ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 ජූලි 20-25 පි.
  • යෙහෝවාව අඳුරගන්න අනිත් අයට උදව් කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාව අඳුරගන්න අනිත් අයට උදව් කරමු
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවාව අඳුරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න
  • යෙහෝවා කොයි වගේ කෙනෙක්ද කියලා උගන්නන්න
  • ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න උදව් කරන්න
  • ලැබෙන ආශීර්වාද
  • යෙහෝවාට සේවේ කරන්න බයිබල් ශිෂ්‍යයාට උදව් කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 ජූලි 20-25 පි.

2026 සැප්තැම්බර් 28–ඔක්තෝබර් 4

ගීතිකාව 79 ස්ථිරව ඉන්න කියා දෙන්න

යෙහෝවාව අඳුරගන්න අනිත් අයට උදව් කරමු

‘සදාකාල ජීවිතය ලබාගන්න නම් එයාලා එකම සැබෑ දෙවි වන ඔයාව දැන අඳුරගන්න ඕනේ.’—යොහ. 17:3.

ලිපියේ අරමුණ

යෙහෝවාව දැන අඳුරගන්න, ඒ කියන්නේ ඔහුගේ ගුණාංග ගැන වගේම ඔහු කැමති අකමැති දේවල් ගැන දැනගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

1. ශිෂ්‍යයෙක් යෙහෝවාට තව ළං වෙනවා දකිද්දී ඔයාට කොහොමද දැනෙන්නේ?

ඔයාගේ ශිෂ්‍යයා මුල්ම වතාවට රැස්වීමකට ආවාම, එයා රැස්වීමේදී අදහස් දෙන්න ගත්තාම, එයා ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියන්න පටන්ගත්තාම, කාලයත් එක්ක එයා එයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරන්න තීරණේ කළාම ඔයාට කොහොමද දැනුණේ? ඔයාගේ සතුට ඉහවහා යන්න ඇති. ඇත්තටම කෙනෙක්ට ඒ වගේ දේවල් කරන්න උදව් කරන්නේ යෙහෝවා. ඒ ගැන අපි ඔහුට ගොඩක් ප්‍රශංසා කරනවා.—1 කොරි. 3:5-9; 3 යොහ. 3, 4.

2. බයිබල් ශිෂ්‍යයන් මොනවා කරනවා දකින්නද යෙහෝවා කැමති? (1 තිමෝති 2:3, 4)

2 දෙවියන් කැමති “හැම පසුබිමකටම අයිති මිනිස්සු ගැලවීම ලබාගන්නවාට” සහ “එයාලා සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්නවාට.” (1 තිමෝති 2:3, 4 කියවන්න.) යෙහෝවා කැමති මිනිස්සු ඔහු ගැනත් ඔහු කරපු සහ කරන්න යන දේවල් ගැනත් දැනගන්නවා දකින්න. (යෙරෙ. 9:24) ඒකට එයාලා නිවැරදි දැනුමක් ලබාගන්න ඕනේ. මුල් ග්‍රීක භාෂාවට අනුව “නිවැරදි දැනුම ලබාගන්නවා” කියන්නේ නිකම්ම දෙවියන් ගැන තොරතුරු දැනගන්න එක විතරක් නෙවෙයි. එක විශාරදයෙක් ඒ ගැන මෙහෙම කියනවා. “නිවැරදි දැනුම කෙනෙක්ව පොලඹවනවා දෙවියන්ට ළං වෙන්න එයාට කරන්න පුළුවන් හැම දේම කරන්න.” ඉතින් ශිෂ්‍යයෙක් යෙහෝවාව දැන අඳුරගද්දී ඒක එයාව පොලඹවනවා යෙහෝවා කැමති විදිහට එයාගේ ජීවිතේ වෙනස් කරගන්න. ඒක නිසා එයාට “සදාකාල ජීවිතයත්” ලැබෙනවා.—යොහ. 17:3.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 අනිත් අයට යෙහෝවාව දැනගන්න උදව් කරන වටිනා අවස්ථාව යෙහෝවා අපිට දීලා තියෙනවා. ඒත් බයිබල් ශිෂ්‍යයන් යෙහෝවාව හොඳට අඳුරගන්න ඕනෙ ඇයි? ඔහු මොන වගේ කෙනෙක්ද කියලා එයාලට උගන්නන්න අපිට පුළුවන් කොහොමද? යෙහෝවා ගැන ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න එයාලට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

යෙහෝවාව අඳුරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න

4. මාක් 12:30 කියන විදිහට බයිබල් පාඩමක් කරද්දී අපේ අරමුණ වෙන්න ඕනෙ මොකක්ද?

4 යේසුස් කිව්වා අපි දෙවියන්ට මුළු හදවතින්ම ආදරේ කරන්න ඕනෙ, ඒක අපේ ජීවිතෙන්ම දකින්න තියෙන්න ඕනෙ, අපේ හැම සිතුවිල්ලකින්ම ඒක පැහැදිලි වෙන්න ඕනෙ, ඒ ආදරේ වෙනුවෙන් අපි අපේ මුළු ශක්තියම වැය කරන්න ඕනෙ කියලා. ඒක තමයි වැදගත්ම ආඥාව කියලා එයා කිව්වා. (මාක් 12:30 කියවන්න.) ශිෂ්‍යයෙක් යෙහෝවාට ඒ විදිහට ආදරේ කරන්න නම් එයා යෙහෝවාව හොඳට අඳුරගන්න ඕනේ. එයා ජීවිතේ කැප කරන්න ඕනෙ යෙහෝවාට තියෙන ආදරේ නිසයි. නැතුව අපි නිසාවත් ඉගෙනගන්න දේවල් නිසාවත් සංවිධානය නිසාවත් නෙවෙයි. ඉතින් බයිබල් පාඩමක් කරද්දී අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනෙ යෙහෝවාව අඳුරගෙන ඔහුට ආදරේ කරන කෙනෙක් වෙන්න ශිෂ්‍යයාට උදව් කරන එක.

5. යෙහෝවාට තියෙන ආදරේ ශිෂ්‍යයාව පොලඹවන්නේ මොනවා කරන්නද?

5 ආදරයයි, කීකරුකමයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඔයාගේ ශිෂ්‍යයාත් යෙහෝවාව අඳුරගෙන ඔහුට ආදරේ කරද්දී ඔහුට කීකරු වෙන්නත් එයා නිකම්ම පෙලඹෙයි. යේසුස් මෙහෙම කිව්වා. “ලෝකයම දැනගන්න ඕනෙ මං තාත්තාට ආදරෙයි කියලා. ඒ නිසයි තාත්තා මට කරන්න කියපු දේ මං ඒ විදිහටම කරන්නේ.” (යොහ. 14:31) ශිෂ්‍යයාගේ හිතෙත් වෙන කිසිම දේකට වඩා යෙහෝවා ගැන ලොකු ආදරයක් තියෙනවා නම් ඒක එයාව පොලඹවනවා යෙහෝවාට කීකරු වෙන්න වගේම ඔහු මත දිගටම රැඳිලා ඉන්න.—1 යොහ. 5:3.

6. යෙහෝවාව හොඳින් අඳුරගෙන ඉන්න එක හොඳ තීරණ ගන්න බයිබල් ශිෂ්‍යයෙක්ට උදව් වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

6 යෙහෝවාව අඳුරගන්න තරමට බයිබල් ශිෂ්‍යයෙක්ට හොඳ තීරණ ගන්නත් පුළුවන් වෙනවා. උදාහරණෙකට කෙනෙක් වාහන පදින විදිහ පොතකින් බැලුවාට, වෙන කෙනෙක් පදින විදිහ බලන් හිටියාට එයාට වාහනයක් පදින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට එයාම ඒක පැදලා පුරුදු වෙන්න ඕනේ. එහෙම පදිද්දී තමයි එක එක අභියෝග එන්නේ. එතකොට එයා තේරුම්ගන්නවා හොඳ තීරණ අරන් වාහනේ පරෙස්සමින් පදින්නේ කොහොමද කියලා. ඒ වගේ, අපේ ජීවිතේ හොඳ තීරණ ගන්න නම් අපි යෙහෝවාව හොඳට අඳුරගෙන ඉන්න ඕනේ. ඒකට බයිබල් පාඩම කළාට විතරක් මදි. ඒ වෙනුවට ශිෂ්‍යයා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන තීරණ ගද්දී ලැබෙන සතුට අද්දකින්න ඕනේ. එතකොට එයා යෙහෝවාට තව ළං වෙනවා. ඒ විදිහට එයා යෙහෝවාව තව අඳුරගන්න එකෙන්, අපේ ස්වර්ගික තාත්තා එයාට උදව් කරන විදිහ අද්දකින එකෙන් ජීවිතේ මොන අභියෝග ආවත් හරි තීරණ ගන්න එයා ඉගෙනගන්නවා.

7. යෙහෝවාව හොඳින් දැන අඳුරගෙන හිටපු එක හරි තීරණයක් ගන්න යෝසෙප්ට උදව් වුණේ කොහොමද?

7 පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ව වරදකට අහු කරගන්න හදද්දී ඒකට හොඳට මූණ දෙන්න යෙහෝවාව හොඳින් දැනන් හිටපු එක යෝසෙප්ට උදව් වුණා. පුංචි කාලේ ඉඳන්ම ආදම් ඒව ගැන, ආබ්‍රහම් සාරා ගැන යෝසෙප් අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඇති. (උත්. 2:24; 20:3, 6) ඒක යෝසෙප්ට උදව් වුණා විවාහය සහ ලිංගික කාරණා ගැන යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න. එයා යෙහෝවාව කොච්චර හොඳට අඳුරගෙන හිටියාද කියනවා නම් පොතිෆර්ගේ බිරිඳ වැරදි යෝජනාවක් ගෙනාපු හැටියෙම ඒක ප්‍රතික්ෂේප කරලා එයා මෙහෙම කිව්වා. “මං කොහොමද මේ වගේ දුෂ්ට වැඩක් කරලා දෙවියන්ට විරුද්ධව පව් කරන්නේ?” (උත්. 39:7-9) යෝසෙප් දැනන් හිටියා යෙහෝවා ඉස්සරහා හරි දේ, වැරදි දේ මොකක්ද කියලා. දෙවියන්ගේ හිත දුක් වෙන්නේ මොනවා කළොත්ද කියලත් එයා තේරුම්ගත්තා. ඒ නිසා එයාට පුළුවන් වුණා හරි තීරණයක් ගන්න. යෙහෝවාව හොඳට අඳුරගන්නත් ඔහු කැමති, අකමැති මොනවාටද කියලා තේරුම්ගන්නත් අපි ශිෂ්‍යයන්ට උදව් කරද්දී එයාලටත් පුළුවන් යෙහෝවාගේ හිත සතුටු වෙන විදිහේ තීරණ ගන්න.

යෙහෝවා කොයි වගේ කෙනෙක්ද කියලා උගන්නන්න

8. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත පාවිච්චි කරලා යෙහෝවාව තව හොඳට අඳුරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

8 යෙහෝවා කොයි වගේ කෙනෙක්ද කියලා ශිෂ්‍යයාට උගන්නන්න එයාගෙන් ප්‍රශ්න අහන එක උදව් වෙනවා. යෙහෝවාත් ඔහු කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න යෝබ්ට උදව් කරන්න එයාගෙන් ප්‍රශ්න 50කට වැඩිය ඇහුවා. (යෝබ් 38:1–41:34) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ ප්‍රශ්න හදලා තියෙන්නේ බයිබල් ශිෂ්‍යයෙක්ට යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ ලස්සන පැති තව තවත් හොඳට අඳුරගන්න උදව්වක් විදිහට. (“උගන්නන්න උදව් වෙන ප්‍රශ්න!” කියන කොටුව බලන්න.) ඒ ප්‍රශ්න පාවිච්චි කරලා යෙහෝවාව තව හොඳට අඳුරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

“හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොතේ 17වෙනි පාඩමේ තියෙන ප්‍රශ්නෙකට ශිෂ්‍යයා අදහස් දෙන විදිහ අහන් ඉන්න සහෝදරියක්.

උගන්නන්න උදව් වෙන ප්‍රශ්න!

පාඩම කරගෙන යන අතරතුරේදී යෙහෝවාව තව හොඳින් අඳුරගන්න උදව් වෙන ප්‍රශ්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ තියෙනවා.

  • “ශුභාරංචිය දේශනා කරන අය ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද?” (21වෙනි පාඩම)

  • “යෙහෝවා සහ යේසුස් ගැන ඔයා ඉගෙනගෙන තියෙන තොරතුරුවලින් ඒ දෙන්නා කාටවත් [අර්මගෙදොන්වලදී] අසාධාරණයක් කරයි කියලා ඔයා හිතනවාද? එහෙම කියන්නේ ඇයි?” (33වෙනි පාඩම)

  • “ඔයා ඥානවන්තව වැඩ කරලා යෙහෝවාට කීකරු වෙද්දී ඔහුට හැඟෙන්නේ කොහොමද? ඔහුට එහෙම හැඟෙන්නේ ඇයි?” (34වෙනි පාඩම)

  • “යෙහෝවාට ආදරේ නැති කෙනෙක් එක්ක ඔයා විවාහ වුණොත් ඒ ගැන ඔහුට කොහොම හිතෙයිද?” (42වෙනි පාඩම)

  • “යෙහෝවා සමාව දෙන විදිහේ තියෙන විශේෂත්වය මොකක්ද?” (56වෙනි පාඩම)

  • “යෙහෝවා වැරදි කරන අයට සලකන විදිහෙන් ඔහු දයාවන්ත, සාධාරණ, ආදරණීය කෙනෙක් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?” (57වෙනි පාඩම)

9-10. (අ) බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ශිෂ්‍යයෙක් කරන්න ඕනෙ මොනවාද? (යාකොබ් 5:11) (ආ) යෙහෝවා කැමති මොනවාටද, අකමැති මොනවාටද කියලා තේරුම්ගන්න බයිබල් වාර්තාවක් උදව් වෙන විදිහ ගැන උදාහරණයක් කියන්න.

9 බයිබල් පාඩමක් පටන්ගන්න මුල් කාලෙම අපි ශිෂ්‍යයාට උනන්දු කරනවා හැමදාම පුරුද්දක් විදිහට බයිබලේ කියවන්න පටන්ගන්න කියලා.a බයිබල් කියවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න එයාට උදව් කරන්නේ කොහොමද? බයිබලේ කොටසක් කියවන හැම වතාවකම මේ වගේ ප්‍රශ්න ගැන හිතන්න කියලා එයාට උනන්දු කරන්න. ‘යෙහෝවා මේ කොටස බයිබලේට ඇතුළත් කළේ ඇයි? මේ කොටසෙන් යෙහෝවාගේ මොන ගුණාංගද මං දකින්නේ?’ යේසුස්ගේ අනුගාමිකයෙක් වුණ යාකොබ් එහෙම කළා. එක අවස්ථාවකදී එයා යෝබ්ගේ විඳදරාගැනීම ගැන කතා කළා. ඒත් එතනින් නතර වෙන්නේ නැතුව සෙනෙහස, දයාව වගේ යෙහෝවා පෙන්නපු ගුණාංග ගැනත් එයා සඳහන් කළා.—යාකොබ් 5:11 කියවන්න.

10 අපිට ඕනෙ අපේ ශිෂ්‍යයා බයිබලෙන් සිද්ධියක් කියවන හැම වතාවකදීම යෙහෝවා කැමති, අකමැති දේවල් මොනවාද කියලා තේරුම්ගන්නවා දකින්න. උදාහරණෙකට ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ “බයිබලය කියවමු” කියන කොටස බලලා අපේ ශිෂ්‍යයා කියයි එයා කැමති දානියෙල්ව සිංහ ගුහාවට දාපු බයිබල් වාර්තාව කියවන්න කියලා. එතකොට මෙහෙම හිතන්න කියලා එයාව දිරිගන්වන්න. ‘යෙහෝවා ඇයි දානියෙල්ව බේරගත්තේ? යෙහෝවා සතුටු වෙන දේවල් ගැන මේ වාර්තාවෙන් මට ඉගෙනගන්න පුළුවන් මොනවාද?’ (දානි. 6:10, 22) ‘දානියෙල්ට චෝදනා කරපු මිනිස්සුන්ට මොකද වුණේ? යෙහෝවා අකමැති මොන වගේ දේවලටද කියලා මං මේකෙන් ඉගෙනගන්නේ මොනවාද?’ (දානි. 6:4, 5, 24) අන්තිමට එයාට මෙහෙම හිතන්න කියන්න. ‘මේ වාර්තාවෙන් යෙහෝවාගේ තව මොන වගේ ගුණාංගද මට ඉගෙනගන්න පුළුවන්?’—දානි. 6:26, 27.

11. ශිෂ්‍යයාට උගන්නන්නේ යෙහෝවායි කියලා තේරුම්ගන්න එයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

11 බයිබලේ තියෙන දේවල් අදාළ කරගන්නකොට ජීවිතේට කොච්චර ප්‍රයෝජන ලැබෙනවාද කියලා ශිෂ්‍යයා තේරුම්ගද්දී ඒක අපිටත් ලොකු සතුටක්. ඒත් බයිබල් පාඩම කියන තෑග්ග එයාට ලැබුණේ උදාර උපදේශකයාණන් වන යෙහෝවාගෙන් කියලා තේරුම්ගන්න අපි එයාට උදව් කරන්න ඕනේ. (යෙසා. 30:20, 21) සමහර වෙලාවට ශිෂ්‍යයා එයා ඉගෙනගත්ත දෙයක් ගැන කියලා, අපි උගන්නන විදිහ ගැන කියලා අපිව හුඟක් අගය කරයි. ඒකේ වරදක් නැහැ. ඒත් එයාට අපි හැම තිස්සේම මතක් කරන්න ඕනෙ ඒ ගෞරවය, ප්‍රශංසාව, ස්තුතිය එයා දෙන්න ඕනෙ යෙහෝවාට කියලා.

ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න උදව් කරන්න

12-13. බයිබල් වාර්තාවක් තේරුම්ගන්න අමාරු වෙද්දී යෙහෝවාව අඳුරගෙන ඉන්න එක ශිෂ්‍යයෙක්ට උදව් වෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

12 ඉගෙනගත්ත දේවලින් ප්‍රයෝජන ගන්න නම් අපි ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඒක කරන්න ශිෂ්‍යයන්ට උදව් කරන්නේ කොහොමද? කරන්න පුළුවන් එක දෙයක් ගැන බලමු. ශිෂ්‍යයෙක්ට බයිබලෙන් කියවන කොටසක් තේරුම්ගන්න අමාරු නම් එයා යෙහෝවා ගැන දැනටමත් දන්න දේවල් මතක් කරගන්න එක එයාට උදව් වෙයි. උදාහරණෙකට එයා දෙවියන් දුන්න විනිශ්චයන් ගැන කියවනවා කියලා හිතමුකෝ. සමහර වෙලාවට එයාට හිතෙයි ‘ඇයි යෙහෝවා සමහර අයව විතරක් විනාශ කරලා අනිත් අයට ජීවත් වෙන්න ඉඩ දුන්නේ’ කියලා. ඒ වගේ වෙලාවට හරි විදිහට හිතන්න එයාට උදව් කරන්නේ කොහොමද?

13 එයාට කියන්න එයා දැනටමත් යෙහෝවා ගැන ඉගෙනගත්ත දේවල් ගැන හිතන්න කියලා. එයාට පුළුවන් මේ වගේ පැති ගැන හිතන්න. ‘ජීවිතයක් යෙහෝවාට කොච්චර වටිනවාද? (2 පේතෘ. 3:9) අපි පව්කාරයන් වුණත් අපිව බේරගන්න යෙහෝවා කොච්චර නං දෙයක් කරලා තියෙනවාද? (එෆී. 2:4, 5) ඔහු අහිංසක අයට දඬුවම් කරයිද? දඬුවම් ලබන්න ඕනෙ අයට දඬුවම් නොකර ඉඳීද?’ (නික්. 34:6, 7) සමහරවිට යෙහෝවා දෙයක් කළේ ඇයි කියලා තේරුම්ගන්න ඕන කරන හැම තොරතුරක්ම බයිබලේ නැහැ. ඇත්තටම අපි ඒ හැම දේම දැනගන්න ඕනෙත් නැහැ. මොකද අපි දන්නවා අපේ දෙවියන් කොයි වගේ කෙනෙක්ද කියලා. ඔහු හැම වෙලේම කරන්නේ හරි දේ කියලා අපිට විශ්වාසයි.

පින්තූරවල අදහස: කලින් පින්තූරේ හිටපු සහෝදරිය ශිෂ්‍යයා ඉගෙනගත්ත දේවල් මතක් කරගන්න එයාට උදව් කරනවා. 1. ස්වර්ගයේ සිංහාසනයේ ඉඳගෙන ඉන්න යෙහෝවා දෙවියන්. 2. කන්න එපා කියපු ගහෙන් ගෙනාපු ගෙඩියක් අතේ තියාගෙන ඉන්න ආදම්. 3. සර්පයාගේ හිස පොඩි කරන විලුඹක්. 4. ජලගැල්මේ පාවෙන නෝවාගේ නැව. 5. රතු මුහුද දෙබෑ කරන මෝසෙස්. 6. යෙරිකෝවේ පවුරු කඩා වැටෙද්දීත් කිසිම දෙයක් වෙන්නේ නැති රාහබ්ගේ ගෙදර. 7. යෙරෙමියාව ළිඳෙන් එළියට ගන්න ඒබෙද්මෙලෙක්. 8. වධකණුවේ ඉන්න යේසුස්.

ශිෂ්‍යයාට බයිබලේ තියෙන කොටසක් තේරුම්ගන්න අමාරුයි නම් එයා දැනටමත් යෙහෝවා ගැන දන්න දේවල් මතක් කරගන්න කියලා එයාට කියන්න (12-13 ඡේද බලන්න)


14. සභාවේ කෙනෙක් එක්ක පෑහිලා වැඩ කරන්න ශිෂ්‍යයාට අමාරුයි නම් එයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

14 යෙහෝවා ගැන දැනටමත් දන්න දේවල් ගැන හිතන එක ශිෂ්‍යයාට උදව් වෙන තව පැත්තක් බලමු. හිතන්න, දැන් එයා රැස්වීම් එන්න පටන් අරන් කියලා. ඒත් එයාට සභාවේ කෙනෙක් එක්ක පෑහිලා වැඩ කරන්න ටිකක් අමාරුයි කියලා හිතෙයි. එහෙම වෙන්න ඇත්තේ ඒ කෙනා අතින් ශිෂ්‍යයාගේ හිත රිදෙන දෙයක් වුණ නිසා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට යෙහෝවා සහෝදරයන් දිහා බලන්නේ කොහොමද කියලා හිතන්න එයාට උනන්දු කරන්න. එයාට කියන්න මේ වගේ පැති ගැන හිතන්න කියලා. ‘එයාලට ආදරේ පෙන්නන්න යෙහෝවා කොච්චර කැප කිරීම් කරලා තියෙනවාද? (යොහ. 3:16) අපි එක්සත්ව ඉන්න එක යෙහෝවාට කොච්චර වැදගත්ද? (ගීතා. 133:1) අපි සාමය රැකගන්න මහන්සි වෙද්දී ඔහුට දැනෙන්නේ කොහොමද?’ (2 කොරි. 13:11) වැරදි දිහා බලනවා වෙනුවට අනිත් අයගේ හොඳ පැති දිහා බලද්දී යෙහෝවා ගොඩක් සතුටු වෙනවා කියලා තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

15-16. (අ) වැදගත් තීරණයක් ගන්න වෙද්දී ශිෂ්‍යයෙක්ට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (යොහන් 8:29) (ආ) මරියානා එයාගේ ශිෂ්‍යයාට උදව් කළේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

15 යෙහෝවා ගැන දැනටමත් දන්න තොරතුරු ගැන හිතන එක හොඳ තීරණ ගන්නත් ශිෂ්‍යයාට උදව් වෙනවා. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ “හරි තීරණ ගන්නේ කොහොමද?” කියන 35වෙනි පාඩම එයාට පෙන්නන්න. ඒත් හොඳට යාච්ඤා කරලා, අධ්‍යයනය කළාට පස්සෙත් හරි තීරණයක් ගන්න එයාට අමාරුයි නම්? සමහරවිට එයාට හිතෙයි ‘ගොඩක් බයිබල් ප්‍රතිපත්ති අතරින් මට අදාළ කරගන්න පුළුවන් හොඳම එක මොකක්ද’ කියලා. ඒ වගේ වෙලාවට යේසුස්ගේ ආදර්ශය ගැන හිතන්න කියලා එයාට උනන්දු කරන්න. හරි තීරණ ගන්න යේසුස්ට උදව් වුණේ මොකක්ද? එයා කිව්වා “මං හැම වෙලේම [මගේ තාත්තා] සතුටු වෙන දේවල් කරන නිසා ඔහු මාව තනි කරන්නේ නැහැ” කියලා. (යොහන් 8:29 කියවන්න.) ශිෂ්‍යයාට මෙහෙම හිතන්න කියන්න. ‘මං අධ්‍යයනය කරපු තොරතුරු, මං දැනටමත් යෙහෝවා ගැන දන්න තොරතුරු දිහා බලද්දී යෙහෝවා වැඩියෙන් සතුටු වෙන්නේ මං මොන තීරණේ ගත්තොත්ද?’ මතක තියාගන්න, යෙහෝවා සතුටු වෙන ඕනම තීරණයක් හොඳ තීරණයක්!

16 චිලීවල හිටපු බයිබල් ශිෂ්‍යයෙක්ට ලොකු තීරණයක් ගන්න වුණා. හොඳ පඩියක් ලැබෙන රස්සාවක් කරන්න කියලා පවුලේ අය එයාට ගොඩක් බල කළා. ඒ රස්සාව භාරගත්තොත් සමහර දවස්වලට රැස්වීම් යන්න වෙන්නේ නැහැ. එයා එක්ක බයිබල් පාඩම කරපු සහෝදරි මරියානා මෙහෙම කියනවා. “මං එයාට කිව්වා එයා ගන්න තීරණේ නිසා යෙහෝවාට සතුටක් දැනෙයිද, දුකක් දැනෙයිද කියලා හිතන්න කියලා. මං උනන්දු කළා මේ කාරණේ ගැන නිශ්චිතවම යාච්ඤා කරලා යෙහෝවා උත්තර දෙන විදිහ ගැන හොඳට බලන්න කියලා. පස්සේ එයා ඒ ජොබ් එක භාරගත්තේ නෑ. වැඩි කාලයක් යන්න කලින් හැම රැස්වීමකටම එන්න පුළුවන් විදිහේ ජොබ් එකක් හොයාගන්න එයාට පුළුවන් වුණා.” කරන්න ඕනෙ මොකක්ද කියලා මරියානා එයාගේ ශිෂ්‍යයාට කිව්වේ නැහැ. ඒ වෙනුවට ශිෂ්‍යයා දැනටමත් යෙහෝවා ගැන දන්න තොරතුරු ගැන හිතන්න එයා ශිෂ්‍යයාට උදව් කළා. ඒ නිසා ශිෂ්‍යයාට යෙහෝවා එක්ක තිබ්බ බැඳීම තව ශක්තිමත් වුණා. මරියානා මෙහෙම කියනවා. “අපි නමස්කාරයේ දේවලට මුල් තැන දුන්නොත් යෙහෝවා අපිව බලාගන්නවා කියලා එයා මේ සිද්ධියෙන් ඉගෙනගත්තා.”

ගිවිසුම අත්සන් කරලා රස්සාව භාරගන්න කියලා මැනේජර් බයිබල් ශිෂ්‍යයෙක්ට කියනවා. එතකොට ශිෂ්‍යයා හරිම ගෞරවයෙන් ඒක භාරගන්න බැහැ කියනවා.

යෙහෝවා සතුටු වෙන විදිහට තීරණ ගන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න (15-16 ඡේද බලන්න)b


ලැබෙන ආශීර්වාද

17. තොරතුරු ගැන ඉගෙනගන්නවාට අමතරව ශිෂ්‍යයාව උනන්දු කරන්න පුළුවන් මොනවා කරන්නද?

17 බයිබල් පාඩමෙන් ශිෂ්‍යයා ගොඩක් වැදගත් තොරතුරු ඉගෙනගන්නවා. කෙනෙක් මැරුණාම වෙන දේ, ජීවිත පූජාව, දේවරාජ්‍යය වගේ බයිබලේ මූලික ඉගැන්වීම් ඒකට ඇතුළත්. ඒ වගේම සාක්ෂිකරුවන් සංවිධානය වෙලා තියෙන විදිහත් එයා ඉගෙනගන්නවා. උදාහරණෙකට අපේ රැස්වීම්වලදී මොකද වෙන්නේ, වැඩිමහල්ලන් මොන වගේ සේවයක්ද කරන්නේ, පාලක මණ්ඩලය කියන්නේ මොකක්ද වගේ දේවල්. ඒත් අපි මේ ලිපියෙන් බලපු විදිහට එයා නිකම්ම තොරතුරු විතරක් ඔළුවට දාගෙන මදි. ඒ වෙනුවට අපිට ඕනෙ එයා ඒ තොරතුරු පාවිච්චි කරලා යෙහෝවාව තව හොඳට දැන අඳුරගන්නවා දකින්න.

18. යෙහෝවාව අඳුරගන්න අය වෙනුවෙන් ඔහු රැස් කරගෙන ඉන්න ආශීර්වාද මොනවාද?

18 යෙහෝවාව අඳුරගන්න අනිත් අයට උදව් කරන්න ලැබුණ එක ඇත්තටම වරප්‍රසාදයක්! දැනුත් යෙහෝවාව අඳුරගෙන, ඔහුට නමස්කාර කරන අය සතුටින් ඉන්නේ ඔහුගේ ආශීර්වාදය නිසයි. (ගීතා. 25:12-15) “සැබෑ තැනැත්තාණන්ව හඳුනගන්න ඕන කරන වටහාගැනීමේ හැකියාව” තියෙන අයට යෙහෝවා අනාගතයේදී සදාකාල ජීවිතයත් දෙනවා. (1 යොහ. 5:20) ආශීර්වාද එතනින් නතර වෙන්නේ නැහැ. බයිබලේ කියනවා ඔහුව අඳුරගන්න මහන්සි වෙන අයව ‘ඔහුත් හොඳට අඳුරනවා’ කියලා. (1 කොරි. 8:3) සියලු බලැති දෙවියන් අපි ගැන ගොඩක් හිතනවා. ඔහු අපිව සලකන්නේ ඔහුගේ යාළුවෝ විදිහට. ඒක තමයි යෙහෝවාව අඳුරගන්න අයට ලැබෙන ලොකුම ආශීර්වාදය!

ඔයාගේ අදහස මොකක්ද?

  • බයිබල් ශිෂ්‍යයා යෙහෝවාව හොඳට අඳුරගන්න ඕනෙ ඇයි?

  • යෙහෝවා මොන වගේ කෙනෙක්ද කියලා ශිෂ්‍යයාට උගන්නන්න අපිට පුළුවන් කොහොමද?

  • යෙහෝවා ගැන ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරන්න ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

ගීතිකාව 84 කරන්නට බොහෝ දේ ඇත

a ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 5වෙනි පාඩමේ “ඔයාට කරන්න දෙයක්” කියන කොටසේ මෙහෙම කියනවා. “‘බයිබලය කියවමු’ කියන චාට් එක පාවිච්චි කරලා හැමදාම බයිබලය කියවන්න පටන්ගන්න.”

b පින්තූරේ අදහස: මරියානාගේ බයිබල් ශිෂ්‍යයා රස්සාව භාරගන්නේ නැති විදිහ පෙන්නන රඟ දැක්වීමක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න