ඔබගේ ජීවිතය පාළු කිරීමට තනිකමට ඉඩ නොදෙන්න
තනිකමට වයසක අයගේ මෙන්ම යෞවනයන්ගේ ජීවිතද පාළු කළ හැකිය. රෙඩ්බුක් සඟරාවේ ලේඛිකා ජූඩිත් වියෝර්ස්ට් මෙසේ පවසන්නීය: “තනිකම හදවත මත ගලක් වැතිර තිබෙනවාක් මෙනි. . . . තනිකම අප හිස්කමේ තබා බලාපොරොත්තු විරහිත තත්ත්වයකට පත් කරයි. මව අහිමි වූ දරුවෙකුගේ වැනි, එමෙන්ම සැලකිල්ල නොදක්වන ලෝකයක ඉබාගාතේ ගිය අසරණ පුංචි බැටළු පැටියෙකුගේ වැනි එතරම්ම හැඟීමක් තනිකම අප තුළ ඇති කරවයි.”—1991 සැප්තැම්බර්.
මිත්‍රයන්ගෙන් වෙන්වීම, නුහුරු නුපුරුදු වටපිටාව, දික්කසාදය, වියෝ දුක, හෝ අදහස් හුවමාරුව ඇණ හිටීම—මේ සියලු ආකාර දේවලට ඔබව තනි කළ හැකිය. අවට වෙනත් ජනයාගෙන් වටවී සිටින අවස්ථාවලදී පවා, ඇතැමුන්ට තදින් තනිකම දැනේ.
ඔබට කුමක් කළ හැකිද?
තනිකම සැබවින්ම ඔබට පහර දේ නම්, ඔබ අසරණ වී එයට ගොදුරක් විය යුතුද? තනිකම මගින් පියවරෙන් පියවර ඔබව විනාශ කර දැමීමෙන් හෝ ජීවත් වීමට ඔබට තිබෙන ආශාව ටිකෙන් ටික සිඳුවාලීමෙන් වැළකීමට ඔබට යම් දෙයක් කළ හැකිද? ඇත්තෙන්ම ඔබට හැකිය, උපකාරවත් වන බොහෝ අවවාද ලබා ගත හැකිව තිබේ. තවද බොහෝ උපදෙස් දෙවියන්වහන්සේගේ ආනුභාව ලත් වචනය වන බයිබලයේ දී තිබේ. තනිකමට එරෙහිව සටන් කිරීමට ඔබට අවශ්‍යම දේ එවන් දිරිගැන්වීමක් වෙන්නට පුළුවන.—මතෙව් 11:28, 29.
නිදසුනක් වශයෙන්, මීට වසර 3000කට පමණ පෙර, මැදපෙරදිග ජීවත් වූ යෞවන ස්ත්රියකවූ රූත් ගැන කියවීම දිරිගැන්වෙන යමක් බව ඔබට පෙනීයනවා විය හැක. ඈ තනිකමින් පීඩා විඳි බවක් බොහෝසෙයින් පෙනෙන්නට තිබේ. ඇගේ ස්වාමිපුරුෂයා මියගිය පසු, ඈ ඇගේ නැන්දම්මා සමඟ ඉශ්‍රායලයේ නුහුරු නුපුරුදු වටපිටාවක ජීවත් වීමට ගියාය. (රූත් 2:11) ඇය ඇගේ පවුලත් කලින් සිටි මිත්‍රයන්වත් අහිමිව ගොස් නුපුරුදු දේශයක විදේශිකාවක වුවත්, තනිකම තමාව යටපත් කිරීමට ඇය විසින් ඉඩහැරිය බවට අඟවන කිසිවක් බයිබලයේ නැත. රූත් නමැති බයිබල් පොතෙන් ඇගේ කතන්දරය කියවා බැලීමට ඔබට හැකියි.
රූත් මෙන්, ඔබටද ඒකාන්ත ආකල්පයක් තබා ගැනීම අවශ්‍යය. ඔබ කාරණා හා සිද්ධීන් පිළිබඳව සිතන අන්දම නිසා තනිකම පෝෂ්‍ය විය හැකියි. අසනීපයකින් දුර්වලව සිටි තම පියාට වසර හතරක් පුරා සාත්තු කළ ඈන් මෙය සනාථ කරයි. ඔහු මියගිය විට ඈට මහත් තනිකමක් දැනිණි. “මට හරියට දැනුණේ මා මුළුමනින්ම නොවටිනා හිස් කෙනෙක් කියා, කිසිවෙකුට තවදුරටත් මාව අවශ්‍ය නැහැ කියා” යනුවෙන් ඈ පවසන්නීය. “නමුත් මගේ ජීවිතය දැන් වෙනස් වී තිබුණේය යන සත්‍යයට මම මුහුණ දුන්නා, තනිකමට එරෙහිව මා සටන් කිරීමට නම්, දැන් මට තිබූ තත්ත්වයන්ගෙන් මා උපරිමය ගත යුතු බව මට වැටහුණා.” ඇතැම් විට, ඔබගේ තත්ත්වයන් වෙනස් කිරීමට ඔබට බැරිය, නමුත් ඒවා කෙරෙහි ඔබගේ ආකල්පය වෙනස් කිරීමට ඔබට හැකිවන්නට පුළුවන.
විපාකදායී ක්‍රියාකාරකම්වල නියැලීම උපකාරයක් වුවත්, එය තනිකමට එරෙහිව කරන සටනට මුළු පිළිතුරම නොවේ. විවාහවී හුදෙක් මාස හයක් ගතවූ විට වැන්දඹුවක් බවට පත්වූ අයිරීන්, තමාගේ තත්ත්වය තුළ මෙය සත්‍යයක් බව සොයාගත්තාය: “තනිකම මට වැඩියෙන් පහර දුන්නේ මා අඩුවෙන් වැඩබහුලව සිටියදී බව මා දුටුවා. එමනිසා, අන්‍යයන්ගේ කටයුතුවලට සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ට උදව්වීමට මා උත්සාහ කළා” යනුවෙන් ඈ පවසන්නීය. අන්‍යයන්ට උපකාර කිරීම සන්තෝෂය ගෙන දෙන අතර, ස්වාමීන්වහන්සේගේ වැඩය තුළ බොහෝ දේ කිරීමට තිබෙන බව තනිව සිටින ක්‍රිස්තියානීන්ට පෙනී යනවා ඇත.—ක්‍රියා 20:35; 1 කොරින්ති 15:58.
උපකාර කිරීමට මිත්‍රයන්ට ඉඩ හරින්න
තනිව සිටින දරුවන් “මිත්රශීලීබවේ ඌනතාවේ තුවාලවලින්” වේදනා විඳ තිබෙන බව ද නිව් යෝර්ක් ටයිම්ස් මැගසීන් විස්තර කරයි. (1991 අප්‍රියෙල් 28) බාල මහලු තනිව සිටින බොහෝ දෙනෙකුට මිත්‍රයන් නැති බව දැනේ. එහෙයින්, සැලකිල්ල දක්වනසුලු ක්‍රිස්තියානි සභාව සපයන අව්‍යාජ මිත්‍රත්වය ඇතුව සිටීම සැබවින් වාසිදායකය. සභාව තුළ ඔබගේ මිතුරන්ගේ කවය පුළුල් කර ගැනීමට මහන්සි ගන්න, තවද ඔවුන්ට හැකි ඕනෑම ආකාරයකින් ඔබට උපකාර කිරීමට ඔවුන්ට ඉඩ හරින්න. මිත්‍රයන් සිටීමට එක හේතුවක් නම් එයය, එනම්, කරදරවලට පත්වී සිටින වේලාවලදී අනුබල දීමටය.—හිතෝපදේශ 17:17; 18:24.
එනමුත්, ඔබගේ චිත්තවේගී වේදනාව නිසා, ඔබගේ මිතුරන්ට ඔබට උපකාර කිරීම ඔබ විසින් ඇත්තෙන්ම දුෂ්කර කරවිය හැකි හෙයින් ඒ ගැන කල්පනාවෙන් සිටින්න. කෙසේද? ජෙෆ්රි යං නමැති ලේඛකයා මෙසේ පැහැදිලි කරයි: “තනිකම දැනෙන ඇතැම්හු, . . . තම මිත්‍රයන් විය හැකි අය සමඟ කථාබහ කරන විට සාකච්ඡාව තමාගේ අණසක යටතට ගනිමින් හා එය පාලනය කිරීමෙන් හෝ අප්‍රසන්න හෝ නුසුදුසු දේවල් කීමෙන් එවැනි මිත්‍රයන් ඈත් කර ගනිති. නිදන්ගත තනිකම අද්දකින අය, එක් අයුරකින් හෝ තවෙකකින් සමීප සබඳතාවලට හානි පමුණුවා ගැනීමට නැඹුරු වෙති.—යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට්, 1984 සැප්තැම්බර් 17.
ඇතැම් අවස්ථාවල, අන්‍යයන් වෙතින් ඔබවම ඈත්කර ගැනීමෙන් ඔබ දේවල් වඩාත් නරක් කරගන්නෙහිය. තම 50 ගණන්වල සිටි පීටර් කළේ එයයි. ඔහුගේ භාර්යාව මියගියායින් පසු, ඔහුගේ ඇතුළාන්ත හැඟීම්වලට අනුව ඔහුට අන්‍යයන්ගේ උපකාරය වුවමනා වුවත්, තමා අන්‍යයන් වෙතින් ඈතට ඇදීයනවා ඔහුට දැනිණි. ඔහු මෙසේ පවසයි: “ඇතැම් දවස්වල, මට අන්‍යයන්ගේ සමාගමට මුහුණ දෙන්න බැරිවුණා. ටික කලක් යන විට මට තේරුණා මා මිනිසුන්ගෙන් ඈත්ව යනවා කියා.” මෙය භයානක විය හැක. යම් වේලාවල නිවී සැනසිල්ලේ තනිව සිටීම ප්‍රයෝජනවත් වියහැකි නමුදු, හුදෙකලාවීම හානිදායකය. (හිතෝපදේශ 18:1) පීටර් මෙය වටහා ගත්තේය. ඔහු මෙසේ කියයි: “අන්තිමේදී මම මින් ගොඩ ආවා, මගේ තත්ත්වයට මුහුණ දී, මගේ මිත්‍රයන්ගේ උපකාරය ඇතුව, මගේ ජීවිතය නැවත ගොඩනංවන්නට මට පුළුවන් වුණා.”
එසේ නමුත්, අනෙක් අය උපකාර කිරීම සඳහා යම් ආකාරයක කොන්දේසියකට යටත්ව සිටින බව උපකල්පනය නොකරන්න. දේවල් බලෙන් ඉල්ලා සිටින තත්ත්වයකට පත්නොවීමට උත්සාහ කරන්න. ඔබ වෙත දක්වන ඕනෑම කරුණාවන්ත බවක් සතුටින් පිළිගෙන, ඒ සඳහා අගය කිරීම ප්‍රකාශ කරන්න. එහෙත්, හිතෝපදේශ 25:17හි [නව අනුවාදය] සඳහන් මෙම යහපත් අවවාදය මතක තබාගන්න: “අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර නොයන්න; ගියොත් ඔහුට ඔබව එපාවී ඔහු ඔබ නුරුස්සයි.” වසර 35ක විවාහ දිවියක් ගත කළ තම ස්වාමිපුරුෂයා මියගිය පසු, ගැඹුරු තනිකමකට මුහුණ පෑ ෆ්රැන්සස්ට එවැනි පරෙස්සම් වීමක් වැදගත් බව හැඟේ. ඈ මෙසේ පවසන්නීය: “ඔබ අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් සාධාරණ වන්න, අනෙක් අයගෙන් දේවල් ඕනෑවට වඩා ඉල්ලන්න එපා. උපකාර පතා හැමදාම තවත් කෙනෙකුගේ ගෙදරට යන්න එපා.”
යෙහෝවඃවහන්සේ සලකනසේක
ඇතැම් අවස්ථාවලදී මිනිස් මිතුරන් ඔබගේ බලාපොරොත්තු කඩ කළද, ඔබට තවමත් යෙහෝවඃ දෙවියන්වහන්සේ ඔබගේ මිත්‍රයා ලෙස තබා ගත හැකිය. උන්වහන්සේ ඇත්තටම ඔබ ගැන සලකන බවට සහතික වන්න. උන්වහන්සේ තුළ ඔබගේ නිසැකකම ශක්තිමත්ව තබා ගන්න, එමෙන්ම උන්වහන්සේගේ සුරැකි සැලකිල්ල තුළ රැකවරණය සොයන්න. (ගීතාවලිය 27:10; 91:1, 2; හිතෝපදේශ 3:5, 6) මෙය කළ මෝවබීය රූත් බොහෝ සෙයින් ආශීර්වාද ලැබුවාය. ඇයි, ඈ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුතුන්මිත්තනියක් බවට පවා පත්වූවාය!—රූත් 2:12; 4:17; මතෙව් 1:5, 16.
නිරතුරුවම යෙහෝවඃවහන්සේට යාච්ඤා කරන්න. (ගීතාවලිය 34:4; 62:7, 8) තනිකමට මුහුණ දීමේදී යාච්ඤාව ඉතා ප්‍රබල ශක්තියේ උල්පතක් බව මාග්‍රට් සොයාගත්තාය. ඇගේ සැමියා ඒවනවිටත් යෞවන පුරුෂයෙකුව සිටින විටදී මියයන තෙක් ඈ ඇගේ සැමියා සමඟ පූර්ණ කාලීන දේව සේවයේ හවුල් වූවාය. “හඬනගා යෙහෝවඃවහන්සේට යාච්ඤා කරමින්, මගේ භය හා කනස්සලු සියල්ලම උන්වහන්සේට කීම හොඳ දෙයක් බව මට හැමවිටම වැටහුණා” යයි ඈ පවසන්නීය. “මා තනිකමේ ප්‍රහාරයට ගොදුරු වී සිටින විට, කාරණා දෙස හරි ලෙස බැලීමට එය මට උදව් වුණා. ඇරත් යෙහෝවඃවහන්සේ එම යාච්ඤාවලට පිළිතුරු දෙනවා දකින විට මා තුළ නිසැකකමක් ඇති වුණා.” ප්‍රේරිත පේතෘස්ගේ මෙම අවවාදය අනුගමනය කිරීමෙන් ඈ බොහෝ ප්‍රයෝජන ලැබුවාය: “දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස, උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා; උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබාපල්ලා.”—1 පේතෘස් 5:6, 7; ගීතාවලිය 55:22.
යෙහෝවඃවහන්සේ සමඟ යහපත් සම්බන්ධතාවක් තබා ගැනීමෙන් ඔබට, බොහෝ විට වෙනත් අය අහිමි කර ගෙන තිබෙන දෙයක් ඔබටම තබා ගත හැකිය, එනම් ආත්ම වටිනාකමයි. තම සැමියා පිළිකාවකින් මියගිය විට, පුවත්පත් කලාවේදිනියක්වූ ජනෙට් කූප්ෆර්මැන්, “තමාගේ අගය අඩුබවක හා නොවටිනාබවක හැඟීම්” ගැන ලීවාය. ඈ පැවසුවේ: “වැන්දඹුවන් බොහෝ දෙනෙකුව සියදිවි හානිකරගැනීම තරම් දුරදිග යන කලකිරීමක් දක්වා මඟ පෙන්වන්නේ මෙම කිසිත් වටිනාකමක් නැතිබවට වූ හැඟීමය.”
යෙහෝවඃවහන්සේ ඔබව බොහෝ සෙයින් අගය කරන බව මතක තබා ගන්න. ඔබ කිසිදු වටිනාකමක් නැති කෙනෙකු වශයෙන් උන්වහන්සේ සිතන්නේ නැත. (යොහන් 3:16) අතීත කාලවලදී දෙවියන්වහන්සේ ඉශ්රායෙල් ජනයාට අනුබල දුන්නාක් මෙන් ඔබටද අනුබල දෙනවා ඇත. උන්වහන්සේ ඔවුන්ට මෙසේ පැවසූසේක: “මම නුඹ පහකර නොදමා [සිටිමි] . . . භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි, තැති නොගනින්න, මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට [සැබවින්ම, NW] උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි.”—යෙසායා 41:9, 10.
දෙවියන්වහන්සේට වරද නොතබන්න
සියල්ලටම වඩා, ඔබගේ තනිකම සඳහා දෙවියන්වහන්සේට වරද නොතබන්න. යෙහෝවඃවහන්සේ ඊට වගකිව යුතු නොවේ. ඔබ සඳහා, සකල මිනිස් සංහතිය සඳහා සෑමවිටම උන්වහන්සේගේ අරමුණ වී ඇත්තේ, යහපත්, තෘප්තිමත් සහකාරත්වයක් භුක්ති විඳීමය. දෙවියන්වහන්සේ ආදම් මැවූ අවස්ථාවේ, මෙසේ පැවසූසේක: “මනුෂ්‍යයා තනිවම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමි.” (උත්පත්ති 2:18) තවද දෙවියන්වහන්සේ පළමු ස්ත්රියවූ ඒවව මැවූ අවස්ථාවේ දෙවියන්වහන්සේ කළේ මෙයයි. සාතන්ගේ කැරැල්ල සිදුවී නොතිබුණා නම්, පුරුෂයා හා ස්ත්‍රියද ඔවුන් බිහිකළ පවුල්ද කිසිවිටෙකත් තනිකම අත්නොදකින්නට තිබුණි.
ඇත්ත වශයෙන්ම, දුෂ්ටකමට යෙහෝවඃවහන්සේ විසින් තාවකාලිකව අවසර දීම, තනිකම වර්ධනය වීමටත් වෙනත් ආකාරයේ වේදනාවන් සිදුවීමටත් ඉඩ දී තිබේ. කෙසේවෙතත්, මෙය තාවකාලික බව පැහැදිලිව මනසේ තබාගන්න. දෙවියන්වහන්සේ ස්වකීය නව ලෝකයේදී ඔබ සඳහා කරන්නට යන දෙය නමැති චිත්‍රය තුළින් බැලූ කල, තනිකම නමැති පරීක්ෂාව දරාගැනීමට එතරම් දුෂ්කර යමක් නොවේ. මේ අතරතුර උන්වහන්සේ ඔබට අනුබල දී ඔබව සනසනවා ඇත.—ගීතාවලිය 18:2; පිලිප්පි 4:6, 7.
මෙය දැනගැනීම ඔබට ශක්තිය ගෙන දිය හැකියි. (කලින් සඳහන් කළ) ෆ්රැන්සස් වැන්දඹුවක් බවට පත් වූ අවස්ථාවේ, ඈ විශේෂයෙන් රාත්‍රි කාලයේදී ගීතාවලිය 4:8හි [න.අ.] සඳහන් වචනවලින් ඉමහත් සැනසිල්ලක් ලැබුවාය: “මා ශාන්ත සිතින් සැතපී, වහා නින්දට යමි. මන්ද, සමිඳුනි [යෙහෝවඃවහන්ස, NW], ඔබ මට සුරැකිව විසීමට වර දෙන සේක.” ගීතාවලිය පොතේ සඳහන් එවැනි අදහස් මත මෙනෙහි කරන්න. ගීතාවලිය 23:1-3හි පළ කර ඇති පරිදි, දෙවියන්වහන්සේ ඔබ ගැන සැලකිල්ල දක්වන ආකාරය ඕනෑකමින් සිතා බලන්න.
තනිවූවන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
තනිවූවන්ට උපකාර කළ හැකි ප්‍රධානතම මාර්ගයක් නම්, ඔවුන්ට ප්‍රේමය පෙන්වීමයි. බයිබලය විටින් විට දෙවියන්වහන්සේගේ ජනයාව දිරිගන්වන්නේ එකිනෙකාට ප්‍රේම කරන ලෙසය, තවද පරීක්ෂාකාරී කාලවලදී මෙය විශේෂයෙන් වැදගත්ය. “සහෝදර ස්නේහයෙන් යුතුව එකිනෙකා කෙරෙහි මුදු මොළොක් ස්නේහය ඇතුව සිටින්න” යයි ප්‍රේරිත පාවුල් ලීවේය. (රෝම 12:10, NW) ඇත්ත වශයෙන්ම, “ප්‍රේමය කිසිකලෙක පහවන්නේ නැත” කියා දෙවියන්වහන්සේගේ ආනුභාව ලත් දේව වචනය පවසයි. (1 කොරින්ති 13:8) තනිව සිටින අයට ප්‍රේමය පෙන්වීමට ඔබට හැක්කේ කෙසේද?
තනිවූ අයව ප්‍රතික්ෂේප කරනවා හෝ නොසලකා හරිනවා වෙනුවට, හැකි සෑම අවස්ථාවකදීම ඉවසීමෙන් යුතුව ඔවුන්ට උපකාර කිරීමෙන් තම මුදු මොළොක් ස්නේහය පෙන්වීමට සැලකිලිමත් පුද්ගලයන්ට හැකිය. මෙසේ පැවසූ මනුෂ්‍යයා වූ යෝබ් මෙන් වීමට ඔවුන්ට පුළුවන: “හඬා සිටි අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද ගැළෙවුවෙමි. . . . වැන්දඹුවගේ සිතත් [හෘදයත්, NW] ප්‍රීතියෙන් පිනායන්ටද සැලැස්වීමි.” (යෝබ් 29:12, 13) පුද්ගලයාව තේරුම් ගැනීම, උණුසුම්භාවය සහ සැනසීම වැනි මූලික මිනිස් අවශ්‍යතා සැපයීම මගින් එවැනිම සැලකිලිමත් අන්දමකින් ක්‍රියා කිරීමට ක්‍රිස්තියානි සභාවේ පත්කරන ලද වැඩිමහල්ලන්ට හා දයානුකම්පිත මිත්‍රයන්ට හැක. ඔවුන්ට සංවේදනය පෙන්විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී රහසිගත කථාබහක් සඳහා ඇති අවශ්‍යතාව සපුරාලීමටද ඔවුන්ට හැකිය.—1 පේතෘස් 3:8.
බොහෝ විට අතිශයින් වැදගත්කමක් ගන්නේ තනිවූ පුද්ගලයන් සඳහා මිත්‍රයන් කරන කුඩා දේවල්ය. නිදසුනක් වශයෙන්, සෙසු ඇදහිලිවන්තයෙකුට මරණයෙන් තම ප්රේමනීයයෙකුව අහිමි වූ විට, අව්‍යාජ මිත්‍රත්වයේ කාරුණික ක්‍රියාවන්ගෙන් බොහෝ යහපත් දේ ඉටු කළ හැකිය. ආහාර වේලකට ආරාධනා කිරීම, දයානුකම්පිත ලෙස සවන් දීම, හෝ දිරිගැන්වෙනසුලු කථා බහ වැනි සුළු වශයෙන් පෙන්වන කරුණාවන්ත බවක අගය අඩුවෙන් තක්සේරු නොකරන්න. තනිකමට එරෙහිව සටන් කිරීම සඳහා පුද්ගලයෙකුට උපකාර කිරීමෙහිලා මෙම දේවල් ඉතා ප්‍රබල දේවල්ය.—හෙබ්‍රෙව් 13:16.
පෙනෙන විදිහට අප සියලු දෙනාම විටින් විට යම් පමණක තනිකම අද්දකිනවා ඇත. එහෙත්, තනිකම මහත් පීඩාවක් බවට පත්වීම අවශ්‍ය නැත. ඔබගේ ජීවිතය අර්ථවත්, ගොඩනංවනසුලු ක්‍රියාකාරකම්වලින් පුරවන්න. හැකි අවස්ථාවලදී උපකාර කිරීමට මිතුරන්ට ඉඩ හරින්න. යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි නිසැකකම ඇතුව සිටින්න. ගීතාවලිය 34:19හි වාර්තා වී ඇති දිරිගැන්වෙනසුලු පොරොන්දුව මනසේ සමීපව තබා ගෙන සිටින්න: “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය, නුමුත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.” උපකාරය පතා යෙහෝවඃවහන්සේ වෙත හැරෙන්න, එමෙන්ම ඔබගේ ජීවිතය පාළු කිරීමට තනිකමට ඉඩ නොදෙන්න.
[24වන පිටුවේ කොටුව]
තනිකමට එරෙහිව සටන් කිරීමට මාර්ග කිහිපයක්
▪ යෙහෝවඃවහන්සේට සමීපව සිටින්න
▪ බයිබලය කියවීමෙන් සහනය සොයන්න
▪ ඒකාන්ත ක්‍රිස්තියානි දෘෂ්ටියක් පවත්වාගන්න
▪ අර්ථාන්විත ක්‍රියාකාරකම් තුළ වැඩ බහුලව සිටින්න
▪ ඔබගේ මිත්‍රයන්ගේ කවය පුළුල් කරගන්න
▪ උපකාර කිරීමට මිත්‍රයන්ට පහසු කරවන්න
▪ ඔබම හුදෙකලා නොවන්න, නමුත් විවෘත ප්‍රේමයක් වගා කරන්න
▪ යෙහෝවඃවහන්සේ ඔබ කෙරෙහි සැලකිල්ල දක්වන බවට නිසැක වන්න
[24වන පිටුවේ කොටුව]
තනිවූවන්ට උපකාර කිරීමට ඔබට හැකි ක්‍රම
▪ පුද්ගලයාව තේරුම් ගන්න, උණුසම්භාවය සහ සැනසීම දෙන්න
▪ රහසිගත කථාව සඳහා ඇති අවශ්‍යතාවක් සපුරාලන්න
▪ උපකාරවත්වන කුඩා දේවල් නොකඩවා කරන්න
[23වන පිටුවේ පින්තූරය]
රූත්හට දුෂ්කර තත්ත්වයන් තිබුණද, තම ජීවිතය පාළු කිරීමට ඈ තනිකමට ඉඩහළ බවට කිසිදු ඇඟවීමක් නැත