දුෂ්ට අය සමෘද්ධිමත් වන්නේ මන්ද?
“දුෂ්ටයන් ජීවත්වන්නෙත් . . . මක්නිසාද?” මෙම ප්රශ්නය දීර්ඝ කලකට පෙර ඇදහිලිවන්ත යෝබ් විසින් විමසනු ලැබූ අතර ඔහුගේ කාලයේ පටන් එය වාර බොහොමයක් පුන පුනා අසා ඇත. බොහෝ දුරට එය, (අපගේ මුල්පිටුවේ දක්වා ඇති කාන්තාව මෙන්) දුඃඛදායක යුද්ධයකින් වේදනා විඳින්නන් වෙනුවෙන් වැළපෙන්නාවූ බොහෝ යුගෝස්ලාවියානුවන්ගේ මනස්වල තිබෙනවා වන්නට පුළුවන. දුෂ්ටයන් බේරී ජීවත් වෙමින්, දියුණුවීමක් පවා ලබන්නේ මන්ද? යෝබ් සටහන් කරගත් පරිදි, බොහෝ විට “ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, දෙවියන්වහන්සේගේ ඉපලද ඔවුන් පිට නැත.”—යෝබ් 21:7, 9.
එය අදහස් කරන්නේ දෙවියන්වහන්සේට සේවය කිරීම, කෙනෙකුගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම, එමෙන්ම වැරදි කිරීමෙන් වැළකී සිටීම නිෂ්ඵල බවද? කොහෙත්ම නැත! බයිබලය මෙසේ පවසන විට එහි නිවැරදි දෘෂ්ටිය අපට ලබා දෙයි: “නපුරකරන්නන් නිසා කල නොකිරෙව, අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව. මක්නිසාද ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය. ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව”.—ගීතාවලිය 37:1-3.
එසේය, දුෂ්ටයන්ට තිබෙන පෙනෙන දියුණුව තාවකාලික එකකි. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ ජීවිත ඉතා කෙටි කාලීන එකක් වන අතර දෙවියන්වහන්සේට සේවය කරන්නන්ට තිබෙන්නේ අනාගතය පිළිබඳ මහිමවත් බලාපොරොත්තුවක්ය. ඉක්මනින්ම දෙවියන්වහන්සේගේ මතු පොරොන්දුව ඉටු වෙනවා ඇත: “[දෙවියන්වහන්සේ] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4) එම කාලය දකිනු ඇත්තේ දුෂ්ටයන් නොව, ධර්මිෂ්ඨයන් පමණකි. අප අවට සිටින්නන් කොතරම් දුෂ්ටව සිටිය හැකි වුවත්, දෙවියන්වහන්සේ වෙතට සමීප වන්නටත්, උන්වහන්සේගේ කැමැත්ත ඉගෙන ගන්නටත් එය කොතරම් දිරිගැන්වීමක්ද!
ඔබ තවදුරටත් තොරතුරු දැනගැනීමට කැමති නම්, නැතහොත් ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පැවැත්වීමට යමෙකු ඔබගේ නිවසට එනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 62, ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයට හෝ 2වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.