2026 ජූලි 27–අගෝස්තු 2
ගීතිකාව 56 දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
අමතර අධ්‍යාපනය ලබද්දීත් යෙහෝවාට ළං වෙලා ඉන්න
“මේ වෙන කල් අපි ලබලා තියෙන දියුණුව මොකක් වුණත් දිගටම ඒ විදිහටම අපි ඉස්සරහට යමු.”—ෆිලි. 3:16.
ලිපියේ අරමුණ
අමතර අධ්‍යාපනයක් ලබන්න ඔයා තීරණේ කළොත් දිගටම යෙහෝවාට ළං වෙලා ඉන්න ඔයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති හතරක් බලමු.
1-2. (අ) අමතර අධ්‍යාපනයක් ලබන්න තීරණේ කළාට පස්සෙත් ඔයා දිගටම කරන්න ඕනෙ මොකක්ද? (ආ) ‘දිගටම ඒ විදිහටම ඉස්සරහට යන්න’ කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (ෆිලිප්පි 3:16)
රජයෙන් බලාපොරොත්තු වෙන මූලික අධ්‍යාපනය ලබාගත්තාට පස්සේ සමහර සාක්ෂිකරුවන් තීරණේ කරනවා අමතර අධ්‍යාපනයක් ලබාගන්න. එයාලා හිතනවා උපරිමයෙන් යෙහෝවාට සේවේ කරන ගමන් එයාලාගේ වියදම් පියවගන්න පුළුවන් විදිහේ රස්සාවක් හොයාගන්න ඒක උදව් වෙයි කියලා. අමතර අධ්‍යාපනයක් ලබාගන්න ඔයාත් තීරණේ කරලා නම් ඉන්නේ ඒ කාලේ පුරාමත් යෙහෝවාට ළං වෙලා ඉන්න ඔයාට පුළුවන් කොහොමද? (යාකො. 4:8අ) ඉස්කෝලේ ගිය කාලේදී යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න එක අමාරු වුණ අවස්ථාවලට ඔයා ඕන තරම් මූණ දීලා ඇති. හැබැයි ඔයා ඒවා ජය ගත්තා. ඉස්සරහටත් ඔයා කරන්න ඕනෙ ඒ දේමයි. ඒකයි බයිබලේ කියන්නේ ‘දිගටම ඒ විදිහටම ඉස්සරහට යන්න’ කියලා.—ෆිලිප්පි 3:16 කියවන්න.
2 ‘දිගටම ඒ විදිහටම ඉස්සරහට යන්න’ කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුමෙන් හමුදාවක ඉන්න සෙබළු එක පෙළට ඉස්සරහට යන විදිහ විස්තර කරනවා. යෙහෝවාට සේවේ කරද්දී ඔයාත් පහුබහින්නෙවත් සේවේ නතර කරන්නෙවත් නැතුව දිගටම ඉස්සරහට යන්න ඕනේ. ඒක කරන්න ඔයාට උදව් වෙන ප්‍රතිපත්ති හතරක් අපි මේ ලිපියෙන් බලමු. ඇත්තටම ඒ ප්‍රතිපත්ති ඔයාට අලුත් ඒවා නෙවෙයි. ඔයා මේ වෙද්දීත් ඒවා අදාළ කරගෙන තියෙනවා. අමතර අධ්‍යාපනය ලබන කාලේදීත් ඊටපස්සෙත් ඔයා දිගටම ඒ ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕනේ.
යෙහෝවාට ළං වෙලා ඉන්න උදව් වෙන දේවල් දිගටම කරන්න
3. අමතර අධ්‍යාපනය ඔයා මේ වෙන කල් කරගෙන ආපු දේවලට කොහොම බලපාන්න පුළුවන්ද?
3 වෙන්න පුළුවන් දේ. අමතර අධ්‍යාපනයක් ලබද්දී ඔයාට හැම දවසකම කරන්න ගොඩක් වැඩ තියෙයි. අධ්‍යාපන වැඩ හොඳට කරගෙන යන්න ඕනෙ නිසා සමහරවිට යෙහෝවාට කරන සේවේ දෙවෙනි තැනට දාන්න ඔයා පෙලඹෙයි. රැස්වීම්, දේශනා සේවේ, හැමදාම බයිබලේ කියවන එක, යාච්ඤා කරන එක වගේ දේවල් ඔයා අතින් අතපසු වෙයි.—එළි. 2:4.
4. ‘ඔයාගේ ජීවිතේ ස්වාමීන් වෙනුවෙන් කරන සේවෙන් පුරවලා තියාගන්න’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (1 කොරින්ති 15:58)
4 1 කොරින්ති 15:58 කියවන්න. බයිසිකලයක් ඉස්සරහට යන්න ඔයා ඒක පදින්න ඕනේ. යෙහෝවා එක්ක තියෙන ඔයාගේ යාළුකම ඉස්සරහට ගෙනියන්නත් ‘ඔහු වෙනුවෙන් කරන සේවෙන් ඔයාගේ ජීවිතේ පුරවලා තියාගන්න’ ඔයා දිගටම මහන්සි වෙන්න ඕනේ. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නමස්කාරයේ දේවල් වෙනුවෙන් ඔයා යම් කාලයක් වෙන් කළොත් ඇති කියලා හිතන එක නෙවෙයි. ඒ වෙනුවට ඔයා ඒ දේවල් කරන්නේ ඒවා ඔයාගේ ජීවිතේ වැදගත්ම දේවල් නිසයි. මතක තියාගන්න, යෙහෝවාට කරන සේවේ තමයි ඔයාගේ ජීවිතේ අංක එක. ඊටපස්සේ තමයි අධ්‍යාපන වැඩවලට ඔයා කාලේ දෙන්න ඕනේ. (මතෙ. 22:37) යෞවන වයසේ ඉන්න සැමැන්තා මෙහෙම කියනවා. “පාඩම් වැඩ නිසා යෙහෝවාට මුල් තැන දෙන එක අමාරු වෙන තැනට ආවොත් මං අධ්‍යාපන වැඩ නවත්තනවා කියලා කලින්ම හිතාගත්තා.”
5. මහන්සි වෙලා යෙහෝවාට සේවේ කරන්න ඔයාට පුළුවන් කොහොමද?
5 අමතර අධ්‍යාපනය පටන්ගන්න කලින් කරන්න පුළුවන් දේ. මුල් තැන දිගටම යෙහෝවාට දෙන්න අධිෂ්ඨාන කරගන්න. ඒකට මේ ප්‍රශ්නේ ඔයාගෙන්ම අහගන්න එක ඔයාට උදව් වෙයි. ‘හැම රැස්වීමකටම යන්න, සේවේ අතපසු නොකර ඉන්න, හැමදාම බයිබලේ කියවලා අධ්‍යයනය කරන්න මට හොඳ සැලැස්මක් තියෙනවාද?’ (යොෂු. 1:8; මතෙ. 28:19, 20; හෙබ්‍රෙ. 10:25) ‘ඉස්කෝලේ යන කාලේදී මං ඒ දේවලට කාලේ වෙන් කළේ කොහොමද’ කියලත් හිතන්න. ඒ සමහර දේවල් ඒ කාලේ ඔයාට අතපසු වුණා නම් ඒවා හදාගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. අමතර අධ්‍යාපනය ලබන කාලේදීත් මහන්සි වෙලා යෙහෝවාට සේවේ කරන්න අධිෂ්ඨාන කරගන්න. ඇත්ත, අධ්‍යාපන වැඩ වෙනුවෙන් ඔයා කාලේ දෙන්න ඕනේ. ඒත් ඔයා ඒක කරන්න ඕනෙ යෙහෝවාට දෙන කාලේ හොරකම් කරලා නෙවෙයි.a—මතෙ. 6:24.
6. ඔයා දිගටම යෙහෝවාට මුල් තැන දෙනවාද කියලා දැනගන්න ඔයාගෙන්ම අහගන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? (පින්තූරයත් බලන්න.)
6 අමතර අධ්‍යාපනය පටන්ගත්තාට පස්සේ ඔයා තවමත් මුල් තැන දීලා තියෙන්නේ යෙහෝවාටද කියලා හිතලා බලන්න මාසෙකට සැරයක්වත් කාලේ ගන්න. ඒකට මේ ප්‍රශ්න ගැන ඔයාගෙන්ම අහගන්න. ‘මට නිතරම වගේ රැස්වීම් අතපසු වෙනවාද? නැත්නම් මං ඒවාට යන්නේ පරක්කු වෙලාද? රැස්වීමේදී මං හිතන්නේ දීලා තියෙන ගෙදර වැඩ ගැනද? මං රැස්වීම්වලට සම්බන්ධ වෙන්නේ සූම් එකෙන් විතරද? යාච්ඤා කරන්න, බයිබලේ කියවන්න දැන් මං කාලේ දෙන්නේ අඩුවෙන්ද? මං සේවේ යන්නේ යන්න ඕන නිසාමද? එහෙම ගියාමත් මං බලන්නේ ඉක්මනින්ම ඉවර කරලා ආපහු එන්නද?’ ඒ ප්‍රශ්නවලින් එකකට හරි උත්තරේ “ඔව්” නම් කරන්න ඕන වෙනස්කම් ඉක්මනින්ම කරගන්න. යෙහෝවාට මුල් තැන දෙන එකට හරස් වෙන්න ඔයාගේ අධ්‍යාපනයට ඉඩ දෙන්න එපා.
ඔයාගේ ජීවිතේ මුල් තැන යෙහෝවාට දෙන එකට හරස් වෙන්න ඔයාගේ අධ්‍යාපනයට ඉඩ දෙන්න එපා (6 ඡේදය බලන්න)
“සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න”
7. ඔයා හිතන විදිහ වෙනස් කරන්න අමතර අධ්‍යාපනයට පුළුවන් කියන්නේ ඇයි?
7 වෙන්න පුළුවන් දේ. ඔයා තෝරගන්න පාඨමාලාව අනුව ‘දෙවි කෙනෙක් නැහැ, හැම දෙයක්ම ඇති වුණේ පරිණාමයෙන්’ වගේ මේ ලෝකේ ‘දර්ශනවාදී අදහස්, කිසි තේරුමක් නැති තර්ක විතර්ක’ ඔයාගේ ඔළුවට ඇතුල් වෙන්න පුළුවන්. (කොලො. 2:8) ඒ වගේම ඔයා ගැන ඕනෑවට වඩා විශ්වාසේ තියලා වැඩ කරන්න කියලා ගුරුවරු නිතරම ඔයාව පොලඹවයි. සහෝදරයෙක් මෙහෙම කියනවා. “අලුත් වෘත්තියක් විතරක් නෙවෙයි, අපි හිතන්න ඕන විදිහත් අපිට ඉගැන්නුවා. අපිට කිව්වේ සාර්ථක වෙන්න නම් අපි අපේ හැකියාවන් ගැන විශ්වාසේ තියලා වැඩ කරන්න ඕනෙ කියලයි. ඊටපස්සේ මට හිතෙන්න පටන්ගත්තා යෙහෝවාගේ උදව් මට ඕනෙ නෑ කියලා. ජීවිතේ හැම කාරණේකදීම යෙහෝවා ගැන විශ්වාසේ තියලා වැඩ කරන්න ඒ නිසා මට අමාරු වුණා.”
8. “ඔයාගේ සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න” ඕනෙ ඇයි? (හිතෝපදේශ 5:1, 2)
8 හිතෝපදේශ 5:1, 2 කියවන්න. “සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න” කියලා බයිබලේ ඔයාට කියනවා. අපි දෙයක් ආරක්ෂා කරගන්නේ කවුරු හරි ඒකට අනතුරක් කරන්න හදද්දියි. ඔයාගේ සිතීමේ හැකියාවට අනතුරක් කරන්න සාතන් බලන් ඉන්නවා. (1 පේතෘ. 5:8) ඔයා ඒක ආරක්ෂා කරගත්තේ නැත්නම් හරි වැරැද්ද ගැන, ජීවයේ ආරම්භය ගැන, දෙවි කෙනෙක් ඉන්නවාද කියන දේ ගැන මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන අදහස් ඔයාගේ හිතටත් ඇතුල් වෙයි. එහෙම වුණොත් බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන ඔයාගේ හිතේ සැකයන් ඇති වෙයි. ලෝකේ මිනිස්සු පෙන්නන්නේ එයාලාගේ අදහස් හරිම උසස් ඒවා විදිහටයි. හැබැයි “මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් සලකන්නේ මෝඩකමක් විදිහටයි.”—1 කොරි. 3:18-20.
9. සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න ඔයාට මොනවාද කරන්න පුළුවන්?
9 අමතර අධ්‍යාපනය පටන්ගන්න කලින් කරන්න පුළුවන් දේ. බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන ඔයාගේ විශ්වාසේ කලින් ඉඳන්ම ශක්තිමත් කරගන්න. ඒකට මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න එක උදව් වෙයි. ‘දෙවියන් ඉන්නවා කියලා මං විශ්වාස කරන්නේ ඇයි? බයිබලේ ඔහුගේ වචනය කියලා මං දන්නේ කොහොමද? හරි වැරැද්ද ගැන බයිබලේ කියන දේ මේ ලෝකේ මිනිස්සු කියන දේට වඩා උසස් කියලා මං විශ්වාස කරන්නේ ඇයි?’ ඉස්කෝලේ ගිය කාලේ ගැනත් ටිකක් හිතලා මේ ප්‍රශ්නත් ඔයාගෙන් අහගන්න. ‘පරිණාමවාදය ගැන අනිත් අය කියපු දේවල් නිසා ඇත්තටම දෙවියන් ඉන්නවාද කියලා සැක හිතුණ අවස්ථා තිබුණාද? ළමයි කරපු සමහර වැරදි දේවල් නොකර ඉන්න මට අමාරු වුණ වෙලාවල් තිබුණාද?’ ඒ කාලේ ගැන හිතද්දී හදාගන්න ඕන පැති තියෙනවා කියලා ඔයාට තේරුණොත් බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන ඔයාගේ විශ්වාසේ තව වැඩි කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? සත්‍යය කියලා ඔයා විශ්වාස කරන දේවල් ගැන සැකයන් ඇති කරගන්නේ නැතුව ඉන්න අධිෂ්ඨාන කරගන්න.—2 තිමෝ. 2:16-18.b
10. සිතීමේ හැකියාව දිගටම ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන් කොහොමද?
10 අමතර අධ්‍යාපනය පටන්ගත්තාට පස්සෙත් නිතරම මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න. ‘මාත් එක්ක ඉගෙනගන්න අය කරන්නේ යෙහෝවා වැරදියි කියන දේවල් වුණත් ඒවා ඔය කියන තරම් වැරදි නෑ කියලා මට හිතෙනවාද? උගන්නන දේවල් අතරේ තියෙන සමහර ඉගැන්වීම් සත්‍යය නෙවෙයි, ඒවා නිකම්ම මිනිස්සුන්ගේ අදහස් විතරයි කියලා අඳුරගන්න මට පුළුවන්ද? මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා මට හොඳටම විශ්වාසයිද?’ ඒ වගේ ප්‍රශ්න අහලා ඔයාවම සෝදිසි කරගන්න ගමන් දිගටම බයිබලේ කියවලා හොඳට අධ්‍යයනය කරන්න. ඉගෙනගන්න දේවල් ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න. එතකොට බයිබලේ තියෙන්නේ සත්‍යය කියලා ඔයාට තියෙන විශ්වාසේ තව වැඩි වෙයි. (1 තිමෝ. 4:15) ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න.
කාලේ ඥානවන්තව පාවිච්චි කරන්න
11. අමතර අධ්‍යාපනය ලබද්දී කාලේ ඥානවන්තව පාවිච්චි කරන්න අමාරු වෙන්න පුළුවන් ඇයි?
11 වෙන්න පුළුවන් දේ. පන්ති යන්න, පාඩම් වැඩ කරන්න ඔයාට සෑහෙන කාලයක් දෙන්න වෙයි. විශේෂයෙන්ම විභාග ළං වෙද්දී, භාර දීලා තියෙන ප්‍රොජෙක්ට් වෙලාවට ඉවර කරන්න වෙද්දී ඔයාට හුස්ම ගන්නවත් වෙලාවක් නැති වෙයි. ඔයා ඔයාගේ කාලේ ඥානවන්තව පාවිච්චි කළේ නැත්නම් ඔයාට ලොකු පීඩනයක් දැනෙයි. සමහර වෙලාවට ඔයා හෙම්බත් වෙයි. ඒ නිසයි ඔයා ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන වගේම මානසික සුවය ගැනත් හිතන්න ඕනේ.
12. ඔයා කාලේ දෙන්න ඕනෙ මොන වගේ දේවල් වෙනුවෙන්ද? (එෆීස 5:15, 16)
12 එෆීස 5:15, 16 කියවන්න. කරන්න ගොඩක් දේවල් තියෙන නිසා ‘ඔයාට තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න’ එක අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා දේවල් සමබරව කරන්න ඔයා පුරුදු වෙන්න ඕනේ. උදාහරණෙකට පාඩම් වැඩවලට ඔයා කාලේ දෙන්න ඕනෙ වුණත් පවුලේ අයව, සභාවේ අයව ඇසුරු කරන්න කාලේ වෙන් කරන එක ඊටත් වඩා වැදගත්. (ගීතා. 133:1; හිතෝ. 18:1) යෙහෝවා එක්ක තියෙන බැඳීම රැකගන්න උදව් වෙන දේවල් කරන එක තමයි ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ වෙන්න ඕනේ. (මතෙ. 6:33) ඊට අමතරව ඔයාට පවුලේ අය වෙනුවෙනුත් දේවල් කරන්න තියෙනවා ඇති. ඔයා රස්සාවකුත් කරනවා ඇති. ඔයා විවේක ගන්නත් ඕනේ. ව්‍යායාම් කරන්නත් ඕනේ. (දේශ. 4:6; 1 තිමෝ. 4:8) ඒ සේරම කරන්න නම් කාලේ පාවිච්චි කරන විදිහ ගැන ඔයාට හොඳ සැලැස්මක් තියෙන්නම ඕනේ.
13. කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්?
13 අමතර අධ්‍යාපනය පටන්ගන්න කලින් කරන්න පුළුවන් දේ. අපි කලින්ම දේවල් හොඳට සැලසුම් කළොත් සාර්ථක වෙන්න පුළුවන්. (හිතෝ. 21:5) ඉතින් අමතර අධ්‍යාපනය පටන්ගන්න කලින් හොඳ කාලසටහනක් හදාගන්න. ඒත් ඒකට ඕනෑවට වඩා දේවල් රිංගවන්න හදන්නේ නැතුව ඔයාට දේවල් කරන්න පුළුවන් විදිහට ඒක හදාගන්න. ඒකට ඉස්කෝලේ ගිය කාලේ ගැන හිතලා මේ ප්‍රශ්නේ ඔයාගෙන්ම අහගන්න. ‘වැදගත් හැම දෙයක්ම වෙනුවෙන් කාලේ දෙන්න ඒ දවස්වල මට පුළුවන් වුණාද?’ සමහර දේවල් ඊට වඩා හොඳට කරන්න පුළුවන්කම තිබුණා කියලා ඔයාට හිතෙනවා නම් ඒ වෙනස්කම් දැන් කරගන්න. කාලේ නාස්ති කරන්නේ නැතුව තියෙන කාලේ හොඳම විදිහට පාවිච්චි කරන්න අධිෂ්ඨාන කරගන්න.c
14. ඔයා කාලේ පාවිච්චි කරන විදිහ ගැන හිතලා බලන්න උදව් වෙන්නේ මොන ප්‍රශ්නද?
14 ඔයා කාලේ හරි විදිහට පාවිච්චි කරනවාද කියලා තේරුම්ගන්න මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න. ‘විවේක ගන්න, ව්‍යායාම් කරන්න ඇති තරම් කාලේ මට තියෙනවාද? සභාවේ අයව ආශ්‍රය කරන්න මට කාලේ තියෙනවාද? දෙන ගෙදර වැඩ කරන්න මට වෙලාව තියෙනවාද? ඒ දේවලට කාලේ නැත්නම් එහෙම වෙලා තියෙන්නේ මට කරන්න ගොඩක් දේවල් තියෙන නිසාද නැත්නම් මං වැඩ කල් දාන නිසාද? මං කාලේ පාවිච්චි කරන විදිහ ගැන වෙනස්කම් කරගන්න ඕනෙ කියලා පවුලේ අයට, මගේ යාළුවන්ට හිතෙනවාද?’ කාලසටහනේ වෙනසක් කරන්න ඕනෙ කියලා හරි ඒකට තව හොඳට ඇලිලා ඉන්න ඕනෙ කියලා හරි තේරුණොත් ඉක්මනින්ම ඒ දේවල් කරන්න. කාලේ හොඳින් පාවිච්චි කරන අය එක්ක කතා කරන එකත් ඔයාට උදව් වෙයි.—හිතෝ. 11:14.
‘ප්‍රඥාවන්ත අයව ඇසුරු කරන්න’
15. අමතර අධ්‍යාපනය ලබද්දී ඔයාට මූණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝගයකටද?
15 වෙන්න පුළුවන් දේ. පන්තියේ ළමයි පාඩම් වැඩවලින් පස්සේ එයාලා එක්ක විනෝද වෙන්න, කාලේ ගත කරන්න එන්න කියලා ඔයාට කියයි. ඔයාලා ඉන්නේ එකම පන්තියේ නිසා, ඉගෙනගන්නේ එකම දේවල් නිසා එයාලා එක්ක වැඩිපුර ඉන්න ඔයාටත් ආස හිතෙයි. සමහරවිට ඔයාට හිතෙයි සභාවේ අයට වඩා එයාලට කිට්ටු වෙන්න ලේසියි කියලා. ඒත් පරෙස්සමෙන්! ඔයාලා එකම පන්තියේ හිටියාට ඔයායි, එයාලයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඔයාට ඕනෙ යෙහෝවා සතුටු වෙන දේ කරන්න. එයාලට ඒ වගේ ආසාවක් නැහැ. ඔයා එයාලා එක්ක වැඩිපුර කාලයක් ගත කරද්දී එයාලා හිතන පතන විදිහ ඔයාගේ හිතටත් කාන්දු වෙයි. (1 කොරි. 15:33) අවුරුදු හතරක් තිස්සේ විදුලි කාර්මික ශිල්පියෙක් වෙන්න පුහුණුවක් ලබපු මයිකල් මෙහෙම කියනවා. “පහත් විදිහට කතා කරපු, හොඳ නැති සින්දු අහපු, කාන්තාවන්ට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති අයව තමයි මං සතියට පැය 40කටත් වඩා ආශ්‍රය කළේ. ඒක මට කොච්චර බලපෑවාද කියනවා නං එයාලා කියන කරන දේවල් වැරදි නෑ කියලා හිතන තැනට මාත් ආවා.”
16. හිතෝපදේශ 13:20 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?
16 හිතෝපදේශ 13:20 කියවන්න. වැරදි අයව ආශ්‍රය කළොත් අපිට හානියක් වෙන්න පුළුවන් කියලා බයිබලේ අනතුරු අඟවනවා. ඒත් එක්කම එතන කියනවා “ප්‍රඥාවන්ත අය එක්ක ඇසුරු කරන කෙනා ප්‍රඥාවන්ත වෙනවා” කියලා. ඒ කියන්නේ අපි කාලේ ගත කරන්න තෝරගන්න අය අපේ හොඳට නැත්නම් නරකට බලපානවා කියන එකයි. ඉතින් ඔයා වගේම යෙහෝවාට ආදරේ කරන, ඔයාගේ යහපත ගැන හිතන අයව විතරක් ඔයාගේ කිට්ටු යාළුවන් කරගන්න.—ගීතා. 101:6, 7; 119:63.
17. නරක අයව ආශ්‍රය නොකර ඉන්න ඔයා කරන්න ඕනෙ මොකක්ද?
17 අමතර අධ්‍යාපනය පටන්ගන්න කලින් කරන්න පුළුවන් දේ. පන්තියේ ළමයින්ව කොච්චර දුරට ආශ්‍රය කරනවාද, එයාලා එක්ක කොච්චර වෙලාවක් ගත කරනවාද කියලා කලින්ම තීරණේ කරන්න. ට්‍රෙන්ටන් මෙහෙම කියනවා. “මං පන්තියේ ළමයි එක්ක යාළුයි. හැබැයි පන්ති වෙලාවෙන් පස්සේ මං එයාලා එක්ක කාලේ ගත කරන්නේ නෑ. එයාලා මාත් එක්ක එකට ඉගෙනගන්න අය මිසක් මගේ කිට්ටු යාළුවෝ නෙවෙයි.” පන්තියේ ළමයි එක්ක ඕනෑවට වඩා කාලේ ගත කරන්නේ නැතුව ඉන්න ඔයා ඔයාටම දාගන්නේ මොන වගේ සීමාවන්ද? ඒකට ඉස්කෝලේ ගිය කාලේ ගැන හිතලා මේ ප්‍රශ්නේ ඔයාගෙන්ම අහගන්න. ‘ඉස්කෝලේ ළමයින්ව ඕනෑවට වඩා ආශ්‍රය නොකර ඉන්න මං මොන වගේ දේවල්ද කළේ?’ ඊට වඩා දෙයක් කරන්න තිබුණා කියලා හිතෙනවා නම් ඒ වෙනස්කම දැන් කරගන්න. දිගටම “ප්‍රඥාවන්ත අය එක්ක ඇසුරු කරන්නත්” යෙහෝවාට ආදරේ කරන්නේ නැති නරක අයව ආශ්‍රය නොකර ඉන්නත් අධිෂ්ඨාන කරගන්න.d
18. ඔයා ඔයාගෙන්ම අහගන්න ඕන ප්‍රශ්න මොනවාද? (පින්තූරයත් බලන්න.)
18 කාලනේ කාලෙට මේ වගේ ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න. ‘මං පන්තියේ ළමයින්ට ඕනෑවට වඩා ළං වෙනවාද? මං කතා කරන්නේ, හිතන්නේ, වැඩ කරන්නේ එයාලා වගේද? මං පන්තියේ ළමයින්ව ආශ්‍රය කරන විදිහ ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?’ (ගීතා. 1:1) වෙනස්කම් කරගන්න ඕනෙ කියලා තේරුණොත් ඉක්මනින්ම ඒවා කරගන්න. යෙහෝවාට ආදරේ කරන අයව ඔයාගේ හොඳම යාළුවන් කරගන්න. ඒ වගේම ඔයාගේ පන්තියේ ළමයින්ට සත්‍යය ගැන කියන්න අදිමදි කරන්නත් එපා. එයාලා ඔයාව හොඳට දන්න නිසා, ඔයා එයාලත් එක්ක ඉන්න නිසා සත්‍යය ගැන එයාලට කියලා දෙන්න පුළුවන් හොඳම කෙනා ඔයායි.
පන්තියේ අයට සත්‍යය ගැන කියන්න අදිමදි කරන්න එපා (18 ඡේදය බලන්න)e
ලෑස්ති පිට ඉන්න
19. අමතර අධ්‍යාපනයක් ලබද්දී එන්න පුළුවන් අභියෝග ජය ගන්න ඔයාට කලින්ම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද? උදාහරණයක් කියන්න.
19 කන්දක් නඟින්න යන කෙනෙක් ගැන හිතන්න. ඒක නඟින්න පටන්ගන්න කලින් එයා සූදානම් වෙන්න ඕනේ. මූණ දෙන්න වෙන හැම අභියෝගයක් ගැනම එයාට කලින්ම දැනගන්න බැරි වෙයි. ඒත් කන්ද නඟින්න තරම් ශක්තියක් එයාට තියෙනවාද, ගමනට ගැළපෙන ඇඳුම් තියෙනවාද, එයා යන්නේ කොහෙටද කියලා එයා දන්නවා. එන අභියෝග ජය ගන්න ඒවා එයාට උදව් වෙයි. අමතර අධ්‍යාපනය කියන කන්ද නඟිද්දීත් ඔයාට ඒ වගේම දෙයක් කරන්න පුළුවන්. දිගටම යෙහෝවා එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න. “දෙවියන් ලබා දෙන මුළු යුධායුධ කට්ටලයම” ඇඳගෙන ඉන්න. අමතර අධ්‍යාපනයක් ලබන්න ඔයා හිතුවේ ඇයි කියලත් නිතරම මතකයේ තියාගන්න. ඔයාගේ ඉලක්කය වෙන්න ඕනෙ සල්ලි හම්බ කරන එකවත් සමාජයේ ඉහළට යන එකවත් නෙවෙයි, කරන හැම දේකින්ම යෙහෝවාව ගෞරවයට පත් කරන එකයි.—එෆී. 6:11-13; 1 කොරි. 9:26, 27; 10:31.
20. ‘ඔයාට තියෙන විශ්වාසෙට එකඟව ඔයා ජීවත් වෙනවාද කියලා නිතරම සෝදිසි කරලා බලන්න’ ඔයාට පුළුවන් කොහොමද?
20 බයිබලේ මෙහෙම කියනවා. “ඔයාලට තියෙන විශ්වාසයට එකඟව ඔයාලා ජීවත් වෙනවාද කියලා නිතරම සෝදිසි කරලා බලන්න. ඔයාලා දේවල් හරි විදිහට කරනවාද කියලා නිතරම ඔයාලටම ස්ථිර කරගන්න.” (2 කොරි. 13:5) අමතර අධ්‍යාපනය ලබන අතරේ වුණත් ඔයාට ඒක කරන්න පුළුවන්. ඒ කොහොමද? මේ ලිපියේ අපි කතා කරපු පැති ගැන කාලෙන් කාලෙට හිතලා බලන්න. යෙහෝවා එක්ක තියෙන යාළුකම රැකගන්න උදව් වෙන දේවල් ඔයා දිගටම කරනවාද? මේ ලෝකේ අදහස්වලින් ඔයාගේ හිත ආරක්ෂා කරගන්න ඔයා පියවර ගන්නවාද? ඔයා කාලේ ඥානවන්තව පාවිච්චි කරනවාද? නරක අයව ඇසුරු කරන එකෙන් ඔයා ඈත් වෙලා ඉන්න ගමන් සභාවේ අයව ඔයාගේ හොඳම යාළුවන් කරගන්නවාද? ඇත්තටම අමතර අධ්‍යාපනයක් ලබන අය විතරක් නෙවෙයි අපි හැමෝම ඒ ප්‍රශ්න ගැන හිතලා බලන්න ඕනේ. ඔයා ඉගෙනගත්තත් රැකියාවක් කළත් වෙන මොන දේ කළත් දෙවියන් ගැන තියෙන විශ්වාසෙට එකඟව ජීවත් වෙන්න. එතකොට යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාගේ උත්සාහයට ආශීර්වාද කරයි.—හිතෝ. 3:5, 6.
ගීතිකාව 87 එන්න! සහනය ලබන්න
a යෙහෝවාට කරන සේවේ නවත්තන්නේ නැතුව දිගටම කරන්න උදව් වෙන යෝජනා කීපයක් දැනගන්න jw.org එකේ “යොවුන් සිතේ ගැටලු . . . බව්තීස්මයෙන් පස්සේ මං කරන්න ඕනෙ මොනවාද? - 1වෙනි කොටස: නමස්කාරයේ දේවල් දිගටම කරන්න” කියන ලිපිය බලන්න.
b සිතීමේ හැකියාව ආරක්ෂා කරගන්න උදව් වෙන යෝජනා කීපයක් දැනගන්න 2019 මැයි ‘මුරටැඹ’ සඟරාවේ “‘මේ ලෝකයේ ප්‍රඥාවට’ රැවටෙන්න එපා” කියන ලිපිය බලන්න.
c හොඳ කාලසටහනක් හදාගන්න උදව් වෙන යෝජනා දැනගන්න jw.org එකේ තියෙන “යොවුන් සිතේ ගැටලු . . . කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.
d හොඳ යාළුවන් තෝරගන්න උදව් වෙන යෝජනා දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ “හොඳ යාළුවන්ව තෝරගන්නේ කොහොමද?” කියන 48වෙනි පාඩම බලන්න.
e පින්තූරේ අදහස: කොණ්ඩේ කපන පාඨමාලාවක් කරන සහෝදරියක් හොඳ අවස්ථාවක් බලලා එයාගේ පන්තියේ ළමයෙක්ට කාරුණිකව සාක්ෂි දරනවා.