ඔබ කවදා හෝ කොළ ක්ෂණිකාලෝකයක් දැක තිබෙනවාද?
ආකර්ෂණීය හිරු බැසයෑමක් දෙස ආශාවෙන් බලා සිටීමෙන් පසුව තවත් දිනකින් සමුගැනීම මොනතරම් සතුටුදායක අද්දැකීමක්ද! පෘථිවි වායුගෝලය හරහා ආලෝකය ගමන් කරත්ම, හිරුගේ උණුසුම් දීප්තියෙන් චමත්කාරජනක වර්ණ රැසක් නිකුත් වේ. මෙම ආකර්ෂණීය දර්ශනයට අමතර රසයක් ගෙන එමින් කොළ ක්ෂණිකාලෝකයක් යනුවෙන් හඳුන්වනු ලබන අසාමාන්‍ය දෙයක් සිදු වේ. නිසි තත්වයන් යටතේ, මෙම හරිතවර්ණ ආලෝකය විහිදුවනු ලබන්නේ හිරු බැසයෑමක අවසාන මොහොතේදීය. නිල් ක්ෂණිකාලෝකයක් යනුවෙන් හඳුන්වනු ලබන වඩාත් විරල දර්ශනයක් ඊටත් වඩා අලංකාරයයි කියනු ලැබේ.
මෙම වර්ණවත් ක්ෂණිකාලෝක ඇතිවීමට හේතුව කුමක්ද? ඒවා මොහොතකට පමණක් පවතින්නේ මන්ද? ඇරත් ඒවා කලාතුරකින් පමණක් සිදු වන්නේ මන්ද? මෙම පැනවලට පිළිතුරු සෙවීමට කලින්, හිරු එළිය හා පෘථිවි වායුගෝලය අතර අන්තර්ක්‍රියාව පිළිබඳව අපට මූලික අවබෝධයක් තිබිය යුතුය.
පොළොව වෙත ගලා එන හිරු එළියේ, දේදුන්නක වර්ණ සියල්ලම අඩංගු වේ. මෙම ආලෝකය පෘථිවි වායුගෝලය මත පතිත වූ විට, වායුගෝලය බොහෝදුරට යෝධ ප්‍රිස්මයක් මෙන් ක්‍රියා කරමින් එම ආලෝකය විසුරුවා හරියි. කෙසේවෙතත්, ආලෝක තරංගයක් විසුරුවා හරිනු ලබන ප්‍රමාණය රඳාපවතින්නේ එහි තරංග ආයාමය මතයි.
නිල් ආලෝක තරංගවලට කෙටි තරංග ආයාමයක් තිබෙන අතර, ඒවා වායුගෝලය පුරා පුළුල්ව විසුරුවා හරිනු ලැබේ. පැහැදිලි දවසක ඉර ක්ෂිතිජයෙන් සෑහෙන දුරක් ඉහළ නැඟ යෑමෙන් පසුව අහස නිල් පාටට දිස්වන්නේ එනිසයි. එහෙත් ඉර බසින වෙලාවකදී මෙන්, ඉර ක්ෂිතිජයට ළං වූ විට, අපගේ දෙනෙත් ගැටීමට ප්‍රථමයෙන් හිරු එළියට වායුගෝලය හරහා සෑහෙන දුරක් ගමන් කිරීමට සිදු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ සේ විසිරී තිබෙන නිල් ආලෝකය අප වෙතට ළං වන්නේ නැත. අනික් අතට, රතු වැනි, වඩාත් දීර්ඝ තරංගවලට ඉතා පහසුවෙන් ඝනත්වයකින් යුත් වායුගෝලය හරහා ගමන් කළ හැකිය. හිරු බැසයෑමකට ආවේනික වූ රතු සහ තැඹිලි වර්ණ ලැබෙන්නේ ඒ නිසයි.a
කෙසේවෙතත්, ඇතැම් තත්වයන්හිදී, හිරු බැසයන විට කොළ ක්ෂණිකාලෝකයක් හෝ නිල් ක්ෂණිකාලෝකයක් දැකගත හැක. මේවා ඇති වන්නේ කෙසේද? හිරු බැසයන විට, එහි අවසාන කොටස ක්ෂිතිජයෙන් පහළට යත්ම, හිරුගේ ආලෝකය දේදුන්නක් බඳු වර්ණාවලියක් ලෙස සකස් වේ. වර්ණාවලියේ පහළ කොටසේ රතු ආලෝකයද, ඉහළ කොටසේ නිල් ආලෝකයද මතු වේ. ඉර තව තවත් බසිනවාත් සමඟම, වර්ණාවලියේ රතු පැහැති කොටස ක්ෂිතිජයෙන් පහළට යන අතර, සාමාන්‍යයෙන් නිල් කොටස වායුගෝලය මගින් විසුරුවා හරිනු ලැබේ. දෘශ්‍යමාන ආලෝකයේ අන්තිම අල්පයට කොළ පැහැයෙන් දිස්විය හැකි වන්නේ මෙම මොහොතේදීය. එහෙත් කොළ පැහැයෙන් දිස්වන්නේ මන්ද? මන්දයත් ආලෝකයේ ඊළඟ මූලික වර්ණය කොළ බැවිනි.
අහස අතිශයින් දූෂ්‍ය වී තිබෙන විට, කොළ ක්ෂණිකාලෝකය දැකගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි, එමෙන්ම නිල් ක්ෂණිකාලෝකයක් ඇති වන්නේ වායුගෝලය ඉතා පැහැදිලිව තිබෙන විට හා කාන්තිමත් ක්ෂණිකාලෝකයක් ඇති කිරීමට ප්‍රමාණවත් නිල් ආලෝකය අහස පුරා පැතිර තිබෙන විට පමණි.
[පාදසටහන]
a හිරු බැසයෑම් පිළිබඳ අමතර තොරතුරු සඳහා 1987 දෙසැම්බර් 8 එවේක්!හි 16වන පිටුව බලන්න.
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
හිරු බැසයෑම: ©Pekka Parviainen/SPL/Photo Researchers