යෞවනයන් අසති . . .
අපගේ පදිංචියේ වෙනස්වීම සමඟ හැඩගැසීමට මට හැක්කේ කෙසේද?
ඔබේ පවුලේ අය මෑතකදී පදිංචිය වෙනස් කර ඇත්ද? එසේනම් මෙතරම් පීඩාකාරි—නැතහොත් අධිකසේ වෙහෙසකාරි වන්නේ ජීවිතයේ අද්දැකීම් ස්වල්පයක් බවට ඔබ එකඟ වනවා විය හැක. තවද අන්තිම බඩු පෙට්ටිය විවෘත කිරීමෙන් පසුව මෙන්ම, අවසාන ගෘහ භාණ්ඩය නියම ස්ථානයේ තැබීමෙන් පසුව, ඔබට තවදුරටත් විෂාදය, කනගාටුව හෝ කාන්සාව දැනෙන්නට පුළුවන. ඔබේ නව නිවස හෝ කාමරය උසස් තත්ත්වයේ තිබුණත් නැතහොත් අධෛර්යය කරවමින් ඔබේ පෙර වාසස්ථානයට වඩා පහත් තත්ත්වයේ තිබුණත්, එය එතරම් ප්‍රශ්නයක් නොවේ. ඔබට තවදුරටත් ඔබේ පරණ නිවස, ඔබේ පරණ පාසැල සහ විශේෂයෙන්ම ඔබේ පරණ මිතුරන් නැතිවීම දැනේ.
සැබවින්ම, කෙනෙකුගේ පරණ නිවස ගැන පුල පුලා සිතා බැලීම ස්වාභාවික දෙයක් පමණි. එහෙත් බයිබලය මෙසේ අවවාද කරයි: “පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න; මක්නිසාද නුඹ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ.” (දේශනාකාරයා 7:10) දේවල් දෙස යථාර්ථවාදී දෘෂ්ටියකින් බැලීමට ප්‍රඥාව ඔබට උපකාර කරයි. ඇත්තෙන්ම, ඔබේ පෙර නිවසේ ‘දවස්’ සැබවින්ම පරිපූර්ණව—සමහරවිට ඊට කිට්ටුවෙන්වත්—තිබුණේ නැතිවා විය හැක. ඊට බොහෝ සෙයින් වෙනස්ව පදිංචිය වෙනස් කිරීමෙන් ඔබේ ජීවිතය විනාශ වෙනවාට වඩා, එය ඔබට නව ප්‍රස්තාවන් සහ වාසි ඉදිරිපත් කළ හැක. එය එසේ වුවත්, පදිංචියේ වෙනස්වීමට හැඩගැසීම පහසු දෙයක් නොවේ. එසේනම්, ඔබට එසේ කිරීමට උපකාර කළ හැක්කේ කුමකටද?
නිවසේ පහසුගන්න
පැරණි ගීතයක තිබූ මෙම වචනවල බොහෝ සත්‍යයක් ඇත: “මගේ තොප්පිය එල්ලිය හැකි (මට පහසු ගතහැකි) ඕනෑම තැනක් මට මගේ සුන්දර නිවසයි.” එසේය, ඔබ අත්හැර පැමිණි ස්ථාන ගැන කරදර වෙමින් සිටිනවාට වඩා, ඔබේ නව ස්ථානය නිවසක් කරගැනීමට කටයුතු නොකරන්නේ මන්ද? ද ටීන්ඒජර්’ස් සර්වයිවල් ගයිඩ් ටු මූවිං මෙසේ යෝජනා කරයි: “ඔබ පදිංචිය වෙනස් කළ වහාම, ඔබේ අලුත් කාමරය පහසුදායක හා හුරුපුරුදු එකක් කරගැනීමට වෑයම් කරන්න.” උදාහරණයක් වශයෙන්, ඔබට ඔබේ කාමරය හුරුපුරුදු බඩුවලින් හා පින්තූරවලින් සරසාගත හැකිය. ඔබ සහෝදරයෙකු හෝ සහෝදරියක සමඟ කාමරයක් හවුලේ භාවිතා කරන්නෙහි නම්, එය හවුල් ව්‍යාපාරයක් කරගැනීමට වෑයම් කරන්න.
බයිබල් කාලවලදී ගීතිකාකාරයෙක් දෙවියන්වහන්සේගේ ජනයාට දිරිගැන්වූයේ සිය අග නගරය ගැන සිහිපත් කරන්නට කියාය, ඔහු මෙසේ පැවසීය: “සියොන් වට ඇවිදිව්, එහි හාත්පස යව්. එහි බලකොටු ගණන්කරව්; . . . එහි මාලිගා සෝදිසිකරව්.” (ගීතාවලිය 48:12, 13) එයාකාරයෙන්ම, ඔබේ අසල්වාසී ප්‍රදේශය හඳුනාගන්න. කඩසාප්පු, ඔබේ නව පාසැල, ප්‍රාදේශීය පුස්තකාලය සහ පිහිටා ඇති වෙනත් පහසුකම් කොතැනදැයි සොයා දැනගන්න. මෙය ඔබට, වඩා වැඩි පහසුබවක් හැඟීමට උපකාර කරයි.
ඔබේ පැරණි නිවසේදී, ඊට ආවේනික වූ දින චර්යාවක් හෝ දේවල් කිරීමේ ක්‍රමයක් ඔබට තිබුණු බවට නිසැකය. එම පැරණි දින චර්යාවේ යෙදීමට ඔබ ඉක්මන් වන තරමටම ඔබට වැඩි පහසු බවක් දැනේ. විශේෂයෙන්ම ක්‍රිස්තියානි රැස්වීම් සහ බයිබල් පාඩම වැනි ආත්මික කාරණා ගැන සලකා බලන විට ඔබ “යම් ස්වභාවකට පැමිණ සි[ටී]ද, ඒ ප්‍රකාරයට හැසි[රිය]” යුතුය.—පිලිප්පි 3:16.
පාසැල් කාලය
නව පාසැලකට අනුව හැඩගැසීමම අභියෝගයකි, පාසැල් වර්ෂයක මැද භාගයේදී ඔබ පදිංචිය වෙනස් කළෙහි නම් ඊටත් වඩා අභියෝගයකි. සමහර රටවල පාසැල් අධ්‍යයන පරිපාටිය සැලසුම් කෙරෙන්නේ ඒ ඒ ප්‍රදේශයට අනුකූලව වන අතර, ඔබේ පැරණි පාසැලෙහි අධ්‍යයන පාඨමාලාවට වඩා එය සම්පූර්ණයෙන්ම වෙනස්විය හැකිය. ඔබේ නව පාසැලේ ශිෂ්‍යයන්ට වඩා ඔබ සැලකිය යුතු අන්දමකින් පහළින් සිටින බව ඔබට දැනිය හැක; ඔබට සමහර විට පහළ පංතියකට යෑමට පවා සිදුවිය හැක.
මේ අවස්ථාවේදී මෙය ලජ්ජාවට පත්වීමක් වශයෙන් පවා පෙනිය හැකි වුවත්, අධෛර්ය නොවන්න; අධ්‍යාපනික පහත බැසීම පදිංචිය වෙනස් කිරීමේ සාමාන්‍ය අතුරු ඵලයකි. ඇරත්, ඔබේ ප්‍රදේශයේ පාසැල්වල සම්මත කරන ලද අධ්‍යයන පරිපාටියක් තිබිය හැකි වුවත්, පදිංචිය වෙනස් කිරීමේදී අධික වෙහෙස ඇතිවීම සහ විවිධ අයට, තත්ත්වයන්ට හා සිරිත්විරිත්වලට හැඩගැසීම මෙන්ම, අලුත් නම් රාශියක් මතක තබාගැනීමට වෑයම් කිරීමේ පීඩනය—යන මේ සියල්ල ඔබේ අවධානය යොමු කිරීමේ බලය විඩාවට පත් කිරීමට එකතු විය හැක. විසඳුම? ඔබේ ගෙදරවැඩ සඳහා අමතර කාලයක් දීමට හා රූපවාහිනියට විවේකයක් දීමට වෑයම් කරන්න. කල් යත්ම ඔබේ අධ්‍යාපනික වැඩ කටයුතු දියුණු වන බව පෙනිය හැක.
අලුත් මිතුරන් ඇති කරගැනීම
“[හැඩගැසීම සඳහා] සැබවින්ම ප්‍රධාන දෙය වූයේ නව මිතුරන් ඇති කරගැනීම,” යයි පදිංචිය වෙනස්කොට, එක්සත් ජනපදයේ දකුණු පළාතට පවුලේ අය සමඟ ගිය බ්‍රයන් නමැති යෞවනයෙක් පවසයි. “මගේ අදහස්වලට බෙහෙවින් ගැළපෙන මගේ වයසේ මිතුරන් කීපදෙනෙක් සම්බ වුණායින් පසුව, අනිත් සියල්ල පහසු වුණා. මට තවමත් ඇත්තෙන්ම අඩුව දැනෙන්නේ මගේ පරණ නිවාස ප්‍රදේශයේ අයිස් හොකී සෙල්ලම් කිරීමයි.” යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වශයෙන්, බ්‍රයන් ඥානවන්ත ලෙස මිතුරන් තෝරාගත්තේ ප්‍රදේශයේ රාජ්‍යය ශාලාවට පැමිණෙන දේව-බියැති යෞවනයන් අතරෙනි. ඔබටත් එලෙසම පුද්ගලයෙකු වශයෙන් ඔබ ගැන සැබවින්ම සැලකිලිමත්වන උසස් සදාචාර ප්‍රමිති ඇති, මිතුරන් වුවමනා නම්, සොයා බැලීමට හොඳම ස්ථානය ඔබේ පළාතේ රාජ්‍යය ශාලාවය.—හිතෝපදේශ 13:20.
සැබවින්ම, කනස්සල්ලෙන් සිටීමෙන් හෝ ඔබවම හුදකලා කරගැනීමෙන් ඔබ කිසිදා මිතුරන් ඇති කරගන්නේ නැත. (හිතෝපදේශ 18:1 සසඳන්න.) “මා අලුත් මිතුරන් සාදාගත්තේ මගේ කොටස කිරීමෙන් හා මාවම හඳුන්වා දීමෙනි. ඒකාන්ත ආකල්පයක් තබාගැනීමෙන්—එනම් නිකම් මෘදු සිනාවක් පෑමෙන් හා සතුටෙන් බැලීමෙන්—අන්‍යයන් තමා වෙත පැමිණ ඔවුන්ව හඳුන්වා දෙන බවද මා සොයාගෙන තිබෙනවා,” යයි ඇනීටා පවසන්නීය. එසේය, ඔබ අන්‍යයන්ට යම් ප්‍රසන්න දෙයක්—එනම් මිත්‍රශීලී මෘදු සිනාවක් හා ප්‍රීතිමත් චරිත ස්වභාවයක් ඉදිරිපත් කරනවා නම් ඔවුන් ඔබ වෙත ඇදී එනු ඇත! තවද ඉවසිලිවන්ත වන්න. මිත්‍රත්වය ගොඩනැගීමට කාලයක් ගතවේ.
ඔබ යන්නට අපේක්ෂා කරන නව නිවස බලනු වස්, පදිංචිය වෙනස් කිරීමට පෙර එහි යෑමෙන්, සමහරවිට ඔබට මිත්‍රත්වයන් ගොඩනගා ගැනීම සඳහා මුලපිරිය හැක. දහතුන්-හැවිරිදි ලෝරා මෙසේ පවසන්නීය: “අප ළඟදීම පදිංචිය වෙනස් කිරීමට යන බව මා පළමුවෙන්ම දැනගත් විට ඇත්තෙන්ම මා සිත්තැවුලට පත්වුණා. එහෙත් අප ජීවත්වීමට යන තැන සිටින සමහර ළමුන්ව හඳුනාගැනීමට මට කාලයක් ගත කිරීමට හැකි වූ අතර, පදිංචිය වෙනස් කිරීම ගැන වඩා හොඳ හැඟීමක් ඇති කරගැනීමට එය සැබවින්ම මට උපකාරවත් වුණා.”
යහපතට විරුද්ධව අයහපත් මිත්‍රත්වයන්
ඔබේ නව නගරයේ යෞවනයන් අතර යහපත් ආශ්‍රය සොයාගත හැක්කේ අල්ප වශයෙන් යයි ඔබ පවසන්නෙහිද? එසේනම් ඔබේ මිත්‍රත්ව ඇති කිරීම සම්බන්ධයෙන් ‘පුළුල් වන්න.’ (2 කොරින්ති 6:11-13) ඒ මන්දයත් බයිබලයේ වාර්තා වී ඇති වඩාත් උණුසුම් මිත්‍රත්ව තිබූ අයට සැලකිය යුතු වයස පරතරයක් තිබුණු බැවිනි—එනම් දාවිත් සහ යොනාතාන්, පාවුල් සහ තිමෝති වැනි අයය. (1 සාමුවෙල් 18:1; 1 කොරින්ති 4:17) එබැවින් ඔබේ මිත්‍රත්වයන් සමවයසේ අයට සීමා කරන්නේ මන්ද? ඔබට සැබවින්ම ප්‍රීතිමත් ආශ්‍රයක් භුක්තිවිඳිය හැකි, වයසින් වැඩි අය ක්‍රිස්තියානි සභාවෙහි සිටිති.
පාපන්දු ක්‍රීඩාවකදී ඔබ සමඟ හරි හරියට ක්‍රීඩා කරන්නට එවැනි අයට නොහැකි බව සැබෑය. ඔබේ ප්‍රියතම සංගීතයට සවන් දීමට ඔවුන් නොපෙලඹෙනවා වෙන්නත් පුළුවනි. එහෙත්, වර්ධනය ගෙනදෙන මිත්‍රත්වයක් ඇතිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට ඔවුන්ට මහත් දේ ඇත. මිතුරෙකු ඇති කරගැනීමට හොඳම ආකාරය ඔබ මිතුරෙකු වීම බැවින්, වයසින් වැඩි මෙවැනි අයෙකුට යම් උපකාරයක් කිරීමට ඉදිරිපත්වීමෙන් ඔබට පටන්ගත හැක. එසේ නැතහොත් බැහැදැකීමක් කරනවාට කැමැතිදැයි ඔබ හුදෙක් නොවිමසන්නේ මන්ද? තෘප්තිමත් මිත්‍රත්වයක් වර්ධනය විය හැක.
අනෙක් අතට, ඔබේ කාමරයේ ඔබ තනිවම සිටිනවා නම් හා ඔබ ගැනම කනගාටුවෙන් සිටිනවා නම්, ඔබ පහසුවෙන්ම හුදකලා වීමට හා විෂාදයට පත්වන්නට පුළුවනි. මෙය ඔබව වැරදි ආකාරයේ මිතුරන්ගේ ඉදිරිපත් වීම්වලට ගොදුරු විය හැකි තත්ත්වයකට පත්කළ හැක. උදාහරණයක් වශයෙන්, යෞවන කල්ලි, බොහෝ ප්‍රදේශයන්හි බරපතළ ගැටලුවකි. ඔවුහු හුදකලාවූ යෞවනයන් සඳහා මිත්‍රත්වයේ හා තමන්ට අයතිබවේ හැඟීමක් දීමට පොරොන්දු වෙති. එහෙත් බයිබල් කාලයේදී මෙන්ම, එවැනි යෞවන අය, “එන්න අපි, . . . විනෝදයට නිදොස් අයෙකුට පහර දෙමු,” යයි පවසමින් ඔබව වැරදි දෙයෙහි හවුල් කරගැනීමටද වෑයම් කළ හැක. එහෙත් ඥානවන්ත සාලමොන් රජ මෙසේ අනතුරු ඇඟවූයේය: “පුත්‍රය, එවන් ජනයා සමඟ නොයන්න; ඔවුන්ගෙන් ඈත් වන්න. ඔවුහු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති;”—හිතෝපදේශ 1:10-16, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්.a
අන්‍යයන් වෙත අවධානය යොමු කරන්න
හුදකලාවීමෙන් ඔබේ මනස ඉවත් කරගැනීමට එක් ස්ථිර මාර්ගයක් වනාහි අන්‍යයන්ව ධෛර්ය කිරීමට—විශේෂයෙන්ම ඔබේම පවුලේ සාමාජිකයන්ව ධෛර්ය කිරීමට—විමසිලිමත් වීමය. “පදිංචිය වෙනස් කිරීම දෙමව්පියන්ටත් පහසු කාර්යයක් නොවේ,” යයි කරන්ට් හෙල්ත් සඟරාව සිහිගන්වයි, “එමෙන්ම ඔවුන්ට ලබාගත හැකි සියලුම සහාය ඔවුන්ට ප්‍රයෝජනවත් විය හැකියි.” අම්මා හෝ තාත්තා යන දෙදෙනාම නව රැකියාවලට හැඩගැසෙමින් සිටිනවා විය හැක. නව නිවස හෝ නිවාස කාමරය පැරණි එක මෙන්ම පහසු හෝ ප්‍රසන්න නොවන්නට පුළුවනි. තවද ඔබට සහෝදර සහෝදරියන් සිටී නම්, සමහර විට ඔවුන්ට ඔවුන්ගේම හුදකලාභාවයේ හැඟීම් හා අධෛර්යයට පත්වීම් තිබෙනවා විය හැක. උපකාර කිරීමට ඔබට කළ හැක්කේ කුමක්දැයි සොයා නොබලන්නේ මන්ද? ඔබට ගෙදරදොරේ කළ හැකි අමතර යම් දේවල් තිබේදැයි ඔබේ දෙමව්පියන්ගෙන් විමසන්න. ඔබේ බාල සහෝදර සහෝදරියන් හුදකලාවී සිටින බවක් පෙනේ නම්, ඔවුන් සමඟ යම් කාලයක් ගත කිරීමට ඉදිරිපත් වන්න. ප්‍රේමය ලබන අයට හා එය පෙන්වන අයට “ප්‍රේමය වැඩ සිද්ධ [ගෙඩනැංවීමක්, NW ]” කරන බව මතක තබාගන්න.—1 කොරින්ති 8:1.
එසේනම්, අවසාන විග්‍රහය වශයෙන්, ඔබ ඔබේ නව නිවසට කැමැතිද, අකැමැතිද යන්න බොහෝ දුරට රඳා පවතිනු ඇත්තේ ඔබම මතය. අමුත්තන්ගෙන් පිරි මෝටර් රථ දෙකක් ඥානවන්ත මහලු මිනිසෙකු වෙත පැමිණීමේ කතන්දරය අපට සිහිගැන්වේ. “අප මෙහි පදිංචියට ඒමට අදහස් කරනවා,” යයි පළමු මෝටර් රථයේ සිටි පවුල පැවසීය. “මෙහෙ ඉන්නේ මොන වගේ අයද?” මහලු මිනිසා මෙසේ පිළිතුරු දුන්නේය: “ඔබ ඉන්න පැත්තේ මිනිස්සු කොයි වගේද?” පවුල මෙසේ පිළිතුරු දුණි: “අපි පැමිණෙන්නේ ඉතා මිත්‍රශීලී අය සිටින නගරයකිනුයි. ඔවුන් ත්‍යාගශීලී, කරුණාවන්ත මෙන්ම අමුත්තන් කෙරෙහි සැබෑ උනන්දුවක් දක්වන අයයි.” මහලු මිනිසා මෘදු සිනහවක් පෑවේය. “මා හිතන්නේ ඔයගොල්ලන් මෙහෙට කැමති වෙයි,” කිය, ඔහු පැවසීය. “මෙහෙ මිනිස්සු ඒ වාගේම අයයි.”
දෙවන රථයේ සිටි පවුලෙන්ද මහලු මිනිසා එම ප්‍රශ්නයම විමසීය. ඔවුහු මෙසේ පිළිතුරු දුන්හ: “අප පැමිණෙන්නේ නපුරු කුඩා නගරයකින්. එහෙ ඉන්නේ කම්මැලි, හැම දේටම ඇඟිලි ගහන, පුළුවන් තරම් ඕපාදූප කියන අයයි.” මහලු මිනිසා ඇහිබැම අකුලා ගත්තේය. “ඔබට මෙහි සතුටෙන් සිටිය හැකි වෙයි කියා මා සිතන්නේ නෑ,” යයි ඔහු පැවසුවේය. “මෙහෙ ඉන්නෙත් ඒ වගේම මිනිස්සු.”
කතන්දරයේ හරය? සෑම තැනකම වෙසෙන ජනයා බොහෝ දුරට එක සමානය. එමෙන්ම ඔබ ඔවුන්ගේ ආශ්‍රය භුක්තිවිඳිනවාද නැතහොත් පිළිකුල් කරනවාද යන්න රඳා පවතින්නේ බොහෝ දුරට ඔබේම ආකල්ප, ඒත්තුගැනීම් හා අන්‍යයන් සමඟ කටයුතු කරන ආකාරයන් මතය. එබැවින් ඒකාන්ත ආකල්පයක් තබාගන්න! ඔබේ පදිංචිය වෙනස් කිරීම හැකි තරම් ඵලදායී එකක් කරගැනීමට ඔබේ මනස සකසා ගන්න. කිසිවිටකත් දේවල් එක සමානවම තිබෙන්නට යන්නේ නැත. එහෙත් වැඩ කටයුතු සහ ඉවසීම සමඟින්, ඔබට දේවල් පෙරට වඩා යහපත් කරගත හැකිය. ඔබ සැබවින්ම ඔබට ප්‍රේම කරන අය සමඟ සිටින තාක් කල්, ඕනෑම තැනක් සැබවින්ම ඔබේ නිවස විය හැක. g94 3/8
[පාදසටහන්වල]
a 1991 ජූනි 8 එවේක්! කලාපයේ “යෞවන අය අසති . . . ෂුඩ් අයි ජොයින් ඒ ගෑං?” යන ලිපිය බලන්න.
[25 පිටුවෙහි ඇති පින්තූරය]
නව මිතුරන් සාදාගැනීමට මුලපුරන්න