ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 7/8 20 පි.
  • ප්‍රධාන වාණිජ්‍ය නගර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රධාන වාණිජ්‍ය නගර
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වඩා බලවත් නැව් කණ්ඩායමක්
  • නවකයෙකු විසින් පරාජය කිරීම
  • “බිත්තියෙන් පමණක් වෙන් වී සිටින ජනකාය”
  • “සමස්ත-ලෝක තැන්පත් සුරක්ෂිතාගාරයක්”
  • දිදුලන තරුවක් වෙනවාට වඩා වටිනා දෙයක්!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සියලු නගරවල සංචාරයක්”
    1994 පිබිදෙව්!
  • යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව හා සැලකිල්ල ලබමින්
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ අවංක ආසාවට යෙහෝවා දෙවියන් ආශීර්වාද කළා
    යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා
1994 පිබිදෙව්!
g94 7/8 20 පි.

ප්‍රධාන වාණිජ්‍ය නගර

පුරාණ බබිලෝනිය “වෙළඳුන්ගේ නුවර” යනුවෙන් බයිබලයේ හඳුන්වනු ලැබීය. (එසකියෙල් 17:​4, 12) පුරාණයේ තීර් යනුවෙන් හඳුන්වනු ලැබූ අදදින බීරුට් (ලෙබනන්) සහ හායිෆා (ඉශ්‍රායලය) අතර මධ්‍යධරණී මුහුදේ පිහිටි වරායක් ඇති සූර් නගරයටද එම යෙදුම යෝග්‍ය වන්නට ඇත.

එක් මූලාශ්‍රයකට අනුව, තීර් නගරය “පො.යු. 2000 සිට පමණ ප්‍රධාන ෆිනීසියානු වරායක් විය.” පොදු යුගයට පෙර 1467දී පමණ ඉශ්‍රායෙල් ජාතිකයෝ පොරොන්දු දේශය යටත් කරගත් කාලය වන විට, තීර් නගරය ප්‍රධාන මුහුදු බලයක් විය. එහි නැවියෝ සහ වාණිජ්‍යමය නැව් කණ්ඩායම්, දුර ඈත පෙදෙස්වලට යාත්‍රා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූහ.—1 රාජාවලිය 10:​11, 22.

වඩා බලවත් නැව් කණ්ඩායමක්

“පාලනය කරව් බ්‍රිටැනියා, මුහුද පාලනය කරව්,” යනුවෙන් 18වන ශතවර්ෂයේ ස්කොට් ජාතික කවියෙකු වූ ජේම්ස් ටොම්සන් ලීවේ, මෙතෙක් පැවතුණා වූ විශාලතම වාණිජ්‍යමය යෝධයෙකු බවට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පත් කිරීමට උපකාර කළා වූ නැව් කණ්ඩායම පිළිබඳවය. “බලවත් නාවුක හමුදාව නිසා බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් යටත් කරගැනීමට හැකියාවක් නොමැතිකම, ඇගේ රාජකීය වස්තුවල ආරක්ෂාව මෙන්ම ලොව වටා වූ ඇගේ වෙළෙඳ කටයුතුවල සාමකාමී සංවර්ධනය සහතික විය.”—ද කේම්බ්‍රිජ් හිස්ටොරිකල් එන්සයික්ලොපීඩියා ඔෆ් ග්‍රේට් බ්‍රිටන් ඇන්ඩ් අයර්ලන්ඩ්.

බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යය ව්‍යාප්ත වෙත්ම, එහි ව්‍යාපාර කටයුතු සමස්ත ලෝක පරිමාණ අත්කර ගත්තේය. වර්ෂ 1625 සහ 1783 අතර, එහි ආනයනය 400ක ප්‍රතිශතයක් දක්වා වැඩි වූ අතර, අපනයනය 300ක ප්‍රතිශතයකට වඩා වැඩි විය. වර්ෂ 1870 වන විට, ලෝකයේ නිෂ්පාදිත භාණ්ඩවලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය කර්මාන්ත ශාලා මගින් නිෂ්පාදනය වෙමින් පැවතුණි. පැහැදිලිසේ ජාත්‍යන්තර වෙළෙඳාම පාලනය කළ රන් පවුම නිසා, ලන්ඩන් නගරය ලෝකයේ සමකළ නොහැකි මූල්‍යමය මධ්‍යස්ථානය බවට පත්විය.

අදදින විවිධ ජනයාහට ලන්ඩන් නගරය විවිධ අර්ථයක් ලබා දෙයි. සංගීතයට ප්‍රිය කරන්නෝ කොවන්ට් ගාර්ඩන් ඔපෙරාව හෝ රෝයල් ෆෙස්ටිවල් ශාලාව ගැන කල්පනා කරති, වෙම්බ්ලි සහ විම්බල්ඩන් ගැන ක්‍රීඩා ලෝලීහු කල්පනා කරති, චිත්‍රපටි නැරඹීමට ප්‍රිය කරන්නෝ වෙස්ට් එන්ඩ් නමැති අධික චිත්‍රපටි ශාලා ඇති ප්‍රදේශය ගැන කල්පනා කරත්. නවීන මෝස්තර අනුගමනය කරන්නෝ සැවල් රෝ නැතහොත් කානබි වීදිය වැනි නිම වූ ඇඳුම් ලබා ගත හැකි ප්‍රදේශ ගැන කල්පනා කරති, ඉතිහාස ශිෂ්‍යයෝ ලන්ඩනයේ ටැඹ සහ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ගැන කල්පනා කරන අතර, සංදර්ශනයට ප්‍රිය කරන්නෝ—ඕපාදූප සහ නින්දිත කථා ඇතුළුව—පාර්ලිමේන්තු සභාව සහ බකිංහම් මාලිගාව ගැන කල්පනා කළ හැකිය.

කෙසේවෙතත්, සංචාරකයන් ආකර්ෂණය කරන්නාවූ මෙම ස්ථානවලින් එකක්වත් ලන්ඩන් නගරය තුළම පිහිටා නොතිබීම පරස්පරවිරෝධීතාවකි. නගරය යනුවෙන් පමණක් හඳුන්වනු ලබන, සැබෑ ලන්ඩන් නගරය, උප නගර දුසිම් ගණනකින් සමන්විත, අග නගර ප්‍රදේශයක වාණිජ්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියා කරයි. වර්ග සැතපුම ලෙස හඳුන්වන ලන්ඩන් නගරය තුළ එංගලන්ත බැංකුව දැකගැනීමට හැකිය, එය ත්‍රෙඩ් නීඩල් වීදියේ මැහැල්ල වශයෙන් ආදරේට හඳුන්වනු ලැබේ. වර්ෂ 1694දී පාර්ලිමේන්තුව මගින් නිකුත් කරන ලද නියෝගයක් මගින් එය සංස්ථාපිත කරනු ලැබූ අතර, ලෝකයේ වඩාත්ම පැරණි මහ බැංකු අතර එකක් වෙයි. මෙම බලවත් ආයතන රජයට බැංකුකරුවන් වශයෙන් ක්‍රියාත්මක වෙයි, වාණිජ්‍ය බැංකුවල කටයුතු පාලනය කරයි, එමෙන්ම මුදල් සැපයුම හා ණය මුදල් පාලනය කිරීම නිසා බොහෝ විට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට බලවත් බලපෑමක් ඇති කරයි. තවද ව්‍යාපාර පොළ සහ ජාත්‍යන්තර රක්ෂණ ප්‍රාරක්ෂකයෝ වන ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන්ද එම නගරය තුළ සොයාගත හැකිය.

එහි නිදහස් ජීවන-රටාව නිසා, ස්විඥිං (විනෝදයට ප්‍රිය) ලන්ඩන් නගරය යනුවෙන් 1960 ගණන්වල හඳුන්වනු ලැබූ එම නගරය, කෙසේවෙතත්, වසර 2,000ක පමණ පැවැත්ම තුළ ශෝකාන්විත සිද්ධීන්ද අද්දැක ඇත. වර්ෂ 1665දී මහ වසංගතය—එනම් මහමාරිය නමැති වසංගතය—1,00,000ක් පමණ මරුමුවට පත් කළේය, තවද වසරකට පසුව හටගත් මහ ගින්නක් මගින් නගරයම මකා දමනු ලැබුවා තරම්ය. වඩාත් මෑතකදී, IIවන ලෝක යුද්ධ සමයේදී ජර්මානු බෝම්බ ප්‍රහාරක ගුවන් යානා මගින් හෙලනු ලැබූ බෝම්බ නිසා ලන්ඩන්හි වැසියන් 30,000ක් පමණ මරුමුවට පත් කරනු ලැබූ අතර, එහි නිවාසවලින් සියයට 80ක් පමණ විනාශ විය, නැතිනම් හානි කරන ලදි.

නවකයෙකු විසින් පරාජය කිරීම

ලන්ඩන් සමඟ සන්සන්දනය කිරීමේදී, ලන්දේසි පදිංචිකරුවන් විසින් 1624දී පිහිටුවනු ලැබ නිව් ඇම්ස්ටර්ඩෑම් යනුවෙන් නම් කරනු ලැබූ, නිව් යෝර්ක් නගරය නවකයෙකු පමණි. එසේ වුවත් අද එය ලෝකයේ වඩා විශාලතම මෙන්ම, කඩිසර වරායන්ගෙන් එකකි; කාර්මික, වෙළෙඳාම් මෙන්ම මූල්‍යමය මධ්‍යස්ථානයකි; තවද ලෝකයේ විශාලතම බැංකු සහ මූල්‍යමය ආයතන පිහිටා ඇති ස්ථානයද වෙයි. වාණිජ්‍යමය මධ්‍යස්ථානයක් වශයෙන්, එය ඇම්ස්ටර්ඩෑම් සහ ලන්ඩන් නගරයට වඩා කැපී පෙනෙන්නකි. ත්‍රස්තවාදී බෝම්බයක් හේතුවෙන් 1993දී සොලවනු ලැබූ, නිව් යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙක, මෙම ඉහළ තත්ත්වය දැක්වීම සඳහා හරියට සංකේතයක් මෙන්, තවමත් අහස දක්වා තට්ටු 110ක් උසට තම හිස් ආඩම්බරයෙන් ඔසවාගෙන සිටියි.

එක්සත් ජනපදය හා සමානවන්නාසේම, එම රටේ විශාලතම නගරය වන නිව් යෝර්ක්ද විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රණයකින් යුක්තය. වර්ෂ 1886 පටන් එහි වරායේ පිහිටා ඇති නිදහසේ ප්‍රතිමාව සංක්‍රමිකයන්ව නිදහස සහ සමාන ප්‍රස්තා පොරොන්දු කරන ලෝකයකට කැඳවා තිබේ.

නිව් යෝර්ක්හි වීදි සමහරක් ඒවායේ නම්වලට වඩා වැඩි යමක් අදහස් කරයි. නිදසුනක් වශයෙන්, බ්‍රෝඩ්වේ නෘත්‍ය ශාලාව විනෝදාස්වාදය සඳහා සංකේතයකි, එහි මුළු ලෝකයේම බලපෑමට පැතිර යන ප්‍රමිති නියම කරනු ලබන අතර, නොයෙක් නැඹුරුවාවන් එහි ඇරඹේ. තවද වෝල් ස්ට්‍රීට් සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? වර්ෂ 1792දී නිව් යෝර්ක් ව්‍යාපාර පොළ සකස් කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා බටන්වුඩ් ගසක් යට තැරැව්කරුවෝ 24දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එහි එක්රැස් වූහ. නිලමය වශයෙන් 1817දී සකස් කරන ලද, සුරැකුම්පත් සඳහා දැන් ලෝකයේ විශාලතම වෙළෙඳ ස්ථානය වන ව්‍යාපාර පොළ, අදදින පොදුවේ හඳුන්වනු ලබන්නේ වෝල් ස්ට්‍රීට් වශයෙන් පමණි.

බ්‍රෝඩ්වේ මගින් සිත පුබුදුවන විනෝදාස්වාදය ඉදිරිපත් කෙරේ, එසේ වුවත් සැබෑ චමත්කාරජනක සිදුවීම් සඳහා වෝල් ස්ට්‍රීට් ඉක්මවීමට එයට නොහැකිය. වර්ෂ 1987 ඔක්තෝබර් මාසයේදී, ඉතිහාසයේ මුල්වරට වෝල් ස්ට්‍රීට් ඉතා ඉක්මනින් පහළටම වැටී ගිය අවස්ථාවේදී, ලොව වටා ඇති අන් සියලුම ඉහළ පෙළේ ව්‍යාපාර වස්තු වෙළෙඳ පොළවල් 22ම සාමානාකාරයකින් පහත වැටුණි. වාර්තාකරුවෙක් මෙසේ ලීවේය: “ටෝකියෝව, හොංකොං, ලන්ඩන්, පැරිස්, සූරික් යන කලින් විවෘත වන වෙළෙඳ පොළවල්වල මිල මට්ටම් තැතිගන්වන ලෙස පහත බසින බවට වූ” ප්‍රවෘත්තිවලින් පෝෂණය ලැබීම හේතුවෙන් “අන්තරායක් ඇතිවේයයි යන හැඟීමක්” සැම තැන පැතිර ගියේය.

වෝල් ස්ට්‍රීට් අස්ථිරයි, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අස්ථිරයි-—මෙය වාණිජ්‍ය ලෝකයට පෙරනිමිත්තක් වශයෙන් කුමක් ඉදිරිපත් කරයිද?

“බිත්තියෙන් පමණක් වෙන් වී සිටින ජනකාය”

හොං කොංවලට කොතරම් ජනගහන ඝනත්වයක් තිබේද කිවහොත්, එය වරක් යෝග්‍ය ලෙසින් බිත්තියෙන් පමණක් වෙන් වී සිටින ජනකාය යනුවෙන් විස්තර කරනු ලැබීය. මං ගොක් දිස්ත්‍රික්කයේ වර්ග සැතපුම් එකකට 3,62,000ක ජන සංඛ්‍යාවක් වාසය කරති! විශාල ගොඩබිම් ප්‍රමාණයක් මුහුදෙන් පිළිසකසාගෙන තිබෙන නමුත්, තවම ජනගනයෙන් සියයට එකක් පමණ සැබවින් ජලය මත ජීවත් වෙත්! පොදු යුගයට පෙර, දෙවන සහස්‍ර වර්ෂයේදී, උතුරු චීනයෙන් පැමිණ එහි කුඩා ධීවර ගම්මානයක් පිහිටුවා ගත්, ඔවුන්ගේ ධීවර මුතුන්මිත්තන් කළාක් මෙන්, ඩාන්ගා යනුවෙන් දේශීය වශයෙන් හඳුන්වනු ලබන මෙම ජන පිරිස බෝට්ටු මත ජීවත් වෙති.

දහනවවන ශතවර්ෂයේ මැද භාගයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ පැමිණි අතර, එක්වරම හොං කොංහි වැදගත් මෙන්ම ව්‍යාපාර අතින් බලාපොරොත්තු උපදවන පිහිටීම හඳුනා ගත්හ. එයට තිබූ විශිෂ්ට වරායට නැගෙනහිරින්ද බටහිරින්ද පිවිසිය හැකි විය, තවද එය පිහිටා තිබුණේ යුරෝපයත් ඈත පෙරදිගත් අතර තිබූ වෙළෙඳ මාර්ග ඔස්සේය. අබින් යුද්ධ දෙකේ ප්‍රතිඵලයක් වශයෙන් (1839-42 සහ 1856-60), බ්‍රිතාන්‍යවරුන්ට හොං කොං දූපත සහ කෞලූන් අර්ධද්වීපයේ කොටස් පාවාදීමට චීනය බල කරනු ලැබූ අතර එමගින් මේවා බ්‍රිතාන්‍ය ජනාවාසයක් බවට පත්විය. වර්ෂ 1898දී සම්පූර්ණ ප්‍රදේශය ඇතුළු, උතුරු පැත්තට වූ අලුත් ප්‍රදේශද බ්‍රිතාන්‍යයට වසර 99කට බද්දට දෙනු ලැබුවේය. වර්ෂ 1997දී, බද්ද අවසන් වන විට, හොං කොං නැවතත් චීනයට අයත් වනු ඇත.

“විශාලත්වය අතින් ලෝකයේ තුන්වන මූල්‍යමය මධ්‍යස්ථානය සහ විශාලත්වය අතින් එකොළොස්වන වෙළෙඳ ආර්ථිකය” යනුවෙන් නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව හඳුන්වන නගරයකට අදාළ වන පරිදි, හොං කොං සිත යොමු කර තිබෙන්නේ මුදල් උපයා ගැනීමටත් වියදම් කිරීමටත්ය. “ඔබට සමෘද්ධියෙන් ආශීර්වාද ලැබේවා” යන්න නව චන්ද්‍ර වසර උත්සව සඳහා වූ සාමාන්‍ය ආචාර කිරීමයි. තවද පෙනෙනාකාරයට එහි බොහෝ වැසියන් ඊට සමාන ආකාරයකින් ආශීර්වාද ලැබ ඇති අතර, “පොළොවේ වෙනත් කිසිම තැනකට වඩා හොං කොංවල එක් පුද්ගලයෙකු පානය කරන කොන්යැක් ප්‍රමාණය වැඩි බවත්, සෑම අක්කරයකටම රෝල්ස් රොයිස් සුඛෝපභෝගි රථ වැඩි ප්‍රමාණයක් ඇති බවත් ආඩම්බරයක් දරන නගරය” යනුවෙනුත් එම සඟරාවේ සඳහන් වීමට මෙමඟින් හැකි වී ඇත.

දෙවන ලෝක යුද්ධ සමයේදී, හොං කොංහිදී වාණිජ්‍යය අතිශයින් දුර්වල කරනු ලැබූ විටත්, ආහාර අඩුව තිබූ විටත් අභ්‍යන්තර චීනයට එතරම් බොහෝ වැසියන් පලා ගිය නිසාත් ජනගහනය තිබූ ප්‍රමාණයට වඩා අඩකට පමණ පහත බැසගිය කාලයේදී මෙම සමෘද්ධිය ගැන කල් ඇතිව කිව නොහැකිව තිබුණි. යුද්ධයෙන් පසුව, එම නගරය ඉහළ යෑමට පටන් ගත් අතර මෙම ඉහළ යෑම හේතුවෙන් එය ආසියාතික ආර්ථික සුපිරි බලවේගයක් බවට පත්වූයේය. ශ්‍රමය හා අමු ද්‍රව්‍ය සාපේක්ෂ වශයෙන් අඩු මිලකට ලබා ගත හැකි වීමෙන් වියදම් පහළ මට්ටමක තැබීමට හැකි නිසා එහි නිෂ්පාදන ලෝක වෙළෙඳ පොළේ හොඳින් විකිණේ. වර්ෂ 1992දී එහි අපනයන ප්‍රමාණය 1971දී තිබුණාටත් වඩා 45ස් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබුණි.

වර්ෂ 1997දී හොං කොං නැවතත් චීනයට අයිති වන විට වාණිජ්‍යමය, දේශපාලනමය සහ සමාජීය ප්‍රතිවිපාක කුමක් වනු ඇත්ද? ඇතැම් පුරවැසියන් සහ ව්‍යාපාර නොසන්සුන් තත්ත්වයක පවතින නිසා ස්ථාන මාරු කොට ඇත. තවත් සමහරුන් නැවතී සිටින නමුත්, ඔවුන් දැනටමත් වඩා ආරක්ෂාකාරි යයි ඔවුන්ට හැඟෙන ස්ථානයක ඔවුන්ගේ මුදල් සඟවා තබන්නට ඇත.

“සමස්ත-ලෝක තැන්පත් සුරක්ෂිතාගාරයක්”

දාහත්වන ශතවර්ෂයේදී, ස්විට්සර්ලන්තය දේශපාලනික මධ්‍යස්ථභාවයේ ප්‍රතිපත්තියක් පිහිටුවා ගත්තේය, එනම් එයට හැමවිටම සාර්ථකව පවත්වා ගැනීමට නොහැකි වූ ප්‍රතිපත්තියකි. කෙසේවෙතත්, එහි තැන්පත් කරනු ලබන මුදල්, සාපේක්ෂ වශයෙන් ආරක්ෂා සහිත යයි සලකනු ලැබේ. තවද ස්විස් බැංකු ක්‍රමයෙන් සම්පූර්ණ රහසිගතභාවයද ඉදිරිපත් කෙරේ. එබැවින්—ඕනෑම හේතුවක් උඩ—තමන්ගේ වස්තු සඟවා තබාගැනීමට කැමැත්තක් දක්වන අයට, සම්පූර්ණයෙන්ම පාහේ නිර්නාමිකව සිටීමට හැකි වේ.

මෙම මුදල් කාරණාවලට ප්‍රධාන තැන ගන්නේ සූරික් නගරයයි. අග නගරයේ 8,30,000කට වඩා වැඩි ජනගහනයක් ඇති එය, ස්විට්සර්ලන්තයේ විශාලතම නගරයයි. යුරෝපීය වෙළෙඳ ගමන් මාර්ග සම්බන්ධයෙන් එහි වැදගත් පිහිටීම ශතවර්ෂ ගණනාවකට එයට ප්‍රයෝජන ගෙනදී ඇත, එමෙන්ම අදදින නවීන ලෝක මූල්‍යමය කටයුතු සම්බන්ධව එය පෙරමුණෙහි සිටියි. ඇත්තවශයෙන්, විශාරද හර්බර්ට් කියුබ්ලි සූරික්හි ප්‍රධාන මාධ්‍යය හඳුන්වන්නේ “මහාද්වීපික යුරෝපයේ තැන්පත් කිරීමේ මධ්‍යස්ථානය සහ සමස්ත-ලෝක තැන්පත් සුරක්ෂිතාගාරයක්” ලෙසිනි.

ආගමික කටයුතු සම්බන්ධයෙන්ද සූරික් ප්‍රසිද්ධියක් ලබා ඇත. හුල්ඩ්‍රිච් ස්විංලි යන නාමය දරන කතෝලික දේවගැතිවරයෙක් 1519දී එහි අනුශාසනා මාලාවක් දේශනා කළ අතර එය නගරයේ කතෝලික රදගුරු සමඟ මතභේදයක් ඇති කිරීමට මඟ පෑදිය. ඉන්පසුව 1523දී විවාද පවත්වනු ලැබූ අතර, ස්විංලි ඒවායින් ජය ලැබුවේය. ස්විට්සර්ලන්තයේ රෙපරමාදු ප්‍රතිසංස්කරණය වඩා බලවත් වෙත්ම, වෙනත් ස්විස් ජාතික නගරවල් ස්විංලිගේ පැත්ත ගනිමින් ඔහු සැදූ රෙපරමාදු ආගම වෙනුවෙන් කථා කිරීමට පටන් ගත්හ.

සූරික්ගේ වඩා මෑත “පුත්‍රයෙකු” වූයේ, ඉතිහාසයේ වඩාත්ම උතුම් විද්‍යාත්මක බුද්ධිමතුන්ගෙන් කෙනෙකු වශයෙන් සලකනු ලැබූ ඇල්බර්ට් අයින්ස්ටයින්ය. ජර්මනියේ උපන් නමුත්, අයින්ස්ටයින් භෞතික විද්‍යාව සහ ගණිතය සූරික්හිදී හැදෑරුවේය. වර්ෂ 1905දී ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවාදයක් සඳහා සූරික් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ආචාර්ය පදවිය දිනාගැනීමට පවා සමත් වීමට ඔහුට හැකි විය. ඔහු ඉෂ්ට කරගත් දේ, විද්‍යාත්මක විශිෂ්ටත්වය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයට තිබෙන දීර්ඝ සම්ප්‍රදායට අනුකූල වේ, මීට සූරික්වල දායකත්වය ඉමහත්ය. එහි තාක්ෂණය පිළිබඳ පෙඩරාල් ආයතනය මගින් ලෝකයේ ඇති වෙනත් ඕනෑම විද්‍යාත්මක පාසලකට වඩා නොබෙල් ත්‍යාග ලාභීන් වැඩි පිරිසක් බිහිකර තිබේ.

සූරික් නගරයට බොහෝ ධනය තිබුණත්, විශාල ආගමික සහ විද්‍යාත්මක උරුමයක් තිබෙන නමුත්, එය ගැටලුවලින් නිදහස් නැත. පසුගිය මැයි මාසයේදී දි යෝරපියන් නමැති පුවත්පතෙහි එම නගරය පිළිබඳව අප්‍රසන්න චිත්‍රයක් මවා දක්වන ලදි. “එක් කලක මත්ද්‍රව්‍ය වෙළෙඳුන් සඳහා ජාත්‍යන්තර ආකර්ෂණයක්ව තිබූ නගරයේ නීඩල් (ඉඳිකටු) උද්‍යානය නමැති අපකීර්තිමත් උද්‍යානය” දැන් වසා තිබෙන නමුත්, මත්ද්‍රව්‍ය දර්ශනය ක්‍රයිස් 5 නමැති ප්‍රදේශයකට හුදෙක් මාරු වී තිබෙන බව එහි සඳහන් විය. මෙම ප්‍රදේශය, “ස්විට්සර්ලන්තය සඟවන්නට අධික ආශාවක් දක්වන දේවල් පිළිබිඹු කරයි—එනම් විරැකියාව, නිවාස නොමැතිකම, මත්පැන්වලට ඇබ්බැහි වීම, බලාපොරොත්තු සුන් ස්වභාවයක්, නිවාස ගැටලු සහ සියල්ලටම වඩා, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය නියෝජනය කරන” බව එම වාර්තාව සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සම්බන්ධ ගැටලුව සූරික් නගරය නිව් යෝර්ක් සහ හොං කොං සමඟ සම්බන්ධ කරන බවට වූ කාරණය පරස්පර විරෝධතාවකි. ඇතැම්විට නිව් යෝක් නගරය තුළට හොරෙන් ගෙනෙනු ලබන හෙරොයින්වලින් සියයට 80ක් පමණ උතුරු මියන්මාර්, තායිලන්තය සහ ලාඔස් සම්බන්ධවන රන්වන් ත්‍රිකෝණය නමැති ප්‍රදේශයෙන් ලැබෙනවා විය හැකිය, මෙහිදී ත්‍රිකයන් යනුවෙන් හඳුන්වනු ලබන රහසිගත හොං කොං සංවිධාන හොර මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීමෙහි අතිශයින් සම්බන්ධ වී සිටිති.a එමනිසා නිව් යෝර්ක්හි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයට විකුණනු ලබන හෙරෝයින් මගින් හොං කොංහි ත්‍රිකයන් උපයාගන්නා ඩොලර් බොහොමයක් සූරික්හි බැංකු ගිණුම්වල සඟවා තබනු ලැබේ.

ලන්ඩන්, සූරික්, හොං කොං සහ නිව් යෝර්ක් නගරය මගින් යෝග්‍ය ලෙස නියෝජනය කරනු ලබන, වාණිජ්‍යයේ ප්‍රධාන නගර, පුරාතන තීර්ට සමාන බොහෝ දේවල් සතුව සිටිත්. අන්අයගේ පාඩුවෙන් සමෘද්ධිමත් වෙමින්, ආත්ම අභිමානය සහ උඩඟුකමින් පෝෂණය වූ තීර්හි වාණිජ්‍යමය සාර්ථකත්වය අවසානයේදී විපත්තියට මඟ පෑදිය.

අදදිනයේ වාණිජ්‍යමය මධ්‍යස්ථාන ඊට වඩා සාර්ථක වනු ඇත්ද? ඒවායේ අත්තිවාරම වඩා යහපත් එකක්ද? අපගේ ඊළඟ කොටසේ සාකච්ඡා කරනු ලබන්ට යන නගරවලට වඩා ඒවා යහපත් නොවන්නට යන බව සාධකවලින් පැහැදිලි වේ. g94 2/22

[පාදසටහන්වල]

a ත්‍රිකය යන නාමය ඔවුන්ගේ පුරෝගාමින්ගෙන් කෙනෙකු විසින් භාවිතා කරන ලද, ස්වර්ගය, පෘථිවිය සහ මිනිසා අතර තිබෙන ඒකත්වය ඇඟවීමට භාවිතා කරන ලද ත්‍රිකෝණයකට යොමු දක්වයි. චීන රහස් සංවිධාන වසර 2,000කට පැවත ඇත; නවීන ඒවා 17වන ශතවර්ෂයේ සිට පැවත ඇත. ආරම්භයේදී ස්වභාවයෙන් දේශපාලනික වූ නමුත් දැන් මේවා අපරාධ කල්ලි වෙත්. ඒවා “සමස්ත ලෝක සාමාජිකයන් 1,00,000ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් පාලනය කරන” බව කියනු ලබන අතර, හොං කොංහි පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු මෙසේ පැවසූ බව ටයිම් සඟරාව උපුටා දක්වයි: “සංවිධානය කරන ලද අපරාධවලට තෝතැනි සපයන්නේ ත්‍රිකයන්වලිනි.”

[20 පිටුවෙහි ඇති පින්තූරය]

හොං කොං

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න