ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 184 ලිපිය
  • විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • විවාහය ගැන දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් මොනවාද?
  • වෙන්වීම සහ දික්කසාදය ගැන බයිබලේ කියන්නේ මොකක්ද?
  • දෙවියන් පිළිගන්නේ නීත්‍යානුකුල විවාහයන් විතරද?
  • බයිබලේ කියන විදිහට ස්වාමිපුරුෂයන්ට සහ භාර්යාවන්ට තියෙන වගකීම් මොනවාද?
  • විවාහ වෙන හැමෝම දරුවන් හදන්න ඕනෙ කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවාද?
  • මගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කොහොමද?
  • සතුට පිරුණ යුග දිවියකට ඔවදන්
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ප්‍රීතිමත් යුග දිවියකට මඟ කුමක්ද?
    2011 පිබිදෙව්!
  • සතුට පිරුණු, ශක්තිමත් කැදැල්ලක් ගොඩනඟන්න
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 184 ලිපිය
යුවළක් උදේ කෑම කන ගමන් සතුටින් කතා කරකර ඉන්නවා.

විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දෙවියන් මුල්ම පුරුෂයාවයි, ස්ත්‍රියවයි හදලා ඒ දෙන්නාව විවාහ කරලා දුන්නා. විවාහය කියන මේ ලස්සන සැලැස්ම නිසා පුරුෂයාට, ස්ත්‍රියට වගේම අනාගතයේදී බිහි වෙන දරුවන්ටත් සුරක්ෂිත වාතාවරණයක් ඇති වෙනවා.—උත්පත්ති 1:27, 28; 2:18.

විවාහක යුවළයන් සතුටින් ඉන්නවා දකින්නයි දෙවියන් කැමති. (හිතෝපදේශ 5:18) ඒ නිසා සතුටින් විවාහ ජීවිතය ගත කරන්න උදව් වෙන මඟ පෙන්වීම් සහ ප්‍රතිපත්ති ඔහු බයිබලේ දීලා තියෙනවා.

මේ ලිපියෙන්

  • විවාහය ගැන දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් මොනවාද?

  • වෙන්වීම සහ දික්කසාදය ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

  • දෙවියන් පිළිගන්නේ නීත්‍යානුකුල විවාහයන් විතරද?

  • බයිබලේ කියන විදිහට ස්වාමිපුරුෂයන්ට සහ භාර්යාවන්ට තියෙන වගකීම් මොනවාද?

  • විවාහ වෙන හැමෝම දරුවන් හදන්න ඕනෙ කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවාද?

  • මගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කොහොමද?

  • විවාහය ගැන සඳහන් බයිබල් පද

විවාහය ගැන දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් මොනවාද?

දෙවියන් ඇති කරපු මේ ලස්සන විවාහ සැලැස්මට ඇතුළත් වෙන්න ඕනෙ එක පුරුෂයෙක් සහ එක ස්ත්‍රියක් විතරයි. (උත්පත්ති 2:24) ස්වාමිපුරුෂයන්, භාර්යාවන් කීපදෙනෙක්ම ඉන්න එකවත් සමලිංගික ක්‍රියාවල යෙදෙන එකවත් විවාහ වෙන්නේ නැතුව එකට ජීවත් වෙන එකවත් දෙවියන් පොඩ්ඩක්වත් අනුමත කරන්නේ නැහැ. (1 කොරින්ති 6:9; 1 තෙසලෝනික 4:3) යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වෙත් දෙවියන් විවාහය ගැන මුලින්ම ඇති කරපු සැලැස්මට කීකරු වෙන්න කියලයි.—මාක් 10:6-8.

දෙවියන් විවාහය සලකන්නේ හැමදාටම තියෙන බැඳීමක් විදිහට. යුවළක් විවාහ වෙද්දී එයාලා ජීවත් වෙලා ඉන්න තාක් කල් දෙන්නාට දෙන්නා විශ්වාසවන්තව ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. ඒ පොරොන්දුව එයාලා ඒ විදිහටම රකියි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා.—මාක් 10:9.

වෙන්වීම සහ දික්කසාදය ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

පවුලේ ඇති වෙන හදිසි තත්වයන් වගේ දේවල් නිසා සමහර වෙලාවට ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට ටික කාලෙකට එකිනෙකාගෙන් වෙන් වෙලා ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි පවුලේ ඇති වෙන ප්‍රශ්න නිසා එකිනෙකාගෙන් වෙන් වෙලා ඉන්න බයිබලේ දිරිගන්වන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලේ දිරිගන්වන්නේ ප්‍රශ්න ඇති වුණාම ඒවා ඉක්මනින් විසඳගෙන ආයෙත් සමාදාන වෙන්න කියලයි.—1 කොරින්ති 7:10.

විවාහ වුණ දෙන්නෙක්ට දික්කසාද වෙන්න බයිබලේ දීලා තියෙන එකම පදනම තමයි වේශ්‍යාකම. (මතෙව් 19:9) ඒ හේතුව නිසා හැර වෙන හේතුවකට කෙනෙක් තමන් විවාහ වෙලා ඉන්න කෙනාගෙන් වෙන් වුණොත් නැත්නම් දික්කසාද වුණොත්? ඒ වගේ අවස්ථාවකදී එයාට තව කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්නවත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්නවත් ශුද්ධ ලියවිල්ලට අනුව කිසිම අවසරයක් නැහැ.—මතෙව් 5:32; 1 කොරින්ති 7:11.

දෙවියන් පිළිගන්නේ නීත්‍යානුකුල විවාහයන් විතරද?

විවාහය ගැන බලධාරීන් දාලා තියෙන නීතිවලට කීකරු වෙයි කියලා දෙවියන් ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වෙනවා. (තීතස් 3:1) යම් රටක විවාහයක් නීත්‍යානුකූලව ලියාපදිංචි කරන්න ඉඩ සලසලා තියෙනවා නම් යුවළක් ඒ දේ කරන්න තීරණය කරන එක ගැන දෙවියන් ගොඩක් සතුටු වෙනවා. මොකද ඒකෙන් එයාලා උසස් බලධාරීන්ට කීකරු වෙනවා කියලත් දෙවියන් ඇති කරපු විවාහ සැලැස්ම සැහැල්ලුවට ගන්නේ නැහැ කියලත් පෙන්නනවා.a

බයිබලේ කියන විදිහට ස්වාමිපුරුෂයන්ට සහ භාර්යාවන්ට තියෙන වගකීම් මොනවාද?

  • දෙන්නාටම තියෙන වගකීම්. ස්වාමිපුරුෂයායි, භාර්යාවයි එකිනෙකාට ආදරයෙන් සහ ගෞරවයෙන් සලකන්න ඕනේ. (එෆීස 5:33) එයාලා එකිනෙකාගේ ලිංගික අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම හැම පුංචි කාරණයකදීම දෙන්නාට දෙන්නා විශ්වාසවන්තව ඉන්න ඕනේ. (1 කොරින්ති 7:3; හෙබ්‍රෙව් 13:4) යුවළකට දරුවන් ඉන්නවා නම් එයාලව ඇතිදැඩි කරන්න, එයාලව රැකබලා ගන්න දෙන්නාටම වගකීම තියෙනවා.—හිතෝපදේශ 6:20.

    තාත්තා එළවළු කපන අතරතුරේදී අම්මා දුවට ඉස්කෝලේ වැඩ කරන්න උදව් කරනවා.

    ගෙදරදොරේ වැඩ කරන එක ගැනවත් රස්සාවල් කරන්න ඕනෙ කවුද, ඒක කරන්නේ කොහොමද කියන එක ගැනවත් බයිබලේ ගොඩක් විස්තර කරලා නැහැ. ඒ නිසා තමන්ගේ පවුලට ගැළපෙන හොඳම දේ මොකක්ද කියලා දෙන්නාට එකතු වෙලා තීරණය කරන්න පුළුවන්.

  • ස්වාමිපුරුෂයාගේ වගකීම්. “ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස ලෙස කටයුතු කරනවා” කියලා බයිබලේ කියනවා. (එෆීස 5:23) පවුලේ හිස නැත්නම් මූලිකයා කියන එකෙන් අදහස් කරන්නේ පවුලේ අයව රැකබලා ගන්න, එයාලට මඟ පෙන්වීම් දෙන්න, එයාලගේ ප්‍රයෝජනය වෙනුවෙන් හොඳ තීරණ ගන්න ස්වාමිපුරුෂයාට ලොකු වගකීමක් තියෙනවා කියන එකයි.

    යුවළක් බයිබලේ කියවන ගමන් තේ බොනවා.

    ඒ වගේම එයාලට අවශ්‍ය දේවල් දෙන්න, එයාලව සතුටින් තියන්න, දෙවියන්ට ළං වෙන්න එයාලට උදව් කරන්න පවුලේ මූලිකයා ගොඩක් මහන්සි වෙන්න ඕනේ. (1 තිමෝති 5:8) හොඳ ස්වාමිපුරුෂයෙක් බිරිඳ එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. වැදගත් තීරණයක් ගන්න කලින් එයාගේ අදහස් අහලා බලනවා. එහෙම කරන එකෙන් එයා පෙන්නන්නේ බිරිඳගේ හොඳ ගතිගුණ, හැකියාවන් එයා ගොඩක් අගය කරනවා කියලයි. (හිතෝපදේශ 31:11, 28) ස්වාමිපුරුෂයෙක් එයාගේ වගකීම් ඉටු කරන හැම වෙලාවකම ඒක කරන්න ඕනෙ ආදරෙන් කියලා බයිබලේ කියනවා.—කොලොස්සි 3:19.

  • බිරිඳකගේ වගකීම්. “භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දක්වන්න ඕනෙ” කියලා බයිබලේ කියනවා. (එෆීස 5:33) පවුලේ මූලිකයා විදිහට දෙවියන් ස්වාමිපුරුෂයාට දීලා තියෙන වගකීම බිරිඳක් පිළි අරන් ඒකට ගරු කරද්දී දෙවියන් ඒ ගැන හුඟක් සතුටු වෙනවා.

    යුවළක් එයාලගේ වියදම් ගැන කතා කරනවා.

    බිරිඳක් එයාගේ ස්වාමිපුරුෂයාට හොඳ සහකාරියක් වෙන්න ඕනේ. (උත්පත්ති 2:18) හොඳ තීරණ ගන්න උදව් කරන්න ඕනේ. ඒ වගේම ස්වාමිපුරුෂයා ගන්න තීරණවලට උපරිමෙන්ම සහයෝගය දෙන්න ඕනේ. ඒ විදිහට තමන්ගේ වගකීම් හොඳින් ඉටු කරන භාර්යාවන්ව බයිබලේ හුඟක් අගය කරලා තියෙනවා.—හිතෝපදේශ 31:10.

විවාහ වෙන හැමෝම දරුවන් හදන්න ඕනෙ කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවාද?

ඇත්ත, අතීතයේ හිටපු දෙවියන්ගේ සමහර සේවකයන්ට දරුවන් හදන්න කියලා ඔහු කියලා තියෙනවා. (උත්පත්ති 1:28; 9:1) හැබැයි ඒ මඟ පෙන්වීම අද ඉන්න ක්‍රිස්තියානීන්ට අදාළ වෙන්නේ නැහැ. යේසුත් කවදාවත් ඔහුගේ අනුගාමිකයන්ට අණ කරලා නැහැ දරුවන් හදන්න කියලා. ඔහුගේ මුල් ගෝලයන් වුණත් එහෙම කරන්න කියලා අනිත් අයට නීති දැම්මේ නැහැ. ඒ නිසා දරුවන් හදනවාද නැද්ද කියලා තීරණය කරන්න යුවළකට සම්පූර්ණ නිදහස තියෙනවා.

මගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කොහොමද?

අලුත විවාහ වුණ යුවළකට වුණත් විවාහ ජීවිතය සාර්ථක කරගන්න උදව් වෙන හුඟක් මඟ පෙන්වීම් බයිබලේ තියෙනවා. ඒ වගේම විවාහ ජීවිතේ ඇති වෙන ගැටලු මඟ හරවාගන්න, ගැටලු ඇති වුණාම ඒවා විසඳගන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් හුඟක් ප්‍රයෝජනවත්.

යුවළක් බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගද්දී . . .

  • සැබෑ ආදරය පෙන්නන්න පුළුවන්.—1 කොරින්ති 13:4-7; කොලොස්සි 3:14.

  • අනිත් කෙනාගේ තත්වයට අනුව හැඩගැහිලා සමාදානෙන් ඉන්න පුළුවන්.—1 කොරින්ති 10:24.

  • හොඳින් ඇහුම්කන් දෙන්න පුළුවන්.—යාකොබ් 1:19.

  • අනිත් කෙනාට ගරු කරන්න පුළුවන්.—රෝම 12:10.

  • හදවතින්ම සමාව දෙන්න පුළුවන්.—1 පේතෘස් 4:8.

  • ජීවිත කාලේ පුරාම විශ්වාසවන්තව ඉන්න පුළුවන්.—මාක් 10:9.

  • ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන්.—එෆීස 4:2, 3.

  • එකට එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්.—දේශනාකාරයා 4:9.

  • දෙන්නා අතර තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන්.—සලමොන්ගේ ගීතිකාව 8:7.

a සාම්ප්‍රදායික සහ ගෝත්‍රික විවාහයන් ගැන බයිබලේ කියන දේ දැනගන්න 2006 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 21 පිටුවේ 12වෙනි ඡේදය බලන්න.

විවාහය ගැන සඳහන් බයිබල් පද

හිතෝපදේශ 18:22: “යමෙකුට හොඳ බිරිඳක් සොයාගත හැකි නම් ඇය ඔහුට වටිනා සම්පතකි.”

තේරුම: විවාහ වෙන එක හොඳ දෙයක් කියලා බයිබලේ කියනවා.

මලාකි 2:15: “තරුණ කාලයේදී ඔබ විවාහ කරගත් බිරිඳට ද්‍රෝහි නොවී සිටීමට අදිටන් කරගන්න.”

තේරුම: විවාහ වෙලා අවුරුදු ගාණක් ගියත් දෙන්නා එකිනෙකාට ගෞරවයෙන් සලකයි කියලත් දිගටම විශ්වාසවන්තව ඉඳියි කියලත් දෙවියන් යුවළකගෙන් බලාපොරොත්තු වෙනවා.

මාක් 10:9: “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”

තේරුම: දෙවියන් අරමුණු කරපු විදිහට විවාහය කියන්නේ හැමදාටම තියෙන බැඳීමක්.

හෙබ්‍රෙව් 13:4: “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි.”

තේරුම: යුවළක් එයාලගේ විවාහය හුඟක් වටින දෙයක් විදිහට සලකන්න ඕනේ. ඒක රැකගන්න මහන්සි වෙන්නත් ඕනේ.

1 කොරින්ති 7:28: “විවාහ වන අයට තම ජීවිතයේ වෙනත් ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වේ.”

තේරුම: ප්‍රශ්න නැති විවාහයක් නැහැ. ඒ නිසා විවාහ ජීවිතේ ඇති වෙන අභියෝග ජය ගන්න දෙන්නාම එකතු වෙලා මහන්සි වෙන්න ඕනේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න