මළවුන් කොහේද?
“පොළොව වනාහි වෙළඳ පොළකි; ස්වර්ගය වනාහි අපගේ නිවස” යයි බටහිර අප්‍රිකාවේ යොරූබා ජාතිකයෝ පවසති. මෙම අදහස බොහෝ ආගම් තුළ ප්‍රතිනාද දෙයි. ඉන් ගම්‍ය වන මතය නම්, පොළොව යනු අප ටික කලකට ගොස් බැහැදැක පසුව ඉන් පිටව යන වෙළඳ පොළක් මෙන් වන බවය. මෙම විශ්වාසයට අනුව අපි මරණයේදී අපගේ සැබෑ වාස භවනය වන ස්වර්ගයට යන්නෙමු.
ඇතැම් අය ස්වර්ගයට යන බව බයිබලය ඇත්තටම උගන්වන්නේය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, සිය ඇදහිලිවන්ත ප්‍රේරිතයන්ට මෙසේ පැවසූසේක: “මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; . . . නුඹලාට ස්ථානයක් පිළියෙළ කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.”—යොහන් 14:2, 3.
යේසුස්වහන්සේගේ වචනවලින් අදහස් කරන්නේ, සියලු යහපත් මිනිසුන් ස්වර්ගයට යන බවක් හෝ ස්වර්ගය වනාහි මිනිස්වර්ගයාගේ නිවස යන බවක් හෝ නොවේ. ඇතැම් අයව ස්වර්ගයට ගනු ලබන්නේ, පොළොව කෙරෙහි පාලනය කිරීම සම්බන්ධයෙනි. මිනිස් ආණ්ඩු කිසිවිටෙකත් පොළොව මත කාරණා කටයුතු සාර්ථකව මෙහෙයවන්නේ නැති බව යෙහෝවඃ දෙවියන්වහන්සේ දැන සිටිසේක. එමනිසා, උන්වහන්සේ, අවසානයේදී පොළොවේ පාලනය ගෙන, තමන්වහන්සේ විසින් මූලාරම්භයේදී අරමුණු කළ පරිදි, එය පාරාදීසයක් බවට පත්කරනු ඇති ස්වර්ගික ආණ්ඩුවක් හෝ රාජ්‍යයක් පිළියෙළ කළසේක. (මතෙව් 6:9, 10) යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රජ වනු ඇත. (දානියෙල් 7:13, 14) තවත් අය උන්වහන්සේ සමඟ පාලනය කිරීම සඳහා මිනිස්වර්ගයා අතුරින් තෝරාගනු ලබනවා ඇත. ස්වර්ගයට ගනු ලබන අය, “අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද” වනු ඇති බවත්, ඔවුන් ‘පොළොව කෙරෙහි රජුන් වශයෙන් පාලනය කරනු’ ඇති බවත් බයිබලය පුරෝකථනය කළේය.—එළිදරව් 5:10, NW.
ස්වර්ගයට යන්නෝ කවරහුද?
මෙම ස්වර්ගික පාලකයන්ට තිබිය යුතු මහත් වගකීම් සැලකිල්ලට ගැනීමේදී, ඔවුන්ට දැඩි අවශ්‍යතා සපුරාලීමට තිබෙන බව පුදුමයක් නොවේ. ස්වර්ගයට යන අයට යෙහෝවඃවහන්සේ පිළිබඳ ඒකාන්ත දැනුම තිබිය යුතු අතර, උන්වහන්සේට කීකරු විය යුතුය. (යොහන් 17:3; රෝම 6:17, 18) යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිල යාගය කෙරෙහි ඇදහිල්ල දැක්වීම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. (යොහන් 3:16) එහෙත්, මීටත් වඩා දේ ඊට ඇතුළත්ය. ඔවුන් දෙවියන්වහන්සේ විසින් ස්වකීය පුත්‍රයාණන් තුළින් කැඳවනු ලැබ, තෝරාගනු ලැබිය යුතුය. (2 තිමෝති 1:9, 10; 1 පේතෘස් 2:9) එපමණක්ද නොව, ඔවුන් වනාහි දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය මගින් ජනිත කරනු ලැබූ “නැවත උපන්” බව්තීස්මලත් ක්‍රිස්තියානීන් විය යුතුය. (යොහන් 1:12, 13; 3:3-6) මරණය තෙක් දෙවියන්වහන්සේ කෙරෙහි අඛණ්ඩතාව පවත්වා ගැනීමට ඔවුන්ට අවශ්‍යය.—2 තිමෝති 2:11-13; එළිදරව් 2:10.
ජීවත් වී මියගොස් ඇති අසංඛ්‍යාත මිලියන ජනකායක් මෙම අවශ්‍යතා සපුරාලූයේ නැත. සැබෑ දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගැනීමට බොහෝ දෙනෙකුට තිබුණේ ස්වල්ප ප්‍රස්තාවකි. තවත් අය කිසිවිටෙකත් බයිබලය කියවා නැති අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දන්නේ අල්පයකි, නැතහොත් කිසිවක් නොදනී. අදදින පොළොව මත සැබෑ ක්‍රිස්තියානීන් අතරින් පවා, ස්වර්ගික ජීවිතය සඳහා දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබ සිටින්නේ ස්වල්ප දෙනෙකි.
මේ හේතුවෙන්, ස්වර්ගයට යන අයගේ සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් කුඩා වනු ඇත. යේසුස්වහන්සේ එවැන්නන් ගැන සඳහන් කළේ “කුඩා රැළක්” යනුවෙනි. (ලූක් 12:32) පසුව, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගයෙහි පාලනය කිරීමට ‘පොළොවෙන් මිලට ගන්නා ලද’ අයගේ සංඛ්‍යාව 1,44,000ක් පමණක් වන බව ප්‍රේරිත යොහන්ට එළිදරව් කරන ලදි. (එළිදරව් 14:1, 3; 20:6) පොළොව මත ජීවත් වී ඇති බිලියන ගණනක් ජනකාය සමඟ සසඳන කල, ඇත්ත වශයෙන්ම, මෙය කුඩා සංඛ්‍යාවකි.
ස්වර්ගයට නොයන අය
ස්වර්ගයට නොයන අයට කුමක් වේද? සමහරක් ආගම්වල උගන්වනවාක් මෙන්, ඔවුහු යම් සදාකාලික දුක් පීඩා ඇති ස්ථානයක දුක් විඳිමින් සිටින්නෝද? ඇත්ත වශයෙන්ම, නැත, මන්ද, යෙහෝවඃවහන්සේ වනාහි ප්‍රේමයේ දෙවි කෙනෙක්ය. ප්‍රේමනීය දෙමාපියෝ තම දරුවන්ව ගින්නට විසි නොකරති, එමෙන්ම යෙහෝවඃවහන්සේ මිනිසුන්ට එවැනි ආකාරයකින් වධ දෙන්නේ නැත.—1 යොහන් 4:8.
මියගොස් සිටින විශාල බහුතරයක් සඳහා ඇති අපේක්ෂාව නම්, පාරාදීස පොළොවකට නැවත නැගිටවනු ලැබීමයි. යෙහෝවඃවහන්සේ පොළොව “වාසය පිණිස” මැවූ බව බයිබලය කියයි. (යෙසායා 45:18) ගීතිකාකරු ප්‍රකාශ කළේ මෙසේය: “ස්වර්ග වනාහි ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.” (ගීතාවලිය 115:16) මිනිස්වර්ගයාගේ ස්ථිර නිවස වනු ඇත්තේ ස්වර්ගය නොව පොළොවයි.
යේසුස්වහන්සේ මෙසේ පුරෝකථනය කළසේක: “සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ [එනම්, “මනුෂ්‍ය පුත්‍රයාගේ”] හඬ ඇසෙන පැය පැමිණ, . . . පිටත්ව එන්නෝය.” (යොහන් 5:27-29) ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මෙසේ සහතික කළේය: “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත නැගිටීමක් වන්නේයයි . . . මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.” (ක්‍රියා 24:15) වධ කණුව මතදී, යේසුස්වහන්සේ පසුතැවිලි වූ වැරදිකරුවෙකුට පොරොන්දු වූයේ නැවත නැගිටීමක් කරණකොටගෙන භූමික පාරාදීසයක ජීවිතයක්ය.—ලූක් 23:43.
එසේ නම්, පොළොව මත ජීවිතයකට නැවත නැගිටවනු ඇති මළවුන්ගේ වත්මන් තත්ත්වය කුමක්ද? යේසුස්වහන්සේගේ දේව සේවයේ සිද්ධියක් මෙම ප්‍රශ්නයට උත්තර දීමට උපකාරවත් වෙයි. උන්වහන්සේගේ මිත්‍ර ලාසරුස් මියගොස් තිබිණි. යේසුස්වහන්සේ ඔහුව නැවත නැගිටීමට යෑමට පෙර, උන්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ කීසේක: “අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමි.” (යොහන් 11:11) මෙසේ යේසුස්වහන්සේ මරණය, නින්දකට එනම් සිහින නොදකින ගැඹුරු නින්දකට සැසඳූසේක.
මරණ නින්දේ සැතපී සිටීම
මරණ නින්දේ සැතපී සිටීම පිළිබඳ මෙම අදහසට අනෙකුත් ශුද්ධ ලියවිලි පාඨ එකඟ වෙයි. මරණයේදී ආත්ම විෂයට මාරුවී යන අමරණීය ආත්මයක් මිනිසුන්ට තිබෙන බව ඒවායින් උගන්වන්නේ නැත. ඒ වෙනුවට, බයිබලය පවසන්නේ: “මළාහු කිසිවක් නොදනිති. . . . ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද දැන් නැතිවී තිබේ. . . . නුඹ යන මිනීවළෙහි [ෂෙයෝලෙහි] වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:5, 6, 10) එපමණක්ද නොව, මිනිසා, “ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ” යයි ගීතිකාකරු ප්‍රකාශ කළේය.—ගීතාවලිය 146:4.
මරණයේ සැතපී සිටින අයට අපව දැකීමටවත් ඇසීමටවත් නොහැකි බව මෙම ශුද්ධ ලියවිලි පාඨ පැහැදිලි කරයි. ආශීර්වාද කරන්ටවත් ශාප කරන්ටවත් ඔවුන්ට නොහැක. ඔවුන් ස්වර්ගයේ සිටින්නේවත් මුතුන්මිත්තන්ගේ ප්‍රජාවක වාසය කරන්නේවත් නැත. ඔවුහු ජීවත් නොවෙති, පැවැත්මෙන්ද තොරවී සිටිති.
දෙවියන්වහන්සේගේ නියමිත කාලයේදී, මරණ නින්දේ සැතපී සිටින අය සහ උන්වහන්සේගේ මතකයේ සිටින අය, පාරාදීස පොළොවක ජීවිතයකට යළි පුබුදුවනු ලබනවා ඇත. එය වනාහි පරිසර දූෂණයෙන්, කරදරවලින් සහ දැන් මිනිස්වර්ගයා අද්දකින ගැටලුවලින් පිරිසිදුකරනු ලබන පොළොවක් වෙනවා ඇත. එය මොනතරම් ප්‍රීතිමත් කාලයක් වනු ඇත්ද! එම පාරාදීසයේ, සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඔවුන්ට තිබෙනු ඇත, මන්ද ගීතාවලිය 37:29 අපට මෙසේ සහතික කරයි: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසය කරන්නෝය.”
[6, 7වන පිටුවේ කොටුව]
මම මළවුන් නමස්කාරය අත්හළෙමි
“මා පිරිමි ළමයෙකුව සිටි විට, මගේ පියා නිතිපතා සිය මියගිය පියාට කළ පුද පූජාවලට මම උදව් කළෙමි. එක් අවස්ථාවක, මගේ පියා දරුණු අසනීපයකින් සුවය ලැබූ විට, ඒ සඳහා තම අගය පළ කරමින්, එළුවෙකු, අල කෝලා ගෙඩි සහ මත්පැන් තම මියගිය පියාට පූජා කළ යුතු යයි දිවැසින් පේන කියන්නෙක් මගේ පියාට පැවසීය. තවදුරටත් අසනීප සහ විපත්වලින් වැළකීම සඳහා තම මළ මුතුන්මිත්තන්ට ආයාචනා කළ යුතු යයිද මගේ පියාට අවවාද කරන ලදි.
“මගේ මව පූජාව සඳහා අවශ්‍ය කළ දෙය මිලට ගත් අතර, ඒවා මගේ සීයාගේ සොහොනේදී යොදා ගැනීමට තිබිණි. දේශීය චාරිත්‍රවලට අනුව, සොහොන පිහිටා තිබුණේ අපගේ නිවසට යාබදවය.
“පූජාව බැලීම සඳහා මිත්‍රයන්, නෑදෑයන් සහ අසල්වැසියන්ට ආරාධනා කරන ලදි. මගේ පියා, අවස්ථාවට සරිලන ලෙසින් විසිතුරු ලෙස ඇඳ පැළඳ, පසුගිය පූජාව සඳහා යොදා ගෙන තිබූ එළුවන්ගේ හිස්කබල් කිහිපයක් පෙළට තබා තිබූ චිතකයට මුහුණලා පුටුවක වාඩි විය. මගේ රාජකාරිය වූයේ, මා මගේ පියාට දුන් කුඩා තඹලේරුවකට බෝතලයකින් වයින් වත්කිරීමයි. ඉන්පසු, ඔහු එය පූජාවක් ලෙස භූමිය මතට වත්කළේය. මගේ පියා ඔහුගේ පියාගේ නමින් තුන් වතාවක් හඬගැසූ අතර, අනාගත විපත්තිවලින් ගළවා ගන්නා මෙන් ඔහුට යාච්ඤා කළේය.
“කෝලා ගෙඩි පූජා කරන ලදි, එමෙන්ම බැටළුවෙකු මරා, තම්බා, පැමිණි සිටි සියල්ලන් විසින් අනුභව කරන ලදි. මම ආහාර අනුභව කිරීමේදී සහභාගි වූ අතර ගායනාවල හා බෙර ගැසීමේ තාලය අනුව නැටීමේදී හවුල් වූයෙමි. මගේ පියා වයසට ගොස් තිබුණද, ඔහු ඉතා උනන්දුවෙන් ලස්සනට නැටුවේය. අතරින් පතර, ඔහු පැමිණ සිටි සියල්ලන්ට අශීර්වාද කරන මෙන් ඔහුගේ මුතුන්මිත්තන්ට යාච්ඤා කළ අතර, මා ඇතුළු එහි සිටි අය ඊසෙ එනම්, ‘එය එසේ වේවා’ කියා පිළිතුරු දුන්හ. මා මගේ පියා දෙස ඉතා ආශාවෙන් හා උනන්දුවෙන් බලා සිටි අතර, මම මුතුන්මිත්තන්ට පූජා ඔප්පු කරන වයසට පැමිණෙන කාලය ගැන ඕනෑකමින් සිතුවෙමි.
“බොහෝ පූජා ඔප්පු කර තිබුණද, සාමය පවුලට තවමත් අත් නොවූ දෙයක් විය. මගේ මවට ජීවත්වූ පුතුන් තිදෙනෙකුව සිටියදී, ඈට ඉපදුණු දියණියන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් වැඩි කලක් ජීවත් වූයේ නැත; සියල්ලෝ ළමා වියේදී මියගියහ. මගේ මව යළිත් ගර්භිණී වූ විට, උපදින්ට සිටින දරුවාට ආරක්ෂා සහිතව උපදිනු පිණිස මගේ පියා විසිතුරු පූජා ඔප්පු කළේය.
“මව තවත් දැරියක් ප්‍රසූත කළාය. වසර දෙකකට පසු දැරිය අසනීප වී මියගියාය. මගේ පියා දිවැසින් පේන කියන්නෙක් හමුවූ අතර, මෙම මරණයට හේතු වූයේ යම් සතුරෙක් නිසා යයි හේ පැවසීය. දැරියගේ ‘ආත්මය’ පෙරළා සටන් කිරීම පිණිස, ඇවිළෙමින් තිබෙන දර කැබැල්ලක්, මත්පැන් බෝතලයක් සහ බලු පැටවෙකු පූජාව සඳහා අවශ්‍ය බව මෙම පේන කියන්නා පවසා සිටියේය. දර කැබැල්ල සොහොන මත තැබීමට තිබිණි, මත්පැන් සොහොන මත ඉසීමට තිබිණි, තවද බලු පැටවා සොහොන අසල පණපිටින් වැළලීමට තිබිණි. මෙය කරන ලද්දේ මියගිය ගැහැනු ළමයාගේ ආත්මය අවදි කර ඇගේ මරණය සම්බන්ධයෙන් පළිගැනීමටය.
“මම මත්පැන් බෝතලයද, ඇවිළෙන දර කැබැල්ලද රැගෙන ගියෙමි, මගේ පියා බලු පැටවා රැගෙන ගිය අතර, පේන කියන්නාගේ උපදෙස්වලට අනුව ඔහු ඌව වැළලුවේය. දවස් හතකින්, මියගිය ගැහැනු ළමයාගේ ආත්මය ඇගේ අකල් මරණය සිදුකළ පුද්ගලයාව මරා දමනු ඇතැයි අපි විශ්වාස කළෙමු. මාස දෙකක් ගතවිණි, වටාපිටාවෙන් කිසිම මරණයක් ගැන වාර්තා වූයේ නැත. මම කලකිරීමට පත්වුණෙමි.
“මට ඒ අවදියේ වයස අවුරුදු 18ක් විය. ටික කලකට පසුව, මට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හමුවූ අතර, මළවුන්ට ජීවතුන් වෙනුවෙන් හොඳක් හෝ නරකක් කිරීමට නොහැකි බව ඔවුහු මට ශුද්ධ ලියවිලිවලින් පෙන්වූහ. දෙවියන්වහන්සේගේ වචනයේ දැනුම මගේ හෘදයට කිඳා බසිනවාත් සමඟම, මළවුන්ට පූජා ඔප්පු කිරීම සඳහා මගේ පියා සමඟ යෑමට මට තවත් නොහැකි බව මම ඔහුට කීවෙමි. ඔහු පැවසූ පරිදි මා ඔහුව අත්හැරීම ගැන පළමුව ඔහු කෝපවිය. එහෙත්, මා අලුතෙන් සොයාගත් මගේ ඇදහිල්ල අත්හැරීමට අකමැති බව ඔහු දුටු විට, මා යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම ගැන විරුද්ධ වූයේ නැත.
“වර්ෂ 1948 අප්‍රියෙල් 18දා, මම මගේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළෙමි. එතැන් සිට, මම මහත් ප්‍රීතියකින් හා තෘප්තියකින් දිගටම යෙහෝවඃවහන්සේට සේවය කර තිබෙන අතර, අපට උපකාර කිරීමටවත් හානි සිදු කිරීමටත් නොහැකි මියගිය මුතුන්මිත්තන් නමස්කාරයෙන් ඉවත් වීමට අන්‍යයන්ට උපකාර කර ඇත්තෙමි.”—නයිජීරියාවේ, බෙනින් නුවර, ජේ. බී. ඔමිඑග්බෙ විසින් සපයන ලදි.
[7වන පිටුවේ පින්තූරය]
මළවුන් පාරාදීස පොළොවකට නැවත නැගිටුවනු ලබන විට ඉමහත් ප්‍රීතියක් තිබෙනු ඇත