2026 ජූනි 8–14
ගීතිකාව 8 යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි
‘සත්‍යය පවසන දෙවියන්ගේ’ පොරොන්දු විශ්වාසවන්තයි
“සත්‍යය පවසන යෙහෝවා දෙවියනි, ඔබ මාව බේරගත්තා.”—ගීතා. 31:5.
ලිපියේ අරමුණ
යෙහෝවා ඔහුගේ හැම පොරොන්දුවක්ම ඉටු කරනවා කියලත් දේවරාජ්‍යයෙන් සාතන්ගේ හැම බොරුවකට නිමාවක් ගේනවා කියලත් අපිට තියෙන විශ්වාසේ වැඩි කරනවා.
1. ගීතාවලිය 31:2-5 කියන විදිහට අපිට යෙහෝවාව විශ්වාස කරන්න පුළුවන් ඇයි?
අපි අද ජීවත් වෙන්නේ සාතන්ගේ පාලනය යටතේ තියෙන බොරුව, වංචාව, රැවටීම රජකම් කරන සමාජයක. කාව විශ්වාස කරන්නද කියලා හිතාගන්නත් බැහැ. ව්‍යාපාරිකයන් වංචා කරනවා. දැන්වීම්කරුවන් නිෂ්පාදන විකුණගන්න පාරිභෝගිකයන්ව රවට්ටනවා. තමන්ගේ කිට්ටුම යාළුවන්වවත් විශ්වාස කරන්න බැහැ කියලා සමහරුන්ට තේරිලා තියෙනවා. හැබැයි යෙහෝවාව නම් අපිට සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන්. මොකද ඔහු ‘සත්‍යය පවසන දෙවියන්.’ (ගීතාවලිය 31:2-5 කියවන්න.) සත්‍යය කියන්නේ ඔහුගේ පෞද්ගලිකත්වයත් එක්ක බැඳිලා තියෙන දෙයක්. ඔහු කියන ඕනෑම දෙයක් ඒ විදිහටම කරයි කියලා අපිට 100%ක් විශ්වාස කරන්න පුළුවන්.
2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
2 මේ ලිපියෙන් අපි මුලින්ම බලමු අපේ මුළු හදවතින්ම යෙහෝවාව විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලා. සත්‍යය පවසන දෙවියන් සාතන්ගේ මේ දුෂ්ට සමාජය අවසන් කරන්නේ කොහොමද කියලත් යෙහෝවා ඔහුගේ අරමුණ ඉටු කරන්න මේ වෙනකොටත් මොනවාද කරන්නේ කියලත් අපි ඊළඟට බලමු. ඒ දේවල් අපිට උදව් වෙයි බය නැතුව, නිර්භීතව යෙහෝවා ගැන සාක්ෂි දරන්න.
සත්‍යය පවසන දෙවියන්ව විශ්වාස කරන්න පුළුවන් ඇයි?
3. අපිට යෙහෝවාව 100%ක්ම විශ්වාස කරන්න පුළුවන් ඇයි?
3 ඔහු අපේ නිර්මාතෘ නිසා. මේ විශ්වයත් පොළොවත් ඒකේ ඉන්න හැම කෙනෙක්වමත් හැදුවේ ඔහුයි. (උත්. 1:1; ගීතා. 36:9; එළි. 4:11) ජීවය පවත්වගෙන යන්න ඕන කරන වාතය, වතුර වගේ හැම දෙයක්මත් නිර්මාණය කළේ ඔහුයි. හැම දේකම පාලකයාත් ඔහුයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතෙත් අපේ අනාගතයත් සියලු බලැති, ප්‍රඥාවන්ත දෙවියන්ට භාර දෙන්න අපි පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ.
4. යෙහෝවා අපිට ආදරෙයි කියලා අපි දන්නේ කොහොමද?
4 යෙහෝවා අපිට ආදරේ නිසා. යෙහෝවා මිනිස්සුන්ව නිර්මාණය කළේ ජීවිතේ කියන වටිනා තෑග්ග එයාලත් එක්ක බෙදාගන්න කැමති වුණ නිසයි. මිනිස්සුන්ව හදද්දී ඔහු ඔහුගේ පුතාට කිව්වා “අපි දැන් අපිට සමානකම් තියෙන විදිහට මිනිස්සුන්ව හදමු” කියලා. (උත්. 1:26) ඔහු මිනිස්සුන්ට තීරණ ගන්න නිදහස දුන්නා. එයාලා වෙනුවෙන්ම ලස්සන නිවහනක් හදලා දුන්නා. (ගීතා. 115:16) අපේ මුල් දෙමාපියන්ට නිවහනක් විදිහට දුන්න ලස්සන උයන පොළොව පුරාම ව්‍යාප්ත කරන පැවරුම ඔහු එයාලට දුන්නා. (උත්. 1:28; 2:15) ඇති තරම් කෑම, එක එක විදිහේ ගස් කොළන්, ලස්සන සත්තු ඔහු එයාලට දුන්නේ එයාලා සතුටින් ජීවත් වෙනවා දකින්න ඔහු කැමති වුණ නිසයි. යෙහෝවා කරපු ඒ හැම දේකින්ම පේනවා “ඔහු පෙන්වන ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ” කියලා.—ගීතා. 103:17.
5. (අ) ආදම් සහ ඒව අකීකරු වුණාම යෙහෝවා ඔහුගේ අරමුණ වෙනස් කළාද? (ආ) යෙහෝවා මේ වෙද්දීත් ඉටු කරලා තියෙන පොරොන්දු සමහරක් මොනවාද? (“යෙහෝවා මේ වෙද්දීත් ඉටු කරලා තියෙන පොරොන්දු” කියන කොටුව බලන්න.)
5 ඔහු කියන හැම දෙයක්ම ඔහු ඒ විදිහටම ඉටු කරන නිසා. යෙහෝවා “පොළොව හැදුවේ අරමුණක් ඇතුවයි. ඒක හැදුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්නයි.” (යෙසා. 45:18, 19) ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණාම එයාලට මරණය උරුම වුණා. බැලූ බැල්මට පේන්න තිබුණේ යෙහෝවාගේ අරමුණ කඩාකප්පල් වුණා වගේ. හැබැයි යෙහෝවාට බාධා කරන්න කාටවත් බැහැ. ඔහු කියන දේවල් ඔහු ඒ විදිහටම ඉටු කරනවා. (යෙසා. 46:10, 11) ධර්මිෂ්ඨ මිනිස්සුන්ගෙන් මුළු පොළොවම පුරවන්න ඔහුට තිබුණ අරමුණ වෙනස් වුණේ නැහැ. ඒ නිසයි ආදම් සහ ඒවට දරුවන්ව බිහි කරන්න යෙහෝවා ඉඩ දුන්නේ. එයාලාගෙන් පැවතෙන අයව පාපයෙන් නිදහස් කරලා එයාලට හැමදාටම ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහට ඔහු ඔහුගේ එකම පුතාව පූජාවක් විදිහට දුන්නා.—යොහ. 3:16.
සත්‍යය පවසන දෙවියන් පොරොන්දු ඉටු කරනවා
6. ආදම් සහ ඒව අකීකරු වුණාට පස්සේ මොනවා වෙනවා කියලද යෙහෝවා කිව්වේ?
6 ‘යක්ෂයා කියලත් සාතන් කියලත් හඳුන්වන මුල් සර්පයා’a තමයි යෙහෝවාට අකීකරු වෙන්න ආදම් සහ ඒවව පෙලඹුවේ. (එළි. 12:9; උත්. 3:4, 5; යොහ. 8:44) සාතන් කරපු ඒ දේ නිසා යෙහෝවා කිව්වා අන්තිමේදී එයාව විනාශ කරනවා කියලා. (උත්. 3:15) හැබැයි ඒ දේ වෙන්න කලින් හුඟක් අය සාතන්ගේ පස්සේ ගිහින් එයා වගේ වැඩ කරනවා. ඒ වුණත් තවත් අය යෙහෝවාට දිගටම විශ්වාසවන්තව ඉන්නවා.
7. සාතන්ගේ පස්සේ යන්නේ කවුද? අන්තිමේදී එයාලට මොකද වෙන්නේ?
7 දෙවියන්ට විරුද්ධව කැරලිගහපු දේවදූතයන් සහ දෙවියන්ට කීකරු වෙන්න අකමැති මිනිස්සු යන්නේ සාතන්ගේ පස්සේ. එයාලා දෙවියන්ගේ අරමුණට විරුද්ධව වැඩ කරන නිසා එයාලා සාතන්ගෙන් පැවතෙන අය කියලා කියන්න පුළුවන්. හැබැයි යෙහෝවා නියම කරලා තියෙන කාලේදී සාතන්වත් එයාගේ පස්සේ යන හැම කෙනෙක්වමත් විනාශ කරනවා.—දානි. 2:44; රෝම 16:20.
8. 1914දී යේසුස් කළේ මොකක්ද? (පින්තූරත් බලන්න.)
8 සාතන්වයි, එයාගේ පස්සේ යන දුෂ්ට අයවයි විනාශ කරනවා කියලා යෙහෝවා දුන්න පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි? 1914දී යේසුස් සාතනුයි, භූතයනුයි එක්ක යුද්ධ කරන්න පටන්ගත්තා. ඊටපස්සේ එයාලව පොළොවට දැම්මා. (එළි. 12:7-9) ඒ යුද්දේ වුණේ ස්වර්ගයේ වුණත් පොළොවේ ඉන්න අයටත් ඒකේ ප්‍රතිඵල විඳින්න වුණා. ඒ නිසයි බයිබලේ මෙහෙම කියන්නේ. “පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද යක්ෂයා ඔයාලා ළඟට බැහැලා ඇවිත් ඉන්නේ හරිම කේන්තියෙන්. එයා කේන්තියෙන් ඉන්නේ එයාට ඉතුරු වෙලා තියෙන්නේ හරිම ටික කාලයක් කියලා එයා දන්න නිසයි.” (එළි. 12:12) 1914 ඉඳන් සාතන් එයාගේ සම්පූර්ණ අවධානය දීලා තියෙන්නේ පොළොවට. ඒ නිසයි මේ ලෝකේ තත්වය එන්න එන්නම නරක අතට හැරිලා තියෙන්නේ. ඇත්තටම ‘පොළොව මුහුණ දීලා තියෙන්නේ දරුණු විපතකට!’ හැබැයි ළඟදීම යේසුස් ස්වර්ගයේදී පටන්ගත්ත යුද්දේ “සම්පූර්ණ ජයක් ලබාගන්නවා.” ඔහු සාතන්වයි, සාතන්ට සහය දෙන හැමෝවමයි අයින් කරලා දානවා. (එළි. 6:2) සාතන් යෙහෝවාගේ නමට කරපු අපහාස හැම එකක්ම බොරුයි කියලා යේසුස් ඔප්පු කරනවා. (ගීතා. 45:4-6) යෙහෝවා කියන්නේ සත්‍යය පවසන දෙවියන් කියලා එදාට හැම කෙනෙක්ම දැනගන්නවා.—එස. 38:23.
World War I: U.S. National Archives photo; bomb: USAF photo; pandemic: blvdone/stock.adobe.com; riot: inhauscreative/E+ via Getty Images
1914 ඉඳන් ලෝකේ තත්වය එන්න එන්නම දරුණු වෙලා (8 ඡේදය බලන්න)
සත්‍යයට ආදරේ කරන හැමෝවම එකතු කරනවා
9. මේ කාලේ යෙහෝවා කරන්නේ මොනවාද?
9 ඔය අතරේ යෙහෝවා ‘ස්වර්ගයේ සහ පොළොවේ තියෙන හැම දේම ආයෙත් එක්සත් කරලා එයාලව ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න සලස්වනවා.’ (එෆී. 1:10) ‘ස්වර්ගයේ තියෙන හැම දේම’ කියද්දී ඒකෙන් අදහස් කරන්නේ යේසුස් එක්ක ස්වර්ගයේ පාලනය කරන්න යෙහෝවා තෝරගෙන ඉන්න අභිෂේක ලත් අය. “පොළොවේ තියෙන හැම දේම” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ පාරාදීස පොළොවේ හැමදාටම ජීවත් වෙන අය. ඒ දෙගොල්ලන්ම අවංක හදවත් තියෙන අයට සාතන්ගේ බොරු හෙළි කරන්නත් යෙහෝවා ගැන සත්‍යය කියලා දෙන්නත් මහන්සි වෙනවා.
10. ආගම්වල උගන්නන බොරුවලින් යෙහෝවා මිනිස්සුන්ව නිදහස් කරලා තියෙන්නේ කොහොමද? (එළිදරව් 14:6, 7)
10 ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් වෙච්ච ශ්‍රේෂ්ඨතම දේශනා කිරීමේ වැඩේ මාර්ගයෙන් යෙහෝවා ඔහු ගැන සත්‍යය දැනගන්න කැමති මිනිස්සුන්ව හොයනවා. (එළිදරව් 14:6, 7 කියවන්න.) ශුභාරංචිය ගැන අනිත් අයට කියන්න යෙහෝවා මිනිස්සුන්ව පාවිච්චි කළත් අවංක හදවත් තියෙන අයව ක්‍රිස්තියානි සභාවට එකතු කරගන්න දේවදූතයනුත් එයාලට උදව් කරනවා. සියවස් ගාණක් තිස්සේ යෙහෝවා ගැන බොරු උගන්නන්න සාතන් පාවිච්චි කරලා තියෙන්නේ මහ බැබිලෝනියයි. මේ සාක්ෂි දැරීමේ කාර්යය නිසා එයාලාගේ බොරු හෙළි වෙනවා. (එළි. 18:2, 4) ළඟදීම බොරු ආගම් හැම එකක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. හැබැයි සත්‍යය පවසන දෙවියන්ට ආදරේ කරන හැමෝම ඔහු ලබන්න වටින ගෞරවය ඔහුට දෙනවා.—එළි. 17:16.
11. යෙහෝවාට ඇත්තටම නමස්කාර කරන අයව අඳුරගන්න අපිට පුළුවන් කොහොමද?
11 හැම ජාතියකම, හැම සංස්කෘතියකම ඉන්න, හැම පසුබිමකටම අයිති සත්‍යයට ආදරේ කරන අයව යෙහෝවා එකතු කරනවා. (එළි. 7:9, 10) “ශුභාරංචිය” අහන්න ලැබුණාම එයාලා ඉක්මනින්ම අඳුරගන්නවා මේ තමයි සත්‍යය කියලා. (මාක් 13:10) ඊටපස්සේ එයාලා හරිම ආසාවෙන් යෙහෝවාගේ සෙනඟට එකතු වෙනවා. කාලය යන්න යන්න ඇත්තටම යෙහෝවාට සේවේ කරන්නේ කවුද කියන දේ පැහැදිලිව පේනවා. මලාකි ඒ ගැන මෙහෙම කිව්වා. “ධර්මිෂ්ඨ කෙනෙක් සහ දුෂ්ට කෙනෙක් අතරෙත් දෙවියන්ට සේවය කරන සහ නොකරන කෙනෙක් අතරෙත් තියෙන වෙනස ඔයාලට ආයෙත් පැහැදිලිව දකින්න පුළුවන් වෙයි.” (මලා. 3:18) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලා හැසිරෙන විදිහෙන්, එයාලා කරන දේශනා සේවෙන් පැහැදිලිව පෙන්නනවා එයාලා නමස්කාර කරන්නේ සත්‍යය පවසන දෙවියන්ට කියලා.
12. යෙහෝවාගේ අරමුණ ඉටු කරන්න ශුභාරංචිය දේශනා කරන එක උදව් වෙලා තියෙන්නේ කොහොමද?
12 “රාජ්‍යය ගැන ශුභාරංචිය” දේශනා කරන එකෙන් අපි යේසුස් දුන්න ආඥාවට කීකරු වෙනවා විතරක් නෙවෙයි අනාවැකියක් ඉටු කරන්නත් හවුල් වෙනවා. (මතෙ. 24:14; 28:18-20) දේශනා සේවේ නිසා ලෝකේ පුරාම ඉන්න අයට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එයාලාගේ ආසාව සත්‍යය පවසන දෙවියන්ට සදහටම නමස්කාර කරන්නයි. ඒ විදිහට යෙහෝවාගේ අරමුණ ඉටු කරන්න හවුල් වෙන්න ලැබුණ එක අපිට කොච්චර ගෞරවයක්ද!
අනාගතය ගැන කිසිම සැකයක් නැහැ
13. සාතන් විශේෂයෙන්ම ඉලක්ක කරගෙන ඉන්නේ කාවද? ඒ ඇයි?
13 සාතන්ගේ ලෝකේ විනාශ වෙන්න “ඉතුරු වෙලා තියෙන්නේ හරිම ටික කාලයක්” කියලා දන්න නිසා එයා ඉන්නේ හරිම කේන්තියෙන්. (එළි. 12:12, 13) සාතන් පහර දෙන්න විශේෂයෙන්ම බලාගෙන ඉන්නේ ස්වර්ගයේ යේසුස් එක්ක පාලනය කරන්න යෙහෝවා අභිෂේක කරලා ඉන්න අයටයි. “දෙවියන්ගේ ආඥා පිළිපදින ඒ අයට තමයි යේසුස් ගැන සාක්ෂි දරන කාර්යය භාර දීලා තියෙන්නේ.” (එළි. 12:17; 14:12) එයාලටයි, එයාලට භාර දීලා තියෙන වැඩේටයි උදව් කරන හැමෝමත් සාතන්ගේ ඉලක්කයක්.
14. යෙහෝවාගේ සෙනඟට සාතන් පහර දෙද්දී වෙන්නේ මොනවාද? ( පින්තූරයත් බලන්න.)
14 මහ බැබිලෝනියේ විනාශයෙන් පස්සේ සාතන්ගේ නියෝජිතයන් යෙහෝවාගේ සෙනඟට පහර දෙන්න එනවා. ඒක තමයි අර්මගෙදොන් යුද්දෙට පාර කපන්නේ. (එළි. 16:13, 14, 16) යේසුස් ස්වර්ගයේ ඉන්න සේනාවත් එක්ක ඇවිත් යෙහෝවාට නමස්කාර කරන අයව බේරගෙන සාතන්ගේ ලෝකේ ඉතුරු වෙලා තියෙන හැම දේම විනාශ කරනවා. (එළි. 19:19-21) බොරු කියන, වංචා කරන, දුෂ්ටකම් කරන කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. (එළි. 21:8) යෙහෝවා හැම වෙලේම කරන්නේ හරි දේ කියලත් ඔහු කියන්නේ සත්‍යය කියලත් එදාට හැම කෙනෙක්ම දැනගන්නවා.
යේසුයි, ස්වර්ගයේ හමුදාවයි අර්මගෙදොන් යුද්දේදී දෙවියන්ගේ සතුරන්ව විනාශ කරන්න එනවා (14 ඡේදය බලන්න)
15. අපිට අනාගතේ දිහා විශ්වාසෙන් බලන් ඉන්න පුළුවන් ඇයි? (යෙසායා 65:16, 17) (පින්තූරයත් බලන්න.)
15 වෙන කවරදාකටත් වඩා අද මිනිස්සු ඉන්නේ බෙදිලා. හැබැයි යෙහෝවාගේ උදව් තියෙන නිසා ඔහුගේ සෙනඟ එක්සත්ව ඉන්නවා. සත්‍යයට ආදරේ කරන අයව යෙහෝවා දැනටමත් ඔහුගේ පවුලට එක් රැස් කරනවා. ඔහුගේ සෙනඟටවත් එයාලා කරන වැඩේටවත් ආශීර්වාද කරන එකෙන් යෙහෝවාව නවත්තන්න කාටවත් බැහැ. (යෙසායා 65:16, 17 කියවන්න.) අපිට අනාගතේ ගැන කිසිම බයක් නැහැ. මොකද රෝම 8:38, 39 පාවුල් මේ වගේ සහතිකයක් දීලා තියෙනවා. ‘මරණයටවත් මේ ජීවිතේටවත් දේවදූතයන්ටවත් ආණ්ඩුවලටවත් දැන් තියෙන දේවල්වලටවත් ඉස්සරහට එන්න තියෙන දේවල්වලටවත් කිසිම බලවේගයකටවත් උසකටවත් ගැඹුරකටවත් නිර්මාණය කරලා තියෙන වෙන කිසිම දේකටවත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවියන් පෙන්නන ආදරෙන් අපිව ඈත් කරන්න බැහැ.’
පාරාදීසේදී අද තියෙන ප්‍රශ්න අපේ මතකයටවත් එන්නේ නැහැ (15 ඡේදය බලන්න)
16. ඔයාගේ මුළු හදවතින්ම ඔයා යෙහෝවාව විශ්වාස කරන්නේ ඇයි?
16 සත්‍යය පවසන දෙවියන් වන යෙහෝවාව විශ්වාස කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. ඔහු තමයි අපේ නිර්මාණකරු. ඔහු අපිට ගොඩක් ආදරෙයි. හැම ජාතියකටම අයිති මිනිස්සු යෙහෝවාට නමස්කාර කරන්න වැල නොකැඩී එන නිසා මහත් සමූහයේ ගාණ එන්න එන්නම වැඩි වෙනවා. (යෙසා. 60:22; සෙක. 8:23) යෙහෝවා ඔහුගේ පොරොන්දු හැම වෙලේම ඉටු කරනවා කියලත් සාතන්ව ළඟදීම විනාශ කරනවා කියලත් අපි දන්නවා. සාතන්ගේ විනාශයත් එක්කම මේ ලෝකය බොරුවෙන්, වංචාවෙන් නිදහස් වෙනවා. එදාට අපිටත් පුළුවන් දාවිත් වගේ මෙහෙම කියන්න. “දෙවි යෙහෝවාට ප්‍රශංසා වේවා! පුදුමසහගත දේවල් කරන එකම තැනැත්තා ඔහුයි. ඔහුගේ ශ්‍රේෂ්ඨ නම සදාකාලයටම ගෞරවයට පත් වේවා! ඔහුගේ තේජසින් මුළු පොළොවම පිරී ඉතිරේවා!”—ගීතා. 72:18, 19.
ගීතිකාව 2 යෙහෝවා, ඒ ඔබේ නාමයයි
a ඒ දුෂ්ට දේවදූතයාගේ පෞද්ගලික නම බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාව විස්තර කරලා තියෙන්නේ “යක්ෂයා” [අපහාස කරන්නා] සහ “සාතන්” [විරුද්ධකාරයා] විදිහටයි.