මුලාදෑනියෙක් සිය අනාගතය සලකා බලයි
එම බටහිර අප්‍රිකානු මුලාදෑනියා සිය සමාජයේ අය විසින් මහත් සේ ප්‍රේම කරනු ලැබූ හා අතිශයින් ගෞරව කරනු ලැබූ කෙනෙකි. ඔහුගේ 78වන උපන්දිනය වෙනුවෙන්, ඔහුගේ මිත්‍රයෝ, පවුලේ අය, මෙන්ම වෙනත් ශුභපතන්නෝ ඔහුට ආසිරි පැතීමට එක්රොක් වූහ. එවිට ඉදිරිපත් කරන ලද කතාවක, එවන් අවස්ථාවක් සඳහා අසාමාන්‍ය විෂයක් එම මුලාදෑනියා තෝරාගත්තේය. ඔහු කතා කළේ මරණයෙන් පසු ජීවිතය පිළිබඳ තමාගේ හැඟීම් ගැනය.
මරණයෙන් පසු “වංචාව, ඊර්ෂ්‍යාව හා ගිජුකම යනාදියෙන් තොර අලුත් ලොවක් ඇති” බව ඔහු පැවසීය. ඔහු එය විස්තර කළේ “අභිරහස්වලින් වැසුණු” ලොවක්, එනම් දෙවියන්වහන්සේ සමඟ අන්‍යොන්‍ය සම්බන්ධතාවක් පවත්වාගන්නා, ධර්මිෂ්ඨයන් පමණක් වාසය කරන ලොවක් හැටියටය.
එවන් විශ්වාසයන් අප්‍රිකාව පුරා වාසය කරන ජනයා අතර සුලබය. අප්‍රිකානු පාරම්පරික ආගම් අනුව, මරණය වනාහි ජීවිතයට අවසානයක් නොව, එහෙත් ආත්ම විෂයේ ජීවිතයට මාරු වන, හුදු සංක්රමණයකි. මරණයේදී කෙනෙක් දෘශ්‍යමාන ලොවේ සිට අදෘශ්‍යමාන ලොවට මාරු වන්නේ යයි කියනු ලැබේ. ආත්මයක් හැටියට, ඉන් අනතුරුව එම තැනැත්තා ඔහුගේ හෝ ඇයගේ මුතුන්මිත්තන් වාසය කළ බලප්රදේශයකට ඇතුල් වෙයි.
බටහිර අප්‍රිකානුවෝ බොහෝදෙනෙක්, මෙම මුතුන්මිත්තන්, නොහොත් මුතුන්මිත්තන්ගේ පටන් පැවත එන ආත්ම, පොළොව මත සිය පවුල්වල ශුභසාධනය තහවුරු කරන බව විශ්වාස කරති. වෙස්ට් ඇෆ්රිකන් ට්‍රැඩිෂනල් රිලිජන් නම් පොත මේ ගැන මෙසේ පවසයි: “පොළොව මත තවදුරටත් ජීවත්ව සිටින ප්‍රජා සාමාජිකයන් හා පරලොව සිටින්නන් අතර බලපෑම්වල දැඩි වෙනසක් නැත. [එම මුතුන්මිත්තෝ] මෙහි පොළොව මත සිටි විට, සිය පවුල්වල වැඩිමහල්ලෝ වූහ. දැන් ඔවුන් අපෙන් වසන් වූ තත්වයක සිටින බැවින්, ඔවුන් තවදුරටත් ආත්ම ලෝකයේ වැඩිමහල්ලන්ව සිටිනු ඇත. ඔවුන් සිය පවුල්වල පොදු ශුභසාධනය කෙරෙහි තමන්ගේ උනන්දුව නැති කරගන්ට යන්නේ නැත.”
ඒ හේතුවෙන්, මුලින් සඳහන් කරන්ට යෙදුන වයස්ගත මුලාදෑනියා බලාපොරොත්තු වූණේ සිය මුතුන්මිත්තන් සමඟ එක්වී ආත්ම විෂයෙන් ඔවුන් සමඟ කටයුතු කරන්ටයි. ඔහු කියා සිටියේ “මරණයෙන් පසුව පවතින ජීවිතය කෙරෙහිද—මරණයෙන් පසුව පවා—වැඩිමහල්ලෙක් හැටියට දිගටම සේවය කිරීමට මා සතු හැකියාව කෙරෙහිද මට දැඩි විශ්වාසයක් තිබේ” යනුවෙනි.
කෙසේවෙතත්, එම මුලාදෑනියා පසුව පවසන්ට යෙදුන දෙය නිසා, සන්ඩේ ටයිම්ස් නම් පුවත්පත ඉඟි කළේ, ඔහුට මරණයෙන් පසු ජීවිතය ගැන “පූර්ණ වැටහීමක් නොමැති බව පෙනේ” කියාය. මරණයෙන් පසු ජීවිතය ගැන සාකච්ඡා කළ පොතක් ගැන තමාට අසන්ට ලැබුණ බවද ඔහු එහි රැස්ව සිටි සමූහයාට පැවසීය. එම මුලාදෑනියා වසර පහක් පුරා එම පොත සොයමින් සිටියේය. ඔහු එය කියවන්ට කොතරම් ආශාවෙන් සිටියාද කිවහොත්, එහි පිටපතක් තමා වෙත ගෙනෙන ඕනෑම කෙනෙකුට ඩොලර් 1,500 (එ.ජ.) සමාන මුදලක් දෙන්ටද ඔහු ඉදිරිපත් වී ඇත.
එම මුලාදෑනියා, සොයාගැනීමට එතරම් දුෂ්කර නොවන පොතකින් තොරතුරු සෙව්වේ නම්, එම අපහසුතාව වළක්වාගත හැකිව තිබිණ. එය වනාහි මිනිසා විසින් නොව, සියලු මිනිසුන්ගේ මැවුම්කරුවාණන් විසින් නිපදවන ලද පහසුවෙන්ම ලබාගත හැකි පොතකි. (1 තෙසලෝනික 2:13) එම පොත නම් බයිබලයයි. මරණයෙන් පසු ජීවිතය ගැන එය කුමක් පවසයිද?