ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 ජූලි 26-30 පි.
  • මාව අඹන්න මං යෙහෝවාට ඉඩ දුන්නා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාව අඹන්න මං යෙහෝවාට ඉඩ දුන්නා
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පොඩි කාලේදීම දෙවියන්ව හෙව්වා
  • විශ්වවිද්‍යාලෙන් පුරෝගාමි සේවෙට
  • බෘක්ලින් බෙතෙල් එකේදී
  • “ඔයා ජපන් ඉගෙනගන්න ඕනේ”
  • ජපානයේ බෙතෙල් එක සහ පුරෝගාමි සේවය
  • දිගටම මාව අඹන්න ඉඩ දෙනවා
  • මෙය ඔබට තෝරාගත හැකි හොඳම ජීවිත මඟ විය හැකිද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබටත් ඉදිරිපත් විය හැකිද?
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • සාදර ඇරයුමයි!
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පූර්ණකාලීන සේවයෙන් ලැබුණු ආශීර්වාද
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 ජූලි 26-30 පි.
කෙන් කියුචි.

ජීවිත කතාව

මාව අඹන්න මං යෙහෝවාට ඉඩ දුන්නා

කෙන් කියුචි

බෘක්ලින් බෙතෙල් එකේ පොත් බඳින අංශයේ වැඩට ගිය පළවෙනි දවස මට අද වගේ මතකයි. ෆැක්ට්‍රියට ගිය ගමන්ම කන පුපුරන්න තරම් සද්දයක් ආවා. මැෂින් එක දිගටම වැඩ. පත්තරවල දූවිලි හැම තැනම. ඒ මදිවට මැෂින් තෙල්වල ගඳ උහුලන්න බෑ.

ඒ ඔක්කොටම වඩා මගේ හිතට වැදුණේ එතන හිටපු අය වැඩ කරපු විදිහ. එතන තරුණ අය හුඟදෙනෙක් සාමාන්‍යයෙන් කවුරුත් කරන්න ආස නැති වැඩ මහන්සි වෙලා කළා. එයාලා කරපු කැප කිරීම් හැමෝම දැක්කේ නෑ. හැබැයි එයාලා ගොඩක් සතුටින් වැඩ කළා. එයාලව දැක්කාම මං තේරුම්ගත්තා නිහතමානීව යෙහෝවාට සේවේ කරනවා කියන්නේ මොකක්ද කියලා.

මේ අවුරුදු ගාණ පුරාම තව හොඳ කෙනෙක් වෙන්න යෙහෝවා මාව ඇඹුවා. හැබැයි ඔක්කොටම කලින් මං කියන්නම්කෝ බෞද්ධයෙක් වුණ මට සත්‍යය ලැබුණේ කොහොමද කියලා.

පොඩි කාලේදීම දෙවියන්ව හෙව්වා

මං ඉපදුණේ, හැදී වැඩුණේ ඇමරිකාවේ චිකාගෝවල. අපේ පවුලේ දරුවෝ හතරයි. මං වැඩිමලා. අපේ අම්මලා ඇමරිකන් සිහිනය සැබෑ කරගන්න ජපානයේ ඉඳන් මෙහෙට ආවා. එයාලට ඕන වුණේ අපි හොඳට ඉගෙනගෙන මෙහේ සාර්ථක ජීවිතයක් ගත කරනවා දකින්න.

මගේ අම්මායි, තාත්තායි තද බෞද්ධයෝ. අම්මාගේ ගෙදර පන්සලකුත් තිබ්බා. අම්මාගේ තාත්තායි, මල්ලිලා දෙන්නයි මහණ වෙලා හිටියේ. ඉතිං අපේ පවුලයි, පන්සලයි එකට බැඳිලා තිබ්බේ. මං ඉස්සර ඉස්කෝලේ ගිහින් ආපු ගමන් මට තිබුණ පළවෙනි වැඩේ තමයි හඳුන්කූරු පත්තු කරලා බතුයි, වතුරයි ගෙදර බුදු පිළිමෙට පූජා කරන එක. ඉරිදා දවස්වලට පන්සල් ගිහින් එහේ පිළිමෙට වැන්දා. ඒ පිළිමේ වෙනසකට තිබ්බේ ඒක ටිකක් ලොකු වුණ එකයි, රත්තරන් ගාලා තිබුණ එකයි.

මට අවුරුදු හතේදී මං දවසක් අපේ ගෙදර පිළිමේ දිහා බලාගෙන කල්පනා කළා ‘මැරුණාට පස්සේ මට මොනවා වෙයිද’ කියලා. බෞද්ධ ආගමේ ඉගැන්නුවේ අපි මැරුණාම ආත්ම විදිහට සැරිසරනවා කියලා. ඒ කියන්නේ දවසක මගේ ජීවිතේ ඉවර වෙනවා. ආත්මයක් විදිහට හිටියා කියලා මනුෂ්‍යයෙක් විදිහට ජීවත් වෙන එකෙන් ලැබෙන සතුට ලබන්න බෑනේ. ඒ නිසා මගේ හිතට දැනුණේ ලොකු දුකක්. එකපාරටම මට ලොකු අසරණකමක් දැනෙන්න ගත්තා.

මට අවුරුදු 15ක් විතර වෙද්දී මට දැනුණා මේ බෞද්ධ චාරිත්‍ර කිසිම තේරුමක් නැති ඒවා කියලා. මගේ ජීවිතේ මොකක් හරි අඩුවක් මට දැනුණා. (මතෙ. 5:3) මගේ හිත මට කිව්වා ගොඩක් බලවත්, ජීවමාන දෙවි කෙනෙක් ඉන්න ඕනෙ කියලා. මට ඕනෙ වුණා ඔහුව දැනගන්න. මං හිතුවා මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලේ ඇති කියලා. ඒ නිසා පාවිච්චි කරපු ‘කිං ජේම්ස් වර්ෂන්’ කියන බයිබලයක් මං සල්ලිවලට ගත්තා. ඔයාලා දන්නවාද මං ඒක ගත්තේ කොහෙන්ද කියලා. ඒ, බෞද්ධ උත්සවයකට ගිය වෙලාවක.

තරුණ වයසේ කෙන් කියුචි එයාට බයිබල් පාඩම කරපු විල්සන් බාෂූ එක්ක.

මට සත්‍යය කියලා දුන්න විල්සන් බාෂූ එක්ක

මට අවුරුදු 17දී දවසක් මං බල්ලාව ඇවිද්දවන්න ගියාම මට විල්සන් බාෂූ කියලා කෙනෙක්ව හම්බ වුණා. එයා මගෙන් ඇහුවා “ඔයා දන්නවාද දෙවියන් අපි වෙනුවෙන් කරන්න යන දේ?” ඒ ප්‍රශ්නේ ලොකු සාකච්ඡාවකට පාර කැපුවා. විල්සන් එළිදරව් 17:1 කියවලා මගෙන් ඇහුවා “මෙතන ‘ගණිකාව ඉඳගෙන ඉන්න ජල ධාරා’ කියන්නේ මොකක්ද” කියලා. ඊටපස්සේ එයා 15වෙනි පදේ පෙන්නලා කිව්වා ඒකෙන් අදහස් කරන්නේ මිනිස්සුන්වයි කියලා. ඒකට මට සෑහෙන්න ආස හිතුණා. මොකද සාක්ෂිකරුවන් බයිබලේ තියෙන දේවල් පැහැදිලි කරන්න පාවිච්චි කරන්නේ බයිබලේමයි. අන්තිමට විල්සන් මට ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොත දුන්නා. නිල් පාට ඒ පුංචි පොත මගේ ජීවිතේම වෙනස් කළා.

ඊට දවස් දහයකට විතර පස්සේ මං මුල්ම වතාවට සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියා. එදා එයාලා මාව පිළිගත්ත විදිහ මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මං එදා ඉඳන් රැස්වීම් යන එක අතපහු කළේ නෑ. පස්සේ විල්සන් මාත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. ඒ ඉගෙනගත්ත දේවලට මං ගොඩක් ආස වුණා. කොච්චරද කියනවා නම් සමහර දාට පැය අටක් විතර පාඩම කළා. බයිබලේ පාඩම් කරනවා කියලා දැනගත්තාම අම්මලා තදින්ම විරුද්ධ වුණා. එයාලා මං ගැන වධ වුණා. ඒත් ඉගෙනගන්න ඉගෙනගන්න වුණේ “මේක තමයි සත්‍යය” කියලා මට තවත් තහවුරු වුණ එක. ඉතිං 1983දී මං බව්තීස්ම වුණා.

විශ්වවිද්‍යාලෙන් පුරෝගාමි සේවෙට

බව්තීස්ම වුණ කාලේ මං ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලෙක වෛද්‍ය විද්‍යාව හදාරමිනුයි හිටියේ. ඒ වෙනුවෙන් අපේ අම්මලා ගොඩක් කැප කිරීම් කළා. මට ඕනෙ නම් තිබ්බා දිගටම ඉගෙනගන්න. හැබැයි මට ඕනෙ වුණේ යෙහෝවාට මගේ හොඳම දේ දෙන්න, ඔහුට පූර්ණකාලීනව සේවේ කරන්න.

තාත්තා කිව්වා කැම්පස් යන එක නැවැත්තුවොත් මාව ගෙදරින් දොට්ට දානවා කියලා. මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරි වුණා. මං මගේ අම්මාටයි, තාත්තාටයි ගොඩක් ආදරෙයි. මට ඕනෙ වුණේ නෑ එයාලාගේ හිත රිද්දන්න. ඉතිං මං නිතරම වගේ රෑට කැම්පස් එකේ එළිමහනට ගිහින් තරු පිරුණු අහස දිහා බලන් යෙහෝවාට කියනවා “යෙහෝවා, මට හරි තීරණේ ගන්න උදව් කරන්න” කියලා. අන්තිමට මං තීරණේ කළා කැම්පස් එකෙන් අයින් වෙන්න. ඉතිං තාත්තා මට ගෙදරින් යන්න කිව්වා. එවෙලේ මං විල්සන්ට කෝල් කළාම එයා මට කිව්වා එයාත් එක්ක ඉන්න එන්න කියලා. ඉතිං මං මගේ බඩු ඔක්කොම බෑග් එකකට දාගෙන එහේ ගියා. මට කියාගන්න බැරි සහනයක් දැනුණා. මං තේරුම්ගත්තා මං ගත්තේ හරි තීරණේ කියලා.

කූඩුවක හිර කරලා තිබුණ කුරුල්ලෙක්ව නිදහස් කළා වගේ මට ලොකු නිදහසක් දැනුණා. අන්තිමේදී සේවෙට සම්පූර්ණයෙන්ම මගේ මනස යොමු කරන්න මට පුළුවන් වුණා. ඉතිං 1984දී මං පුරෝගාමි කරන්න පටන්ගත්තා.

පුරෝගාමි කරන කාලේ ලස්සන ගුණාංග හදාගන්න යෙහෝවා මට උදව් කළා. අත්හරින්නේ නැතුව සේවේ කරන විදිහත් ඔහු මට ඉගැන්නුවා. දවසක් මට හිතුණෙම සේවේ නොයා ඉන්න. අනික එදා හවස සේවේ යන්න කවුරුත් ආවෙත් නෑ. ඉතිං මං තනියෙන් ගියා. පැය කීපයකට පස්සේ අන්තිම ගෙදරටත් කතා කරලාම ඉවර කරමු කියලා මං හිතුවා. එතකොටත් මට සෑහෙන්න මහන්සියි. තනිකමකුත් දැනුණා. එවෙලේ වහින්නත් වගේ තිබුණේ. ‘එක්කෝ නවත්තමුද’ කියලත් හිතුණා. ඒත් මං සේවේ කරකර හිටපු බිල්ඩිමේ තුන්වෙනි තට්ටුවට නැග්ගාම මං දැක්කා පිලිපීන ජාතික තරුණයෙක් එතන ඉන්නවා. මං හිතුවා ‘මෙයා නං කීයටවත් පණිවිඩේ අහන්නෑ’ කියලා. ඒත් මං වැරදියි. එයා මාත් එක්ක පාඩමක් පටන්ගත්තා. දැන් එයා අපේ සහෝදරයෙක්.

බෘක්ලින් බෙතෙල් එකේදී

විල්සන්ගේ ගෙදර මං අවුරුදු දෙකක් හිටියා. 1985දී මට බෘක්ලින් බෙතෙල් එකේ වැඩට එන්න කිව්වා. මට පැවරුම ලැබුණේ පොත් බඳින අංශයට. දවසක් මං මැෂින් එකක වැඩ කරකර ඉද්දී අතපසුවීමකින් පොත් සිය ගාණක කවර නාස්ති වුණා. ඒ අංශයේ හිටපු අය කිව්වා ගිහින් වුණ දේ එතන වැඩ බලන සහෝදරයාට කියන්න කියලා. ඉතිං මං එයාව හම්බ වෙලා එහෙම වෙන්න සීයක් හේතු කිව්වා. ඒත් මට එක දෙයක් අමතක වුණා. එයා හරිම ආදරෙන් මට කිව්වා “මොනවා හරි දෙයක් ඔයාගේ අතින් වුණොත් හැම වෙලේම සමාව ගන්න එක හොඳයි” කියලා. අන්න ඒ වෙලාවේ මං තේරුම්ගත්තා වරදක් වුණොත් ඒක පිළි අරගෙන “මට සමාවෙන්න” කියන එක කොච්චර වැදගත්ද කියලා.

බෘක්ලින්වල පොත් බඳින අංශයේ ඉඳන් කෙන් පොත් කවර රෝලක් අල්ලන් ඉන්නවා.

බෘක්ලින්වල පොත් බඳින අංශයේ

අනිත් අයට සලකන්න ඕනෙ විදිහ ගැන බෙතෙල් එකේ කාලයක් පුරා විශ්වාසවන්තව සේවේ කරපු අයගෙනුත් මං ඉගෙනගත්තා. දවසක් පාලක මණ්ඩලයේ සේවේ කරපු සහෝදර මිල්ටන් හෙන්ෂල් දවල් කෑම ගන්න අපේ මේසේ ඉඳගෙන හිටියා. එදා ගොඩක් කට්ටිය හිටිය නිසා කෑම බෙදන සහෝදරයන්ට වැඩ ගොඩයි. කෑම බෙදන්න පරක්කු වුණ නිසා අපි කොල්ලෝ ටික එයාලට අනං මනං කියකිය හිටියේ. ඒත් සහෝදර හෙන්ෂල් වචනයක්වත් නොකියා නැඟිටලා ඒ සහෝදරයන් එක්ක කෑම බෙදන්න පටන්ගත්තා. එයා එදා කරපු ඒ දේ හැමදාටම මගේ මනසේ කෙටුණා. මට මතක් වුණේ යේසුස් එයාගේ නියෝජිතයන් එක්ක වැඩ කරපු විදිහ.—යොහ. 13:3-5.

“ඔයා ජපන් ඉගෙනගන්න ඕනේ”

සහෝදරි මිචිකෝ සහ එයාගේ මහත්තයා එක්ක

1987දී මං ජපානෙට ට්‍රිප් එකක් ගියා. එහේ සහෝදරයෝ හරිම උද්‍යෝගයෙන්, නිහතමානීව සේවේ කරන විදිහ දැකලා මට ගොඩක් ආස හිතුණා. මට ඕන වුණේ එයාලත් එක්ක එකතු වෙලා සේවේ කරන්න. හැබැයි වැඩේ කියන්නේ මට ජපන් බෑ. බෙතෙල් එකේ හිටපු සහෝදරි මිචිකෝ ඕඩා මං දිහා කෙළින්ම බලලා කිව්වා “ඔයා ජපන් ඉගෙනගන්න ඕනෙ” කියලා. අන්තිමේදී මං ඒක කළා. එයා කියපු ඒ වචන ටික මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරයි කියලා මං දැනං හිටියේ නෑ.

මාස කීපයකට පස්සේ නිව් යෝර්ක්වල තිබුණ ජපන් සභාවකට මං මාරු වුණා. ජපන් භාෂාව ඉගෙනගත්ත නිසා යෙහෝවාට සේවේ කරන්න ගොඩක් දොරවල් ඇරුණා. 1989දී මං පළවෙනි වතාවට ලොස් ඇන්ජලීස්වල තිබුණ ජපන් භාෂා සමුළුවකට ගියා. ඒ සමුළුවේ තිබුණ නාට්‍යයේ රඟපාපු එක පුරෝගාමි සහෝදරියකට මගේ හිත ගියා. එයාගේ නම මිවාකෝ ඕනාමි.

1992දී මිවාකෝයි, මායි විවාහ වුණා. ඊටපස්සේ අපි දෙන්නාම බෘක්ලින් බෙතෙල් එකේ සේවේ කළා. මිවාකෝ කියන්නේ හොඳට හිතලා බලලා වැඩ කරන, අනිත් අය ගැන සැලකිලිමත්, ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක උදව් කරන්න ලෑස්ති පිට ඉන්න කෙනෙක්. එයාගේ ආදර්ශය මට උදව් වුණා අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද කියලා තේරුම්ගන්න. එයා මාවත් හැම වෙලාවෙම ගොඩක් සතුටින් තිබ්බා, මාව සැනසුවා. ඇත්තටම එයා මට යෙහෝවාගෙන්ම ලැබුණ තෑග්ගක්.

කෙන් සහ මිවාකෝ විවාහ වුණ දවසේ.

අපි විවාහ වුණ දවස

ජපානයේ බෙතෙල් එක සහ පුරෝගාමි සේවය

කාලයක් යද්දී මිවාකෝගේ අම්මායි, තාත්තායි දෙන්නාම බරපතළ විදිහට අසනීප වුණා. එයාලා හිටියේ ජපානයේ. ඉතිං අපි සහෝදරයන්ගෙන් ඉල්ලුවා අපිව ජපානයේ ශාඛා කාර්යාලයට මාරු කරන්න කියලා. 1999දී අපි එහෙට මාරු වුණා.

ජපානයේ බෙතෙල් පවුල අපිව ආදරෙන් පිළිගත්තා. ඒ නිසා ඉක්මනට අපි ඒ අලුත් නිවහනට හුරු වුණා. එහේ සහෝදර සහෝදරියන් ආගන්තුක සත්කාරයට හරි ළැදියි. එයාලා ළඟ තියෙන්නේ මොනවාද, එයාලා ඒක අනිත් අයත් එක්ක බෙදාගන්නවා. ඒ ලස්සන ගුණාංග ඇති කරගන්න මාත් ඉගෙනගත්තා. වැඩ කරන වෙලාවේදී එයාලා බැහැලා වැඩ. සාමාන්‍යයෙන් ජපානයේ අය තනියම ගොඩ යන්න හදන්නේ නෑ. එයාලට ඕනෙ සහයෝගයෙන් වැඩ කරලා හැමෝම එක්ක ගොඩ යන්න. ඉතිං එයාලාගේ ආදර්ශය මට උදව් වුණා අනිත් අයත් එක්ක නිහතමානී වෙලා වැඩ කරන්න. ඒ වගේම යෙහෝවාගේ අරමුණ වෙනුවෙන් මට කරන්න පුළුවන් පුංචි දෙයක්ද, ඒක හොඳම විදිහට කරන්න.

මෙහේ සංස්කෘතිය එච්චර හුරු නැති නිසා සහෝදරයෝ සමහර කාරණා හසුරුවන විදිහ මට තේරුණේ නෑ. ඒ වෙලාවට කලබල නොවී, ඉවසීමෙන් වැඩ කරන්න මං ඉගෙනගත්තා. යෙහෝවා සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට අනුව අපි තීරණයක් ගන්නවා නම් ඒ ඕනම තීරණේකට ඔහු ආශීර්වාද කරනවා කියලා කාලෙත් එක්ක මං තේරුම්ගත්තා. මොකද මේ හැම වැඩක්ම පිටිපස්සේ ඉන්නේ ඔහු.

බෙතෙල් එකේදී මං ලබපු පුහුණුවත් මෝසෙස් ලබපු පුහුණුව වගේ කියලා මට නිතරම හිතුණා. අවුරුදු 40ක් තිස්සේ එඬේරෙක් විදිහට ජීවත් වෙලා මෘදුකම ඉගෙනගන්න යෙහෝවා එයාට උදව් කළා. මෝසෙස් වගේ මාත් හොඳට ඉගෙනගත්ත කෙනෙක්. ඒ දේවල් නිසා මං ඕනෑවට වඩා මං ගැන හිතුවා. මං දේවල් කරන විදිහ තමයි හරි කියලා මට හිතුණා. හැබැයි බෙතෙල් එකෙන් මට ඉගැන්නුවා නිහතමානීව, යෙහෝවා මත විශ්වාසේ තියලා වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා. යෙහෝවා ඉවසීමෙන් මෝසෙස්ව ඇඹුවා වගේ මේ අවුරුදු ගාණ පුරාම මාවත් ඇඹුවා.

කෙන් එයාගේ මේසේ ළඟ ඉඳගෙන ඉන්නවා.

ජපානයේ බෙතෙල් එකේ සේවේ කරන ගමන්

මිවාකෝගේ අම්මායි, තාත්තායි නැති වෙන කල්ම අවුරුදු 24ක් තිස්සේ අපි එයාලව බලාගත්තා. ඒ කාලේ පුරා අපි මනසින් වැටුණ අවස්ථා තිබ්බා. නිතරම වගේ ඉස්පිරිතාල ගාණේ යන්න වුණා. මිවාකෝගේ අම්මාගේ නම මාසාකෝ. එයාගේ අසනීප තත්වය එන්න එන්නම දරුණු වෙලා එයාට ඇවිදින එකත් ලේසි වුණේ නෑ. ඒ නිසා රැස්වීම්, සේවේ යන්න එයාට අමාරු වුණා. එයාගේ ජීවිතේ අන්තිම සති කීපයේ එයා හිටියේ රෝද පුටුවක. එයා ටිකෙන් ටික දුර්වල වුණාට එයාගේ හිතේ යෙහෝවා ගැන තිබුණ ආදරේ නම් කවදාවත් දුර්වල වුණේ නෑ. සත්‍යය ගැන කතා කරන හැම වතාවකම එයාගේ මූණ සතුටින් පිරිලා ගියා. මිවාකෝගේ අම්මා මොන දේට මූණ දුන්නත් හරිම සතුටින් හිටියා, තියෙන දෙයින් සෑහීමට පත් වුණා. එයාගේ ආදර්ශය මට උදව් වුණා ඒ වගේ ගුණාංග මගේ ජීවිතේටත් එකතු කරගන්න.

කෙන් සහ මිවාකෝ විශේෂ පුරෝගාමීන් විදිහට සේවේ කරන ගමන්.

ඔකිනාවාවල මිවාකෝ එක්ක සේවේ යන ගමන්

2024දී අපේ ජීවිතවල ලොකු වෙනසක් වුණා. බෙතෙල් එකේ අවුරුදු 30කට වඩා සේවේ කළාට පස්සේ අපිට පුරෝගාමීන් විදිහට පැවරුමක් ලැබුණා. අපි දැන් ඔකිනාවා කියන දූපතේ විශේෂ පුරෝගාමීන් විදිහට සේවේ කරනවා. අපිට අවස්ථාව ලැබුණා හමුදා කඳවුරු ළඟ ඉන්න පවුල්වලට සාක්ෂි දරන්න. බෙතෙල් එකේදී ලැබුණ පුහුණුව අපිට උදව් වුණා මේ අලුත් පැවරුමට හැඩගැහෙන්න. අපි හැම තිස්සේම උත්සාහ කරනවා හොඳ කාලසටහනකට වැඩ කරන්න. ඒක උදව් වෙනවා සේවෙට අවධානය දීලා මහන්සි වෙලා වැඩ කරන්න, අපේ කාලය හරිම විදිහට පාවිච්චි කරන්න. යෙහෝවා අපිට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා. අපි දැන් ගොඩක් අය එක්ක බයිබල් පාඩම් කරනවා. එයාලා අපේම පවුලේ අය වගේ. මේ සේවේ කරද්දී අපි ඉගෙනගත්ත වැදගත් පාඩමක් තමයි හැම දේටම වඩා වටින්නේ මිනිස්සුන්ට ආදරේ කරන එක කියලා. ඇත්තටම මිවාකෝටයි, මටයි මේ වටින පැවරුම දුන්න එක ගැන අපි හැම දවසකම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.

දිගටම මාව අඹන්න ඉඩ දෙනවා

මගේ පවුලේ අය දැන් සත්‍යයට විරුද්ධ නෑ. හැබැයි එයාලා තාම පාඩමක් කරන්නේ නෑ. ඒත් කෙනෙක්ට යේසුස් වෙනුවෙන් පවුලේ අයව අත්හරින්න වුණොත් එයාට ඊටත් වඩා සිය ගුණයකින් අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියන් ලැබෙනවා කියලා යේසුස් පොරොන්දු වෙලා තියෙනවානේ. (මාක් 10:29, 30) මගේ අද්දැකීමත් ඒකමයි. ලෝකේ වටේ ඉන්න හුඟක් පවුල්වල අය මාව එයාලාගෙම කෙනෙක් වගේ බලාගත්තා. ඒ කීදෙනෙක්ද කියලා ගණන් කරගන්නවත් බැරි තරම්.

මීට අවුරුදු ගාණකට කලින් විල්සන් මට දුන්න ඒ ‘සත්‍යය’ කියන පොත තාම මං ගාව තියෙනවා. ඒ පොත දකින දකින වාරයක් ගාණේ මට මතක් වෙනවා යෙහෝවා මට ඔහුව අඳුරගන්න ආදරෙන් උදව් කරපු විදිහ. (1 ලේක. 28:9) මට ඕනෙ පුළුවන් තරම් දෙනෙක්ට සත්‍යය ගැන කියලා සදාකාල ජීවිතේ ලබාගන්න එයාලටත් උදව් කරන්න. යෙහෝවා මෙච්චර කාලයක් මාව ඇඹුවා. ඉස්සරහටත් ඔහුට ඒක කරන්න මං ඉඩ දෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න