ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 119 පි.-122 පි. 2 ¶
  • තවදුරටත් ශුභාරංචිය ව්‍යාප්ත වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තවදුරටත් ශුභාරංචිය ව්‍යාප්ත වෙයි
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • ‘ආණ්ඩුකාරයන් ඉදිරියට’
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 119 පි.-122 පි. 2 ¶

ඉන්දුනීසියාව

තවදුරටත් ශුභාරංචිය ව්‍යාප්ත වෙයි

1953දී සහෝදර පීටර් වොන්ඩහාකන්ව ඉන්දුනීසියාවේ චාරිකා සේවකයෙක් විදිහට පත් කළා. ඒ රටට අයිති හැම දූපතක්ම ඔහුගේ චාරිකාවට අයිතියි. මේ දූපත්වල දේශනා කරමින් ගිය ගමනේදී ඔහු පුදුමාකාර අද්දැකීම්වලට මුහුණ දුන්නා.

පීටර් වොන්ඩහාකන්

පීටර් වොන්ඩහාකන්

1954දී සහෝදර වොන්ඩහාකන් ඉන්දුනීසියාවේ නැඟෙනහිර පැත්තට ගියා. ඒ පැත්තේ හිටියේ විවිධ ආගම්වලට අයිති අය. උදාහරණයකට බාලි දූපත්වල හිටියේ හින්දු අය. ලොම්බොක් සහ සුම්බාවාවල හිටිය හුඟක් අය මුස්ලිම්. ෆ්ලෝරස්වල ප්‍රධාන ආගම කතෝලික. සුම්බාවල, අලෝවල සහ ටිමෝරයේ හිටිය හුඟක් අය රෙපරමාදු භක්තිකයන්. බෝට්ටුවකින් ටිමෝරයට ගිය සහෝදර වොන්ඩහාකන් ඒ අතර මඟ තිබුණු දූපත්වලත් දේශනා කළා. ටිමෝරයේ කුපාංග්වලට ආව ඔහු කිව්වේ මෙහෙමයි. “මං සති දෙකක් පුරා ටිමෝරයේ අයට දේශනා කළා. ඒ දවස්වල එහෙට ගොඩක් හයියෙන් වැස්සත් මං ගෙනාපු ඔක්කොම පොත් ටික බෙදුවා. මට හම්බ වුණ 34දෙනෙක් අවුරුද්ද පුරාම සඟරා එවන්න කියලා සල්ලි දුන්නා (සඟරා දායක). මං බයිබල් පාඩම් කිහිපයකුත් පටන්ගත්තා.” ඒ ප්‍රදේශයේ උනන්දුව දක්වපු අයව බලන්න විශේෂ පුරෝගාමීන් ගියා. කාලයක් යද්දී කුපාංග්වල සභාවක් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි ටිමෝරයේ අසල්වැසි දූපත් වන රෝටි, අලෝ, සුම්බා සහ ෆ්ලෝරස්වලටත් ශුභාරංචිය ව්‍යප්ත වුණා.

කුපාංග්වල රෙපරමාදු පල්ලියට ගිය අය සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා කියලා දැනගත්ත පූජකයන්ට ඒක දරාගන්න බැරි වුණා. උදාහරණයකට රෙපරමාදු පල්ලියට ගිය තෝමස් ටූබූලව් සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන්න පටන්ගත්තා. ඒ ගැන තරහෙන් හිටිය ප්‍රධාන පූජකයෙක් ඔහුට කිව්වා ඒක නවත්තන්න කියලා. ඒ විතරක් නෙමෙයි ඉගෙනගන්න දේවල් අනිත් අයට කියන එක නතර කළේ නැත්නම් කාගෙ හරි ජීවිතයක් නැති වෙන්න පුළුවන් කියලත් ඔහු කිව්වා. ඒ වෙලාවේ තෝමස් බය නැතුව මෙහෙම කිව්වා. “ඔයා ක්‍රිස්තියානියෙක් නම් ඔහොම දෙයක් කියන්නේ නැහැ. මං ආයේ කවදාවත් ඔයාලගේ පල්ලියට එන්නේ නැහැ.” පස්සේ කාලෙකදී තෝමස් උද්‍යෝගයෙන් සේවය කරන සාක්ෂිකරුවෙක් වුණා. ඔහුගේ දුවත් විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවය කළා.

පූජකයන් සාක්ෂිකරුවන්ගේ වැඩ නවත්තන්න ගත්ත උත්සාහය නම් අත්හැරියේ නැහැ. ඔවුන් 1961දී ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සහ හමුදාව පොලඹවලා සාක්ෂිකරුවන්ගේ ගෙයින් ගෙට සේවය තහනම් කළා. ඒ නිසා සහෝදරයන් දේශනා කරන්න වෙනත් ක්‍රම හොයාගත්තා. ඔවුන් වෙළඳපොළවල්වල හා පොදු ළිං ළඟ හිටපු අයට, මුහුදු වෙරළේ හිටිය ධීවරයන්ට සහ සොහොන් පිට්ටනිවලට ආව ගිය අයට දේශනා කළා. ඊට මාසෙකට පස්සේ, ඕනම කෙනෙක්ට තමන්ගේ ආගමික කටයුතු නිදහසේ කරන්න අවසර තියෙනවා කියලා හමුදාවෙන් දැනුම් දුන්නා. ඒත් ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව කිව්වේ ගෙයන් ගෙට සේවය තාමත් තහනම් කියලයි. ඒක ලිඛිතව දැනුම් දෙන්න කියලා සහෝදරයන් ඔවුන්ට කිව්වත් ඔවුන් ඒක කළේ නැති නිසා සහෝදරයන් ගෙයින් ගෙට සේවය දිගටම කළා.

1962දී පීට් සහ නෙල් ඩි යාගර්, හාන්ස් සහ සූසි වැන් වියුර කියන මිෂනාරිවරුන් පැපුවාවලට ආවම ඔවුන්ටත් පූජකයන්ගේ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණා. පූජකයන් 3දෙනෙක් ඔවුන්ට ඒ ප්‍රදේශයෙන් යන්න කියලා තර්ජනය කළා. සාක්ෂිකරුවන් රජයට විරුද්ධව වැඩ කරනවා කියලා පල්ලියේදී කියපු පූජකයන් ඒවා පත්තරවලත් දැම්මා. ගුවන්විදුලිය හරහාත් නිවේදනය කළා. පල්ලිවලට එන අයට හොඳින් හෝ නරකින් බලපෑම් කරලා මිෂනාරිවරුන් එක්ක බයිබලය ඉගෙනගන්න එක නවත්තන්නයි පූජකයන්ට ඕන වුණේ. දේශනා කරන්න ඉඩ දෙන්න එපා කියලා ඔවුන් ගම්වල නායකයන්ටත් බල කළා.

ඒත් පූජකයන්ගේ උත්සාහය සාර්ථක වුණේ නැහැ. උදාහරණයකට එක ගමක වුණ දෙයක් ගැන සහෝදර හාන්ස් මෙහෙම කියනවා. “අපි ඒ ගමට ගිය වෙලාවේ ගමේ නායකයා හැමෝටම එක තැනකට එන්න කිව්වා. ඒ වෙලාවේ මමයි පීටුයි අපේ සේවය ගැන කෙටියෙන් විස්තර කළා. අපේ නෝනලා දෙන්නා අපි ගෙවල්වලට ගිහින් දේශනා කරන විදිහ කරලා පෙන්නුවා. මේ දේවල් දැකලා පැහැදුණ ගමේ නායකයයි එතනට ආව මිනිස්සුයි ඒ ගමේ අපිට සේවේ කරන්න ඉඩ දුන්නා.”

සහෝදරයන්ට මේ වගේ අභියෝගවලට නිතරම මුහුණ දෙන්න වුණත් ඒකෙන් සේවයට නම් කිසිම බාධාවක් වුණේ නැහැ. මුස්ලිම් අය සේවයට බාධා කළේ කලාතුරකින්. ඒත් කතෝලික පූජකයන් නම් නිතරම සේවයට විරුද්ධ වුණා. ඉන්දුනීසියාවේ අද වෙන්නෙත් ඒකමයි.

‘ආණ්ඩුකාරයන් ඉදිරියට’

“මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන යනු ලබයි. එය ඔවුන්ටත් ජාතීන්ටත් මා ගැන සාක්ෂි දරන්න ඔබට හොඳ අවස්ථාවක්” කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා. (මතෙ. 10:18) ඔහු කියපු දේ මොන තරම් ඇත්තද කියලා ඉන්දුනීසියාවේ සිද්ධ වුණ දේවල්වලිනුත් ඔප්පු වුණා.

1960දී ප්‍රසිද්ධ දේවධර්මාචාර්යවරයෙක් ලියපු පොතක සාක්ෂිකරුවන් උගන්වන්නේ බොරු කියලා සඳහන් වුණා. ඒ පොත නිසා සාක්ෂිකරුවන්ට විරුද්ධව වැඩ කරන්න පූජකයන් තව තවත් පෙලඹුණා. උදාහරණයකට එක නගරයක පූජකයන් පිරිසක්, “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පල්ලියේ සාමාජිකයන්ව වියවුල් කරනවා” කියලා ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට ලිව්වා. නිලධාරීන් සහෝදරයන්ව ගෙන්වලා ඒ ගැන ප්‍රශ්න කළාම ඔවුන් කාරණා පැහැදිලි කරලා හොඳ සාක්ෂියක් දැරුවා. ඒ වෙලාවේ එක නිලධාරියෙක්, “සාක්ෂිකරුවන්ට එයාලාගේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න. එයාලා කරන්නේ නිදාගෙන ඉන්න රෙපරමාදු අයව ඇහැරවන එක” කියලා එතන හිටිය අනිත් නිලධාරීන්ට කිව්වා.

1963දී පොත් පෙට්ටි තොගයක් බාමින්

1963දී සහෝදරයන් පොත් පෙට්ටි තොගයක් බාමින්

1964දී පැපුවාවල රෙපරමාදු පූජකයන් කණ්ඩායමක් අපේ සේවය තහනම් කරන්න කියලා ආගමික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවකට පැමිණිලි කළා. අපේ සහෝදරයෝ ඒ පැමිණිල්ල ගැන කතා කරන්න ගිය වෙලාවක සිද්ධ වුණ දේ ගැන සහෝදර ටාගොර් හුටසොයිට් කිව්වේ මෙහෙමයි. “අපි කරන සේවය ගැන පැයක් විතර එයාලාට පැහැදිලි කළා. එක රෙපරමාදු දේශපාලඥයෙක් අපි ආගම් භේද ඇති කරනවා කියලා චෝදනා කළා. ඒත් එතන හිටිය හුඟක් මුස්ලිම් නිලධාරීන් කාරණය දිහා බැලුවේ හරිම සාධාරණව. ‘රටේ නීතියට අනුව ඕනම කෙනෙක්ට තමන්ගේ ආගම අදහන්න නිදහස තියෙනවා. ඒ නිසා ඔයාලට ශුභාරංචිය දේශනා කරන්න අයිතිය තියෙනවා’ කියලා එයාලා අපිට කිව්වා.” ඒ රැස්වීමෙන් පස්සේ රජයේ උසස් නිලධාරියෙක් මේ වගේ ප්‍රකාශයක් කළා. “නව රජයෙන් ඕනම කෙනෙක්ට තමන්ගේ ආගම අදහන්න නිදහස දීලා තියෙනවා. ඒක අලුත් ආගමකට වුණත් අදාළයි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න