සතුට පිරුණු, ශක්තිමත් කැදැල්ලක් ගොඩනඟන්න
“යෙහෝවා දෙවි ගෘහය ගොඩනඟන්නේ නැත්නම් ගොඩනඟන්නන්ගේ වෙහෙස නිෂ්ඵල වනු ඇත.”—ගීතා. 127:1අ.
1-3. විවාහක යුවළයන් මුහුණ දෙන අභියෝග මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
“ආදරෙන් බැඳුණු යුවළක් විදිහට හැමදාම ඉන්න කැමති නම් ඒ වෙනුවෙන් අවංක වෑයමක් දරන්න. එතකොට යෙහෝවා දෙවිගේ ආශීර්වාද අද්දකින්න පුළුවන්.” එහෙම කියන්නේ අවුරුදු 38ක් පුරා සතුටින් පවුල් ජීවිතේ ගත කරන සැමියෙක්. ජීවිතේ සතුටින් ඉන්න කාලවලදී වගේම ප්‍රශ්න ගැටලු ඇති වෙන කාලවලදීත් එකට ඒ දේවලට මුහුණ දෙන්න ආදරෙන් බැඳුණු යුවළකට පුළුවන්.—හිතෝ. 18:22.
2 “විවාහ වන අයට තම ජීවිතයේ වෙනත් ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වේ” කියලා බයිබලේ කියනවා. (1 කොරි. 7:28) දෙන්නා අතරේ එදිනෙදා ඇති වෙන පොඩි පොඩි ප්‍රශ්න විවාහ බැඳීමට බලපාන්න පුළුවන්. උදාහරණෙකට හිත රිදෙන වචන නිසා, වරදවා වටහාගැනීම් නිසා, හිතේ තියෙන දේ අවංකව කියන්නේ නැති නිසා ආදරෙන් ඉන්න යුවළක් අතර වුණත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. (යාකො. 3:2, 5, 8) දෙන්නම රැකියාවන් කරනවා නම් දෙන්නටම ඒක ලොකු පීඩනයක්. දරුවෝ ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් ලොකු වෙහෙසක් දරන්නත් වෙනවා. ඔය දේවල් අතරේ දෙන්නගේ බැඳීම ශක්තිමත් කරගන්න කාලය දෙන එක ලේසි නැහැ. ආර්ථික ප්‍රශ්න, අසනීප වගේ දේවලට මුහුණ දෙන්න වෙද්දී දෙන්නා අතරේ තියෙන ආදරේ, ගෞරවය ටිකෙන් ටික අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අනාචාරය, නින්දිත හැසිරීම, සතුරුකම්, අඬදබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද වගේ “පව්කාර ආශාවන්” නිසා ශක්තිමත් කියලා පේන්න තියෙන විවාහයන් වුණත් බිඳ වැටෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.—ගලා. 5:19-21.
3 මේ අවසන් දවස්වල ඉන්න මිනිස්සු හුඟක් ආත්මාර්ථකාමියි. දෙවිට කිසිම ගෞරවයක් නැහැ. යුවළකට ඒ ආකල්ප බෝ වුණොත් ඒක හරියට දෙන්නගේ විවාහයට විස එකතු වෙනවා වගේ දෙයක්. (2 තිමෝ. 3:1-4) ඒ විතරද, විවාහ බැඳීම් කඩලා දාන්න සතුරෙකුත් බලාගෙන ඉන්නවා. ඒ කවුද කියලා බයිබලේ කියන්නේ මෙහෙමයි. “ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.”—1 පේතෘ. 5:8; එළි. 12:12.
4. සතුට පිරුණු, ශක්තිමත් විවාහයක් ගොඩනඟන්න පුළුවන් කොහොමද?
4 “මුදල් ප්‍රශ්න නිසා මං හිටියේ ලොකු පීඩනයකින්. බිරිඳ එක්ක හරියට කතාබහ කරන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒක එයාටත් ලොකු පීඩනයක් වුණා. ඒ මදිවට එයා අසනීපත් වුණා. අපි අතරේ අඬදබර ඇති වෙන්න ඔය දේවල් බලපෑවා” කියලා සැමියෙක් කියනවා. ඇත්ත, විවාහ ජීවිතේදී අභියෝග එනවා තමයි. ඒත් ඒවා ජය ගන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ උදව්වෙන් සතුට පිරුණු, ශක්තිමත් කැදැල්ලක් ගොඩනඟන්න ඔයාට පුළුවන්. (ගීතාවලිය 127:1 කියවන්න.) ඒකට උදව්වෙන කාරණා 5ක් ගැන දැන් බලමු. ඒ වගේම විවාහයකට ආදරේ අත්‍යවශ්‍යම දෙයක් වෙන්නේ ඇයි කියලත් අපි බලමු.
යෙහෝවා දෙවි ඇතුළත් විවාහයක්
5, 6. විවාහයට යෙහෝවා දෙවිව සම්බන්ධ කරගන්න යුවළක් කරන්න ඕනෙ මොනවද?
5 යුවළක් යෙහෝවා දෙවිට විශ්වාසවන්ත නම් ඔහුට කීකරු නම් ඒ දෙන්නගේ විවාහයට තියෙන්නේ ශක්තිමත් අත්තිවාරමක්. (දේශනාකාරයා 4:12 කියවන්න.) සැමියා සහ බිරිඳ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න උත්සාහ කරද්දී ඒ දෙන්නා කරන්නේ විවාහයට දෙවිවත් සම්බන්ධ කරගන්න එකයි. බයිබලේ මෙහෙම කියනවා. “ඔබට පිටුපසින් මෙසේ කියන හඬක් ඇසෙයි. ‘ජනයෙනි, යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න.’ ඔබ දකුණට හෝ වමට හෝ හැරී නිවැරදි මඟෙන් ඉවත්ව ගියොත් දෙවි පෙන්වන මඟට නැවත හැරී එන්න.” (යෙසා. 30:20, 21) එකට බයිබලේ කියවද්දී ඒ දෙන්නට යෙහෝවා දෙවිගේ ‘හඬ ඇහෙනවා.’ (ගීතා. 1:1-3) දිරිගැන්වෙන විදිහට, නිතිපතා පවුලේ නමස්කාරය කරද්දී දෙන්නගේ බැඳීම තවත් වැඩි වෙනවා. හැමදාම එකට යාච්ඤා කරද්දී සාතන්ගේ ලෝකෙන් එන ප්‍රහාරවලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් බැඳීමක් ගොඩනැඟෙනවා.
නමස්කාරයට සම්බන්ධ දේවල් එකට කරද්දී යෙහෝවා දෙවි එක්කත් දෙන්නා අතරෙත් කිට්ටු බැඳීමක් ඇති වෙනවා (5 සහ 6 ඡේද බලන්න)
6 ජර්මනියේ ඉන්න ගෙහාට් මෙහෙම කියනවා. “පෞද්ගලිකත්වයන් වෙනස් නිසා සමහර වෙලාවට අපි අතරේ ගැටීම් ඇති වෙනවා. වරදවා වටහාගන්න වෙලාවල් තියෙනවා. ඒත් බයිබලේ තියෙන උපදෙස් නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා ඉවසන්න. එකිනෙකාට සමාව දෙන්න.” සාර්ථක විවාහයකට ඒ ගුණාංග අත්‍යවශ්‍යමයි කියලා ඔහු කියනවා. යුවළක් එකට දෙවිට සේවය කරනවා කියන්නේ ඒ විවාහයට යෙහෝවා දෙවිව සම්බන්ධ කරගන්න එයාලා ලොකු වෑයමක් දරනවා කියන එකයි. එතකොට යෙහෝවා දෙවි එක්කත් දෙන්නා අතරෙත් කිට්ටු බැඳීමක් ඇති වෙනවා.
ආදරෙන් මූලිකත්වය ගන්න සැමියෙක්
7. සැමියෙක් බිරිඳට සලකන්න ඕනෙ කොහොමද?
7 විවාහය සතුට පිරුණු, ශක්තිමත් එකක් කරගන්න සැමියෙක් මූලිකත්වය ගන්න විදිහ බලපානවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත් ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්” බයිබලේ කියනවා. (1 කොරි. 11:3) ඒ කියන්නේ යේසුස් ඔහුගේ ගෝලයන්ට සලකපු විදිහට සැමියෙක් බිරිඳට සලකන්න ඕනෙ කියන එකයි. යේසුස් කවදාවත් දරුණු, සැරපරුෂ කෙනෙක් වුණේ නැහැ. ඔහු හැම වෙලේම ආදරෙන්, කාරුණාවෙන්, අනිත් අයව තේරුම් අරන් වැඩ කළා. ඒ වගේම ඔහු මෘදු, නිහතමානී කෙනෙක්.—මතෙ. 11:28-30.
8. බිරිඳගේ ආදරේ, ගෞරවය දිනාගන්න සැමියෙකුට පුළුවන් කොහොමද?
8 සැමියෙක් යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් බිරිඳගේ ගෞරවය කවදාවත් බලෙන් ගන්න ඕන වෙන්නේ නැහැ. “ඔබේ භාර්යාවන්ව හොඳින් තේරුම්ගෙන ඔවුන් සමඟ ජීවත් වන්න. කාන්තාවන් වන ඔවුන් ඔබට වඩා දුර්වල අය වන නිසා . . . ඔවුන්ට ගෞරවය දිය යුතුයි” කියන උපදෙස සැමියෙක් හිතට ගන්නවා. (1 පේතෘ. 3:7) වෙන අය ඉන්න වෙලාවලදීත් නැති වෙලාවලදීත් සැමියා බිරිඳට ගෞරවයෙන් කතා කරන්න ඕනේ. ආදරෙන්, දයාවෙන් සලකලා එයා වටින කෙනෙක් කියලා දැනෙන්න සලස්වන්න. (හිතෝ. 31:28) එතකොට සැමියාට ආදරෙන්, ගෞරවයෙන් සලකන්න බිරිඳ පෙලඹෙන්නේ නිතැතින්මයි. යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් ලැබෙනවා.
කැමැත්තෙන්ම යටත් වෙන බිරිඳක්
9. සැමියාට කැමැත්තෙන්ම යටත් වෙන බිරිඳක් කොයි වගේද?
9 යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්තිවලට කීකරු වෙද්දී ඔහු ගැන අපේ හිතේ ලොකු ආදරයක් ඇති වෙනවා. ඒ ආදරේ නිසා දෙවිට අපි කැමැත්තෙන්ම යටත් වෙනවා. (1 පේතෘ. 5:6) යෙහෝවා දෙවිට තියෙන අධිකාරියට ගෞරවය පෙන්නන්න බිරිඳකට පුළුවන් හොඳ විදිහක් තමයි සැමියාට සහයෝගය දෙන එක. බයිබලේ කියන්නේ “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. මන්ද ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස එසේ කිරීම සුදුසුය” කියලයි. (කොලො. 3:18) සැමියා ගන්න හැම තීරණයකටම කැමති වෙන්න සමහරවිට බිරිඳකට බැරි වෙයි. ඒ වුණත් සැමියා ගන්න තීරණවලින් යෙහෝවා දෙවිගේ නීති කඩ වෙන්නේ නැත්නම් බිරිඳ ඒ තීරණවලට සහයෝගය දෙනවා. එයා කැමැත්තෙන්ම යටත් වෙන බිරිඳක් කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—1 පේතෘ. 3:1.
10. කැමැත්තෙන්ම යටත් වෙන එක වැදගත් ඇයි?
10 යෙහෝවා දෙවි බිරිඳකට විවාහය තුළ ගෞරවනීය තැනක් දුන්නා. ඒ සැමියාගේ “සහකාරිය” කියන තැන. (මලා. 2:14) පවුලට බලපාන තීරණ ගද්දී බිරිඳක් තමන්ගේ අදහස්, හැඟෙන දේ ගෞරවනීයව කියන්න ඕනේ. සැමියාගේ තීරණය මොකක් වුණත් එයා ඒක යටහත්පහත්ව පිළිගන්නවා. ඥානවන්ත සැමියෙක් හැම වෙලේම බිරිඳගේ අදහස්වලටත් සවන් දෙනවා. (හිතෝ. 31:10-31) බිරිඳක් ආදරෙන්, යටහත්පහත්ව වැඩ කරද්දී ඒ දෙන්නගේ කැදැල්ල සතුට, සාමය පිරුණු එකක් වෙයි. දෙවිව සතුටු කරන විදිහට ජීවත් වෙනවා කියලා තේරෙන කොට ඒ යුවළට දැනෙන්නේ ලොකු තෘප්තියක්.—එෆී. 5:22.
මුළු හිතින්ම සමාව දෙන යුවළක්
11. සමාව දෙන එක විවාහය ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ කොහොමද?
11 ශක්තිමත් විවාහ බැඳීමක් ගොඩනඟන්න නම් යුවළක් ‘ඉවසන්න, නිතරම මුළු හදවතින්ම සමාව දෙන්න’ ඉගෙනගන්නම ඕනේ. (කොලො. 3:13) ඒත් අතීතයේ වුණ වැරදි ආයේ ආයේ මතක් කරලා ඒවාවලින් පහර දුන්නොත් නම් ඒ බැඳීම දුර්වල වෙනවා. පුංචි පුංචි ඉරි තැළීම් පස්සේ කාලෙකදී ලොකු ගොඩනැඟිල්ලක් වුණත් කඩා වැටෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේ හිත රිදෙන වචන නිසා, කේන්තිය නිසා එකිනෙකාට සමාව දෙන එක, සහයෝගයෙන් වැඩ කරන්න එක එන්න එන්නම අමාරු වෙන්න පුළුවන්. ප්‍රතිඵලයක් විදිහට ශක්තිමත් විවාහයක් වුණත් බිඳ වැටෙන්න ඉඩ තියෙනවා. ඒත් යෙහෝවා දෙවි ඒ දෙන්නට සමාව දෙනවා වගේ ඒ දෙන්නත් එකිනෙකාට සමාව දෙනවා නම් විවාහය ශක්තිමත් වෙනවා.—මීකා 7:18, 19.
12. ‘ප්‍රේමයෙන් පව් රාශියක් මකා දමන්න’ පුළුවන් කොහොමද?
12 සැබෑ ආදරය තියෙන කෙනෙක් “අමනාපයක් සිතේ තබාගන්නේ නැත.” ඒ වගේම “ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක” කියලත් එයා දන්නවා. (1 කොරි. 13:4, 5; 1 පේතෘස් 4:8 කියවන්න.) අපි අනිත් අයට ඇත්තටම ආදරේ නම් ඒ අයට සමාව දෙන්න අපිට සීමාවක් නැහැ. තමන්ට වැරදි කරන කෙනෙක්ට “හැත්තෑහත් වරක් දක්වා” සමාව දෙන්න කියලා යේසුස් කිව්වා. (මතෙ. 18:21, 22) ඔහු ඒකෙන් අදහස් කළේ සමාව දෙන්න සීමාවක් නැහැ කියලයි.—හිතෝ. 10:12.a
13. සමාව දෙන්න ලේසි වෙන්නේ අපි මොනවා කළොත්ද?
13 ඇනෙට් කියන දේ බලන්න. “සමාව දෙන්නේ නැත්නම් අමනාපය, සැකේ තව වැඩි වෙයි. ඒක හරියට පවුල් ජීවිතේට ටිකෙන් ටික විස එකතු වෙනවා වගේ. ඒත් හදවතින්ම සමාව දෙනවා නම් දෙන්නගේ බැඳීම තවත් වැඩි වෙනවා.” සැමියා ගැන, බිරිඳ ගැන හිතේ තියෙන අගය වචනවලින් කියන්නත් අදිමදි කරන්න එපා. එයාව අගය කරන්න පුළුවන් පැති ගැන හිතන්න. එහෙම කරද්දී එයාගේ අතින් වෙන අඩුපාඩුවලට සමාව දෙන්න ලේසියි. (කොලො. 3:15) ප්‍රතිඵලයක් විදිහට සාමකාමී මනසක්, දෙන්නා අතරේ එක්සත්කමක් වගේම යෙහෝවා දෙවිගේ අනුමැතියත් ලැබෙනවා.—රෝම 14:19.
රන් අණ පිළිපදින පවුලක්
14, 15. රන් අණ මොකක්ද? ඒක අදාළ කරගද්දී විවාහ බැඳීම ශක්තිමත් වෙන්නේ කොහොමද?
14 අනිත් අය අපිට ගෞරවයෙන් සලකනවට, අපේ අදහස්වලට සවන් දීලා අපේ හැඟීම් ගැන සැලකිලිමත් වෙනවට අපි කැමතියි. ඒත් “එයා මට කරපු දේට මං හොඳ පාඩමක් උගන්නනවා” කියලා සමහරු කියනවා ඔයාට ඇහිලා ඇති. කෙනෙක් එහෙම කියන්නේ දැනෙන වේදනාව නිසා වෙන්න පුළුවන්. ඒ වුණත් බයිබලේ කියන්නේ ‘“ඔහු මට විරුද්ධව යමක් කළොත් මමත් ඔහුට ඒ දේම කරමි” යයි නොකියන්න’ කියලයි. (හිතෝ. 24:29) ප්‍රශ්න ඇති වෙද්දී කරන්න පුළුවන් හොඳම දේ “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න” කියලා යේසුස් දුන්න රන් අණ පිළිපදින එකයි. (ලූක් 6:31) ඔහු ඒකෙන් අදහස් කළේ අපි අනිත් අයට සලකන්න ඕනෙ ඒ අය අපිට සලකනවට අපි කැමති විදිහට මිසක් එයාලා අපිට සලකන විදිහට නෙමෙයි කියලයි.
15 යුවළක් එකිනෙකාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙද්දී ඒ විවාහ බැඳීම හුඟක් ශක්තිමත් වෙනවා. “අපි දෙන්නා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ රන් අණ අපේ පවුල් ජීවිතේට අදාළ කරගන්නයි. ඇත්ත, හිත රිදෙන, ප්‍රශ්න ඇති වෙන වෙලාවල් තියෙනවා. ඒත් එහෙම වෙලාවලදී මං කැමති මගේ බිරිඳ මට ගෞරවයෙන් සලකනවට. මම උත්සාහ කරන්නෙත් එයාට ගෞරවයෙන් සලකන්නයි. එයා උත්සාහ කරන්නෙත් ඒ දේ කරන්නමයි.” එහෙම කියන්නේ දකුණු අප්‍රිකාවේ ඉන්න සැමියෙක්.
16. විවාහක යුවළක් එකිනෙකාට කවදාවත් කරන්න හොඳ නැත්තේ මොනවද?
16 සැමියාගේ, බිරිඳගේ අඩුපාඩු ගැන අනිත් අය එක්ක කතා කරන්න එපා. එයාගේ සමහර පුරුදුවලට ඔයා අකමැති ඇති. ඒත් ඒවා ගැන හැම තිස්සෙම කන්කෙඳිරි ගාන්න එපා. විහිළුවක් විදිහටවත් ඒවා ගැන කියන්න එපා. පවුල් ජීවිතයක් ගත කරනවා කියන්නේ දෙන්නගෙන් වැඩියෙන්ම ශක්තිමත් කෙනා කවුද, වැඩියෙන්ම කෑගහලා බනින්න පුළුවන් කාටද, වැඩියෙන්ම හිත රිද්දන්න පුළුවන් කෙනා කවුද කියලා තෝරන තරඟයක් නම් නෙමෙයි. අපි පරිපූර්ණ නැති නිසා අපි අතින් පොඩි පොඩි අඩුපාඩු, වැරදි වෙනවා. හිත රිද්දන දේවල් වෙනවා. ඒත් එහෙම කියලා සැමියාව, බිරිඳව ලැජ්ජාවට පත් කරන දෙයක් කරන්න, කඩුවෙන් අනිනවා වගේ වචන පාවිච්චි කරන්න, පහර දෙන්න ඒක නිදහසට කරුණක් නෙමෙයි.—හිතෝපදේශ 17:27; 31:26 කියවන්න.
17. සැමියෙකුට රන් අණ අදාළ කරගන්න පුළුවන් කොහොමද?
17 සමහර රටවල පිරිමින් තමන් ශක්තිමත් කියලා පෙන්නන්න බිරිඳට චණ්ඩිකම් පෙන්නනවා. පහර දෙනවා. ඒත් බයිබලේ කියන්නේ “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය. තමාවම පාලනය කරගන්න තැනැත්තා නුවරක් අල්ලාගන්නා කෙනෙකුටත් වඩා බලවත්ය” කියලයි. (හිතෝ. 16:32) මේ පොළොවේ හිටපු ශ්‍රේෂ්ඨතම මිනිසා යේසුස්. ඔහු නිතරම තමන්ව පාලනය කරගත්ත කෙනෙක්. ඔහු කවදාවත් කේන්ති අරන් වැඩ කළේ නැහැ. එහෙම තමන්ව පාලනය කරගන්න නම් කෙනෙකුට ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වගේ ශක්තියක් නැති, දුර්වල පිරිමින් තමයි තමන්ගේ බිරිඳට චණ්ඩිකම් පෙන්නන්නේ. පහර දෙන්නේ. ඒ අයට දෙවි එක්ක තියෙන බැඳීම නැති වෙනවා. ශක්තිමත්, නිර්භීත කෙනෙක් වුණ දාවිත් මෙහෙම කිව්වා. “ඔබේ සිත කැලඹුණත් පව් නොකරන්න. කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න. ඔබ තනිව යහන මත සිටින විට ඒවා ඔබටම කියාගන්න.”—ගීතා. 4:4.
“ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි”
18. යුවළක් අතර ආදරේ තියෙන එක වැදගත් ඇයි?
18 1 කොරින්ති 13:4-7 කියවන්න. ආදරේ කියන්නේ පවුල් ජීවිතේට තියෙන්නම ඕන දෙයක්. බයිබලේ මෙහෙම කියනවා. “ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න. නමුත් ඒ සියල්ලට අමතරව ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.” (කොලො. 3:12, 14) යේසුස් තමන් ගැන හිතනවට වඩා අනිත් අය ගැන හිතලා වැඩ කළා. යුවළක් අතරේ තියෙන්න ඕනෙත් ඒ වගේ ආදරයක්. ඒ ආදරේ තමයි දෙන්නගේ බැඳීම ශක්තිමත් කරන්නේ. ගෙයක් ගලින් ගල තියලා ගොඩනඟද්දී ඒ ගල් එකකට එකක් බැඳිලා තියෙන්නේ බදාමවලින්. දෙන්නගේ ආදරෙත් ඒ බදාම වගේ. තමන්ට කරදරයක් කියලා හිතෙන පුරුදු අනිත් කෙනාට තිබුණත්, බරපතළ අසනීපයක් තිබුණත්, මොන තරම් ආර්ථික ගැටලු තිබුණත්, දෙමාපියන් නිසා යම් ප්‍රශ්න ඇති වුණත් දෙන්නට දෙන්නා ආදරේ නම් දෙන්නගේ කැදැල්ල බිඳලා දාන්න ඒවාට ඉඩ දෙන්නේ නැහැ.
19, 20. (අ) යුවළකට සතුට පිරුණු, ශක්තිමත් කැදැල්ලක් ගොඩනඟාගන්න පුළුවන් කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
19 ආදරේ, විශ්වාසවන්තකම, අවංක වෑයම සාර්ථක විවාහයකට රහසයි. ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී විවාහය අත්හැරලා දාන්න හිතන්න එපා. ඒ වෙනුවට තව තවත් එකිනෙකාට කිට්ටු වෙන්න. යුවළක් යෙහෝවා දෙවිට ආදරේ නම් දෙන්නට දෙන්නා ආදරේ නම් මොන ප්‍රශ්න ආවත් ඒවා විසඳගන්න හැම දේම කරනවා. මොකද ‘ප්‍රේමය නමැති ගුණාංගය සදාතනිකයි.’—1 කොරි. 13:8; මතෙ. 19:5, 6; හෙබ්‍රෙ. 13:4.
20 ජීවත් වෙන්න “ඉතා අසීරු” මේ කාලේ සතුට පිරුණු, ශක්තිමත් කැදැල්ලක් ගොඩනඟන එක ලේසි නැහැ. (2 තිමෝ. 3:1) ඒත් යෙහෝවා දෙවිගේ උදව්වෙන් ඒක කරන්න පුළුවන්. යුවළක් පරෙස්සම් වෙන්න ඕන තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි මේ සමාජයේ වැඩිදෙනෙක් ලිංගික දේවල් ගැන දරන ආකල්පය. අනාචාරයට හසු නොවී විවාහය රැකගන්න යුවළකට පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.
a ඒත් දෙන්නගෙන් කෙනෙක් අනාචාරයේ යෙදුණොත් ඒ කෙනාට සමාව දෙනවද නැත්නම් දික්කසාද වෙනවද කියලා තීරණය කරන්න අයිතිය නිදොස් කෙනාට තියෙනවා. (මතෙ. 19:9) 1995 නොවැම්බර් 8 ‘පිබිදෙව්!’ සඟරාවේ 10-11 පිටු බලන්න.