ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 11/8 4-8 පි.
  • වැඩි වෙමින් සිටින සරණාගතයෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩි වෙමින් සිටින සරණාගතයෝ
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ගැටලුව වඩාත් දරුණු වන්නේ මන්ද?
  • ප්‍රතික්ෂේප වන මිලියන සංඛ්‍යාතයන්
  • කාරණා තවත් අවුල් කරවන්නේ කුමක්ද?
  • වෛරය හා බිය
  • අවතැන් වුණ අයට අත දෙමු
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විසඳුම කුමක්ද?
    1996 පිබිදෙව්!
  • යුක්රේනයේ වැසියන් මිලියන ගාණක් සරණාගතයන් වෙයි!
    තවත් ලිපි
  • ව්‍යසනයක ප්‍රතිඵල
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 11/8 4-8 පි.

වැඩි වෙමින් සිටින සරණාගතයෝ

මිනිස් ඉතිහාසයේ වැඩි කාලයක් යුද්ධ, සාගත හා පීඩාවලින් අවලස්සන වී ඇත. ප්‍රතිඵලයක් වශයෙන්, රක්ෂස්ථානයක් අවශ්‍ය ජනතාවක් සැමවිටම සිට ඇත. අතීතයේදී, ජාතීන් හා ජනයා අවශ්‍යතාව තිබූ අයට රක්ෂස්ථාන සපයා ඇත.

පුරාණයේ ඇස්ටෙක්වරු, අෂූරිවරු, ග්‍රීක ජාතිකයෝ, හෙබ්‍රෙව්වරු, මුස්ලිම්වරු සහ වෙනත් අය රක්ෂස්ථාන සැපයීමේ නීතිවලට ගරු කළහ. ග්‍රීක දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ සියවස් 23කටත් වැඩි කලකට පෙර මෙසේ ලීවේය: “සෙසු රටවැසියන්ගෙන් හා තම පවුලෙන් ඈත්ව සිටින විදේශිකයා, මනුෂ්‍යයන්ගේ හා දෙවිවරුන්ගේ පැත්තෙන් ඉමහත් ප්‍රේමයක් ලැබිය යුතුය. එනිසා විදේශිකයන්ට හානියක් නොකිරීමට, හැකි උපරිමයෙන් පූර්වෝපායන් ගත යුතුය.”

විසිවන සියවස තුළදී, සරණාගතයන්ගේ සංඛ්‍යාව පුදුමසහගත ලෙස වැඩි වී ඇත. දෙවන ලෝක යුද්ධයෙන් ඉතිරි වූ සරණාගතයන් මිලියන 1.5 රැකීමේ වෑයමක් වශයෙන්, 1951දී සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) පිහිටුවනු ලැබීය. එය පිහිටුවා තිබුණේ, රක්ෂස්ථානවල සිටින සරණාගතයන් තමන් සරණාගතව සිටින සමාජවලට නොපමාව එක්වනු ඇතැයි යන අදහස පදනම් කොටගෙන වසර තුනකට පැවතීමටය. ඉන්පසු, සංවිධානය විසුරුවාහැරිය හැකි බවට කල්පනා කර තිබිණ.

කෙසේවුවද, දශක ගණනක් පුරා සරණාගතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩි විය. වර්ෂ 1975 වන විට ඔවුන්ගේ සංඛ්‍යාව මිලියන 2.4ක් දක්වා වැඩි වී තිබිණ. වර්ෂ 1985 වන විට සංඛ්‍යාව මිලියන 10.5ක් විය. වර්ෂ 1995 වන විට UNHCR මගින් ආරක්ෂාව හා උපකාරය ලබන ජනයාගේ සංඛ්‍යාව මිලියන 27.4 දක්වා ඉහළ ගොස් තිබිණ!

ශීත යුද්ධයෙන් පසු යුගයේදී සමස්ත ලෝක සරණාගත ගැටලුව විසඳීමට මාර්ගයක් විවෘත වනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වූහ; එවැන්නක් සිදු නොවීය. ඒ වෙනුවට, ඓතිහාසික හෝ වාර්ගික පදනමක් මත ජාතීන් භේදභින්න වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගැටුම් සිදු වී ඇත. තමන්ව ආරක්ෂා කිරීමට තම ආණ්ඩුවලට නොහැකි බව හෝ එසේ නොකරන බව දන්නා ජනයා යුද්ධ පැතිර යත්ම පලාගියහ. නිදසුනක් වශයෙන්, ඉරාක ජාතීන් මිලියන දෙකකට ආසන්න ගණනක් 1991දී අසල්වැසි රටවලට පලාගියහ. ගණන් බලා ඇති අන්දමට, එතැන් පටන් සරණාගතයන් 7,35,000ක් කලින් යුගෝස්ලාවියාවෙන් පලාගොස් ඇත්තාහ. අනතුරුව 1994දී, රුවන්ඩාවේ සිවිල් යුද්ධය හේතු කොටගෙන, රටේ මිලියන 7.3ක ජනතාවකින් අඩකට වඩා ප්‍රමාණයකට තම නිවාස අත්හැර පලායෑමට සිදු විය. රුවන්ඩා වැසියන්ගෙන් මිලියන 2.1ක් පමණ අසල පිහිටි අප්‍රිකානු රටවල සරණ සෙවූහ.

ගැටලුව වඩාත් දරුණු වන්නේ මන්ද?

සරණාගතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීම සඳහා දායක වන හේතු සාධක කිහිපයක් තිබේ. ඇෆ්ඝනිස්ථානය හා සෝමාලියාව වැනි ඇතැම් ස්ථානවල ජාතික ආණ්ඩු බිඳවැටී ඇත. මේ හේතුවෙන් කටයුතු මෙහෙයවීමට සිටින්නේ අවි සන්නද්ධ සංවිධානයි; ඔවුහු ජනයාව භීතියට හා පලායෑමට සලස්වමින්, නොහික්මුණු ලෙස ප්‍රදේශ කොල්ලකති.

වෙනත් ස්ථානවල, සංකීර්ණ වූ වාර්ගික හෝ ආගමික මතභේද මත පදනම්ව ගැටුම් ඇති වේ. මෙහිදී සටන් වදින පාර්ශ්වයන්වල මූලික පරමාර්ථය සිවිල් ජනතාව පරාජය කොට පලවාහැරීමය. පෙර යුගෝස්ලාවියාවේ යුද්ධ සම්බන්ධයෙන් 1995 මැදභාගයේදී එජා නියෝජිතයෙක් දුක්මුසුව මෙලෙස ප්‍රකාශ කළේය: “කවුද සටන් කරන්නේ, සටන් කරන්නේ මොන හේතුවක් නිසාද කියලා මේ යුද්ධයට හේතු තේරුම්ගන්න හුඟදෙනෙක්ට හරිම අමාරුයි. එක පැත්තකින් විශාල සංඛ්‍යාවක් ඉවත් වෙලා යන කොට, සති තුනකට පස්සේ, අනික් පැත්තෙන්ද විශාල සංඛ්‍යාවක් ඉවත් වෙලා යනවා. ඒක තේරුම්ගන්න හරි අමාරුයි; ඒක තේරුම්ගත යුතු අයට පවා ඒක තේරුම්ගන්න හරිම අමාරුයි.”

අධිවිනාශකාරි නවීන යුධෝපකරණ—එනම් එක පිට එක යවන රොකට් යානා, මිසයිල, කාලතුවක්කු සහ එවැනි යුධෝපකරණ—සංහාරය වැඩි කරන අතර සටන් බිම පුළුල් කරයි. ප්‍රතිඵලය: තවත් සරණාගතයන් වැඩිවීමය. මෑත කාලවලදී, ලෝකයේ සරණාගතයන්ගෙන් සියයට 80ක් පමණ, සංවර්ධනය වෙමින් පවතින රටවලින් අසල්වැසි රටවලට පලාගොස් ඇත. ඒවාද සංවර්ධනය වෙමින් පවතින අතර, රක්ෂස්ථාන සොයා පැමිණෙන්නන්ව රැකබලා ගැනීමට නොහැකි තත්වයක පවතී.

බොහෝ සටන්වලදී ආහාර හිඟය ගැටලුව උත්සන්න කරයි. සමහරවිට සහනාධාර සපයන වාහනවලට යෑමට ඉඩ නොදෙන නිසා, ජනයා හාමතෙන් පෙළෙන විට, ඔවුන්ට වෙනත් ස්ථානයක පදිංචිය සොයා යෑමට අනිවාර්යයෙන්ම සිදු වේ. ද නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ සඳහන් කරයි: “අප්‍රිකාවේ සෝමාලියාව, ඉතියෝපියාව වැනි රටවල නියඟය සමඟම දරුණු ලෙස යුද්ධ සිදු වන විට, තවදුරටත් ජීවනෝපායක් සැපයීමට දේශයට නොහැකි වේ. සියදහස් ගණන් පලායන්නේ සාගින්න නිසාද නැතහොත් යුද්ධ නිසාද යන්නෙහි වැදගත්කමක් නැත.”

ප්‍රතික්ෂේප වන මිලියන සංඛ්‍යාතයන්

ප්‍රතිපත්තියක් වශයෙන් රක්ෂස්ථානයක් සපයා දිය යුතුය යන අදහසට ගරු කරන මුත්, සරණාගතයන්ගේ විශාල සංඛ්‍යාව ජාතීන්ව බියගන්වයි. මෙම තත්වය පුරාණ මිසරයේ තත්වයට සමානය. වසර හතක සාගතයේ විනාශයෙන් බේරීමට යාකොබ් සහ ඔහුගේ පවුල සරණ සොයා මිසරයට ගිය විට, ඔවුන්ව සාදරයෙන් පිළිගන්නා ලදි. “ඉතාම හොඳ පළාතෙහි” වාසය කිරීමට ඵාරාවෝ ඔවුන්ට අවස්ථාව සලසා දුන්නේය.—උත්පත්ති 47:1-6.

කෙසේවුවද, කාලය ගෙවී යත්ම, ඉශ්‍රායෙල්වරුන්ගේ ගණන බොහෝ විය. “දේශය ඔවුන්ගෙන් පිරුණේය.” මිසරවරු මේ අවස්ථාවේදී දැඩි ලෙස ප්‍රතික්‍රියා කළහ. එහෙත් “[මිසරවරුන්] ඔවුන්ට පීඩාකරන්ට කරන්ට ඔව්හු [ඉශ්‍රායෙල්වරු] . . . වඩ වඩා පැතිරගියෝය. මිසරවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා [බෙහෙවින්, NW ] බියපත්” වූහ.—නික්මයාම 1:7, 12.

එලෙසම, සරණාගතයන්ගේ සංඛ්‍යාව නොකඩවා වැඩි වන විට, අදදින ජනයාද ‘බෙහෙවින් බියට පත් වෙති.’ ඔවුන්ගේ කනස්සල්ලට ප්‍රධාන හේතුව ආර්ථිකයයි. සරණාගතයන් මිලියන සංඛ්‍යාවකට පෝෂණය, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් සහ ආරක්ෂාව සැපයීම සඳහා බොහෝ මුදලක් වැය වේ. වර්ෂ 1984 සහ 1993 අතර UNHCR වාර්ෂිකව වැය කළ මුදල ඩොලර් මිලියන 444 සිට ඩොලර් බිලියන 1.3 දක්වා වැඩි විය. මුදල්වලින් වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කරන්නේ ධනවත් රටවල්ය. ඉන් රටවල් කිහිපයක්ම තමන්ගේම ආර්ථික ගැටලු සමඟ පොරබදමින් සිටී. පරිත්‍යාග කරන රටවල් ඇතැම්විට මෙසේ පැමිණිලි කරයි: ‘අපි අපේම රටේ උන්හිටි තැන් අහිමිවූවන්ට උපකාර කිරීමට නොහැකිව මුදල් ප්‍රශ්නයට මැදි වී සිටිනවා. විශේෂයෙන්ම ගැටලුව නිරාකරණය වනවාට වඩා උත්සන්න වන බවක් පෙනෙන්ට තිබියදී, මුළු පොළොවේම උන්හිටි තැන් අහිමිවූවන් සඳහා වගකීමට අපට හැක්කේ කෙසේද?’

කාරණා තවත් අවුල් කරවන්නේ කුමක්ද?

ආර්ථික හේතූන් මත එම රටටම සංක්‍රමණය වී ඇති දහස් ගණන් ජනයා විසින් තමන්ගේ තත්වය අවුල් කරගෙන ඇති බව, ධනවත් රටකට පැමිණෙන සරණාගතයන්ට නිතර දක්නට ලැබේ. ආර්ථික හේතූන් මත සංක්‍රමණය වන්නෝ යුද්ධය හෝ පීඩා හෝ සාගතය නිසා පලායන සරණාගතයෝ නොවෙති. ඒ වෙනුවට ඔවුන් පැමිණ ඇත්තේ, වඩාත් හොඳ ජීවිතයක්—දිළිඳුබවෙන් තොර ජීවිතයක් සොයාගෙනය. බොහෝවිට බොරු දේවල් කියා තමන් සරණාගතයන් බව සහතික කිරීමට බොරු මවාපෑමක් කරමින් රක්ෂස්ථාන සම්බන්ධ සංවිධානවලට කරදර කරන බැවින්, ඔවුහු අවංක සරණාගතයන්ට කාරණා දුෂ්කර කරති.a

සරණාගතයන් හා සංක්‍රමිකයන්ගේ ආගමනය, වසර ගණනක් පුරා ධනවත් රටවල් තුළට සමාන්තරව ගලන ධාරාවන් දෙකකට සමාන කර ඇත. කෙසේවුවත්, එන්න එන්නම දැඩි වන ආගමන නීති මගින්, ආර්ථික හේතු මත සංක්‍රමණය වන්නන්ගේ ගලා එන සංඛ්‍යාවේ ධාරාවට බාධා පමුණුවා ඇත. මෙසේ ඔවුන් සරණාගත ධාරාවේ කොටසක් බවට පත් වී ඇති අතර, මෙම ධාරාව ජලගැලීමක් ඇති වන තරමටම උතුරා ගොස් තිබේ.

තමන් රක්ෂස්ථාන සඳහා කරන ලද ඉල්ලීම සෝදිසි කර බැලීමට වසර කිහිපයක් ගත විය හැකි බව දන්නා බැවින්, ආර්ථික හේතු මත සංක්‍රමණය වන්නෝ කොහොම වුණත් අවාසියක් හිමි නොවන තත්වයක තමන් සිටින බවට තර්ක කරති. රක්ෂස්ථානයක් සඳහා ඔවුන්ගේ ඉල්ලීම පිළිගතහොත්, ඔවුන්ට වඩාත් සමෘද්ධිමත් ආර්ථික වාතාවරණයක සිටිය හැකි බැවින් ඔවුහු ජයගනිති. ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුවහොත්, ඔවුන් තම රටට ගෙන යෑමට යම් මුදලක් උපයාගෙන මෙන්ම යම් කුසලතා ඉගෙනගෙන තිබෙන බැවින්, ඔවුහුද ජයගනිති.

බොරු සරණාගතයන් ඇතුළුව, සරණාගතයන්ගේ සංඛ්‍යාව වැඩි වන නිසා, බොහෝ රටවල් ඔවුන්ව පිළිගන්නේ නැත. පලා එන්නන්ව වැළැක්වීමට ඇතැම් දේශ සීමා වසා ඇත. සරණාගතයන්ගේ පැමිණීම ඒ හා සමානව වැළැක්වීමට දායක වන නීති හා ක්‍රියා පිළිවෙත් වෙනත් රටවල හඳුන්වා දී ඇත. එපමණක් නොව, තවත් රටවල්, පලා ඇවිත් සිටින්නන්ව එම රටවලින් පලවාහැර තිබේ. එක් UNHCR ප්‍රකාශනයක් මෙසේ නිරීක්ෂණය කරයි: “අවංක සරණාගතයන්ගේ හා ආර්ථික හේතු මත සංක්‍රමණය වන්නන්ගේ සංඛ්‍යාව නොනැවතී වැඩිවීම, වසර 3,500ක් පැරණි රක්ෂස්ථාන සම්ප්‍රදාය මත දැඩි පීඩනයක් පටවා ඇත. ඒ හේතුවෙන්, එය බිඳවැටීමට ආසන්නව පවතී.”

වෛරය හා බිය

සරණාගතයන්ගේ ගැටලු වැඩි කරන්නකි, අථිතිභීතිකාවේ—එනම් විදේශිකයන්ට බියවීමේ හා වෛර කිරීමේ—අවතාරය. තම ජාතික අනන්‍යතාවට, සංස්කෘතියට හා රැකියාවලට, පිටරැටියන් තර්ජනය කරන බව බොහෝ රටවල ජනයා විශ්වාස කරති. එවැනි බිය ඇතැම්විට සාහසික ක්‍රියාවලින් ප්‍රකාශයට පත් වේ. රෙෆ්‍යූජීස් සඟරාව මෙසේ පවසයි: “යුරෝපා මහාද්වීපය, සෑම මිනිත්තු තුනකටම ජාතිවාදී සටනක් දකින අතර, බොහෝදුරට ඉලක්කය වී තිබෙන්නේ රක්ෂස්ථාන සොයන්නන් සඳහා තිබෙන තාවකාලික කඳවුරුය.”

මධ්‍යම යුරෝපයේ පෝස්ටරයක දැඩි වෛරයක් ප්‍රකාශ වේ; එය පොළොවේ බොහෝ රටවල වැඩි වශයෙන් දක්නට තිබෙන වෛරයකි. එය විදේශිකයන්ට එල්ල කළ දරුණු පණිවුඩයකි: “ඔවුන්, අපේ ජාතිය නමැති ශරීරයේ පිළිකුල්, වේදනාකාරි තුවාලයක්. කිසිම සංස්කෘතියක්, සදාචාරයක් හෝ ආගමික ආකල්ප නැති, කොල්ලකන්නයි, සොරකම් කරන්නයි විතරක් දන්න අහිකුණ්ටක, වැදගැම්මකට නැති ජනවාර්ගික කණ්ඩායමක්. කිලුටු, උකුණෝ පිරුණු ඔවුන්, වීදිවල හා දුම්රියපොළවල ලැගලා ඉන්නවා. ඔවුන්ගේ කිලුටු වැරහැලි ඔතාගෙන, සදහටම අත්හැර ගියාවේ!”

“සදහටම අත්හැර” යෑමට සරණාගතයන්ගෙන් වැඩිදෙනෙකු මහත් කැමැත්තක් දක්වන බවට සැකයක් නැත. ඔවුහු තම නිවෙස්වලට යෑමට ආශාවෙන් බලා සිටිති. පවුල සහ මිත්‍රයන් සමඟ සාමකාමී සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන්ගේ හෘද වේදනාවෙන් පෙළේ. එහෙත් ඔවුන්ට යන්න තැනක් නැත.

[පාදසටහන]

a රක්ෂස්ථාන සොයන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමටත්, ඔවුන්ව පිළිගැනීමටත්, බටහිර යුරෝපයේ ආණ්ඩු මගින් 1993දී ඩොලර් බිලියන 11.6ක් වියදම් කරන ලදි.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සරණාගතයන්ගේ අසරණ තත්වය

“සරණාගත දරුවන් සියදහස් ගණනක් හැම රැයකම කුසගින්නෙන් නින්දට යන බව එහෙමත් නැත්නම් පාසැලට ගොස් තිබෙන්නේ සරණාගත ළමුන් අටදෙනෙකුගෙන් එක සරණාගත දරුවෙක් පමණක් බව ඔබ දැනගෙන සිටියාද? මේ දරුවන්ගෙන් වැඩිදෙනෙක් චිත්‍රපටවලටවත්, නැත්නම් උද්‍යානයකටවත්, අඩු තරමින් කටුගෙයකටවත් කවදාවත් ගිහින් නෑ. බොහෝදෙනෙක් වැඩෙන්නේ කටුකම්බිවලින් වට කළ කඳවුරුවල හෝ හුදෙකලා කඳවුරුවලයි. ඔවුන් කවදාවත් එළදෙනෙක්වත්, බල්ලෙක්වත් දැකලා නෑ. සරණාගත දරුවන්ගෙන් බොහෝදෙනෙක් හිතන්නේ නිල් තණකොළ දුව පැන සෙල්ලම් කරන්න තියෙන දෙයක් නොවෙයි, කෑමට ගන්නා දෙයක් බවයි. සරණාගත දරුවන් දැකීම මගේ රැකියාවේ ශෝකාකූලම කොටසයි.”—සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වන සාඩාකෝ ඕගාටා.

[හිමිකම් විස්තර]

U.S. Navy photo

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යේසුස්වහන්සේ සරණාගතයෙක් වූසේක

යෝසෙප් හා මරියා ඔවුන්ගේ පුත්‍රයා වන යේසුස්වහන්සේ සමඟ බෙත්ලෙහෙමේ වාසය කළෝය. රත්‍රන්, කට්ටකුමංචල් සහ සුවඳ ලාටු යනාදි තෑගි රැගෙන ශාස්ත්‍රවන්තයෝ පෙරදිගින් ආහ. ඔවුන්ගේ පිටත්ව යෑමෙන් පසු දේවදූතයෙක් පෙනී සිට මෙසේ පැවසුවේය: “නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා නුඹට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය.”—මතෙව් 2:13.

විගස ඔවුහු තිදෙනා විදේශ රටක රක්ෂස්ථානය සොයාගත්හ—ඔවුහු සරණාගතයන් බවට පත් වූහ. යුදෙව්වරුන්ගේ රජු බවට පත් වන පුරෝකථනය කරන ලද තැනැත්තා සිටින ස්ථානය වාර්තා නොකළ බැවින්, හෙරොද් ශාස්ත්‍රවන්තයන් කෙරෙහි කෝපයෙන් සිටියේය. යේසුස්වහන්සේව මැරීමට නිරර්ථක උත්සාහයක යෙදෙමින්, බෙත්ලෙහෙම තුළ හා ඒ අවට සිටින කුඩා පිරිමි දරුවන් සියලුදෙනාවම මරා දමන්නැයි ඔහු තම මිනිසුන්ට අණ කළේය.

යළිත් දේවදූතයෙකු යෝසෙප්ට සිහිනයකින් පෙනී සිටින තුරු යෝසෙප් හා ඔහුගේ පවුල මිසරයේ නැවතී සිටියෝය. දේවදූතයා මෙසේ පැවසීය: “නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට යන්න. මක්නිසාද ළදරුවාගේ ජීවිතය නසන්ට සෙවූ අය මළෝයයි කීවේය.”—මතෙව් 2:20.

ඔවුන් මිසරයට පලායෑමට පෙර ජීවත් වෙමින් සිටි යුදයෙහි පදිංචි වීමට යෝසෙප් බලාපොරොත්තු වූ බව පැහැදිලිය. එහෙත් එසේ කිරීම අනතුරුදායක වනු ඇතැයි ඔහුට සිහිනයකින් අනතුරු අඟවන ලදි. මෙසේ සාහසිකකමේ තර්ජනය තවත් වරක් ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කළේය. යෝසෙප්, මරියා සහ යේසුස්වහන්සේ උතුරෙහි ගලීලයට ගොස් නාසරෙත් නුවර පදිංචි වූහ.

[7වන පිටුවේ පින්තූර]

මෑත වර්ෂවලදී මිලියන ගණන් සරණාගතයන් තම ජීවිත බේරාගැනීම සඳහා වෙනත් රටවලට පලාගොස් ඇත

[හිමිකම් විස්තර]

ඉහළ වමේ: Albert Facelly/Sipa Press

ඉහළ දකුණේ: Charlie Brown/Sipa Press

පහළ: Farnood/Sipa Press

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

වමේ සිටින පිරිමි දරුවා: UN PHOTO 159243/J. Isaac

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න