කටයුතු ඇබ්බැහිවීම් බවට පත්වන විට
ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ කටයුතුවලට ඇබ්බැහිවීම හරියට පොදු දුම්රිය මඟක එකම දිශාවකට ධාවනය වන දුම්රියවල් දෙකක් බඳුය.a දෙකටම එකම ගමනාන්තයන් හෝ අරමුණක් තිබේ: එනම් සිතේ ස්වභාවයන් වෙනස් කිරීමට සහ වේදනාකාරී හැඟීම් වසාලීමටය. කටයුතුවලට ඇබ්බැහිවීමේ උදාහරණ සමහරක් අපි දැන් සලකා බලමු.
රැකියාවට ඇබ්බැහිවීම
රැකියාවට ඇබ්බැහිවීම ගෞරවනීය ඇබ්බැහිවීම ලෙස හැඳින්වේ. මන්දයත්, රැකියාවට ඇබ්බැහි වූ අයවලුන් ඉතා හොඳ සේවකයන් වන බැවිනි. කෙසේවෙතත්, ඇතුළාන්තයෙන් ඔවුන්ට නොසෑහෙන බවක් හැඟිය හැක. රැකියාව වනාහි වේදනාකාරී හැඟීම්වලින් සිත වෙනතකට යොමු කිරීමට යමක් හෝ අනුමැතිය ලබා ගැනීම සඳහා වූ අත්නොහැරිය හැකි ලුහුබැඳීමක් විය හැක.
අයිස් මත තරණය කරන ක්‍රීඩකයෙක්ව ජලයේ ගිලීමෙන් වළක්වන්නේ එම අයිස් තට්ටුවයි; කටයුතුවල නිරත වීම රැකියාවට ඇබ්බැහි වූ පුද්ගලයාව හැඟීම්වල ගිලීමෙන් වළක්වයි. අයිස් මත තරණය කරන ක්‍රීඩකයෙකු මෙන්, රැකියාවට ඇබ්බැහි වූ පුද්ගලයාට චිත්තාකර්ෂණීය ප්‍රදර්ශනයක් විදහපාන්නට හැක. එහෙත් ඒ සියල්ල මතුපිට පෙනුම පමණි. බොහෝ විට යට සැඟවී තිබෙන්නේ කුමක්ද? මානසික-සෞඛ්‍ය උපදේශිකාවක් වන ලින්ඩා ටී. සැන්ෆර්ඩ් මෙසේ ලියයි: “රැකියාවට ඇබ්බැහි වූ පුද්ගලයා මුළුමනින්ම රැකියාවේ යොමු වී නොසිටින විට, තමා අධික සේ බියක් දක්වන, විෂාදය, කාන්සාව, කෝපය, බලාපොරොත්තු සුන්වීම සහ හිස් බවේ හැඟීම්වලින් ඔහු හෝ ඇය සම්පූර්ණයෙන්ම යටවී සිටිය හැක.”
රැකියාවට ඇබ්බැහි වූ බොහෝ දෙනෙකුගේ පැළපදියම්වූ බලකිරීමෙන් අඟවන්නේ එය දිගු-කාලීන ගුණාංගයක් වන බවය, ඇතැම්විට එය කෙනෙකු ඇති දැඩි කරනු ලැබූ කාලයේදී මුල්බැස තිබෙන්නට ඇත. අප මේරි යනුවෙන් හඳුන්වන්නට යන ස්ත්‍රියක් සම්බන්ධයෙන් මෙය සැබෑ විය. වයස අවුරුදු හය පටන් ආහාර පිසීම හා ගෙදරදොර වැඩ කිරීම මගින් මත්පැන්වලට ඇබ්බැහි වූ ඇගේ පියාගේ ප්‍රේමය දිනාගැනීමට ඈ මහත් පරිශ්‍රමයක් දරුවාය. “එය වැළැක්විය නොහැකි දෙයක් බවට පත් වුණා,” යනුවෙන් ඈ පවසයි. “මම වැඩියෙන් නැතහොත් වඩා හොඳින් කළොත්, ඔහු මට ප්‍රේම කරනු ඇතැයි මට හැඟුණා. ප්‍රතිඵලයක් වශයෙන් මට ලැබුණේ විවේචනය විතරයි.”
වැඩිහිටියෙකු වශයෙන් මේරි තවමත් මෙම වැරදිසහගත කල්පනා ක්‍රමය නිසා පීඩා විඳිමින් සිටියි. “මට තවමත් ඇතුළතින් නිෂ්ඵල බවක් හැඟෙයි,” යනුවෙන් ඈ අවංකව පිළිගනියි. “මට ප්‍රේමය උපයාගැනීමට අවශ්‍ය බව මට තවමත් හැඟෙයි, මා විසින් යමක් උපදවනවා නම් මිසක මගෙන් කිසි ඵලක් නැති බව මට හැඟෙනවා. එකමුතු හමුවලදී ආහාර පිසීමෙන් සහ සංග්‍රහ කිරීමෙන් මම මාවම වෙහෙසට පත් කරනවා, හරියට එහි සිටීමට මගේ අයිතිය උපයාගැනීමට මං වෙර දරනවා වගේ.”
මේරි වැනි අයට, වැඩ පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගැනීම අත්‍යවශ්‍ය වේ. වෙහෙසවී වැඩ කිරීමට බයිබලය දිරිගන්වන බව සැබෑවකි. (හිතෝපදේශ 6:6-8; 2 තෙසලෝනික 3:10, 12) යෙහෝවඃ දෙවියන්වහන්සේම ඵලදායක දෙවි කෙනෙකි. (ගීතාවලිය 104:24; යොහන් 5:17) එහෙත් උන්වහන්සේ වැඩට ඇබ්බැහිවී සිටින්නේ නැත. යෙහෝවඃවහන්සේ ස්වකීය මැවිල්ලේ කටයුතුවල යහපතක් දුටුවේ ඒවා මවා අවසන් වූ විට පමණක් නොව නමුත් මැවීමේ කාලයේදී පවා උන්වහන්සේට එසේ හැඟුණි.—උත්පත්ති 1:4, 12, 18, 21, 25, 31; සසඳන්න දේශනාකාරයා 5:18.
යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ප්‍රධාන කර්මාන්තකරුවාණන් හා පුත්‍රයාණන් වන යේසුස්වහන්සේද සමානාකාරයෙන් සිය වැඩකටයුතුවල පෞද්ගලික තෘප්තිය විදහපෙන්වූසේක. (හිතෝපදේශ 8:30, 31) යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට පොරොන්දු වූයේ උන්වහන්සේ සමඟ වැඩ කිරීමෙහි ඔවුන්ටද නැවුම් බවක් ලැබෙනු ඇති බවයි. උසස් ප්රමුඛත්වයක් ඇති පැවරුමක ඔවුහු හවුලේ සහභාගි වූහ. එහෙත් විවේක ගැනීමෙන් මෙය ඔවුන්ව වැළැක්වූයේ නැත.—මතෙව් 11:28-30; මාර්ක් 6:31; සසඳන්න දේශනාකාරයා 4:6.
ඇතැම්විට, ඔබගේ වටිනාකම රඳාපවතින්නේ ඔබ ඉටු කරන දේ මත බව, නැතහොත් ඔබ විසින් ප්‍රේමය උපයා ගනු ලබන තෙක් එය ඔබෙන් වළක්වනු ලබන බව මව්පියෙකු විසින් අඟවා තිබෙන්නට ඇති. මෙය දෙමව්පියන් දැක්විය යුතු සැලකිල්ල පිළිබඳව යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිය නොවන බව දැනගැනීම ඔබට සහනයක් වනු ඇත. උන්වහන්සේගේ වචනය මෙසේ උපදෙස් දෙයි: “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන [“අඩුකමක් නොදැනෙන,” දි ඇම්ප්ලිෆයිඩ් බයිබල්] පිණිස ඔවුන් කෝප නොකරල්ලා.” (කොලොස්සි 3:21) යෙහෝවඃවහන්සේ, ප්‍රේමය උපයා ගනු ලබන තෙක් එය නොදී වළක්වන කෙනෙකු නොවෙනසේක. උන්වහන්සේගේ ප්‍රේමය, යමෙකු උන්වහන්සේට ප්‍රේම කර සේවය කිරීමට පටන් ගැනීමෙන් පසුව පමණක් උන්වහන්සේ දානය කරන යමක් නොවෙයි. ඇත්ත වශයෙන් බයිබලය පවසන්නේ “උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේමකළ” බවයි, එසේය “අප පව්කාරයන්ව සිටියදී” පවා, අපට ප්‍රේම කිරීමෙහි දෙවියන්වහන්සේ මුලපිරූසේක. (1 යොහන් 4:19; රෝම 5:6-8) තවද යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීම සඳහා වූ අපගේ අවංක උත්සාහයන් උන්වහන්සේ විවේචනය කරන්නේද නැත. එබැවින්, අප උන්වහන්සේට පිරිනමන සේවය උන්වහන්සේ සඳහා වූ අපගේ ප්‍රේමයේ අව්‍යාජ ප්‍රකාශයක් වෙයි.
රූපවාහිනියට ඇබ්බැහිවීම
පමණට වඩා වැඩියෙන් රූපවාහිනිය නැරඹීම ඇබ්බැහිවීමක් යනුවෙන් ඇතැමෙක් හඳුන්වති. “මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලට සමානව, රූපවාහිනිය නැරඹීමේ අද්දැකීම, සැබෑ ලෝකය නොපෙනී යන්නටත් සතුටුදායක මෙන්ම ක්‍රියා විරහිත මානසික තත්ත්වයකට පිවිසීමටත් සහභාගි වන්නාට සලස්වයි,” යනුවෙන් ද ප්ලග්-ඉන් ඩ්‍රග් (පේනුවට දැමිය හැකි මත්ද්‍රව්‍ය) නමැති පොතේ මරී වින් ලියන්නීය.
තාවකාලිකව—ජීවිතයේ වගකීම්වලින් වෙනතකට යොමු කරනු ලැබීමෙහි කිසි වරදක් නැති බව සැබෑවකි. එහෙත් රූපවාහිනිය නරඹන ඇතැම් අය කවදාවත් යථාර්ථයට හැරී නොඑති. රූපවාහිනිය ක්‍රියා විරහිත වූ විට හිටි ගමන්ම එය නැරඹීමට නොහැකි තත්ත්වයකට පත් වූ එක් පුරුෂයෙක් මෙසේ ඒත්තුගත්තේය: “එම වසර ගණනාව පුරාම මගේ මනස සම්පූර්ණයෙන්ම අක්‍රියාශීලීව තිබුණා යයි මට හැඟෙනවා. මම ඒ යන්ත්‍රයට ඇලවිලා සිටියා, එයින් නිදහස් වෙන්නට මට කොහෙත්ම නොහැකි වුණා.” කයි නමැති තරුණයෙක් සමානාකාර බලවත් පෙලඹීමක් මෙසේ විස්තර කරයි: “මං රූපවාහිනිය නරඹන තරමට එය නැරඹීමට කැමති නැහැ, ඒත් මට එය වළක්වන්න බැහැ. රූපවාහිනිය නැරඹීමට මාව පොලඹවන්නේ රූපවාහිනියමයි.”
ප්‍රමාණය ඉක්මවා රූපවාහිනිය නැරඹීම, කල්පනා කිරීමේ හැකියාවට බාධාවකි. බයිබලය නිර්දේශ කරන්නේ එහි සඳහන් දෑ මෙනෙහි කිරීමෙන් යුක්තව ගැඹුරු ලෙස සලකා බැලීමටය. මේ සඳහා යම් දුරකට නිසංසල බවක් අවශ්‍ය කෙරේ. (යෝෂුවා 1:8; ගීතාවලිය 1:2, 3; 145:5; මතෙව් 14:23; ලූක් 4:42; 5:16; 1 තිමෝති 4:15) මෙසේ සිටීම බොහෝ දෙනෙකුට බිය උපදවන දෙයකි. නිශ්ශබ්දතාවෙන් වට වූ විට ඔවුන්ට අතිශය කලබල ස්වභාවයක් දැනෙයි. තමන්ගේම සිතුවිලි සමඟ තනි වීමට ඔවුහු බිය වෙත්. එම හිස්භාවය පිරවීමට ඔවුහු උමතුවෙන් මෙන් යමක් සොයති. රූපවාහිනිය ඉක්මන් පිළියමක් වෙයි. එහෙත් හොඳ දේවල් ඉදිරිපත් කරන විට පවා, රූපවාහිනිය සැබෑ ජීවිතය වෙනුවට ආදේශකයක් පමණි.
සූදුවට ඇබ්බැහිවීම
සූදුවේ නියැලීම මුල්බැස තිබෙන්නේ ගිජුකමෙහිය. එහෙත් සූදුවට ඇබ්බැහිවීම බොහෝ විට මුදල් සම්බන්ධ කාරණයකට වඩා වැඩි යමකි.b “යථාර්ථයෙන් ගැළවීමට අවශ්‍ය ප්‍රමුදිත ස්වභාවය මට අවශ්‍ය වුණා,” යනුවෙන් නයිජල් පවසයි. “එය හරියට මත්ද්‍රව්‍යක් ගැනීමට සමාන වුණා.” සූදුවට ඇබ්බැහි වූ පුද්ගලයාට, සූදුවේ නියැලීමේ ක්‍රියාවලියම බොහෝ විට විපාකදායක එකකි. එහි ඵලවිපාක වැදගත් නැත. නයිජල්ට ඔහුගේ මිත්‍රයන් අහිමි විය. තවත් සමහරුන්ට ඔවුන්ගේ පවුල් අහිමි වෙයි. බොහෝ දෙනෙකුට තමන්ගේ ශරීර සෞඛ්‍යය අහිමි වෙයි. එමෙන්ම සියලු දෙනාටම පාහේ තමන්ගේ මුදල් අහිමි වෙයි. එහෙත්, ජය හෝ පරාජය වැදගත් දෙය නොවන නිසා, බොහෝ දෙනෙක් එය නතර නොකරති. මානසික ස්වභාවය වෙනස් කර මත්ද්‍රව්‍යවලින් ලබා දෙන ප්‍රමුදිතභාවය ලබා දෙන්නේ සූදු කෙළීමය—එනම් එම ක්රියාවලියය.
සූදුවේ නියැලීම ජීවිතයේ ගැටලුවලින් සිත වෙනතකට යොමු කිරීමක් විය හැකි නමුත්, එම ගැටලු නැතිවී යෑමට එමගින් සැලැස්විය නොහැක. බරපතළ ලෙස තුවාල වූ මිනිසෙකුට වේදනා නාශකයකට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. ඔහුගේ තුවාලවලට සත්කාර කළ යුතුය. කෙනෙකු සූදුවේ නියැලීමට මඟ පෑදුවා වූ තුවාල තිබේ නම්, ඔහු ඒවා හඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කළ යුතුය. මෙයට ධෛර්යය අවශ්‍ය වේ, එහෙත් අවසානයේදී එය විපාකදායක වේ.
ග්රහණයෙන් මිදෙන්න
ඕනෑම ඇබ්බැහිවීමක ග්රහණයෙන් මිදීමට නම්, බොහෝ විට ඇබ්බැහිවීමකට හේතු වූ අභ්‍යන්තර වේදනාව, නොසලකා හැරිය නොහැකි දෙයකි. එම ගැටලුව සමඟ ඇබ්බැහිවූ තැනැත්තා කටයුතු කළ යුත්තේ එහි මූලාරම්භයත් සමඟය. මෙය අභියෝගයකි. “වසර 30කට මත්ද්‍රව්‍යවලටත් මත්පැන්වලටත් ඇබ්බැහිවීමෙන් පසුව ඉන් පහසුවෙන් ගැළවීමට ඔබට නොහැක, ඔබගේ ඇබ්බැහිවීම ගැඹුරට මුල්බැසගත් ගැටලුවක් වසාලමින් තිබුණා නම් විශේෂයෙන් ඔබට එසේ කළ නොහැක,” යයි කලින් ඇබ්බැහි වූවෙකුව සිටි පුද්ගලයෙක් සඳහන් කරයි.
එහෙත්, ඇබ්බැහිවීමෙන් නිදහස් වීමට දරන වෑයම හොඳින් වටී. කලින් සඳහන් වූ, වැඩට ඇබ්බැහි වූ මේරි, එය යෝග්‍ය පරිදි මෙලෙස විස්තර කරයි: “වසර ගණනාවකට මං මුහුණ දීමට බිය වූ දේවලින් ඈත් වෙමින් සිටියා. එහෙත් දැන් මං ඒ දේවලට මුහුණ දී තිබෙන නිසා, ඒවා කොතරම් සුළු ඒවා බවට පත් වී තිබෙනවාද යන්න පුදුමයක්.”
මෙය වනාහි ඇබ්බැහිවීමෙන් සාර්ථක ලෙස ජයගෙන තිබෙන බොහෝ දෙනෙකුගේ අද්දැකීම වී තිබේ. නොකඩවාම “විනාශකාරී පුරුදුවල දාසයන්” වීම වෙනුවට, ඇබ්බැහිවීමකින් ජයගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා “සාමාන්‍යය ඉක්මවූ බලය” ඉල්ලා ඔවුන් යාච්ඤා කර තිබේ.—2 පේතෘස් 2:19, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්; 2 කොරින්ති 4:7, NW. g94 4/22
[පාදසටහන්වල]
a ඇබ්බැහිවීමක් යයි හැඳින්විය හැකි සහ නොහැකි දේවල් සම්බන්ධයෙන් බොහෝ මතභේද පවතී. ඇතැමෙක් ඇබ්බැහිවීමේ කටයුතු “බලකිරීම්” යනුවෙන් හැඳින්වීමට කැමති වෙති. මෙම ලිපිවල චිත්ත වේගීය උග්‍ර අවස්ථාවලින් “ගැළවීමට මාර්ගයන්” වශයෙන් ඇබ්බැහිවීම්වල කාර්ය භාරය අප විසින් පරීක්ෂා කර තිබේ. සමාන අරමුණක් උදෙසා විවිධ කටයුතුද භාවිතා කළ හැකි බැවින්, අපි මෙහිදී ඒවාට “ඇබ්බැහිවීම්” වශයෙන් යොමු දක්වමු.
b රැකියාව සහ රූපවාහිනිය නැරඹීමට හාත්පසින්ම වෙනස්ව, සූදුවේ නියැලීමේ සියලු ආකාරවලින් ක්‍රිස්තියානීහු සම්පූර්ණයෙන්ම වැළකී සිටිති. (යෙසායා 65:11 සසඳන්න.) වැඩි තොරතුරු සඳහා, 1992 නොවැම්බර් 8 පිබිදෙව්! පිටු 3-11 බලන්න.
[9 පිටුවෙහි හුවා දැක්වීම]
‘ඇබ්බැහිවීම් යන යෙදුම සියලු ආකාර නොවැළැක්විය හැකි හැසිරීම්වලට අදාළ කළ හැකිය.’—ආචාර්ය ජේ. පැට්රික් ගැනන්.
[10 පිටුවෙහි ඇති පින්තූරය]
රැකියාවට ඇබ්බැහි වූවෙකුට, පවුලට වඩා රැකියාව වැදගත් යයි පෙනේ
[10 පිටුවෙහි ඇති පින්තූරය]
සූදුවට මානසික ස්වභාවය වෙනස් කර මත්ද්‍රව්‍යවලින් ඇතිකරවන ප්‍රමුදිත බලපෑමට සමාන හැඟීමක් ඇති කිරීමට හැක