පරිච්ඡේද 14
මට මගේ තනිකම පලවා හැරිය හැක්කේ කෙසේ ද?
එය සෙනසුරාදා රාත්‍රියයි. පිරිමි ළමයා තනි ව ම ඔහුගේ කාමරයේ වාඩි වී සිටියි.
“මං සති අන්තයන්ට ද්වේෂ කරනවා!” ඔහු කෑගසයි. නමුත් පිළිතුරු දීමට කාමරයේ කිසිවෙකු නැත. ඔහු සඟරාවක් අතට ගන්නා අතර මුහුදු වෙරළේ සිටින යෞවනයින් කණ්ඩායමක පින්තූරයක් දකියි. ඔහු සඟරාව වේගයෙන් බිත්තියට දමා ගසයි. කඳුළු ගලා එයි. ඔහු තම යටි තොල තදින් සපාගත් නමුත් නොනැවතී කඳුළු ගලා එයි. තවදුරටත් එය යටපත් කර ගැනීමට නොහැකි වී, ඔහු තම යහන මත වැටී, “මා ව හැමවිට ම අත්හැර දමා තිබෙන්නේ ඇයි?” කියා ඉකිබිඳිමින් හඬයි.
ලෝකයෙන් වෙන් වූ, තනි වූ, නිෂ්ප්‍රයෝජන වූ, සහ හිස් වූ බවක්—ඔබට ඇතැම් විට හැඟෙන්නෙහි ද? එසේ නම්, බලාපොරොත්තු නැති කර නොගන්න. මන්ද, තනිකම දැනීම සතුටක් නොවන අතර, එය යම් මාරාන්තික රෝගයක් ද නොවේ. සරල ව කියනවා නම්, තනිකම අනතුරු ඇඟවීමේ සංඥාවකි. ඔබට ආහාර අවශ්‍ය බව කුසගින්න ඔබට අනතුරු අඟවයි. මිත්‍රත්වය, සමීපත්වය, කුළුපගතාවය ඔබට අවශ්‍ය බව, තනිකම ඔබට අනතුරු අඟවයි. හොඳින් ක්‍රියා කිරීමට අපට ආහාර අවශ්‍යයි. එලෙස ම, හොඳ හැඟීමකින් සිටීමට අපට මිත්‍රත්වය අවශ්‍යයි.
ඔබ කෙදිනක හෝ දීප්තිමත් ගිනි අඟුරු ගොඩක් දෙස බලා තිබෙන්නෙහි ද? ඔබ එම ගොඩෙන් එක් අඟුරු කැබැල්ලක් ඉවතට ගත් විට, එම තනි අඟුරු කැබැල්ලේ දීප්තිය නැති වී යයි. එහෙත් ඔබ එම අඟුරු කැබැල්ල නැවතත් අඟුරු ගොඩට දැමූ පසු, එය නැවත දීප්තිමත් වේ! එලෙස ම මනුෂ්‍යයන් වන අප හුදකලා වීමේ දී, “දීප්තිමත්,” වන්නේවත් වැඩි කලකට හොඳින් ක්‍රියාත්මක වන්නේවත් නැත. මිත්‍රත්වය සඳහා අවශ්‍යතාවය ඇතුළත් කර අප ව සාදා තිබේ.
තනි ව ම නමුත් තනිකම නැත
රචක හෙන්රි ඩේවිඩ් තොරෝ මෙසේ ලීවේ ය: “හුදකලාව තරම් ම ප්‍රිය මිතුරෙකු මට කිසිදා සම්බ වී නැත.” ඔබ එකඟ වන්නෙහි ද? “ඔව්, මං ස්වභාව ධර්මයට කැමතියි. සමහර වෙලාවට මම මගේ කුඩා ඔරුවට නැගලා, වැවේ ඔරු පදිනවා. මං පැය ගණනක් එහි තනි ව ම ඉඳගෙන ඉන්නවා. මගේ ජීවිතය සමඟ මා කරමින් සිටින දේ ගැන ඕනෑකමින් සිතා බැලීමට එය මට කාලය ලබා දෙනවා. එය ඇත්තෙන් ම අගනා දෙයක්,” යයි 20 හැවිරිදි බිල් පවසයි. විසි-එක්-හැවිරිදි ස්ටීවන් ඊට එකඟ වේ. “මා ජීවත් වන්නේ විශාල තට්ටු ගොඩනැගිල්ලකයි. මං සමහර වෙලාවලට තනි ව ම ඉන්න ගොඩනැගිල්ලේ සැඳැල්ලට යන්නවා. මම යම් දේවල් ගැන සිතන අතර, ඉන් පසු යාච්ඤා කරනවා. එය නැවුම්බවක් ගෙන දෙනවා,” යයි ඔහු පවසයි.
එසේ ය, හොඳින් ප්‍රයෝජනයට ගන්නේ නම්, අපට ඉමහත් සතුටක් ගෙන දීමට හුදකලා අවස්ථාවන්ට හැක. යේසුස් වහන්සේ ද එවන් අවස්ථාවන් ප්‍රීතියෙන් භුක්ති වින්ඳ සේක: “හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක.” (මාර්ක් 1:35, නව අනුවාදය) මතක තබාගන්න, යෙහෝවඃ වහන්සේ පැවසුවේ ‘මනුෂ්‍යයා මොහොතකට තනි ව සිටීම හොඳ නැත,’ කියා නොවේ. ඒ වෙනුවට, උන් වහන්සේ පැවසුවේ “මනුෂ්‍යයා දිගට ම,” තනි ව සිටීම හොඳ නැත කියා ය. (උත්පත්ති 2:18-23, NW) එසේ නම්, හුදකලාවේ දිගු කාල පරිච්ඡේදයන් තනිකමට මඟ පෑදිය හැක. බයිබලය මෙසේ අනතුරු අඟවයි: “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුත්ටධව ඇවිස්සෙන්නේය.”—හිතෝපදේශ 18:1.
තාවකාලික තනිකම
අලුත් ස්ථානයකට මාරු වී යාමේ ප්‍රතිඵලයක් වශයෙන් සමීප මිතුරන්ගෙන් වෙන් වී සිටීමට සිදු වීම වැනි වැළැක්විය නොහැකි තත්ත්වයන්වල දී, ඇතැම් විට තනිකම අප කෙරෙහි බලපායි. ස්ටීවන් මෙසේ සිහිපත් කරයි: “කලින් නිවසේ සිටින විට ජේම්ස් සහ මා සහෝදරයන්ට වඩා සමීප මිතුරන් ව සිටියා. මා මාරු වී ගිය විට, මට ඔහු නැති නිසා පාළු බවක් දැනෙන වග මං දැනගෙන සිටියා.” පිට වී ගිය මොහොත නැවත අත්දකින්නාක් මෙන් සිතමින්, ස්ටීවන් මඳක් නැවතුණි. “මට ගුවන් යානයට නැගීමට සිදු වූ වෙලාවේ, මට කථා කර ගන්න බැරි වුණා. අපි වැළඳ ගෙන සිප ගත් අතර, මං පිට වී ගියා. යම් වටිනා දෙයක් නැති වී ගියාක් මෙන් මට හැඟුණා.”
ස්ටීවන් ඔහුගේ නව වාතාවරණයෙහි කල් ගෙව්වේ කෙසේ ද? “එය දුෂ්කර විය. නිවසේ සිටිය විට මගේ මිතුරන් මට කැමති වූ නමුත් මෙහි දී මා සමඟ වැඩ කළ මිතුරන්ගෙන් සමහරෙක්, මා හොඳ කෙනෙකු නොවනවා වාගේ හැඟීමට මට සැලැස්සුවා. මම ඔරලෝසුව දෙස බලා ආපස්සට පැය හතරක් ගණන් බලනවා මට මතකයි. (කාලයේ වෙනස එයයි) මේ දැන් ජේම්ස් සහ මම කරමින් සිටින්නට තිබුණේ මොනවාදැයි කල්පනා කළා. මට තනිකමක් දැනුණා.”
දේවල් හොඳින් සිදු නොවන විට, අපි බොහෝ විට අතීතයේ අපට තිබූ හොඳ කාලයන් ගැන සිතමින් සිටින්නෙමු. කෙසේ වුවද, බයිබලය මෙසේ පවසයි: “ ‘පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි’ නොකියන්න.” (දේශනාකාරයා 7:10) මෙසේ අවවාද කරන්නේ මන්ද?
එක් දෙයක් නම්, තත්ත්වයන් හොඳ අතට වෙනස් විය හැක. පරීක්ෂකයෝ “තාවකාලික තනිකම,” ගැන බොහෝ විට පවසන්නේ එමනිසයි. මෙබැවින් ස්ටීවන්ට ඔහුගේ තනිකම ජය ගැනීමට හැකි ය. කෙසේ ද? “සැලකිල්ල දක්වන කෙනෙකු සමඟ මගේ හැඟීම් ගැන කථා කිරීම උපකාරවත් විය. ඔබට අතීතයේ ජීවත් විය නොහැක. අන් අය ව මුණ ගැසීමට මම මට ම බල කර, ඔවුන් කෙරෙහි උනන්දුවක් දැක්වූවා. එය ක්‍රියාත්මක වුණා; මට අලුත් මිතුරන් සම්බ වුණා.” තව ද ජේම්ස් ගැන කුමක් කිව හැකි ද? ‘මට වැරදී තිබුණා. මාරු වී යෑමෙන් අපේ මිත්‍රත්වය අවසන් වුණේ නෑ. මං දිනක් ඔහුට දුරකථනයෙන් ඇමතුවා. අපි පැයකුත් විනාඩි 15වක් දිගින් දිගට ම කථා කළා.’
නිදන්ගත තනිකම
එහෙත්, ඇතැම් විට, තනිකමේ දුක් වේදනාව දිගට ම පවතින අතර, ඉන් ගොඩ ඒමට මාර්ගයක් නොමැති බව පෙනෙන්නට තිබේ. උසස් පාසල් ශිෂ්‍යයෙකු වූ රොනි, මෙසේ විස්තර කරයි: “මා මෙම පළාතේ අවුරුදු අටක් තිස්සේ පාසල් යන නමුත්, ඒ මුළු කාලය පුරා මට එක ම එක මිතුරෙකුවත් ඇති කර ගන්න බැරි වුණා! . . . මට හැඟෙන දේ ගැන කිසි කෙනෙක් දන්නේ නෑ, කිසි කෙනෙක් සැලකිල්ලක් ද දක්වන්නේ නෑ. සමහර විට මට සිතෙන්නේ තවදුරටත් මට එය දරා ගන්න බෑ කියලයි!”
බොහෝ විට නිදන්ගත තනිකම ලෙස හඳුන්වන දෙය රොනී වාගේ ම, බොහෝ යෞවනයෝ අත්දකිමින් සිටිති. මෙය තාවකාලික තනිකමට වඩා වැඩියෙන් බරපතළ දෙයකි. ඇරත්, “සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාව සහ නිව්මෝනියාව එකිනෙකට වෙනස් වෙනවා වාගේ ම ඒ දෙක වෙනස්,” යයි පරීක්ෂකයෝ පවසති. නමුත් නිව්මෝනියාව සුව කළ හැකිවාක් මෙන් ම, නිදන්ගත තනිකම ද ජය ගත හැක. පළමු පියවර වන්නේ එය ඇති කරවන හේතුව තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය. (හිතෝපදේශ 1:5) නිදන්ගත තනිකමට වඩාත් ම පොදු හේතුව හුවා දක්වමින් 16-හැවිරිදි රොන්ඩා මෙසේ පවසයි: “මට බොහෝ සෙයින් තනිකමක් දැනීමට හේතුව වූයේ—ඇත්තෙන් ම යමෙකු හට තමා ගැන ම නරක ලෙස හැඟෙන්නේ නම් ඔහුට මිතුරන් ඇති කර ගත නොහැකිය යන්න තහවුරු වූ නිසයි. මං සිතනවා මං මට ම වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ කියල.”—ලෝන්ලි ඉන් අමෙරිකා.
රොන්ඩාගේ තනිකම පැමිණෙන්නේ ඇය තුළින් ම ය. තමා ගැන හෙළි කර මිතුරන් ඇති කර ගැනීමෙන් ඇය ව වළක්වන භාධාවක් ලෙස ඇගේ පහත් ආත්ම-අභිමානය ක්‍රියා කරයි. එක් පර්යේෂකයෙක් මෙසේ පවසයි: “ ‘මම ලස්සන කෙනෙක් නෙවෙයි,’ ‘මම සිත් ඇදගන්නා සුලු කෙනෙක් නෙවෙයි,’ ‘මා වටිනාකමක් නැති කෙනෙක්,’ වැනි සිතුවිලි නිදන්ගත ලෙස තනි වී සිටින්නන් අතර පොදු මාතෘකාවන් ය.” මෙලෙස ඔබේ තනිකම ජය ගැනීමට ප්‍රධාන දෙය රඳා පවතින්නේ ඔබේ ආත්ම-ගෞරවය ගොඩනැගීම මත ය. (පරිච්ඡේද 12 බලන්න.) කරුණාවන්තකම, නිහතමානිකම සහ මෘදුකම යන ගුණාංග විදහා පාමින් බයිබලයේ පවසන “අලුත් පුද්ගලිකත්වය” වර්ධනය කර ගන්නා විට, ඔබේ ආත්ම-ගෞරවය වැඩි වන බව සහතිකයි!—කොලොස්සි 3:9-12, NW.
තවදුරටත්, ඔබ ගැන ම කැමැත්තක් දැක්වීමට ඔබ ඉගෙන ගන්නා විට, ඔබේ සිත් ඇදගන්නා ගුණාංග වෙත අන්‍යයන් ඇදී එනු ඇත. එහෙත් මලක සම්පූර්ණ පාට දැකගත හැකි වන්නේ එය පිපුණු පසු ව පමණක් වන්නා සේ ම, අන්‍යයන්ට ඔබේ ගුණාංග සම්පූර්ණයෙන් ම අගය කළ හැකි වන්නේ ඔවුන් වෙත ඔබ විවෘත වනවා නම් පමණකි.
නිහඬතාවය බිඳීමට පියවර ගැනීම
එක්සත් ජනපදයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයෙන් වූ මෑත ප්‍රකාශනයක් මෙසේ පවසයි, ‘තනි වූ පුද්ගලයෙකු සඳහා හොඳ ම අවවාදය වන්නේ, අන් අය සමඟ සම්බන්ධ වීම ය.’ “සිතින් විශාල” වී, “සහෝදර ස්නේහය,” හෝ සංවේදනය දක්වන්න යන මෙම අවවාදය, බයිබලයේ උපදේශය හා සමඟ එකඟ වේ. (2 කොරින්ති 6:11-13; 1 පේතෘස් 3:8) එය ක්‍රියාත්මක වේ. අන් අය කෙරෙහි සැලකිල්ල දැක්වීමෙන් ඔබේ ම තනිකම ඔබේ මනසෙන් ඉවත් වෙනවා පමණක් නොව නමුත් ඔබ කෙරෙහි උනන්දුවක් ඇති කර ගැනීමට අන්‍යයන් ව පොලඹවයි.
මෙලෙස දහනව-හැවිරිදි නටාලි, නිකම් හිඳගෙන, අන් අය විසින් කොහොමදැයි අසන තෙක් බලා සිටීමට වඩා වැඩි යමක් කිරීමට තීරණය කළා ය. ‘මමත් මිත්‍රශීලී විය යුතුයි. නැත්නම් මා උඩඟු කෙනෙකු යයි අන් අය සිතයි.’ එබැවින් මදහසකින් අරඹන්න. සමහර විට අනෙක් තැනැත්තා ප්‍රති මදහසක් පාන්නට ඉඩ තිබේ.
ඊළඟට, සංවාදයක් අරඹන්න. වයස අවුරුදු 15ක් වූ ලිලියන්, මෙසේ පිළිගන්නී ය: “පළමු වරට අමුත්තන් වෙතට යෑම ඇත්තෙන් ම තැති ගන්වන සුලු වූවා. ඔවුන් මා ව පිළිගන්නේ නැති වෙයි කියා මම භියෙන් සිටියේ.” ලිලියන් සංවාදයන් අරඹන්නේ කෙසේ ද? ඇය මෙසේ පවසන්නී ය: “ ‘ඔයා එන්නේ කොහේ ඉඳල ද?’ ‘ඔයා අහවල් තැනැත්තා ව දන්නවා ද?’ යන සරල ප්‍රශ්න මම අහනවා. අප දෙදෙනා ම එම පුද්ගලයා ව දැනගෙන සිටින්නට පුළුවන්, වැඩි වෙලාවක් යන්න පෙර අපි කථාවට වැටෙනවා.” එලෙස ම කරුණාවන්ත ක්‍රියා සහ ත්‍යාගශීලී ස්වභාවයක් මාහැඟි මිත්‍රත්වයන් ගොඩ නගා ගැනීමට ඔබට උපකාර කරනු ඇත.—හිතෝපදේශ 11:25.
ඔබ ව කෙදිනක හෝ අත්නොහරින මිතුරෙකු ඔබට සිටිය හැකි බවත් මතක තබාගන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වකීය ගෝලයන්ට මෙසේ කී සේක: “පියාණන්වහන්සේ මා සමග සිටින බැවින් මම තනියම නොවෙමි.” (යොහන් 16:32) ඔබගේත් සමීප ම මිතුරා වීමට යෙහෝවඃ වහන්සේට හැක. බයිබලය කියවීමෙන් සහ උන් වහන්සේගේ මැවිල්ල නිරීක්ෂණය කිරීමෙන් උන් වහන්සේගේ පුද්ගලිකත්වය දැනගන්න. යාච්ඤා කිරීමෙන් උන් වහන්සේ සමඟ ඔබේ මිත්‍රත්වය ශක්තිමත් කර ගන්න. අවසානයේ දී, යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ මිත්‍රත්වය තනිකම සඳහා හොඳ ම සුවය වේ.
ඔබට තවදුරටත් කලින් කලට තනිකම දැනෙන්නේ නම්, නිස්කලංක ව සිටින්න. එය සම්පූර්ණයෙන් ම සාමාන්‍ය දෙයකි. එහෙත්, අධික ලජ්ජාශීලී භාවය, මිතුරන් සාදා ගැනීමෙන් සහ අන්‍යයන් සමඟ සිටීමෙන් ඔබ ව වළක්වන්නේ නම් කුමක් ද?
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ තනි ව සිටීම අනිවාර්යයෙන් ම නරක දෙයක් ද? හුදකලා වීමෙන් ප්‍රයෝජන තිබේ ද?
◻ අධික තනිකම තාවකාලික වන්නේ මන්ද? ඔබ ගැන ම බලන විට මෙය සැබෑ බව ඔබට දැනී තිබෙනවා ද?
◻ නිදන්ගත තනිකම කුමක් ද, ඉන් ජය ගැනීමට ඔබට හැක්කේ කෙසේ ද?
◻ අන්‍යයන් සමඟ ‘නිහඬතාවය බිඳීමට පියවර’ ගන්නට පුළුවන් ඇතැම් ක්‍රම කවරේ ද? ඔබ සඳහා ක්‍රියාත්මක වී තිබෙන්නේ කුමක් ද?
[119 පිටුවෙහි හුවා දැක්වීම]
එක්සත් ජනපදයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයෙන් වූ මෑත ප්‍රකාශනයක් මෙසේ පවසයි, ‘තනි වූ පුද්ගලයෙකු සඳහා හොඳ ම අවවාදය වන්නේ, අන් අය සමඟ සම්බන්ධ වීම ය’
[117 පිටුවෙහි ඇති පින්තූර]
ඉතා දුරක සිට වුවත් මිතුරන් සමඟ සම්බන්ධයක් තබාගත හැක
[118 පිටුවෙහි ඇති පින්තූර]
හුදකලාවේ කාල පරිච්ඡේදයන් ප්‍රීතියෙන් භුක්ති විඳිය හැක