ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 13 පරි. 104-114 පි.
  • මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අසහනයේ මුල ඇති පීඩනයන්
  • අහිමි වීමේ හැඟීමක්
  • රෝග ලක්ෂණ වටහා ගැනීම
  • එය හුදෙක් අධෛර්යය වීමට වඩා වැඩි යමක් වූ විට
  • සුළු පීඩාවන් සමඟ ක්‍රියා කිරීම
  • මනසේ සටන ජය ගැනීම
  • ඉටු කිරීමේ වටිනාකම
  • ඒ ගැන කෙනෙකු සමඟ කථා කරන්න
  • උපකාරය සෙවීම
  • සාමාන්‍යත්වය ඉක්ම වූ බලය
  • යොවුන් සිනහව නැති කරන රෝගය
    2017 පිබිදෙව්!
  • හේතු සෙවීම
    2001 පිබිදෙව්!
  • ඔබටත් මෙලෙස හැඟෙනවාද?
    2009 පිබිදෙව්!
  • උපකාරය පිරිනමන්නේ කෙසේද?
    2001 පිබිදෙව්!
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 13 පරි. 104-114 පි.

පරිච්ඡේද 13

මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?

පරිපූර්ණ දරුවා ගැන තම මවගේ සිතේ හැඟීමට අනුව මෙලනි සැමවිට ම ජීවත් වී තිබිණ—වයස අවුරුදු 17වන විට තත්ත්වය වෙනස් විය. ඉන් පසු ඇය පාසල් ක්‍රියාකාරකම්වලින් ඉවත් වූ අතර සාදයන් සඳහා ආරාධනා පිළිගැනීම නවතා දැමුවා පමණක් නොව ඇගේ ලකුණු මට්ටම ක්‍රම ක්‍රමයෙන් පහත වැටුණත් ඒ ගැන කිසි සැලකිල්ලක් දක්වන බවවත් පෙනෙන්නට තිබුණේ නෑ. සිදු වී ඇත්තේ කුමක්දැයි ඇගේ දෙමව්පියන් මෘදු ලෙස විමසූ විට, “මට මගේ පාඩුවේ ඉන්න ඉඩ හරින්න! මට මොකුත් වෙලා නෑ,” කියා ඇය කෝපයෙන් කෑ ගසමින් ඉවත් ව ගියා ය.

වයස අවුරුදු 14 දී, මාර්ක්, කෝපයෙන් පිපිරෙන තරමට හදිසි ආවේගයකින් හා දරුණු ස්වභාවයකින් සිටියේ ය. පාසලේ දී ඔහු සන්සුන්කමින් තොර භේදකාරී කෙනෙකු විය. අධෛර්යයට හෝ කෝපයට පත් වූ විට, ඔහු කාන්තාරය හරහා මෝටර් සයිකලයක් වේගයෙන් පදවයි නැතහොත් තම රෝද සහිත ලෑල්ල මත නැගී දළ බෑවුම් සහිත හෙල්වලින් සීඝ්‍රයෙන් බසියි.

මෙලනි සහ මාර්ක් යන දෙදෙනා ම එක ම ආකාරයේ ආබාධයෙන්—එනම් අසහනයෙන් පෙළුණහ. මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ වෛද්‍ය ඩොනල්ඩ් ම’ක්නූ පවසන්නේ පාසල් දරුවන්ගෙන් සියයට 10 සිට 15 දක්වා මනෝ භාවයේ අක්‍රමිකතාවලින් පෙළෙන්නට හැකි බව ය. සුළු සංඛ්‍යාවක් බරපතළ අසහනයකින් පෙළෙති.

ඇතැම් අවස්ථාවන්හි දී ගැටලුවට ජීව විද්‍යාත්මක පදනමක් තිබේ. ඇතැම් ආසාදන හෝ අන්තෝ-සර්ග පද්ධතියේ රෝග, ආර්තව චක්‍රයේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්, හයිපොග්ලයිසීමියාව, ඇතැම් ඖෂධ, විෂ ලෝහවලට හෝ රසායනික ද්‍රව්‍යයන්ට අනාවරණය වීම, අසාත්මික ප්‍රතික්‍රියාවන්, අසමබර ආහාර ක්‍රමයක්, නීරක්තය—යන මෙකී සියල්ලෙන් අසහනය හටගත හැක.

අසහනයේ මුල ඇති පීඩනයන්

කෙසේ වුවද, යොවුන් විය ම බොහෝ විට චිත්ත වේගයේ වෙහෙසට මුල වේ. ජීවිතයේ සාර්ථක වීම් හා අසාර්ථක වීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී වැඩිහිටි අත්දැකීම් නොමැති යෞවනයෙකුට, කිසිවෙකු සැලකිල්ලක් නොදක්වන බව හැඟෙන්නට හැකි අතර සාමාන්‍ය කාරණා සම්බන්ධයෙන් වේදනාකාරී ලෙස අසහනයට පත් විය හැක.

දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ හෝ මිතුරන්ගේ අපේක්ෂාවන්ට අනුව ම ක්‍රියා කිරීමට අසමත්වීම, අසහනය ඇති වීමට තව හේතුවක් වේ. උදාහරණයක් ලෙස, ඩොනල්ඩ්ට හැඟුණේ තම ඉතා-උගත් දෙමව්පියන් සතුටු කිරීමට තමාට පාසලේ දී විශිෂ්ඨත්වයක් දැරීමට සිදු වන බව ය. එය කිරීමට අසමත්වීමෙන්, ඔහු අසහනයට හා සිය දිවි නසා ගැනීමට නැඹුරුවීමේ තත්ත්වයකට පත් වුණි. “මං කිසිදාක කිසි ම දෙයක් හරියට කරලා නෑ. මං හැමවිට ම කරලා තියෙන්නේ හැම දෙනෙකු ව ම අධෛර්ය කිරීමයි,” යයි ඩොනල්ඩ් ශෝක විය.

එවන් අසමත්වීමේ හැඟීමක් මගින් අසහනය ඇවිස්සිය හැකි බව එපප්‍රොදිතස් නම් මනුෂ්‍යයා සම්බන්ධ කාරණයෙන් පැහැදිලි ය. පළමු සියවසේ දී, සිරගත වී සිටි ප්‍රේරිත පාවුල්ට උපකාර කරනු වස් විශේෂ මිෂනාරි මෙහෙයක් සඳහා මෙම විශ්වාසවන්ත ක්‍රිස්තියානිවරයා යවනු ලැබී ය. එහෙත් ඔහු පාවුල් වෙත ගිය විට, වැඩි කලක් යන්නට ප්‍රථම ඔහු රෝගී වූ අතර ඔහුගේ උපකාරය ලබනු වෙනුවට, ඔහුට සාත්තු කිරීමට පාවුල්ට සිදු විය! එසේ නම්, එපප්‍රොදිතස්ට එවන් අසමත්වීමේ හැඟීමක් ඇති වී “අසහනයට” පත් වන්නට ඇත්තේ මන්දැයි ඔබට සිතා ගත හැක. ඔහු රෝගී වීමට පෙර කර තිබූ සියලු යහපත් දෑ ඔහු විසින් නොසලකා හැරිය බව පෙනෙන්නට තිබේ.—පිලිප්පි 2:​25-30, NW.

අහිමි වීමේ හැඟීමක්

ෆ්‍රැන්සින් ක්ලැග්ස්බ්‍රන්, ටූ යං ටු ඩයි—යූත් ඇන්ඩ් සුයිසයිඩ් නම් ඇගේ පොතේ මෙසේ ලීවා ය: “චිත්ත වේගී හේතුවෙන් ඇති වූ බොහෝ අසහනවලට මුල් වී ඇත්තේ බොහෝ සේ ප්‍රේම කළ යම් කෙනෙකු හෝ යම් දෙයක් අහිමි වීමේ ගැඹුරු හැඟීම ය.” මෙබැවින් මරණය හෝ දික්කසාදය නිසා දෙමව්පියෙකු අහිමි වීම, වැඩක් හෝ වෘත්තියක් අහිමි වීම, නැතහොත් කෙනෙකුගේ ශාරීරික සෞඛ්‍යය පවා අහිමි වීම, අසහනයට මුල් විය හැක.

එහෙත්, යෞවනයෙකුට ඉතා විනාශකාරී අහිමි වීම වන්නේ ප්‍රේමය අහිමි වීම, තමා ව වුවමනා වන්නේ නැත සහ සැලකිල්ලක් නොදක්වන්නේ ය යන හැඟීම ය. “මගේ මව අප හැර ගිය වෙලාවේ මට ද්‍රෝහිකමක් කළාක් මෙන් හැඟුණා, තනි වූ බවක් ද දැනුණා” යයි මාරි නැමැති යෞවනිය හෙළි කළා ය. “මගේ ලෝකය ක්ෂණයකින් පෙරළුණා වාගෙයි.”

එසේ නම්, දික්කසාදය, මත්පැනට ඇබ්බැහි වීම, ව්‍යභිචාරය, භාර්යාවන්ට තැලීම, දරුවන් අනිසි ලෙස භාවිතා කිරීම, නැතහොත් ඔහුගේ ම හෝ ඇගේ ම ගැටලුවල ගිලී සිටින දෙමව්පියෙකු විසින් හුදෙක් දරුවන් ව ප්‍රතික්ෂේප කිරීම, වැනි පවුල් ගැටලුවලට ඇතැම් යෞවනයන් මුහුණ දෙන විට හැඟෙන වික්ෂිප්ත භාවය හා වේදනාව ගැන සිතා බලන්න. “නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් [අසහනය වැළැක්වීමට ඇති හැකියාව ඇතුළත්] නුඹේ ශක්තිය අල්පය,” යන බයිබල් හිතෝපදේශය කෙතරම් සත්‍යයක් ද! (හිතෝපදේශ 24:10) යෞවනයෙකු වැරදි වැටහීමකින් තම පවුලේ ගැටලු සඳහා තමාට ම දොස් පවරා ගැනීමට පවා හැක.

රෝග ලක්ෂණ වටහා ගැනීම

අසහනයේ විවිධ තත්ත්වයන් ඇත. සිත් තැවුල් ඇති කරන යම් සිද්ධියකින් යෞවනයෙකු තාවකාලික ව අධෛර්යයට පත්විය හැක. එහෙත් සාමාන්‍යයෙන් එවන් අධෛර්ය වීම් කෙටි කාලයකින් නැති වී යයි.

කෙසේ නමුත්, අසහනයේ මනෝ භාවය දිගට ම පවතී නම් හා නොවටිනා භාවය, කාන්සාව සහ කෝපය යන හැඟීම් සමඟ යෞවනයාට සාමාන්‍යය නිෂේධාත්මක හැඟීමක් ඇත්නම්, වෛද්‍යවරු පවසන පහත්-ගණයේ නිදන්ගත අසහනයක් බවට එය වර්ධනය විය හැක. (ආරම්භයේ සඳහන් කළ) මාර්ක් සහ මෙලනිගේ අත්දැකීම්වලින් පෙන්වන ආකාරයට, සැලකිය හැකි ප්‍රමාණයකට රෝග ලක්ෂණ වෙනස් විය හැක. එක් යෞවනයෙකුට කාන්සාවේ ප්‍රහාර එල්ල විය හැක. වෙනත් කෙනෙකු සැමවිට ම වෙහෙසට පත් වී, ආහාර රුචියක් නොමැති ව, නින්ද නොයෑමේ ගැටලුව අත්දකිමින්, බර අඩු වීමෙන් හෝ එක පිට එක ඇති වන අනතුරුවලින් දුක් විඳිය හැක.

ඇතැම් යෞවනයෝ කෙලවරක් නැති සාදයන්, ලිංගික දුරාචාරය, අන් අයගේ දේපළ හානි කිරීම, අනිසි ලෙස මත්පැන් භාවිතය, වැනි දෑ ආරම්භ කිරීම මගින් අසහනය සැඟවීමට වෑයම් කරති. “ඇත්තෙන් ම හැම විට ම මට පිටතට යාමට සිදු වන්නේ ඇයි කියලා මං දන්නේ නෑ. තනි ව ම මම විතරක් ම සිටිනවා නම්, මට දැනෙන අසතුට කොයිතරම් ද කියලා මට වැටහෙනවා,” යයි එක් 14-හැවිරිදි පිරිමි ළමයෙක් නොසඟවා හෙළි කළේ ය. එය බයිබලය පැහැදිලි කළ මේ දෙය වාගේ ම ය: “සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ.”—හිතෝපදේශ 14:13.

එය හුදෙක් අධෛර්යය වීමට වඩා වැඩි යමක් වූ විට

පහත්-ගණයේ නිදන්ගත අසහනය ගැන ක්‍රියා නොකළහොත්, එය වඩා බරපතළ අක්‍රමිකතාවයකින්—බලවත් අසහනයක් බවට වැඩි දියුණු විය හැක. (107වන පිටුව බලන්න.) “මා ඇතුළතින් ‘මැරී සිටිනවා,’ වාගේ මට නොකඩවා ම හැඟුණා. කිසි හැඟීමක් නොමැති ව මම ඔහේ ජීවත් වෙමින් සිටියා. මා තුළ නොකඩවා ම භයක් තිබුණා,” යයි බලවත් අසහනයකට ගොදුරු වී සිටි මාරි පැහැදිලි කළා ය. බලවත් අසහනයක දී ශෝකී මනෝ භාවය අඩු නොවී පවතින අතර මාස ගණනක් දිගට ම පැවතිය හැක. ඒ හේතුවෙන්, යෞවන දිවි නසා ගැනීම්වල දී මේ ආකාර අසහනය ඉතා පොදු අංගයකි—බොහෝ රටවල දැන් එය “සැඟවුණු වසංගතයක්” ලෙස සලකනු ලබයි.

බලවත් අසහනයට සම්බන්ධ වී ඇති වඩාත් නොනැවතී පවතින—වඩාත් මාරාන්තික වූ—චිත්ත වේගය බලාපොරොත්තු රහිත භාවයේ ගැඹුරු හැඟීමකි. බලවත් අසහනයට ගොදුරු වී සිටි 14-හැවිරිදි විවිඑන් ගැන වෛද්‍ය විශේෂඥ ජෝන් ඊ. මැක් ලියයි. පිටස්තර පෙනුමෙන් නම් ඇය, සැලකිල්ල දක්වන දෙමව්පියන් ඇති, කිසි අඩු පාඩුවක් පෙනෙන්නට නැති යෞවන කාන්තාවක් විය. එහෙත්, බලාපොරොත්තු රහිත භාවයේ අධිකත්වයේ දී, ඇය එල්ලී මැරුණා ය! වෛද්‍ය විශේෂඥ මැක් මෙසේ ලිව්වේ ය: “අවසානයේ දී තම වේදනාවෙන් සහනයක් ලබා ගැනීමට ඇයට නොතිබීමත්, කවදා හෝ ඇගේ අසහනය ඉවත් කළ හැකි වේ යයි කලින් දැකීමට විවිඑන්ට නොහැකි වීමත් දිවි නසාගැනීම සඳහා ඇගේ තීරණයට වැදගත් මූලයක් විය.”

මෙලෙස බලවත් අසහනයකට හසු වී සිටින අය, ඔවුන් කිසිදා නැවත සුව නොවන්නාක් මෙන් හෙට දිනක් නැතැයි සිතති. ප්‍රවීණයන් පවසන පරිදි එවන් බලාපොරොත්තු රහිත භාවය බොහෝ විට සිය දිවි නසා ගැනීමේ හැසිරීමකට මඟ පාදයි.

කෙසේ වුවද, සිය දිවි නසා ගැනීම පිළිතුර නොවේ. තම ජීවිතය, පවතින නපුරු සිහිනයක් බවට පත් ව සිටි මාරි, නොසඟවා මෙසේ හෙළි කළා ය: “දිවි නසා ගැනීමේ සිතුවිලි ස්ථිරයෙන් ම මගේ මනසට පැමිණියා. ඒත් මං ජීවිතය නැති කර නොගන්නා තුරු හැමවිට ම බලාපොරොත්තුවක් තිබුණු බව මට වැටහුණා.” සියල්ල එසේ අවසන් කිරීමෙන් ඇත්තෙන් ම කිසිවක් විසඳෙන්නේ නැත. අභාග්‍යයකට, බලාපොරොත්තු රහිත වීමට මුහුණ දෙන විට, බොහෝ යෞවනයන්ට ඒ වෙනුවට කරන්නේ කුමක් ද යන්න හෝ සතුටුදායක ප්‍රතිඵලයක් සඳහා කළ හැකි දේ ගැන හෝ සිතා ගැනීමට පවා නොහැක. මෙබැවින් හෙරොයින් ශරීර ගත කර ගනිමින් තම ගැටලු ව සැඟවීමට මාරි වෑයම් කළා ය. ඇය මෙසේ පැවසුවා ය: “මට ඕනෑ තරම් ආත්ම-විශ්වාසය තිබුණා—ඒත් මත් ද්‍රව්‍යයේ බලපෑම තිබුණ තෙක් පමණයි.”

සුළු පීඩාවන් සමඟ ක්‍රියා කිරීම

අසහනයේ හැඟීම් සමඟ ක්‍රියා කිරීමට ඥානවන්ත මාර්ගයන් තිබේ. “ඇතැම් අය අසහනයට පත්වන්නේ ඔවුන් කුසගින්නෙන් සිටින නිසයි. කෙනෙක් උදේ ආහාර වේල අනුභව නොකළ හැකි අතර යම් හේතුවක් නිසා දහවල් ආහාරය ද අතපසු වී යයි. අනතුරු ව තුනට පමණ ඔහුට නියම සනීපයක් නොදැනෙන්නේ මන්දැයි ඔහු කල්පනා කිරීමට පටන් ගනියි,” යයි ප්‍රකාශ කළේ න්‍යූ යෝර්ක් හි අසහනය පිළිබඳ විශේෂඥයෙකු වූ, වෛද්‍ය නේදන් එස්. ක්ලයින් ය.

ඔබ අනුභව කරන දෙයට ද වෙනසක් ඇති කළ හැක. බලාපොරොත්තු රහිත භාවයේ හැඟීම්වලින් හිරිහැර වින්දා වූ තරුණ ස්ත්‍රියක වන ඩෙබී මෙසේ පිළිගත්තා ය: “මගේ මනෝ භාවයට අතුරු කෑම ඒ තරමට ම හානිදායක බව මට වැටහුණේ නෑ. මං ඒවා බොහොමයක් කෑවා. මා අඩුවෙන් පැණිරස කෑම කෑ විට, මට වැඩි සුවයක් දැනෙන බව දැන් මට වැටහෙනවා.” වෙනත් උපකාරවත් පියවරවල් නම්: යම් ආකාරයක ව්‍යායාමයක් ඔබේ ස්වභාවයන් ඉවත් කරනු ඇත. සමහරෙකුට, අසහනය ශාරීරික රෝගී භාවයේ රෝග ලක්ෂණයක් විය හැකි හෙයින්, වෛද්‍ය පරීක්ෂණයක් කිරීම නුවණට හුරු ය.

මනසේ සටන ජය ගැනීම

බොහෝ විට අසහනය ඇති වන්නේ හෝ වඩා නරක අතට හැරෙන්නේ ඔබ ගැන නිෂේධාත්මක සිතුවිලි තිබීමෙනි. “බොහෝ දෙනෙක් ඔබ ව රිදවනවා නම්, ඔබ කොහෙත් ම වටින්නේ නෑ කියා සිතීමට එය ඔබට සලස්වනවා” යයි 18-හැවිරිදි එව්ලින් ශෝක වූවා ය.

සලකන්න: පුද්ගලයෙකු වශයෙන් ඔබේ වටිනාකම මැනිය යුතු වන්නේ අන්‍යයන් විසින් ද? ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මත එවැනි ම සරදම් කිරීමක් ගොඩ ගැසිණ. ඔහු බෙලහීන, දුර්වල කථිකයෙකු බව ඇතැමෙක් පැවසූහ. මෙය පාවුල් හට නොවටිනා බවක් හැඟීමට සැලසුවා ද? කොහෙත් ම නැත! වැදගත් දෙය වන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රමිති රක්ෂා කිරීම බව පාවුල් දැන සිටියේ ය. අන්‍යයන් කුමක් කියමින් සිටියත්—දෙවියන් වහන්සේගේ උපකාරය ඇතුව ඔහු ඉටු කර තිබෙන දෑ ගැන ඔහුට පාරට්ටු කිරීමට හැකි විය. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ප්‍රසන්න ව සිටී යන කාරණය ගැන ඔබට ම මතක් කර ගන්නේ නම්, බොහෝ විට ශෝකී මනෝ භාවය පහවී යනු ඇත.—2 කොරින්ති 10:​7, 10, 17, 18.

ඔබගේ දුර්වලකමක් නිසා හෝ සිදු කර ඇති පාපයක් නිසා හෝ ඔබ අසහනයට පත් වී සිටී නම් කුමක් ද? “නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්,” දෙවියන් වහන්සේ ඉශ්‍රායෙල්ට පැවසුවේ, “ඒවා හිම මෙන් සුදු වන්නේය” කියා ය. (යෙසායා 1:​18) අපේ ස්වර්ගික පියාණන්ගේ අනුකම්පාව සහ ඉවසිලිවන්තකම කිසි දා නොසලකා නොහරින්න. (ගීතාවලිය 103:​8-14) නමුත් ඔබේ ගැටලු ව ජය ගැනීමට ඔබත් පරිශ්‍රමයක් දරමින් සිටින්නෙහි ද? ඔබේ මනසෙන් වරද සහිත බවේ හැඟීම් ඉවත් කිරීමට නම් ඔබ ඔබේ කොටස කළ යුතු ය. හිතෝපදේශ පවසන පරිදි: “වරද පිළිගෙන, එය [වරද] දුරලන අයට දයාව ලැබෙයි.”—හිතෝපදේශ 28:​13.

දොම්නස සහිත හැඟීම්වලට එරෙහි ව සටන් කිරීමට වෙනත් ක්‍රමයක් වන්නේ ඔබ සඳහා සැබෑ ඉලක්ක තබා ගැනීම ය. සාර්ථක වීම සඳහා ඔබට, ඔබේ පාසල් ශ්‍රේණියේ ඉහළින් ම සිටීමට අවශ්‍ය නොවේ. (දේශනාකාරයා 7:​16-18) අධෛර්ය වීම් ජීවිතයේ කොටසක් ය යන කාරණය පිළිගන්න. මේවා සිදු වන විට, ‘මට සිදු වන දේ ගැන කිසි කෙනෙක් සලකන්නේ නෑ, කිසි කෙනෙක් කවදාවත් එසේ කරන එකකුත් නෑ,’ යයි සිතනවාට වඩා, ‘මම එයින් ජයගන්නවා,’ කියා ඔබට ම පවසන්න. තව ද හොඳින් හැඬීමේ වරදක් නැත.

ඉටු කිරීමේ වටිනාකම

“බලාපොරොත්තු රහිත භාවය ඉබේ ම පහ වී යන්නේ නැත,” කියා අධෛර්ය වීම් මධ්‍යයේ සාර්ථක ව ජීවිතය ගත කළ ඩැෆ්නි අවවාද කරයි. “ඔබට වෙනත් ක්‍රියා මාර්ගයක් ගැන සිතීමට හෝ ශාරීරික වශයෙන් යමක නිරත වීමට හෝ සිදු වේ. ඔබ යමක් කිරීමට පටන් ගත යුතුයි.” මුරණ්ඩු ස්වභාවයකට එරෙහි ව සටන් කිරීමට වෙර දැරූ ලින්ඩා ගැන සලකා බලන්න. ඇය මෙසේ පැවසුවා ය: “ඇඳුම් මැසීමෙන් මම සතුටක් ලබනවා. මගේ ඇඳුම් මට සකසා ගන්න පුළුවන්, කාලයක් ගියාට පස්සේ, මට වධ දෙමින් තිබූ දේ ගැන මට අමතක වෙලා යයි. එය ඇත්තෙන් ම උපකාරවත් ය.” ඔබට හොඳින් කළ හැකි දෑ කිරීමෙන්, සාමාන්‍යයෙන් ම අසහනය පවතින කාලයේ දී පහත් තත්ත්වයක තිබෙන ඔබේ ආත්ම-අභිමානය ගොඩ නගා ගැනීමට හැකි වේ.

තව ද ඔබට සතුට ගෙන එන ක්‍රියාවලියන්හි නිරත වීම ද ප්‍රයෝජනවත් ය. තමන්ට ම දේවල් ගැනීම පිණිස සාප්පු යෑමට, ක්‍රීඩා කිරීමට, ඔබේ ප්‍රියතම ආහාර වට්ටෝරුව පිළියෙල කිරීමට, පොත් හලක පොත් පෙරළා බැලීමට, පිටතින් කෑම වේලක් ගැනීමට, එපමණක් නොව පිබිදෙව්! සඟරාවේ පළවෙන ලිපි වැනි ඒවා කියවීමට උත්සාහ කරන්න.

කෙටි විනෝද ගමන් සැලසුම් කිරීම හෝ තමන්ට සුළු ඉලක්ක තබා ගැනීම මගින්, ඇයට ඇගේ අසහනයේ මනෝ භාවයට මුහුණ දීමට හැකි වූ බව ඩෙබී දැනගත්තා ය. කෙසේ වුවද, අන්‍යයන්ට උපකාර වන පිණිස දේවල් කිරීම ඇයට විශාල ම උපකාරයක් වූ බව ඔප්පු විය. “ඉතා අසහනයෙන් සිටි මෙම තරුණ ස්ත්‍රිය මට මුණ ගැසුණා, බයිබලය පාඩම් කිරීම සඳහා ඇයට උපකාර කිරීමට මම පටන් ගත්තා” යයි ඩෙබී හෙළි කළා ය. “ඇයට ඇගේ අසහනයෙන් ජයගත හැක්කේ කෙසේදැයි පැවසීමට මෙම සති පතා සාකච්ඡාවන් මට ප්‍රස්තාව ලබා දුන්නා. බයිබලය ඇයට නියම බලාපොරොත්තුව ලබා දුන්නා. ඒ අතර ම මෙය මට ද උපකාරවත් වුණා.” යේසුස් වහන්සේ පැවසූ ලෙස ම: “ගැනීමට වඩා දීම ආශීර්වාදයකි.”—ක්‍රියා 20:35.

ඒ ගැන කෙනෙකු සමඟ කථා කරන්න

“සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.” (හිතෝපදේශ 12:​25, නව අනුවාදය) තේරුම් ගන්නා වූ පුද්ගලයෙකුගෙන් පැමිණෙන “හොඳ වචනයකට” අතිශය වෙනසක් කිරීමට හැකිකමක් තිබේ. කිසි මනුෂ්‍යයෙකුට ඔබේ හෘදයේ තිබෙන දේ දැනගැනීමට නොහැකි බැවින් උපකාර කිරීමට හැකියාව ඇති, ඔබ විශ්වාස කරන යමෙකු හට එය පවසන්න. හිතෝපදේශ 17:17ට අනුව: “මිත්‍රයෙකු සැමවිට ම ප්‍රේම වන්නේ ය. කරදර කාලයේ දී සහෝදරයෙකු බවට පත් වන්නේ ය.” (ද බයිබල් ඉන් බේසික් ඉංග්ලිෂ්) “ඔබ තුළ ම එය තබා ගෙන සිටීම තනි ව ම මහත් බරක් උසුලා ගෙන සිටින්නාක් මෙනි” කියා 22-හැවිරිදි ඒවන් පැවසුවේ ය. “එහෙත් උපකාර කිරීමට සුදුසුකම් ඇති කෙනෙකු සමඟ ඔබ එය බෙදා ගන්නා විට, එය බොහෝ සෙයින් වඩා සැහැල්ලු වේ.”

‘නමුත් මම දැනටමත් එසේ කිරීමට උත්සාහ කරලා තියෙනවා. ඒත් මට ලැබෙන්නේ ජීවිතයේ හොඳ පැත්ත බලන්න කියා දේශනාවක් පමණයි’ කියා ඔබ පවසන්නට පුළුවන. එසේ නම්, තේරුම් ගන්නා සවන් දෙන්නෙකු පමණක් නොව, නමුත් අරමුණක් ඇතුව උපදෙස් දෙන කෙනෙකු ඔබට සොයාගත හැක්කේ කොතැනින් ද?—හිතෝපදේශ 27:​5, 6.

උපකාරය සෙවීම

‘ඔබේ හෘදය,’ ඔබේ දෙමව්පියන්ට ‘දීමෙන්,’ පටන් ගන්න. (හිතෝපදේශ 23:26) වෙන කාටත් වඩා ඔවුන් ඔබ ගැන හොඳින් දන්නා අතර, ඔබ ඔවුනට ඉඩ හරින්නේ නම් බොහෝ විට ඔබට උපකාර කිරීමට ඔවුනට හැක. ගැටලුව බරපතළ යයි ඔවුන් තේරුම් ගතහොත්, ඔබට විශේෂඥ උපකාරය ලබා දීමට පවා ඔවුන් පිළියෙල කරන්නට ඉඩ තිබේ.a

ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් උපකාරය සඳහා තව මූලාශ්‍රයකි. “මා කෙතරම් අසහනයකින් සිටියේදැයි ඇත්තෙන් ම කිසි කෙනෙක් දැන සිටියේ නැත යන රැවටිලිකාර උපකල්පනය වසර ගණනාවක් පුරා මම සිතින් මවාගෙන සිටියා,” යයි මාරි හෙළි කළා ය. “නමුත් සභාවේ සිටි වැඩිමහල් ස්ත්‍රීන්ගෙන් කෙනෙකු ව විශ්වාස කර සියල්ල ඇයට පැවසුවා. ඇය ඒ තරමට ම තේරුම් ගන්නා සුලු කෙනෙකු වූවා! මා අත්දැක තිබූ අත්දැකීම්වලින් ම සමහරක් ඇය ද අත්දැක තිබුණා. එමනිසා මෙවැනි දේවල් අන් අය ද අත්දැක තිබෙන බවත් ඉතා හොඳින් ඉන් ජයගෙන තිබෙන බවත් වටහා ගැනීම මට ධෛර්යයක් ගෙන දුන්නා.”

නැත, මාරිගේ අසහනය ක්ෂණික ව ම පහවී ගියේ නැත. එහෙත් දෙවියන් වහන්සේ සමඟ ඇගේ සබඳතාව ඇය වැඩි කරගත් විට ඇගේ චිත්ත වේගයන්ට මුහුණ දීමට ඇය ක්‍රම ක්‍රමයෙන් පටන් ගත්තා ය. යෙහෝවඃ වහන්සේගේ සැබෑ නමස්කාරකයන් අතර ඔබටත් ඔබේ ශුභසිද්ධිය ගැන සැබෑවට ම උනන්දුවක් දක්වන මිතුරන් සහ “පවුලක්” සොයා ගත හැක.—මාර්ක් 10:​29, 30; යොහන් 13:​34, 35.

සාමාන්‍යත්වය ඉක්ම වූ බලය

කෙසේ වෙතත්, ප්‍රේරිත පාවුල් පැවසූ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන “සාමාන්‍යත්වය ඉක්ම වූ බලය,” ශෝකී භාවය පහ කර ගැනීමට ඉතා බලවත් ආධාරයකි. (2 කොරින්ති 4:7, NW) ඔබ උන් වහන්සේ කෙරෙහි රඳා සිටින්නේ නම් අසහනයට එරෙහි ව සටන් කිරීමට ඔබට උපකාර කිරීමට උන් වහන්සේට හැක. (ගීතාවලිය 55:22) ස්වකීය ශුද්ධාත්මය මගින් උන් වහන්සේ ඔබේ සාමාන්‍ය බලපුළුවන්කම් ඉක්මවන බලයක් දෙන සේක.

දෙවියන් වහන්සේ සමඟ ඇති මෙම මිත්‍රත්වය සැබවින් ම නැවත සහතිකකම ඇති කරන්නකි. “මට කනගාටු අවස්ථාවන් තිබෙන වෙලාවට, මම බොහෝ සෙයින් යාච්ඤා කරනවා. මගේ ගැටලුව කොතරම් බරපතළ එකක් වුණත් යෙහෝවඃ වහන්සේ ඉන් ගොඩ ඒමට මට මාර්ගයක් සලසන බව මම දන්නවා,” යයි ජෝජියා නැමැති තරුණ ස්ත්‍රිය පැවසුවා ය. ඩැෆ්නි ඊට එකඟ වෙමින් මෙසේ පවසයි: “ඔබට සෑම දෙයක් ම යෙහෝවඃ වහන්සේට පවසන්න පුළුවන්. හුදෙක් ඔබේ හෘදයේ ඇති සියල්ල පවසන්න. එවිට කිසි මනුෂ්‍යයෙකුට නොහැකි වුවත්, උන් වහන්සේ සැබවින් ම ඔබ ව තේරුම් ගන්නා අතර ඔබ ගැන සැලකිල්ලක් ද දක්වන බව ඔබ දැන ගන්නවා ඇත.”

එබැවින් ඔබ අසහනයට පත් වී සිටිනවා නම්, දෙවියන් වහන්සේට යාච්ඤා කර ඔබේ හැඟීම් අනාවරණය කළ හැකි ඥානවන්ත, තේරුම් ගන්නා වූ කෙනෙකු සොයා ගන්න. ක්‍රිස්තියානි සභාව තුළ, දක්ෂ උපදේශකයන් වන “වැඩිමහල්ලන්” ඔබ විසින් සොයා ගනු ඇත. (යාකොබ් 5:​14, 15) ඔවුහු දෙවියන් වහන්සේ සමඟ ඇති ඔබේ මිත්‍රත්වය පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා සූදානම් ව සිටිති. මන්ද දෙවියන් වහන්සේ තේරුම් ගන්නා අතර “උන් වහන්සේ ඔබ ගැන ඇත්තෙන් ම සලකන හෙයින්,” ඔබේ කරදර උන් වහන්සේට භාර දෙන්න යයි ආරාධනා කරන සේක. (1 පේතෘස් 5:​6, 7 නව අනුවාදය) ඇත්තෙන් ම, බයිබලය මෙසේ පොරොන්දු කරයි: “සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.”—පිලිප්පි 4:7, නව අනුවාදය.

[අධෝලිපි]

a  බලවත් අසහනයට ගොදුරු වී සිටින්නන්ට සිය දිවි නසා ගැනීමේ අනතුර තිබෙන බැවින් විශේෂඥ උපකාරය ලබා දිය යුතු ය කියා බොහෝ වෛද්‍ය ප්‍රවීණයෝ උපදෙස් දෙති. උදාහරණයක් ලෙස, වෛද්‍ය විශේෂඥයෙකු මගින් පමණක් නියම කරන ඖෂධ සඳහා අවශ්‍යතාවයක් තිබිය හැක.

සාකච්ඡා කිරීමට ප්‍රශ්න

◻ යෞවනයෙකු අසහනයට පත්කර විය හැකි ඇතැම් දේවල් කවරේ ද? කවදා හෝ ඔබට එසේ හැඟී තිබේ ද?

◻ පහත්-ගණයේ නිදන්ගත අසහනයේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට ඔබට හැකි ද?

◻ බලවත් අසහනය හඳුනා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවා ද? මෙය එතරම් බරපතළ ආබාධයක් වන්නේ මන්ද?

◻ අධෛර්ය වීම්වලට එරෙහි ව සටන් කළ හැකි ඇතැම් ආකාරයන් නම් කරන්න. මෙම යෝජනාවලින් ඕනෑ ම එකක් හෝ ඔබ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී තිබේ ද?

◻ ඔබ බරපතළ ලෙස අසහනයට පත් වී සිටින විට කාරණා කථා කර ගැනීම එතරම් වැදගත් වන්නේ මන්ද?

[106 පිටුවෙහි හුවා දැක්වීම]

නව යොවුන් සිය දිවි හානි කර ගැනීම සඳහා ඉතා සාමාන්‍ය හේතුව වන්නේ උග්‍ර අසහනයයි

[112 පිටුවෙහි හුවා දැක්වීම]

බලවත් අසහනය සමඟ ක්‍රියා කිරීම සඳහා ඔබට උපකාර කිරීමට දෙවියන් වහන්සේ සමඟ ඇති පුද්ගලික මිත්‍රත්වයට හැක

[107 පිටුවෙහි ඇති කොටුව]

එය බලවත් අසහනයක් විය හැකි ද?

ඕනෑ ම කෙනෙකු බරපතළ ගැටලුවක් නොමැති ව පහත සඳහන් රෝග ලක්ෂණ එකකින් හෝ වැඩි ගණනකින් තාවකාලික ව වේදනා විඳිය හැක. කෙසේ වුවද, රෝග ලක්ෂණ කිහිපයක් නොකඩවා පවතී නම්, නැතහොත් ඔබේ සාමාන්‍ය ක්‍රියාවලියන්ට බාධා කරන තරමට ඉන් එකක් හෝ උග්‍ර වේ නම්, ඔබට (1) ශාරීරික රෝගයක් තිබිය හැකි අතර වෛද්‍යවරයෙකු මගින් සම්පූර්ණ රෝග පරීක්ෂණයක් කිරීම අවශ්‍ය වේ. නැතහොත් (2) බරපතළ මානසික අක්‍රමිකතාවයක්—බලවත් අසහනයක් තිබිය හැක.

කිසිවකින් ඔබට සතුටක් නොලැබේ. ඔබ කලෙක ප්‍රීතිය භුක්ති වින්දා වූ ක්‍රියාකාරකම් මගින් ඔබට දැන් සතුට ලැබිය නොහැක. ඔබට සැබෑ බවක් නොහැඟේ, මී දුමක සිටිනවාක්මෙන් ඔබ හුදෙක් ජීවන ගමනේ අගක් මුලක් නොමැති ව ගමන් කරමින් සිටියි.

සම්පූර්ණ නොවටිනා භාවයක්. ඔබේ ජීවිතය කිසි වැදගත්කමක් නැති බවත්, එය මුළුමනින් ම නිෂ්ප්‍රයෝජන බවත් ඔබට හැඟේ. ඔබ වරදෙන් පිරී සිටින බවක් ඔබට හැඟෙන්නට පුළුවන.

මනෝ භාවයේ ප්‍රබල වෙනසක්. ඔබ විටෙක විවෘත මිත්‍රශීලී කෙනෙකු ව සිටියේ නම්, ඔබ පසුබෑමකට හෝ මෙයට ප්‍රතිවිරුද්ධ අතට සිදුවීමට හෝ හැක. ඔබ නිතර හඬන්නට පුළුවන.

සම්පූර්ණ බලාපොරොත්තු රහිත භාවයක්. දේවල් නරක අතට හැරී තිබෙන බවත්, ඒ ගැන ඔබට කිසිවක් කළ නොහැකි බවත්, තත්ත්වයන් කිසිදා යහපත් අතට නොහැරෙන බවත්, ඔබට හැඟේ.

ඔබ මැරුණා නම් හොඳයි කියා සිතයි. සන්තාපය එතරම් ම මහත් බැවින් ඔබ මැරුණා නම් වඩා හොඳයි කියා ඔබට නිතර හැඟේ.

සිත යොමු කළ නොහැක. ඔබ යම් සිතුවිලි නැවත නැවත මතක් කරයි නැතහොත් ඔබ අවබෝධ කර නොගෙන කියවයි.

ආහාර ගැනීමේ හෝ අන්ත්‍රයේ හෝ පුරුදුවල වෙනසක්. ආහාර රුචිය නැති වීම හෝ වැඩිපුර ආහාර ගැනීම. වරින් වර මලබද්ධය හෝ පාචනය ඇති වීම.

නිදා ගැනීමේ පුරුදු වෙනස් වේ. අඩුවෙන් හෝ වැඩියෙන් නින්ද යාම. ඔබ නිතර නපුරු සිහින දකින්නට පුළුවන.

කැක්කුම් හා වේදනා. හිසරදය, කෙණ්ඩා පෙරළීම් සහ උදරයේ මෙන් ම පපුවේ කැක්කුම්. කිසි හොඳ හේතුවක් නොමැති ව ඔබට ස්ථිර වශයෙන් ම වෙහෙසක් දැනෙන්නට පුළුවන.

[108 පිටුවෙහි ඇති කොටුව]

කෙනෙකුගේ දෙමව්පියන්ගේ අපේක්ෂාවන්ට අනුව ජීවත්වීමට අසමත්වීම, යෞවනයෙකු ව අසහනයට පත් කළ හැක

[109 පිටුවෙහි ඇති පින්තූර]

අන්‍යයන් සමඟ කථා කර ඔබේ හෘදය වැගිරවීම, ඊට මුහුණ දීමට තිබෙන ඉතා හොඳ ම මාර්ගවලින් එකකි

[110 පිටුවෙහි ඇති පින්තූර]

අධෛර්ය වීම් පරාජය කිරීමට තවත් වෙනත් මාර්ගයක් වන්නේ අන්‍යයන් සඳහා දේවල් කිරීම ය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න