hadynyah/E+ via Getty Images
සෝදිසියෙන් ඉන්න!
යුද්ධ සහ දේශගුණය බඩගින්නටත් ගිනි තියයි! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස අත්වැල් බැඳගත්ත නිසා මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්! ඒ නිසා ලෝකේ පුරාම ලොකු ආහාර හිඟයක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් ගොඩක්ම බැට කන්නේ එදා වේල පවා හොයාගන්න සටනක් කරන සංවර්ධනය වෙමින් පවතින රටවල්.
“යුද්ධ කෝලහල, දේශගුණික වෙනස් වීම්, විදුලිය සහ ඉන්ධනවල මිල ඉහළ යාම වගේ හේතු නිසා ආහාර නිෂ්පාදනය පහත වැටිලා! මිනිස්සුන්ට ඇති තරම් කෑම ලබාගන්න විදිහකුත් නැහැ.”—ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, 2023 ජූලි 17.
“රුසියාව ධාන්‍ය අපනයනය ගැන ඇති කරගත්ත ගිවිසුම අහෝසි කළා. ඒ නිසා දැවැන්ත කෑම හිඟයක් ගැන මුළු ලෝකෙම ඉන්නේ බයෙන් කියලයි විද්වතුන් කියන්නේ. ඒකෙන් අඩු ආදායම් ලාභීන් ඉන්න රටවල්වල කෑම මිළ අහස උසට නැඟලා තියෙනවා. එයාලා කියන විදිහට ඒක තදින්ම බලපාලා තියෙන්නේ උතුරු අප්‍රිකාවට සහ මැද පෙරදිගට.”—Atalayar.com, 2023 ජූලි 23.
ඒත් ආහාර අර්බුදය ගැනත් අපේ අනාගතය ගැනත් බයිබලයේ කියන්නේ මොනවාද?
බයිබල් අනාවැකියක්!
යේසුස් මේ වගේ අනාවැකියක් ගැන කිව්වා. ‘ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම් සිදු වෙයි.’—මතෙව් 24:7.
බයිබලයේ එළිදරව් පොතේ අසරුවන් හතරදෙනෙක් ගැන කතා කරලා තියෙනවා. එක අසරුවෙක්ගෙන් සංකේතවත් වෙන්නේ යුද්ධ. ඒ අසරුවා ගමන් කරන්න පටන්ගන්නවාත් එක්කම තවත් අසරුවෙක් එනවා. ඒ අසරුවාගෙන් සංකේතවත් වෙන්නේ ආහාර හිඟය. ඒ අසරුවා ගමන් කරද්දී මිනිස්සුන්ට ඇති තරම් කෑම ලැබෙන්නේ නැහැ. ඒ වගේම තියෙන කෑම ටිකත් ගිනි ගණන්! ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘කලු පැහැති අශ්වයෙකු මම දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තා අතේ තරාදියක් තිබිණ. එවිට මට හඬක් ඇසිණ. ඒ හඬ, “තිරිඟු කිලෝ එකක් ඩිනාරියකි. බාර්ලි කිලෝ තුනක් ඩිනාරියකි. ඔලීව තෙල්වලටත් වයින්වලටත් අනතුරක් නොකරන්න” කියා පවසනවා මට ඇසිණ.’—එළිදරව් 6:5, 6.
ආහාර හිඟය ගැන තියෙන ඒ අනාවැකි ඉටු වෙන්නේ “අවසාන කාලයේදී” කියලා බයිබලයේ කියනවා. (2 තිමෝති 3:1) ඇත්තටම අපි මේ ජීවත් වෙන්නේ ඒ කාලේ. “අවසාන කාලය” ගැනත් එළිදරව් පොතේ කියන අසරුවන් හතරදෙනා ගැනත් තව විස්තර දැනගන්න ‘1914 ඉඳන් ලෝකයේ වාතාවරණය වෙනස් වෙලා!’ කියන වීඩියෝ එක සහ “අසරුවන් හතරදෙනා කවුද?” කියන ලිපිය බලන්න.
බයිබලයෙන් උදව්!
ජීවිතේ එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන හොඳ මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. උදාහරණයකට වියදම් වැඩි වෙද්දී, කෑම හිඟයක් ඇති වෙද්දී වැඩ කරන්න ඕන විදිහ ගැන ඒකේ තියෙනවා. ඒ වගේ මඟ පෙන්වීම් කීපයක් දැනගන්න “ලැබෙන ආදායම අඩු වෙලාද?” කියන ලිපිය බලන්න.
ඉස්සරහට හැම දෙයක්ම හොඳ අතට හැරෙනවා කියලා ලස්සන බලාපොරොත්තුවක් බයිබලයේ තියෙනවා. ඒකේ කියනවා “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යනවා” කියලා. (ගීතාවලිය 72:16) එදාට කෑම නැතුව කිසිම කෙනෙක් දුක් විඳින්නේ නැහැ. ඒ බලාපොරොත්තුව ගැනත් ඒක විශ්වාස කරන්න පුළුවන් ඇයි කියන එක ගැනත් තවත් තොරතුරු දැනගන්න “සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්” කියන ලිපිය බලන්න.