ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 මැයි 14-19 පි.
  • අමතර අධ්‍යාපනය ගැන හොඳ තීරණයක් ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අමතර අධ්‍යාපනය ගැන හොඳ තීරණයක් ගන්න
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔයා අමතර අධ්‍යාපනයක් ගන්න ඕනෙද?
  • අධ්‍යාපනය ලබන්න හදන්නේ ඇයි?
  • වාසි අවාසි මොනවාද?
  • අමතර අධ්‍යාපනය ලබද්දීත් යෙහෝවාට ළං වෙලා ඉන්න
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බයිබලය අධ්‍යාපනය අධෛර්යය කරවයිද?
    1998 පිබිදෙව්!
  • අධ්‍යාපනය—යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට එය යොදාගන්න
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තම මැවුම්කරුව සිහි කරන යෞවනයෝ
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 මැයි 14-19 පි.

2026 ජූලි 20-26

ගීතිකාව 133 යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න

අමතර අධ්‍යාපනය ගැන හොඳ තීරණයක් ගන්න

“සිහිබුද්ධිය තියෙන කෙනා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලයි.”—හිතෝ. 14:15.

ලිපියේ අරමුණ

අමතර අධ්‍යාපනයක් ගන්නවාද නැද්ද කියලා තීරණේ කරන්න කලින් හිතන්න ඕනෙ පැති සහ ඒකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන බලමු.

1-2. (අ) යෞවන අයට ගන්න වෙන්නේ මොන වගේ තීරණද? (ආ) අමතර අධ්‍යාපනය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (“පැහැදිලි කිරීමක්” බලන්න.)

“ලොකු වුණාම ඔයා කරන්න කැමති මොනවාද?” ඔයා යෞවන කෙනෙක් නම් ගොඩක් අය ඒ ප්‍රශ්නේ ඔයාගෙන් අහලා ඇති. ඇත්තටම ඔයාට කරන්න පුළුවන් හොඳම දේ පූර්ණකාලීන සේවේ තෝරගන්න එකයි. ඒත් වියහියදම් හොයාගන්න ඔයාට රස්සාවකුත් කරන්න වෙයි. (2 තෙස. 3:10) ඒ නිසා ඔයා ඉස්සරහට කරන්නේ මොන වගේ රස්සාවක්ද කියලත් ඔයා හිතනවා ඇති.

2 සමහර යෞවනයන් දෙමාපියන් එක්කත් කතා කරලා ඉස්කෝලෙන් පස්සේ රස්සාවක් හොයාගන්න උදව් වෙන අමතර අධ්‍යාපනයක් ගන්න තීරණේ කරනවා.a අමතර අධ්‍යාපනයක් ගන්න ඕනෙද කියලා ඔයාත් කල්පනා කරනවා ඇති. එහෙමනම් ඒ මොන වගේ එකක්ද කියලත් ඔයා හිතනවා ඇති. අමතර අධ්‍යාපනය ගැන හොඳට හිතලා බලන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන අපි මේ ලිපියෙන් බලමු. මොකද එතකොට හොඳ තීරණයක් ගන්න පුළුවන්. මේ ලිපියෙන් වැඩිපුරම කතා කරන්නේ යෞවන අයට වුණත් ඒකේ තියෙන ප්‍රතිපත්ති අමතර අධ්‍යාපනයක් ගන්න හිතන ඕනම කෙනෙක්ට උදව් වෙනවා. මේ ප්‍රතිපත්ති දෙමාපියන්ටත් උදව් වෙනවා හොඳ තීරණයක් ගන්න දරුවන්ට උදව් කරන්න.

ඔයා අමතර අධ්‍යාපනයක් ගන්න ඕනෙද?

3. සමහරු අමතර අධ්‍යාපනයක් ගන්න තීරණේ කරන්නේ ඇයි?

3 සමහර රටවල්වල සාමාන්‍ය රස්සාවක් හොයාගන්න අමතර අධ්‍යාපනයක් ඕනෙ නැහැ. ඒත් තවත් රටවල්වල හොඳ පඩියක් තියෙන, වැඩ කරන පැය ගාණ පහසු වෙන විදිහේ රස්සාවක් හොයාගන්න අමතර අධ්‍යාපනයක් ලබන එක උදව් වෙනවා. ඒ වගේ රස්සාවක් කරන එක සාක්ෂිකරුවෙක්ට උදව් වෙයි වැඩිපුර දේශනා සේවේ හවුල් වෙන්න නැත්නම් වෙනත් විදිවලින් යෙහෝවාට වැඩිපුර සේවේ කරන්න. ඒත් අමතර අධ්‍යාපනයක් ලබන්න තීරණේ කරන කෙනෙක්ට සමහර දේවල් කැප කරන්න වෙනවා. අභියෝගවලටත් මූණ දෙන්න වෙනවා.

4. අමතර අධ්‍යාපනයක් ලබනවාද නැද්ද කියන තීරණේ ගන්න ඕනෙ කවුද? (පාදසටහනත් බලන්න.)

4 බයිබලේ කියනවා “හැම කෙනෙක්ම තමන්ට පැවරිලා තියෙන වගකීම ඉටු කරන්න ඕනෙ” කියලා. (ගලා. 6:5) ඒකෙන් තේරෙනවා අමතර අධ්‍යාපනයක් ලබනවාද නැද්ද කියන එක වැඩිහිටියන් විදිහට අපි එක් එක් කෙනා ගන්න ඕන තීරණයක් කියලා.b දෙමාපියන්ටත් වගකීමක් තියෙනවා බාල වයසේ ඉන්න එයාලාගේ දරුවන් ලබන අධ්‍යාපනය ගැන තීරණේ කරන්න. (එෆී. 6:1) පොඩි කාලේ ඉඳන්ම එයාලා දෙන මඟ පෙන්වීම් දරුවෙක්ට උදව් වෙයි වැඩිහිටි වයසට ආවාම අමතර අධ්‍යාපනය ගැන හොඳ තීරණයක් ගන්න.—හිතෝ. 22:6.

5. අමතර අධ්‍යාපනයක් ලබනවාද නැද්ද කියලා කෙනෙක් හිතන්න ඕනෙ කොයි කාලේදීද? ඒ ඇයි? ( පින්තූරයත් බලන්න.)

5 අමතර අධ්‍යාපනයක් ලබනවාද නැද්ද කියලා සාමාන්‍යයෙන් යෞවනයෙක්ට තීරණේ කරන්න වෙන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වෙන්න කලින්. ඒ තීරණේ ගන්න කාලෙකට කලින් ඉඳන්ම දෙමාපියන් එක්ක ඒ ගැන කතා කරන එක හොඳ දෙයක්. එතකොට එයාට පුළුවන් දෙමාපියන් එක්ක එකතු වෙලා තෝරගන්න පුළුවන් පැති ගැන හොයලා බලන්න. එයා ලබන්න යන අමතර අධ්‍යාපනයට, කරන්න යන රස්සාවට ගැළපෙන විදිහේ විෂයන් ඉස්කෝලේදී තෝරගන්නත් ඒක උදව් වෙයි. කෙනෙක් ඉස්කෝලේ ගිහින් ඉවර වෙන්න කලින් ඒ තීරණේ ගන්නම ඕනෙද? එහෙම්මම කියන්න බැහැ. (හිතෝ. 21:5) සමහර යෞවනයන් ඒ තීරණේ ගන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා රස්සාවක් හොයාගෙන පුරෝගාමිත් පටන්ගත්තාට පස්සේ. ඒ වගේ තීරණයක් කෙනෙක්ට ජීවිතේ පස්සේ කාලෙකදී වුණත් ගන්න පුළුවන්.

අමතර අධ්‍යාපනය විදිහට තෝරගන්න පුළුවන් දේවල් ගැන යෞවන සහෝදරියක් එයාගේ දෙමාපියන් එක්ක කතා කරනවා. එක එක අධ්‍යාපන ආයතනවලින් දීලා තියෙන සඟරාවල වගේම JW බ්‍රෝඩ්කාස්ටිං එකෙත් බයිබලෙත් කියන දේවල් එයාලා බලනවා.

අමතර අධ්‍යාපනය ගැන හොඳ තීරණයක් ගන්න දෙමාපියන් එයාලාගේ දරුවාට උදව් කරනවා (5 ඡේදය බලන්න)


6. අමතර අධ්‍යාපනය ගැන හොඳ තීරණයක් ගන්න කෙනෙක්ට උදව් වෙන්නේ මොනවාද?

6 අමතර අධ්‍යාපනය ගැන හොඳ තීරණයක් ගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? අනිවාර්යයෙන්ම ඒ ගැන යෙහෝවාට යාච්ඤා කරලා ඔහුගෙන් උදව් ඉල්ලන්න. (යාකො. 1:5) මේ පැති ගැනත් හිතලා බලන්න. (1) ඇත්තටම ඔයා මේ අධ්‍යාපනය ලබාගන්න හදන්නේ ඇයි? (ගීතා. 26:2) (2) ඔයා කරන්න හිතාගෙන ඉන්න පාඨමාලාවේ වාසි අවාසි මොනවාද? (හිතෝ. 14:15) දැන් අපි ඒ පැති දෙක ගැන බලමු.

අධ්‍යාපනය ලබන්න හදන්නේ ඇයි?

7. අමතර අධ්‍යාපනයක් ලබන්න තීරණේ කරද්දී කෙනෙක් හිතන්න ඕනෙ මොනවා ගැනද?

7 අමතර අධ්‍යාපනයක් ලබන්න ඕනෙ කියලා ඔයා හිතනවා නම් ‘මං මේ අධ්‍යාපනය ලබන්න හිතන්නේ ඇයි’ කියලා ඔයාගෙන්ම අහගන්න. ගොඩක් අය වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නේ එයාලා ආස කරන, හොඳ පඩියක් ලැබෙන රස්සාවක් හොයාගන්න. ඒක වැරදිද? එහෙම කියන්න බැහැ. (1 තිමෝ. 5:8) ඒත් ‘ජීවිතේ වැදගත්ම දේ සල්ලි, අපිට ආරක්ෂාව ලැබෙන්නේ සල්ලිවලින්’ කියලා හිතන එක භයානකයි. (හිතෝ. 23:4, 5; 1 තිමෝ. 6:8-10; 1 යොහ. 2:17) ඔයා වැඩිදුර අධ්‍යාපනයක් ලබන්නේ සල්ලි හම්බ කරන්න, සමාජයේ හොඳ තැනක් ලබාගන්න හිතාගෙන නම් අන්තිමේදී ඔයාට ඉතුරු වෙන්නේ හිස්කම විතරයි. දන්නෙම නැතුව ඔයා යෙහෝවාගෙනුත් ඈතට ගහගෙන යයි.

8-9. (අ) අපි අධ්‍යාපනය ගැන හිතන්න ඕනෙ කොහොමද? (මතෙව් 6:33) (ආ) හොසෆිනා, මොරීන් සහ අයිරිස් කියන දේවලින් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

8 අපි අධ්‍යාපනය ගැන හිතන්න ඕනෙ කොහොමද? යෙහෝවාට කරන සේවේ තරම් වැදගත් දෙයක් අපිට තව නැහැ. (මතෙ. 22:37, 38; ෆිලි. 3:8) ඉතින් ඔයා අධ්‍යාපනයක් ලබන එකේ අරමුණ වෙන්න ඕනෙ යෙහෝවාට මුළු හදවතින්ම සේවේ කරන ගමන් අවශ්‍ය දේවල් ලබාගන්න උදව් වෙන විදිහේ රස්සාවක් හොයාගන්න එකයි.—මතෙව් 6:33 කියවන්න.

9 අමතර අධ්‍යාපනය ගැන හරි විදිහට හිතන්න සමහරුන්ට උදව් වුණේ මොනවාද? චිලී රටේ හොසෆිනා මෙහෙම කියනවා. “මං තව ඉගෙනගන්න හිතුවේ වැඩියෙන් සේවේ කරන්න උදව් වෙන විදිහේ රස්සාවක් හොයාගන්න ඕන වුණ නිසයි. මං හැම වෙලේම මතක තියාගත්තා මගේ ජීවිතේ වැදගත්ම දේ යෙහෝවා එක්ක මට තියෙන බැඳීම මිසක් මගේ කෝස් එක නෙවෙයි කියලා.” සහෝදරි මොරීන් කොණ්ඩේ කපන්න උගන්නන, අවුරුද්දක පාඨමාලාවක් කළා. එයා මෙහෙම කියනවා. “මගේ ඉලක්කේ වුණේ ප්‍රචාරකයන් අඩු පැත්තක සේවේ කරන එක. ඒකට උදව් වෙන විදිහේ කෝස් එකක් තමයි මං තෝරගත්තේ. කෝස් එක ඉවර වුණාම මං සැලුන් එකක වැඩ කරලා ගමනට ඕන කරන සල්ලි ටිකක් එකතු කරගත්තා. ප්‍රචාරකයන් අඩු පැත්තකට ගියාම මට පුළුවන් වුණා කරපු කෝස් එක නිසා එහෙත් රස්සාවක් හොයාගන්න.” සහෝදරි අයිරිස්ට ඕන වුණේ දත් දොස්තර කෙනෙක් වෙන්න. එයා කරපු කෝස් එක ඉවර වෙන්න කාලයක් ගියා. එයා මෙහෙම කියනවා. “අමතර දෙයක් ඉගෙනගන්න එක ප්‍රයෝජනවත්. ඒත් ඒකට බෑ ජීවිතේට නියම සතුට එකතු කරන්න. ඔයා මතක තියාගන්න ඕනෙ මෙච්චරයි. ජීවිතේ අංක එක ඔයා යෙහෝවාට දුන්නොත් ඔයා හොයන සතුටත් අනිත් හැම දේමත් ඔහු ඔයාට දෙයි.” අපේ ජීවිතේ වැදගත්ම දේ යෙහෝවා එක්ක අපිට තියෙන යාළුකම නම් හැමදාටම සතුටින් ඉන්න උදව් වෙන විදිහේ තීරණ ගන්න අපිට පුළුවන්.

වාසි අවාසි මොනවාද?

10. අමතර අධ්‍යාපනය ගැන තීරණයක් ගන්න වෙද්දී ද්විතීය කතාව 32:29 තියෙන ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද?

10 ‘මං කරන්න කැමති මෙන්න මේ රස්සාව’ කියලා ඔයා හිතාගෙන ඉන්නවා ඇති. ඒත් ඔයාට කරන්න පුළුවන් තව දේවල් ගැනත් හොයලා බලන එක හොඳයි. සමහරවිට ඒවා ඔයා හිතන් ඉන්න ක්ෂේත්‍රයේම රස්සා වෙන්නත් පුළුවන් නැත්නම් වෙනස්ම ක්ෂේත්‍රයක රස්සා වෙන්නත් පුළුවන්. (හිතෝ. 18:17) අද කාලේ දේවල් ඉගෙනගන්න ඉස්සරට වඩා වෙනස් ක්‍රම තියෙනවා. උදාහරණෙකට දැන් ඔන්ලයින් පාඨමාලා කරන්න පුළුවන්. ඔයා හිතන්න ඕන තව පැත්තක් තමයි අමතර අධ්‍යාපනයක් ලබන්නේ නැතුව ඔයාගේ වියදම් පියවගන්න ක්‍රමයක් තියෙනවාද කියන දේ. ෆින්ලන්තයේ ඉන්න යොහානා අමතර අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. එයා මෙහෙම කියනවා. “ඉස්කෝලේ ගිහින් ඉවර වුණාම මං සතියට දවස් කීපයක් වැඩ කරන ගමන් පුරෝගාමි කරන්න පටන්ගත්තා. මං එක එක විදිහේ රස්සා කළා. මං අද්දැක්කා අපිට ඕන දේවල් දෙනවා කියලා යෙහෝවා දීලා තියෙන පොරොන්දුව ඔහු ඒ විදිහටම ඉටු කරනවා කියලා.” අමතර අධ්‍යාපනයක් ලබනවාද නැද්ද, ලබනවා නම් ඒ මොන වගේ එකක්ද කියන තීරණ හැම එකකම වාසි අවාසි තියෙනවා. ඒ නිසා ‘මං තෝරගන්න මේ පාඨමාලාවේ අවාසිවලට වඩා වාසි වැඩිද’ කියලා හිතන්න. (ද්විතීය කතාව 32:29 කියවන්න; 1 කොරි. 10:23) ඒකට ඔයාට උදව් වෙන පැති කීපයක් දැන් බලමු.

11. පාඨමාලාව, පුහුණුව වෙනුවෙන් සතියකට කොච්චර වෙලාවක් වෙන් කරන්න වෙනවාද කියලා හිතලා බලන එක වැදගත් ඇයි? (පින්තූරත් බලන්න.)

11 සතියකට දෙන්න වෙන වෙලාව. පන්තිවලට, පුහුණුවීම්වලට යන්නත් දෙන ගෙදර වැඩ කරන්නත් සතියකට කොච්චර වෙලාවක් යයිද කියලා හිතන්න. ඒ සේරමත් කරලා නමස්කාරයේ දේවල් කරන්න, ගෙදරදොරේ වැඩ කරන්න ඔයාට වෙලාව ඉතුරු වෙයිද? (ෆිලි. 1:10) පාඩම් වැඩ නිසා රැස්වීම්වලට ලෑස්ති වෙන්න, පෞද්ගලික අධ්‍යයනය කරන්න බැරි වෙන තරමට ඔයා හෙම්බත් වෙයිද? ඉන්දියාවේ ඉන්න ජෙරෝස් මෙහෙම කියනවා. “නමස්කාරයේ දේවලට අවධානය දෙන්න මට සෑහෙන්න අමාරු වුණා. රැස්වීම් යන්න බැරි වුණ දවසුත් තිබුණා. කෝස් එකට එච්චර කාලයක්, ශක්තියක් දීපු එක අපරාදේ කියලා දැන් මට හිතෙනවා.” ඒත් සමහර පාඨමාලාවලට ලොකු කාලයක් දෙන්න ඕනෙ නැහැ. සමහර ඒවා තියෙන්නේ සතියට දවස් කීපයයි. නැත්නම් දවසට පැය කීපයයි. තවත් ඒවාවල එච්චර ගෙදර වැඩ දෙන්නේ නැහැ. තමන්ගේ තේරීම ගැන සතුටු වෙන මොසැම්බික්වල ඉන්න රබෙකා මෙහෙම කියනවා. “මං තෝරගත්ත කෝස් එක තිබුණේ දවසට පැය දෙකයි. ඒ නිසා මට දිගටම ස්ථාවර පුරෝගාමි කරන්නත් පුළුවන් වුණා.”

පින්තූරවල අදහස: අමතර අධ්‍යාපනය ලබන ගමන් තමන්ට තියෙන අනිත් වගකීම් ඉටු කරන්න පුළුවන් වෙයිද කියලා සහෝදරයෙක් හිතනවා. 1. එයා රැස්වීමේදී මයික් අල්ලන පැවරුම කරනවා. 2. එයා ගෙයින් ගෙට සේවේ හවුල් වෙනවා. 3. එයා කොෆි ෂොප් එකක වැඩ කරනවා. 4. එයා පන්තියක ඉගෙනගන්නවා.

අමතර අධ්‍යාපනයක් ලබන්න ඔයා හිතනවා නම් ජීවිතේ අනිත් වැදගත් දේවලුත් කරන්න වෙලාව තියෙයිද කියලා හිතලා බලන්න (11 ඡේදය බලන්න)


12. කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඔයා හිතන්න ඕනෙ පැති මොනවාද? (දේශනාකාරයා 12:1)

12 ඉවර කරන්න යන කාලය. ඒකට මාස කීයක් යයිද, අවුරුදු කීයක් යයිද කියලා හිතලා බලන්න. ඒ පාඨමාලාව කරන එකෙන් පේනවාද ඔයා ඔයාගේ කාලේ හොඳම විදිහට පාවිච්චි කරනවා කියලා? (එෆී. 5:15-17) ඔයා යෞවනයෙක් නම්, අමතර අධ්‍යාපනය ලබන ගමන් ඔයාගේ හොඳම දේ යෙහෝවාට දෙන්න, සමහරවිට පූර්ණකාලීන සේවේ කරන්න ඔයාට පුළුවන් වෙයිද? (දේශනාකාරයා 12:1 කියවන්න.) ඔයා තෝරගත්ත ක්ෂේත්‍රයෙම අඩු කාලෙකින් කරන්න පුළුවන් වෙන පාඨමාලා තියෙනවාද? සමහර රටවල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකින් විශ්වවිද්‍යාලයක ඉගෙනගන්නවාට වඩා අඩු කාලෙකින්, අඩු වියදමකින් කෙනෙක්ට ඕන කරන හැකියාවන්, පුහුණුව ලබාගන්න පුළුවන්. චිලී රටේ ඉන්න මාරියෝ මෙහෙම කියනවා. “මං තෝරගත්තේ අවුරුදු දෙකක කෝස් එකක්. කැම්පස් ගිහින් ඉගෙනගන්නවාට වඩා ඒකට යන වියදම අඩුයි. මට පන්ති තිබුණේ සතියට දවස් හතරයි. ඒ නිසා කෝස් එක කරන ගමන් පුරෝගාමි කරන්නත් පුළුවන් වුණා.”

13. අමතර අධ්‍යාපනය ලබන්න ගෙදරින් ගොඩක් ඈතට යන්න වෙනවා නම් මොකක් වෙන්න පුළුවන්ද?

13 අමතර අධ්‍යාපනය ලබන තැන. සමහරවිට අමතර අධ්‍යාපනය ලබන්න ඔයාට ගෙදරට කිට්ටු තැනක් හම්බ වෙයි. ඒත් ඒකට වෙන පළාතකට යන්න වුණොත්? ගිහින් එහේ නතර වෙන්න වුණොත්? පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්න එක යෙහෝවා එක්ක තියෙන බැඳීමට නරක විදිහට බලපාන්න පුළුවන්. ඔයාට ඉන්න වෙන්නේ සත්‍යයේ නැති අය එක්ක නම් ඒක තවත් භයානකයි. (හිතෝ. 22:3; 1 කොරි. 15:33) මොසැම්බික්වල ඉන්න මාටියස් කළේ වැඩි වියදමක් නැති, අවුරුද්දක පාඨමාලාවක්. ඒත් එයා මෙහෙම කියනවා. “ඒ මුළු කාලෙම මට ඉන්න වුණේ බෝඩිමක. වැරදි දේවල් නොකර ඉන්න හැම දවසකම මට ලොකු සටනක් කරන්න වුණා. මං නං හැමෝටම කියන්නේ පවුලේ අයගෙන් ඈතට ගිහින් කරන්න වෙන කෝස් නං තෝරගන්න එපා කියලයි.” රුසියාවේ ඉන්න සහෝදරියක් මෙහෙම කියනවා. “කෝස් එක කරන කාලේ කැම්පස් එකකවත් බෝඩිමකවත් නතර වෙන්නේ නැතුව ගෙදර අම්මලා එක්ක ඉන්න පුළුවන් වුණ නිසා ගොඩක් අනතුරුවලින් මං ආරක්ෂා වුණා.” සමහරවිට ඔන්ලයින් හරහා කරන්න තියෙන පාඨමාලාවක් හොයාගන්නත් ඔයාට පුළුවන්.

14. අමතර අධ්‍යාපනය ගැන හොඳ තීරණයක් ගන්න ලූක් 14:28 උදව් වෙන්නේ කොහොමද?

14 යන වියදම. සමහර පාඨමාලාවලට ලොකු වියදමක් යන්නේ නැහැ. තවත් ඒවාවලට යන වියදම රජයෙන් දරනවා. ඒ වගේ අවස්ථාවලදී වැඩි වියදමක් නැතුව රස්සාවකට ඕන කරන දැනුම සහ පුහුණුව ලබාගන්න ඔයාට පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අමතර අධ්‍යාපනයක් ලබන්න ලොකු වියදමක් යනවා. සමහර පාඨමාලා වෙනුවෙන් අමතර වියදම් දරන්නත් වෙනවා. උදාහරණෙකට සමහර ඒවාට ඇතුල් වෙන්න ඕන කරන සුදුසුකම් ලබාගන්න අමතර පන්තිවලට යන්න ඕනේ. සමහර පාඨමාලා කොච්චර ගණන්ද කියනවා නම් ඒවා ඉවර වෙලා අවුරුදු ගාණක් යන කල් ණය බේරන්න වෙනවා. තමන්ගේ තේරීම ගැන දුක් වෙන මොසැම්බික්වල ඉන්න ඇඩිල්සන් මෙහෙම කියනවා. “මං කරපු අවුරුදු හතරේ කෝස් එකට ගිය වියදම නිසා පවුලේ අයට සමහර කෑම, අත්‍යවශ්‍ය දේවල් ගන්න සල්ලි තිබ්බේ නෑ.” ඉතින් පාඨමාලාවක් තෝරගන්න කලින් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘ඒකට කොච්චර වියදමක් යයිද? මගේ පවුලේ අයට ඒක දරන්න පුළුවන්ද? එච්චර වියදමක් යන්නේ නැතුව කරන්න පුළුවන් වෙන දෙයක් තියෙනවාද?’ (ලූක් 14:28 කියවන්න.) ‘මට ණය වෙන්න වුණොත් ඒ ණය ගෙවන්න කොච්චර කල් යයිද? මං ඉස්සරහට කරන්න යන රස්සාවෙන් මගේ වියදමුත් බලාගෙන ඒ ණයත් ගෙවන්න මට පුළුවන් වෙයිද?’—හිතෝ. 22:7.

15. ඔයා ඉගෙනගන්නේ මොනවාද කියලා තීරණේ කරන්න කලින් ඒකට හරි යන රස්සා තියෙනවාද කියලා හොයලා බලන්න ඕනෙ ඇයි?

15 රැකියා අවස්ථා. ඔයා ඉන්න පැත්තේ, ඔයා යන්න හිතාගෙන ඉන්න පැත්තේ ඉල්ලුමක් තියෙන්නේ මොන වගේ රස්සාවලටද කියලා හොයන්න. ඔයා කරන්න යන පාඨමාලාව රස්සාවක් හොයාගන්න ඔයාට උදව් වෙයිද? සමහර ඒවාවලින් රස්සාවක් හොයාගන්න ඕන කරන පුහුණුව දෙන්නේ හරිම අඩුවෙන්. ඒවායින් වැඩිපුරම දෙන්නේ පොතේ දැනුම. නැත්නම් ඒවාවල උගන්නන්නේ දර්ශනවාදී අදහස්. (කොලො. 2:8) ඉන්දියාවේ ඉන්න සහෝදරියක් මෙහෙම කියනවා. “ජොබ් එකක් හොයාගන්න ඕන කරන හැකියාවන් දියුණු කරගන්න මං කරපු කෝස් එක මට උදව් වුණේ නෑ. ඉතිං මං ආස පැත්තෙන් මට ජොබ් එකක් හොයාගන්න බැරි වුණා.” සමහර පාඨමාලාවලින් රස්සාවක් කරන්න ඕන කරන පුහුණුව දුන්නාට ඒ ක්ෂේත්‍රයේ කරන්න තියෙන රස්සා හරිම අඩුයි. මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ ඉන්න සුබ්ලයිම් AC අලුත්වැඩියා කරන පාඨමාලාවක් කළා. එයා මෙහෙම කියනවා. “අපේ පැත්තේ ගොඩක් අය ගෙදර දෙයක් කැඩුණාම එයාලම තමයි ඒක හදාගන්නේ. ඉතිං මට වැඩ හම්බ වුණේ නෑ.”

16. ඔයා ඉගෙනගන්න යන ක්ෂේත්‍රයේ තියෙන්නේ මොන වගේ රස්සාද කියලා හිතන්න ඕනෙ ඇයි?

16 අමතර අධ්‍යාපනය ලැබුවාට පස්සේ ඔයා කරන්න යන රස්සාව මොන වගේද කියලා හිතන්න. ඔයාට ඒක ආසාවෙන් කරයිද? (දේශ. 3:12, 13) ඔයාට මොන වගේ තැනක වැඩ කරන්න වෙයිද? මොන වගේ අය එක්ක වැඩ කරන්න වෙයිද? ඒ රස්සාව අනාරක්ෂිත, තරඟකාරිත්වය වැඩි, ලොකු පීඩනයක් දැනෙන එකක් වෙයිද? ඒ රස්සාවෙන් කොච්චර ගාණක් හොයන්න පුළුවන් වෙයිද? ඔයාගේ වියදම් බලාගන්න ඒක ඇති වෙයිද? රස්සාව රැකගන්න ඔයාට තව තව ඉගෙනගන්න වෙයිද? වැදගත්ම දේ, ඒ රස්සාව කරන ගමන් නමස්කාරයට මුල් තැන දෙන්න ඔයාට පුළුවන් වෙයිද? (දේශ. 12:13) ඇත්ත, රස්සා අඩු වෙද්දී ඔයා හොයපු විදිහේම රස්සාවක් හොයාගන්න බැරි වෙයි. ඒත් අමතර අධ්‍යාපනය ගැන ඔයා හොඳ තීරණයක් ගත්තොත් ඔයාට රස්සාවක් හොයාගන්න වැඩි ඉඩක් තියෙනවා. මාස හයක මැහුම් පාඨමාලාවක් කරපු ඉන්දියාවේ ඉන්න තබිතා මෙහෙම කියනවා. “මහන්න ඉගෙනගන්න එක පුරෝගාමි කරන්න මට උදව් වෙයි කියලා මට තේරුණා. ඒ රස්සාවට කවදත් ඉල්ලුමක් තියෙනවා. වැඩ කරන පැය ගාණත් මට තීරණේ කරන්න පුළුවන්. අනික, ඒක පටන්ගන්න ලොකු වියදමක් යන්නෙත් නෑ.” තෝරගත්ත පාඨමාලාව නිසා එයාගේ වියදම් හොයාගන්න ගමන් දිගටම පුරෝගාමි කරන්න තබිතාට පුළුවන් වුණා.

17. (අ) අමතර අධ්‍යාපනය විදිහට තෝරගන්න දේ ගැන හොඳ තීරණයක් ගන්න උදව් වෙන තොරතුරු හොයාගන්නේ කොහෙන්ද? (ආ) ඒ තීරණේ ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? (“හොඳ තීරණේකට උදව් වෙන ප්‍රතිපත්ති” කියන කොටුව බලන්න.)

17 හිතන්න ඕනෙ පැති කීපයක් ගැන අපි මේ වෙන කල් බැලුවා. දැන් බලමු හොඳ තීරණයක් ගන්න උදව් වෙන තොරතුරු හොයාගන්නේ කොහෙන්ද කියලා. ඔයා ඉගෙනගන්න යන දේට සම්බන්ධ පාඨමාලා මොනවාද කියලා ඒ ආයතනවලට, එයාලාගේ වෙබ්සයිට්වලට ගිහින් බලන්න. ඒ ක්ෂේත්‍රයේ රස්සාවලට කොච්චර ඉල්ලුමක් තියෙනවාද කියලත් හොයලා බලන්න. ඒ ක්ෂේත්‍රයේ පුහුණුවක් ලබලා තියෙන අය එක්ක, ඔයා කරන්න හිතාගෙන ඉන්න විදිහේ රස්සාවක් කරන අය එක්ක කතා කරලා බලන්න. (හිතෝ. 13:10) ඔයා ලබන්න ඉන්න අධ්‍යාපනයේ, කරන්න යන රස්සාවේ තියෙන වාසි අවාසි ගැන එයාලාගෙන් අහන්න. යෙහෝවාට සතුටින් සේවේ කරන අය එක්කත් කතා කරන්න. (හිතෝ. 15:22) මොන වගේ අධ්‍යාපනයක් ලැබුවොත් මොන වගේ රස්සාවක් කළොත් හොඳයි කියලද එයාලා කියන්නේ? සමහරවිට ඔයා කවදාවත් හිතපු නැති ක්ෂේත්‍රයක රස්සාවක් ගැන වුණත් එයාලා ඔයාට කියයි.

හොඳ තීරණේකට උදව් වෙන ප්‍රතිපත්ති

  • මට අමතර අධ්‍යාපනයක් ලබන්න ඕනෙ ඇයි? (මතෙ. 6:33; 1 තිමෝ. 6:8-10)

  • හැම සතියකම පන්තිවලට යන්න, දෙන ගෙදර වැඩ කරන්න මට කොච්චර වෙලාවක් යයිද? (ෆිලි. 1:10)

  • මේ පාඨමාලාව ඉවර කරන්න අවුරුදු කීයක් යයිද? (එෆී. 5:15-17)

  • ඉගෙනගන්න කාලේ මම ඉන්න යන්නේ කොහෙද? (1 කොරි. 15:33)

  • මේ අධ්‍යාපනය ලබන්න කොච්චර වියදමක් යයිද? (ලූක් 14:28)

  • වියදම් හොයාගන්න ගමන් මගේ උපරිමය යෙහෝවාට දෙන්න පුළුවන් වෙන විදිහේ රස්සාවක් හොයාගන්න මං ලබන අධ්‍යාපනය මට උදව් වෙයිද? (දේශ. 12:13)

18. අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

18 අපි බලපු විදිහට අමතර අධ්‍යාපනයක් ලබන එකේ හොඳ පැති වගේම අනතුරුදායක පැතිත් තියෙනවා. ඒ නිසා ඔයා ඉස්සරහා තියෙන තේරීම් ගැන යාච්ඤා කරලා හොඳට හිතන්න. අමතර අධ්‍යාපනයක් ලබන එකෙන් ඔයාගේ වියදම් බලාගන්න උදව් වෙන විදිහේ රස්සාවක් හොයාගන්න පුළුවන් වෙයි. ඒත් මතක තියාගන්න ජීවිතේට නියම සතුට ළඟා කරගන්න පුළුවන් එකම විදිහ යෙහෝවාගේ කිට්ටු යාළුවෙක් වෙලා ඉන්න එක කියලා. (ගීතා. 16:9, 11) ලබලා තියෙන අධ්‍යාපනය මොකක් වුණත් යෙහෝවා හැම වෙලේම ඔහුගේ සෙනඟව බලාගන්නවා. (හෙබ්‍රෙ. 13:5) ඒත් ඔයා අමතර අධ්‍යාපනයක් ලබන්න දැනටමත් තීරණේ කරලා නම්? ඒක කරන ගමන් දිගටම යෙහෝවාට ළං වෙලා ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ඔයාගේ අදහස මොකක්ද?

  • ගලාති 6:5 කියන විදිහට කෙනෙක් අමතර අධ්‍යාපනයක් ලබනවාද නැද්ද කියන තීරණේ ගන්න වගකීම තියෙන්නේ කාටද?

  • අමතර අධ්‍යාපනය ලබන එක ගැන අපි හිතන්න ඕනෙ කොහොමද?

  • අමතර අධ්‍යාපනයක් ලබනවාද නැද්ද කියලා තීරණේ කරද්දී අපි හිතලා බලන්න ඕනෙ පැති මොනවාද?

ගීතිකාව 45 මාගේ සිතුවිලි විමසන්න

a පැහැදිලි කිරීමක්: රජයෙන් බලාපොරොත්තු වෙන මූලික අධ්‍යාපනයට අමතරව ලබාගන්න ඕනම විදිහේ අධ්‍යාපනයකට තමයි මේ ලිපියේ සහ ඊළඟ ලිපියේ “අමතර අධ්‍යාපනය” කියලා කියන්නේ. ඒකට විශ්වවිද්‍යාලවලින්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලින්, තාක්ෂණික විද්‍යාලවලින් ලබන අධ්‍යාපනය වගේම ආයතනවලින් ලබන පුහුණුවත් කෙටි කාලීන සහ දිගු කාලීන පාඨමාලාත් ඇතුළත් වෙනවා.

b ඉස්සර අපේ ප්‍රකාශනවල විශ්වවිද්‍යාලවලට යන්න එපා කියලා අපිව දිරිගැන්නුවා. උදාහරණෙකට 2005 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ “දෙමාපියෙනි, ඔබේ දරුවන් ඉදිරියේ ඔබ තබන්නේ කෙබඳු අනාගතයක්ද?” කියන ලිපියේ උසස් අධ්‍යාපනය ලබන එකේ අනතුරු පෙන්නුවා. ඒ අනතුරු තාමත් එහෙම්මම තියෙනවා. ඒත් අමතර අධ්‍යාපනයක් ලබනවාද නැද්ද කියන එක පෞද්ගලික තීරණයක්. වැඩිහිටි වයසේ ඉන්න කෙනෙක් නැත්නම් බාල වයසේ දරුවෙක් ඉන්න පවුලක මූලිකයෙක් යාච්ඤා කරලා, බයිබල් ප්‍රතිපත්ති සහ අමතර අධ්‍යාපනය විදිහට තෝරගන්න යන දේට සම්බන්ධ තොරතුරු හොයලා බැලුවාට පස්සෙයි තීරණයක් ගන්න ඕනේ. ඒ ගැන කෙනෙක් ගන්න තීරණේ වැරදියි කියලා වැඩිමහල්ලන්ටවත් වෙන කිසිම කෙනෙක්ටවත් කියන්න බැහැ.—යාකො. 4:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න