මළවුන් පිළිබඳ බිය හාත්පස පැතිර තිබේ
හිරු බැස ගොස් බොහෝ වේලාවක් ගත වී ඇත. ඔබ ආපසු නිවස බලා යන්නේ ඔබ සිතුවාට වඩා මඳක් පමාවය. ඔබ ප්‍රදේශයේ කනත්ත පසු කර යනවාත් සමඟම, ඔබගේ හදවත සාමාන්‍යයට වඩා වේගයෙන් ගැහෙන්ට පටන් ගනී. නිහඬ අඳුරු රාත්‍රියේ සුළු ශබ්දයක් පවා තියුණු ලෙස ඔබගේ අවධානයට හසු වෙයි. හදිසියෙන්ම මඳක් දුරින් බියකරු තියුණු හඬක් ඔබට ඇසෙයි. ඔබ ඔබගේ පියවර ඉක්මන් කරන්නෙහිය—ඔබගේ හදවතද තවත් වේගයෙන් ගැහෙයි. ආරක්ෂාව පතා ඔබ වේගයෙන් නිවස වෙත ඇදෙන්නෙහිය.
ඔබ කවදා හෝ කනත්තක් තුළ හෝ ඒ අසල සිටි විට, කනස්සල්ලෙන් යුත් හැඟීම් ඔබ අද්දැක තිබෙන්නෙහිද? එය එසේ නම්, ලෝක ව්‍යාප්ත පොදු ආගමික සංකල්පයක් මගින් ඔබ බලපෑමට ලක්ව තිබුණා විය හැකියි—එනම්, ජීවතුන්ට උපකාර කිරීමට හෝ හානි කිරීමට මළවුන්ගේ ආත්මවලට හැකි බවට වූ සංකල්පයෙන්ය.
මළවුන්ට ජීවතුන්ගේ උදව් උපකාර අවශ්‍යය නැතහොත් මළවුන් සංසිඳවනු නොලැබුවහොත් ජීවතුන්ට හානි පැමිණේවිය යන විශ්වාසයේ ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ මිථ්‍යා ලබ්ධික සිරිත් ගොඩ නැඟී ඇත. නිදසුනක් වශයෙන්, ඇතැම් ලතින්-අමෙරිකානු රටවල, යම් පුද්ගලයෙක් හදිසි අනතුරකින් මියගිය විට කුඩා වාසභවනක් ඉදිකිරීමේ සිරිතක් බොහෝ දෙනෙකුට ඇත. මියගිය පුද්ගලයාගේ ආත්මය හෝ ස්ප්‍රීතුව කෙරෙහි උනන්දුවීමක් හෝ උපකාර කිරීමට ගන්නා ප්රයත්නයක් වශයෙන්, මිනිස්සු එහි ඉටිපන්දම් පත්තු කර මල් තබති. ඇතැම් අවස්ථාවලදී, යාච්ඤාවලට “ආශ්චර්යවත්” පිළිතුරු ලැබේ යයි කට කථා පැතිර යන අතර, එවිට, මියගිය පුද්ගලයාගේ ආත්මය හෝ ස්ප්‍රීතුව උදෙසා කුඩා වාසභවනය වන ආනිමිටා නම් ස්ථානයට මිනිස්සු නිතර නිතර යෑමට පටන් ගනිති. තමන්ට යමක් ඉටු කර ගැනීමට හෝ ලබා ගැනීමට—සමහරවිට ආශ්චර්ය සුව කිරීමක් විය හැකියි—මියගිය පුද්ගලයා උපකාර කරන්නේ නම්, විශේෂ අන්දමකින් තම කෘතඥතාව පෙන්වනු ඇති බවට එහිදී ඔවුහු මාන්ඩාස් හෙවත් පොරොන්දු දෙති. අනෙක් අතට, වාර්තා විය හැකි තවත් දෙයක් නම්, රාත්‍රි අන්ධකාරයේ පැමිණ සිටින අයව බියගන්වමින් පුද්ගලයෙකුගේ ප්‍රාණය දර්ශනය වන බවයි. එවැනි ප්‍රාණීන් වනාහි, අතීත සිද්ධීන් නිසා ජීවත්වන අයට පීඩා ගෙනෙන පෙනාන්ඩෝ යයි පොදුවේ පවසනු ලැබේ.
බොහෝ රටවල මිනිස්සු මළවුන්ගේ “ආත්ම” සංසිඳුවාලීමට මහත් ප්රයත්නයක් දරති. විසිතුරු මංගල්‍ය පවත්වනු ලැබේ, පූජා ඔප්පු කෙරේ, සහනය ගෙනෙන වචන කථා කෙරේ—මේ සියලු ප්රයත්න දරන්නේ, මියගිය පුද්ගලයාගේ ආත්මයෙන් ඇතිවන පීඩා වැළැක්වීම පිණිසය. මළ ආත්මය සතුටුකරලීම, ජීවත්ව සිටින්නන්ට විපාක හා ආශීර්වාද ගෙන ඒමට හේතුවේ යයි විශ්වාස කෙරේ.
“කිසිම සිද්ධියක් ‘සාමාන්‍ය ලෙස හෝ ස්වාභාවික ලෙස’ සිදුවන්නේ නැති බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති” යයි අප්‍රිකාවෙන් පැමිණෙන එක් වාර්තාවක් පවසයි. අසනීපයක් වේවා, විපතක් වේවා, වඳභාවය වේවා, ආර්ථික අපහසුතාවක් වේවා, අධික වර්ෂා පතනය හෝ තද අව්ව වේවා, හදිසි අනතුරු වේවා, පවුල් අසමගිය වේවා, මරණය වේවා යන මේ ඕනෑම සිද්ධියක් අධිමිනිස් බලයන් සහිත අදෘශ්‍යමාන ආත්ම විසින් සිදුකරනු ලබන බවට සිතනු ලැබේ.” තවත් වාර්තාවක මෙසේ පැවසේ: “තම මුතුන් මිත්තන්ගේ ආත්ම ස්වර්ගයේ යම් ස්ථානයක වාසය කරන බවත්, පොළොව මත තම ජීවතුන් කෙරෙහි නිරතුරුවම සෝදිසියෙන් සිටින බවත් ජනයෝ විශ්වාස කරති. මුතුන් මිත්තන්ට අධිස්වාභාවික බලයන් තිබෙන බවත්, මියගිය තැනැත්තාට පොළොව මත සිටින ඔහුගේ නෑදෑයන් දැක්වූ ගෞරවයට හෝ නොසැලකිල්ලට අනුව ඔවුන්ට ආශීර්වාද කිරීමට හා ඔවුන්ව ආරක්ෂා කිරීමට හෝ දඬුවම් කිරීමට මෙම බලයන් ඔවුන් විසින් යොදා ගත හැකි බවත් විශ්වාස කෙරේ.”
එහෙත්, එවැන්නක් දෙවියන් වහන්සේගේ වචනය සමඟ එකඟද? ඔබ දරන මතය කුමක්ද?
[4වන පිටුවේ පින්තූරය]
චිලී රටේ තිබෙන “ආනිමිටා” නමැති වාසභවනක්