ජනයාට සාමයෙන් එකට ජීවත් විය හැකි අයුරු
එය 1944 සැප්තැම්බර් මාසයයි, ලෝකය වෛරයෙන් පිරී තිබුණා. දෙවන ලෝක යුද්ධය ඇවිළෙමින් තිබුණා, මිලියන සංඛ්‍යාතයක් දරුණු ලෙස වේදනා විඳිමින් සිටියා. මා ප්‍රංශයේ ජර්මන් සිරකරුවෙකුව සිටියා.
වරක් මාව වෙඩි තැබීමේ පිරිසක් ඉදිරියේ සිටෙවුවා. එහෙත් ටිකකට පසු වධකයන් වන්ට සිටි අයවලුන් ඉවත්ව යන්නට පටන් ගත්තා. ඔවුන් දක්වමින් සිටියේ බොරු තර්ජනයක් පමණයි. මා තැතිගත් තත්ත්වයක සිටියත්, ජීවත්වීමට ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. සති කීපයකට පසු, එම වැඩ පිළිවෙළම අද්දැකීමට මට සැලසුවා. මා බේරුණත්, සෙසු සිරකරුවන් ගණනාවක් මරණයට පත් කළ අතර රෝගවලින් හා සාගින්නෙන් මියගියා. මේ තත්ත්වයන් යටතට මා පත්වුණේ කොහොමද?
අල්ලාගැනීම
මාස කීපයකට කලින්, එනම් 1944 ජූනි මාසයේදී, මිත්‍ර භට පිරිස් ඉංග්‍රීසි ඕඩය හරහා පැමිණ, ප්‍රංශ වෙරළ තීරයේ කඳවුරක් සාර්ථකව පිහිටෙව්වා. ඉන්පසු ඔවුන්ගේ කඩාවැදීම හා උතුරු ප්‍රංශය ආක්‍රමණය කිරීම, ජර්මන් හමුදාවට පසුබැසීමට බල කරනු ලැබුවා. මා ජර්මන් ගුවන් හමුදාවේ සාර්ජන්ට් මේජර්වරයෙකුව සිටියා. අගෝස්තුවේදී අපේ කණ්ඩායමෙන් කොටසක් වූ මා සහ වෙනත් 16දෙනෙකු ඇතුළු කාණ්ඩයක්, මාකි ලෙස ප්‍රසිද්ධ රහස් ප්‍රංශ කණ්ඩායමක් විසින් අල්ලාගනු ලැබුවා. ඉන්පසු එක් යුද-සිර-කඳවුරක මාස කීපයක් සිටි පසු, දකුණු ප්‍රංශයේ මොන්ලූසොන් අසල පිහිටි වෙනත් එකකට අපව මාරු කළා.
සිරකරුවන්ට බර වැඩ කිරීමට බල කරනු ලැබූ නමුත්, නිලධාරියෙකු වශයෙන් මට ඉන් නිදහසක් ලැබුණා. කෙසේවුවත්, මා වැඩ කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර මුළුතැන්ගෙය භාරව කටයුතු කිරීමට දමනු ලැබුවා. දිනක් අලුත් සිරකරු කණ්ඩායමක් පැමිණි අතර, ඔවුන් අතරේ මගේ ගමේ යෞවනයෙකු වූ විලි හුපෙර්ට්ස් සිටියා. මුළුතැන්ගෙයෙහි මට උපකාර කිරීමට විලිට හැකිදැයි භාරකාර නිලධාරියාගෙන් මා විමසූ අතර, එම සැලැසුම ක්‍රියාවට යොදවනු ලැබුවා.
පසුව, විලි සහ මා සියලු මිනිසුන්ව සාමයෙන් එකට බැඳිය හැකි මිත්‍රත්වයක් භුක්ති විඳින්නට වුණා. සාමය කරා මෙම මාර්ගය ගැන ඉගෙනීමට මා පටන් ගත් ආකාරය පැහැදිලි කිරීමට පෙර, මට වද දුන් ජීවිතයේ අසාධාරණකම් ගැන පැවසීමට මට ඉඩහරින්න.
මෙතරම් භේද හා වෛර මන්ද?
ආගමික භේදවලින්, එනම් මගේම නිවසේ පවා තිබූ ආගමික භේදවලින්, ජර්මනියේ ආකන්හි වැඩෙන ළමයෙකු වශයෙන් මා අධෛර්යයට පත්ව සිටියා. පියා ලුතරන් භක්තිකයෙකු වූ නමුත් මව රෝමානු කතෝලික භක්තිවන්තියකව සිටියා. එබැවින් මගේ සහෝදරියට හා මට කතෝලික ඇදහිලි ක්‍රමය ඉගැන්වීමට මව වගබලා ගත්තා. මගේ බාල කාලයේ පටන්, මා නිතිපතා කතෝලික පල්ලියට ගිය නමුත් පියා වෙනම ඇදහිලි ක්‍රමයක් අනුගමනය කරමින් සිටියේ මන්දැයි මට කිසිවිටෙකත් තේරුම් ගන්න බැරි වුණා. කල් ගත වෙද්දී, මා බොහෝ වේලාවට ‘එක දෙවි කෙනෙකු පමණක් සිටිනවා නම් මෙතරම් බොහෝ ආගම් තිබෙන්නේ මන්ද’ කියා සිතන්නට යෙදුණා.
වර්ෂ 1939දී IIවන ලෝක යුද්ධය පටන්ගත් විට, මාව ජර්මානු ගුවන් හමුදාවට තෝරාගත්තා. ජර්මනියේ මූලික පුහුණුවට පසුව, මාව ඕස්ට්‍රියාවේ වියානා වෙත යැවූ අතර එහිදී මා අලුත් ගුවන් හමුදා භටයන් සඳහා පුහුණුවීමේ සේනාංකයකට බැඳුණා. ඉන්පසු, 1941 දෙසැම්බර් මාසයේදී, මාව උතුරු ඕලන්දයට (දැන් නෙදර්ලන්තයට) යැවුවා. එහිදී මට ඩෙන් හෙල්ඩර්වල යෞවන ස්ත්‍රියක වූ යාන්ටිනා මුණ ගැසුණා. අපගේ රටවල් යුද්ධ කරමින් සතුරන්ව සිටිනවා යන සැබෑව තිබියදීත්, අප ප්‍රේමයෙන් බැඳුණා.
ටික කලකට පසු, 1942 අප්‍රියෙල් මාසයේදී, මාව දකුණු ප්‍රංශයේ ලරොෂෙල්වලට හදිසියේම මාරුකර හැරියා. ඒවන විට මා සාජන්ට් මේජර්වර ධුරය දරමින් සිටි අතර, අලුත් යුද භටයන් පුහුණු කිරීම හා ප්‍රාදේශීය ගුවන්යානා ධාවන පථය ආරක්ෂා කිරීම සඳහා අපගේ කණ්ඩායම වගකිව යුතුව සිටියා. ප්‍රතිඵලයක් වශයෙන්, යුද්ධය අතරතුරේදී මා කිසිදාක සටන් කළේ නෑ. මට කිසි කෙනෙකුව මරන්නට කිසිදා වුවමනා නොවූ නිසා මා මෙයට ස්තුතිවන්ත වෙනවා.
එහෙත්, එම යුද වර්ෂවලදී මට වද දුන් දෙයක් වුණේ, කතෝලික, ලුතරන්, එපිස්කොපල් යනාදි සියලුම නිකායන්හි පූජකයන්—සිය ගුවන් හමුදා, මාරාන්තික බෝම්බ හෙළීමේ දූත මෙහෙයන්වලට ගුවනින් යෑමට පෙර ඔවුන්ට ආශීර්වාද කරනවා දැකීමයි. මා බොහෝ විට සිතුවේ, ‘දෙවියන්වහන්සේ සිටින්නේ කාගේ පැත්තේද?’ කියලයි. නමුත්, දේවගැතියන් කෙසේවත් දන්නේ නැතැයි මට ස්ථිරයෙන්ම හැඟුණු බැවින්, ඇත්තෙන්ම මා කිසිවිටකත් ඔවුන්ගෙන් ඇසුවේ නෑ.
ජර්මන් සොල්දාදුවන් ඇඳ සිටි බඳ පටියේ ගාන්චුවෙහි (12වන පිටුවේ වමේ ඉහළ බලන්න) ගොට් මිට් උන්ස් (දෙවියන්වහන්සේ අප සමඟය) යනුවෙන් අකුරු කොටා තිබූ නමුත්, මා මෙසේ සිතන්නට වුණා, ‘අනෙක් පැත්තේ සිටින එම ආගමේම අය හා එම දෙවියන්වහන්සේටම යාච්ඤා කරන සොල්දාදුවන් සමඟ දෙවියන්වහන්සේ නොසිටින්නට යන්නේ මන්ද?’
වර්ෂ ගණන් ගතවී ගිය අතර, යුද්ධය බොහෝ කලක් පැවතුණා. ඇතැම්විට ඕලන්දයට ගොස් යාන්ටිනාව බලන්න මට අවස්ථාව ලැබුණා, මා අන්තිම වතාවට එහි ගියේ 1943 දෙසැම්බර් මාසයෙයි, එවිට අපි විවාහ ගිවිස ගත්තා. වර්ෂ 1944දී ප්‍රංශයේ මිත්‍ර යුද පිරිස පැමිණීමත් සමඟම යුද්ධයේ ස්වභාවය වෙනස් වන්නට පටන් ගත්තා, තවද පළමු වතාවට ජර්මනිය යුද්ධයෙන් පරාජය වීමට ඉඩ තිබූ බව අපට තේරුම් ගියා. සිතුවිල්ල මුළුමනින්ම කම්පිත කරවන්නක් වුණා! ඉන්පසු අගෝස්තුව පැමිණි විට අප 17දෙනෙකුව අල්ලා ගනු ලැබුවා.
සිර ජීවිතය
අවසානයේදී මොන්ලූසොන් අසල කඳවුරේ සිරකරුවන් වූ අපට ප්‍රේමනීයයන් සමඟ ලිපි හුවමාරු කරගැනීමට අවසර දුන්නා. මෙබැවින් යාන්ටිනා සහ මට නැවත ලිපි මගින් මුණ ගැසීමට හැකි වුණා. කල් යත්ම, වෙනත් සිරකරුවන් කිහිප දෙනෙකුත් සමඟ මා, සාමුහික ගොවිපොළක වැඩකිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා, එහිදී ඒ වන විටත් අපව සැලකුවේ යුද්ධයේ සිරකරුවන් වශයෙනුයි. ගොවි පොළේ ජීවිතයට මගේ සිත ඇදී යෑමට පටන්ගත් බවක් පවා මට දැනුණා. නගරබද පිරිමි ළමයෙකුට එය සම්පූර්ණයෙන්ම වෙනස් ජීවන-රටාවක් වුණා.
වර්ෂ 1945දී යුරෝපයේ යුද්ධය අවසානයකට පත්වූ නමුත්, ප්‍රංශ රජය අපව 1947 දෙසැම්බර් වන තුරු සිරකරුවන් වශයෙන් තබාගත්තා. ප්‍රංශ විදේශීය මහා හමුදාවට බැඳෙනවාද නැතහොත් 1948 අවසානය දක්වා ස්වේච්ඡා සේවකයන් වශයෙන් ප්‍රංශයේ සිටිනවාද කියා තෝරාගන්නට අපට දී තිබුණා. මා දෙවනුව සඳහන් කළ දෙය තෝරාගත්තා, වෙනත් සිරකරුවන් කිහිප දෙනෙකුත් සමඟ සාමුහික ගොවි පොළක කුලීකරුවෙකු බවට පත්වුණා. මෙම විධිවිධානය යටතේදී, යුද්ධයේ සිරකරුවෙකු වශයෙන් ගොවිපොළේ වැඩ කරනවාට වඩා අප වැඩි නිදහසක් භුක්තිවින්දා. කෙසේවුවත්, අපව තවදුරටත් තබා තිබුණේ සිරකර, සීමා තහංචි යටතෙයි. එබැවින් අපගේ උතුම්ම ප්‍රීතිය වුණේ ප්රේමනීයයන්ගෙන් ලිපි ලැබීමයි.
යාන්ටිනා සමඟ යළි එක්වීම
දිනක්, 1947දී, මට යාන්ටිනාගෙන් ලිපියක් ලැබුණු අතර කුඩාවට නිවාස අංක කීපයක් සඳහන් තුණ්ඩුවක් හා පොත් හා සඟරාවල වාර්තාවක්, ඇය නොදැනුවත්වම එහි දමා තිබුණා. ‘මම ඇත්තෙන්ම හිතුවේ යාන්ටිනා පොත් විකුණලා යම් මුදලක් සොයනවා කියලයි.’ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ඇයව හමුවී තිබෙන බවත්, ඇය ගෙයින් ගෙට දේශනා කරමින් හා ‘පොත් විකුණමින්’ නොව, බයිබල් පොත්පත් බෙදාහරිමින් සිටින බවත් මා දැන සිටියේ නෑ.
ඉන් ටික කලකට පසු, 1947දී, සිරකරුවන් වූ අප පුදුම වුවද අපට සතුට දනවන ආරංචියක්—එනම් අනුකම්පාව දක්වා අපගේ නිවෙස් කරා යෑමට සති හතරක නිවාඩුවක් දෙනු ලැබුවා. සැබවින්ම, මෙසේ දෙනු ලැබුවේ අපගේ වැඩය ඉටු කිරීමට අප යළිත් ප්‍රංශයට පැමිණෙන කොන්දේසිය මතයි. මගේ දෙමව්පියන් හා මා සමඟ එම සති ගත කිරීමට යාන්ටිනා ඕලන්දයේ සිට ජර්මනියට ගමන් කළා. වර්ෂ හතරකට වඩා වෙන්වී සිටි පසු, මෙය අපට බෙහෙවින් හැඟීම්බර යළි එකතුවීමක් වුණා. ඇගේ ලිපියේ මට සම්බවූ මුද්‍රිත තුණ්ඩුවේ අදහස මා ඉගෙන ගත්තේ එවිටයි. තමා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක්වූ බව යාන්ටිනා මට පැවසූ අතර, ඇය ඉගෙනගෙන තිබූ පුදුමාකාර දේවල් මට පැහැදිලි කිරීමට ඇය ඉතා ආශාවෙන් සිටියා.
ඇය පවසමින් සිටි දෙය සැබෑ විය හැකි යයි මට තේරුම් ගන්න පුළුවන් වුණත්, මා කතෝලිකයෙකු ලෙසම සිටීමට කැමතියි කියා මා ඇයට පැවසුවා. වසර ගණනාවක් පුරා ආගම ඉගෙනගෙන තිබූ පූජකයන්ට වඩා ඇය දැන සිටිය හැක්කේ කෙසේදැයි මා තේරුම්ගත්තේ නෑ. තවද දේවල් වඩා අසීරු කරවමින්, මගේ පවුලේ අය යාන්ටිනාගේ අලුත් විශ්වාස වෙත කරුණාවක් දැක්වූයේ නෑ. ඇත්තෙන්ම කියනවා නම්, ඔවුන් තදින් විරුද්ධ වූ නිසා, ඔවුන්ගේ අගතිසහගත බව මට බලපෑවා.
මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්
මගේ සති හතරේ නිවාඩුව අවසන් වූ විට, මා යළිත් ප්‍රංශයට පැමුණුණා. මා, මගේ ඇඳුම් අස් කරන විට, ඒවා අතර ඩිලිවරන්ස් ලෙසින් හැඳින්වූ පොතක් මට සම්බ වුණා. යාන්ටිනා මගේ ඇඳුම් මල්ල ඇසුරූ විට එය එහි දමා තිබුණා. ඇයව සතුටු කිරීමට මා එම රාත්රියේදී ඉඳගෙන එය කියවන්නට පටන්ගත්තා. මාව පුදුමයට පත්කරමින්, වැඩි කල් යෑමට පෙර, මා සිරගත වී සිටියදී සිතමින් සිටි ප්‍රශ්න බොහොමයකට පිළිතුරු ලැබුණා. මුළු පොතම කියවීමට මා ඉතා ආශාවෙන් සිටියා.
යාන්ටිනා මට ලියා එවූ ශුද්ධලියවිලි පදයක් මගේ මනසට නැඟුණා: “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේ[ය].” (යොහන් 8:32) ඇත්තෙන්ම, බොහෝ දේවල් ගැන සැබෑව දැනගැනීමට මා පටන්ගෙන ඇති බවක් මට දැනුණා. ජාතිය කුමක් වුවත්, සියලුම මිනිසුන් එක පවුලක්. (ක්‍රියා 17:26-28) සැබෑ ක්‍රිස්තියානීන් එකිනෙකාට ප්‍රේම කරනවා, ක්‍රිස්තියානීන් යයි කියා සිටින බොහෝ දෙනෙක් කරනවා මා දුටුවාක් මෙන් ඔවුන් සටන් කරන්නේවත් අන්‍යයන්ව මරන්නේවත් නැහැ. (යොහන් 13:34, 35; 1 යොහන් 3:10-12) එසේ නම්, ජාතිවාදය වනාහි ජනයාව භේද කරවන හා සැබෑ සහෝදරත්වය වළක්වන සාතන්ගේ උපකරණයක් බව පැහැදිලියි.
සැබෑ සාමය පැමිණෙනු ඇත්තේ සියලු මිනිසුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අදාළ කරගන්නා විට පමණක් බව තේරුම් ගැනීමට මා පටන් ගත්තා. ජාතීන් කිසිදාක මෙය නොකරන බැවින්, සාමය සඳහා එකම බලාපොරොත්තුව යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට යාච්ඤා කරන්නට ඉගැන්වූ ආණ්ඩුව එනම් දෙවියන්වහන්සේගේ ආණ්ඩුව මගින්ය. (මතෙව් 6:9, 10) එවැනි දේවල් ඉගෙන ගැනීමෙන් සැබෑ නිදහසේ හා සෑහීමේ හැඟීමක් අද්දැකීමට මා මේවන විට පටන් ගත්තා. මගේ ඇඳුම් මල්ලේ පොත දැමීම වෙනුවෙන් මගේ දයාබර යාන්ටිනාට මා කෙතරම් ස්තූතිපූර්වක වුණාද! එහෙත් මා මෙවිට කරන්නට යන්නේ කුමක්ද?
ආත්මිකව ප්‍රගතිය ලැබීම
ඇත්තෙන්ම, මට කනස්සලු වීමට අවශ්‍යතාවක් තිබුණේ නෑ. දවස් කිහිපයකට පසු, මා වැඩ කරමින් සිටි ගොවි පොළට ලූස්යන් නමැති මිනිසෙක් පැමිණ, ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේව සේවකයෙකු කියා තමාවම හඳුන්වා දුන්නා. මගේ පෙම්වතියගේ ඉල්ලීම පරිදි, මාව මුණගැසීම සඳහා පැරිසියේ ශාඛා කාර්යාලයේ සාක්ෂිකරුවන් විසින් ඔහුව එවූ බව ඔහු පැහැදිලි කළා. කරුණාවන්ත, අව්‍යාජ මිනිසෙකුවූ ලූස්යන් සමඟ මට එකෙණෙහිම පහසුබවක් දැනුණා. භාග්‍යයකට, මේවන විට මා ප්‍රංශ භාෂාවෙන් චතුර ලෙස කථා කරමින් සිටි අතර, මෙය දේවල් වඩා පහසු කළා.
ඔහු සමඟ බයිබල් පාඩමක් කිරීමට මා එකඟ වුණා, එබැවින් සෑම ඉරිදාවකම ලූස්යන් හා ඔහුගේ බිරිඳ වන සිමෝන් මාව ගොවිපොළෙන් රියට නංවාගෙන පාඩම සඳහා ඔවුන්ගේ නිවසට මාව ගෙන යන්නට වුණා. ඉන්පසු අප ඇවිදින්නට වූ අතර මේ අතරතුරේදී යෙහෝවඃවහන්සේගේ පුදුමාකාර මැවිල්ල ගැන අප කථා කරන්නට වුණා. ඔවුන් දෙදෙනාම හොඳ ගුරුවරුන්ව සිටි අතර මට දිගු කලකින් ලැබී නොතිබුණු යමක්—එනම් සැබෑ මිත්‍රත්වයද ඔවුන් මට දුන්නා. තවද මෙය සැපයුවේ ප්‍රංශ යුවළක් විසිනුයි—එනම් මා විසින් බෝම්බ දමා, මැරීමට මිනිසුන්ව පුහුණු කර තිබු ජනතාවකි!
මගේ පාඩම්වල මා හොඳ ප්‍රගතියක් ලබාගත් අතර 1948 මාර්තු 25දා ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමේ වාර්ෂික උත්සවයට පැමිණෙන ලෙස ලූස්යන් මට ආරාධනා කළා. මෙම සරල, එහෙත් ගම්භීර රැස්වීමෙන් මගේ සිතේ කෙතරම් පෙලඹීමක් ඇති වුණාද කියනවා නම් එදා පටන් මා එකම සිහිකිරීමේ උත්සවයක්වත් අතපසු කර නෑ.
යාන්ටිනා මගේ ආත්මික ප්රගතියෙන් මහත් සතුටක් ලැබුවා, එබැවින් ඈ ප්‍රංශයේදී මා හා එක්වුණා. එහිදී අප 1948 නොවැම්බර් මාසයේදී විවාහ වුණා. ලූස්යන් සහ සිමෝන් අපට මනහර විවාහ මංගල්‍ය කෑමක් සැපයූ අතර, පුරෝගාමින් (යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේව සේවකයන්) දෙදෙනෙක් මෙම සන්තෝෂවත් අවස්ථාව අප සමඟ හවුලේ බෙදාගත්තා. යේසුස්වහන්සේගේ සැබෑ ගෝලයන් හඳුනාගනු ඇතැයි උන්වහන්සේ පැවසූ ආකාරයේ ප්‍රේමය, සැබවින්ම සාක්ෂිකරුවන් පෙන්නුම් කරන බවට වූ මගේ නිගමනයට එම අමතක නොවන සැබෑව තවත් බලය සැපයුවා.—යොහන් 13:35.
ජර්මනියට, ඉන්පසු අලුත් රටකට
වර්ෂ 1948 දෙසැම්බර් මාසයේදී, අප ජර්මනියට යළි ගිය අතර ක්‍රිස්තියානි දේව සේවය අපේ ජීවන මඟ බවට පත්වුණා. මගේ පවුලේ අය අපගේ ක්‍රියාකාරකමට දිගටම විරුද්ධ වුණත්, අපව නැවැත්වීමට අප එයට ඉඩහැරියේ නෑ. මිනිස්වර්ගයාට සැබෑ සාමය හා සුරක්ෂිතභාවය භුක්තිවිඳිය හැකි එකම මඟ ඉගෙන ගැනීමට මෘදු, යටහත් පහත් අයට අප දිගටම උපකාර කරමින් සිටියා.
වර්ෂ 1955දී, යාන්ටිනා හා මා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. අප මුලින්ම අලංකාර දූපතක්වූ තස්මේනියා ප්‍රාන්තයේ පදිංචි වුණා, එය පිහිටා තිබෙන්නේ විශාල ප්‍රධාන භූමි ප්‍රදේශයේ දකුණු තුඩෙන් බාස් සමුද්‍ර සන්ධිය හරහා ගියවිටයි. එහි අපගේ ආත්මික සහෝදර, සහෝදරියන්ගේ ප්‍රේමනීය සහාය හා ඉවසීම ලැබීමත් සමඟ, අවසානයේදී අප දැන සිටි භාෂාවලට ඉංග්‍රීසි භාෂාවත් එකතු කිරීමට අපට හැකි වුණා.
තස්මේනියාවේ වර්ෂ 13ක් ගත කිරීමෙන් පසු, 1969දී, අප උතුරුකරයේ ක්වීන්ලන්තය නම් ප්‍රාන්තය වෙත පදිංචිය සඳහා ගොස්, එවක් පටන් එහි ජීවත් වුණා. මා දැනට එම ප්‍රදේශයේ සභාවෙහි ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු වශයෙන් සේවය කරන අතර, අප එක්ව යෙහෝවඃවහන්සේට සේවය කරන විට යාන්ටිනාගේ සමාගම බොහෝ සෙයින් අගය කරනවා. නිවාඩුවට අප ජර්මනියට යළි පැමිණි ඕනෑම අවස්ථාවක, අප විලි හුපෙර්ට්ස්ව බැහැදැකීමට ගොස්, ඔහු සමඟ බයිබලය පාඩම් කරනවා. අවසානයේදී ඔහුත් සිය ජීවිතය යෙහෝවඃවහන්සේට සේවය කිරීමට කැප කළ අතර, සියලු මිනිසුන්ව සාමයෙන් එකට බැඳිය හැකි මිත්‍රත්වයක් භුක්තිවිඳීමට අපට හැකි වී තිබෙනවා.
ප්‍රංශයේ යුද සිරකරුවෙකු වශයෙන් ගත කළ මගේ ජීවිතයේ එම වර්ෂ දෙස මා යළි හැරී බලන විට, අපගේ ප්‍රේමනීය මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේව දැනගැනීමට මට හැකිවීම ගැන මා ඇත්තෙන්ම කෘතඥ පූර්වක වෙනවා. මගේ ඇඳුම් මල්ලේ ඩිලිවරන්ස් පොත දැමීමට යාන්ටිනා මුලපිරීමත්, මාව මුණගැසෙන්න කියා ප්‍රංශයේ සාක්ෂිකරුවන්ට ඇය ලිවීම ගැනත් මා දැන් කෙතරම් සන්තෝෂ වෙනවාද! ප්‍රතිඵලයක් වශයෙන්, මගේ ජීවිතය පෞද්ගලික වශයෙන් මෙන්ම සැමියෙකු හා බිරිඳක වශයෙන් එකට ගත කළ අපගේ ජීවිතය බොහෝ මාර්ගවලින් සමෘද්ධිමත්ව, ඵල දරා තිබෙනවා.—හාන්ස් ලාන් පැවසූ පරිදි. g94 4/22
[15 පිටුවෙහි ඇති පින්තූරය]
යාන්ටිනා සමඟ අදදින