යෙහෝවා කෙරෙහි රඳා ඉන්න මම ඉගෙනගත්තා
යාන් කොර්පා-ඕන්ඩෝ පැවසූ පරිදි
වර්ෂ 1942දී රුසියාවේ කුර්ස්ක් අසලදී හංගේරියානු සොල්දාදුවන් මාව මුර කරමින් සිටියා. දෙවන ලෝක යුද්ධය සමයේදී රුසියාවට එරෙහිව සටන් කරමින් සිටි ජර්මානු, ඉතාලි හා ජපන් මිත්රසන්ධානය යටතේ අපි සිරකරුවන්ව සිටියා. මගේ මිනීවළ කපා තිබූ අතර, මම තවදුරටත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු නොවන බවට පවසා ඇති ලියවිල්ලකට අත්සන් තබනවාද නැද්ද කියා තීරණය කිරීමට මට විනාඩි දහයක් දුන්නා. ඊළඟට සිද්ධ වුණ දේ විස්තර කරන්න ඉස්සෙල්ලා, මම එතැනට ගියේ කොහොමද කියලා විස්තර කරන්න මට ඉඩ දෙන්න.
මම ඉපදුණේ 1904දී සාහෝර් කියන කුඩා ගම්මානයෙයි; එය දැන් තිබෙන්නේ නැඟෙනහිර ස්ලෝවැකියාවේ. පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසුව, සාහෝර්, අලුතෙන් හැදූ රටක් වූ චෙකෝස්ලොවැකියාවේ කොටසක් බවට පත් වුණා. අපේ ගමේ ගෙවල් 200ක් විතර තිබුණා; ඒ වගේම පල්ලි දෙකකුත් තිබුණා; එකක් ග්‍රීක් කතෝලික සහ අනික කැල්වින්වාදීන්ගේ පල්ලියයි.
කැල්වින්වාදීන්ගේ පල්ලියට ගියත්, මම ඉතා සල්ලාල ජීවිතයක් ගත කළා. මගේ නිවසට නුදුරින් සෑහෙන්න වෙනස් මනුෂ්‍යයෙක් ජීවත් වුණා. දවසක් ඔහු මාත් එක්ක සංවාදයක් අරඹලා මට බයිබලයක් දුන්නා. ඒ පොත මගේ අතට ගත්ත මුල්ම අවස්ථාව ඒකයි. මේ වෙන කොට, ඒ කියන්නේ 1926දී මම බාබොරාව විවාහ කරගත් අතර, වැඩි කල් නොගොස් අපට දරුවන් දෙන්නෙක් ලැබුණා. ඔවුන්ගේ නම් බාබොරා හා යාන්.
මම බයිබලය කියවන්න පටන්ගත්තත්, මට නොතේරුණ දේවල් ගොඩක් තිබුණා. ඒ නිසා මගේ දේවගැති ළඟට ගිහින්, ඔහුගේ උපකාරය පැතුවා. “බයිබලය තියෙන්නේ උගත් අය සඳහා විතරයි; ඕක තේරුම්ගන්න උත්සාහ කරන්නවත් එපා” කියා ඔහු පැවසුවා. ඉන්පසු ඔහු මට අඬගැහැව්වා කාඩ් සෙල්ලම් කරන්න.
ඊට පස්සේ මම, මට බයිබලය දුන්න මනුෂ්‍යයා ළඟට ගියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්වූ ආකාරයට ඔහු බයිබල් ශිෂ්‍යයෙක්ව සිටියා. ඔහු මට උපකාර කරන්න සතුටු වූ අතර, ටික කලකට පස්සේ මගේ ඇස් ඇරෙන්න පටන්ගත්තා. අධික බීම නවත්වා, මම සදාචාර ජීවිතයක් ගත කරන්න පටන්ගත්තා; යෙහෝවා ගැන අන්‍යයන්ට කතා කරන්නත් මම පටන්ගත්තා. එක්දහස් නවසිය විසිගණන්වල මුල්භාගයේදී සාහෝර්හි මනුෂ්‍යයන් බයිබල් සත්‍යය වැලඳගැනීමට පටන්ගත් අතර, වැඩි කල් නොගොස් බයිබල් ශිෂ්‍යයන්ගේ ක්‍රියාශීලී කණ්ඩායමක් බිහි වුණා.
කොහොමවුණත්, බලවත් ආගමික විරෝධයක් ඇති වී තිබුණා. මට පිස්සු හැදිලා කියමින් ප්‍රාදේශීය පූජකයා මගේ පවුලේ අයගෙන් වැඩිදෙනෙකුව මට විරුද්ධ කළා. නමුත් මගේ ජීවිතයට අරමුණක් ඇති වෙන්න පටන්ගත් අතර, සැබෑ දෙවි යෙහෝවාට සේවය කිරීමට මම දැඩි අධිෂ්ඨානයක් ගත්තා. මෙසේ, 1930දී, මම යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කර, බව්තීස්ම වුණා.
දරුණු පරීක්ෂා පටන්ගැනීම
වර්ෂ 1938දී, අපේ ප්‍රදේශය IIවන ලෝක යුද්ධ සමයේදී ජර්මනියට සහාය දුන්, හංගේරියාවේ පාලනය යටතට පත් වුණා. ඒ වෙන කොට මනුෂ්‍යයන් දාහක්වත් නොහිටිය අපේ ගමේ සාක්ෂිකරුවන් 50ක් විතර අපිට හිටියා. දේශනා කිරීම අපේ ජීවිතවලට හානියක් වුණත්, නිදහසට බාධාවක් වුණත් අපි දිගටම දේශනා කළා.
වර්ෂ 1940දී, අනිවාර්යයෙන්ම හංගේරියානු හමුදාවට බැඳෙන්න මාව කැඳවනු ලැබුවා. මම මොකද කරන්නේ? ඇත්තෙන්ම, ජනයා තමන්ගේ යුධායුධවලින් සාමයේ උපකරණ තනාගැනීම ගැන බයිබල් අනාවැකි මම කියවලා තිබුණා; කාලයාගේ ඇවෑමෙන්, දෙවි පොළොවෙන් සියලු යුද්ධ තුරන් කරනු ඇති බව මම දැනගෙන හිටියා. (ගීතාවලිය 46:9; යෙසායා 2:4) මේ නිසා, මම යුද්ධයට වෛර කරමින් හිටියා; ප්‍රතිඵලය මොකක් වුණත් හමුදාවට බැඳෙන්නේ නැහැයි කියලා මම තීරණය කළා.
මාස 14ක හිර දඬුවමකට නියම වූ මම, හංගේරියාවේ පෙක්ස්හි හිරේ හිටියා. වෙන සාක්ෂිකරුවන් පස්දෙනෙකුත් ඒ සිරගෙයිම හිටිය නිසා, ආශ්‍රය කිරීමට හැකිවීම ගැන අපි අගය කළා. කොහොමවුණත්, යම් කලකට, මගේ පාදවලට විලංගු දාලා මාව වෙනමම කුටියක හිර කරලා තිබුණා. යුද්ධයට දායක වන දේවල් සම්බන්ධයෙන් වැඩ කරන්න අපි ප්‍රතික්ෂේප කළ විට, අපිට පහර දුන්නා. ඒ වගේම, දවාලේ පැය දෙකක් හැර මුළු දවස පුරාම අනිවාර්යයෙන්ම සීරුවෙන් හිටගෙන ඉන්න අපිට නියම කළා. මාස ගණනාවක් මේ කටුක අද්දැකීම වින්දා. ඒත් අපේ දෙවි ඉදිරියේ අපිට පිරිසිදු හෘදය සාක්ෂියක් තිබුණ නිසා අපි සතුටු වුණා.
ඇදහිල්ල පාවා දීමේ ප්රශ්නය
හමුදාවට බැඳීමෙන් යුද්ධය හා සම්බන්ධ දේවලට සහාය දීම වැදගත් බව අපට ඒත්තුගැන්වීමට, දවසක් කතෝලික පූජකයන් 15දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උත්සාහ දැරුවා. සාකච්ඡාව අතරතුරේදී අපි මෙහෙම කිව්වා: “ආත්මය අමරණීය බවත්, යුද්ධයේදී අපි මැරුණොත් ස්වර්ගයට යන බවත් ඔප්පු කරන්න ඔබට පුළුවන් නම්, අපි හමුදාවට බැඳෙනවා.” ඇත්තෙන්ම, ඔවුන්ට ඒක ඔප්පු කරන්න බැරි වුණ අතර, සාකච්ඡාව දිගටම ගෙනියන්න ඔවුන්ට ඕනෙ වුණේ නැහැ.
වර්ෂ 1941දී මගේ හිර දඬුවම ඉවර වුණා; මගේ පවුලේ අය එක්ක නැවත එකතු වෙන්න මම ආශාවෙන් බලාගෙන හිටියා. ඒ වෙනුවට, මාව හංගේරියාවේ ෂාරස්පාටක්හි ප්‍රධාන හමුදා කඳවුරකට විලංගු දාලා අරගෙන ගියා. අපි එහෙට ගියහම, මට නිදහස් වෙලා යන්න ප්‍රස්තාවක් උදා කරලා දුන්නා. “ඔයාට කරන්න තියෙන්නේ මේ පොරොන්දු පත්‍රය අත්සන් කරලා ගෙදර ගියහම පෙන්ගෝ 200ක් ගෙවන එක විතරයි” කියලා මට කිව්වා.
“එහෙම කරන්නේ කොහොමද? මොකටද ඔයගොල්ලන්ට සල්ලි?” කියලා මම ඇහැව්වා.
“හමුදාවට බැඳීම සඳහා ඔබ වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වුණේ නැති බවට සහතිකයක් සල්ලි වෙනුවට ඔබට ලැබෙයි” කියා මට පැවසුවා.
මේක මට දුෂ්කර තීරණයක් ඉදිරිපත් කළා. අවුරුද්දකටත් වැඩි කාලයක්, මම අමානුෂික වධ හිංසා වින්දා; මට එපා වෙලයි තිබුණේ. මේ වෙලාවේ, සල්ලි ටිකක් දෙන්න එකඟ වුණා නම්, මට නිදහස් වෙන්න තිබුණා. “මම ඒ ගැන හිතලා බලන්න ඕනෙ” කියලා මම මිමිණුවා.
මොන තීරණයද ගන්නේ? මට මගේ භාර්යාව හා දරුවන් ගැන හිතන්න සිද්ධ වුණා. ඇත්තෙන්ම, මේ වෙන කොට මට තවත් ක්‍රිස්තියානියෙකුගෙන් දිරිගැන්වීමේ ලිපියක් ලැබුණා. ප්‍රේරිත පාවුල් යෙහෝවාගේ වචන උපුටා දක්වන හෙබ්‍රෙව් 10:38 ඔහු උපුටා දක්වා තිබුණා: “ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය [ප්‍රාණය, NW] ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.” ඊට ටික දවසකට පස්සේ, බැරැක්කවල සිටින හංගේරියානු නිලධාරීන් දෙන්නෙක් මා එක්ක කතා කළා; එක් කෙනෙක් මෙහෙම කිව්වා: “බයිබල් ප්‍රතිපත්ති ඔය තරම් තදින් පිළිපදින එක ගැන අපි මොනතරම් ඔයාට ගරු කරනවාද කියලා ඔයා දන්නේ නැහැ! අත අරින්න එපා!”
ඊළඟ දවසේ මම පෙන්ගෝ 200කට මාව නිදහස් කරන්න ඉදිරිපත් වුණ අය ළඟට ගිහින් මෙහෙම කිව්වා: “යෙහෝවා මට හිරේ ඉන්න ඉඩහැරිය නිසා, මගේ නිදහස ගැනත් එයාම බලාගනියි. මම මාව මුදල්වලට නිදහස් කරගන්නේ නැහැ.” මේ නිසා මාව අවුරුදු දහයකට හිරේ යැව්වා. නමුත් ඒක මගේ ස්ථාවරය බිඳ දමන්න දැරුව වෑයම්වල අවසානය වුණේ නැහැ. මාස දෙකකට පමණ හමුදාවේ සේවය කරන්න එකඟ වෙනවා නම් මට සමාව දෙන්න අධිකරණය ඉදිරිපත් වුණ අතර, මට යුධෝපකරණයක්වත් ගෙනියන්න සිද්ධ වෙන්නේ නැහැ කියලත් ඔවුන් කිව්වා! මම ඒ දීමනාවත් ප්‍රතික්ෂේප කළ අතර මගේ හිර දඬුවම පටන්ගත්තා.
පීඩාව වැඩි වෙයි
මාව නැවතත් පෙක්ස්හි සිරභාරයට ගත්තා. මේ පාර වධ හිංසා පෙරටත් වඩා දරුණු වුණා. මගේ අත් පිටුපසට කර බැඳලා, පැය දෙකක් විතර මාව අත්වලින් එල්ලලා තිබ්බා. ඒ නිසා, මගේ උරහිස් දෙකම පැන්නා. මාස හයක විතර කාලයක් පුරා සැරෙන් සැරේට එම වධහිංසාව දුන්නා. මම අත්නෑරිය එකට යෙහෝවාට ස්තුතිවන්ත වෙන්න විතරයි මට පුළුවන්.
වර්ෂ 1942දී, දේශපාලනික සිරකරුවන්, යුදෙව්වන් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන් 26දෙනාගෙන් සමන්විත කණ්ඩායමක් වූ අපව ජර්මානු හමුදා මගින් අල්ලාගෙන තිබූ ප්‍රදේශයක් වූ කුර්ස්ක් නගරයට ගෙන ගියා. අපිව ජර්මානුවන්ට භාර දුන් අතර, ඔවුන්, යුධ පෙරමුණේ සිටින සොල්දාදුවන්ට ආහාර, යුධායුධ හා ඇඳුම් පැළඳුම් රැගෙන යන්න සිරකරුවන්ව යෙදෙව්වා. එහෙම කිරීම අපේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය කඩ කිරීමක් වන නිසා සාක්ෂිකරුවන් වූ අපි ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතිඵලයක් වශයෙන්, අපව යළිත් හංගේරියානුවන් වෙතට යැව්වා.
අන්තිමේදී, අපිව කුර්ස්ක්හි ප්‍රාදේශීය සිරගෙට දැම්මා. දවසකට තුන් වතාවක් බැගින් දවස් කීපයක්ම අපිට රබර් මුගුරුවලින් පහර දුන්නා. බිම ඇද වැටෙන තරමටම සැර කම්මුල් පහරක් මට දුන්නා. ‘මැරෙන එක මේ තරම් අමාරු නැහැ’ කියලා, මට පහර දෙන කොට මම හිතුවා. මගේ මුළු ඇඟම පණ නැති වෙලා ගිහින් මොකුත් දැනෙන්නේ නැති වුණා. අපිට දවස් තුනක්ම කන්න මොනවවත් දුන්නේ නැහැ. ඊට පස්සේ අපිව අධිකරණයට ගෙන ගිය අතර, හයදෙනෙකුව මරණ දණ්ඩනයට නියම කළා. දණ්ඩනය සිදු කළායින් පස්සේ අපි 20දෙනෙක් ඉතිරිව සිටියා.
ඇදහිල්ල සම්බන්ධයෙන් මම විඳලා තියෙන ලොකුම අද්දැකීම තමයි 1942 ඔක්තෝබර්වලදී කුර්ස්ක්හි හිටිය දවස්වල ලැබුව අද්දැකීම. පුරාණයේ හිටිය යෙහෝෂාපාට් රජුගේ සෙනඟ දැරිය නොහැකි අවාසිදායක තත්වයන්ට මූණ දුන් විට ඔහුට ඇති වුණ මේ හැඟීමෙන් අපේ හැඟීම් පැහැදිලි වෙනවා: “අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේ.”—2 ලේකම් 20:12.
හංගේරියානු සොල්දාදුවන් 18දෙනෙක් මුර කරද්දී, අපේ මිනීවළවල් කපන්න අපි 20දෙනාව පිටතට අරගෙන ගියා. අපි කපලා ඉවර වුණහම, අපිට තව විනාඩි දහයයි තියෙන්නේ ලියවිල්ලකට අත්සන් කරන්න කියලා අපිට කිව්වා; එහි කොටසක මෙහෙම කියනවා: “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම වැරදියි. මම මීට පස්සේ ඒක විශ්වාස කරන්නේවත්, ඒකට සහාය දෙන්නේවත් නැහැ. හංගේරියානු නිජබිම වෙනුවෙන් මම සටන් කරනවා . . . රෝමානු කතෝලික සභාවට බැඳෙන බවට මගේ අත්සනෙන් මම සහතික කරනවා.”
විනාඩි දහයකට පස්සේ නියෝග කළා: “හරි දැන් හැරෙන්න! මිනීවළ ළඟට ගමන් කරන්න!” ඊට පස්සේ, මේ අණ: “පළවෙනි හා තුන්වෙනි සිරකරුවන් වළට බහින්න!” ලියවිල්ල අත්සන් කිරීමට තීරණය කරන්න මේ දෙන්නාට තවත් විනාඩි දහයක් දුන්නා. එක සොල්දාදුවෙක් ආයාචනා කළා: “ඔබේ ඇදහිල්ල අතහැරලා, වළෙන් ගොඩට එන්න!” කිසි කෙනෙක් වචනයක්වත් පිට කළේ නැහැ. එතකොටම ප්‍රධාන නිලධාරියා දෙන්නාටම වෙඩි තිබ්බා.
“අනිත් අයට මොකද කරන්නේ?” කියා සොල්දාදුවෙක් ප්‍රධාන නිලධාරියාගෙන් ඇහැව්වා.
“ඒගොල්ලන්ව බඳින්න. අපි ඒගොල්ලන්ට තව ටිකක් වධ දීලා, උදේ හයට වෙඩි තියමු.”
එකපාරටම මට භයක් ඇති වුණා; මම මැරෙයි කියලා හිතුණ නිසා නෙවෙයි නමුත් වධ හිංසා විඳදරාගන්න බැරි වෙලා ස්ථාවරය බිඳ දමයිද කියන භය නිසයි. ඒ නිසා මම ඉදිරියට අඩිය තියලා මෙහෙම කිව්වා: “සර්, මොහොතකට කලින් ඔබ වෙඩි තිබ්බ අපේ සහෝදරයන් වගේම අපිත් නීතිය කඩ කරලයි තියෙන්නේ. ඇයි අපටත් වෙඩි තියන්නේ නැත්තේ?”
නමුත් ඔවුන් වෙඩි තිබ්බේ නැහැ. අපේ අත් පිටුපසට කරලා බැන්දා. ඊට පස්සේ අපේ අත්වලින් අපිව එල්ලුවා. අපට සිහි නැති වුණහම ඔවුන් අපට වතුර ගැහැව්වා. ඇඟේ බරට උරහිස් පැන්න නිසා වේදනාව දරාගන්න බැරි වුණා. මේ වධ හිංසාව පැය තුනක් විතර තිබුණා. එවිට, එකපාරටම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තවදුරටත් වෙඩි තියන්න එපා කියලා නියෝගයක් දුන්නා.
නැඟෙනහිරට ගමන් කිරීමක් හා —ඉන්පසු බේරීම
සති තුනකට පස්සේ අපි දවස් කීපයක් එක්තරා පිළිවෙළකට ගමන් කර ඩොන් ගඟේ ඉවුරට ආවා. අපිට පණපිටින් නැවත එන්න ලැබෙන්නේ නැහැයි කියලා අපිව භාරව හිටිය නිලධාරීන් කිව්වා. දවල් කාලයේදී, අපිට අගල් කැපීම හා නැවතත් ඒවා පිරවීම වැනි කිසි ඵලක් නැති වැඩ දුන්නා. හවස් වරුවේ, එහෙට මෙහෙට යන්න අපිට යම් තරමක නිදහසක් තිබුණා.
මම තත්වය ගැන කල්පනා කරලා බලද්දී කරන්න දේවල් දෙකක් තිබුණා. එක්කෝ අපිට එහෙදිම මැරිලා යන්න පුළුවන්කම තිබුණා එහෙමත් නැත්නම් ජර්මානුවන්ගෙන් බේරිලා රුසියානුවන්ට යටත් වෙන්න පුළුවන්කම තිබුණා. අයිස් මිදුණු ඩොන් ගඟ හරහා බේරිලා යන්න උත්සාහ කිරීමට අපි තුන්දෙනෙක් විතරයි තීරණය කළේ. වර්ෂ 1942 දෙසැම්බර් 12වෙනිදා, අපි යෙහෝවාට යාච්ඤා කරලා ගමන ඇරඹුවා. අපි රුසියානු යුධ පෙරමුණ වෙත ගිය විට, ඒ මොහොතේදීම සිරකරුවන් 35,000ක් විතර ඉන්න සිර කඳවුරකට දැම්මා. වසන්ත කාලේ වෙද්දී පණපිටින් හිටියේ සිරකරුවන් 2,300ක් වගේ ගානක් විතරයි. අනිත් අය බඩගින්නෙම මැරිලා ගියා.
නිදහස් වුණත් තවත් ඛේදවාචක
මම යුද්ධයේ ඉතිරි කාලයේදීත්, යුද්ධයෙන් පසු රුසියානු සිරකරුවෙක් වශයෙන් සිටි මාස කිහිපයේදීත් කොහොම හරි ජීවිතය රැකගත්තා. අන්තිමේදී, 1945 නොවැම්බර්වලදී මට නිවස බලා සාහෝර්වලට එන්න ලැබුණා. අපේ ගොවිපොළ ජරාවාස වෙලා තිබුණ නිසා මට ආයිත් මුල ඉඳන්ම පටන්ගන්න සිද්ධ වුණා. යුද්ධ කාලයේදී මගේ භාර්යාව හා දරුවන් ගොවිපොළේ වැඩ කරලා තිබුණත් 1944 ඔක්තෝබර්වලදී රුසියානුවන් පැමිණි විට ඔවුන් නැඟෙනහිරට පලාගිහින් තිබුණා. අප සතුව තිබුණු හැම දෙයක්ම පැහැරගෙන තිබුණා.
මම ගෙදර එනකොට මගේ භාර්යාව අසනීප වෙලා හිටිය එක ඔක්කොටම වඩා උහුලගන්න බැරි දේ වුණා. වර්ෂ 1946 පෙබරවාරිවලදී ඇය මියගියා. එතකොට ඇයට වයස අවුරුදු 38ක් විතරයි. ඉතා කටුක අවුරුදු පහකටත් වඩා වෙන් වී හිටියාට පස්සේ, නැවත එකතු වීමෙන් සතුටු වෙන්න අපිට ලැබුණේ කොතරම් කෙටි කාලයක්ද!
මගේ ආත්මික සහෝදරයන් අතරේ සිටීමෙන්, රැස්වීම්වලට යෑමෙන් හා ගෙයින්-ගෙට සේවයේ යෙදීමෙන් මට සැනසීමක් ලැබුණා. වර්ෂ 1947දී, කිලෝමීටර් 400ක විතර දුරක් ගෙවා සමුළුවකට යෑම සඳහා බ්රොනෝවලට ගමන් කිරීමට මුදල් ටිකක් ණයට ඉල්ලගන්න මට හැකි වුණා. එහිදී වොච් ටවර් බයිබල් හා පත්‍රිකා සමිතියේ එවකට සභාපතිව සිටි නේදන් එච්. නෝර් ඇතුළු මගේ ක්‍රිස්තියානි සහෝදරයන් අතරේ සිටීමෙන් මට ලොකු සහනයක් හා දිරිගැන්වීමක් ලැබුණා.
යුද්ධයෙන් පස්සේ අපිට වැඩි කලක් නිදහසේ ඉන්න ලැබුණේ නැහැ. වර්ෂ 1948දී කොමියුනිස්ට්වාදීන් අපිට හිංසා පීඩා කිරීමට පටන්ගත්තා. චෙකෝස්ලොවැකියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩයෙහි පෙරමුණ ගන්නා සහෝදරයන් බොහෝදෙනෙකුව 1952දී අත්අඩංගුවට ගත් අතර, සභාවල් බලාකියා ගැනීමේ වගකීම මට දීලා තිබුණා. වර්ෂ 1954දී, මාවත් අල්ලාගත් අතර, මට අවුරුදු හතරකට හිර දඬුවමක් දුන්නා. මගේ පුතා යාන් හා ඔහුගේ පුතා යූරයිවත් ඔවුන්ගේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පවත්වාගැනීම නිසා හිර කළා. මම ප්‍රාග්හි පාන්ක්රාට්ස් රජයේ සිරගෙයි අවුරුදු දෙකක් ගත කළා. වර්ෂ 1956දී රාජ්‍ය සමාවක් දී මාව නිදහස් කළා.
ඇති යන්තම් නිදහස්!
අන්තිමේදී, 1989දී, චෙකෝස්ලොවැකියාවේ කොමියුනිස්ට්වාදය බිඳ වැටුණු අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය නීතිමය ලෙස ලියාපදිංචි කළා. මේ හේතුවෙන්, අපට එකට රැස්වෙන්නත්, ප්‍රසිද්ධියේ දේශනා කරන්නත් නිදහස ලැබුණා. ඒ වෙනකොට සාහෝර්හි සාක්ෂිකරුවන් සීයකට ආසන්නව හිටියා; එයින් අදහස් වුණේ ගමේ හැම 10දෙනෙකුගෙන්ම 1කෙනෙක් විතර සාක්ෂිකරුවෙක් බවයි. අවුරුදු කීපයකට ඉස්සෙල්ලා, 200කට පමණ ඉඳගන්න පහසුකම් සහිත ඉඩ කඩ ඇති, කදිම රාජ්‍ය ශාලාවක් සාහෝර්හි ගොඩනැඟුවා.
මගේ සෞඛ්‍යය ඒ තරම් හොඳ තත්වයක නැති නිසා සහෝදරයන් මාව රාජ්‍ය ශාලාවට ඇරලනවා. එහි සිටීමත්, මුරටැඹ පාඩමේදී අදහස් ප්‍රකාශ කිරීමට ලැබීමත් මට සතුටක්. මුනුපුරු මිනිපිරියන් කීපදෙනෙක් ඇතුළු, මගේ පවුලේ පරම්පරා තුනක නියෝජිතයන් යෙහෝවාට සේවය කරනවා දැකීම මට ලොකු සතුටක්. මොවුන්ගෙන් කෙනෙක් ඔහුගේ පවුලේ වගකීම් නිසා සංචාරක වැඩයට කාලය වෙන් කරන්න බැරි වෙන තුරුම, චෙකෝස්ලොවැකියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයෙකු හැටියට සේවය කළා.
මම පරීක්ෂාවලට මුහුණ දුන් බොහෝ අවස්ථාවලදී මාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. මාව ජීවත් කරවලා තියෙන්නේ ‘අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන්’ ඔහු කෙරෙහි අවධානය යොමු කරගෙන සිටීමයි. (හෙබ්‍රෙව් 11:27) ඔව්, ඔහුගේ මිදීමේ බලවත් හස්තය යටතේ ඉන්න බව මට හැඟිලා තියෙනවා. දැන් පවා, සභා රැස්වීම්වලට නොවරදවාම යෑමටත්, මට හැකි තරම් ප්‍රසිද්ධ දේවසේවයෙහි යෙදෙමින් ඔහුගේ නම ප්‍රකාශ කිරීමටත් මම දිගටම වෑයම් කරන්නේ ඒ නිසයි.
[25වන පිටුවේ පින්තූරය]
සාහෝර්හි රාජ්‍ය ශාලාව
[26වන පිටුවේ පින්තූරය]
මුරටැඹ පාඩමේදී අදහස් ප්‍රකාශ කිරීමට ඇති වරප්‍රසාදය මම අගය කරනවා