දෙවියන් වහන්සේගේ රාජ්‍යය බොහෝ දෙනෙකුට අදහස් කරන දෙය
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බොහෝ විට දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන කථා කළ සේක. මේ සම්බන්ධයෙන් ඉතිහාසඥ එච්. ජී. වෙල්ස් මෙසේ ලීවේ ය: “යේසුස් වහන්සේ විසින් ස්වර්ග රාජ්‍යය යයි හැඳින්වූ දෙය සම්බන්ධ ඉගැන්වීමට උන් වහන්සේ විසින් දෙන ලද මහත් ප්‍රමුඛත්වය සමඟ ක්‍රිස්තියානි පල්ලිවල ඉගැන්වීම් හා වත්පිළිවෙත් ඒ සම්බන්ධයෙන් දී ඇති සන්සන්දනාත්මක නොවැදගත්කම දෙස බලන විට එය පුදුම සහගත ය. යේසුස් වහන්සේගේ මූලික ඉගැන්වීම ව තිබූණා වූ ද, ක්‍රිස්තියානි නිකායන් තුළ මෙතරම් සුළු කොටසක් ඉටු කරන්නා වූ ද, ස්වර්ග රාජ්‍යය සම්බන්ධ මෙම මූල ධර්මය, සහතික ව ම මෙතෙක් මිනිස් සිතිවිලි පෙලඹ වූ හා වෙනස් කළ වඩාත් විපර්යාසාත්මක මූලධර්මයන්ගෙන් එකකි.”
දෙවියන් වහන්සේගේ රාජ්‍යය සම්බන්ධයෙන් පල්ලිවලට මෙතරම් සුළු ප්‍රමාණයක් පැවසීමට ඇත්තේ මන්ද? රාජ්‍යය සම්බන්ධයෙන් අවිනිශ්චිත භාවයක් තිබීම එක් හේතුවක් විය හැකි ය. ඒ සම්බන්ධයෙන් දරනු ලැබ ඇත්තේ කිනම් දෘෂ්ටීන් ද?
රාජ්‍යය සම්බන්ධයෙන් කල්පනා කර ඇති ආකාරය
ඇතැමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය කතෝලික සභාව සමඟ එකට සම්බන්ධ යයි සලකා සිටිත්. බිෂොප්වරුන් පො.යු. 325වන වසරේ නීසියා කවුන්සලයේ දී කොන්ස්ටන්ටයින් අධිරාජයා සිය ප්‍රධානියා ලෙස පිළිගත් පසු, පල්ලිය දේශපාලනය හා සම්බන්ධ වූ අතර රාජ්‍යය දැනටමත් පැමිණ තිබේ යයි ජනයා හට පවසන ලදි. ඔගස්ටීන්ගේ (පො.යු. 354-430) දේව ධර්ම ශාස්ත්‍රය අනුව “පල්ලිය පිහිටු වීමත් සමඟ දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙලොවේ පටන් ගෙන” ඇති අතර “පල්ලියේ සක්‍රමේන්තුවල එය දැනටමත් දක්නට ලැබේ.” යයි එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා පැහැදිලි කරයි.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය මිනිස් ආයාසයන්ගේ විපාකයක් ලෙස බොහෝ අය කල්පනා කරති. “ප්‍රතිසංස්කෘත [රෙපරමාදු] සභා” දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම සම්බන්ධ “කාලයාගේ ඇවෑමෙන් බලාපොරොත්තුව පිළිවෙළින් යටපත් කළ, ආයතනික ප්‍රාදේශීය සභාවන් බවට ඉක්මනින් ම පත් වී” යයි එම විශ්වකෝෂය ම පවසයි. එච්. ජී. වෙල්ස් මෙසේ ලීවේ ය: “මිනිසුන් සිය ජීවිතවල යොමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යය හා මනුෂ්‍ය වර්ගයාගේ සහෝදරත්වය සිට, පෙනෙන හැටියට ප්‍රංශය හා එංගලන්තය, ශුද්ධ රුසියාව, ස්පාඤ්ඤය, පර්සියාව වැනි වඩාත් ජීවමාන සත්‍යයන් වෙත මාරු කළෝ ය. . . . යුරෝපයේ සැබෑ දෙවිවරුන් වූයේ ඔවුන් ය.”
නවීන කාලයේ පවා, රාජ්‍යය ලෞකික භාවයට හරවා ගෙන ඇත. එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ පැහැදිලි කරයි: “මනුෂ්‍යයා විසින් ම සංවිධානය කරන හා සකස් කරන ආකාරයකට අනාගතික පරිපූර්ණ සමාජය සූදානම් කළ යුතු බවට පවතින මූලික ආකල්පයත්, ‘බලාපොරොත්තු වීම’ හා ‘බලා සිටීම’ මනුෂ්‍ය මුලපිරීමෙන් අනුයුක්ත කරනු ලැබීමත් විශේෂ ලක්ෂණයකි.” “සමාජ ශුභාරංචිය” සම්බන්ධයෙන් එම කෝෂ ග්‍රන්ථය ම තවදුරටත් මෙසේ පවසයි: “මේ ව්‍යාපාරය දේව රාජ්‍යය පිළිබඳ ක්‍රිස්තියානි පණිවුඩය දෙස බැලුවේ ප්‍රධාන කොට සමාජයේ ලෞකික තත්ත්වයත්, දේව රාජ්‍යය කියා කිව හැකි ආචාර ධර්මීය සංකල්පයකට අනුව ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෙදවිය හැකි මූලික පෙලඹීමක් හැටියට ය.”
යුදෙව්වන් බොහෝ දෙනෙක් ද රාජ්‍යය මිනිස් සමර්ථකමක් ලෙස සලකා තිබේ. වර්ෂ 1937, එක්සත් ජනපදයේ, ඔහයියෝ, කොලොම්බස් හි, ප්‍රතිසංස්කෘත සම්මේලනයක් මෙසේ පැවසී ය: “පොළොව මත දේව රාජ්‍යය, සර්වලෝක සහෝදරත්වය, යුක්තිය, සත්‍යය හා සාමය පිහිටු වීමෙහි ලා සියලු මනුෂ්‍යයන් සමඟ සහයෝගී ව ක්‍රියා කිරීම අපගේ අතිවිශේෂ කාර්යයක් ලෙස අපි කල්පනා කරමු. මෙය අපගේ මෙසියානු ඉලක්කය වේ.”
පුළුල් ව දරනු ලබන තවත් අදහසක් නම්, දේව රාජ්‍යය කෙනෙකුගේ හෘදයේ තත්ත්වයක් ය යනුයි. උදාහරණයක් හැටියට, එක්සත් ජනපදයේ දී, වර්ෂ 1925 පවත්වන ලද දකුණු බැප්ටිස්ට් සමුළුව මෙසේ ප්‍රකාශ කළේ ය: “දේව රාජ්‍යය යනු සෑම මිනිස් සම්බන්ධතාවයක් තුළ, පුද්ගලයාගේ හෘදයේ හා ජීවිතයේ මෙන් ම සංවිධානාත්මක සමාජයේ සෑම ආකාරයක ම හා ආයතනයක ම දෙවියන් වහන්සේගේ බලපැවැත්වීම ය. . . . මනුෂ්‍යයාගේ සෑම සිතුවිල්ලක් හා අභිප්රායක් ම ක්‍රිස්තුස් වහන්සේගේ අභිප්‍රායේ වහල් භාවයට පමුණු වනු ලැබූ විට දේව රාජ්‍යය සම්පූර්ණ වනු ඇත.”
එසේ නම්, පල්ලිය දෙවියන් වහන්සේගේ රාජ්‍යය ද? එම රාජ්‍යය ලෞකික උපක්‍රම තුළින් ගෙනෙනු ලබනවා ඇත් ද? එය හෘදයේ තත්ත්වයක් වේ ද? එමෙන් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබට කුමක් අදහස් කළ හැකි ද? w92 3/15