දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් ඔබට අදහස් කළ හැකි දෙය
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ: “ඔබගේ රාජ්‍යය ඒවා” කියා යාච්ඤා කරන්නට සිය අනුගාමිකයන්ට ඉගැන්වූ සේක. (මතෙව් 6:10) යේසුස් වහන්සේගේ අනුගාමිකයන් යයි කියා ගන්නා අය විසින් එම වදන්වලින් කොතරම් වාර ගණනක් දෙවියන් වහන්සේ ව අමතනු ලැබ ඇත් ද!
කෙසේ වෙතත්, දේව රාජ්‍යය සඳහා යාච්ඤා කිරීමට සිය ගෝලයන්ට ඉගැන්වීමට වඩා වැඩි යමක් යේසුස් වහන්සේ කළ සේක. උන් වහන්සේ සිය දේශනා වැඩයෙහි මූලික විෂය රාජ්‍යය කර ගත් සේක. ඇත්ත වශයෙන් ම, දේව රාජ්‍යය “යේසුස් වහන්සේගේ ඉගැන්වීමේ ප්‍රධාන තේමාව ලෙස පොදුවේ සලකනු ලැබේ” යයි එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා පවසයි.
ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් රාජ්‍යය සඳහා යාච්ඤා කරන විට, ඔවුන් ඇත්තෙන් ම යාච්ඤා කරන්නේ කුමක් සඳහා ද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔවුන්ටත් ඔබටත් කුමක් අදහස් කළ හැකි ද? එමෙන් ම යේසුස් වහන්සේ එය සැලකුවේ කෙසේ ද?
යේසුස් වහන්සේ රාජ්‍යය සැලකූ අයුරු
යේසුස් වහන්සේ බොහෝ විට තමන් වහන්සේ ව “මනුෂ්‍ය පුත්‍රයා” යයි හැඳින්වූ සේක. (මතෙව් 10:23; 11:19; 16:28; 20:18, 28) ප්‍රොපේත දානියෙල් “මනුෂ්‍ය පුත්‍රයෙකුට” කළ යොමු දැක්ම මෙය අපගේ සිහියට නංවයි. අනාගතයේ ස්වර්ගයේ සිදුවන්නක් සම්බන්ධයෙන් දානියෙල් මෙසේ පැවසී ය: “මම රාත්‍රි දර්ශනවලදී දුටිමි: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන්වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන්වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබූසේක. සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙනලද්දේය”.—දානියෙල් 7:13, 14.
යේසුස් වහන්සේ තම පාලකත්වය ලබන කාලය සම්බන්ධයෙන් කථා කරමින් සිය ප්‍රේරිතයන්ට පැවසුවේ මෙසේ ය: “මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩ හිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් . . . සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.” යේසුස් වහන්සේ තවදුරටත් මෙසේ ද වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රයා . . . තමන්ගේ තේජසින් එන කල . . . සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට, . . . මොව්හු [අධර්මිෂ්ඨයන්] සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝය.”—මතෙව් 19:28; 25:31, 32, 46.
සිංහාසන හා සියලු ජාතීන්ට වූ මෙම අනාවැකිමය යොමු දැක්වීම්වලින් අඟ වන්නේ, රාජ්‍යය වනාහි යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ අනුගාමිකයන් සමහරෙක් මිනිස් වර්ගයා කෙරෙහි පාලකයන් වන ආණ්ඩුවක් බවයි. අධර්මිෂ්ඨයන් මරණයෙන් සිඳ දැමීමට එම ආණ්ඩුවට බලය තිබෙනු ඇත. කෙසේ වෙතත්, එම රාජ්‍යය යටතේ, ධර්මිෂ්ඨ යයි ගණන් ගනු ලබන්නන් දෙවියන් වහන්සේගේ දීමනාව වන සදාකාල ජීවිතය ලබනු ඇත.
එසේ නම්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය දිව්‍යමය වශයෙන් ස්ථාපිත ස්වර්ගික ආණ්ඩුවක් බව පැහැදිලි ය. එම රාජ්‍යය පල්ලිය නොවන අතර, ඒ පිළිබඳ ලෞකික දෘෂ්ටියකට ශුද්ධ ලියවිලි ඉඩ දෙන්නේ නැත. එපමණක් ද නොව, දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද ආණ්ඩුවක් නිකම් ම පුද්ගලයෙකුගේ හෘදය තුළ පවතින යමක් ද විය නොහැකි ය. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආණ්ඩුවක් වන බැවින්, අප ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගන්නා විට එය අපගේ හෘදයේ ඇති වන යමක් ද නොවන්නේ ය. එහෙත් රාජ්‍යය හෘදය හා සම්බන්ධ තත්ත්වයක් යයි ඇතැම් අය සිතන්නේ මන්ද?
රාජ්‍යය අප තුළ?
රාජ්‍යය අපගේ හෘදයන් තුළ තිබෙනවා යයි සමහරුනට හැඟෙන්නේ, ඇතැම් බයිබල් පරිවර්තකයන් විසින් ලූක් 17:21 පරිවර්තනය කොට ඇති ආකාරය නිසා ය. න ඉන්ටනැෂනල් වර්ෂන් බයිබලයට අනුව, යේසුස් වහන්සේ එහි දී පැවසුවේ: “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ තුළ ය” යනුවෙනි.
මේ සම්බන්ධයෙන්, දි ඉන්ටප්රීටර්’ස් ඩික්ෂනරි ඔෆ් ද බයිබල් මෙසේ පවසයි: “යේසුස් වහන්සේගේ ‘පරම විඥානයේ’ හා ‘අධ්‍යාත්ම භාවයේ’ ආදර්ශයන් ලෙස නිතර උපුටා දක්වනු ලැබූව ද, මෙම අර්ථකථනය මූලික වශයෙන් ‘ඔබ තුළය’ යනුවෙන් කර ඇති පැරණි පරිවර්තනය මත රඳා පවතී, . . . මෙහි ‘ඔබ’ යන්න නූතන අර්ථයකින් ඒක වචනයක් ලෙස අවාසනාවන්ත ලෙස තේරුම් ගෙන තිබේ; මෙහි ‘ඔබ’ යන්න බහු වචනයක් වේ (යේසුස් වහන්සේ අමතමින් සිටියේ ඵරිසිවරුන් ව ය—20 පදය) . . . දෙවියන් වහන්සේගේ රාජ්‍යය යනු, මනසේ, නැතහොත් පුද්ගලික ගැලවීමේ අභ්‍යන්තර තත්ත්වයක් බවට වූ මතය, මෙම වගන්තියේ පාඨ සම්බන්ධයට මෙන් ම මුළු න[ව] ගි[විසුම] මේ ගැන දරන අදහසට පටහැනි ය.”
ලූක් 17:21 ගැන න ඉන්ටනැෂනල් වර්ෂන් බයිබලයේ පාද සටහනක් යේසුස් වහන්සේගේ වදන් “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ අතරෙහි ය” යනුවෙන් පරිවර්තනය කළ හැකි බව දක්වයි. වෙනත් බයිබල් පරිවර්තනවල “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ අතරෙහි ය” හෝ “ඔබ මධ්‍යයෙහි ය” යනුවෙන් කිය වීමට ඇත. (ද න ඉංග්ලිෂ් බයිබල්; ද ජෙරුසලෙම් බයිබල්; රිවයිස්ඩ් ස්ටෑන්ඩර්ඩ් වර්ෂන්) න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් අනුව: “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ මධ්‍යයෙහි ය” යයි යේසුස් වහන්සේ වදාළ සේක. එම රාජ්‍යය තමන් කථා කරමින් සිටි උඩඟු ඵරිසිවරුන්ගේ හෘදයන්හි තිබූ බව යේසුස් වහන්සේ අදහස් කළේ නැත. එසේ නොව, දීර්ඝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි මෙසියස් වහන්සේ සහ පත් කරන ලද රජු වශයෙන්, යේසුස් වහන්සේ ඔවුන් මධ්‍යයෙහි ම සිටි සේක. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණීමට පෙර, යම් කාලයක් ගත විය යුතු ය.
එය පැමිණෙනු ඇති අවස්ථාව
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන්ගෙන් සමහරෙක් ස්වර්ගික මෙසියානු රාජ්‍යයේ සිය හවුල් පාලකයන්වීමට තෝරා ගෙන ඇත. යේසුස් වහන්සේ මෙන්, ඔවුහු දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති ව මිය යන අතර ස්වර්ගයේ ආත්මික ජීවිතයට උත්ථාන කරනු ලබති. (1 පේතෘස් 3:18) සන්සන්දනාත්මක ව කුඩා සංඛ්‍යාවක් වන මොවුහු, මනුෂ්‍ය වර්ගයාගෙන් ගනු ලබන රජවරුන් හා පූජකයන් 1,44,000 වන්නෝ ය. (එළිදරව් 14:1-4; 20:6) යේසුස් වහන්සේගේ හවුල් පාලකයන්ට උන් වහන්සේගේ ඇදහිලිවන්ත ප්‍රේරිතයෝ ද ඇතුළත් වෙත්.—ලූක් 12:32.
යේසුස් වහන්සේ සිය අනුගාමිකයන්ට වරක් කථා කරමින්, මෙසේ පොරොන්දු වූ සේක: “මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝය.” (මතෙව් 16:28) යේසුස් වහන්සේගේ පොරොන්දුව ඉන් දින කිහිපයකට පසු ඉෂ්ට වූ බව ඊළඟ පදයේ ඇඟ වීම සිත් ගන්නා කරුණකි. උන් වහන්සේ ඉන් අනතුරුව සිය ගෝලයින්ගෙන් තිදෙනෙක් රැගෙන කන්දකට නැග, ඔවුන් ඉදිරියේ අන්‍ය රූප විලාශ වූ අතර, එසේ රාජ්‍යය මහිමයෙන් යුත් උන් වහන්සේගේ දර්ශනයක් දැකීමට ඔවුන්ට හැකි විය. (මතෙව් 17:1-9) එහෙත් රාජ්‍යය ඒ අවස්ථාවෙහි පිහිටු වනු ලැබුවේ නැත. එය සිදු වනු ඇත්තේ කවදා ද?
යේසුස් වහන්සේ ව මෙසියානු රජ හැටියට ඉක්මනින් ම පත් කරනු නොලබන බව උන් වහන්සේගේ උපමාවන්ගෙන් එකක් පෙන්වා දෙයි. ලූක් 19:11-15 හි අපට මෙසේ කියවීමට ඇත: “උන්වහන්සේ යෙරුසලමට සමීපව සිටි බැවින්ද, දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහාම එළිදරව්වේයයි ඔවුන් සිතූ බැවින්ද, උන්වහන්සේ . . . උපමාවක් කීසේක. එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය. ඔහු තමාගේ දාසයන් දසදෙනෙකුට අඬගසා, ඔවුන්ට පවුම් දසයක් දී: මා එන තෙක් මෙයින් වෙළඳාම්කරපල්ලායයි කීවේය. . . . ඔහු රාජ්‍යය ලබාගෙන ඇවිත්, තමා විසින් මිල දුන් දාසයෝ වෙළඳාමෙන් කොපමණ උපදවාගත්තෝදැයි දැනගන්නා පිණිස ඔවුන් තමා ළඟට කැඳවන්ට අණකළේය.”
ඒ දවස්වල මනුෂ්‍යයෙකුට රෝමයට ගොස්, රාජ බලය ලැබෙන තෙක් එම නගරයේ නැවතී සිට, රජ හැටියට සිය නිජබිමට හැරී ඒමට සෑහෙන කාලයක් ගත වනු ඇත. යේසුස් වහන්සේ එම “වංශවත් මනුෂ්‍යයා” වූ සේක. උන් වහන්සේ ස්වර්ගයේ සිටින සිය පියාණන්ගෙන් රජු ලෙස බලය ලබන නමුත්, ඉන් වහා ම මෙසියානු රජ වශයෙන් පත් කරනු ලබන්නේ නැත. උන් වහන්සේ රජ හැටියට නැවත පැමිණීමට පෙර, උන් වහන්සේගේ අනුගාමිකයන් සැලකිය යුතු කාලයක් පුරා රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැඩය දිගට ම කරගෙන යාමෙන් වෙළඳාම් කරනු ඇත.
රාජ්‍යය පැමිණෙන ආකාරය
දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන ලෙස යාච්ඤා කරන විට, උන් වහන්සේට ප්‍රේමකරන්නන් ඉල්ලා සිටින්නේ කුමක් ද? ඔවුන් ඇත්තෙන් ම අයැ ද සිටින්නේ සැබෑ සාමය හා සෞභාග්‍යය ගෙනෙන්නට වූ, සිය පොරොන්දුවලට නිසි ලෙස ක්‍රියා කරන්නට අසමත් වී ඇති මනුෂ්‍යයා විසින් ස්ථාපිත ආණ්ඩු ක්‍රම විනාශ කිරීමට එම ස්වර්ගීය රාජ්‍යයට තීරණාත්මක පියවර ගන්නා ලෙසට ය. මෙම තත්ත්වය පැන නැගීම සම්බන්ධයෙන් යොමු දක්වමින්, දිවැස්වර දානියෙල් ලීවේ මෙසේ ය: “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැතිකරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.” (දානියෙල් 2:44, 45) මෙය සිදු වනු ඇත්තේ කවදා ද?
මනුෂ්‍ය කටයුතුවල අසාමාන්‍ය වූ බලවත් කැළඹීමක් අත්දකින්නා වූ පරම්පරාවක් තුළ මෙය සිදු වනු ඇතැයි යේසුස් වහන්සේ පුරෝකථනය කළ සේක. තමන්ගේ “පැමිණ සිටීම” සම්බන්ධයෙන්, අසමාන්තර යුද්ධ කිරීම්, භූමිකම්පා, සාගත, වසංගත—එසේ ය, ඒත් සමඟ ම ලෝක ව්‍යාප්ත ව දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම වැනි දේවල වර්ධනයක් අදාළ වන්නා වූ සංයුක්ත “ලකුණක්” යේසුස් වහන්සේ දුන් සේක.—මතෙව් 24, 25 පරිච්ඡේද; මාර්ක් 13 පරිච්ඡේදය; ලූක් 21 පරිච්ඡේදය.
යේසුස් වහන්සේගේ අනාවැකිවලට දැන් සිදුවන—අපගේ 20වන ශතවර්ෂයේ සිද්ධීන් අයත් විය. එනිසා, දෙවියන් වහන්සේගේ රාජ්‍යය මනුෂ්‍ය වර්ගයාට මහත් ආශීර්වාද ගෙනෙන කාලය එතරම් දුරස්තර නැත. රාජ්‍යය පාලනයේ ප්‍රයෝජන භුක්ති විඳින්නන් අතර ඔබටත් සිටිය හැකි ය. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබටත් ඔබගේ ප්රේමකරන්නන්ටත් කුමක් අදහස් කළ හැකි ද?
රාජ්‍යය පාලනයේ ආශීර්වාද
පොළොව පුරා සන්තෝෂය පැතිර පවතිනු ඇත. “අලුත් අහසක්”—ස්වර්ගික රාජ්‍යය—යටතේ, රාජ්‍යයේ කීකරු යටත් වැසියන්ගෙන් සමන්විත සමස්ත ලෝක සමාජයක් වන “අලුත් පොළොවක්,” පවතිනු ඇත. “දෙවියන්වහන්සේම ඔවුන් සමග වාසයකරනසේක” යයි ප්‍රේරිත යොහන් ලීවේ ය. තව ද “උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක.” “වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන” නිසා, එවිට ප්‍රීතියට විනා අන් දෙයකට කිසි හේතුවක් නොතිබෙනු ඇත.—එළිදරව් 21:1-4.
මරණය තවත් නොවන්නේය. ශෝකය දනවන මෙම භයංකර මූල හේතුව තවදුරටත් අපෙන්, අපගේ මිත්‍රයන් හා ප්‍රේමනීයයන් වෙන් කරන්නට යන්නේ නැත. “නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය.” (1 කොරින්ති 15:26) අවමංගල්‍යයන් දෙවියන් වහන්සේගේ මතකයේ සිටින්නවුන්ගේ උත්ථානයෙන් අනුයුක්ත කරනු ලබන විට කොතරම් ප්‍රීතියක් පවතිනු ඇද්ද!—යොහන් 5:28, 29.
පැහැපත් සෞඛ්‍යය තත්ත්වයක් ලෙඩ හා රෝග අනුයුක්ත කරනු ඇත. තවදුරටත් රෝහල්වල ඇඳන් ශාරීරික හා මානසික රෝගවලින් පෙළෙන්නන්ගෙන් පිරෙන්නට යන්නේ නැත. උතුම් ම කාය වෛද්‍යවරයා වූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සිය මිදීමේ මිලයේ වටිනාකම “ජාතීන්ගේ සුවවීම පිණිස” යොදා ගනු ඇත. (එළිදරව් 22:1, 2; මතෙව් 20:28; 1 යොහන් 2:1, 2) උන් වහන්සේ පොළොව මත සිටිය දී කළ සුව කිරීම්, රාජ්‍යය කරණ කොට ගෙන උන් වහන්සේ කරන්නට යන දේවල ආදර්ශයක් පමණක් විය.—යෙසායා 33:24; සසඳන්න මතෙව් 14:14.
බහුල ලෙස ආහාර. ගීතිකාකරු පැවසූ ලෙසින්: “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ධාන්‍ය ඇති වන්නේ ය, කඳු මුදුන් පිරී ඉතිරී යන්නේ ය.” (ගීතාවලිය 72:16, NW) මෙයට යෙසායාගේ දිවැස්වැකිය තවදුරටත් ආදේශ කරනුයේ: “සේනාවල ස්වාමීන්වහන්සේද [යෙහෝවඃ වහන්සේ ද NW] මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදන සේක.” (යෙසායා 25:6) නිසැක ව ම, සාගතය, රාජ්‍යය පාලනය යටතේ සිටින පොළෝ වැසියන්ට පහර නොදෙනු ඇත.
මුළු පොළොව ම පාරාදීසයක් බවට පත් වනු ඇත. මෙසේ, කළ වරදට බලවත් ලෙස පසුතැවිලි වූ වැරදිකරුවෙකුට, “නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය” යන පොරොන්දුව ඉෂ්ට වනු ඇත. (ලූක් 23:43) දුෂ්ටකම ඉවත් කර ආනන්දජනක, උද්‍යානයක් බඳු පෘථිවියකට මාරු කරන ලද පොළොවක, මෙම පොළොවේ සදාකාල ජීවිතය ඔබටත් භුක්ති විඳිය හැකි ය.—යොහන් 17:3.
මෙම මවිතකර අපේක්ෂාවන් සියලු කීකරු මිනිස් වර්ගයා හට ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම ආශීර්වාදාත්මක සහතිකයන් පිරිනමනුයේ යෙහෝවඃ වහන්සේගේ දේවානුභාවය ලත් වචනය වන, බයිබලය යි. තව ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් ඔබට අදහස් කළ හැක්කේ මේ සියල්ලයි. w92 3/15
[7වන පිටුවේ පින්තූරය]
දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන යේසුස් වහන්සේ වදාළ දෑ ඔබ විශ්වාස කරන්නෙහි ද?