ව්‍යසනයක ප්‍රතිඵල
සරණාගතයෙකු වීම කෙවැනි දෙයක්ද? ඔබ කරදරයක් නැතුව ජීවත් වන මුත්, හිටිහැටියේම ඔබේ මුළු ජීවිත රටාවම වෙනස් වෙනවායයි සිතන්න. එක රැයකින්, අසල්වාසීහු සතුරෝ බවට පත් වෙති. කොල්ල කා ඔබේ නිවස ගිනිබත් කිරීමට සොල්දාදුවෝ පැමිණෙමින් සිටිති. බඩු එක්රැස් කරගෙන, ඔබේ ජීවිතය බේරාගෙන පලායෑමට, ඔබට තව තිබෙන්නේ මිනිත්තු දහයක් පමණි. ඔබට සැතපුම් ගණනාවක් ඇවිදීමට සිදු වන නිසා රැගෙන යා හැක්කේ කුඩා මල්ලක් පමණි. ඔබ ඊට දමාගනු ඇත්තේ මොනවාද?
ඔබ පලායන්නේ වෙඩි හඬ හා කාලතුවක්කු හඬ මැද්දේය. පලායමින් සිටින අන් අය අතරට ඔබද එක් වේ. දවස් ගෙවී යයි; ඔබ කුසගින්නෙන්, පිපාසයෙන්, අදහාගත නොහැකි තරමටම විඩා වී, පා අද්දමින් ඇවිදින්නෙහිය. පණකෙන්ද රැකගැනීමට නම් මුළු වැර යොදා ඇවිදිය යුතුය. ඔබ නිදන්නේ බිමය. කෑමට යමක් සොයමින්, ඔබ කෙතක ඇවිදින්නෙහිය.
ඔබ ආරක්ෂාව ඇති රටකට ළඟා වන මුත්, සීමා රැකවල්ලු රටට ඇතුල්වීමට ඔබට ඉඩ නොදෙති. ඔබේ මල්ල සෝදිසි කරන ඔවුහු වටිනා සියල්ල පැහැර ගනිති. ඔබට තවත් මුර කපොල්ලක් සම්බ වන අතර, ඔබ දේශ සීමාව හරහා ගමන් කරන්නෙහිය. කටු කම්බිවලින් වට වූ අපිරිසිදු සරණාගත කඳවුරකට ඔබව දමනු ලැබේ. ඔබේ තත්වයම අද්දකින වෙනත් අය ඔබ අවට සිටියත්, ඔබ සිටින්නේ අවුල්සහගත තත්වයකය.
ඔබේ පවුලේ හා මිත්‍රයන්ගේ ආශ්‍රය නැතිවීමේ පාළුව ඔබට දැනේ. අවශ්‍යතා සපුරාගැනීමට පිට අය මත සම්පූර්ණයෙන්ම රඳා සිටීමට ඔබට සිදු වන බව පෙනී යයි. කිරීමට කිසි වැඩක්වත් වෙනයම් කටයුත්තක්වත් නැත. ඔබ කලකිරීමේ, බලාපොරොත්තු රහිතබවේ හා කෝපයේ හැඟීම් සමඟ පොරබදන්නෙහිය. කඳවුරේ සිටිනු ඇත්තේ තාවකාලිකව බව දන්නා ඔබ, ඔබේ අනාගතය ගැන කනස්සලු වන්නෙහිය. ඇත්තෙන්ම, කඳවුර ඔබේ නිවස නොවේ—එය කිසිවෙකුට වුවමනා නොවන, යමෙකු හමුවීමට රැඳෙන කාමරයක් හෝ ජනයාගෙන් පිරි ගබඩා කාමරයක් වැනිය. ඔබ පැමිණි තැනටම යළිත් ඔබව බලෙන්ම යවනු ඇතැයි ඔබ කල්පනා කරන්නෙහිය.
අදදින මිලියන සංඛ්‍යාතයකගේ අද්දැකීම මෙයයි. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ට (UNHCR) අනුව, ලොව පුරා මිලියන 27ක ජනතාවක් යුද්ධ හෝ පීඩා හේතුවෙන් පලාගොස් ඇත. ඊට අමතරව මිලියන 23ක ජනතාවකට තමන්ගේම රටවලදී උන්හිටි තැන් අහිමි වී තිබේ. සියල්ල සලකා බලන කල, පොළොවේ සෑම 115දෙනෙකුගෙන්ම 1කෙනෙකුට අනිවාර්යයෙන්ම මේ තත්වයට වැටීමට සිදු වී තිබේ. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ස්ත්‍රීන් හා දරුවන්ය. යුද්ධ සහ විපත්තිවල ප්‍රතිඵලය වූ සරණාගතයන්, පිළිසරණකින් තොර වූ, තමන්ව වුවමනා නැති මෙන්ම තමන්ව ප්‍රතික්ෂේප කරන ලෝකයක අතරමං වී සිටින්නේ ඔවුන්ගේ ගතිගුණ හේතුවෙන් නොවන මුත්, ඔවුන් වැටී සිටින තත්වය හේතුවෙනි.
ඔවුන් සිටිනවාය යන කාරණය, ලොව පුරා ඉමහත් කැලඹීමක් ඇති බවට ලකුණකි. “සමාජය භේදභින්න වීමේ අවසාන ලක්ෂණය සරණාගතයන්ය. රටක සමාජීය හා දේශපාලනික බිඳවැටීමේ විශාලත්වය තීරණය වන හේතුකාරක හා ප්‍රතිඵල දාමයක අවසාන මෙන්ම ඉතා පැහැදිලි පුරුක ඔවුහු වෙති. සමස්ත ලෝකය දෙස බැලූ කල, ඔවුන්, මිනිස් ශිෂ්ටාචාරයේ වත්මන් තත්වය මැන බැලීමට තිබෙන බැරෝමීටරයක් හා සමාන” බව UNHCR ප්‍රකාශ කරයි.
පෙර නොදුටුවිරූ ආකාරයකින් මෙම විශාල ගැටලුව, පෙනෙන තෙක් මානයේ විසඳුමක් නැති, එන්න එන්නම වර්ධනය වන එකක් බව ප්‍රවීණයෝ පවසති. එවැනි තත්වයකට මඟ පාදා ඇත්තේ කුමක්ද? යම් විසඳුමක් තිබේද? මෙම ප්‍රශ්න මතු ලිපිවල සෝදිසි කෙරෙනු ඇත.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
වමේ සිටින පිරිමි ළමයා: UN PHOTO 159243/J. Isaac
U.S. Navy photo