mustafahacalaki/DigitalVision Vectors via Getty Images
සෝදිසියෙන් ඉන්න!
කෘතිම බුද්ධිය මිතුරෙක්ද නැත්නම් හතුරෙක්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
කෘතිම බුද්ධිය (AI) පාවිච්චි කරලා කොච්චර පුදුමාකාර දේවල් කරන්න පුළුවන්ද කියලා ලෝක නායකයන්, විද්‍යාඥයන් වගේම තාක්ෂණවේදීන් කතා කරනවා. හැබැයි ඒක වැරදි විදිහට පාවිච්චි කරන එකෙන් වෙන්න පුළුවන් අනතුර ගැනත් එයාලා වධ වෙනවා.
“AI කියන්නේ අද තියෙන හරිම ප්‍රබල තාක්ෂණයක්. ඒක හරි විදිහට පාවිච්චි කළොත් ඒකට පුළුවන් මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ තත්වයකට ගේන්න. හැබැයි ඒක වැරදි විදිහට පාවිච්චි කළොත් ඒක මිනිස්සුන්ගේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙයි. ඒකෙන් මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙයි. ඒ වගේම ඒ හරහා ඕනම කෙනෙක්ගේ පෞද්ගලික තොරතුරු වුණත් අවසරයක් නැතුව ලබාගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි AI වැරදියට පාවිච්චි කළොත් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසයත් අන්තිම අඩියටම වැටෙයි.”—කමලා හැරිස්, ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති, 2023 මැයි 4.
2023 මැයි 9වෙනිදා එක වෙබ් අඩවියක (BMJ Global Health) පළ වුණ ලිපියක වෛද්‍ය ෆ්රෙඩ්රික් ෆෙඩෙස්පීල් ඇතුළු වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් මෙහෙම සඳහන් කළා.a “AI තාක්ෂණයට පුළුවන් මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැටලු විසඳන්න. හැබැයි අනිත් අතට ඒක මිනිස්සුන්ගේ මානසික සහ ශාරීරික සුවයට තර්ජනයක් වෙන්නත් පුළුවන්.”
“මේ වෙද්දීත් AI පාවිච්චි කරලා මිනිස්සු හුඟක් වැරදි තොරතුරු පතුරුවනවා. මේ විදිහට ගියොත් ටික දවසක් යද්දී මිනිස්සුන්ට රස්සා නැති වෙයි. AI නිසා තව ටික කාලෙකින් මුළු මිනිස් සංහතියටම ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙයි.”—The New York Times, 2023 මැයි 1.
මිනිස්සු කෘතිම බුද්ධිය බුද්ධිමත්ව පාවිච්චි කරලා සමාජයට හොඳක් කරයිද, නරකක් කරයිද කියලා කාලයත් එක්කම පැහැදිලි වෙයි. ඒත් ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
තාක්ෂණය නිසා මෙච්චර බයක් දැනෙන්නේ ඇයි?
මිනිස්සු හොයාගන්න අලුත් දේවල්වලින් හැම වෙලේම හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා සහතික වෙන්න බැහැ. ඒ ඇයි?
1. මිනිස්සු අලුත් තාක්ෂණික ක්‍රම හොයාගන්නේ හොඳ චේතනාවෙන් වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඒවා නිසා බලාපොරොත්තු වුණේ නැති විදිහට අනිසි ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා.
“මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත. එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.”—හිතෝපදේශ 14:12.
2. කෙනෙක් නිර්මාණය කරපු දෙයක් අනිත් අය කොහොම පාවිච්චි කරයිද කියලා එයා දන්නේ නැහැ. ඒක පාලනය කරන්නත් එයාට බැහැ.
“මගෙන් පසුව වෙනත් මිනිසෙකු ඇවිත් ඒ සියල්ල භුක්ති විඳියි. එහෙත් ඔහු ප්‍රඥාවන්තයෙකු වේවිද නැතහොත් මෝඩයෙකු වේවිද කියා පැවසිය හැක්කේ කාටද? ඔහු කෙබඳු කෙනෙකු වුවද මගේ දෑතේ උත්සාහයෙන් හා ප්‍රඥාවෙන් ලබාගත් සියල්ල හිමි වන්නේ ඔහුටයි. මෙයද මහා නිෂ්ඵලකමකි.”—දේශනාකාරයා 2:18, 19.
ඒ දේවල්වලින් පැහැදිලි වෙනවා මිනිස්සුන්ට නිර්මාතෘගේ මඟ පෙන්වීම් ඕනෙමයි කියලා.
විශ්වාස කරන්න පුළුවන් කාවද?
කිසිම තාක්ෂණයක් පාවිච්චි කරලා මේ පොළොවවත් මිනිස් වර්ගයාවවත් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ කියලා අපේ නිර්මාතෘ පොරොන්දු වෙනවා.
“පොළොව සදහටම පවතියි.”—දේශනාකාරයා 1:4.
“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.
සාමකාමී, සුරක්ෂිත ජීවිතයක් ලබාගන්න විදිහ දෙවියන් බයිබලයේ පැහැදිලි කරලා තියෙනවා. බයිබලයේ තියෙන දේවල් ගැන තවත් විස්තර දැනගන්න “සුරක්ෂිත අනාගතයකට මඟ පෙන්වීම්” සහ “සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්” කියන ලිපි බලන්න.
a ඒ අදහස අරන් තියෙන්නේ වෛද්‍ය ෆ්රෙඩ්රික් ෆෙඩෙස්පීල්, රූත් මිචෙල්, ආශා අශෝකන්, කාලොස් උමානා සහ ඩේවිඩ් මැකෝයි ලියපු ලිපියකින් (Threats by Artificial Intelligence to Human Health and Human Existence).