ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 15 පරි. 121-125 පි.
  • මා මෙතරම් ලජ්ජාශීලී මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මා මෙතරම් ලජ්ජාශීලී මන්ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලජ්ජාශීලී භාවය යන්නෙහි අදහස
  • ලජ්ජාශීලී භාවය ඔබේ ජීවිතයට බලපාන අයුරු
  • ලජ්ජාශීලී භාවය ජය ගැනීම
  • ආරම්භයක් ඇති කිරීම
  • මට ලැජ්ජාශීලීභාවයෙන් ගොඩ එන්න බැරි ඇයි?
    1999 පිබිදෙව්!
  • මම හුඟක් ලැජ්ජයි නම් කරන්න පුළුවන් මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • ඔබ ලැජ්ජාශීලී පුද්ගලයෙක්ද?
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • ලැජ්ජාශීලීභාවයෙන් මම ගොඩ එන්නේ කොහොමද?
    1999 පිබිදෙව්!
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 15 පරි. 121-125 පි.

පරිච්ඡේද 15

මා මෙතරම් ලජ්ජාශීලී මන්ද?

“මා බෙහෙවින් ශෝභන පෙනුමකින් යුතු කෙනෙක් කියලා හැමෝ ම පවසනවා,” යයි තරුණ ස්ත්‍රියක් ප්‍රවෘත්ති පත්‍රයේ තීරුවකට ලීවා ය. එහෙත් ඇය තවදුරටත් මෙසේ සඳහන් කරන්නී ය: “මිනිසුන් සමඟ කථා කිරීමේ ගැටලුවක් මට තිබෙනවා. කථා කරන අතරතුරේ මා කෙනෙකු දෙස කෙළින් බැලුවහොත්, මගේ මුහුණ රතු වී, මගේ උගුර සිර වී කථා කර ගන්න බැරුව යනවා . . . රැකියාවේ යෙදී සිටින විට, කිසිවෙකු සමඟ මා කථා නොකරන බැවින්, මා ‘උඩඟු’ කෙනෙකු යයි කීප වතාවක් ම කියනවා මම අහලා තියෙනවා . . . මා උඩඟු කෙනෙකු නොවේ, මා ලජ්ජාශීලී කෙනෙකු පමණයි.”

ප්‍රශ්න කළ අයගෙන් සියයට 80ක් තම ජීවිතයේ යම් කලෙක ලජ්ජාශීලී ව සිටි බව එක් සමීක්ෂණයක් පෙන්නුම් කළ අතර සියයට 40ක්, දැනට තමන් ලජ්ජාශීලී ව සිටින බව සලකා තිබේ. ඇත්තෙන් ම, මුල් ම යුගයන්හි සිට මනුෂ්‍යයන් තුළ ලජ්ජාශීලී භාවය සාමාන්‍ය දෙයක් ව තිබුණි. ඉශ්‍රායෙල් ජාතිය ඉදිරියේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කථා කරන්නා ලෙස ක්‍රියා කිරීමට මෝසෙස් ලජ්ජාශීලී ලෙස පසු බැස්ස බව බයිබලය අපට පවසයි. (නික්මයාම 3:​11, 13; 4:​1, 10, 13) කථා කිරීම සහ සුදුසු ලෙස තම ආධිපත්‍යය ක්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ගෝලයෙකු වූ තිමෝති ද ලජ්ජාවෙන් හා බයාදු ගතියෙන් සිටි බව පෙනෙන්නට තිබේ.—1 තිමෝති 4:12; 2 තිමෝති 1:​6-8.

ලජ්ජාශීලී භාවය යන්නෙහි අදහස

ලජ්ජාශීලී භාවය යනු අන් මනුෂ්‍යයන්—අමුත්තන්, බලය ලත් අය, විරුද්ධ ලිංගයේ අය හෝ එපමණක් නොව ඔබේ තුල්‍යයන්—අතර සිටින විට දී අපහසුතාවයක් දැනීම ය. එය වුවමනාවට වඩා තමා ගැන සිතීමෙන් ඇති වන සබකෝලයක් වන අතර ඊට ගොදුරු වන්නන්ට එය විවිධ අයුරුවලින් බලපායි. බිමට හෙලාගත් ඇස් ඇති ව සහ හෘද ගැස්මෙන් යුක්ත ව ඇතැම්හු අසීරු තත්ත්වයකට පත් වෙති; තමන්ට කථා කළ නොහැකි බවක් ඔවුන්ට ම දැනේ. අන් අය තම ශාන්ත භාවය නැති කරගෙන නොනවත්වා ම දෙඩවීමට පටන් ගනිති. තවත් සමහරෙකුට කථා කිරීමට සහ තම අදහස් හෝ වඩා කැමති දේ දැක්වීමට දුෂ්කර බව දැනේ.

එහෙත්, ඇත්තෙන් ම, ප්‍රමාණයකට ලජ්ජාශීලී භාවය ඇති ව සිටීමට නිශ්චිත පැති තිබේ. විනීත භාවයට හා යටහත් පහත් භාවයට සම්බන්ධයක් එයට තිබෙන අතර දෙවියන් වහන්සේ සොයමින් සිටින එමෙන් ම ප්‍රශංසා කරන දේවලින් එකක් වන්නේ ‘දෙවියන්වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීම’ ය. (මීකා 6:8) උඩඟු හා වුවමනාවට වඩා කලහකාරී නොවී, නුවණින් සහ විනීත ව ක්‍රියා කිරීමෙන් තවදුරටත් ප්‍රයෝජන තිබේ. ලජ්ජාශීලී පුද්ගලයෙකු බොහෝ විට හොඳ සවන් දෙන්නෙකු ලෙස අගය කරනු ලැබේ. එහෙත් ලජ්ජාශීලී භාවය, අපේ මුළු ශක්තිය වටහා ගැනීම සීමා කරන විට හා වළක්වන විට, එමෙන් ම අපේ සබඳකම්, සේවය සහ හැඟීම් ආදියට අනතුරුදායක ලෙස බලපාන විට, ඒ ගැන යමක් කිරීමට කාලය එයයි!

සුදුසු ආරම්භයක් වන්නේ ගැටලුව තේරුම් ගැනීම ය. (හිතෝපදේශ 1:6) ලජ්ජාශීලී භාවය ඔබ කවුදැයි යන්න පැහැදිලි නොකරයි; එය, ඔබේ හැසිරීම, තත්ත්වයන්ට ඔබේ ප්‍රතික්‍රියාව, අන්‍යයන් සමඟ ඇති අත්දැකීම් තුළින් ඔබ ඉගෙන ගෙන ඇති හා එමෙන් ම තහවුරු කළ හැකි විලාශය විස්තර කරයි. අන්‍යයන් ඔබ ගැන නිෂේධාත්මක විනිශ්චයන් කරන බවත්, ඔවුන් ඔබට අකමැති බවත් ඔබ සිතයි. ඔබට වඩා අන්‍යයන් හොඳයි හෝ ඔබට වඩා ඔවුන් සාමාන්‍යයි කියා ඔබ සිතයි. ඔබ අන්‍යයන්ට පැහැදිලි කිරීමට වෑයම් කළොත් සියලු දේ වැරදේ යයි ඔබ සිතයි. දේවල් නරක අතට හැරේ යයි ඔබ අපේක්ෂා කරන අතර, ඔබ සිතෙන් කලබල වී ඔබේ විශ්වාසයන්ට එකඟ ව ක්‍රියා කරන හෙයින් ඒවා එසේ සිදු වේ.

ලජ්ජාශීලී භාවය ඔබේ ජීවිතයට බලපාන අයුරු

පසුබැසීමෙන්, කථා නොකිරීමෙන් හෝ අන්‍යයන්ට සැලකිල්ලක් නොදක්වන තරමට ම ඔබ කෙරෙහි සිත යොමු කිරීමෙන්, ඔබ උඩඟු, මිත්‍රශීලී නොවූ, කලකිරුණු හෝ එපමණක් නොව නොසැලකිලිමත් නැතහොත් අඥාන කෙනෙකු බව හැඟීමට ඔබ විසින් ම සලසා ගත හැක. ඔබ ගැන ම ඔබ සිතන විට, පවත්වන සාකච්ඡාවට සිත යොමු කිරීම දුෂ්කර වේ. එබැවින් ඔබ ලබන තොරතුරු කෙරෙහි ඔබ අඩු අවධානයක් දෙයි. එවිට ඔබ වඩාත් ම බිය වූ දේ ඔබට සිදු වේ—ඔබ මෝඩයෙකු මෙන් පෙනේ.

කෙටියෙන් කියනවා නම්, ඔබ ලජ්ජාශීලී භාවයේ සිරගෙය තුළට වී දොරගුලු ලාගෙන, යතුර පිටතට වීසි කර ඇත. ඔබ ව පසු කර යෑමට ඔබ ප්‍රස්තාවන්ට ඉඩ හරී. කථා කිරීමට හා ඔබේ අදහස ප්‍රකාශ කිරීමට ඇති බිය නිසා ම, ඔබ ඇත්තෙන් ම අවශ්‍ය නොවන දෑ හෝ තත්ත්වයන් පිළිගනියි. මනුෂ්‍යයින් හමුවීමේ හා නව මිතුරන් ඇති කර ගැනීමේ ප්‍රීතිය හෝ ඔබේ ජීවිතය වඩා උසස් කරන දේවල් කිරීමේ ප්‍රීතිය හෝ ඔබට අහිමි වේ. එහෙත් අන්‍යයන්ට ද යමක් අහිමි වේ. ඔබේ සැබෑ තත්ත්වය කිසිදා ඔවුනට දැනගන්න ලැබෙන්නේ නැත.

ලජ්ජාශීලී භාවය ජය ගැනීම

කාලය සහ වෑයමත් සමඟ ම, හැසිරීම වෙනස් කර ගත හැකි වේ. සියල්ලට පළමුවෙන්, අනිත් තැනැත්තා ඔබ ව අගයයි ද, නැද්දැයි කනස්සලු වීමෙන් වළකින්න. සමහර විට ඔහු කුමක් කියන්න දැයි, කුමක් කරන්න දැයි තමන් ගැන ම සිතමින් අවිවේකී ව සිටිනවා විය හැක. තව ද එම තැනැත්තා නොමේරූ ලෙස ඔබට සමච්චල් කරනවා නම්, ගැටලුව තිබෙන්නේ ඔහුට බව තේරුම් ගන්න. “තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි;” (හිතෝපදේශ 11:​12) මිතුරන් වශයෙන් සිටීමට වටිනා අය විනිශ්චය කරනු ඇත්තේ, බාහිර පෙනුමෙන් නොව නමුත් ඔබ කෙබඳු පුද්ගලයෙකු ද යන්න මගිනි.

තව ද, ඒකාන්ත ලෙස කල්පනා කිරීමට ද වෑයම් කරන්න. කිසිවෙකු පරිපූර්ණ නොවේ; අප සියල්ලන්ට ම අපේ හැකියාවන් සහ අපේ දුර්වලකම් තිබේ. දේවල් දෙස බැලීමේ විවිධාකාරයන් තිබෙන බවත්, කැමති සහ අකැමැති දේ වෙනස් බවත්, මතක තබාගන්න. අදහසක් වෙනස් වීමෙන්, පුද්ගලයෙකු වශයෙන් ඔබ ව ප්‍රතික්ෂේප කරන බවක් අඟවන්නේ නැත.

අන්‍යයන් ව සාධාරණ ලෙස විනිශ්චය කිරීමට ද ඉගෙන ගන්න. කලින් ලජ්ජාශීලී වූ තරුණ මනුෂ්‍යයෙක් මෙසේ පවසයි: “මා ගැන ම මං කරුණු දෙකක් සොයා ගත්තා. . . . පළමු ව, මං පමණට වඩා මා ගැන ම සැලකුවා. මා පැවසූ දේ පිළිබඳ ව ජනයා සිතූ දේ ගැන කනස්සලු වෙමින්, මා ගැන ම මම වුවමනාවට වඩා සිතමින් සිටියා. දෙවනු ව, අන් තැනැත්තන් ව විශ්වාස නොකර, ඔවුන් මා හෙලා දකිනු ඇතැයි සිතමින් මං ඔවුන්ට වරද පවරමින් සිටියා.”

මෙම තරුණ මනුෂ්‍යයා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි විය. “ඇත්තෙන් ම මට උපකාරවත් වූ කථාවකට මම එහි දී සවන් දුන්නා,” යයි ඔහු සිහිපත් කරයි. ‘ප්‍රේමය විවෘත ස්වභාවයක් දක්වන බව කථිකයා හුවා දැක්වී ය; එනම් ඔබට ප්‍රේමය තිබෙනවා නම් ඔබ ජනයා ගැන හොඳ මිසක නරක සිතන්නේ නැත. එබැවින් ජනයාට වරද පැවරීම ඉවත් කිරීමට මම උගතෙමි. “ඔවුන් තේරුම් ගනියි, ඔවුන් කරුණාවන්ත වෙයි, ඔවුන් සැලකිලිමත් වෙයි,” කියා මං මට ම පවසා ගත්තා. මා මනුෂ්‍යයන් විශ්වාස කිරීමට පටන් ගත්තා. ඇතැමෙකු මා වැරදි ලෙස විනිශ්චය කළ හැකි බව මට වැටහුණු නමුත්, එය ඔවුන්ගේ ගැටලුවක් බව දැන් මට හැඟුණා.’

“ක්‍රියාශීලී වන ආකාරයකින් ප්‍රේමය පෙන්වීමට පටන් ගැනීමේ ඇති අවශ්‍යතාවය මා ඉගෙන ගත්තා. අන්‍යයන්ට වැඩියෙන් කරුණාව දැක්වීමට මම මා ව ම යෙදෙව්වා. පළමු ව බාලයන් කෙරෙහි මා එය අත්හදා බැලුවා. පසු ව අන්‍යයන් බැහැදැකීමට ඔවුන්ගේ නිවෙස්වලට යාමට පටන් ගත්තා. ඔවුන්ට උපකාර කිරීමට සිතමින්, ඔවුන්ගේ අවශ්‍යතාවයන් කෙරෙහි සංවේදී වීමට, මා ඉගෙන ගත්තා,” යයි ඔහු පැහැදිලි කළේ ය. මෙලෙස ඔහු ලූක් 6:​37, 38 හි යේසුස් වහන්සේගේ අවවාදයේ සත්‍යතාවය ඉගෙන ගත්තේ ය: “විනිශ්චය නොකරල්ලා, එවිට නුඹලාත් විනිශ්චයකරනු නොලබන්නහුය. වරදට පත් නොකරල්ලා, එවිට නුඹලාත් වරදට පත්කරනු නොලබන්නහුය. . . . දීපල්ලා [දීමට පුරුදු වන්න NW], එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; . . . මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේය.”

ආරම්භයක් ඇති කිරීම

එබැවින් ආශ්‍රයට ප්‍රිය වීමට—එනම් ආචාර සමාචාර කර සංවාදයක් ඇරඹීමට—ඉගෙන ගන්න. එය කාලගුණය ගැන ප්‍රකාශයක් වැනි සරල එකක් විය හැක. මතක තබාගන්න: ඔබට තිබෙන්නේ වගකීමෙන් සියයට 50ක් පමණි. අනෙක් අඩ අනෙක් තැනැත්තා සතු ය. කථා කරන විට ඔබට වැරදුනහොත්, වරදක් කළ බව නොසිතන්න. අන්‍යයන් සිනා සේ නම්, ඔවුන් සමඟ සිනාසීමට ඉගෙන ගන්න. “ඒක හරියට ආවේ නැතැයි” පැවසීම, ඔබ ව පහසු කරවීමටත්, සංවාදය දිගට ම ගෙන යෑමටත් ඔබට උපකාරයක් වනු ඇත.

පහසු ලෙස අඳින්න, නමුත් ඔබේ ඇඳුම් පිරිසිදු, මැදගත් ඒවා වන බවට සහතික වන්න. ඔබේ හොඳ ම පෙනුමෙන් ඔබ පෙනී සිටිනවා යයි හැඟීම, ඔබේ සැකය අඩු කරන අතර පවත්වමින් සිටින සාකච්ඡාව කෙරෙහි අවධානයෙන් සිටීමට ඔබට හැකි කරවයි. ඍජු ව කෙළින් සිටින්න—එහෙත් පහසුවෙන් සිටින්න. ප්‍රසන්න පෙනුමකින් සිට සිනා මුසු මුහුණින් සිටින්න. කෙළින් බලා මිත්‍රශීලී සබඳතාවක් පවත්වා ගනිමින් හිස වැනීමෙන් හෝ වචනයෙන් අන් තැනැත්තා පවසන දෙය පිළිගන්න.

අන්‍යයන් ඉදිරියේ කථාවක් හෝ රැකියාවක් පිළිබඳ සම්මුඛ පරීක්ෂණයක් වැනි දුෂ්කර අවස්ථාවකට මුහුණ දෙන විට, හැකි හොඳ ම ආකාරයට සූදානම් ව පැමිණෙන්න. ඔබ පවසන්නට යන දෙය කල් ඇති ව පුහුණු වන්න. පුහුණු වීම මගින් කථා කිරීමේ ගැටලු ජය ගැනීමට හෝ අඩු කර ගැනීමට ද හැක. වෙනත් ඕනෑ ම නව දක්ෂතාවයන් ලබා ගැනීමට කාලය අවශ්‍ය වෙනවා වාගේ ම එයට ද කාලයක් ගතවෙනු ඇත. එහෙත් ඔබ ඒකාන්ත ප්‍රතිඵල දකින විට, සාර්ථක වීමට ඔබ ව වැඩි දුරට ධෛර්යවත් වනු ඇත.

දෙවියන් වහන්සේට දීමට හැකි උපකාරය නොසලකා නොහැරිය යුත්තකි. පුරාණ ඉශ්‍රායෙල් ජාතියේ පළමු රජ වූ සාවුල්, පළමු ව වේදනාකාරී ලෙස ලජ්ජාශීලී ව සිටියේ ය. (1 සාමුවෙල් පරිච්ඡේද 9 සහ 10) එහෙත් ක්‍රියාත්මක වීම සඳහා කාලය පැමිණි විට, “දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණි,” අතර ඔහු ජයග්‍රහණය කරා සෙනඟ ගෙන ගියේ ය!—1 සාමුවෙල් පරිච්ඡේද 11.

අද දින ක්‍රිස්තියානි යෞවනයන්ට, දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ ධර්මිෂ්ඨකමේ නව ලෝකය ගැන පොරොන්දුව ඉගෙන ගැනීමට අන්‍යයන්ට උපකාර කිරීමේ වගකීම තිබේ. (මතෙව් 24:14) මෙම ශුභාරංචිය රැගෙන යෑමෙන් හා විශ්වයේ උසස්තම ආධිපත්‍යය නියෝජනය කිරීමෙන් ආත්ම-විශ්වාසය සිතෙහි ඇති කරන බවට සහතික වන අතර තමන් කෙරෙහි ම අවධානය යොමු කිරීමෙන් ඉවත් වීමට ද කෙනෙකුට උපකාර වේ. එසේ නම්, ඔබ විශ්වාසවන්ත ලෙස දෙවියන් වහන්සේට සේවය කරනවා නම්, උන් වහන්සේ ඔබට ආශීර්වාද කර ඔබේ ලජ්ජාශීලී භාවය ජය ගැනීමට ඔබට උපකාර කරන බවට සහතික වීමට ඔබට හැක.

සාකච්ඡා කිරීමට ප්‍රශ්න

◻ ඇත්තෙන් ම ලජ්ජාශීලී භාවය යනු කුමක් ද, එමෙන් ම අන්‍යයන් ඉදිරියේ ලජ්ජාශීලී පුද්ගලයෙකු හැසිරෙන්නේ කෙසේ ද? තරමක් දුරට ඔබ ගැන මෙය සත්‍යයක් ද?

◻ ලජ්ජාශීලී පුද්ගලයෙකු අන්‍යයන් අතර සිටින විට ඔහුගේ විශ්වාසය හීන වන්නේ මන්ද?

◻ ලජ්ජාශීලී භාවය පුද්ගලයෙකුට පාඩු විඳීමට සැලසිය හැක්කේ කෙසේ ද?

◻ ලජ්ජාශීලී භාවය ජය ගැනීමට ඇතැම් මාර්ග මොනවා ද? මෙම යෝජනාවලින් කුමක් හෝ ඔබ සඳහා ක්‍රියාත්මක වී තිබේ ද?

[121 පිටුවෙහි හුවා දැක්වීම]

ලජ්ජාශීලී පුද්ගලයෙකුට මිත්‍රත්වයන් සහ ප්‍රස්තාවන් අහිමි වී යයි

[124 පිටුවෙහි ඇති කොටුව]

ඔබට ලජ්ජාශීලී භාවය ජයගත හැකි වන්නේ

වෙනස් වීමට වුවමනා වීම හා වෙනස්වීම ඇත්තෙන් ම සිදු විය හැකි බව විශ්වාස කිරීමෙන්

නිෂේධාත්මක සිතුවිලි වෙනුවට ඒකාන්ත ක්‍රියාවන් ඇති කර ගැනීමෙන්

ඔබ සඳහා යථාර්ථානුරූපී හා අර්ථවත් ඉලක්ක තබා ගැනීමෙන්

නිස්කලංක ව සිටිය යුතු අයුරු හා කනස්සල්ලට මුහුණ දිය යුතු අයුරු දැන සිටීමෙන්

අවස්ථාවකට කල් ඇති ව පුරුදු වීමෙන්

වඩ වඩා සාර්ථක වන්නා වූ අත්දැකීම් මගින් විශ්වාසය ලබා ගැනීමෙන්

අදහස් වෙනස් ව තිබෙන බව හා අන්‍යයන්ට ද වරදින බව මතක තබා ගැනීමෙන්

දක්ෂතාවයන් වැඩි දියුණු කිරීමට හා අලුත් ඒවා ඉගෙන ගැනීමට පුහුණු වීමෙන්

ප්‍රේමය පෙන්වීමට හා අන්‍යයන්ට උපකාර කිරීමට හැකි පමණ වෑයම් කිරීමෙන්

ප්‍රියකරු ලෙස ඇඳීමෙන් සහ නිසැකකමින් යුතු ව ක්‍රියා කිරීමෙන්

දෙවියන් වහන්සේ දෙන උපකාරය කෙරෙහි විශ්වාසය තැබීමෙන්

ක්‍රිස්තියානි රැස්වීම්වලට හවුල්වීමෙන් සහ අන්‍යයන් සමඟ ඔබේ ඇදහිල්ල බෙදා ගැනීමෙන්

[123 පිටුවෙහි ඇති පින්තූර]

තමන් ගැන අන්‍යයන් තකන්නේ සුළුවෙන් යයි ලජ්ජාශීලී පුද්ගලයා කල්පනා කරයි

[125 පිටුවෙහි ඇති පින්තූර]

ආශ්‍රය ප්‍රිය කිරීමට—සිනාමුසු වීමට, අන්‍යයන්ට අචාර කිරීමට සහ සංවාදයක් පවත්වාගෙන යෑමට ඉගෙන ගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න