යුද ගැටුම්වලින් බේරෙන්න කාටවත් බැහැ
“දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ වෙන කවදාකටත් වඩා මේ කාලේ දරුණු යුද ගැටුම් දකින්න තියෙනවා. බිලියන 2ක් විතර, ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් විතර ජීවත් වෙන්නේ යුද ගැටුම් තියෙන පැතිවල.”
එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම් අමීනා ජේ. මොහොමඩ්, 2023 ජනවාරි 26.
ලෝකේ ගැටුම් නැති පැතිවලත් එකපාරටම ආරවුල්, යුද්ධ ඇති වෙන්න පුළුවන්. අනික දැන් දැන් මුළු ලෝකෙම හරියට එක ගම්මානයක් වගේ නිසා එක රටක වෙන දේවල් අනිත් රටවල්වලටත් බලපානවා. ඉතින් එක රටක යුද්ධයක් ඇති වුණාම ඒක යුද්ධ නැති රටවල්වලටත් තදින්ම බලපානවා. යුද්ධයක් ඉවර වෙලා කාලයක් ගියාට පස්සෙත් ඒකෙන් වෙන හානිය දිගටම තියෙනවා. උදාහරණ කීපයක් බලන්න.
කෑම හිඟය. ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවකට අනුව, “අද ගොඩක් අයගේ බඩගින්නට හේතුව ලෝකේ පවතින යුද ගැටුම්. කෑම නැතුව බඩගින්නේ ඉන්න අයගෙන් සීයට 70ක්ම ජීවත් වෙන්නේ යුද්ධ සහ ප්‍රචණ්ඩකාරී දේවල් සිද්ධ වෙන රටවලයි.”
ආබාධ සහ මානසික ගැටලු. යුද්ධයක් ඇති වෙයි කියන බය නිසා ගොඩක් අය ඉන්නේ ලොකු පීඩනයකින්, කනස්සල්ලකින්. සටන් තියෙන ප්‍රදේශවල ඉන්න අයට ආබාධ සහ මානසික ලෙඩ ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒත් වෛද්‍ය උපකාර අඩුවෙන්ම ලැබෙන්නෙත් ඒ අයටමයි.
අවතැන් වෙන එක. 2023 සැප්තැම්බර් වෙද්දී ලෝකේ පුරාම ඉන්න මිලියන 114කට වඩා වැඩි පිරිසකට ගෙවල් දොරවල් අත්හැරලා යන්න වෙලා තියෙනවා කියලා සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කියනවා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි යුද්ධ සහ දරුණු කෝලහල.
ආර්ථිකය කඩා වැටෙන එක. සාමාන්‍යයෙන් රටක් යුද්දෙකට පැටලුණාම ඒකේ ආණ්ඩුව කරන්නේ සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය වගේ දේවල්වලට යොදවන මුදල් යුද මෙහෙයුම්වලට යොදවන එකයි. එතකොට ගොඩක් වෙලාවට ජීවන වියදම වැඩි වෙලා ආර්ථිකය කඩන් වැටෙනවා. යුද්දෙකින් පස්සෙත් ආයෙත් රටක් ගොඩනඟන්න සෑහෙන මුදලක් යට කරන්න වෙනවා.
පරිසරයට වෙන හානිය. යුද්ධ කාලවලදී දකින්න ලැබෙන දෙයක් තමයි මිනිස්සු හිතාමතාම පරිසරය නැති නාස්ති කරලා දාන එක. ඒකෙන් වතුර, වාතය, පස් දූෂණය වෙනවා. අන්තිමට ඒ පැතිවල ඉන්න අයටම තමයි ඒකෙන් හානියක් වෙන්නේ. ජීවිත කාලෙටම බලපාන ලෙඩ රෝගත් එයාලට හැදෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, යුද්ධයක් අවසන් වෙලා අවුරුදු ගාණකට පස්සෙත් කීදෙනෙක් නම් බිම් බෝම්බවලට අහු වෙලා තියෙනවාද!
යුද්ධ නිසා කොයි තරම් පැතිවලින් හානියක් වෙනවාද!