යෞවන අය අසති . . .
මට මිත්‍රත්වයන් දිගටම පවත්වාගත නොහැක්කේ මන්ද?
“මගේ මිතුරියගේ හා මගේ උනන්දුවට හේතු වූ දේවල් සහ ක්‍රියාකාරකම් හුඟාක් තිබුණා; එකට එකතු වී කාලය ගත කිරීමෙන් අපි සතුටක් ලැබුවා. එහෙත් හිටි හැටියේම අපගේ මිත්‍රත්වය එන්ට එන්ටම උදාසීන වෙන්ට පටන්ගත්තා. එය මට ඇත්තෙන්ම කලකිරීමට හේතුවක් වුණා.”—මරීයා.
අන්තිමට ඔබව තේරුම්ගන්න, ඔබව විනිශ්චය නොකරන මිත්‍රයෙකු ඔබට සම්බ වී තිබේ. එහෙත් හිටි හැටියේම, ඔබගේ මිත්‍රත්වය ගිලිහී යන්නට පටන්ගනී. ඔබ එය රැකගැනීමට වෙර දරන නමුත් ඉන් කිසි ඵලක් නොවේ.
පක්ෂපාත මිත්‍රයෙකුගේ වටිනාකම කියා නිම කළ නොහැකි තරම්ය. (හිතෝපදේශ 18:24) එවන් මිත්‍රයෙකු අහිමිවීම වේදනාකාරි අද්දැකීමක් වන්ට පුළුවන. යෝබ්ගේ මිත්‍රයන් ඔහුව අත්හැරිය විට, ඔහු මෙලෙස ශෝක වූ බව බයිබලය අපට පවසයි: “මාගේ නෑයෝ [කිට්ටු ආශ්‍රිතයන්, NW ] අහක්වී, මාගේ හිතේසි මිත්‍රයෝ මා මතක නැතිකළෝය.” (යෝබ් 19:14) ඔබගේ මිත්‍රත්වයක් මෑතකදී උදාසීන තත්වයකට පත් වූවා නම්, ඔබටත් මේ හා සමාන කලකිරීමක් දැනිය හැක. පැට්රික් නම් තරුණයෙකු එය විස්තර කළේ මෙලෙසයි, “එය හරියට ඔබ ප්‍රේම කළ යමෙක් මියගියා වගෙයි.” එහෙත් ඔබට මෙතෙක් තිබී ඇති සෑම මිත්‍රත්වයක්ම අසාර්ථක වී තිබෙනවා නම් කුමක් කිව හැකිද?
බිඳෙනසුලු මිත්‍රත්ව
නව යොවුන් වියේ අයගේ මිත්රත්වයන්හි “අස්ථිරත්වයක් දක්නට ලැබේ, එමෙන්ම හිටි හැටියේ මිත්‍රත්වය කෙළවර වන විට, ප්‍රබල වෙනස්කම්ද තිත්තසහගත හැඟීම්ද” දක්නට ලැබෙන බව ඊස්ට්වූඩ් ඇට්වෝටර් විසින් රචිත යොවුන්විය (ඉංග්‍රීසියෙන් ඇඩොලෙසන්ස්) නමැති පොත නිරීක්ෂණය කරයි. යොවුන් මිත්රත්වයන්හි මෙතරම් බිඳෙනසුලු ස්වභාවයක් ඇති කරන්නේ කුමක්ද? ඔබ වයසින් වැඩි වෙත්ම, ඔබගේ හැඟීම්, දෘෂ්ටීන්, ඉලක්ක සහ ඔබ උනන්දු වන විෂයන් වෙනස්වීම එක් හේතුවක් වේ. (1 කොරින්ති 13:11, සසඳන්න.) සමහර කාරණා සම්බන්ධයෙන් ඔබ ඔබගේ තුල්යයන්ට වඩා ඉදිරියෙන් සිටිනවා හෝ හුඟාක් පසුපසින් සිටිනවා කියා ඔබට තේරී යා හැක.
එබැවින් මිත්‍රයන් වයසින් වැඩි වෙත්ම, ඔවුන් වෙන්වන්නේ, එකිනෙකා සමඟ කෝප වී සිටින නිසා නොව, නමුත් ඔවුන්ගේ ඉලක්ක, උනන්දු වන විෂයන් සහ සාරධර්ම වෙනස් වන නිසාය. සමහරවිට සම්බන්ධයක් අවසන් වීම හොඳම දෙය වෙන්ටත් පුළුවන්. ඔබ වයසින් වැඩි වී ආත්මික කාරණා වඩාත් බැරෑරුම් ලෙස සලකන්ට පටන්ගන්නවාත් සමඟම, ඔබට කලින් සිටි සමහර මිත්‍රයන් හිතකර බලපෑමක් නොවූ බව ඔබට සමහරවිට හැඟෙන්ට ඉඩ ඇත. (1 කොරින්ති 15:33) ඔබ ඔවුන් ගැන සැලකිල්ලක් දක්වන නමුත්, කලකදී ඔබ ඔවුන්ගේ ආශ්රයෙන් සතුටු වූ ආකාරයටම දැන් ඔබ සතුටු වන්නේ නැත.
මිත්‍රත්වයන් විනාශ කරන දේවල්
කෙසේවෙතත්, ඔබට මිත්‍රයන්—ඔබ පවත්වාගැනීමට කැමති සබඳතා, නිතරම අහිමි වනවා නම් කුමක් කිව හැකිද? අවංකව කියනවා නම්, ඔබගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ඔබ නිවැරදි කළ යුතු දෝෂ සමහරක් ඔබට තිබෙන බව ඉන් අදහස් කළ හැක. නිදසුනක් වශයෙන්, ඊර්ෂ්‍යාව මිත්‍රත්ව විනාශ කරයි. ඔබට වඩා පොහොසත්, සමර්ථකම් තිබෙන, රූපසම්පන්න එසේත් නැතහොත් ජනප්‍රිය මිත්‍රයෙකු ඔබට සිටිනවායයි සිතන්න. ඔහුට හෝ ඇයට ලැබිය හැකි අමතර සැලකිල්ල ගැන ඔබ විරසක වෙනවාද? “ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.” (හිතෝපදේශ 14:30) “ඇත්තෙන්ම මගේ මිත්‍රයාගේ ජනප්‍රියත්වය ගැනත්, මට නොතිබූ ඔහුට තිබූ සෑම දෙයක් ගැනත් මම ඊර්ෂ්‍යා වුණා,” යනුවෙන් යෞවන කීනන් පිළිගනියි, “එය අපගේ මිත්‍රත්වයට බලපෑවා.”
ඔබේ මිත්‍රයාගේ ආශ්‍රය ඔබට පමණක් සීමා කිරීමට නැඹුරුවීම තවත් විනාශකාරි ගතිලක්ෂණයක් විය හැකිය. මිත්‍රයෙකු එන්ට එන්ටම අන්‍යයන් සමඟ වැඩි කාලයක්ද ඔබ සමඟ අඩු කාලයක්ද ගත කරන බව ඔබ දැනගත්තොත් තත්වය කුමක්ද? එක් යෞවනියක මෙසේ ප්‍රකාශ කළාය: “මගේ මිත්‍රයන්ගෙන් සමහරෙකු සමඟ අන්‍යයන් කතා කළත් මම ඊර්ෂ්‍යා වුණා.” ඔබගේ මිත්‍රයා අන්‍යයන් සමඟ ආශ්‍රය කිරීම, ඔබට ද්‍රෝහිවීමක් ලෙස ඔබට හැඟිය හැක.
පරිපූර්ණත්වය අපේක්ෂා කිරීමද මිත්‍රත්වයක් අසාර්ථක වීමට හේතු විය හැකිය. නිදසුනක් වශයෙන්, මිත්‍රයෙකු ඔබ ගැන කේලම් කියා තිබෙන බව, ඇතැම්විට රහස්‍ය කාරණා පවා හෙළි කර තිබෙන බව ඔබට දැනගන්ට ලැබේ. (හිතෝපදේශ 20:19) “මම නම් මීට පස්සේ කවදාවත් එයාව විශ්වාස කරන්නේ නැහැ!” කියා ඔබ කෝපයෙන් ප්‍රකාශ කරයි.
මිත්‍රත්වය—ලැබීමද නැතහොත් දීමද?
ඊර්ෂ්‍යාව, ඔබේ මිත්‍රයාගේ ආශ්‍රය ඔබට පමණක් සීමා කිරීමට නැඹුරුවීමේ ස්වභාවය නැතහොත් පරිපූර්ණත්වය අපේක්ෂා කිරීම ආදිය නිසා, ඔබගේ මිත්රත්වයන්හි අමනාපකම් හටගෙන තිබෙනවා නම්, ඔබගෙන්ම මෙසේ අසන්න, ‘මට මිත්‍රත්වයකින් අවශ්‍ය වන්නේ කුමක්ද?’ යමෙකු ඔබට සම්පූර්ණයෙන්ම යටත් වී සිටීම, එනම් ඔබගේ අණසකට යටත් වන සේවකයෙකු ලෙස ක්‍රියා කිරීම ඔබ මිත්‍රත්වයකින් අපේක්ෂා කරනවාද? ඔබ මිත්‍රයන් තෝරාගන්නේ නම්බුව, ජනප්‍රියත්වය හෝ ලාභ ප්‍රයෝජනය උදෙසාද? ඔබ දෙදෙනාගේ සම්බන්ධය තුළ වෙනත් අයට ඉඩ නොමැති තරමටම ඔබ මිත්රයෙකුගෙන් තනි භක්තිය අපේක්ෂා කරනවාද? තත්වය එසේනම් මිත්‍රත්වය සම්බන්ධයෙන් ඔබ ඔබගේ ආකල්පය නිවැරදි කරගැනීම අවශ්‍ය වේ.
අන්‍යයන් සමඟ හොඳ සබඳතා පැවැත්වීමට හැකි වන්නේ, ලැබීමෙන් නොව නමුත් දීමෙන් බව, බයිබල් ඉගැන්වීම් තුළින් අපට දැනගන්ට ලැබේ! මතෙව් 7:12හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේම මෙසේ පැවසූසේක: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා.” මිත්‍රයන්ගෙන් ඇතැම් දේවල් අපේක්ෂා කිරීම ස්වාභාවික දෙයකි. සබඳතා තේරුම්ගැනීම (අන්ඩස්ටෑන්ඩිං රිලේෂන්ෂිප්ස්, ඉංග්‍රීසියෙන්) නමැති පොත මෙසේ පිළිගනියි: “මිත්‍රයෙකු කියන්නේ අවංක මෙන්ම නොවළහා කතා කරන, ස්නේහය විදහාපාන, ඔහුගේ හෝ ඇගේ රහස් සහ ගැටලු අපට පවසන, අපට අවශ්‍ය විට උපකාර කරන, අපව විශ්වාස කරන, එමෙන්ම . . . එකඟ නොවීම් නිරාකරණය කිරීමට කැමැත්තෙන් සිටින කෙනෙකු වීම සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරන්නෙමු.” කෙසේවෙතත්, කාරණය මෙතැනින් අවසන් නොවේ. එම පොත තවදුරටත් මෙසේ පවසයි: “මිනිසුන් මිත්රයෙකුගෙන් අපේක්ෂා කරන්නෙත්, මිත්‍රයෙකු වෙනුවෙන් කිරීමට අපේක්ෂා කරන්නෙත් මෙවැනි දේවල්ය.”—ඇල අකුරු අපගේය.
යේසුස්වහන්සේම තමාට සමීපවූවන්ට සැලකූ ආකාරය සලකා බලන්න. උන්වහන්සේ තම ගෝලයන්ට මෙසේ පැවසූසේක: “දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි. . . . නුඹලා මිත්‍රයෝයයි කීමි.” එනමුත් තම ගෝලයන් සමඟ වූ යේසුස්වහන්සේගේ මිත්‍රත්වය පදනම් වූයේ ඔවුන් විසින් උන්වහන්සේට කළ හැකි වූ දේවල් මතද? නැත. උන්වහන්සේ මෙසේ පැවසීය: “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.” (යොහන් 15:13, 15) එසේය, මිත්‍රත්වය සඳහා නියම පදනම වන්නේ, ආත්ම-පරිත්‍යාගි ප්‍රේමයයි! ප්‍රේමය අත්තිවාරමක්ව තිබෙන විට, සම්බන්ධයකට දුෂ්කරතා හා ගැටලුවලින් ජයගැනීමට හැකි වේ.
ගැටලු පැනනඟින විට
නිදසුනකට, ඔබට වඩා වැඩියෙන් ඔබගේ මිත්‍රයාට මුදල්, බුද්ධිය හෝ සමර්ථකම් තිබෙනවායයි සිතන්න. ඔබගේ මිත්‍රයා සමඟ ප්‍රීතිවීමට පරාර්ථකාමී ප්‍රේමය ඔබට උපකාර කරයි. ඇත්තෙන්ම, “ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත” යනුවෙන් බයිබලය පවසයි.—1 කොරින්ති 13:4.
එහෙමත් නැත්නම් ඔබගේ මිත්‍රයා ඔබේ සිත රිදවන යමක් පැවසුවා නැතහොත් කළායයි සිතන්න. ඔබගේ මිත්‍රත්වය කෙළවර වන්ට යන බව ඉන් අඟවයිද? අනිවාර්යයෙන්ම එසේ නොවේ. මිෂනාරි ගමනකදී ප්‍රේරිත පාවුල්ගේ මිත්‍රයා වූ මාර්ක් ඔහුව අත්හැර ගිය විට පාවුල් ඒ සම්බන්ධයෙන් සෑහෙන්න කලකිරුණේය. ඔහුගේ ඊළඟ ගමනේදී මාර්ක්ව කැටුව යෑමට ප්‍රතික්ෂේප කරන තරමට ඔහු කලකිරුණේය! මාර්ක්ගේ ඥාති සහෝදරයෙකු වූ බාර්ණබස් සමඟ ඒ විෂය සම්බන්ධයෙන් පාවුල් රළු ලෙස පවා කතා කළේය. කෙසේවෙතත්, වසර ගණනාවකට පසුව, පාවුල් මාර්ක් සම්බන්ධයෙන් ස්නේහවන්ත ආකාරයකින් කතා කළ අතර, තමාට උපස්ථාන කිරීමට රෝමයට එන ලෙසටත් ඔහුට ආරාධනා කළේය. ඔවුන් තම මතභේද නිරාකරණය කරගන්ට ඇති බව ඉන් පැහැදිලිය.—ක්‍රියා 15:37-39; 2 තිමෝති 4:11.
ඔබගේ මිත්‍රත්වයන් තුළත් ගැටලු පැනනඟින විට එලෙසම නොකරන්නේ මන්ද? කාරණා වඩාත් උග්රවීමට ඉඩහරින්න එපා. (එපීස 4:26) වහා නිගමනයකට එළඹීමට කලින්, නැතහොත් කෝපයෙන් චෝදනා කිරීමට කලින්, කාරණය සම්බන්ධයෙන් ඔබගේ මිත්‍රයාගේ අදහස් දැනගන්න. (හිතෝපදේශ 18:13; 25:8, 9) ඇතැම්විට යම් වරදවා තේරුම්ගැනීමක් සිදු වී තිබෙනවා විය හැකියි. එහෙත් දුර්වල ලෙස විනිශ්චය කිරීම සම්බන්ධයෙන් ඔබගේ මිත්‍රයා ඇත්තෙන්ම වරද සහිත නම් තත්වය කුමක්ද? ඔබගේ මිත්‍රයාත් මනුෂ්‍යයෙකු බව මතක තබාගන්න. (ගීතාවලිය 51:5; 1 යොහන් 1:9ආ, 10) ඇරත් යම් දේවල් පැවසීමෙන් හෝ කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් කනගාටු වීමේ වරදට අපි සියලුදෙනාම හසු වන්නෙමු.—දේශනාකාරයා 7:21, 22 සසඳන්න.
එහෙත්, ඔබගේ මිත්‍රයාගේ ක්‍රියාකාරකම් ඔබට කෙතරම් වේදනාවක් ඇති කර තිබෙනවාද කියා ඔබට විවෘතව ප්‍රකාශ කළ හැකිය. අවංකව සමාව අයැදීමට එය ඔබගේ මිත්‍රයාව පෙලඹවිය හැකියි. ප්‍රේමය “නපුර ගණන්ගන්නේ නැ[ති]” නිසා, සමහරවිට එම සිද්ධිය ඔබට අමතක කර දැමිය හැක. (1 කොරින්ති 13:5) අහිමි වූ මිත්‍රත්වයක් ගැන මතක් කරමින්, යෞවන කීනන් මෙසේ විස්තර කරයි: “මට ඒ සියල්ල නැවතත් කිරීමට හැකි නම්, අපගේ මිත්‍රත්වයෙන් මම සම්පූර්ණකම අපේක්ෂා කරන්නේ නැහැ. මම වැඩියෙන් සවන් දී ඔහුට අනුබල දෙනවා, ඔහුගේ දෝෂ ලොකු කරන්නේ නැහැ. සාර්ථක මිත්‍රත්වයක් ඇති වන්නේ, පරීක්ෂා හා අභියෝග සමඟ සාර්ථකව කටයුතු කිරීමෙන් බව මට දැන් වැටහෙනවා.”
එහෙත් ඔබගේ මිත්‍රයා පෙර සේ ඔබ සමඟ කාලය ගත කරන්නේ නැත්නම්, නැතහොත් ඔබ කැමති තරම් කාලයක් ඔබ සමඟ ගත කරන්නේ නැත්නම් තත්වය කුමක්ද? ඔබගේ මිත්‍රයාගේ කාලයත් අවධානයත් වුවමනාවට වඩා වැඩියෙන් අයිති කරගැනීමට ඔබ තැත් කරනවා විය හැකිද? මෙය සබඳතාවකට බාධාවක් වන්ට පුළුවන. සාර්ථක සබඳතා පවත්වන අය, එකිනෙකාට ප්‍රමාණවත් නිදහසක් ලබා දෙති. (හිතෝපදේශ 25:17, සසඳන්න.) අන්‍යයන් සමඟ එකතු වී සතුටු වීම සඳහා ඔවුහු සෑහෙන වෙලාවක් ඉඩහරිති! ඇත්තෙන්ම කියනවා නම්, බයිබලය ක්‍රිස්තියානීන්ට දිරිගන්වන්නේ මිත්‍රත්වයන් සම්බන්ධයෙන් “විශාල” වීමටයි. (2 කොරින්ති 6:13) එමනිසා මිත්‍රයෙකු එසේ කරන විට, ඔහු හෝ ඇය අපක්ෂපාත කෙනෙකු ලෙස සැලකීමට අවශ්‍ය නැත.
ඇත්තෙන්ම, එක්තරා පුද්ගලයෙකු මත පමණක් වුවමනාවට වඩා වැඩියෙන් රඳා සිටීම හොඳ අදහසක් නොවේ. (ගීතාවලිය 146:3) ඔබේ දෙමව්පියන්, වැඩිමහල්ලන් සහ සැලකිල්ලක් දක්වන වෙනත් වගකිව යුතු වැඩිහිටියන් වැනි, ඔබගේ තුල්‍යයන්ගේ කණ්ඩායමට පිටින් සිටින අය සමඟ මිත්‍රත්වයන් ගොඩනඟාගැනීම ප්‍රඥාවන්ත දෙයක් වනු ඇත. ආනා ආශාවෙන් පවසන්නේ: “මගේ අම්මා මගේ හොඳම මිතුරියයි. මට ඈ සමඟ ඕනෑම දෙයක් ගැන කතා කිරීමට හැකි වුණා.”
කල්පවතින මිත්‍රත්වයන් භුක්තිවිඳිය හැක!
“අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටපල්ලා” යනුවෙන් 1 පේතෘස් 3:8හි බයිබලය පවසයි. එසේය, අන්‍යයන්ට කරුණා ගුණය, දයාව, සදාචාර ස්ථාවරය සහ අවංක සැලකිල්ල දක්වන්න, එවිට ඔබ නිරතුරුවම මිත්රයන්ව ආකර්ෂණය කරගන්නවා ඇත! කල්පවතින මිත්‍රත්වයන් සඳහා වෑයමත් අධිෂ්ඨානයත් අවශ්‍ය බව සැබෑවකි. එහෙත් ලබන ප්‍රතිඵල හේතුවෙන් දරන වෑයම බොහෝ වටී.
බයිබලය දාවිත් සහ යොනාතාන් ගැන පැවසීම සිත්ගන්නා කරුණකි. ඔවුහු විශිෂ්ට මිත්‍රත්වයකින් සතුටක් ලැබූහ. (1 සාමුවෙල් 18:1) සුළු ඊර්ෂ්‍යාවන් සහ පෞද්ගලිකත්වයේ දෝෂ ජයගැනීමට ඔවුන්ට හැකි විය. මෙසේ කිරීමට හැකි වූයේ, දාවිත් සහ යොනාතාන් යන දෙදෙනාම යෙහෝවඃවහන්සේ සමඟ තිබූ මිතුරුකමත්, උන්වහන්සේට පක්ෂපාත වීමත්, අන් සියල්ලට වඩා උසස් කොට සැලකූ නිසාය. එලෙසම කරන්න, එවිට දේව-භය ඇති මිත්‍රයන් දිගටම තබාගැනීම ඔබට එතරම් අසීරු දෙයක් නොවනු ඇත!
[26වන පිටුවේ පින්තූර]
වෙනත් මිත්‍රයන් ඇතුව සිටීම අපක්ෂපාත දෙයක් බව කෙනෙකුට හැඟෙන විට, මිත්‍රත්වයන් භේදභින්න වේ