2026 සැප්තැම්බර් 14-20
ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව
යෙසායා පොතෙන් සහනයක් ලබන්න
‘යෙහෝවා මෙහෙම කියනවා. “මවක් ඇගේ දරුවාව සනසනවා වගේ මම හැමදාම ඔබව සනසනවා.”’—යෙසා. 66:12, 13.
ලිපියේ අරමුණ
යෙසායා පොතේ වචන කියවලා ඒ ගැන ගැඹුරින් හිතද්දී අපිට සහනයක් අද්දකින්න පුළුවන්.
1-2. අපි දුකෙන් ඉද්දී යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?
හිතන්න පුංචි පුතෙක් හොඳටම අඬනවා කියලා. එයා එහෙම අඬන්නේ එයාගේ පවුලේ අය පදිංචිය මාරු කරන නිසා වෙන්න ඇති. මොකද එතකොට එයාට එයාගේ යාළුවන්ව දාලා යන්න වෙනවා. නැත්නම් එයා අඬන්නේ එයා අතින් වුණ වැරැද්දක් නිසා වෙන්න ඇති. ඒ වගේ වෙලාවක එයාගේ අම්මා මොනවා කරයිද? අම්මා පුංචි පුතාව ආදරෙන් බදාගෙන “ඇයි ඔයා අඬන්නේ” කියලා අහයි. පුතා ඉකි ගගහා එයාට දැනෙන දේ කියද්දී අම්මා හොඳට අහගෙන ඉඳියි. එයාට අම්මා කොච්චර ආදරේද කියලත් කියයි.
2 බයිබලේ යෙහෝවා ඔහුව ආදරණීය අම්මා කෙනෙක්ට සමාන කරනවා. ඔහු කියනවා “මවක් ඇගේ දරුවාව සනසනවා වගේ මම හැමදාම ඔබව සනසනවා” කියලා. (යෙසා. 66:13) ඇත්තටම දෙමාපියන් තමන්ගේ දරුවන්ට ආදරේ කරනවාටත් වඩා වැඩියෙන් යෙහෝවා අපිට ආදරෙයි. (යෙසා. 49:15) අපි මනසින් වැටිලා ඉද්දී, දුකින් ඉද්දී යෙහෝවා ඔහුගේ වචනය වන බයිබලය මාර්ගයෙන් අපිට ඕනෙ සැනසීම, ශක්තිය ලබා දෙනවා.—රෝම 15:4.
3. අපි මේ ලිපියෙන් ඉගෙනගන්නේ මොනවා ගැනද?
3 යෙහෝවා අපිව සනසන්න කියපු වචනවලින් යෙසායා පොත පිරිලා! (යෙසා. 40:1) එදා යූදා සෙනඟ අමාරු දේවලට මූණ දෙන කාලෙක තමයි එයාලව සනසන්න අපේ ආදරණීය තාත්තා මේ පොත ලියන්න යෙසායාට මඟ පෙන්නුවේ. අද අපිත් ඉන්නේ “හරිම අනතුරුදායක, ජීවත් වෙන්න අමාරු කාලයක.” (2 තිමෝ. 3:1) ඒ නිසා අපිටත් සහනය ඕනේ. ඉතින් (1) හිතපු නැති විදිහේ වෙනස්කම්වලට මූණ දෙන්න වෙද්දී, (2) අතීතයේ කරපු වරදක් ගැන දිගටම අපේ හිත දොස් නඟද්දී, (3) අපි ආදරේ කරන කෙනෙක්ගේ වියෝදුක දරාගන්න වෙද්දී යෙසායා පොතේ තියෙන සමහර වචනවලින් අපිට සහනයක්, ශක්තියක් අද්දකින්න පුළුවන් කොහොමද කියලා අපි දැන් බලමු.
හිතපු නැති විදිහේ වෙනසක් වෙද්දී
4. එකපාරටම දේවල් වෙනස් වෙද්දී අපිට කොහොම දැනෙයිද?
4 අපේ ජීවිත හිතපු නැති විදිහට කණපිට පෙරළෙන්න පුළුවන්. (දේශ. 9:11; 1 කොරි. 7:31) අපිට අසනීපයක් හැදෙන්න පුළුවන්. සල්ලි ප්‍රශ්න එන්න පුළුවන්. රටේ දේශපාලන ගැටුම් ඇති වෙන්න පුළුවන්. නැත්නම් අපේ පැවරුමක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපේ හිතට ලොකු බරක් දැනෙයි. ඉස්සරහට මොනවා වෙයිද කියලා බය හිතෙයි. ‘දැන් මොකද කරන්නේ’ කියලා හිතෙයි. එහෙම හිතෙන එක සාමාන්‍යයි. සහෝදර ජෝසෆ් අවුරුදු 17ක් තිස්සේ බෙතෙල් එකේ සේවේ කරපු කෙනෙක්. පස්සේ එයාට පුරෝගාමි සේවේ කරන්න පැවරුමක් ලැබුණා. ඒ වෙනස ගැන එයා මෙහෙම කියනවා. “අවුරුදු ගාණක් බෙතෙල් එකේ ඉඳලා ජීවිතේ අලුතින්ම පටන්ගන්න එක ලේසි වුණේ නෑ. මට දැනුණේ මාව කරකවලා අතහැරියා වගේ.” ඒ වගේ වෙලාවට යෙහෝවා, යෙසායා මාර්ගයෙන් අපිව සනසන්නේ කොහොමද?
5. අපි වෙනුවෙන් මොනවා කරනවා කියලද යෙසායා 42:16 යෙහෝවා පොරොන්දු වෙන්නේ? (පින්තූරයත් බලන්න.)
5 යෙසායා 42:16 කියවන්න. අන්ධ අයව නුහුරු මාර්ගයක ගෙනියනවා කියලත් අන්ධකාරය ආලෝකයට හරවනවා කියලත් යෙහෝවා පොරොන්දු වෙනවා. “අන්ධ,” “නුහුරු මාර්ග,” “අඳුරු තැන්,” “රළුබිම්” වගේ වචනවලින් පෙන්නනවා හිතපු නැති වෙනස්කමකට මූණ දෙන කෙනෙක්ට එයාගේ අනාගතේ ගැන හැඟෙන විදිහ. ඒ වගේ වෙලාවට අපිට දැනෙන්න පුළුවන් අපි ඝන වනාන්තරයක් මැද්දෙන් ඇවිදන් යනවා කියලා. අපිට ඉස්සරහා තියෙන පාරවත් පේන්නේ නැහැ. ඒත් යෙහෝවා අපිට කියනවා අපි මොන දේට මූණ දුන්නත් ඔහු අපිට හරි මඟ පෙන්නනවා, අපිව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා. අපේ ජීවිතේ අඳුරු කාලවලදී ඔහු අපේ අතින් අල්ලගෙන අපිව පරෙස්සමින් එක්කන් යනවා, අපි යන පාර ආලෝකවත් කරනවා. ඒ වගේම අපිට ලේසියෙන් යන්න පුළුවන් විදිහට අපේ මාර්ගය සමතලා කරනවා. යෙහෝවා ඒක කරන්නේ ඔහුගේ වචනයෙන් සහ සංවිධානය මාර්ගයෙන් අපිට ඕනෙ කරන හොඳ මඟ පෙන්වීම් දීලා. (ගීතා. 119:105; යෙසා. 30:21) අපේ සහෝදරයන්වයි, වෙනත් අයවයි පාවිච්චි කරලත් ඔහු අපිට ඕනෙ උදව් දෙනවා. ඉතින් අපි ඉස්සරහා තියෙන පාර පැහැදිලි නැති වුණත් ඒකේ යන්න අමාරුයි කියලා දැනුණත් යෙහෝවා අපිව තේරුම් අරන් හරිම පරෙස්සමින් අපිව එක්කන් යයි කියලා අපිට විශ්වාසයි.—යෙසා. 41:10; 1 පේතෘ. 5:6, 7.
හිතපු නැති විදිහට දේවල් වෙනස් වෙද්දීත් යෙහෝවා ඔයාව තනි කරන්නේ නැහැ (5 ඡේදය බලන්න)b
6. නොහිතපු විදිහේ වෙනසකට මූණ දෙන්න වුණොත් අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?
6 කලින් කතා කරපු ජෝසෆ් සහ එයාගේ බිරිඳ බෙතෙල් එකෙන් ගියාට පස්සේ යෙහෝවා එයාලට උදව් කරපු විදිහ ගැන මෙහෙම කියනවා. “ඒ වෙනස්කම වුණ කාලේ පුරාම යෙහෝවා අපිව ආදරෙන් බලාගත්තා. ඔහු සහෝදරයන්ව පාවිච්චි කරලා අපිට උදව් කළා. ඕනෙම වෙලාවේදී අපිට අවශ්‍ය දේවල් දුන්නා. අපිව සැනසුවා. අදටත් ඔහු ඒක කරනවා.” ඉතින් හිතපු නැති විදිහේ වෙනස්කමකට මූණ දෙන්න වුණොත් ඔයාට ලොකු බයක් දැනෙයි. මේකට හරියට මූණ දෙන්න පුළුවන් වෙයිද කියලා හිතෙයි. ඒ කොහොම දැනුණත් අපිට ඕනෙ ශක්තිය, මඟ පෙන්වීම් යෙහෝවා අනිවාර්යයෙන්ම දෙනවා. (යෙසා. 54:10; 58:11) ජෝසෆ් මෙහෙම කියනවා. “අපේ සිංදුවක තිබුණ වචන මට මතකයි. ඒකේ කියනවා ‘මොන දේ වුවද හෙට දිනේ තනි නෑ කිසිදා මේ සටනේ’ කියලා.a සමහරවිට අපි හිතපු විදිහටම දේවල් වෙන්නේ නැති වෙයි. ඒත් එක දෙයක් විශ්වාසයි. අපි තියන අඩියක් අඩියක් ගාණේ යෙහෝවා අපිත් එක්ක ඉන්නවාමයි.”
කරපු වරදක් ගැන දිගින් දිගටම හිත දොස් කියද්දී
7. අතීතයේ වරදක් කරපු කෙනෙක් සමහරවිට මොන වගේ සටනක් කරනවා ඇද්ද?
7 අපි අතින් වුණ බරපතළ වරදක් ගැන අපි වැඩිමහල්ලන්ට කිව්වාම එයාලා අපිට ආදරෙන් උදව් කරනවා. ඊටපස්සේ ඒ වරද ආයේ නොකර ඉන්න අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා. (හිතෝ. 28:13; යාකො. 5:14-16; 1 යොහ. 1:9) ඒත් යෙහෝවා සමාව දුන්නාට පස්සෙත් අපේ හිත අපිට දොස් කියන්න පුළුවන්. ‘මේ වගේ වරදකට යෙහෝවා කොහොමද මට සමාව දෙන්නේ’ කියලා අපිට හිතෙන්න පුළුවන්. (2 කොරි. 2:7) අපි කරපු වරද ආයේ ආයේ මතක් වෙන නිසා, අපේ හිතට ලොකු බරක් දැනෙන නිසා එහෙම හිතෙන එක සාමාන්‍යයි. දාවිත් මෙහෙම කිව්වා. ‘මං කරපු වරද නිසා මගේ හිතට කිසිම සැනසීමක් නැහැ. මං ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා. මාව තළලා පොඩි කරලා දාලා වගේ.’ (ගීතා. 38:3, 8) අපිටත් එහෙම දැනෙනවා නම් යෙසායා පොතෙන් සැනසීමක් ලබන්න අපිට පුළුවන්.
8-9. යෙහෝවා අපිට කොච්චර දුරට සමාව දෙනවාද කියලා යෙසායා 1:18 විස්තර කරන්නේ කොහොමද?
8 යෙසායා 1:18 කියවන්න. යෙහෝවා අපේ වැරදිවලට කොච්චර දුරට සමාව දෙනවාද කියලා පෙන්නන්න ඔහු හරිම ප්‍රබල උදාහරණයක් පාවිච්චි කරනවා. ඔහු කියනවා අපේ “වැරදි රතට රතේ තිබුණත් ඒවා හිම වගේ සුදු” කරනවා කියලා. සාමාන්‍යයෙන් ඇඳුමක තද රතු පාට වැදුණාම ඒක ලේසියෙන් යවන්න බැහැ. ඒත් යෙහෝවා පොරොන්දු වෙනවා අපේ ජීවිතේ එතනින් එහාට ඒ වරදේ පැල්ලමක්වත් තියන්නේ නැහැ කියලා.
9 දාවිත් ගැන හිතන්න. එයා අනාචාරයේ යෙදුණා, මිනී මැරුවා. ඒත් යෙහෝවා එයාට සමාව දුන්නා. පස්සේ යෙහෝවා කිව්වා එයා මුළු හදවතින්ම ඔහුට කීකරු වෙලා හිටපු කෙනෙක් කියලා. (2 සාමු. 11:3, 4, 14, 15; 12:13; 1 රාජා. 9:4, 5) යෙහෝවා දාවිත්ව මතක් කරද්දී ඔහුට මතක් වුණේ දාවිත් කරපු වැරදි නෙවෙයි, එයා කොච්චර ඔහුට විශ්වාසවන්තව හිටියාද කියන එකයි. ඒ වගේ අපිත් අවංකවම පසුතැවිලි වෙද්දී යෙහෝවා හදවතින්ම අපිට සමාව දෙනවා. ඒ වගේම පිරිසිදු හෘද සාක්ෂියක් තියාගෙන ඉස්සරහට යන්න ඔහු අපිට උදව් කරනවා. අතීතයේ කරපු වරදක් නිසා ඔයාගේ හිත තාමත් දොස් කියනවා නම් ඔයාට උදව් වෙන තව මොනවාද යෙසායා පොතේ තියෙන්නේ?
10. යෙසායා 38:17 තියෙන්නේ අපිට සහනයක් වෙන මොන පොරොන්දුවද?
10 යෙසායා 38:17 සහ පාදසටහන කියවන්න. එතන “ඔබ මගේ හැම වරදක්ම ඔබ පිටුපසට වීසි කළා” කියන වාක්‍යය මගේ හැම වරදක්ම “ඔබ ඉදිරියෙන් අයින් කළා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. එතන යෙහෝවාව විස්තර කරලා තියෙන්නේ පසුතැවිලි වුණ කෙනෙක්ගේ වැරදි එයාගෙන් අරගෙන ඔහුගේ පිටුපසට වීසි කරන කෙනෙක් විදිහට. තවදුරටත් ඒ වැරදි යෙහෝවාට පේන්නේ නැහැ, ඔහු ඒවා ගැන හිතන්නේ නැහැ. එක පොතක ඒ අදහස මේ විදිහටත් විස්තර කරලා තියෙනවා. “ඔබ මගේ වැරදි සලකන්නේ කවදාවත් නොවුණ ඒවා විදිහටයි.” ඉතින් යෙහෝවා අපි කරපු වරදකට සමාව දුන්නාට පස්සේ ඔහු ඒක සලකන්නේ අපි කවදාවත් ඒ වරද කරපු නැති ගාණට. ඔහු ඒවා ආයේ මතක් කරකර අපිට දොස් කියන්නෙවත් අපිට දඬුවම් කරන්නෙවත් නැහැ. ඔහු ඒ වැරදි සම්පූර්ණයෙන්ම මකලා දානවා. ඔහු පොරොන්දු වෙනවා “ඔබ කරපු වැරදි මම ආයේ මතක් කරන්නේ නැහැ” කියලා. (යෙසා. 43:25) ඒක මොන තරම් සහනයක්ද! ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු වන යෙහෝවා අපේ වැරදි මතක තියාගෙන අපිව රිද්දන්නේ නැත්නම් අපි ඒවා මතක තියාගෙන අපිවම රිද්දගන්න ඕනෙද?
දැන් අපි අද්දකින සතුටට හරස් වෙන්න අතීතයේ කරපු වැරදිවලට ඉඩ දෙන්න එපා!
11. අපි අතීතයේදී මොන වරද කරලා තිබුණත් යෙහෝවා බලන්නේ මොකක් දිහාද? (පින්තූරයත් බලන්න.)
11 අතීතයේ කරපු වරදක් නිසා අපේ හිත සැරෙන් සැරේ දොස් කියනවා නම් යෙහෝවාගේ පොරොන්දු මතක් කරගමු. ඔහු සමාව දෙද්දී හිතේ කිසිම කහටක් තියාගන්නේ නැතුව සම්පූර්ණයෙන්ම සමාව දෙනවා. අපි අතීතයේ කරපු වැරදි නිසා අපිව ඔහුගේ සේවකයන් විදිහට හඳුන්වන්න ඔහු ලැජ්ජා වෙන්නේ නැහැ. ඔහු පව්කාර මිනිස්සු වගේ වැරදි හිතේ කොනක හංගගෙන ඉන්නේ නැහැ. (යෙසා. 57:16) යෙහෝවාට වැදගත් වෙන්නේ අපි අතීතයේදී මොන වගේ අයද කියන එක නෙවෙයි. ඒ වෙනුවට දැන් අපි කොයි වගේ අයද, ඉස්සරහට වෙන්න ආස මොන වගේ අයද කියන එකයි. (යෙසා. 55:7) ඇත්තටම අපි නමස්කාර කරන දෙවියන් සමාව දෙන්න කැමති, ආදරණීය කෙනෙක්. ඒ නිසා දැන් අපි අද්දකින සතුටටවත් ඉදිරියේදී අපිට ලැබෙන්න යන ආශීර්වාදවලටවත් හරස් වෙන්න අතීතයේදී අපි කරපු වැරදිවලට කවදාවත් ඉඩ නොදී ඉමු!
අපි ගැන හිතද්දී යෙහෝවාට මතක් වෙන්නේ අපි අතීතයේදී කරපු වැරදි නෙවෙයි (11 ඡේදය බලන්න)c
වියෝදුක දරාගන්න වෙද්දී
12. ආදරේ කරන කෙනෙක් නැති වෙද්දී අපිට කොහොම දැනෙන්න පුළුවන්ද?
12 අපි ආදරේ කරන කෙනෙක් නැති වුණාම අපිට දැනෙන්නේ දරාගන්න බැරි වේදනාවක්. ඒ වේදනාව කාලයක් තිස්සේ අපේ හිතේ තියෙයි. සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ඇයි යෙහෝවා එයාට මැරෙන්න ඉඩ දුන්නේ කියලා. සහෝදර මයිකල්ගේ දෙමාපියන් ගින්නකට අහු වෙලා නැති වුණා. එයා මෙහෙම කියනවා. “මගේ හදවත කෑලි කෑලිවලට කැඩිලා ගියා. යෙහෝවා මේ වගේ දේකට ඉඩ දුන්න එක ගැන මට ඔහුත් එක්ක කේන්ති ගියා. මං දන්නවා එයාලාගේ මරණයට වග කියන්න ඕනෙ යෙහෝවා නෙවෙයි කියලා. ඒත් යෙහෝවා ඒක නැවැත්තුවෙත් නෑනේ.” සමහරවිට ඔයාටත් එහෙම දැනිලා ඇති. ඉතින් වේදනාවෙන් ඉන්න වෙලාවට යෙහෝවා අපිට මොන වගේ සහනයක්, මොන වගේ බලාපොරොත්තුවක්ද දෙන්නේ?
13. යෙසායා 25:8 යෙහෝවා දෙන පොරොන්දුව මොකක්ද?
13 යෙසායා 25:8 කියවන්න. යෙහෝවා පොරොන්දු වෙනවා “මරණය සදහටම ගිල දමනවා” කියලා. මරණය නැති ඒ කාලේ හිතින් මවාගන්න. ඔයා ආදරේ කරන කෙනෙක් නැති වෙද්දී දැනෙන වේදනාව ආයේ කවදාවත් ඔයාට අද්දකින්න වෙන්නේ නැහැ. (යෙසා. 35:10) ඔයා ආදරේ කරපු කෙනා වළලපු තැන බලලා ඔයාට දුක් වෙන්න වෙන්නේ නැහැ. මොකද ඔයා දන්නවා එයාලා ඔයාගෙන් වෙන් වෙන්නේ නැහැ, හොඳ සෞඛ්‍යයකින් එයාලා හැමදාම ඔයාත් එක්ක ඉන්නවා කියලා. මේ පොරොන්දුව සුරංගනා කතාවක් නෙවෙයි. මේක ඉටු වෙනවාමයි. මොකද ඒ පොරොන්දුව දෙන්නේ ඒක ඉටු කරන්න පුළුවන් කෙනාමයි.—එළි. 21:4, 5.
14. නැවත නැඟිටීම ගැන හිතද්දී ඔයාට දැනෙන්නේ කොහොමද? (යෙසායා 26:19) (පින්තූරයත් බලන්න.)
14 යෙසායා 26:19 කියවන්න. යෙහෝවා මරණය සදහටම ගිල දානවා විතරක් නෙවෙයි මැරුණ අයට ආපහු ජීවිතයත් දෙනවා. එයාලා ගැන කියද්දී ඔහු කියන්නේ “මට අයිති මළ කඳන් නැඟිටියි” කියලයි. ඔහු එයාලව සලකන්නේ ඔහුට අයිති අය විදිහට. ඔහු එයාලව ඔහුගේ මතකයේ තියාගෙන ඉන්නවා. නියම කාලේදී ඔහු එයාලව නැවත නැඟිට්ටවනවා. මැලවුණ ගහකට පිනි වැටෙද්දී ඒ ගහ පණ ගහලා එනවා වගේ ජීවයේ උල්පත වන යෙහෝවා මරණ නින්දේ ඉන්න අපි ආදරේ කරන අයට ආයේ ජීවිතේ දෙනවා. එදාට එයාලව පිළිගනිද්දී අපිට කොච්චර සතුටක් දැනෙයිද!—මාක් 5:42.
මිය ගිය අපි ආදරේ කරන අය අනිවාර්යයෙන්ම නැවත නැඟිටිනවා (14 ඡේදය බලන්න)
15. වියෝදුක දරාගන්න නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපිට උදව් වෙන්නේ කොහොමද?
15 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අපි දැනන් හිටියත් වියෝදුක දැනෙන එක සාමාන්‍යයි. ඒත් යෙහෝවා මිය ගිය අපේ ආදරණීයන්ව අමතක කරන්නේ නැහැ කියලා දැනන් ඉන්න එක අපිට ලොකු සහනයක්. කලින් කතා කරපු මයිකල් මෙහෙම කියනවා. “යෙසායා 26:19 මට උදව් වුණා යෙහෝවාට මගේ අම්මාවයි, තාත්තාවයි ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න. ඔහු එයාලව ඔහුගේ මතකයේ පරෙස්සමින් තියන් ඉන්නවා. එයාලව නැවත නැඟිට්ටවන කාලේ එන කල්ම ඔහු ඒක කරනවා. ඒ නිසා මට ලොකු සහනයක්, ශක්තියක් දැනෙනවා.” මිය ගිය අපි ආදරේ කරන අයව ආයේ දකින දවස ගැන හිතන එක අපේ වේදනාව දරාගන්න අපිටත් උදව් වෙනවා.
16. අමාරු කාලවලදී ඔයාට සහනයක් වුණේ මොන බයිබල් පදයද?
16 අපි මේ ලිපියෙන් බැලුවේ හිතපු නැති විදිහට දේවල් වෙනස් වෙද්දී, අතීතයේ කරපු වරදක් ගැන හිත දිගින් දිගටම දොස් කියද්දී, වියෝදුකට මූණ දෙද්දී යෙසායා පොතේ තියෙන බයිබල් පද කීපයක් අපිට සහනයක් වෙන විදිහ ගැන. යෙහෝවා ඔහුගේ වචනය මාර්ගයෙන් අපිව සනසන එක කොච්චර වටිනවාද! (ගීතා. 94:19) අමාරු දේකට මූණ දෙද්දී ඔයාට සහනයක් වුණ විශේෂ බයිබල් පදයක් තියෙනවාද? පුළුවන් නම් ඒක මතක තියාගන්න. ඒක පොතක ලියාගන්න. නිතරම පේන තැනක ඒක ගහන්න. ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය තාත්තාගේ වචනවලින් ඔයාට දිගටම සහනයක් ලැබෙන්න කියලා අපි පතනවා!
ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
a මේ වචන අරන් තියෙන්නේ “යෙහෝවා මා සමඟයි” කියන අපේ සින්දුවෙන්.
b පින්තූරවල අදහස: බෙතෙල් එකෙන් ගිය යුවළක්ව අලුත් සභාවේ අය ආදරෙන් පිළිගන්නවා.
c පින්තූරවල අදහස: සහෝදරයෙක් එයා අතීතයේදී කරපු වැරදි අමතක කරලා හරිම සතුටින් පුරෝගාමි පාසැලට සහභාගි වෙනවා.