මළවුන්ට අපව දැකිය හැකිද?
එක් ස්ත්‍රියක් තම සැමියාව මරා දමයි. වසර හතකට පසුව, බියකරු සිහිනයක් දකින ඈ, ඒ ඇගේ මියගිය සැමියාගේ උදහසේ ලකුණක් බව විශ්වාස කරන්නීය. ඔහුගේ “ආත්මය” සංසිඳුවාලීම පිණිස, ඔහුගේ සොහොන මත, පාන පූජාවක් ඔප්පු කිරීම පිණිස ඈ තම දියණිය යවන්නීය.
පූජාව ඔප්පු වන්නේ පියා මැරූ තම මවගෙන් බැවින්, තම පියාගේ ආත්මයට කථා කරන්නේ කෙසේදැයි දියණිය නොදන්නීය. ඇගේ සහෝදරයා, අසල ස්ථානයක සැඟවී බලා සිටී. ඔහු ඉදිරියට පැමිණෙයි, ඔහු සහ ඔහුගේ සහෝදරිය, තම පියාගේ මිනීමැරුම සඳහා පළිගැනීමට තමන්ට උපකාර කරන ලෙස තම පියාට යාච්ඤාවක් කරයි.
මෙම දර්ශනය එන්නේ, මීට අවුරුදු 2,400කට වඩා වැඩි කලකට පෙර ලියන ලද ද ලයිබේෂන් බෙයාරර්ස් [දියර පූජා පුදන්නෝ] නමැති ග්‍රීක නාට්‍යයකය. ලෝකයේ ඇතැම් රටවල, විශේෂයෙන්ම අප්‍රිකාවේ, අදදින පවා මේ හා සමානව සොහොන් අසල පූජා සිදුවේ.
නිදසුනක් වශයෙන්, නයිජීරියාවේ ජීවත් වන ඊබෙගේ අද්දැකීම සලකා බලන්න. දරුවන් තිදෙනකුව මරණයෙන් අහිමි වී සිටින ඔහු, පාරම්පරික කට්ටාඩියෙකුව හමුවන අතර, හේතුවක් නොමැතිව මෙම මරණ සිදු නොවූ බවත්, එනම්, ඊබෙගේ මියගොස් ඇති පියාගේ අවමංගල කටයුතු නිසි පරිදි සිදු නොකිරීම නිසා පියා කෝපයෙන් සිටින බවත් කට්ටාඩියා පවසයි.
මෙම කට්ටාඩියාගේ අවවාදයට අනුව ක්‍රියා කරමින්, ඊබෙ, එළුවෙකුව පූජා කර, තම පියාගේ සොහොන මත ජින් සහ වයින් වත්කරයි. ඔහු සිය පියාගේ ආත්මයට හඬ ගසමින්, සමාව අයැදිමින්, ඔහුගේ ප්‍රේමය තහවුරු කරමින්, ආශීර්වාදයක් ඉල්ලා සිටී.
තම පියාට තමාව නොපෙනෙන බවටත් ඇසිය නොහැකි බවටත් ඊබෙ සැක නොකරයි. තම පියා අජීවීව සිටින බව විශ්වාස නොකරන නමුදු, මරණයේදී ඔහු දෘශ්‍යමාන ලෝකයේ සිට අදෘශ්‍යමාන ලෝකයට “මාරු” වී ඇති බව හේ විශ්වාස කරයි. ඊබෙ විශ්වාස කරන්නේ, තම පියා මාංසය සහ රුධිරය සහිත ලෝකයේ සිට, මුතුන් මිත්තන්ගේ රජ දහන වන ආත්ම ලෝකයට ගොස් සිටින බවය.
ඊබෙ මේ අයුරින් තර්ක කරයි: ‘පියා තවදුරටත් මේ ලෝකයේ නොසිටියත්, ඔහු තවමත් මා මතක් කරයි, එමෙන්ම මගේ සුභසාධනය ගැන උනන්දු වී සිටී. තවද ඔහු දැන් අධිබල සහිත ආත්මයක් බැවින්, ඔහු පොළොව මත මිනිසෙකුව සිටියාට වඩා දැන් ඔහු සිටින්නේ මට වඩාත් උපකාර කළ හැකි තත්ත්වයකයි. එපමණක්ද නොව, දෙවියන්වහන්සේද ආත්මයක් නිසා, මා වෙනුවෙන් දෙවියන්වහන්සේට කෙළින්ම අයැදීමටද ඔහුට හැකියි. පියා දැන් කෝපවී සිටිනවා විය හැකි නමුත් මා ඔහුට නිසි ගෞරවය පෙන්වනවා නම්, ඔහු මට සමාව දී ආශීර්වාද කරනවා ඇත.’
මළවුන්ට පොළොව මත මිනිසුන්ව පෙනෙන බවත්, ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කළ හැකි බවත් යන විශ්වාසය අප්‍රිකාවේ සාම්ප්‍රදායික ආගම අදහන අය අතර පොදු දෙයකි. ක්‍රිස්තියානි යයි කියා ගන්නා අය අතරද එය පෙනෙන්ට තිබේ. නිදසුනක් වශයෙන්, ස්ත්‍රියක් පල්ලියෙන් විවාහ වූ පසු, සාම්ප්‍රදායික ආශීර්වාදයක් ලබා ගනු පිණිස ඇගේ දෙමාපියන්ගේ නිවසට යෑම ඈහට අසාමාන්‍ය දෙයක් නොවේ. එහිදී මුතුන්මිත්තන්ගෙන් අයදිනු ලබන අතර, ඔවුන්හට පාන පූජාවක් ඔප්පු කරනු ලැබේ. මෙය කිරීමට අපොහොසත් වුවහොත්, ඉන් තමන්ගේ විවාහය මත විපත් පැමිණේ යයි බොහෝ දෙනෙක් විශ්වාස කරති.
මුතුන්මිත්තන් හෙවත් මුතුන්මිත්තන්ගේ ආත්ම, පොළොව මත ඔවුන්ගේ පවුල්වල අඛණ්ඩ පැවැත්ම සහ සෞභාග්‍යය සහතික කරන්නේ යයි කල්පනා කරනු ලැබේ. මෙම දෘෂ්ටියට අනුව, මොවුහු වනාහි හොඳ අස්වැන්න ගෙන ඒමට හැකි, සුභසාධනය වැඩි දියුණු කරන, ජනයාව හානිකර තත්ත්වයන්ගෙන් වලක්වාලන බලවත් උපකාරකයෝය. ඔවුහු මිනිසා වෙනුවෙන් මැදිහත් වෙති. කෙසේවෙතත්, ඔවුන්ව නොසලකා හරිනු ලැබුවහොත් හෝ අමනාප කළහොත්, ඔවුහු අසනීප, දිළිඳුකම සහ මරණය පවා වැනි විපත් පමුණුවති. එබැවින්, පූජා සහ චාරිත්‍ර තුළින් ජනයෝ මළවුන් සමඟ හොඳ සම්බන්ධතා පවත්වා ගැනීමට බලවත් උත්සාහයක් ගනිති.
මළවුන් ජීවතුන්ගේ ජීවිත තුළ ක්‍රියාශීලී කාර්ය භාරයක් ඉටු කරන බව ඔබ විශ්වාස කරන්නෙහිද? ඔබ කවදා හෝ, ආදරය කළ කෙනෙකුගේ සොහොන අසල සිටගෙන, ඔහුට හෝ ඇයට ඇසේවි යයි සිතාගෙන යම් වචන ස්වල්පයක් ඔබ මුමුනා තිබෙන බව ඔබට මතකද? හොඳයි, මළවුන් අපව දකිනවාද නැතිනම් අප පවසන දේ ඇසෙනවාද යන්න මරණයේදී සිදුවන දෙය මත රඳා පවතින්නේ නැත. මෙම වැදගත් විෂය සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ කුමක්ද යන්න ගැන අපි පරීක්ෂා කර බලමු.