලට කිව්වා “ඒ දවස මනසේ නිතරම තියාගන්න,” ඒ කියන්නේ “ඒක එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න” කියලා. (2 පේතෘස් 3:10-13 කියවන්න, පාදසටහන) ඒ දවස එන කල් ආසාවෙන් බලන් ඉන්න එකෙන්, ඒකට ලෑස්ති පිට ඉන්න එකෙන් අපිටත් පුළුවන් අපි ඒ දවස මනසේ තියාගෙනයි ඉන්නේ කියලා පෙන්නන්න. අපි ඒ දවස එන කල් ආසාවෙන් නම් ඉන්නේ අපේ ‘හැසිරීම ශුද්ධව තියාගන්න ඕනේ. අපි කරන දේවල්වලින් දෙවියන් ගැන තියෙන භක්තිය පේන්න ඕනේ.’ ඒක දකිද්දී යෙහෝවා ගොඩක් සතුටු වෙයි. ඔයා කැප වෙලා බව්තීස්ම වෙද්දී යෙහෝවාට ඊටත් වඩා සතුටක් දැනෙයි.

දැන්ම පියවර ගන්න එකෙන් ප්‍රයෝජන

16. බව්තීස්ම වෙන්න හොඳම කාලේ මොකක්ද? (2 කොරින්ති 6:1, 2) (පින්තූරත් බලන්න.)

16 බව්තීස්මය කියන ඉලක්කය ජය ගන්න හොඳම කාලේ දැනුයි. (2 කොරින්ති 6:1, 2 කියවන්න.) ඉතියෝපියානු නිලධාරියා තේරුම්ගත්තා ඉක්මනටම බව්තීස්ම වෙන එක වැදගත් කියලා. ශුභාරංචිය ගැන ෆිලිප්ගෙන් දැනගත්තාට පස්සේ බව්තීස්ම වෙන්න පුළුවන් තැනක් හම්බ වුණාම එයා හිතුවේ නැහැ ‘මං මේ ගැන තව ඉගෙනගන්න ඕනේ. ඉස්සරහට යද්දී වතුර තියෙන තැන් තව හම්බ වෙයිනේ. එතකොට මං බව්තීස්ම වෙනවා’ කියලා. ඒ වෙනුවට එයා ෆිලිප්ගෙන් ඇහුවේ “මට බව්තීස්ම වෙන්න මොකක්ද තියෙන බාධාව” කියලා. (ක්‍රියා 8:26, 27, 35-39) එයා කොච්චර හොඳ ආදර්ශයක්ද? බව්තීස්ම වුණාට පස්සේ ඉතියෝපියානු නිලධාරියා “හරිම සතුටින්” එයාගේ ගමන ගියා.

පින්තූරවල අදහස: 1. බව්තීස්ම වෙන්න කියලා ෆිලිප් ආරාධනා කරද්දී ඉතියෝපියානු නිලධාරියා වතුරට බහිනවා. 2. කලින් පින්තූරයේ හිටපු බයිබල් ශිෂ්‍යයායි, සහෝදරියයි නමස්කාර මධ්‍යස්ථානයේදී වැඩිමහල්ලන් දෙන්නෙක් එක්ක සතුටින් කතා කරනවා.

ඉතියෝපියානු නිලධාරියාගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් බව්තීස්ම වෙන්න හොඳම කාලේ දැන් කියලා (16 ඡේදය බලන්න)a


17. ඔයාට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

17 බව්තීස්ම වෙන්න ඔයා තාමත් අදිමදි කරනවා නම් ඔයාට ස්ථිර වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔයාට උදව් කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා කියන දේ. (රෝම 2:4) ඔයාට බයක් දැනුණත් බව්තීස්මය කියන ඉලක්කයට යන්න අමාරුයි කියලා හිතුණත් ඒකට අනිත් අයගෙන් කිසිම උදව්වක් නැහැ කියලා හිතුණත් යෙහෝවාට පුළුවන් ඔයාට උදව් කරන්න. ඔයා බව්තීස්ම වුණාම දෙවියන් ඉදිරියේ නිදොස් හෘද සාක්ෂියක් තියෙන නිසා ඔයාට ලොකු සතුටක් දැනෙයි. ඔයා “අතහැරපු දේවල්” කිසිම වැදගත්කමක් නැහැ කියලා ඔයාට තේරෙයි. (ෆිලි. 3:8, 13) එතකොට ඔයාට පුළුවන් “ඉස්සරහා තියෙන දේවල්” දිහා බලන්න. ඒ කියන්නේ යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වුණ අය වෙනුවෙන් යෙහෝවා දෙන්න පොරොන්දු වෙලා තියෙන දේවල් ඉටු වෙන විදිහ ආසාවෙන් බලාගෙන ඉන්න.—ක්‍රියා 3:19.

ඔයාගේ අදහස මොකක්ද?

  • සමහරු බව්තීස්ම වෙන්න අදිමදි කරන්නේ ඇයි?

  • බව්තීස්මය කල් දාන එක ඥානවන්ත දෙයක් නෙවෙයි කියන්නේ ඇයි?

  • බව්තීස්මය කියන ඉලක්කයට යන්න හොඳම කාලේ මොකක්ද?

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

a පින්තූරේ අදහස: ඉතියෝපියානු නිලධාරියා බව්තීස්ම වෙන්න කැමතියි කියලා ෆිලිප්ට කිව්වා වගේ බයිබල් ශිෂ්‍යයෙක් වැඩිමහල්ලන් ළඟට ගිහින් එයා බව්තීස්ම වෙන්න කැමතියි කියලා කියනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න