ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 1/1 25-29 පි.
  • සත්‍යයට වඩා හොඳ දෙයක් නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සත්‍යයට වඩා හොඳ දෙයක් නැහැ
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබල් සත්‍යය ඉගෙනගැනීම
  • සත්‍යය වෙනුවෙන් ස්ථාවරයක් ගැනීම
  • සාක්සන්හව්සන්හි ජීවිතය
  • මරණය කැඳවන පෙළපාළිය
  • සත්‍යය මගේ ජීවිතය වී තිබෙනවා
  • යෙහෝවඃවහන්සේ මා සමඟ සිටි බව ඔප්පු වුණා
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිගේ උපකාරයෙන් අපි පීඩා ජයගත්තා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මම යෙහෝවා දෙවිට කොහොම ස්තුති කරන්නද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විප්ලවකාරි දේශපාලනඥයෙකු මධ්‍යස්ථ ක්‍රිස්තියානියෙකු වී
    2002 පිබිදෙව්!
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 1/1 25-29 පි.

සත්‍යයට වඩා හොඳ දෙයක් නැහ

ජී. එන්. ෆන් ඩ’ බේල් පැවසූ පරිදි

වර්ෂ 1941 ජූනිවලදී මාව ගෙස්ටාපෝට භාර දුන් අතර, ජර්මනියේ බ’ලින් අසල සාක්සන්හව්සන් වධක ගාල් කඳවුරට ගෙන යනු ලැබුවා. නොම්මර 38190වේ සිරකරුවා වශයෙන් මම, 1945 අප්‍රියෙල්වලදී නින්දිත ලෙස මරණය කැඳවන පෙළපාළිය දක්වා එහි සිටියා. නමුත් ඒ සිද්ධීන් විස්තර කරන්න කලින්, මම සිරකරුවෙකු වූ ආකාරය පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න.

මම ඉපදුණේ 1914දී 1වෙනි ලෝක යුද්ධය පටන්ගෙන ටික කලකට පස්සේ නෙදර්ලන්තයේ රොටඩෑම්වලයි. තාත්තා දුම්රිය මාර්ගයට සම්බන්ධ රැකියාවක් කළ අතර, අපේ කුඩා නිවහන තිබුණේ දුම්රිය මාර්ගය අසලයි. එක්දාස් නවසිය දහඅටේදී යුද්ධය අවසන් වෙන්න ළංව තිබෙද්දී, හඬනංවාගෙන වේගයෙන් ඇදී ගිය අර්බුද දුම්රියවල් කියා හැඳින්විය හැකි බොහෝ දුම්රියවල් මම දැක්කා. සටන් බිමෙන් ගෙදර ගෙන යන තුවාල වූ හමුදා භටයන්ගෙන් ඒවා පිරී තිබුණ බවට සැකයක් නැහැ.

වයස 12දී, රැකියාවක් සොයාගැනීමට මම පාසැලෙන් අස් වුණා. අවුරුදු අටකට පස්සේ මඟී නැවක මඟී සේවකයෙක් හැටියට රැකියාවක් ලබාගත් අතර, ඊළඟ අවුරුදු හතරේදී මම නෙදර්ලන්තය හා එක්සත් ජනපදය අතර ගමන් කළා.

අපි 1939 ගිම්හානයේදී නියූ යෝක් වරායේ නතර කළ විට, තවත් ලෝක යුද්ධයක තර්ජනයට ලක් වුණා. ඉතින්, කෙනෙක් අපේ නැවට ඇවිත්, ධර්මිෂ්ඨ ආණ්ඩුවක් සම්බන්ධයෙන් කතා කළ ආණ්ඩුව (ඉංග්‍රීසියෙන්) නම් පොත මට ඉදිරිපත් කළ විට මම සන්තෝෂයෙන් ඒක පිළිගත්තා. මුහුදේ ජීවිතය තවදුරටත් ආරක්ෂා සහිත බවක් පෙනෙන්න නොතිබුණු නිසා, රොටඩෑම්වලට යළි ආ විට මම ගොඩබිමේ රැකියාවක් සොයන්න පටන්ගත්තා. සැප්තැම්බර් 1වෙනිදා ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළ අතර ජාතීන් IIවන ලෝක යුද්ධයේ එරී සිටියා.

බයිබල් සත්‍යය ඉගෙනගැනීම

මම 1940 මාර්තුවල එක් ඉරිදා උදෑසනක මගේ විවාහක සහෝදරයාව බලන්න ගිය අවස්ථාවේදී යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ගෙදර සීනුව නාද කළා. දැනටමත් මා ළඟ ආණ්ඩුව පොත තිබෙන බව පැවසූ මා ඔහුගෙන් ස්වර්ගය සහ එහි යන්නන් ගැන විමසුවා. මට කොයිතරම් පැහැදිලි හා සාධාරණ පිළිතුරක් ලැබුණාද කිව්වොත්, ‘මේක තමයි සත්‍යය’ කියලා මම මටම කිව්වා. මම ඔහුට මගේ ලිපිනය දීලා, මගේ ගෙදරට එන්න කියා ආරාධනා කළා.

තුන් වතාවක් ඇවිත් අපි සෑහෙන ගැඹුරට බයිබල් පාඩම් පැවැත්තුවායින් පස්සේ, මම එම සාක්ෂිකරුවා සමඟ ගෙයින්-ගෙට දේශනා වැඩයෙහි යෙදෙන්න පටන්ගත්තා. අපි බලප්‍රදේශයට පැමිණි විට, ඔහු මට පටන්ගන්න තැන පෙන්නුව අතර මම තනිවම දේශනා කළා. ඒ දවස්වල නවකයන් හුඟදෙනෙකුට දේශනා වැඩය හඳුන්වා දුන්නේ ඒ ආකාරයෙනුයි. වීදියේදී නොදකින විදිහට හැම තිස්සෙම ඇතුලකට ගිහින් පොත් පත් ඉදිරිපත් කරන්න කියා මට උපදෙස් දීලා තිබුණා. යුද්ධයේ මුල් දවස්වලදී නුවණක්කාර වීමට අවශ්‍යතාවක් තිබුණා.

සති තුනකට පස්සේ, 1940 මැයි 10වෙනිදා, ජර්මන් හමුදාව නෙදර්ලන්තය ආක්‍රමණය කළ අතර, මැයි 29වෙනිදා, රයිඛ් කොමසාරිස්වරයා වූ සයිසින්ක්වාර්ට් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය තහනම් කර ඇති බව ප්‍රකාශ කර සිටියා. අපි හමු වුණේ කුඩා කණ්ඩායම් වශයෙන් පමණක් වූ අතර, අප රැස්වූ ස්ථාන රහසිගතව තබාගැනීමට සැලකිලිමත් වුණා. විශේෂයෙන්ම අපව ශක්තිමත් වුණේ සංචාරක අවේක්ෂකයන්ගේ බැහැදැකීම්වලිනුයි.

මම නිතර දුම්පානය කරන්නෙක් වූ අතර මගේ පාඩම කළ සාක්ෂිකරුවාට දුම්වැටියක් ඉදිරිපත් කළ විට, ඔහු දුම්පානය කරන්නේ නැති බව දැනගත්තහම මම මෙහෙම කිව්වා: “මට නම් කවදාවත් දුම්පානය නවත්වන්න බැහැ!” කෙසේනමුත්, ඊට ටික දවසකට පස්සේ මම වීදියේ ඇවිදින කොට ‘මම සාක්ෂිකරුවෙක් වෙන්න යනවා නම්, මට ඕනෙ ඇත්තම සාක්ෂිකරුවෙක් වෙන්න’ කියලා මම හිතුවා. ඉතින් මම ආයි කවදාවත් දුම්පානය කළේ නෑ.

සත්‍යය වෙනුවෙන් ස්ථාවරයක් ගැනීම

මගේ සහෝදරයාගේ ගෙදරදී මට සාක්ෂිකරුවාව මුණගැසී මාස තුනක්වත් යන්න කලින්, 1940 ජූනිවලදී, යෙහෝවාට මගේ කැපවීම සංකේතවත් කළ මා බව්තීස්ම වුණා. මාස කීපයකට පස්සේ, 1940 ඔක්තෝබර්වලදී, පුරෝගාමියෙක් වශයෙන් මම පූර්ණ-කාලීන දේවසේවයට ඇතුල් වුණා. ඒ අවස්ථාවේදී, පුරෝගාමී ජැකෙට්ටුව ලෙස හැඳින්වූ ජැකෙට්ටුවක් මට දුන්නා. එහි පොත් සහ පොත්පිංච දැමීමට බොහෝ සාක්කු තිබුණ අතර, එය කබායකට යටින් අඳින්න පුළුවන් වුණා.

ජර්මානුවන් යටතට පැමිණීමත් සමඟම වගේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව යම් පිළිවෙළකට දඩයම් කරගෙන සිරගත කළා. වර්ෂ 1941 පෙබරවාරියේ එක් උදෑසනක, මම තවත් සාක්ෂිකරුවන් කීපදෙනෙක් එක්ක ක්ෂේත්‍ර සේවයේ යෙදී සිටියා. ඔවුන් එක පැත්තක ගෙවල් කාණ්ඩයකට යද්දී, මම ඔවුන්ව මුණගැසෙන සේ අනිත් පැත්තෙන් වැඩ කරගෙන ආවා. කාලය ගෙවෙද්දී, ඔවුන් ප්‍රමාද වෙන්නේ ඇයි කියලා බලන්න මම යන අතරතුරේ මනුෂ්‍යයෙක් මුණගැසී ඔහු මෙහෙම ඇහැව්වා, “ඔයා ළඟත් මේ කුඩා පොත් තියෙනවාද?”

“ඔව්,” මම පිළිතුරු දුන්නා. ඒ මොහොතේ ඔහු මාව අත්අඩංගුවට ගෙන, පොලිස් ස්ථානයට අරන් ගියා. සති හතරක් විතර මාව අත්අඩංගුවේ තබාගත්තා. නිලධාරීන්ගෙන් වැඩිදෙනෙක් මිත්‍රශීලී අය වුණා. කෙනෙකුව ගෙස්ටාපෝ වෙත බාර නොදෙන තාක් කල්, තමා තවදුරටත් බයිබල් පොත් පත් බෙදාහරින්නේ නැති බව ප්‍රකාශ කරමින් ලියවිල්ලකට නිකම් අත්සන් තැබීමෙන්ම පමණක් ඔහුට නිදහස් වී යන්න හැකිකම තිබුණා. එවැනි ලියවිල්ලකට අත්සන් කරන්න කියා මට පැවසූ විට, මම මෙහෙම පිළිතුරු දුන්නා: “ඔබ මට ගූල්ඩන් මිලියනයක් හෝ දෙකක් ඉදිරිපත් කරනවා වුණත් මම අත්සන් කරන්නේ නෑ.”

තවත් ටික කලක් තබාගැනීමෙන් පසු මාව ගෙස්ටාපෝ වෙත බාර දෙනු ලැබුවා. එවිට මාව ජර්මනියේ සාක්සන්හව්සන් වධක ගාල් කඳවුරට ගෙන ගියා.

සාක්සන්හව්සන්හි ජීවිතය

මම 1941 ජූනිවලදී එහි එන විටත් සාක්ෂිකරුවන් 150ක් විතර සාක්සන්හව්සන්වල හිටියා—වැඩිදෙනෙක් ජර්මන් ජාතිකයන්. හුදකලාව නමින් වූ කඳවුරක කොටසකට නව සිරකරුවන් වන අපව ගෙන ගියා. එහිදී අපේ ක්‍රිස්තියානි සහෝදරයන් අපව ඔවුන්ගේ රැකවරණය යටතට ගත් අතර, ඉදිරියේදී මූණ දෙන්න සිදු වන දේට අපව සූදානම් කළා. සතියකට පස්සේ නෙදර්ලන්තයෙන් තවත් සාක්ෂිකරුවන් කාණ්ඩයක් පැමිණුණා. මුලදී අපිට උදේ හතේ සිට හවස හය දක්වා බැරැක්කවලට ඉදිරියෙන් එකම ස්ථානයක සිටගෙන ඉන්න නියමව තිබුණා. සමහර අවස්ථාවලදී සිරකරුවන්ට හැමදාම මුළු සතියක්ම නැත්නම් ඊටත් වඩා වැඩියෙන් ඉන්න සිද්ධ වුණා.

දරුණු සැලකීම තිබියදී වුණත්, සහෝදරයන්, සංවිධානාත්මකව සිට ආත්මික පෝෂණය ලැබීමේ හදිසි අවශ්‍යතාව වටහාගත්තා. හැම දවසකම බයිබල් පදයකින් කරුණු සූදානම් කිරීමට කෙනෙකුට පැවරුවා. පසුව, එක්රැස්වීමේ භූමියේදී සාක්ෂිකරුවන් එක් එක්කෙනා ඔහු ළඟට ගිහින් ඔහු සූදානම් කර තිබුණ දේට සවන් දුන්නා. මොනයම් ආකාරයකින් හෝ කඳවුර තුළට හොරෙන් පොත් පත් ගෙන්වාගත් අතර, අපි හැම ඉරිදාවකම ඇත්තෙන්ම එක්රැස් වෙලා, මේ බයිබල් පොත් පත් එකට පාඩම් කළා.

කෙසේ හෝ 1941 ගිම්හානයේදී එක්සත් ජනපදයේ ශා. ලුවිස්හි පැවති සමුළුවේදී මුදාහැරිය දරුවන් (ඉංග්‍රීසියෙන්) නම් වූ පොතක පිටපතක් සාක්සන්හව්සන් තුළට හොරෙන් ගෙන ආවා. පොත සොයාගෙන, විනාශ කර දැමීමේ අවදානම අඩු කිරීම සඳහා අපි එය කොටස්වලට වෙන් කර, හැමෝටම වාර ගෙන කියවිය හැකි වන පරිදි එහි කොටස් සහෝදරයන් අතර බෙදාහැරියා.

ටික දවසකට පසු, අපි පවත්වමින් සිටි රැස්වීම් ගැන කඳවුරේ පරිපාලකයන්ට දැනගන්න ලැබුණා. මේ හේතුවෙන් සාක්ෂිකරුවන්ව වෙන් කර විවිධ බැරැක්කවලට දමනු ලැබුවා. වෙනත් සිරකරුවන්ට දේශනා කිරීම සඳහා විශිෂ්ට ප්‍රස්තාවක් එය අපට ඉදිරිපත් කළ අතර, ප්‍රතිඵලයක් වශයෙන්, පෝලන්ත, යුක්‍රේනියානු සහ වෙනත් ජාතිකයන් බොහෝදෙනෙක් සත්‍යය පිළිගත්තා.

බිබෙල්ෆෝර්ෂ’ ලෙසින් එවකට හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අඛණ්ඩතාව බිඳීමට හෝ ඔවුන්ව මැරීමට දැරූ නාට්සිවරුන්ගේ අභිප්‍රාය රහසක් වුණේ නැහැ. ප්‍රතිඵලයක් වශයෙන්, අප මත යෙදූ පීඩනය දරුණු එකක් වුණා. අපේ ඇදහිල්ල අත්හරින බවට ප්‍රකාශ කරන ලියවිල්ලකට අත්සන් තැබුවොත් නිදහස් විය හැකියයි අපට පවසනු ලැබුවා. සමහර සහෝදරයන් “මම නිදහස් වුණොත්, යෙහෝවාගේ සේවයෙහි වැඩියෙන් කරන්න මට පුළුවන්” කියා හේතු දැක්වීමට පටන්ගත්තා. ටිකදෙනෙක් අත්සන් කළත්, අපේ සහෝදරයන්ගෙන් වැඩිදෙනෙක් සියලු අගහිඟකම්, නින්දා කිරීම් හා හිංසා පීඩා මධ්‍යයෙහි විශ්වාසවන්තව සිටියා. ඇදහිල්ල පාවා දුන්නවුන්ගෙන් සමහරෙක් ගැන යළි කවදාවත් අහන්න ලැබුණේ නැහැ. එහෙත්, අනිත් අය පසුව යථා තත්වයට යළි පැමිණි අතර, තවමත් ක්‍රියාශීලී සාක්ෂිකරුවන්ව සිටීම සන්තෝෂයට කරුණක්.

පොල්ලකින් 25 වාරයක් ගැසීම වැනි ඉතා දරුණු දඬුවම යටතට සිරකරුවන්ව පත් කරද්දී අපට නිතරම එදෙස බලා සිටීමට බල කරනු ලැබුවා. වතාවක, මිනිස්සු හතරදෙනෙක්ව එල්ලා මරණයට පත් කරනවා බලාගෙන ඉන්න අපට සැලැස්සුවා. එම අද්දැකීම් පුද්ගලයෙකුට සැබෑ බලපෑමක් ඇති කරනවා. මා සිටි බැරැක්කයේම සිටි උස, කඩවසම් සහෝදරයෙක් මට මෙහෙම කිව්වා: “මම මෙහෙ එන්න ඉස්සෙල්ලා, ලේ දැක්ක ගමන්ම මාව එතනම කලන්තේ දානවා. ඒත් දැන් මාව දැඩි වෙලා.” ඒත්, අප දැඩි වී සිටියත්, අපි අනුකම්පා නැති අය බවට පත් වුණේ නැහැ. මට කවදාවත් නපුරු අදහසක්වත්, අපට පීඩා කරන අය කෙරෙහි වෛරයේ හැඟීමක්වත් ඇති වුණේ නැති බව මම පැවසිය යුතුයි.

කොමාන්ඩෝ (සේවක කණ්ඩායමක්) සමඟ ටික කලකට වැඩ කිරීමෙන් පසුව, තද උණකින් පෙළීම නිසා මාව රෝහලට ඇතුළත් කරනු ලැබුවා. කරුණාවන්ත නෝර්වේ ජාතික වෛද්‍යවරයෙක් හා චෙකොස්ලෝවැකියානු සාත්තු සේවකයෙක් මට උපකාර කළ අතර, ඔවුන්ගේ කරුණාවන්තකම නිසයි සමහරවිට මගේ ජීවිතය රැකුණේ.

මරණය කැඳවන පෙළපාළිය

වර්ෂ 1945 අප්‍රියෙල්වලදී, ජර්මනිය යුද්ධයෙන් පරාජය වන බව පැහැදිලි වුණා. බටහිර මිත්‍ර හමුදා බටහිරෙන් ශීඝ්‍රයෙන් ඉදිරියට ඇදෙද්දී සෝවියට් හමුදා නැඟෙනහිරෙන් ඉදිරියට ඇදුණා. වධක ගාල් කඳවුරුවල සිටි සියදහස් ගණන මරාදමන්නත්, සලකුණක සේයාවක්වත් නොතබා දවස් කීපයක් ඇතුළත මෘත ශරීර ඉවත් කරන්නත් නාට්සීන්ට හැකිකමක් තිබුණේ නෑ. ඒ නිසා අසනීපකාරයන්ව මරාදමා අනිත් සිරකරුවන්ව ළඟම නැව්තොටවලට යවන්න ඔවුන් තීරණය කළා. ඔවුන්ගේ සැලැස්ම වුණේ එහිදී ඔවුන්ව නැව්වලට පටවා, නැව් මුහුදේ ගිල්වන්නයි.

සිරකරුවන් 26,000ක් පමණ අප්‍රියෙල් 20වෙනිදා රාත්‍රියේ සාක්සන්හව්සන් කඳවුරෙන් පිටව ගමන් කරන්න පටන්ගත්තා. අපි කඳවුරෙන් පිට වෙන්න කලින් අපේ අසනීප සහෝදරයන්ව ගිලන් හලෙන් බේරගත්තා. ඔවුන්ව ගෙන යෑමට රථයක් ලබාගත්තා. රටවල් හයකින් පැමිණ සිටි අපි ඔක්කොම 230දෙනෙක් සිටියා. අසනීප අය අතර නෙදර්ලන්තයේ වැඩය පුළුල් කිරීමට මහත් සේ දායක වූ සහෝදර ආටුර් වින්ක්ලර්ද සිටියා. සාක්ෂිකරුවන් වන අපි සිටියේ පෙළපාළියේ අන්තිමටයි; නොනැවතී ගමන් කිරීමට අපි නොකඩවාම එකිනෙකාට දිරි දුන්නා.

පටන්ගැන්මේදී, අපි එක දිගටම පැය 36ක් ඇවිද්දා. ඇවිදගෙන යද්දී අන්තයටම දුකට සහ වෙහෙසට පත්ව සිටි මාව ඇත්තෙන්ම නිදා වැටෙන්න වුණා. අවදානමක් ගන්න කෙනෙකුට ආරක්ෂක භටයන්ගෙන් වෙඩි පහර කන්න සිදු වෙන නිසා නැවතීමට හෝ විවේක ගැනීමට හැකිකමක් තිබුණේ නැහැ. රාත්‍රි කාලවලදී අපි එළිමහන් යායවල හෝ කැලෑවල නිදාගත්තා. ආහාර තිබුණේ නැති තරම්. බඩගින්න ඉවසගන්නම බැරි තැන, මම ස්වීඩන රතු කුරුස හමුදාවෙන් අපට දීලා තිබුණ දත්බෙහෙත් ලෙව කෑවා.

එක අවස්ථාවකදී, ජර්මන් ආරක්ෂක භටයන්ට රුසියානු හා එ.ජ. හමුදා සිටින තැන නිශ්චය කරගන්න බැරිව වියවුල්ව සිටි නිසා, දවස් හතරකට අපිට කැලෑවේ කඳවුරු බැඳගෙන ඉන්න සිද්ධ වුණා. ප්‍රතිඵලයක් වශයෙන්, අපව වතුර සහිත මිනීවළට ගෙන යෑමට තිබූ නැව්වලට නඟින්න නියමිතව තිබූ වෙලාවට ලූබෙක් බොක්කට එන්න බැරි වුණ නිසා එය භාග්‍යයක් වුණා. අන්තිමේදී, දවස් 12කට සහ කිලෝමීටර් 200ක විතර ගමනකට පස්සේ අපි ක්‍රිවිට්ස් වුඩ්වලට පැමිණුණා. මෙය පිහිටා තිබුණේ ලූබෙක්වල සිට කිලෝමීටර් 50ක පමණ ඈතින් පිහිටි ෂ්වැරින්වලින් වැඩි ඈතක නෙවෙයි.

සෝවියට් ජාතිකයන් අපේ දකුණෙන් සහ අමෙරිකන් ජාතිකයන් අපේ වමෙන් සිටියා. විශාල තුවක්කුවලින් පිට පිටම වෙඩි තියද්දී හා තොරතෝංචියක් නැතුව රයිෆල් තුවක්කුවලින් වෙඩි තබද්දී අපි දැනගත්තා අපි සටන් බිම ආසන්නයේ සිටින බව. ජර්මන් ආරක්ෂක භටයන් අන්ද මන්ද වුණා; සමහරු පලා දිව්වා; අනිත් අය හඳුනගන්නේ නැති වෙයි යන බලාපොරොත්තුවෙන් තමන්ගේ හමුදා නිල ඇඳුම් ගළවා, මියගිය සිරකරුවන්ගෙන් ගළවාගත් ඇඳුම් ඇඳගත්තා. වියවුල මැද සාක්ෂිකාර අපි මඟ පෙන්වීම පතා යාච්ඤා කිරීමට එක්රැස් වුණා.

ඊළඟ දින පාන්දරින්ම පිටත් වී එ.ජ. හමුදා ඉන්න දිශාවට අප යා යුතුයි කියා මෙහෙයවන සහෝදරයන් තීරණය කළා. මරණය කැඳවන පෙළපාළියේ ගමන් කළ සිරකරුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මියගොස් හෝ අතරමඟදී මරාදමා තිබුණත්, සාක්ෂිකරුවන් සියලුදෙනාම බේරුණා.

මගේ සහෝදරියක් විසූ නයිමේගන් නගරයට යමින් සිටි කැනේඩියානු හමුදා කාර්යමණ්ඩලයේ කෙනෙක් සමඟ මටත් එහි යන්න පුළුවන් වුණා. නමුත් මම එතැනට ගිය විට, ඇය පදිංචිය මාරු කර ඇති බව දැනගන්න ලැබුණා. ඒ නිසා මම රොටඩෑම් බලා ගමන් කරන්න පටන්ගත්තා. භාග්‍යයකට, පෞද්ගලික වාහනයක් අයිති තැනැත්තෙක් මාව ගෙනියන්න ඉදිරිපත් වුණ නිසා මගේ ගමනාන්තය කරා මට කෙළින්ම යන්න පුළුවන්කම ලැබුණා.

සත්‍යය මගේ ජීවිතය වී තිබෙනවා

රොටඩෑම්වලට ආව දවසේදීම මම නැවතත් පුරෝගාමී සේවය සඳහා ඉල්ලුම් කළා. සති තුනකට පස්සේ ස’ට්ෆ’න් නගරයේ මගේ පැවරුමෙහි මා නිරතව සිටි අතර, ඊළඟ අවුරුදු එකහමාර තුළ මා එහි සේවය කළා. ඒ කාලය අතරතුරේදී, මට යළිත් යම් දුරකට මගේ ශාරීරික ශක්තිය ලැබුණා. ඉන්පසු මාව චාරිකා අවේක්ෂකයෙක් හැටියට පත් කළා; එවකට ඔවුන්ව හැඳින්වූයේ සංචාරක දේවසේවකයන් ලෙසයි. මාස කීපයකට පස්සේ, මට නියූ යෝක්, සවුත් ලාන්සිංවල ගිලියද්හි මුරටැඹ බයිබල් පාසැලට ආරාධනයක් ලැබුණා. වර්ෂ 1949 පෙබරවාරියේදී එම පාසැලේ 12වන පංතියෙන් උපාධිය ලැබුවායින් පසු, මාව බෙල්ජියමට පත් කළා.

අවුරුදු අටකට ආසන්න කාලයක් ශාඛා කාර්යාලයේ හා දශක ගණනක් චාරිකා හා දිස්ත්‍රික් අවේක්ෂක හැටියට සංචාරක සේවයෙහි යෙදීම ඇතුළු විවිධ පැතිවලින් මම බෙල්ජියමේ සේවය කර තිබෙනවා. වර්ෂ 1958දී, මම ශ්‍යූෂන් සමඟ විවාහ වුණ අතර ඈ මගේ සංචාරක සහකාරිය බවට පත් වුණා. දැන්, සැඳෑ සමයට පා තබා සිටින මට, තවමත් උප සංචාරක අවේක්ෂකයෙක් හැටියට සීමිත සේවයක් කිරීමට හැකිකම ඇතුව සිටීමේ ප්‍රීතිය තිබෙනවා.

මගේ දේවසේවය දෙස මා හැරී බලද්දී, මට ඇත්තෙන්ම මෙහෙම කියන්න පුළුවන්: “සත්‍යයට වඩා හොඳ දෙයක් නැහැ.” ඇත්තටම, ඒක හැම තිස්සෙම පහසු වෙලා නැහැ. මගේ වැරදිවලින් හා අත්වැරදිවලින් ඉගෙනගැනීමේ අවශ්‍යතාව මම සොයාගෙන තිබෙනවා. මේ නිසා, මම යෞවන අය එක්ක කතා කරන කොට, බොහෝවිට ඔවුන්ට මෙහෙම කියනවා: “ඔයත් වැරදි කරයි; සමහරවිට බරපතළ පාප පවා කරන්න ඉඩ තියෙනවා; ඒ ගැන බොරු කියන්න එපා. ඔයාගේ දෙමාපියන් එක්ක නැත්නම් වැඩිමහල්ලෙක් එක්ක කාරණය කතා කරන්න; ඊට පස්සේ අවශ්‍ය නිවැරදි කිරීම් කරන්න.”

බෙල්ජියමේ මා පූර්ණ කාලීන දේවසේවකයෙක් වශයෙන් ගත කළ අවුරුදු 50ක තරම් කාලයකදී, කලක දරුවන් හැටියට මා දැන සිටි අය වැඩිමහල්ලන් සහ චාරිකා අවේක්ෂකයන් හැටියට සේවය කරනවා දැකීමේ වරප්‍රසාදය ලැබිලා තියෙනවා. ඒ වගේම රට තුළම, රාජ්‍ය ප්‍රචාරකයන් 1,700ක් හෝ එවැනි සංඛ්‍යාවක් 27,000කට වඩා සංඛ්‍යාවක් දක්වා වැඩි වෙනවා මම දැක්කා.

මම අහන්නේ, “යෙහෝවාට සේවය කරනවාට වඩා වැඩි ආශීර්වාද සහිත වෙනත් ජීවිත ක්‍රමයක් තියෙන්න පුළුවන්ද?” තිබුණෙත් නෑ; දැන් ඇත්තෙත් නෑ; කවදාවත් තියෙන්න යන්නෙත් නෑ. ඔහුට සදහටම සේවය කළ හැකිවීම සඳහා, මගේ බිරිඳටත් මටත් දිගටම ආරක්ෂාව හා ආශීර්වාදය දෙන්න කියා මම යෙහෝවාට යාච්ඤා කරනවා.

[26වන පිටුවේ පින්තූරය]

1958දී අපේ විවාහයෙන් කෙටි කලකට පසු මගේ බිරිඳ සමඟ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න