යුද ගිනි දිගින් දිගටම ඇවිළෙන්නේ ඇයි?
යුද්ධ, ප්රචණ්ඩකාරී දේවල් ඇති වෙලා තියෙන්නේ ඇයි කියලත් ඒවා නවත්තන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියලත් බයිබලේ කියනවා.
පව්කාරකම
දෙවියන් අපේ මුල් දෙමාපියන් වුණ ආදම්වයි, ඒවවයි නිර්මාණය කළේ ඔහුට සමානකම් තියෙන අය විදිහට. (උත්පත්ති 1:27) ඒ කියන්නේ එයාලට ලේසියෙන්ම ආදරේ, සමාදානය වගේ දෙවියන්ට තියෙන ගුණාංග පෙන්නන්න පුළුවන්කම තිබුණා. (1 කොරින්ති 14:33; 1 යොහන් 4:8) ඒත් ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වෙලා පව් කළා. ඒ නිසා ඒ දෙන්නාගෙන් පැවතෙන අපි හැමෝටම පව්කාරකම සහ මරණය උරුම වුණා. (රෝම 5:12) උරුම වෙච්ච පාපය නිසා අපේ හිතේ දරුණු සිතුවිලි ඇති වෙන්න පුළුවන්. අද ගොඩක් අය ගහමරාගන්නේ, යුද්ධ කරන්නේ ඒ නිසයි.—උත්පත්ති 6:5; මාක් 7:21, 22.
ලෝකේ ආණ්ඩු
මිනිස්සුන්ට මිනිස්සුන්වම පාලනය කරන්න හැකියාව නැහැ. මොකද දෙවියන් අපිව නිර්මාණය කරද්දී අපිට ඒ හැකියාව දුන්නේ නැහැ. බයිබලේ කියන්නේ “තමන් යන්න ඕනෙ මාර්ගය මොකක්ද කියලා තීරණය කරන්න මිනිසෙක්ට අයිතියක් නැහැ” කියලයි. (යෙරෙමියා 10:23) යුද ගැටුම් සම්පූර්ණයෙන්ම නවත්තන්න පාලකයන්ට බැරි වෙලා තියෙන්නේ ඒ නිසයි.
සාතන් සහ භූතයන්
බයිබලේ කියනවා “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට අහු වෙලා” කියලා. (1 යොහන් 5:19, පාදසටහන) ඒ දුෂ්ටයාව සාතන් විදිහටත් යක්ෂයා විදිහටත් හඳුන්වලා තියෙනවා. එයා මිනීමරුවෙක් කියලත් බයිබලේ කියනවා. (යොහන් 8:44) සාතනුයි, එයාගේ පැත්තේ ඉන්න භූතයනුයි මිනිස්සු පිටිපස්සේ ඉඳන් ප්රචණ්ඩකාරී, දරුණු දේවල් කරන්න එයාලව පොලඹවනවා.—එළිදරව් 12:9, 12.
යුද ගැටුම්වලට මුල් වෙලා තියෙන දේවල් නැති කරන්න මිනිස්සුන්ට බැහැ. ඒත් දෙවියන්ට ඒක කරන්න පුළුවන්.