දේවරාජ්‍යය—ඔබ එය තේරුම්ගන්නෙහිද?
“සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් [ගන්නා] . . . තැනැත්තාය”—මතෙව් 13:23.
1. ‘ස්වර්ග රාජ්‍යය’ පිළිබඳ පවතින ඇතැම් පොදු විශ්වාසයන් මොනවාද?
දේවරාජ්‍යය කුමක්ද කියා ඔබ ‘තේරුම්ගෙන’ ඇද්ද? ‘ස්වර්ග රාජ්‍යය’ පිළිබඳ සංකල්ප සියවස් ගණනාව පුරා බෙහෙවින් වෙනස් වී ඇත. රාජ්‍යය වූ කලි, පුද්ගලයෙකු හැරෙන විට දෙවියන්වහන්සේ ඔහුගේ හෘදය තුළට දමන යමක් බව අදදින ඇතැම් පල්ලි සාමාජිකයන් අතර පොදු විශ්වාසයක් පවතී. එය සදාකාලික සැප භුක්තිවිඳීමට යහපතුන් යන ස්ථානයක් බව වෙනත් අය සිතති. තවත් සමහරුන් කියා සිටින්නේ, සාමාජීය හා ආණ්ඩුමය කාරණා කටයුතු තුළට ක්‍රිස්තියානි ඉගැන්වීම් හා ව්‍යවහාරයන් පැලපදියම් කිරීමට වැඩ කිරීම තුළින්, රාජ්‍යය පොළොව මත පිහිටුවීමේ කාර්යය දෙවියන්වහන්සේ මිනිසාට භාර දී තිබෙන බවයි.
2. බයිබලය දේවරාජ්‍යය පැහැදිලි කරන්නේ කෙසේද, තවද එය ඉටු කරනු ඇත්තේ කුමක්ද?
2 කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය, පොළොව මත ක්‍රියා කරන ආයතනයක් නොවන බව බයිබලය පැහැදිලිව පෙන්නුම් කරයි. එය හෘදයේ තත්වයක්වත් මිනිස් සමාජය ක්‍රිස්තියානීන් බවට පත් කිරීමවත් නොවේ. මෙම රාජ්‍යය කුමක්ද යන වග පිළිබඳ නිවැරදි අවබෝධයක්, එය කෙරෙහි ඇදහිල්ල දක්වන අයගේ ජීවිත තුළ විශාල වෙනස්කම් සිදු කිරීමට මඟ පාදන බව ඇත්තය. එහෙත් රාජ්‍යය වූ කලි, දේවකැමැත්ත සිදු කිරීමේ අටියෙන් දිව්‍යමය ලෙස පිහිටුවා තිබෙන ස්වර්ගික ආණ්ඩුවක් වන අතර, එමගින් පාපයේ හා මරණයේ බලපෑම් තුරන් කරනු ලැබ, පොළොව මත ධර්මිෂ්ඨ තත්වයන් නැවත පිහිටුවනු ලබනවා ඇත. ස්වර්ගයේ දැනටමත් බලය තහවුරු කර තිබෙන මෙම රාජ්‍යය, වැඩි කලක් යන්ට මත්තෙන්, “ඒ සියලු [මිනිස්] රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45; එළිදරව් 11:15; 12:10.
3. යේසුස්වහන්සේ සිය දේවසේවය ඇරඹූ විට, මිනිසා සඳහා විවෘත වූයේ කුමක්ද?
3 ඉතිහාසඥ එච්. ජී. වෙල්ස් මෙසේ ලීවේය: “ක්‍රිස්තියානි ධර්මයේ ඉතා කුඩා වැදගත්කමක් දරන, යේසුස්වහන්සේගේ මූලික ඉගැන්වීම වූ, ස්වර්ග රාජ්‍යය පිළිබඳ මෙම ධර්මය, මිනිස් චින්තනය පොලඹවා වෙනස් කරමින් විපර්යාසයකට තුඩු දුන් වඩාත්ම ප්‍රබල ඉගැන්වීම්වලින් එකක් බවට සහතිකය.” මුල පටන්, යේසුස්වහන්සේගේ දේවසේවයේ තේමාව වූයේ: ජනයෙනි “පසුතැවිලිවෙයල්ලා; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ළංවී තිබේ” යන්නය. (මතෙව් 4:17) අභිෂේක ලත් රජු වශයෙන් උන්වහන්සේ ලෝක දර්ශනය මත පෙනී සිටි අතර, එම රාජ්‍යයේ ආශීර්වාද භුක්තිවිඳීමට පමණක් නොව, නමුත් යේසුස්වහන්සේ සමඟ එම රාජ්‍යයේ හවුල් පාලකයන් හා පූජකයන් වීමටත් මාර්ගය මිනිසා සඳහා එවිට විවෘත වී තිබීම ඉමහත් ප්‍රීතියට කරුණක් විය!—ලූක් 22:28-30; එළිදරව් 1:6; 5:10.
4. පළමු සියවසේදී, “රාජ්‍යයේ ශුභාරංචිය[ට]” සමූහයා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද, මෙය මඟ පෑදුවේ කුමන විනිශ්චයටද?
4 උනන්දුව දනවන “රාජ්‍යයේ ශුභාරංචිය” බොහෝදෙනෙකුට අසන්ට ලැබුණත්, එය විශ්වාස කළේ ස්වල්පදෙනෙකු පමණි. ආගමික නායකයන් “මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා” තිබූ නිසා මෙසේ සිදුවීමට එය යම් දුරකට බලපෑවේය. සිය බොරු ඉගැන්වීම් මගින් ඔවුහු “දැනගැනීමේ යතුර රැගෙන ගියහුය.” මෙසියස් හා දේවරාජ්‍යයේ අභිෂේක ලත් රජු වශයෙන් බොහෝ ජනයා යේසුස්වහන්සේව ප්‍රතික්ෂේප කළ බැවින්, යේසුස්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළසේක: “දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.”—මතෙව් 4:23; 21:43; 23:13; ලූක් 11:52.
5. යේසුස්වහන්සේගේ උපමා ඇසූ බොහෝදෙනෙකු අවබෝධයක් ඇතුව ඇහුම්කන් නොදුන් බව පෙන්නුම් කළේ කෙසේද?
5 එක් අවස්ථාවක විශාල ජනකායකට උගන්වමින් සිටි විට, යේසුස්වහන්සේ, සිරිත් පරිදි සමූහයා පරීක්ෂා කිරීමටත්, රාජ්‍යය කෙරෙහි මතුපිට උනන්දුවක් පමණක් දැක්වූ අය වෙන් කිරීමටත්, උපමා රැසක් උපයෝගි කරගත්සේක. පළමු උපමාව පස් වර්ග සතරක් මත බීජ වැපුරූ වපුරන්නෙකු හා සම්බන්ධ විය. මුල්ම පස් වර්ග තුන ශාක වැවීමට හිතකර නොවූ නමුත්, අන්තිම වර්ගය වූ කලි, හොඳ ඵලදාවක් නිපදවූ ‘සරු බිමක්’ විය. එම කෙටි උපමාව අවසන් වූයේ මෙම අවවාදය සමඟිනි: “ඇසීමට කන් ඇත්තේ අසා[වා] [සවන් දෙන්න, NW].” (මතෙව් 13:1-9) එහි පැමිණ සිටි බොහෝදෙනෙකුට උන්වහන්සේ කියූ දේ ඇසුණු නමුත්, ඔවුහු “සවන්” නොදුන්නෝය. විවිධාකාර තත්වයන් යටතේ වපුරනු ලැබූ බීජ ස්වර්ග රාජ්‍යයට සමාන වූ අන්දම දැනගැනීමට ඔවුන් තුළ පෙලඹීමක්වත්, සැබෑ උනන්දුවක්වත් නොතිබුණේය. යේසුස්වහන්සේගේ උපමා නිකම් සදාචාර තේමාවන්ගෙන් යුත් හොඳ කතායයි ඇතැම්විට සිතමින්, ඔවුන් සිය දෛනික ජීවිත ගත කිරීමට නැවතත් නිවෙස් බලා පිටත්වන්ට ඇත. ඔවුන්ගේ හෘදයාංගම ප්‍රතිචාරයක් නොතිබූ නිසා, ඔවුන්ට අහිමි වූයේ මොනතරම් දැනුම් සම්භාරයක්ද, තවද මොනතරම් උදාර වරප්‍රසාද හා ප්රස්තාද!
6. “රාජ්‍යයේ රහස්” අවබෝධ කරගැනීම යේසුස්වහන්සේගේ ගෝලයන්ට පමණක් පිරිනමන ලද්දේ මන්ද?
6 යේසුස්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ වදාළසේක: “ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත.” යෙසායාව උපුටා දක්වමින් උන්වහන්සේ තවදුරටත් මෙසේ වදාළසේක: “ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; බලමින්ම සිටින නුමුත් නුඹලා කිසිසේත් නොපැහැදෙන්නහුය. මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනගගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිති . . . නුමුත් පෙනෙන නිසා නුඹලාගේ ඇස්ද ඇසෙන නිසා නුඹලාගේ කන්ද වාසනාවන්තය.”—මතෙව් 13:10-16; මාර්ක් 4:11-13.
රාජ්‍යය ‘තේරුම්ගැනීම’
7. රාජ්‍යය ‘තේරුම්ගැනීම’ වැදගත් වන්නේ මන්ද?
7 යේසුස්වහන්සේ ගැටලුවට යොමු දැක්වූසේක. එය රාජ්‍ය පණිවිඩය ‘තේරුම්ගැනීම’ හා සම්බන්ධ කාරණයක් විය. සිය ගෝලයන්ට උන්වහන්සේ පෞද්ගලිකව මෙසේ වදාළසේක: “එබැවින් වපුරන්නාගේ උපමාව අසාපල්ලා. යමෙක් රාජ්‍යයේ වචනය අසා ත්රුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය.” පස් වර්ග සතර “රාජ්‍යයේ වචනය” වපුරනු ලබන, හෘදයේ විවිධාකාර තත්වයන් නියෝජනය කළ බව උන්වහන්සේ පැහැදිලි කළසේක.—මතෙව් 13:18-23; ලූක් 8:9-15.
8. පළමු පස් වර්ග තුන මත වපුරන ලද “බීජ” සඳහා ඵලදාවක් දැරීමට තිබූ බාධා කවරේද?
8 හැම අවස්ථාවකදීම “බීජ” යහපත් තත්වයක තිබිණ, නමුත් ඵලදාව පසේ තත්වය මත රඳා පවතිනු ඇත. හෘදය නමැති පස, කාර්ය බහුල, ආත්මික නොවූ ක්‍රියාකාරකම් මගින් දැඩි කරනු ලැබූ, තදින් අහුරා සකස් කරන ලද පාරක් හා සමාන වී නම්, රාජ්‍ය පණිවිඩය අසන තැනැත්තාට, රාජ්‍යය සඳහා තමාට කාලයක් නැතැයි පවසමින්, නිදහසට කරුණු ඉදිරිපත් කිරීම පහසු දෙයක් වනු ඇත. මුල් ඇදීමට පෙර නොසලකා හරින ලද බීජය පහසුවෙන් ඩැහැගත හැකි තත්වයක පවතිනු ඇත. එහෙත් ගල්බිමකට සමාන කළ හැකි හෘදයක් තුළ බීජය වපුරන ලද්දේ නම්, කුමක් කිව හැකිද? බීජය රෝපණය විය හැක, නමුත් පෝෂණය හා ස්ථාවරත්වය සඳහා එහි මුල් ගැඹුරට යැවීම එය සඳහා දුෂ්කර කාර්යයක් වනු ඇත. විශේෂයෙන් පීඩා නමැති රශ්මියේදී, දෙවියන්වහන්සේගේ කීකරු සේවකයෙකු වීමේ අපේක්ෂාව, දරාගත නොහැකි අභියෝගයක් වනු ඇති අතර, එම පුද්ගලයා පැකිලී යනු ඇත. එමෙන්ම, හෘදය නමැති පස කටු හා සමාන කාන්සාවන්ගෙන් හෝ ධනය සඳහා ද්‍රව්‍යවාදී ආශාවෙන් පිරී තිබුණා නම්, ඉතා කුඩා රාජ්‍ය පැළය යට වී යනු ඇත. ජීවිතයේ ආදර්ශයකට ගත හැකි මෙම තත්වයන් තුනේදීම, කිසිදු රාජ්‍ය ඵලදාවක් නිපදවනු නොලැබේ.
9. සරු බිමේ වපුරන ලද බීජවලට යහපත් ඵල දැරීමට හැකියාවක් ලැබුණේ මන්ද?
9 කෙසේවෙතත්, සරු බිම මත වපුරන ලද රාජ්‍ය බීජ ගැන කුමක් කිව හැකිද? යේසුස්වහන්සේ මෙසේ පිළිතුරු දෙනසේක: “සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේය” (මතෙව් 13:23) රාජ්‍යය ‘තේරුම්ගැනීමෙන්,’ ඔවුන් තම පෞද්ගලික තත්වයන්ට අනුව යහපත් ඵලදාවක් නිපදවනු ඇත.
අවබෝධයත් සමඟ පැමිණෙන වගකීම
10. (අ) රාජ්‍යය ‘තේරුම්ගැනීම’ ආශීර්වාද මෙන්ම වගකීමක්ද ගෙන දෙන බව යේසුස්වහන්සේ පෙන්නුම් කළේ කෙසේද? (ආ) ගොස් ගෝලයන් සෑදීමට යේසුස්වහන්සේ දුන් පැවරුම අදාළ වූයේ පළමු සියවසේ ගෝලයන්ට පමණක්ද?
10 රාජ්‍යයේ විවිධාකාර අංග පහදා දීම සඳහා තවත් උපමා හයක් දීමෙන් පසු, යේසුස්වහන්සේ සිය ගෝලයන්ගෙන් මෙසේ විමසූසේක: “නුඹලා මේ සියල්ල තේරුම්ගත්තහුද”? ඔවුන් “එසේයයි” පිළිතුරු දුන් විට, උන්වහන්සේ මෙසේ වදාළසේක: “එහෙයින් ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයෙක්වී සිටින යම් ලියන්නෙක් [ප්‍රසිද්ධ උපදේශකයෙක්, NW] ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමානය.” යේසුස්වහන්සේ විසින් සපයන ලද ඉගැන්වීම් හා පුහුණුව සිය ගෝලයන්ව මේරූ ක්‍රිස්තියානීන් දක්වා ගොඩනංවනු ඇති අතර, ඔවුන්ට තම ‘ගබඩාවෙන්’ නිමක් කොනක් නැති අනර්ඝ ආත්මික ආහාර සම්භාරයක් පිටතට ගෙනෙන්ට හැකි වනවා ඇත. මින් බොහොමයක් දේවරාජ්‍යයට සම්බන්ධ විය. රාජ්‍යය ‘තේරුම්ගැනීම’ ආශීර්වාද ගෙන දෙනවා පමණක් නොව, නමුත් වගකීමක්ද ලබා දෙන බව යේසුස්වහන්සේ පැහැදිලි කළසේක. උන්වහන්සේ මෙසේ ආඥා කළසේක: “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි.”—මතෙව් 13:51, 52; 28:19, 20.
11. වර්ෂ 1914 පැමිණි විට, රාජ්‍යය හා සම්බන්ධ කෙබඳු සිද්ධීන් සිදු වීද?
11 පොරොන්දු වී තිබූ පරිදි, අදදින දක්වා ගත වූ සියවස් ගණනාව පුරා, යේසුස්වහන්සේ සිය සැබෑ ගෝලයන් සමඟ දිගටම සිට ඇත. මේ අන්තිම දවස්වල, ඔවුන්ට ප්‍රගතිශීලීව අවබෝධය දානය කර තිබෙන උන්වහන්සේ, වඩ වඩා දීප්තිමත් වන සත්‍යාලෝකය භාවිත කිරීමේ වගකීමද ඔවුන්ට පවරා තිබෙනසේක. (ලූක් 19:11-15, 26) වර්ෂ 1914දී, රාජ්‍යය හා සම්බන්ධ සිදුවීම්, ශීඝ්‍රයෙන් හා චමත්කාරජනක අන්දමින් දිගහැරීමට පටන්ගත්තේය. එම වර්ෂයේදී, බොහෝ කලක් තිස්සේ අපේක්ෂා කර තිබූ රාජ්‍යයේ ‘උපත’ සිදු වූවා පමණක් නොව, නමුත්, “දේවල පිළිවෙළේ සමාප්තියද” ආරම්භ විය. (එළිදරව් 11:15; 12:5, 10; දානියෙල් 7:13, 14, 27) වත්මන් සිදුවීම්වල තේරුම අවබෝධ කරගන්නා සැබෑ ක්‍රිස්තියානීහු, ඉතිහාසය පුරා දැක තිබෙන විශිෂ්ටතම රාජ්‍ය-දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කර්තව්‍යයෙහි නිරත වී ඇත්තාහ. යේසුස්වහන්සේ මෙසේ පවසමින්, මෙය පුරෝකථනය කළසේක: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.”—මතෙව් 24:14.
12. (අ) පුළුල්ව පැතිර තිබෙන නවීන දින රාජ්‍ය සාක්ෂිදැරීමේ ප්‍රතිඵලය කුමක් වී ඇද්ද? (ආ) සැකයෙන් පිරී තිබෙන මේ ලෝකය තුළ ක්‍රිස්තියානීන් සඳහා තිබෙන අන්තරාය කුමක්ද?
12 රාජ්‍යය පිළිබඳ මෙම දැවැන්ත සාක්ෂිය 230කටත් වඩා වැඩි දේශ ගණනක් කරා ළඟා වී ඇත. දැනටමත්, මෙම කර්තව්‍යයට සැබෑ ගෝලයන් මිලියන පහකට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතරම, තවත් බොහෝදෙනෙකු එක්රැස් කරනු ලැබේ. එහෙත් මේ පොළොවේ බිලියන 5.6කින් සමන්විත වැසියන් සමඟ අපි ගෝලයන්ගේ සංඛ්‍යාව සසඳන්නෙමු නම්, යේසුස්වහන්සේගේ දවසට සමානව, මිනිස්වර්ගයාගෙන් බහුතරයක්ම, රාජ්‍යය ‘තේරුම් නොගන්නා’ බවට පැහැදිලිය. පුරෝකථනය කර තිබූ පරිදි, බොහෝදෙනෙක් සරදම් කරමින් මෙසේ පවසති: “උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිද”? (2 පේතෘස් 3:3, 4) මෙහිදී ක්‍රිස්තියානීන් වශයෙන් අපට තිබෙන අන්තරාය නම්, ඔවුන්ගේ අලස, සැක කරනසුලු, ද්‍රව්‍යවාදී ආකල්පය රාජ්‍ය වරප්‍රසාද පිළිබඳ අපේ දෘෂ්ටියට ක්‍රමක්‍රමයෙන් බලපෑ හැකි බවය. මේ ලෝකයේ ජනයාගෙන් වට වී සිටින බැවින්, ඔවුන්ගේ ආකල්ප හා ව්‍යවහාරයන් සමහරක් අනුගමනය කිරීමට අප පහසුවෙන්ම පටන් ගත හැකිය. අප දේවරාජ්‍යය “තේරුම්ගෙන” එය තදින් අල්ලා ගැනීම කොතරම් වැදගත්ද!
රාජ්‍යය සම්බන්ධව අපවම සෝදිසි කිරීම
13. රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට වූ පැවරුම සලකා බලද්දී, අප දිගටම විචාර බුද්ධියෙන් ‘අසනවාද’ නැද්ද යන්න අපට පරීක්ෂා කළ හැක්කේ කෙසේද?
13 අප ජීවත් වන අස්වැන්න නෙළීමේ කාලපරිච්ඡේදය පිළිබඳව යේසුස්වහන්සේ මෙසේ වදාළසේක: “මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්[කරන්නෝය] . . . එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා [සවන් දෙන්න, NW].” (මතෙව් 13:41, 43) රාජ්‍යය පිළිබඳව දේශනා කිරීමටත්, ගෝලයන් සෑදීමටත් දෙන ලද ආඥාවට කීකරු ලෙස ප්‍රතිචාරය දක්වමින් ඔබ දිගටම ‘අසමින්’ සිටින්නෙහිද? “සරු බිමෙහි වපුරන” ලද තැනැත්තා, “වචනය අසා තේරුම් ගෙන,” හොඳ ඵලදාවක් නිපදවූ බව මතක තබාගන්න.—මතෙව් 13:23.
14. උපදෙස් ඉදිරිපත් කරනු ලබන විට, දෙන ලද උපදෙස් ‘තේරුම්ගන්නා’ බව අප පෙන්නුම් කරන්නේ කෙසේද?
14 පෞද්ගලික පාඩමෙහි නිරත වන විටත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට යන විටත්, අප ‘ඥානයට අපේ සිත යොමු කළ’ යුතුය. (හිතෝපදේශ 2:1-4) හැසිරීම, ඇඳුම් පැළඳුම්, සංගීතය හා විනෝදාස්වාදය පිළිබඳව උපදෙස් දෙනු ලබන විට, එය අපේ හෘද තුළට කිඳා බැසීමට අප ඉඩ හළ යුතු අතර, අවශ්‍ය ඕනෑම සකස් කිරීමක් කිරීමට අපව පෙලඹිය යුතුය. කිසිදාක කරන දේ යුක්තිසහගතයයි පෙන්නුම් කිරීමේ අටියෙන් තර්ක නොකරන්න, නිදහසට කරුණු ඉදිරිපත් නොකරන්න, එසේ නැතහොත් වෙනත් අන්දමකින් ප්‍රතිචාරය දැක්වීමට අපොහොසත් නොවන්න. රාජ්‍යය අපේ ජීවිත තුළ සැබෑ යමක් වේ නම්, එහි ප්‍රමිති අනුව ජීවත් වනු ඇති අපි, එය අනුන්ට ජ්වලිතව ප්‍රකාශ කිරීමෙහිද නියැලෙන්නෙමු. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.”—මතෙව් 7:21-23.
15. ‘පළමුකොට රාජ්‍යයද, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සෙවීම’ වැදගත් වන්නේ මන්ද?
15 අවශ්‍ය කෑම බීම, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් ගැන කනස්සලු වීම මිනිස් ප්‍රවණතාව වුවත්, යේසුස්වහන්සේ මෙසේ වදාළසේක: “පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.” (මතෙව් 6:33, 34) ප්‍රමුඛතා නියම කරගන්නා විට, රාජ්‍යය ඔබේ ජීවිතයේ පළමු තැනට තබන්න. අවශ්‍යතා ලැබීමෙන් සෑහීමට පත් වී, ඔබේ ජීවිතය සරලව තබාගන්න. අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් හා අත් පත් කරගත හැකි දේවල් තනිව ගත් කල, ඒවා අනිවාර්යයෙන්ම නරක නොවන බැවින්, අපේ ජීවිත ඒවායින් පුරවාගෙන එය පිළිගත හැකි දෙයක් කියා ඇතැම්විට තර්ක කරනවා නම්, එය මෝඩකමක් වනු ඇත. එය සැබෑවක් විය හැකි වුවත්, එවන් අත්‍යවශ්‍ය නොවන දේවල් අත් කරගැනීම හා භාවිත කිරීම හේතුකොටගෙන, අපේ පෞද්ගලික පාඩම, ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම හා දේශනා කිරීමේ කර්තව්‍යයෙහි නියැලීම සඳහා වෙන් කරන ලද කාලයට කුමක් සිදු වේවිද? රාජ්‍යය, “ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක්” සම්බ වූ වෙළෙන්දෙකුට සමාන බව යේසුස්වහන්සේ වදාළසේක, තවද “ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය.” (මතෙව් 13:45, 46) දේවරාජ්‍යය පිළිබඳව අපට හැඟිය යුත්තේ මෙයාකාරයටය. අප අනුකරණය කළ යුත්තේ, “මේ ලෝකයට ආලය” කිරීම හේතුවෙන් දේවසේවය අත්හැරියාවූ දේමස්ව නොව, පාවුල්වය—2 තිමෝති 4:10, 18; මතෙව් 19:23, 24; පිලිප්පි 3:7, 8, 13, 14; 1 තිමෝති 6:9, 10, 17-19.
“අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ” නැත
16. දේවරාජ්‍යය ‘තේරුම්ගැනීම’ වැරදි හැසිරීමෙන් වැළකී සිටීමට අපට උපකාර කරනු ඇත්තේ කෙසේද?
16 කොරින්ති සභාව දුරාචාරයට ඉඩ දෙමින් සිටි විට, පාවුල් නොවළහා මෙසේ පැවසීය: “නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙල්ලා. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.” (1 කොරින්ති 6:9, 10) අපි දේවරාජ්‍යය ‘තේරුම්ගන්නෙමු’ නම්, අප ක්‍රිස්තියානි සේවයේ කඩිසරව යෙදෙන බව යෙහෝවඃවහන්සේ දකින තාක් කල්, උන්වහන්සේ යම් ආකාරයක දුරාචාරයකට ඉඩ දෙයි කියා කල්පනා කිරීමෙන් අපි අපවම රවටා නොගන්නෙමු. අප අතර අපවිත්‍ර කාරණා ගැන සඳහන් කිරීමවත් යුතු නැත. (එපීස 5:3-5) මෙම ලෝකයේ පිළිකුල්සහගත වූ ඇතැම් චින්තන හා ව්‍යවහාරයන් ඔබේ ජීවිතය තුළට සූක්ෂ්ම ලෙස ඇතුල්වීමට පටන්ගෙන තිබෙන බව ඔබට හැඟෙනවාද? ඔබේ ජීවිතයෙන් ඒවා වහා ඉවතලන්න! එවන් දේවල් වෙනුවෙන් රාජ්‍යය අහිමි කරගැනීම තක්සේරු කළ නොහැකි පාඩුවකි.—මාර්ක් 9:47.
17. දේවරාජ්‍යය සඳහා අගය නිහතමානීකමට දිරි දෙන්නෙත්, පැකිළීම සඳහා හේතු ඉවත් කරන්නෙත් කවර ආකාරවලින්ද?
17 යේසුස්වහන්සේගේ ගෝලයෝ මෙසේ විමසූහ: “ඉඳින් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් වන්නේ කවුද”? කුඩා දරුවෙකු ඔවුන් මැද සිටුවා යේසුස්වහන්සේ මෙසේ පිළිතුරු දුන්සේක: “සැබවක් නුඹලාට කියමි—නුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත්, කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය.” (මතෙව් 18:1-6) උඩඟු, දේවල් බලෙන්ම ඉල්ලා සිටින, අනුන් ගැන සැලකිල්ලක් නොදක්වන, නොපනත්කම් කරන අය දේවරාජ්‍යයට ඇතුල් නොවන අතරම, ඔවුහු රාජ්‍යයෙහි යටත්වැසියෝද නොවන්නහුය. ඔබේ හැසිරීම තුළින් අනුන්ව පැකිළීමට පත් කිරීමෙන් වැළකී සිටීමට, ඔබේ සහෝදරයන් වෙනුවෙන් ඔබේ ප්‍රේමය, ඔබේ නිහතමානීකම, ඔබේ දේවභය ඔබ තුළ පෙලඹීමක් ඇති කරයිද? එසේ නැතහොත්, මෙම ආකල්පය හා හැසිරීම අනුන් කෙරෙහි කෙතරම් බලපෑමක් ඇති කළත්, ඔබ ඔබේ “අයිතිවාසිකම්” වෙනුවෙන් සටන් කරන්නෙහිද?—රෝම 14:13, 17.
18. දේවකැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” සිදුවීමට දේවරාජ්‍යය සලස්වන විට කීකරු මිනිස්වර්ගයාට අත් වන දේ කුමක්ද?
18 අපේ ස්වර්ගික පිය වූ යෙහෝවඃවහන්සේ ළඟදීම මෙම උනන්දුමත් යාච්ඤාවට සම්පූර්ණ උත්තරයක් දෙනසේක: “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” ඉතා ළඟදී, පාලක රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේ, “එළුවන්” කෙරෙන් “බැටළුවන්” වෙන් කිරීමට, විනිශ්චය සඳහා සිය සිංහාසනයෙහි හිඳගන්නා විටය. එම නියම කරන ලද කාලයේදී, “රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගනිල්ලා.” එළුවෝ, “සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝය.” (මතෙව් 6:9ආ, 10; 25:31-34, 46) ‘මහත් පීඩාව’ මගින් පැරණි පිළිවෙළ හා රාජ්‍යය ‘තේරුම්ගැනීම’ ප්‍රතික්ෂේප කරන සියලුදෙනාම ඉවත් කරනු ලබනවා ඇත. එහෙත් ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වන මිලියන සංඛ්‍යාත ජනයා මෙන්ම නැවත නැඟිටුවනු ලබන බිලියන සංඛ්‍යාත ජනයා, නැවත පිහිටුවන ලද පාරාදීසයේ නිමක් නැති රාජ්‍ය ආශීර්වාද උරුම කරගන්නෝය. (එළිදරව් 7:14) ස්වර්ගයේ සිට පාලනය කරන රාජ්‍යය, පොළොවේ අලුත් ආණ්ඩුව වේ. පොළොව හා මිනිස්වර්ගයා සඳහා වූ යෙහෝවඃවහන්සේගේ අරමුණ එය සම්පූර්ණයෙන්ම ඉටු කරනු ඇති අතර, මේ සියල්ල කරනු ලබන්නේ උන්වහන්සේගේ අතිශුද්ධ නාමය විශුද්ධ කිරීමේ අරමුණෙනි. එය වූ කලි, වැඩ කිරීමටත්, පරිත්‍යාග කිරීමටත්, බලා සිටීමටත් බෙහෙවින් වටිනා උරුමයක් නොවේද? රාජ්‍යය ‘තේරුම්ගැනීම’ අපහට අදහස් කළ යුත්තේ මෙයයි!
ඔබ කෙසේ උත්තර දෙන්නෙහිද?
◻ දේවරාජ්‍යය යනු කුමක්ද?
◻ යේසුස්වහන්සේට සවන් දුන් බොහෝදෙනෙකු රාජ්‍යය ‘තේරුම් නොගත්තේ’ මන්ද?
◻ රාජ්‍යය ‘තේරුම්ගැනීම’ ආශීර්වාද මෙන්ම වගකීමක් ගෙන දෙන්නේ කෙසේද?
◻ දේශනා සේවය සලකද්දී, අප රාජ්‍යය ‘තේරුම්ගෙන’ තිබෙනවාද නැද්ද කියා අඟවන්නේ කුමක්ද?
◻ දී තිබෙන උපදෙස් අප ‘තේරුම්ගෙන’ තිබෙන බව අප අපේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ කෙසේද?
[17වන පිටුවේ පින්තූර]
රාජ්‍යය ‘තේරුම්ගත්’ යේසුස්වහන්සේගේ ගෝලයෝ යහපත් ඵල දැරූහ