ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 මැයි 26-31 පි.
  • අනිත් අය ගන්න තීරණවලට ගරු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අය ගන්න තීරණවලට ගරු කරන්න
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විනිශ්චය කරන්න පෙලඹෙන්නේ ඇයි?
  • අනිත් අය ගන්න තීරණවලට අපි ගරු කරන්න ඕනෙ ඇයි?
  • අනිත් අයගේ තීරණවලට ගරු කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?
  • යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවිව විශ්වාස කරලා ඥානවන්ත තීරණ ගන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 මැයි 26-31 පි.

2026 අගෝස්තු 3-9

ගීතිකාව 113 අප සතු සමාදානය

අනිත් අය ගන්න තීරණවලට ගරු කරන්න

“ඔයාලාගේ අදහස්වලට වඩා වෙනස් අදහස් තියෙන අයව විනිශ්චය කරන්න එපා.”—රෝම 14:1.

ලිපියේ අරමුණ

තව කෙනෙක් ගන්න තීරණේකට අපි ආස නැති වුණත් ඒ තීරණේට ගරු කරන්න අපිට පුළුවන් කොහොමද?

1-2. සමහර වෙලාවට අපි ගන්න තීරණ අනිත් අය ගන්න ඒවාට වඩා වෙනස් වෙන්න පුළුවන් ඇයි?

ඔයා ගත්ත තීරණයක් දිහා අනිත් අය වපර ඇහෙන් බලනවා කියලා ඔයාට දැනිලා තියෙනවාද? නැත්නම් වෙන කෙනෙක් ගත්ත තීරණයක් වැරදියි කියලා ඔයාට හිතිලා තියෙනවාද? අපෙන් හුඟදෙනෙක්ට ඒ ප්‍රශ්න දෙකටම “ඔව්” කියලා කියන්න පුළුවන් වෙයි.

2 සමහරවිට අපි ගන්න තීරණ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අනිත් සහෝදර සහෝදරියන් ගන්න තීරණවලට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද අපි හැමෝම එක් කෙනාට එක් කෙනා වෙනස්. අපේ සංස්කෘතිය, පවුල් පසුබිම වගේම අපි අද්දැකලා තියෙන දේවල් එකකට එකක් වෙනස් නිසා අපි හිතන විදිහ, දේවල් දිහා බලන විදිහ වෙනස්. හැබැයි අපි කවදාවත් මේ වෙනසට ඉඩ දෙන්න හොඳ නැහැ අපි අතර තියෙන එක්සත්කම බිඳලා දාන්න.—එෆී. 4:3.

3. තව කෙනෙක් ගත්ත තීරණයක් විනිශ්චය කරන්න අපි පෙලඹෙන්න පුළුවන් මොකක් නිසාද?

3 කෙනෙක් ගත්ත තීරණේකට අපි කැමති නැත්නම් අපිට හිතෙයි එයාත් එක්ක කතා කරලා ඒ තීරණේ වෙනස් කරන්න එයාට උදව් කරන්න ඕනෙ කියලා. එහෙම නැත්නම් එයා අරන් තියෙන්නේ වැරදි තීරණයක් කියලා අපි අනිත් අයට කියයි. අපි එහෙම කරන්නේ එයාට උදව් කරන්න හිතාගෙන වෙන්න පුළුවන්. මොකද අපි අපේ සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි. අපිට ඕනෙ එයාලා සතුටින් ඉන්නවා දකින්න. (හිතෝ. 17:17) අපි කැමති නැහැ පස්සේ පසුතැවෙන්න වෙන, යෙහෝවාත් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන විදිහේ තීරණයක් එයාලා ගන්නවා දකින්න.

4-5. කෙනෙක් අපි කරනවාට වඩා වෙනස් විදිහේ දෙයක් කරන්න තීරණේ කළොත් අපි කරන්න ඕනෙ මොකක්ද?

4 සහෝදරයෙක් ගන්න තීරණයක් වැරදියි කියලා අපිට හිතෙනවා නම් අපි ඒ ගැන එයාත් එක්ක කතා කරන්න ඕනෙද? එහෙම කරන්න කලින් අපි බලන්න ඕනෙ පැති කීපයක්ම තියෙනවා. උදාහරණෙකට එයා ගන්න තීරණේ නිසා බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙනවාද? එහෙමනම් එයා ගැන තියෙන ආදරේ අපිව පොලඹවනවා එයා හිතන විදිහ නිවැරදි කරගන්න එයාට උදව් කරන්න. (හිතෝ. 27:5, 6) ඒත් එයා ගන්න තීරණේ නිසා ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැත්නම්, ඒක නිකම්ම අපි ගන්න තීරණේට වඩා වෙනස් එකක් විතරයි නම් කරන්න ඕන දේ ගැන මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදේ මෙහෙම කියනවා. “ඔයාලාගේ අදහස්වලට වඩා වෙනස් අදහස් තියෙන අයව විනිශ්චය කරන්න එපා.”—රෝම 14:1.

5 ඒත් කෙනෙක් ගන්න තීරණේකට ගරු කරන්න අපිට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අයගේ තීරණවලට ගරු කරන්න ඕනෙ ඇයි කියලත් ඒක කරන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු. හැබැයි ඊට කලින් අපි අපේ සහෝදර සහෝදරියන් ගන්න තීරණ විනිශ්චය කරන්න පෙලඹෙන්න පුළුවන් අවස්ථා කීපයක් ගැන බලලා ඉමු.

විනිශ්චය කරන්න පෙලඹෙන්නේ ඇයි?

6-7. කෙනෙක් ගත්ත තීරණයක් වැරදියි කියලා අපි හිතන්න පෙලඹෙන්න පුළුවන් සිද්ධි කීපයක් කියන්න.

6 අපි බලපු විදිහට අපේ පසුබිම නිසා, අපි අද්දැකපු දේවල් නිසා අපි හිතනවා ‘මේ දේ වෙන්න ඕනෙ මේ විදිහටයි’ කියලා. සමහරවිට අපිට හිතෙයි අනිත් අයත් ඒ දිහා බලන්නේ ඒ විදිහටමයි කියලා. ඒත් හැම තිස්සේම ඒක එහෙම නෙවෙයි. ඒක තේරුම්ගන්න මේ සිද්ධීන් කීපය බලන්න. 1වෙනි සිද්ධිය. සහෝදරයෙක් පොඩි කාලේ ඉඳන්ම දැක්කේ එයාගේ තාත්තා හොඳට බොන විදිහ. සත්‍යයට ආවාට පස්සේ, දවසක් සහෝදරයන් එකට එකතු වුණ වෙලාවක එයාලා මත්පැන් බොනවා ඒ සහෝදරයා දකිනවා. ඒක දැක්කාම එයාට අදහාගන්න බැරි වෙනවා. එයා ඒ සහෝදරයන්ට කියනවා එයාලා කරන දේ වැරදියි කියලා. 2වෙනි සිද්ධිය. සහෝදරියකට දරුණු අසනීපයක් හැදිලා පස්සේ එයා සනීප වෙනවා. එයා දැනගන්නවා තවත් සහෝදරියකට ඒ අසනීපයම තියෙනවා කියලා. ඉතින් එයා ඒ සහෝදරියට බල කරනවා එයා කරපු ප්‍රතිකාර ක්‍රමයම කරන්න කියලා. “මේ කෑම විතරක් කන්න, මේ විදිහේ ප්‍රතිකාර ගන්න, බෙහෙත් විදිහට ස්වාභාවික දේවල් පාවිච්චි කරන්න” කියලා එයා ඒ සහෝදරියට කියනවා. 3වෙනි සිද්ධිය. සත්‍යයට එන්න කලින් සහෝදරයෙක් පල්ලියේ වැඩ බැහැලා කරපු කෙනෙක්. හැබැයි පස්සේ එයා ඒ දේවල් ගොඩක් පිළිකුල් කරනවා. දවසක් එයා දැනගන්නවා සභාවේ කෙනෙක් මළ ගේකට පල්ලියට ගිහින් කියලා. ඒක දැනගත්තාම එයාට හොඳටම අප්සෙට් යනවා.a

7 4වෙනි සිද්ධිය. සහෝදරයෙක් හැදී වැඩෙන්නේ පිරිමි අය රැවුල වවන එක, කාන්තාවන් ඔෆිස් අඳින විදිහේ කලිසම් වුණත් අඳින එක හොඳ මදි කියලා හිතපු කාලෙක. දාසයා ඒ ගැන අලුත් මඟ පෙන්වීමක් දුන්නා කියලා දැනන් හිටියත් එයා අනිත් අයට කියනවා සහෝදරයෙක් රැවුල වවන්න හොඳ නැහැ, සහෝදරියක් නමස්කාරයේ දේවලට අඳින්න ඕනෙ සායවල්, ගවුම් වගේ ඒවා කියලා. 5වෙනි සිද්ධිය. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ සත්‍යයෙන් ඈතට ගිය සහෝදරයෙක්ව වැඩිමහල්ලෙක් දන්නවා. දැන් එයාගේ සභාවේ ඉන්න තවත් යෞවනයෙක් අමතර අධ්‍යාපනයක් ලබන්න තීරණේ කරලා තියෙනවා. ඒ යෞවනයා ගැන වධ වෙන වැඩිමහල්ලා යෞවනයායි, එයාගේ දෙමාපියොයි ගත්ත තීරණේ වෙනස් කරන්න හදනවා.

8. (අ) දෙමාපියන් දෙන්නෙක් අනිත් දෙමාපියන් ගැන වැරදියට හිතන්න පෙලඹෙන්න පුළුවන් මොකක් නිසාද? (ආ) සභාවේ අය කරන දේවල් දිහා වැරදි විදිහට බලන්න ගියොත් මොකක් වෙන්න පුළුවන්ද?

8 දැන් අපි දෙමාපියන්ට බලපාන්න පුළුවන් සිද්ධියක් බලමු. 6වෙනි සිද්ධිය. දෙමාපියන් විදිහට ඔයාලා ඔයාලාගේ දරුවන්ව ‘යෙහෝවා දෙන හික්මවීම් සහ අවවාදවලට එකඟව දිගටම ඇතිදැඩි කරන්න’ මහන්සි වෙනවා. (එෆී. 6:4) ඒත් සමහර වෙලාවට ඔයාට හිතෙයි ඔයා ඔයාගේ දරුවන්ට දෙනවාට වඩා නිදහසක් අනිත් දෙමාපියන් එයාලාගේ දරුවන්ට දෙනවා කියලා. උදාහරණෙකට එයාලා දරුවන්ට යාළුවොත් එක්ක ගෙදරින් පිට ටිකක් හවස් වෙන කල් ඉන්න දෙනවා. ප්‍රචණ්ඩකාරී දේවල් නැති වීඩියෝ ගේම්ස් ගහන්න දෙනවා. පොඩි වයසේදීම ෆෝන් එකක් දෙනවා. ඒ නිසා ඔයාගේ දරුවාට හිතෙයි ඔයාලා දාලා තියෙන නීති ටිකක් තද වැඩියි කියලා. එයා අහයි “ඇයි ඔයාලට මගේ යාළුවාගේ අම්මලා වගේ වෙන්න බැරි” කියලා. අන්න ඒ වගේ වෙලාවට ඔයා අනිත් දෙමාපියන් ගැන වැරදි විදිහට හිතන්න පෙලඹෙන්න පුළුවන්. ඇත්තටම අනිත් අය අපි ගන්නවාට වඩා වෙනස් විදිහේ තීරණ ගද්දී අපිට අප්සෙට් යයි. අපි එයාලව විනිශ්චය කරන්නත් පෙලඹෙයි. උදාහරණෙකට එයාලා සල්ලි වියදම් කරන විදිහ ගැන, නිවාඩු ගත කරන්න යන වාර ගාණ ගැන, විනෝද වෙන්න කරන දේවල් ගැන අපි ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ඒත් අපි හිතන විදිහ හරි කියලා හිතලා අපි අනිත් අයගේ තීරණ විනිශ්චය කරන්න හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ සභාවේ සාමයට ලොකු හානියක්.

9. අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

9 සභාවේ කෙනෙක් අපි ගන්නවාට වඩා වෙනස් තීරණයක් ගන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ දෙන්නාගෙන් එක් කෙනෙක් වැරදියි, එක් කෙනෙක් හරියි කියලා. (රෝම 14:5) බයිබලේ “එක මනසකින් ඉන්න” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ අපි හැමෝම යෙහෝවා බලාපොරොත්තු වෙන දේ කරන්න ඕනෙ කියලයි. නැතුව පෞද්ගලික දේවල් සම්බන්ධයෙන් අපි හැමෝම එකම විදිහට හිතන්න ඕනෙ කියන එක නෙවෙයි. (2 කොරි. 13:11) ඒක තේරුම්ගන්න හිතන්න, ඔයාට කොහෙට හරි යන්න ඕනෙ කියලා. ඒ තැනට යන්න ක්‍රම කීපයක්ම තියෙන්න පුළුවන්. ඒ මොකක් තෝරගත්තත් ඔයා යන්නේ එකම ගමනාන්තයට. ඔයාගේ වත්කම අනුව, ආසාව අනුව ඔයා ඒ ක්‍රමවලින් එකක් තෝරගනියි. අන්න ඒ වගේ, පෞද්ගලික කාරණයක් සම්බන්ධයෙන් අපි ගන්න තීරණ එකකට එකක් වෙනස් වුණත් අපි හැමෝගෙම ගමනාන්තය එකයි. ඒ, යෙහෝවාව සතුටු කරන එක. ඒ නිසා පෞද්ගලික කාරණා ගැන අනිත් අය ගන්න තීරණ විනිශ්චය කරන්න අපිට බැහැ.—මතෙ. 7:1; 1 තෙස. 4:11.

ෆෝන් එකේ GPS ඇප් එකක එකම ගමනාන්තයට යන්න පුළුවන් වෙනස් පාරවල් සහ වෙනස් ක්‍රම පෙන්නනවා.

යම් තැනකට යන්න එක එක ක්‍රම තියෙන්න පුළුවන්. ඒවායෙන් අපි කැමති එක අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේ තමයි පෞද්ගලික කාරණයක් ගැන අපි කැමති තීරණයක් ගන්න අපිට පුළුවන් (9 ඡේදය බලන්න)


අනිත් අය ගන්න තීරණවලට අපි ගරු කරන්න ඕනෙ ඇයි?

10. යාකොබ් 4:12 කියන විදිහට අපිට අයිතියක් නැත්තේ මොකක් කරන්නද? ඒ ඇයි?

10 අනිත් අයගේ පෞද්ගලික තීරණවලට අපි ගරු කරන්න ඕනෙ ඇයි? ඒකට බයිබලේ තියෙන හේතු කීපයක් බලමු. පෞද්ගලික දේවල් ගැන අනිත් අය ගන්න තීරණ විනිශ්චය කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. (යාකොබ් 4:12 කියවන්න.) ධර්මිෂ්ඨ නීති දාන්නත් විනිශ්චය කරන්නත් අයිතිය තියෙන්නේ යෙහෝවාට විතරයි. අපි කරන්න ඕනෙ මොනවාද, කරන්න හොඳ නැත්තේ මොනවාද කියලා කියන්න පුළුවන් ඔහුට විතරයි. අපේ සහෝදරයන් කරන කියන දේවල් ගැන එයාලා ගණන් දෙන්න ඕනෙ යෙහෝවාට මිසක් අපිට නෙවෙයි. (රෝම 14:10) ඒ නිසා අපි දේවල් දිහා බලන විදිහ අනුව, අපේ මතය අනුව අනිත් අය ගන්න පෞද්ගලික තීරණ පහත් කරන්නවත් ඒවා විනිශ්චය කරන්නවත් අපිට අයිතියක් නැහැ.b

11. සභාවේ සාමය දිගටම රැකගන්න අපිට කරන්න පුළුවන් මොනවාද? (පින්තූරයත් බලන්න.)

11 යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ අපි එක්සත්ව ඉන්න එක මිසක් හැමෝම එකම විදිහට වැඩ කරන එක නෙවෙයි. අපේ දෙවියන් විවිධත්වයට ගොඩක් ආසයි. ඒක ඔහුගේ නිර්මාණවලිනුත් පේනවා. හිම මල් ගැන හිතන්න. එකම විදිහේ හිම මල් දෙකක් ලෝකේ කොහෙවත් නැහැ. මිනිස්සුත් එහෙමයි. මේ පොළොවේ බිලියන අටකට වඩා මිනිස්සු ඉන්නවා. ඒත් එකම පෙනුම තියෙන, එකම පෞද්ගලිකත්වය තියෙන දෙන්නෙක් කොහෙවත් නැහැ. යෙහෝවා අපිව හැදුවේ ඒ විදිහට. අපි හැමෝම තව කෙනෙක්ගේ කාබන් කොපියක් වගේ වෙන්න ඕනෙ කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු අපෙන් ඉල්ලන්නේ එක්සත්ව ඉන්න කියලා. ඒ නිසා අපි අතර තියෙන වෙනස්කම් ලස්සන දෙයක් විදිහට දකිමු. ඒවාට අපි අතර බෙදීම් ඇති කරන්න ඉඩ නොදී ඉමු. අපේ මතවලට, අපේ අදහස්වලට වැඩි තැනක් දෙනවා වෙනුවට සභාවේ සාමය, එක්සත්කම රැකගන්න මහන්සි වෙමු.—රෝම 14:19.

විවිධ ජාතීන්ට, විවිධ වයස්වලට අයිති අය සතුටින් එකට කෑමක් ගන්නවා. සමහරු මත්පැන් බොනවා. තවත් අය බොන්නේ නැහැ. සමහර සහෝදරයන් රැවුල වවලා ඉන්නවා. තවත් අය නැහැ.

යෙහෝවා අපිව නිර්මාණය කළේ එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් විදිහට. හැබැයි ඔහු කැමතියි අපි එක්සත්ව ඉන්නවාට (11 ඡේදය බලන්න)


අනිත් අයගේ තීරණවලට ගරු කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

12-13. කෙනෙක් “වැරදි පියවරක්” අරන් කියලා අපිට හිතෙනවා නම් අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (ගලාති 6:1; “ඒ තීරණේ වැරදියි කියලා හිතෙනවා නම් . . . ” කියන කොටුවත් බලන්න.)

12 අනිත් අය තීරණ ගද්දී. මෙහෙම හිතන්න. ‘එයා අරන් තියෙන්නේ “වැරදි පියවරක්ද?” නැත්නම් මං ගන්නවාට වඩා වෙනස් පියවරක්ද?’ එයා අරන් තියෙන්නේ බයිබලේ තියෙන නීතියක් කැඩෙන විදිහේ වැරදි පියවරක් නම් මේ ගැනත් හිතන්න. ‘එයාව නිවැරදි කරන්න මට සුදුසුකම් තියෙනවාද? වැඩිමහල්ලෙක් වගේ සුදුසුකම් තියෙන කෙනෙක් එයාව නිවැරදි කළොත් හොඳද?’ ඔයාට එයාව නිවැරදි කරන්න සුදුසුකම් තියෙනවා නම් ඒක ආදරෙන්, ඉවසීමෙන් කරන්න. (ගලාති 6:1 කියවන්න.) ඒත් හුඟක් වෙලාවට වෙන්නේ ඒ කෙනා වැරදි දෙයක් කරනවා නෙවෙයි, එයා කරන්නේ ඔයා කරනවාට වඩා වෙනස් දෙයක්. ඒ වගේ වෙලාවට එයා ගත්ත තීරණේ සැක කරන්නවත් ඒකේ වැරදි කතා කරන්නවත් එපා. ඒ වෙනුවට තීරණ ගන්න එයාට තියෙන අයිතියට ගරු කරන්න.—රෝම 14:2-4.

13 හිතන්න, ඔයා යාළුවෙක් එක්ක රෙස්ටුරන්ට් එකකට යනවා කියලා. ඔයා එයාට බල කරනවාද ඔයා ඕඩර් කරන කෑමම ඕඩර් කරන්න කියලා? නැහැ. එයා ආස දේ ඕඩර් කරන්න ඔයා එයාට ඉඩ දෙනවා. සමහරවිට එයා ගන්න කෑමවලට ඔයා ආස නැති වෙයි. ඒත් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක කන්නේ එයා. අනිත් අතට යාළුවා ඕඩර් කරපු දේම ඕඩර් කරන්න කියලා එයා ඔයාට බල කරනවා නම් ඔයා ඒකට කැමතිද? ඒ වගේ තමයි අනිත් අය පෞද්ගලික තීරණ ගද්දීත් අපි කැමති දේ, අපි හරියි කියලා හිතන දේ කරන්න කියලා එයාලට බල කරන්න හොඳ නැහැ. ඒකෙන් අපි පෙන්නනවා එයාලාගේ තීරණවලට අපි ගරු කරනවා කියලා.

ඒ තීරණේ වැරදියි කියලා හිතෙනවා නම් . . .

සහෝදරයෙක් ගත්ත තීරණයක් වැරදියි කියලා ඔයාට හිතෙනවා නම් මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ඒවා ඔයාට උදව් වෙයි ඔයා කරදර වෙන්න ඕනෙ නැති දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න.—ගලා. 6:5.

  • එයා ගත්ත තීරණේ නිසා බයිබලේ තියෙන නීතියක් කැඩෙනවාද?

  • එයා ගත්ත තීරණේට එයාගේ පසුබිම බලපාලා තියෙන්නේ කොහොමද?

  • එයා ගත්ත තීරණේ නිසා ඇත්තටම එයාට අනතුරක් වෙයිද? නැත්නම් කවදාවත් වෙන්නේ නැති දෙයක් ගැන මං මේ බොරුවට හිතින් මවාගෙනද?

  • එයා අරන් තියෙන තීරණේ නිසා මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?

  • එයා අරන් තියෙන්නේ “වැරදි පියවරක්ද?” නැත්නම් ඒක මං ගන්න පියවරට වඩා වෙනස් එකක් විතරද?

  • එයා අරන් තියෙන්නේ වැරදි පියවරක් නම් එයාව නිවැරදි කරන්න මට සුදුසුකම් තියෙනවාද?

14. එක්සත්කම රැකෙන විදිහට තීරණ ගන්න ඔයාට පුළුවන් කොහොමද? (1 කොරින්ති 8:12, 13)

14 ඔයා තීරණ ගද්දී. අනිත් අය අපහසුතාවට පත් වෙන්නේ නැති විදිහේ තීරණ ගද්දී අපිට පුළුවන් අපි අතරේ තියෙන එක්සත්කම රැකගන්න. (1 කොරින්ති 8:12, 13 කියවන්න.) සමහරවිට ඔයා කරන්න යන දේ වරදක් නැහැ, ඒක කරන්න ඔයාට “අවසර තියෙනවා” කියලා ඔයා දන්නවා. ඒත් ඒකෙන් සහෝදරයෙක් අපහසුතාවට පත් වෙනවා කියලා ඔයා දන්නවා නම් ඒක කරන එකෙන් ‘ප්‍රයෝජනයක් තියෙයිද?’c (1 කොරි. 10:23, 24) ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී අපේ අයිතිය ගැන හිතනවා වෙනුවට අනිත් අයගේ හැඟීම්වලට අපි මුල් තැන දෙන්න ඕනේ. (රෝම 15:1) හැබැයි අපි දැන් ටිකකට කලින් නේද කිව්වේ අනිත් අය අපි ගන්න පෞද්ගලික තීරණවලට ගරු කරන්න ඕනෙ කියලා? ඔව්, අපි අනිත් අයගේ තීරණවලට ගරු කරනවා වගේ එයාලත් අපේ තීරණවලට ගරු කරන්න ඕනේ. හැබැයි රෝම 12:18 කියන මේ දේත් අපි මතක තියාගන්න ඕනේ. “හැම කෙනෙක් එක්කම සමාදානයෙන් ඉන්න ඔයාලාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරන්න.” ඉතින් අපි අතර තියෙන සාමය රැකගන්න අපිට කරන්න පුළුවන් හැම දේම කරමු. අපි කරන දෙයක් නිසා කෙනෙක් අපහසුතාවට පත් වෙනවා කියලා අපි දන්නවා නම් ඒක නොකර ඉමු.

15. සභාවේ එක්සත්කම රැකගන්න වැඩිමහල්ලන්ට කරන්න පුළුවන් මොනවාද? (1 කොරින්ති 4:6)

15 අනිත් අයගේ තීරණවලට වැඩිමහල්ලන් ගරු කරනවා. සහෝදරයන්ට තීරණ ගන්න අයිතියක් තියෙන කාරණා සම්බන්ධයෙන් නීති දාන්නේ නැතුව ඉන්නවා නම්, ‘බයිබලේ ලියලා තියෙන දේවලට එහායින් දෙයක්’ නොකර ඉන්නවා නම් වැඩිමහල්ලන්ට පුළුවන් සභාවේ එක්සත්කම රැකගන්න උදව් කරන්න. (1 කොරින්ති 4:6 කියවන්න.) අපේ ප්‍රකාශනවල තියෙන්නෙත් බයිබලේ තියෙන අදහස් නිසා ඒවාවල තියෙන දේවලට එකඟ නැති දෙයක් එයාලා කියන්නේ නැහැ. ඊට අමතරව මොකක් හරි තීරණයක් ගන්න සහෝදරයෙක් එයාලාගෙන් උදව්වක් ඉල්ලුවොත් වැඩිමහල්ලෝ කවදාවත් එයාලා හිතන විදිහට, එයාලාගේ අද්දැකීම්වලට අනුව උපදෙස් දෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා උපදෙස් දෙන්නේ බයිබලේ පාවිච්චි කරලා.—යෙසා. 48:17, 18.

16. වැඩිමහල් මණ්ඩලයක් ගන්න තීරණවලට ගරු කරනවා කියලා පෙන්නන්න වැඩිමහල්ලෙක්ට පුළුවන් කොහොමද?

16 වැඩිමහල්ලෙක්ට පුළුවන් වැඩිමහල් මණ්ඩලයකින් ගන්න තීරණවලටත් ගරු කරනවා කියලා පෙන්නන්න. මණ්ඩලයක් විදිහට වැඩිමහල්ලන් තීරණයක් ගන්නේ යෙහෝවාට යාච්ඤා කරලා බයිබලේ තියෙන දේවල් හොඳට හොයලා බැලුවාට පස්සේ. එහෙම ගන්න තීරණේකට එක වැඩිමහල්ලෙක් එකඟ නොවුණත් එයා ඒකට සහයෝගය දීලා ඒ තීරණේට ගරු කරනවා කියලා පෙන්නනවා. (එෆී. 5:17) වැඩිමහල්ලන් බයිබලේ සහ අපේ ප්‍රකාශනවල තියෙන මඟ පෙන්වීම් කිට්ටුවෙන් පිළිපදින්න ඕනේ. එයාලා කවදාවත් බයිබලේ, අපේ ප්‍රකාශනවල තියෙන අදහස් එයාලාගේ අදහස්වලට ගළපලා එයාලට ඕනෙ දේ කරන්න හදන්නේ නැහැ. උදාහරණෙකට වැඩිමහල්ලෙක් ලිපියක සම්පූර්ණ අදහස ගන්නේ නැතුව ඒකේ තියෙන තනි වාක්‍යයක් අරන් එයාගේ අදහස හරියි කියලා ඔප්පු කරන්න හදන්නේ නැහැ.

17. අනිත් අය ගන්න තීරණවලට ගරු කරද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 අපි බලපු විදිහට යෙහෝවාගේ සෙනඟ එක් කෙනාට එක් කෙනා වෙනස්. එයාලා කැමති අකමැති දේවල්, එයාලා හිතන විදිහ වෙනස්. ඒ වගේ විවිධත්වයක් තියෙන එක ඇත්තටම හොඳයි. විවිධ පසුබිම්වලින් ආපු, විවිධ පෞද්ගලිකත්වයන් තියෙන අයගෙන් හැදිලා තියෙන සභාව හරිම ලස්සන තැනක්. ඒකේ ඉන්න ආස හිතෙනවා. ඒ නිසා විවිධත්වයට අපි අතරේ බෙදීම් ඇති කරන්න නෙවෙයි, බැඳීම් වැඩි කරන්න අපි ඉඩ දෙමු. ඒ වගේම අපි අනිත් අයට අපහසුතාවක් දැනෙන විදිහේ දේවල් නොකර ඉන්නත් පරෙස්සම් වෙන්න ඕනේ. අනිත් අය පෞද්ගලික දේවල් ගැන තීරණ ගද්දී අපි ඒවාට ගරු කරන්නත් ඕනේ. අපි එහෙම කරනවා නම් යෙහෝවා අපේ වෑයමට ආශීර්වාද කරයි. එතකොට අපේ සභාවත් සතුට පිරුණු, එක්සත් එකක් කරගන්න අපිට පුළුවන්.—ගීතා. 133:1; මතෙ. 5:9.

අනිත් අයගේ අදහස්වලට, එයාලාගේ තීරණවලට ගරු කරන්න මේ බයිබල් පද ඔයාට උදව් වෙන්නේ කොහොමද?

  • යාකොබ් 4:12

  • ගලාති 6:1

  • 1 කොරින්ති 4:6; 8:12, 13

ගීතිකාව 89 දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද

a වෙනත් ආගමික ස්ථානයක තියෙන මළ ගෙයකට, විවාහ උත්සවයකට යනවාද නැද්ද කියලා තීරණේ කරන්න කලින් කෙනෙක් හිතලා බලන්න ඕනෙ පැති කීපයක්ම තියෙනවා. 2002 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.

b බයිබලේ පැහැදිලිවම වැරදියි කියලා තියෙන දෙයක් කෙනෙක් කළොත් වැඩිමහල්ලන්ට සමහරවිට සිද්ධ වෙනවා එයාව විනිශ්චය කරන්න. හැබැයි වැඩිමහල්ලෝ මතක තියාගන්න ඕනෙ එයාලා විනිශ්චය කරන්නේ බයිබලේ යෙහෝවා කියලා තියෙන දේවලට අනුව මිසක් එයාලාගේ පෞද්ගලික අදහස්වලට අනුව නෙවෙයි කියලා.—2 ලේක. 19:6.

c උදාහරණෙකට ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 35වෙනි පාඩමේ 5වෙනි කරුණ බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න