කල්පවතින මිත්‍රත්වයන් භුක්තිවිඳීමට ඔබට හැක
මිත්‍රත්වයන් සඳහා බාධක තිබේ. ඇත්තවශයෙන්ම, මෙම “අන්තිම දවස්වල,” ප්‍රේමයේ, ජන්ම ස්නේහයේ සහ පක්ෂපාතකමේ ඌනතාවක් තිබෙනු ඇති බව බයිබලය පුරෝකථනය කළේය. (2 තිමෝති 3:1-5; මතෙව් 24:12) මෙම තත්වයන් හේතුකොටගෙන, පෙර නොදුටු විරූ තනිකමේ වසංගතයක් පැතිර පවතී. එක් පුද්ගලයෙක් මෙසේ පැවසුවාය: “මගේ අසල්වැසි ප්‍රදේශය නෝවාගේ නැවට සමානයි. ඔබ යුවළක් නොවේ නම්, ඒ තුළට ඇතුල්වන්ට බැහැ.” මෙයට සම්පූර්ණ වරද, තනිකමෙන් පෙළෙන එක් එක් පුද්ගලයා පිට පැටවිය නොහැක. ජනයා නිතරම පදිංචිය මාරු කිරීම, පවුල් බිඳ වැටීම, සුහද බවක් නොදැනෙන අන්තරා සහිත නගර මෙන්ම විවේක කාලයේ කැපීපෙනෙන අඩුවීමක්, ලෝකයේ ඇතැම් තැන්වල කල්පවතින මිත්‍රත්වයන් ඇති කරගැනීමට අභියෝග කරන දේ අතර පවතී.
දහඅටවන සියවසේ ජීවත් වූ ගැමියෙකු අවුරුද්දක් තුළ හෝ තම ජීවිත කාලය තුළ හෝ දුටු මනුෂ්‍යයන් සංඛ්‍යාවකට වඩා වැඩි සංඛ්‍යාවක්, නවීන දින නගර වැසියෙකුට සතියක් තුළ මුණගැසිය හැක! එහෙත් අදදින පවතින සබඳතා බොහෝවිට මතු පිටින් තිබෙන ඒවා වේ. නිතරම සමාජ ආශ්‍රයෙහි මෙන්ම හොඳින් විනෝද වීමට දරන වෑයම්වල බොහෝදෙනෙක් ඇලී ගැලී සිටිති. එහෙත් නොසැලකිලිමත් ලෙස තෝරාගත් ආශ්‍රිතයන් සමඟ පවත්වන හිස් වූ ප්‍රීති ඝෝෂා වනාහි, ඉන්ධන සඳහා කටුදර භාවිත කිරීම හා සමාන බව අප පිළිගත යුතුය. දේශනාකාරයා 7:5, 6 මෙසේ ප්‍රකාශ කරයි: “අඥානයන්ගේ ගීතිකාව ඇසීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුව ඇසීම මනුෂ්‍යයෙකුට හොඳය. මක්නිසාද සැළිය යට තිබෙන කටුදරවල ශබ්දය යම්සේද අඥානයාගේ සිනාවත් එසේමය. ඒකත් නිෂ්ඵලකමක්ය.” කටුදර, දීප්තිමත් සහ ශබ්ද ඇති කරන ගින්නක් ඇති කළත්, අපව උණුසුම්ව තැබීමට අවශ්‍ය තරම් උෂ්ණත්වයක් එහි නොමැත. ඒ හා සමානවම, ශබ්ද කරන, සිනාසෙන මිත්‍රයන්ට මොහොතකට අපව වෙනතකට හැරවිය හැකි වුවත්, අපගේ තනිකම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හා සැබෑ මිත්‍රයන් සඳහා තිබෙන අපගේ අවශ්‍යතාව සෑහීමට පත් කිරීමට ඔවුන්ට නොහැක.
හුදෙකලාව සිටීම, තනිකමට වඩා වෙනස්ය. අපව ප්‍රාණවත් කර, මිතුරෙකු හැටියට ඊට වඩා දෙයක් ඉදිරිපත් කිරීම සඳහා සුළු ප්‍රමාණයකට හෝ හුදෙකලාව සිටීම අපට අත්‍යවශ්‍ය දෙයකි. තනිකමට මුහුණ දීමට සිදු වූ විට, බොහෝදෙනෙක් යම් ආකාරයක ඉලෙක්ට්‍රෝනික විනෝදාස්වාදයක් වෙතට විගස යොමු වෙති. තනිකම නැති කිරීම සඳහා වඩාත් පොදු ලෙස ප්‍රතික්‍රියා කරන ආකාරයක් වනාහි, රූපවාහිනිය නැරඹීම බව එක් අධ්‍යයනයක සොයාගන්නා ලදි. එහෙත් අප තනිකමෙන් සිටින අවස්ථාවලදී දීර්ඝ කාලයකට රූපවාහිනිය නැරඹීම, අපට කළ හැකි දරුණුතම දේවලින් එකක් බව පර්යේෂකයෝ නිගමනය කළහ. එය උදාසීන හා නිරසභාවයටත් එමෙන්ම මනඃකල්පිත දේවලටත් අනුබල දෙන අතර, වෙනත් මනුෂ්‍යයන් සමඟ මුහුණට මුහුණලා කතා කිරීම සම්බන්ධයෙන් දුර්වල විකල්පයක්ද වෙයි.
ඇත්තවශයෙන්ම, තනිව සිටින කාලය අප ගොඩනංවනසුලු ආකාරයකින් භාවිත කළහොත්, හුදෙකලාව සිටීම ඉතා වටිනා දෙයක් වනු ඇත. කියවීමෙන්, ලියුම් ලිවීමෙන්, දේවල් සෑදීමෙන් සහ විවේක ගැනීමෙන් අපට මෙය කළ හැකිය. ගොඩනංවනසුලු හුදෙකලාවට, දෙවියන්වහන්සේට යාච්ඤා කිරීම, බයිබලය අධ්‍යයනය කිරීම සහ ඒ මත මෙනෙහි කිරීම ඇතුළත් වේ. (ගීතාවලිය 63:5) මේවා වනාහි, අපගේ ශ්‍රේෂ්ඨතම මිත්‍රයාණන් වන, යෙහෝවඃ දෙවියන්වහන්සේට සමීපවීමට මාර්ග වේ.
මිත්‍රත්වයන් සම්බන්ධයෙන් බයිබල් ආදර්ශ
බොහෝදෙනෙකු සමඟ මිත්‍ර වී සිටීම යහපත් දෙයක් වුවත්, බයිබලය අපට සිහිගන්වන්නේ, “සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක්” ඇති බවය. (හිතෝපදේශ 18:24) ඇසුර තුළින් ප්‍රීතිය, ශක්තිය සහ සමාදානය ලබා දෙන, එමෙන්ම අප ගැන සැබවින්ම සැලකිල්ල දක්වන සමීප මිත්‍රයන් කිහිපදෙනෙකු අප සියලුදෙනාටම අවශ්‍ය වේ. අදදින එවැනි සැබෑ මිත්‍රත්වයන් පොදුවේ දක්නට නොලැබුණත්, සමහර ඉපැරණි ආදර්ශ විශේෂයෙන්ම බයිබලය තුළ සඳහන් කර තිබේ. නිදසුනක් වශයෙන්, දාවිත් සහ යොනාතාන් අතර විශිෂ්ට මිත්‍රත්වයක් තිබිණ. අපට එයින් කුමක් උගත හැකිද? ඔවුන්ගේ මිත්‍රත්වය කල් පැවතියේ මන්ද?
එක් දෙයක් නම්, දාවිත් සහ යොනාතාන් උනන්දු වූ වැදගත් පොදු කාරණා තිබීමය. ඒ සියල්ලටම ඉහළින්, ඔවුහු දෙදෙනාම යෙහෝවඃ දෙවියන්වහන්සේට ගැඹුරු භක්තියක් දැක්වූහ. දාවිත් දෙවියන්වහන්සේ කෙරෙහි තැබූ ඇදහිල්ල සහ යෙහෝවඃවහන්සේගේ ජනයාව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ ක්‍රියා දැකීමෙන්, “යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැඳී, යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් ඔහුට ආදරේවිය.” (1 සාමුවෙල් 18:1) එසේනම්, දෙවියන්වහන්සේ කෙරෙහි අන්‍යොන්‍ය ප්‍රේමයක් දැක්වීම, මිත්රයන්ව එකිනෙකාට බැඳීමට උපකාර කරයි.
යොනාතාන් සහ දාවිත්, දේව ප්‍රතිපත්ති අනුව ජීවත් වූ ශක්තිමත් පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයෝ වූහ. එබැවින් ඔවුන්ට එකිනෙකාට ගෞරවය කළ හැකි විය. (1 සාමුවෙල් 19:1-7; 20:9-14; 24:6) ශුද්ධ ලියවිලි ප්‍රතිපත්ති මගින් පාලනය කරනු ලබන දේවගුණැති මිත්‍රයන් අපට සිටිනවා නම්, අපි සැබවින්ම ආශීර්වාදලද්දෝ වෙමු!
දාවිත් සහ යොනාතාන්ගේ මිත්‍රත්වයට වෙනත් සාධකද දායක විය. ඔවුන්ගේ සබඳතාව අවංක සහ ඍජු වූ අතර, ඔවුහු එකිනෙකා අතර විශ්වාසයක් ඇති කරගත්හ. යොනාතාන් පක්ෂපාත ලෙස තමාගේ කාරණාවලට වඩා දාවිත්ගේ කාරණා ඉහළින් දැමුවේය. දාවිත්ට රාජ්‍යතන්ත්‍රය පොරොන්දු කර තිබුණු බැවින් ඔහු ඊර්ෂ්‍යා නොවීය; ඒ වෙනුවට යොනාතාන් ඔහුට චිත්තවේගීය ලෙස සහ ආත්මික ලෙස අනුබල දුන්නේය. තවද දාවිත් ඔහුගේ උපකාරය පිළිගත්තේය. (1 සාමුවෙල් 23:16-18) ශුද්ධ ලියවිලිමය ලෙස සුදුසු ආකාරවලින්, දාවිත් සහ යොනාතාන් තමන්ගේ හැඟීම් එකිනෙකාට දැනගැනීමට සැලසූහ. ඔවුන්ගේ දේවගුණැති මිත්‍රත්වය පදනම්ව තිබුණේ, සැබෑ අගය කිරීමක් සහ ස්නේහයක් මතය. (1 සාමුවෙල් 20:41; 2 සාමුවෙල් 1:26) පුරුෂයන් දෙදෙනාම දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටි බැවින්, එම මිත්‍රත්වය බිඳීමට නොහැකි විය. එවැනි ප්‍රතිපත්ති අදාළ කරගැනීම, සැබෑ මිත්‍රත්වයන් ගොඩනඟාගැනීමට සහ ඒවා පවත්වාගැනීමට අපට උපකාරවත් විය හැක.
මිත්‍රත්වයන් ඇති කරගත හැකි අයුරු
ඔබ සැබෑ මිත්‍රයන් සොයමින් සිටින්නෙහිද? ඔබට වැඩි දුර යෑමට අවශ්‍ය නොවනු ඇත. ඔබ සෑම දිනකම වාගේ ආශ්‍රය කරන අය අතරේ සිටින සමහරුන් ඔබගේ මිත්‍රයන් විය හැකි අතර, ඔවුන්ට ඔබගේ මිත්‍රත්වය අවශ්‍ය වෙනවා විය හැකිය. විශේෂයෙන්ම සෙසු ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ගත් කල, “සිතින් විශාල” වන ලෙස පැවසූ ප්‍රේරිත පාවුල්ගේ උපදෙස අදාළ කරගැනීම නැණවත් දෙයකි. (2 කොරින්ති 6:11-13) කෙසේවෙතත්, මිතුරෙකු ඇති කරගැනීමේ සෑම ප්රයත්නයකින්ම ගැඹුරු බැඳීමක් ප්‍රතිඵල නොවන්නේ නම්, කනස්සල්ලට පත් නොවන්න. සාමාන්‍යයෙන්, මිත්‍රත්වයක් ගොඩනැඟීම සඳහා යම් කාලයක් ගත වන අතර, සෑම සබඳතාවක්ම ඒ හා සමානව ගැඹුරුව පවතින්නේද නැත. (දේශනාකාරයා 11:1, 2, 6) ඇත්තවශයෙන්ම, අව්‍යාජ මිත්‍රත්වයන් භුක්තිවිඳීම සඳහා අප පරාර්ථකාමී විය යුතු අතර, යේසුස්වහන්සේගේ මෙම උපදෙස අනුගමනය කළ යුතුය: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා.”—මතෙව් 7:12.
ඔබගේ මිත්‍රත්වය අවශ්‍ය වන්නේ කවරෙකුටද? ඔබගේ සම වයසේ අය හැරෙන්ට, බාල හෝ වැඩිහිටි අය ගැන කුමක් කිව හැකිද? දාවිත් සහ යොනාතාන්ගේ, රූත් හා නායොමිගේ, මෙන්ම පාවුල් සහ තිමෝතිගේ මිත්රත්වයන්හි වයස් පරතරයක් තිබිණ. (රූත්ගේ කථාව 1:16, 17; 1 කොරින්ති 4:17) වැන්දඹුවන් සහ වෙනත් අවිවාහක පුද්ගලයන් සඳහා ඔබගේ මිත්‍රත්වය පුළුල් කිරීමට ඔබට හැකිද? ඔබගේ ප්‍රදේශයට අලුතින් පැමිණි අය සම්බන්ධයෙන්ද කල්පනා කරන්න. ඔවුන් පදිංචි වී සිටි ස්ථානය මාරු කිරීමෙන් හෝ ජීවිත මාර්ගය වෙනස් කිරීමෙන්, ඔවුන් ආශ්‍රය කළ මිත්‍රයන් බොහෝදෙනෙකු හෝ සියල්ලන්ම පාහේ අත්හැරීමට සිදු වූවා විය හැකිය. වෙනත් අය ඔබව සොයා එන තුරු නොසිටින්න. ඔබ ක්රිස්තියානිවරයෙකු නම්, පාවුල්ගේ උපදෙස අදාළ කිරීමෙන් කල්පවතින මිත්‍රත්වයන් ඇති කරගන්න: “සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවෙයල්ලා; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම්කොට සලකාපල්ලා.”—රෝම 12:10.
දීමේ ආකාරයක් වශයෙන් අපට මිත්‍රත්ව සැලකිය හැක. අප දීමට පුරුදු වී සිටියහොත්, මනුෂ්‍යයන් අපට දෙනු ලබන බව යේසුස්වහන්සේ පැවසූසේක. ගැනීමට වඩා දීම ආශීර්වාදයක් කියාද උන්වහන්සේ ගෙනහැර දැක්වූසේක. (ලූක් 6:38; ක්‍රියා 20:35) විවිධාකාර පසුබිම්වල සිටින මනුෂ්‍යයන්ව ඔබට මුණගැසී තිබේද? දෙවියන්වහන්සේට නමස්කාර කිරීම ඔවුන් අතර පොදු දෙයක්ව පවතින විට, විවිධ සංස්කෘතීන්ගෙන් යුත් මනුෂ්‍යයන් අතර අවංක, කල්පවතින මිත්‍රත්වයන් ගොඩනඟා ගත හැකි බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළු ඔප්පු කර තිබේ.
මිත්‍රත්වයන් පලුදු නොවී පවත්වාගැනීම
ඇතැම් අවස්ථාවලදී, මිත්රයන්යයි පෙනෙන අය එකිනෙකාට වේදනාව ඇති කිරීම කනගාටුවට කරුණකි. හානිකර ඕපාදූප, විශ්වාසය කඩ කිරීම සහ අගය කිරීමේ ඌනතාව—මේවා, ඔබ සැබෑ මිතුරෙකු ලෙස සැලකූ කෙනෙකුගෙන් ඇති වූ විට, ඉතා වේදනාකාරි වේ. එවැනි අවස්ථාවලදී කුමක් කළ හැකිද?
හොඳ ආදර්ශයක් තබන්න. අනවශ්‍ය වේදනාව ඇති කිරීම වැළැක්වීම සඳහා ඔබට හැකි සෑම දෙයක්ම කරන්න. ඇතැම් ස්ථානවල, එකිනෙකාගේ දෝෂ සම්බන්ධයෙන් විහිළු කිරීම මිත්‍රයන් අතර ජනප්‍රිය දෙයකි. එහෙත් ඔවුන් “සෙල්ලමට” එසේ කරනවා කියා පැවසුවත්, කර්කශ ලෙස සැලකීම හෝ රැවටීම මිත්රයන්ව සමීප කරවන්නේ නැත.—හිතෝපදේශ 26:18, 19.
මිත්‍රත්වයන් පවත්වාගැනීම සඳහා වීර්යය කරන්න. මිත්‍රයන් එකිනෙකාගෙන් පමණට වඩා දේවල් බලාපොරොත්තු වූ විට, සමහරවිට වරදවා වටහාගැනීම් ඇති විය හැක. අසනීප වී සිටින නිසා හෝ බැරෑරුම් ගැටලුවකට හිත යොමුව තිබෙන නිසා, වෙනදා මෙන් උණුසුම් හැඟීමක් පෙන්වීමට මිත්රයෙකුට නොහැකි විය හැක. එවැනි අවස්ථාවලදී, තේරුම්ගන්නාසුලු වීමට සහ සහයෝගිතාව දැක්වීමට උත්සාහ කරන්න.
ගැටලු ඉක්මනින් සහ කරුණාවෙන් නිරාකරණය කරගන්න. හැකි නම් එය පෞද්ගලිකව කරන්න. (මතෙව් 5:23, 24; 18:15) ඔබට හොඳ සබඳතාවක් පවත්වාගැනීමට අවශ්‍ය බව ඔබගේ මිත්‍රයා දන්නා බවට සහතික වන්න. අවංක මිත්‍රයෝ එකිනෙකාට සමාව දෙති. (කොලොස්සි 3:13) ඔබ සහෝදරයෙකුට වඩා ඇලුම් වෙන එයාකාර මිත්‍රයෙක් වනු ඇද්ද?
මිත්‍රත්වයන් ගැන කියවීම සහ කල්පනා කිරීම ආරම්භයක් පමණි. අපි තනිකම අද්දකිමින් සිටිනවා නම්, එයට සුදුසු ක්‍රියාමාර්ගය ගනිමු, එවිට අප වැඩි කල් තනිකමෙන් නොසිටිනු ඇත. වෑයමක් දැරුවොත්, අපට සැබෑ මිත්‍රයන් ඇති කරගත හැක. ඔවුන්ගෙන් සමහරෙකු සමඟ අපි විශේෂ බැඳීමක් ඇති කරගන්නෙමු. එහෙත් ශ්‍රේෂ්ඨතම මිත්‍රයාණන් වන දෙවියන්වහන්සේගේ ස්ථානය ගැනීමට කිසිවෙකුට නොහැක. අපව සම්පූර්ණයෙන්ම හඳුනාගැනීමට හා තේරුම්ගැනීමටත් අවශ්‍ය අනුබලය දීමට හැක්කේ යෙහෝවඃවහන්සේට පමණි. (ගීතාවලිය 139:1-4, 23, 24) එපමණක්ද නොව, උන්වහන්සේගේ වචනය අනාගතයට පුදුමාකාර බලාපොරොත්තුවක් ඉදිරිපත් කරයි—එනම් සදාකාලයටම සැබෑ මිත්‍රයන් තබාගත හැකි නව ලොවකි.—2 පේතෘස් 3:13.
[5වන පිටුවේ පින්තූර]
දාවිත් සහ යොනාතාන් සැබෑ මිත්‍රත්වයක් භුක්ති වින්දෝය, එබැවින් අපටත් එසේ කළ හැක.