ඉන්දුනීසියාව
තවත් මිෂනාරිවරුන් එයි
1964 ජූලි 9වෙනිදා ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සමාගම යන නමින් සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු ඉන්දුනීසියාවේ ලියාපදිංචි කළා. ඒත් ඒ රටේ සම්පූර්ණ ආගමික නිදහස භුක්ති විඳින්න නම් ඔවුන් ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න ඕන වුණා. ඒ දෙපාර්තමේන්තුව උපදෙස් ගත්තේ සාක්ෂිකරුවන්ට තදින්ම විරුද්ධ රෙපරමාදු අය වැඩ කරපු ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවකින්. ඒ නිසා සාක්ෂිකරුවන්ට ලියාපදිංචි වෙන එක ලේසි වුණේ නැහැ.
දවසක් සහෝදරයෙක්ට ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමඟ කිට්ටුවෙන් වැඩ කරන උසස් නිලධාරියෙක්ව හම්බ වුණා. ඒ දෙන්නා කතා කරද්දි දැනගත්තා දෙන්නම එකම ගමේ අය කියලා. ටික වෙලාවක් සතුටෙන් කතා කරකර ඉන්න අතරේ සාක්ෂිකරුවන්ට තියෙන ප්‍රශ්නේ ගැන සහෝදරයා ඔහුට කිව්වා. ඊටපස්සේ ඒ නිලධාරියා සහෝදරයන් 3දෙනෙක්ට කෙළින්ම ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට කතා කරන්න අවස්ථාවක් අරන් දුන්නා. ඒ ඇමතිවරයා සාධාරණව වැඩ කරන මුස්ලිම් ජාතිකයෙක්. 1968 මැයි 11වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන්දුනීසියාවේ පිළිගත් ආගමක් කියලත් ඔවුන්ට ආගමික කටයුතු නිදහසේ කරන්න අයිතිය තියෙනවා කියලත් ඔහු ප්‍රකාශයක් නිකුත් කළා.
සහෝදරයාට හම්බ වුණු නිලධාරියා උදව් කළ නිසා ක්‍රිස්තියානි කටයුතු සම්බන්ධව තිබුණු දෙපාර්තමේන්තුව හරහා යන්නේ නැතුව මිෂනාරි වීසා ගන්නත් පුළුවන් වුණා. ඒ නිසා ඊළඟ අවුරුදු කිහිපය තුළ ඉන්දුනීසියාවට තවත් මිෂනාරිවරුන් 64ක් ආවා.
1968 වෙද්දී ඉන්දුනීසියාවේ මිෂනාරිවරුන් හා විශේෂ පුරෝගාමීන් 300කට ආසන්න ගණනක් හා ප්‍රචාරකයන් 1,200කට වැඩි ගණනක් හිටියා. ඔවුන් ඒ රටේ අස්සක් මුල්ලක් නෑර ශුභාරංචිය දේශනා කළා. එහේ හිටිය මිෂනාරිවරුන්ගෙන් සහෝදරයන්ට ලැබුණේ මිල කරන්න බැරි පුහුණුවක්. ඒ පුහුණුව සහෝදරයන්ට සත්‍යය තුළ දියුණු වෙන්න විතරක් නෙමෙයි ඒ කාලෙදිම වගේ ආව පීඩා රැල්ලට සාර්ථකව මුහුණ දෙන්නත් උදව් වුණා.
පූජකයන්ගේ නත්තල් තෑග්ග
1974දී ක්‍රිස්තියානි කටයුතු සම්බන්ධව තිබුණු දෙපාර්තමේන්තුව සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරන්න ආයෙත් උත්සාහ කළා. ඒ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලියාපදිංචි වුණ ආගමක් විදිහට පිළිගන්න බැහැ කියලා බොරු ප්‍රකාශයක් කරමින් හැම ප්‍රාදේශීය කාර්යාලයකටම ලියුමක් දැම්මා. ඒ වගේම සාක්ෂිකරුවන් ඔවුන්ට බාධාවක් වෙන හැම වෙලාවකම ඔවුන්ට විරුද්ධව පියවර ගන්න කියලත් අධ්‍යක්ෂකවරයා උනන්දු කළා. ඔහු මේ හැම දෙයක්ම කළේ සාක්ෂිකරුවන්ව තහනම් කිරීමේ යටි අරමුණ ඇතුවයි. හුඟක් නිලධාරීන් ඔහු කියපු දේවල් ගණන්ගත්තේ නැහැ. ඒත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත වෙනත් නිලධාරීන් සාක්ෂිකරුවන්ගේ රැස්වීම් හා ගෙයින් ගෙට සේවය තහනම් කළා.
1976 දෙසැම්බර් 24 පුවත්පතක සාක්ෂිකරුවන්ව තහනම් කළ බව පළ වුණා
ඒ කාලෙදිම වගේ ලෝකෙ පුරා තියෙන ක්‍රිස්තියානි සභාවල සම්මේලනයක් ජකාර්තාවල පවත්වන්න සැලසුම් කළා. එහේ හිටිය මුස්ලිම් අය මේක දැක්කේ ආගම් අතර භේද ඇති කිරීමේ අරමුණින් කරන දෙයක් විදිහට. දවසින් දවස ආගම් භේද වැඩි වුණ නිසා ඒ සම්මේලනය පැවැත්තුවේ නැහැ. වෙනත් ආගම්වල අයව ක්‍රිස්තියානි ආගමට හරවාගන්න එකත් ඒ දවස්වල තිබුණ ලොකු ප්‍රශ්නයක්. දේශපාලඥයන් පවා ඒ ගැන කතා කරන්න එච්චර කැමති වුණේ නැහැ. ඒත් ඒ තත්වය ප්‍රයෝජනයට ගත්ත පූජකයන් අපේ දේශනා සේවයට විරුද්ධව ප්‍රසිද්ධියේම චෝදනා කළා. ඒ නිසා කලින් සාක්ෂිකරුවන් ගැන හොඳ හැඟීමක් තිබුණු රජයේ නිලධාරීන් පවා සාක්ෂිකරුවන් දිහා බැලුවේ වැරදි කෝණයකින්.
1975 වෙද්දීත් ආගම් භේද දකින්න තිබුණා. ඒත් ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසෙදී ඉන්දුනීසියාව පෘතුගීසි පාලනය යටතේ තිබුණ නැඟෙනහිර ටිමෝරය ආක්‍රමණය කළා. මාස 7කට පස්සේ ඉන්දුනීසියාව නැඟෙනහිර ටිමෝරය යටත් කරගත්ත නිසා මිනිසුන්ගේ ජාතිවාදී හැඟීම් තවත් වැඩි වුණා. ඒත් සහෝදරයෝ දේශපාලයට සම්බන්ධ වුණේවත් හමුදාවට බැඳුනේවත් කොඩියට ආචාර කළේවත් නැති නිසා හමුදාවේ නිලධාරීන් හිටියේ තරහින්. (මතෙ. 4:10; යොහ. 18:36) අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත පූජකයන් සාක්ෂිකරුවන්ව තහනම් කරන්න කියලා රජයට බල කළා. 1976 දෙසැම්බර් මාසෙදී පූජකයන්ට ඔවුන්ගේ නත්තල් තෑග්ග ලැබුණා. සාක්ෂිකරුවන්ව තහනම් කළා කියලා රජයෙන් නිවේදනය කළේ ඒ මාසයේදියි.