ජල අර්බුදය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
ජීවයේ පැවැත්මට ජලය කියන්නේ නැතුවම බැරි දෙයක්. ඒත් “දවසින් දවස වතුරවල අවශ්‍යතාව වැඩි වෙන නිසා අපිට හිතාගන්නවත් බැරි විදිහේ ජල අර්බුදයකට අපි මුහුණ දෙයි” කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියනවා. මේ වෙද්දීත් ලෝකේ පුරාම ඉන්න බිලියන ගාණක් දෙනෙක්ට පිරිසිදු වතුර හොයාගන්න එක ලේසි දෙයක් නෙමෙයි.
Strdel/AFP via Getty Images
හැමෝටම ඇති තරම් වතුර තියෙන දවසක් එයිද? නැත්නම් හැමදාටම වතුර හිඟයත් එක්ක අපිට ඔට්ටු වෙන්න වෙයිද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
ජල හිඟයක් නැති කාලයක් ගැන බයිබලයේ දෙන පොරොන්දුව
වතුර හිඟයක් නැති කාලයක් එනවා කියලා බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා. එදාට පිරිසිදු, නැවුම් වතුර ඕන තරම් හොයාගන්න පුළුවන්.
“කාන්තාරයේ දිය උල්පත් බිඳී යයි. පාළුකරයේ ඇළදොළ, ගංගා ගලා බසියි. වියළි දේශය දිය පොකුණක් මෙන් වන්නේය. ඉරි තැළී ගිය භූමියෙන් පවා දිය උනන්නේය.”—යෙසායා 35:6, 7.
බයිබලයේ තියෙන ඒ පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන් ඇයි? ඒකට උත්තරේ දැනගන්න පොළොව නිර්මාණය කරලා තියෙන විදිහ ගැන බලමු.
පොළොව ගැනත් ජල චක්‍රය ගැනත් බයිබලයේ කියන දේ
“දෙවියන් පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.”—යෙසායා 45:18.
දෙවියන් පොළොව හැදුවේ ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන්මයි. ඒ නිසා ඇති තරම් නැවුම් ජලය පොළොවට ලැබෙන්න ඔහු ස්වාභාවික චක්රයනුත් නිර්මාණය කළා.
“දෙවියන් දිය බිඳු පොළොවෙන් ඉහළට ඇදගත් පසු පොළොවට වැසි වස්සවා පින්නද වැටෙන්න සලස්වන්නේය. වලාකුළුවලින් වැහි බිඳු වැටෙන්නේය. වර්ෂාව නොඅඩුව පොළොවට ඇද හැළෙන්නේය.”—යෝබ් 36:27, 28.
එතන විස්තර කරන්නේ වතුර ස්වාභාවිකවම පිරිසිදු වෙලා පොළොවට දිගටම ලැබෙන්න දෙවියන් ඇති කරපු සැලැස්ම ගැනයි. පොළොවෙන් සහ මුහුදෙන් වතුර ඉහළට වාෂ්ප වෙලා ඒවා ජල බින්දුවලට හැරිලා වැස්ස විදිහට ආයෙත් පොළොවට වැටෙනවා. ඒකෙන් මිනිස්සුන්ටයි, සත්තුන්ටයි අවශ්‍ය පිරිසිදු, නැවුම් ජලය දිගටම ලැබෙනවා.—දේශනාකාරයා 1:7; ආමොස් 5:8.
“මම නියම කලට ඔබේ දේශය පිට වැසි වස්සවන්නෙමි. ඉතා සාරවත් අස්වැන්නක් භූමියෙන් ඔබට ලැබෙන්නේය. කෙත්වල ගස්ද බොහෝ පල දරන්නේය.”—ලෙවී කතාව 26:4.
අතීතයේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟගේ ජීවනෝපාය වුණේ ගොවිතැනයි. දෙවියන් එයාලට පොරොන්දු වුණා හරි කාලෙට වැස්ස ලබා දීලා හොඳ අස්වැන්නක් නෙළාගන්න ආශීර්වාද කරනවා කියලා. මොකද දෙවියන් දන්නවා නිසි කාලේදී වැස්ස ලැබුණේ නැත්නම් පොළොවෙන් හොඳ අස්වැන්නක් ලැබෙන්නේ නැහැ කියලා.
දෙවියන් ඒ කාලේ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කරපු විදිහටම ආයෙත් මුළු පොළොවට ආශීර්වාද කරන්න යනවා. (යෙසායා 30:23) ඒත් මේ වෙද්දී ලෝකේ ගොඩක් පැතිවල ජල හිඟය එන්න එන්නම වැඩි වෙනවා. වැස්ස අඩුවෙන් ලැබෙන එක ඒකට එක හේතුවක් විතරයි. අද තියෙන ජල අර්බුදයට ලැබෙන විසඳුම ගැන බයිබලයේ තව මොනවාද කියලා තියෙන්නේ?
ජල අර්බුදය සදහටම විසඳෙයි
ජල අර්බුදය ඇතුළුව අපේ සොඳුරු නිවහනට බලපාලා තියෙන හැම ප්‍රශ්නයක්ම දෙවියන් ඔහුගේ රාජ්‍යය මාර්ගයෙන් විසඳනවා කියලා බයිබලයේ කියලා තියෙනවා. (මතෙව් 6:9, 10) දේවරාජ්‍යය කියන්නේ මේ මුළු පොළොවම පාලනය කරන්න යන ස්වර්ගයේ තියෙන ආණ්ඩුවටයි. (දානියෙල් 2:44; එළිදරව් 11:15) ජල අර්බුදයට පාර කපන දේවල් අයින් කරන්න මේ වෙන කල් මිනිස් ආණ්ඩුවලට පුළුවන් වෙලා නැහැ. ඒත් දේවරාජ්‍යය ඒ හැම දෙයක්ම මේ පොළොවෙන් සදහටම අයින් කරලා දානවා.
ප්රශ්නය: දේශගුණයේ වෙන වෙනස්කම් ජල චක්‍රයට අහිතකර විදිහට බලපාලා තියෙනවා. ඒ අහිතකර බලපෑම නිසා දරුණු නියඟයන් ඇති වෙනවා. ඒ වගේම ධාරානිපාත වර්ෂා සහ මුහුදු මට්ටම ඉහළ යන නිසා ගංවතුර තත්වයන් ඇති වෙනවා.
විසඳුම: පරිසරයට වෙලා තියෙන හානිය දේවරාජ්‍යයෙන් ආයෙත් හරිගස්සනවා. එතකොට ආයෙත් පොළොව කලින් තිබුණ තත්වයට පත් වෙනවා. “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි” කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (එළිදරව් 21:5) ඉරි තැළිලා වේළිලා ගිය ප්‍රදේශවලට එදාට ඇති තරම් වතුර ලැබෙයි. කිසි කෙනෙක්ට අද ජීවත් වෙන්න බැරි තරම් කාෂ්ටක පැති එදාට ගස්වැල්වලින් පිරිලා යයි. (යෙසායා 41:17-20) ඒ විතරක් නෙමෙයි දේවරාජ්‍යයේ රජ, යේසුස් මේ පොළොවේ තියෙන හැම ස්වාභාවික බලයක්ම පාලනය කරයි.
යේසුස් මේ පොළොවේ ඉද්දී දරුණු කුණාටුවක් නිහඬ කළා. ඒකෙන් පැහැදිලි වුණා දෙවියන් ඔහුට මොන තරම් බලයක් දීලා තියෙනවාද කියලා. (මාක් 4:39, 41) ක්‍රිස්තුස් මේ පොළොව පාලනය කරන කාලේදී කිසිම ස්වාභාවික විපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා විපත් ගැන හිතේ බයක් නැතුව සතුටින්, සමාදානයෙන් එදාට මිනිස්සු ජීවත් වෙයි.
ප්රශ්නය: ආත්මාර්ථකාමී මිනිස්සු නිසාත් කෑදර ආයතන නිසාත් ඇළදොළ ගංගා විතරක් නෙමෙයි දිය උල්පත් පවා දූෂණය වෙලා. ඒ නිසා පිරිසුදු ජලය හිඟ වෙලා තියෙනවා.
විසඳුම: දෙවියන් මේ පොළොව පිරිසිදු කරනවා. ඒකේ තියෙන ඇළදොළ ගංගා, මුහුදු ආයෙත් කලින් තිබුණ තත්වයට ගේනවා. ඒ කාලේදී පොළොව පාරාදීසයක් වෙනවා. ඒ ගැන හරිම කාව්‍යමය විදිහට බයිබලයේ මෙහෙම කියනවා. “වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.”—යෙසායා 35:1.
පොළොව ගැන කිසිම ගාණක් නැතුව වැඩ කරන මිනිස්සුන්ට එදාට මොනවා වෙයිද? ‘පොළොව විනාශ කර දමන අයව විනාශ කරනවා’ කියලා දෙවියන් කියනවා.—එළිදරව් 11:18; හිතෝපදේශ 2:21, 22.
ප්රශ්නය: ජල සම්පත මිනිස්සු හරි විදිහට පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා වතුර ගොඩක් නාස්ති වෙනවා.
විසඳුම: දේවරාජ්‍යය පාලනය කරද්දී දෙවියන්ගේ කැමැත්ත විතරයි පොළොවේ සිද්ධ වෙන්නේ. (මතෙව් 6:9, 10) මොකද යෙසායා 11:9 කියනවා “ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය” කියලා.a එදාට පොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ට දේවරාජ්‍යය මාර්ගයෙන් නිවැරදි දැනුම ලබා දෙනවා. දෙවියන් ගැනත් ඔහු නිර්මාණය කරලා තියෙන දේවල් ගැනත් හිතේ ආදරයක් ඇති කරගෙන වැඩ කරන්න ඒ දැනුම එයාලට උදව් වෙයි. එදාට එයාලා මේ ලස්සන පොළොවත් ඒකේ තියෙන ස්වාභාවික සම්පත් හැම එකක්මත් හරිම ආදරයෙන් බලාගනියි.
දේවරාජ්‍යයෙන් කරන තවත් දේවල් ගැන දැනගන්න “දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ මොනවාද?” කියන ලිපිය බලන්න.
මේ පොළොව පාරාදීසයක් වෙන්නේ කොහොමද කියලා දැනගන්න බයිබලයේ යෙසායා පොතේ 35වෙනි පරිච්ඡේදය ඔයාම කියවලා බලන්න.
දෙවියන් මේ පොළොව සහ මිනිස්සුන්ව හැදුවේ ඇයි කියලා දැනගන්න ‘දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.