2026 සැප්තැම්බර් 21-27
ගීතිකාව 12 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි
තව හොඳට යෙහෝවාව දැන අඳුරගමු
“ඔයාගේ තාත්තාගේ දෙවියන්ව හොඳින් හඳුනගන්න. ඔයාගේ මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න.”—1 ලේක. 28:9.
ලිපියේ අරමුණ
යෙහෝවාව තව හොඳට අඳුරගන්නවා කියන්නේ මොකක්ද? ඒක කරන්න ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද?
1. යෙහෝවාට තියෙන දැනුම, ප්‍රඥාව, ඔහු කරලා තියෙන දේවල් ගැන හිතද්දී අපිට දැනෙන්නේ කොහොමද?
අපේ දෙවි යෙහෝවා හැම දෙයක් ගැනම දන්නවා. ඔහු තරම් ප්‍රඥාවන්ත කෙනෙක් තවත් නැහැ. ඔහු පුදුමාකාර දේවල් කොච්චර නම් කරලා තියෙනවාද! අපේ නිර්මාතෘ ගැන හිතද්දී පාවුල්ට දැනුණ මේ දේම නෙවෙයිද අපිටත් දැනෙන්නේ? “දෙවියන් දෙන ආශීර්වාද මොන තරම් පුදුමාකාරද! ඔහුට තියෙන ප්‍රඥාවත් දැනුමත් කවදාවත් මැනලා ඉවර කරන්න බැහැ. ඔහු විනිශ්චය කරන විදිහ සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ. ඔහු කරන හැම දෙයක්ම වටහාගන්න එක කොච්චර අමාරුද!”—රෝම 11:33, 34.
2. යෙහෝවාව අඳුරගන්න පුළුවන් කියලා අපිට ස්ථිර ඇයි?
2 අපිට යෙහෝවා ගැන හැම දේම දැනගන්න බැරි වුණත් ඔහු කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න අපිට පුළුවන්. ඇයි එහෙම කියන්නේ? දාවිත් එයාගේ පුතා සලමොන්ට මෙහෙම කිව්වා. ‘ඔයාගේ තාත්තාගේ දෙවියන්ව හොඳින් හඳුනගන්න. ඔයාගේ මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න. ඔයා ඔහුව හඳුනගන්න උත්සාහ කළොත් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න ඔහු ඔයාට උදව් කරයි.’ (1 ලේක. 28:9) ඊට සියවස් ගාණකට පස්සේ යොහන් ක්‍රිස්තියානීන්ට කිව්වා “සැබෑ තැනැත්තාණන්ව හඳුනගන්න ඕන කරන වටහාගැනීමේ හැකියාව [යේසුස්] අපිට දුන්නා” කියලා. (1 යොහ. 5:20) ඒ වගේම යේසුස් කිව්වා “කෙනෙක් පියාණන්ව හඳුනගන්නවාට පුතා කැමති නම් පුතා ඒ කෙනාටත් පියාණන් ගැන හෙළි කරනවා” කියලා.—මතෙ. 11:27.
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද?
3 යෙහෝවාගේ සෙනඟ විදිහට අපි දැනටමත් ඔහු ගැන ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒත් අපිට හැම දවසකම ඔහුව තව වැඩියෙන් “දැන අඳුරගන්න” පුළුවන්. (යොහ. 17:3, පාදසටහන) උදාහරණෙකට යෙහෝවා ගැන තියෙන විශ්වාසේ තව වැඩි කරගන්න පුළුවන් විදිහ ගැන, ඔහුව තව සතුටු කරන්න පුළුවන් විදිහ ගැන අපිට හැමදාම වුණත් ඉගෙනගන්න පුළුවන්. අපි කොච්චර කාලයක් යෙහෝවාට සේවේ කළත් අපි හිතලා බලන්න ඕනෙ ප්‍රශ්න තුනක් ගැන මේ ලිපියෙන් බලමු. (1) යෙහෝවාව අඳුරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (2) ඔහුව තව වැඩියෙන් දැනගන්න අපි දිගටම මහන්සි වෙන්න ඕනෙ ඇයි? (3) ඒක කරන්න අපිට පුළුවන් කොහොමද?
ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?
4. යෙහෝවාව අඳුරගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
4 යෙහෝවාව අඳුරගන්නවා කියන එකෙන් අදහස් කරන දේ තේරුම්ගන්න ඔහු වහල්භාවයෙන් නිදහස් වෙලා ආපු යුදෙව්වන්ට කියපු දෙයක් උදව් වෙනවා. යෙහෝවා මෙහෙම කිව්වා. “මාව හොඳින් දැන හඳුන ගන්න කැමති හදවතක් මම ඔවුන්ට දෙනවා. මම යෙහෝවා කියලා දැනගන්න ඔවුන්ට පුළුවන් වෙයි.” (යෙරෙ. 24:7) වහල්භාවයෙන් නිදහස් වෙලා ආපු අය ඒ වෙද්දීත් යෙහෝවා ගැන ගොඩක් දේවල් දැනන් ඉන්න ඇති. ඒත් ඒක විතරක් මදි. එයාලාගේ හදවතට යෙහෝවාව දැනෙන්න ඕනේ. ඒක එයාලා හිතන පතන විදිහට, කරන කියන දේවලට බලපාන්න ඕනේ. එක පොතක ඒ ගැන මෙහෙම කියනවා. “දෙවියන්ව දන්න එකයි, ඔහුව අඳුරගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක හරියට ඔයා ආදර කතාවක් කියවන එකයි, ඇත්තටම ඔයාගේ හදවතට කෙනෙක් ගැන ආදරයක් දැනෙන එකයි අතරේ තියෙන වෙනස වගේ.” ඉතින් යෙහෝවාට නමක් තියෙනවා, ඔහු තමයි අපේ දෙවියන් කියලා අපි දැනගෙන ඉන්න එක විතරක් මදි. ඒ නම පිටිපස්සේ ඉන්න කෙනා කොයි වගේද කියලත් අපි තේරුම්ගන්න ඕනේ.
5. යෙහෝවාව අඳුරගන්න එක ගැන යොෂියා රජගෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
5 අපි යෙහෝවාව දැන අඳුරගද්දී ඔහු සතුටු වෙන්නේ මොන දේවල් කළොත්ද, දුක් වෙන්නේ මොන දේවල් කළොත්ද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒක තේරුම්ගන්න යොෂියා රජ ගැන බලමු. එයා ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරලා දෙවියන් ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. හැබැයි එයා එතනින් නතර වුණේ නැහැ. බයිබලේ කියනවා “එයා පාලනය කරපු 8වෙනි අවුරුද්දේදී ඒ කියන්නේ තරුණ වයසේදීම එයා එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත්ගේ දෙවියන්ට සේවය කරන්න පටන්ගත්තා” කියලා. (2 ලේක. 34:3) ඒකෙන් පේනවා එයා ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගත්තා කියලා. යෙහෝවා යෙරෙමියා මාර්ගයෙන් යොෂියා ගැන මෙහෙමත් කිව්වා. ‘එයා සාධාරණ විදිහට වැඩ කළා. හරි දේ කළා. අසරණ, දුප්පත් අය වෙනුවෙන් යුක්තිය ඉටු කළා.’ ඒකයි ඊටපස්සේ යෙහෝවා මෙහෙම අහන්නේ. “මාව හොඳින් අඳුරගත්ත කෙනෙක් වැඩ කරන්න ඕනෙ එහෙම නෙමෙයිද?”—යෙරෙ. 22:15, 16.
6. ගීතාවලිය 9:10 කියන විදිහට අපි යෙහෝවා ගැන තව දැනගද්දී මොකද වෙන්නේ?
6 ගීතාවලිය 9:10 කියවන්න. අපි යෙහෝවාව අඳුරගන්න තරමට ඔහු ගැන තව වැඩියෙන් විශ්වාසේ තියන්න පෙලඹෙනවා. පාවුල් අන්තිමට හිරේ හිටපු වෙලාවේ, මරණයට ළං වෙලා ඉද්දී කිව්වා “මං ඒ ගැන ලැජ්ජා වෙන්නේ නැහැ. මොකද මං විශ්වාස කරන දෙවියන්ව මං හොඳින් හඳුනනවා” කියලා. (2 තිමෝ. 1:12) දෙවියන් ගැන ඉගෙනගත්ත දේවල් නිසා, ජීවිත කාලේ පුරාම ඔහුගෙන් ලැබුණ උදව් නිසා පාවුල් පෙලඹුණා යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න. යෙහෝවා එයාවයි, එයා කරපු සේවෙයි අමතක කරන්නේ නැහැ කියලත් එයාව නැවත නැඟිට්ටනවා කියලත් පාවුල්ට ලොකු විශ්වාසයක් තිබ්බා.
දිගටම ඒක කරන්න ඕනෙ ඇයි?
7. අවුරුදු ගාණක් පුරා යෙහෝවාට සේවේ කරද්දී අපිට මොකක් වෙන්න පුළුවන්ද?
7 යෙහෝවා ගැන ඉගෙනගන්න පටන්ගත්ත මුල ඔහුව තව හොඳින් අඳුරගන්න අපි ගොඩක් මහන්සි වුණා. ඒත් කාලයක් යද්දී ඔහුව අඳුරගන්න අපි කලින් තරම් උත්සාහයක් ගන්නේ නැතුව ඇති. අපි තනියෙන් බයිබලේ කියවද්දී එහෙම නැත්නම් රැස්වීමේදී හැමෝමත් එක්ක බයිබලේ කියවද්දී අපි සාමාන්‍යයෙන් හිතන්නේ “මේ කියවන දෙයින් මට මොනවාද ඉගෙනගන්න පුළුවන්, මේ තොරතුරු කොහොමද අනිත් අයට උදව් කරන්න පාවිච්චි කරන්න පුළුවන්” කියලා. බයිබලෙත් කියනවා එහෙම හිතන්න කියලා. (2 තිමෝ. 3:16, 17) ඒත් අපි ඊටත් වඩා වැදගත් දෙයක් හිතන්න ඕනේ. (ගීතා. 25:8-10) ඒ තමයි ‘මේ කියවන දෙයින් මට යෙහෝවා ගැන දැනගන්න පුළුවන් මොනවාද’ කියන එක.a
8. යෙහෝවාව තව හොඳට අඳුරගද්දී මොකද වෙන්නේ? (ගීතාවලිය 73:24-28)
8 අපි යෙහෝවාව අඳුරගන්න තරමටම ඔහුත් එක්ක තියෙන යාළුකමත් තව ශක්තිමත් වෙනවා. උදාහරණෙකට බයිබලේ කියෙව්වාම, බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනක් බැලුවාම, සමුළුවකට ගිහින් ආවාම ඔයාට කොහොමද යෙහෝවා ගැන දැනෙන්නේ? ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තාට ඔයා තවත් ළං වෙලා කියලා දැනෙන්නේ නැද්ද? එහෙම දැනෙන්නේ අපි ඔහු ගැන තව වැඩියෙන් ඉගෙනගත්ත නිසයි. ඒ නිසා අපි පෙලඹෙනවා ඔහුට ස්තුති ප්‍රශංසා කරන්න. යෙහෝවා පෙන්නපු ආදරේ ගැන හිතද්දී ගීතිකාකරුත් ඔහුට මෙහෙම කියන්න පෙලඹුණා. “මගේ සිත ශක්තිමත් කරන පර්වතය ඔබයි. මට සදහටම හිමි උරුමයත් ඔබයි.” (ගීතාවලිය 73:24-28 කියවන්න.) යෙහෝවාව අඳුරගන්න අපි මහන්සි වෙන හැම වෙලාවකම ඔහුගේ යාළුවෙක් වෙන්න ලැබුණ එක ගැන අපේ හිතේ තියෙන අගයත් තව වැඩි වෙනවා.
9. අපි යෙහෝවාව “සිහි කරද්දී” ඒක අපි ගන්න තීරණවලට බලපාන්නේ කොහොමද? පැහැදිලි කරන්න.
9 බයිබලේ කියනවා “දෙවියන්ව සිහි කරන්න” කියලා. (හිතෝ. 3:5, 6) ඒ කියන්නේ යෙහෝවා ගැන අපි ඉගෙනගත්ත දේවල් ගැනත් අපි දෙයක් කියද්දී කරද්දී ඔහුට දැනෙන විදිහ ගැනත් හිතන්න කියන එකයි. මොකද ඒක උදව් වෙනවා හොඳ තීරණ ගන්න. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ගොඩක් සහෝදර සහෝදරියන් එයාලා විවාහ වෙලා ඉන්න කෙනාගේ ෆොටෝ එකක් වැඩ කරන තැන මේසේ උඩ තියාගෙන ඉන්නවා. නැත්නම් පර්ස් එකේ, ෆෝන් එකේ දාගෙන ඉන්නවා. ඒක එයාලට උදව් වෙනවා ඒ කෙනාව ආදරෙන් මතක් කරගන්න. එතකොට එයා සතුටු වෙන විදිහේ තීරණ ගන්න, එයාට දුකක් දැනෙන දෙයක් නොකර ඉන්න පුළුවන්. අපි යෙහෝවාවත් හැම තිස්සේම අපේ මතකයේ තියාගන්නවා නම් අපි තීරණ ගන්නේ ඔහුගේ හිත සතුටු වෙන විදිහටයි.—ගීතා. 19:13, 14.
10. යෙහෝවා ගැන ඉගෙනගන්න තරමට අපිට කරන්න පුළුවන් මොකක්ද?
10 යෙහෝවා අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඔහුට තියෙන ගුණාංග පෙන්නන්න පුළුවන් විදිහටයි. (උත්. 1:26) ඉතින් අපි ඒ ගුණාංග ගැන ඉගෙනගන්න තරමටම ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් විදිහ අපිට තව වැඩියෙන් තේරුම්ගන්න පුළුවන්. පරිසිවරුන්ටයි, නීතිය පිටපත් කරන අයටයි ඒක කරන්න බැරි වුණා. එයාලා නීතියේ තිබුණ පුංචි පුංචි දේවල් ගැන හොඳට දැනන් හිටියා. හැබැයි යේසුස් කිව්වා ‘යුක්තිය, දයාව, විශ්වාසවන්තකම කියන නීතියේ තියෙන ඊට වඩා වැදගත් දේවල් ගැන එයාලට ගාණක්වත් නැහැ’ කියලා. (මතෙ. 23:23) අපිට ඕනෙ නැහැ එයාලා වගේ වෙන්න. ඒ නිසා දෙවියන්ගේ නීති, ප්‍රතිපත්ති ගැන අපි බයිබලෙන් ඉගෙනගද්දී ඒවායින් යෙහෝවාගේ ගුණාංග ගැන මොනවාද ඉගෙනගන්න පුළුවන් කියලා හොඳට හිතමු. එතකොට අපිට පුළුවන් ඒ ගුණාංග අපේ ජීවිතෙන් පෙන්නන්න.—1 යොහ. 4:8, 11.
ඒක කරන්නේ කොහොමද?
11. යෙහෝවා ගැන ඔයා ඉස්සෙල්ලාම දැනගත්තේ කොහොමද?
11 ඔයාට මුලින්ම යෙහෝවාව අඳුන්නලා දුන්නේ කවුද? සමහරවිට ඒ සත්‍යයේ ඉන්න ඔයාගේ දෙමාපියන් වෙන්න ඇති. එයාලා බයිබලේ තියෙන වාර්තා සහ යෙහෝවාගේ නිර්මාණ පාවිච්චි කරලා ඔහු මොන වගේ කෙනෙක්ද කියලා ඔයාට කියලා දුන්නා. එහෙම නැත්නම් ඔයා සාක්ෂිකරුවෙක් එක්ක බයිබල් පාඩමක් කරන්න ඇති. එයා ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ වගේ පොතක් පාවිච්චි කරලා බයිබලේ තියෙන සිද්ධිවලින්, යෙහෝවාගේ නිර්මාණවලින් ඔහු මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න ඔයාට උදව් කළා.b (නෙහෙ. 8:8; ක්‍රියා 14:17) දැන් අපි බලමු යෙහෝවා ගැන දිගටම ඉගෙනගන්න අපිට පුළුවන් විදිහ ගැන.
12-13. බයිබලේ කියවද්දී යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? උදාහරණයක් දෙන්න. (යෙරෙමියා 39:15-18) (පින්තූරයත් බලන්න.)
12 (1) බයිබලේ කියවලා ඒ ගැන අධ්‍යයනය කරද්දී යෙහෝවාව අඳුරගන්න පුළුවන්. සමහර වෙලාවට යෙහෝවාගේ ගුණාංග මොනවාද කියලා බයිබලේ කෙළින්ම කියලා තියෙනවා. (නික්. 34:6, 7) හැබැයි ගොඩක් වෙලාවට බයිබලේ තියෙන්නේ මිනිස්සු ගැනයි, එයාලා කියපු කරපු දේවල් ගැනයි. ඉතින් ඒ වගේ වාර්තා කියවද්දී ඒකෙන් යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හොඳට හිතන්න.
13 උදාහරණෙකට ඔයා යෙරෙමියා 38:6-13 කියවනවා කියමුකෝ. ‘අමාරු අවස්ථාවක වුණත් ඒබෙද්මෙලෙක් යෙරෙමියාව බේරගද්දී පෙන්නපු ආදරේ, නිර්භීතකම වගේ ගුණාංග මගේ ජීවිතෙන් පෙන්නන්න පුළුවන් කොහොමද’ කියලා ඔයා ටක් ගාලා අඳුරගනියි. හැබැයි ඒ වාර්තාවෙන් යෙහෝවාගේ ගුණාංග දකින්න ඔයාට පුළුවන් වුණාද? (යෙරෙමියා 39:15-18 කියවන්න.) උදාහරණෙකට යෙහෝවා ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්ව අගය කරනවා කියලා පේන්නේ මොන පදයෙන්ද? ඔහු සාධාරණ කෙනෙක් කියලා පේන්නේ මොන පදයෙන්ද? ඔහු හැමෝටම එක වගේ සලකන කෙනෙක් කියලා පේන්නේ මොන පදයෙන්ද? මේ වාර්තාවෙන් යෙහෝවා ගැන තව මොනවාද ඉගෙනගන්න පුළුවන්? ඔයා බයිබලෙන් කොටසක් කියවන හැම වෙලාවකදීම යෙහෝවාගේ ගුණාංග අඳුරගන්න උත්සාහ කරන්න. ඊටපස්සේ ඒ ගුණාංග පෙන්නනවාට ඔහුට ස්තුති කරන්න, ඔහුව ප්‍රශංසා කරන්න.
ළිඳකට දාලා තිබුණ යෙරෙමියාව ඒබෙද්මෙලෙක් හරිම නිර්භීතව බේරගන්නවා (12-13 ඡේද බලන්න)
14. යෙහෝවා නිර්මාණය කරලා තියෙන දේවල් ගැන හිතන්න අපි කාලේ ගන්න ඕනෙ ඇයි?
14 (2) යෙහෝවාගේ නිර්මාණ ගැන හිතන එකෙන් ඔහුව තව අඳුරගන්න පුළුවන්. (ගීතා. 145:9, 10) ඒකට නිකම්ම නිර්මාණ දිහා බැලුවාට මදි. සමහරු ජීවිත කාලේ පුරාම සොබාදහම අධ්‍යයනය කළාට දෙවියන්ගේ ගුණාංග තියා දෙවි කෙනෙක් ඉන්නවාද කියලවත් එයාලට තේරුම්ගන්න බැහැ. පාවුල් මෙහෙම කිව්වා. “දෙවියන්ව පේන්නේ නැති වුණත් ඔහු හදපු දේවල් දිහා හොඳට බලලා ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. ලෝකය හදපු දවසේ ඉඳලා ඔහුගේ ගුණාංග පැහැදිලිව දකින්න තියෙනවා.” (රෝම 1:20) එක බයිබල් පරිවර්තනයක ඒ පදය තියෙන්නේ මෙහෙමයි. “නිර්මාණ දිහා වටහාගැනීම කියන ඇස්වලින් හොඳට බැලුවොත් දෙවියන්ගේ ගුණාංග දකින්න පුළුවන්.” ඉතින් යෙහෝවාගේ පුදුමාකාර නිර්මාණ දිහා බලලා ඒවා ඔහු ගැන උගන්නන්නේ මොනවාද කියලා හිතන්න කාලේ ගන්න.
15. යෙහෝවාව තව හොඳට අඳුරගන්න පැට්‍රික් කළේ මොනවාද? ඔයාට කරන්න පුළුවන් මොන වගේ දෙයක්ද? (පින්තූරයත් බලන්න.)
15 හුඟදෙනෙක් ජීවත් වෙන්නේ ස්වභාව සෞන්දර්යයෙන් හුඟක් ඈත් වෙච්ච නගරබද ප්‍රදේශවල. ඔයා ඉන්නෙත් ඒ වගේ පැත්තක නම් යෙහෝවාගේ නිර්මාණවලින් ඉගෙනගන්න ඔයාට පුළුවන්ද? කොංගෝවල ජනාකීර්ණ නගරෙක ඉන්න පැට්‍රික් මෙහෙම කියනවා. “මං බැල්කනියට ගිහින් යෙහෝවාගේ නිර්මාණ රස විඳිනවා. පුංචි සත්තු, කුරුල්ලෝ කෑම හොයන්න, ඉන්න තැනක් හොයන්න කඩිමුඩියේ එහෙට මෙහෙට යන විදිහ මං නිතරම දකිනවා. දවසක් කුරුල්ලෝ කූඩුවක් හදන විදිහ මං දැක්කා. උන් කූඩුව හදන්න ඕන දේවල් හොයාගත්තේ ඒ අවටින්මයි. හැබැයි චූටි පැටවුන්ට ඉන්න පුළුවන් විදිහේ හොඳම කූඩුවක් උන් හදනවා.” පැට්‍රික් ඒවා දිහා නිකම්ම බලලා නතර වුණේ නැහැ. එයා නිර්මාතෘ ගැන ගැඹුරින් හිතන්නත් වෙලාව ගත්තා. එයා මෙහෙම කියනවා. “යෙහෝවා ඔහු නිර්මාණය කරපු පුංචි සතෙක් ගැන වුණත් ගොඩක් සැලකිලිමත්. ඒක මට උදව් වුණා යෙහෝවා මං ගැනත් හිතනවා කියලා තේරුම්ගන්න. මට ඕන දේවල් ඔහු කවදාවත් නොදී ඉන්නේ නෑ.”
අවට තියෙන දේවල් ගැන හොඳට හිතලා යෙහෝවාව තව හොඳට අඳුරගන්න (15 ඡේදය බලන්න)
16. යෙහෝවාව තව හොඳට අඳුරගන්න මරියාට උදව් වුණේ මොනවාද? එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
16 (3) යෙහෝවා අපිට උදව් කරලා තියෙන විදි ගැන හිතන එකෙන් අපිට ඔහුව තව අඳුරගන්න පුළුවන්. ඒකම තමයි මරියාත් කළේ. ඒ වෙද්දීත් එයා යෙහෝවා ගැන හොඳට දැනන් හිටියා. එයාට “දෙවියන්ගේ ආශීර්වාදයත්” තිබ්බා. (ලූක් 1:30) ඒත් මරියාට යේසුස්ගේ අම්මා වෙන බැරෑරුම් වගකීම ලැබුණාම යෙහෝවා ගාබ්‍රියෙල් දේවදූතයා මාර්ගයෙන්, මරියාගේ නෑයෙක් වුණ එලිසබෙත් මාර්ගයෙන් එයාව ශක්තිමත් කළා. ඔහු එයාත් එක්ක ඉන්නවා කියලා මරියාට සහතික කළා. මේ අද්දැකීමෙන් යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් දේවල් ගැන පස්සේ මරියා හොඳට කල්පනා කළා. යෙහෝවා කොච්චර බලවත්, දයාවන්ත, හැමෝටම එක විදිහට සලකන, සමාජයෙන් කොන් කරලා තියෙන අය ගැන වුණත් කොච්චර සැලකිලිමත් වෙන දෙවි කෙනෙක්ද කියලා මරියාට තව හොඳට පැහැදිලි වුණා. (ලූක් 1:46-55) යෙහෝවාගේ උදව් මරියා ගොඩක් අගය කළා. “උදව් ඕනෙම කරන වෙලාවලදී” යෙහෝවා අපි ළඟින් ඉන්න එක අපිත් ගොඩක් අගය කරනවා. (හෙබ්‍රෙ. 4:16) ඉතින් යෙහෝවාගේ උදව් ලැබෙන හැම වතාවකම මෙහෙම හිතමු. ‘මේ අද්දැකීමෙන් මං යෙහෝවා ගැන ඉගෙනගන්නේ මොනවාද? මං මේ වෙලාවේ දකින්නේ ඔහුගේ මොන ගුණාංගද?’
යෙහෝවා ඔයාට උදව් කරලා තියෙන විදි ගැන හිතලා ඔහුව තව හොඳට අඳුරගන්න (16 ඡේදය බලන්න)c
ඉගෙනගන්න එක නතර වෙන්නේ නැහැ
17-18. යෙහෝවා ගැන ඉගෙනගන්න එක අපි කවදාවත් නතර කරන්නේ නැහැ කියලා කියන්නේ ඇයි?
17 පාරාදීසේදී යෙහෝවා ගැන තව කොච්චර නම් දේවල් ඉගෙනගන්න තියෙයිද! එදාට යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන කියලා අලුත් ලියවිලි ලැබෙයි. (එළි. 20:12) අදට වඩා වැඩියෙන් සොබාදහමත් එක්ක කාලේ ගත කරන්න අපිට පුළුවන් වෙයි. (යෙසා. 11:6-9) අපි ආදරේ කරන අය නැවත නැඟිටලා එන එක, දවසින් දවස අපි පරිපූර්ණත්වයට ළඟා වෙන එක වගේ අලුත් අලුත් අද්දැකීම් අපේ ජීවිතේට එකතු වෙද්දී අපේ තාත්තාව තව වැඩියෙන් අඳුරගන්න අපිට පුළුවන් වෙයි.
18 යෙහෝවා ගැන ඉගෙනගන්න එක කවදාවත් නතර වෙන්නේ නැහැ. ඔහු අනන්ත අප්‍රමාණ කාලයක් ජීවත් වෙලා තියෙන නිසා “ඔහුගේ ප්‍රඥාව මොන තරම්ද! ඒක කිසිම දේකින් මනින්න බැහැ!” (ගීතා. 90:2; 147:5) “සැබෑ දෙවියන් මුල ඉඳන් අග වෙන කල් කරලා තියෙන දේවල් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න මිනිසාට කවදාවත් බැහැ.” (දේශ. 3:11) ඉතින් අපි කොච්චර කාලයක් සත්‍යයේ හිටියත් අපේ ආදරණීය තාත්තාව තව වැඩියෙන් අඳුරගන්න ලැබෙන හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගමු.
ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම
a ‘නව ලොව පරිවර්තනයේ’ “දේවවචනයට හැඳින්වීමක්” කියන කොටසේ 20 ප්‍රශ්නේ බලන්න.
b ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 07 පාඩමේ 5-7 කරුණු බලන්න.
c පින්තූරේ අදහස: සති මැද රැස්වීමේදී පැවරුමක් හොඳට කරන්න යෙහෝවා උදව් කරපු විදිහ ගැන දේශන දෙන්න බය සහෝදරයෙක් හිතනවා.