සෝදිසියෙන් ඉන්න!
යුක්රේන යුද්ධය කුසගින්න අවුළුවයි!
2022 මැයි 19වෙනිදා ඉහළ පෙළේ නිලධාරීන් 75කටත් වඩා වැඩිදෙනෙක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මේ වගේ දෙයක් කියලා තියෙනවා. “කොරෝනා වසංගතය නිසා, ගෝලීය උණුසුම නිසා මේ වෙද්දීත් ලෝකේ පුරාම ලොකු ආහාර අර්බුදයක් තියෙනවා. හැබැයි යුක්රේන යුද්ධය නිසා ඒ තත්වය තවත් දරුණු අතට හැරෙයි.” ඒ ප්‍රකාශය නිකුත් කරලා වැඩි කල් යන්න කලින් එක සඟරාවක මේ වගේ දෙයක් සඳහන් වෙලා තිබුණා. “දැනටමත් මිනිස්සු ගොඩක් ප්‍රශ්න එක්ක හැප්පෙනවා. හැබැයි යුක්රේන යුද්ධය නිසා ලෝකේ ඉන්න වැඩිදෙනෙක්ට ඉස්සරහට බඩගින්නේ ඉන්න වෙන තත්වයක් උදා වෙයි.” (The Economist) අපි ජීවත් වෙන මේ අන්තිම කාලේ කෑම හිඟයක් ඇති වෙනවා කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙවෙයි ඒ වගේ දේකට මුහුණ දෙන්නේ කොහොමද කියලත් බයිබලේ කියලා තියෙනවා.
ආහාර හිඟකම් ගැන බයිබලේ කලින්ම කියලා තිබුණා
යේසුස් මෙහෙම කිව්වා. ‘ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද සිදු වෙයි.’—මතෙව් 24:7.
බයිබලේ එළිදරව් කියන පොතේ සංකේතවත් අසරුවන් හතරදෙනෙක් ගැන කතා කරනවා. ඒ එක අසරුවෙක්ගෙන් නියෝජනය වෙන්නේ යුද්ධ. ඒ අසරුවා එයාගේ ගමන ආරම්භ කළාට පස්සේ එයාගේ පිටිපස්සෙන් තවත් අසරුවෙක් එනවා. බලන්න ඒ අසරුවා ගැන බයිබලේ කියන දේ. ‘කලු පැහැති අශ්වයෙකු මම දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තා අතේ තරාදියක් තිබිණ. එවිට මට හඬක් ඇසිණ. ඒ හඬ, “තිරිඟු කිලෝ එකක් ඩිනාරියකි. බාර්ලි කිලෝ තුනක් ඩිනාරියකි” කියා පවසනවා මට ඇසිණ.’ (එළිදරව් 6:5, 6) කලු පාට අසරුවාගෙන් නියෝජනය වෙන්නේ ආහාර හිඟකම්. ඒකේ කියන විදිහට ආහාර හිඟකම් ඇති වෙද්දී කෑම හොයාගන්න අමාරු වෙනවා විතරක් නෙවෙයි තියෙන කෑම ටික ගන්න වෙන්නෙත් ගිනි ගණන්වලට.
ඒ බයිබල් අනාවැකියේ කියන දේවල් “අවසාන කාලයේදී” ඒ කියන්නේ අද අපේ ඇස් පනාපිටම ඉටු වෙනවා. (2 තිමෝති 3:1) “අවසාන කාලය” ගැන සහ එළිදරව් පොතේ සඳහන් අසරුවන් හතරදෙනා ගැන වැඩි විස්තර දැනගන්න “1914 ඉඳන් ලෝකයේ වාතාවරණය වෙනස් වෙලා!” කියන වීඩියෝ එක සහ “අසරුවන් හතරදෙනා කවුද?” කියන ලිපිය බලන්න.
බයිබලෙන් උදව්
බඩුවල මිල ඉහළ යද්දී, ආහාර හිඟකම් ඇති වෙද්දී විතරක් නෙවෙයි අපිට එන ඕනෙම ප්‍රශ්නෙකදී ඒකට සාර්ථකව මුහුණ දෙන්න හොඳම මඟ පෙන්වීම් බයිබලේ තියෙනවා. උදාහරණෙකට “ලැබෙන ආදායම අඩු වෙලාද?” කියන ලිපියෙන් අද කාලෙට ගැළපෙන ගොඩක් උපදෙස් අපිට හොයාගන්න පුළුවන්.
බයිබලේ අපේ අනාගතයට හොඳ බලාපොරොත්තුවකුත් දීලා තියෙනවා. ඒකේ කියනවා ළඟදීම “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යන” කාලයක් එනවා කියලා. (ගීතාවලිය 72:16) එදාට ඇති තරම් කෑම බීම තියෙන නිසා කිසිම කෙනෙක් බඩගින්නේ දුක් විඳින්නේ නැහැ. ඒ ගැන තවත් විස්තර දැනගන්න, ඒක විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලා දැනගන්න “සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්” කියන ලිපිය බලන්න.