ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 අප්‍රියෙල් 14-19 පි.
  • දුෂ්කරතා දිහා හරි විදිහට බලන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුෂ්කරතා දිහා හරි විදිහට බලන්න
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න දිහා බලන්න ඕනෙ හරි විදිහ
  • හරි විදිහට බැලුවේ නැත්නම් . . .
  • අපිට කරන්න පුළුවන් දේවල්
  • ඔබ දුක් විඳින්නේ දෙවිගෙන් ලද දඬුවමක් නිසාද?
    2009 පිබිදෙව්!
  • යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාගේ උදව්වෙන් විඳදරාගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 අප්‍රියෙල් 14-19 පි.

2026 ජූනි 15-21

ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු

දුෂ්කරතා දිහා හරි විදිහට බලන්න

“දුක් වේදනා, දුෂ්කරතා අද්දැක්කත් ඔබේ ආඥාවලට මම දිගටම ඇලුම් කරනවා.”—ගීතා. 119:143.

ලිපියේ අරමුණ

දුෂ්කරතා දිහා හරි විදිහට බැලුවොත් ඒවාට හොඳින් මූණ දෙන්න අපිට පුළුවන්.

1-2. ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

මේ වෙද්දී ඔයා අසාධාරණයකට, පවුලෙන් එන විරුද්ධවාදිකමකට, විශ්වාසේ නිසා එන පීඩනයකට මූණ දෙනවාද? අසනීපයක් එක්ක ඔට්ටු වෙනවාද? මහලු වයසත් එක්ක එන අමාරුකම් දරාගන්නවාද? හීනෙකින්වත් හිතපු නැති වේදනාකාරී දේකට ඔයා මූණ දීලාද ඉන්නේ? ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක්ගේ වියෝව ඔයාට දරාගන්න වෙලා තියෙනවාද? එහෙමනම් යෙහෝවා වටිනවා කියලා සලකන ඔහුගේ සේවකයන් හුඟදෙනෙක්ගේ වගේ ඔයාගේ ජීවිතෙත් “දුක් කරදරවලින් පිරිලා” ඇති.—ගීතා. 90:10.

2 අපිට එන ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න නම් අපි ඒවා දිහා හරි විදිහට බලන්න ඕනේ. හිතන්න, ඔයා මූණ දෙන ප්‍රශ්නත් හරියට වාහනයක් එළවගෙන යද්දී ඔයාගේ ඉස්සරහට එන බාධා වගේ කියලා. එන බාධාවට අනුව ඔයාට වාහනේ වමට නැත්නම් දකුණට හරවන්න වෙයි. සමහරවිට වේගය අඩු කරන්න වෙයි. එහෙමත් නැත්නම් ටික වෙලාවකට වාහනේ නවත්තන්න වෙයි. ඒ වෙලාවට කරන්න ඕනෙ මොකක්ද කියලා තේරුම්ගන්න නම් ඔයා මුලින්ම බාධාව අඳුරගන්න ඕනේ. හැබැයි වාහනේ වීදුරුව ජරා වෙලා නම් බාධාව මොකක්ද කියලා පේන්නේ නැහැ. දුෂ්කරතා එද්දීත් ඒ දිහා යෙහෝවා බලන විදිහට බලන්න අපිට බැරි වුණොත් ඒක දරාගන්න කරන්න ඕනෙ මොකක්ද කියලා තේරුම්ගන්න අපිට බැරි වෙයි. ඒකට මේ පැති තුන ගැන බලන එක අපිට උදව් වෙනවා. (1) ප්‍රශ්න දිහා අපි බලන්න ඕනෙ හරි විදිහ මොකක්ද? (2) හරි විදිහට බැලුවේ නැත්නම් ඒකෙන් වෙන්න පුළුවන් හානිය මොකක්ද? (3) අපි ප්‍රශ්නෙක ඉද්දී දිගටම ඒක දිහා හරි විදිහට බලන්න අපි කරන්න ඕනෙ මොනවාද?

වීදුරුව ජරා වෙලා තියෙන වාහනයක් එළවගෙන යන කෙනෙක් එකපාරටම එයා ඉස්සරහා තියෙන බාධකයක් දැකලා කලබල වෙනවා.

දුෂ්කරතා දිහා අපි හරි විදිහට බලනවා නම් ඒවා දරාගන්න ලේසියි (2 ඡේදය බලන්න)


ප්‍රශ්න දිහා බලන්න ඕනෙ හරි විදිහ

3. මේ දුෂ්ට සමාජයේ අපි ගත කරන ජීවිතේ ගැන අපි තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

3 මේ දුෂ්ට සමාජයේ ප්‍රශ්න නැති ජීවිතයක් අපිට ලැබෙන්නේ නැහැ. අපිට පාපය උරුම වෙලා තියෙන තාක් කල්, සාතන් මේ ලෝකේ පාලනය කරන තාක් කල් අපිට ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවාමයි. මේ දුෂ්ට සමාජයේ අවසානයට ළං වෙන්න වෙන්න අපේ ජීවිත තවත් අමාරු වෙයි. ඒ, ස්වාභාවික විපත් නිසා නැත්නම් දුෂ්ට මිනිස්සු කරන දේවල් නිසා වෙන්න පුළුවන්. (මතෙ. 24:8; 2 තිමෝ. 3:13) යෙහෝවා දැන් මේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා ඒවා විසඳන්න ගියොත් ඒක හරියට ඔහු සාතන්ට මේ ලෝකේ පාලනය කරන්න උදව් කරනවා වගේ. ඒ නිසා මේ සමාජය තියෙන කල් අපි කාටවත් බැහැ ‘විපත්ති’ නැති ජීවිතයක් බලාපොරොත්තු වෙන්න.—දේශ. 9:12.

4. අපි දුක් විඳින්නේ තව මොන හේතුව නිසාද?

4 අපි යේසුස්ගේ අනුගාමිකයන් නිසා අපිට ප්‍රශ්න එනවා. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා එයාලා දෙවියන්ට කීකරු වෙන නිසා එයාලට විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න වෙනවා කියලා. (මතෙ. 24:9; යොහ. 16:2) ඒක දැනන් ඉන්න එක අපිට උදව් වෙනවා පීඩා එද්දී අපේ විශ්වාසේ හෙල්ලෙන්න නොදී තියාගන්න. (1 තෙස. 3:3, 4) පීඩා විශ්වාසවන්තව දරාගද්දී අපිට ස්ථිර වෙන්න පුළුවන් අපි ඉන්නේ ජීවනයට යන පාරේ කියලා. යෙහෝවායි, සාතනුයි අතරේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේදී අපි ඉන්නේ කාගේ පැත්තේද කියලත් අපි ඒකෙන් පෙන්නනවා. යෙහෝවාගේ නමට විරුද්ධව කතා කරපු අවස්ථාවේ සාතන් කිව්වා මිනිස්සු දෙවියන්ට නමස්කාර කරන්නේ දෙවියන් දේවල් දෙන නිසා කියලා. ඒක ඇත්තයි කියලා ඔප්පු කරන්න සාතන් යෙහෝවාගේ සෙනඟට හරිම දරුණු විදිහට පීඩා කරනවා. (යෝබ් 1:9-11) යෙහෝවාට තියෙන ආදරේ නිසා අපි ඒවා විඳදරාගද්දී යෙහෝවාගේ හිත ගොඩක් සතුටු වෙනවා.—හිතෝ. 27:11.

5. දේශනාකාරයා 7:13, 14 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (පින්තූරත් බලන්න.)

5 දුෂ්කර දේවලට යෙහෝවා ඉඩහැරලා තියෙනවා. යෙහෝවා කවදාවත් නපුරු දේවල් කරන්නෙවත් නපුරු දේවල් කරලා අපිව පරීක්ෂා කරන්නෙවත් නැහැ. (යාකො. 1:13) හැබැයි සැබෑ දෙවියන් කරලා තියෙන දේවල් ගැන කතා කරද්දී සලමොන් කිව්වා ‘ඔහු දුක් කරදර අද්දකින්න ඉඩහරිනවා’ කියලා. (දේශනාකාරයා 7:13, 14 කියවන්න.) සලමොන් කියන්නේ ‘දෙවියන් දුක් කරදර අද්දකින්න ඉඩහරිනවා’ කියලා මිසක් දුක් කරදර ගේනවා කියලා නෙවෙයි. ප්‍රශ්න දිහා හරි විදිහට බලන්න අපිට උදව් වෙන පැති දෙකක් සලමොන් එතන පෙන්නලා දෙනවා. (1) මේ දුෂ්ට සමාජයේ ජීවත් වෙන අපිට කරදර නැති දවස් වගේම කරදර තියෙන දවසුත් තියෙනවා. ඉතින් අද කරදර නැති දවසක් නම් අපිට පුළුවන් ඒ ගැන යෙහෝවාට ස්තුති කරන්න. මොකද අපිට හැම හොඳ තෑග්ගක්ම ලැබෙන්නේ ඔහුගෙන්. (2) සලමොන් අපිට මතක් කරනවා අනාගතයේදී වෙන දේ මිනිස්සුන්ට දැනගන්න බැහැ කියලා. අද කරදර නැති දවසක් වෙයිද, කරදර තියෙන දවසක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම හොඳ අයට වුණත් නරක අයට වුණත් බලාපොරොත්තු නොවෙන විදිහේ කරදරවලට මූණ දෙන්න වෙනවා.

පින්තූරවල අදහස: කෙනෙක් හොඳ දවසකට වගේම නරක දවසකට මූණ දෙනවා. 1. එයා හරිම සතුටින් එයාගේ වත්තෙන් හොඳ සරු තක්කාලි කඩාගන්නවා. 2. තවත් දවසක, මැලවිලා ගිය ගස්වල තියෙන නරක් වුණ තක්කාලි දිහා එයා දුකෙන් බලාගෙන ඉන්නවා.

සාතන්ගේ මේ දුෂ්ට සමාජයේ අපිට කරදර නැති දවස් වගේම කරදර තියෙන දවසුත් තියෙනවා කියලා අපි තේරුම්ගන්න ඕනේ (5 ඡේදය බලන්න)


6. අපිට පීඩාවලට මූණ දෙන්න යෙහෝවා ඉඩහරින්නේ මොන හේතු නිසාද? (හෙබ්‍රෙව් 12:7, 11)

6 ප්‍රශ්න දිහා හරි විදිහට බලනවා නම් අපි තේරුම්ගන්නවා අපි, අපි මත නෙවෙයි යෙහෝවා මත රැඳිලා ඉන්න ඕනෙ කියන දේ ඔහු අපිට උගන්නනවා කියලා. යෙහෝවා අපි මූණ දෙන හැම ප්‍රශ්නයක්ම දකිනවා. ඒවා නිසා අපි විඳින වේදනාව ඔහුට දැනෙනවා. “අඳුරු නිම්නයක් මැදින්” යන්න ඔහු අපිට ඉඩහැරියත් ඔහු දිගටම අපිට මඟ පෙන්නනවා, අපිට ආදරේ පෙන්නනවා, පීඩා දරාගන්න අපිට ශක්තිය දෙනවා. (ගීතා. 23:4) අපිට තියෙන දුර්වලකම් අඳුරගෙන යෙහෝවාගේ උදව්වෙන් ඒවා හදාගන්නත් ප්‍රශ්න අපිට උදව් වෙනවා. (හෙබ්‍රෙව් 12:7, 11 කියවන්න.) උදාහරණෙකට යෝබ් ගැන හිතන්න. එයා තව වැඩියෙන් නිහතමානී වෙන්න ඕනෙ වුණා. එයාට පීඩා ගෙනාවේ යෙහෝවා නෙවෙයි. ඒත් ඒකට ඉඩහැරලා ගොඩක් වටින පාඩම් ඉගෙනගන්න යෙහෝවා යෝබ්ට අවස්ථාව දුන්නා. (යෝබ් 42:1-6) අපිත් අද මොන පීඩාවට මූණ දුන්නත් අපි දන්නවා අපිට සදහටම හානියක් වෙන්න යෙහෝවා කවදාවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි පීඩා විශ්වාසවන්තව විඳදරාගද්දී දවසක ඔහු අපිට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.—රෝම 8:35-39.

7. විශ්වාසේ නිසා විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න වුණත් ඔයාට සතුටින් ඉන්න පුළුවන් ඇයි?

7 විරුද්ධවාදිකම් මැදත් අපිට සතුටින් ඉන්න පුළුවන්. විශ්වාසේ නිසා ඔයා විරුද්ධවාදිකම්වලට මූණ දෙනවා නම් එහෙම වෙන්නේ යෙහෝවාගේ ආශීර්වාදය නැති නිසා කියලා හිතන්න එපා. ඇත්තටම ඒකෙන් පේනවා යෙහෝවා ඔයා ගැන සතුටු වෙනවා කියලා. (මතෙ. 5:10-12) ඔයා ඒ දිහා හරි විදිහට බැලුවොත් ඔයාටත් පුළුවන් යේසුස්ගේ නියෝජිතයන් වගේ පීඩා එද්දී ඒක සතුටක් විදිහට සලකන්න. ඒ වගේම ඔයා ගැන අඩුවෙන් හිතන්නේ නැතුව හොඳ හැඟීමක් ඇතුව ඉන්නත් ඒක උදව් වෙනවා. (ක්‍රියා 5:40-42) ඔයා පීඩා මැද විශ්වාසවන්තව ඉද්දී අනිත් අය යෙහෝවා ගැන ඉගෙනගෙන ඔහුව “ගෞරවයට” පත් කරන්න වුණත් පෙලඹෙයි. (1 පේතෘ. 2:12) යෝසෙප් ගැන හිතන්න. යෙහෝවා එයාට උදව් කළේ හිරෙන් නිදහස් වුණාම නෙවෙයි හිරේ ඉද්දිමයි. ඔයා ප්‍රශ්නෙක ඉද්දීත් යෙහෝවා ඒ දේම කරනවා.—උත්. 39:3, 23.

8. ප්‍රශ්න දරාගන්න උදව් වෙන තව දෙයක් මොකක්ද?

8 අපි මූණ දෙන දුෂ්කරතා දවසක අවසන් වෙනවා. යෝබ්ගේ කතාවෙන් අපිට පේනවා අපේ ප්‍රශ්න කවදා හරි ඉවර වෙනවා කියලා. ඒක මේ සමාජයේදී වෙන්නත් පුළුවන්. එහෙම වුණේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම පාරාදීසයේදී වෙනවා. ඇත්තටම “යෙහෝවා දෙවියන් මුලින් ආශීර්වාද කළාටත් වඩා වැඩියෙන් යෝබ්ට ආශීර්වාද කළා.” (යෝබ් 42:12) යෙහෝවා පාරාදීසේදී අපිටත් හිතාගන්න බැරි විදිහට ආශීර්වාද කරනවා. දැන් අපේ ජීවිත කරදරවලින් පිරිලා තිබුණත් එදාට අපිට ලැබෙන ජීවිතෙත් එක්ක බලද්දී අපිට මේ දුක් කරදර විඳින්න වෙන්නේ හරිම ටික කාලෙකට විතරයි. ඒක දැනන් ඉන්න එක පීඩා විඳදරාගන්න අපිට කොච්චර ශක්තියක්ද!—මතෙ. 24:13.

හරි විදිහට බැලුවේ නැත්නම් . . .

9. ප්‍රශ්න දිහා හරි විදිහට බැලුවේ නැත්නම් මොන වගේ හානියක් වෙන්න පුළුවන්ද?

9 අපි ප්‍රශ්න දිහා හරි විදිහට බැලුවේ නැත්නම් ඒවා දරාගන්න අපිට තවත් අමාරු වෙයි. සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ඒ ප්‍රශ්න අපිට ගේන්නේ යෙහෝවා කියලා. පීඩාවලට මූණ දීපු මුල් කාලේ යෝබ් හිතුවෙත් ඒවා එයාට ගෙනාවේ යෙහෝවා කියලා. ඒ නිසා “දෙවියන් හරියි කියලා ඔප්පු කරනවා වෙනුවට යෝබ් තමන් හරියි කියලා ඔප්පු කරන්න හැදුවා.” (යෝබ් 32:2) මුලදී නායොමිත් කිව්වා එයා දුක් විඳින්නේ යෙහෝවා නිසයි කියලා. (රූත් 1:13, 20, 21) ඒ දෙන්නා දිගටම එහෙම හිතුවා නම් යෙහෝවාත් එක්ක එයාලට තියෙන බැඳීමට හානියක් වෙන්න ඉඩ තිබුණා. (හිතෝ. 19:3) හැබැයි ප්‍රශ්න දිහා හරි විදිහට බලන්න යෙහෝවා එයාලට උදව් කළා. එයාලා දිගටම විශ්වාසවන්තව හිටපු නිසා යෙහෝවා එයාලට ආශීර්වාද කළා.

10. දුෂ්කරතා අද්දකිද්දී අපිට කොහොම හිතෙන්න පුළුවන්ද?

10 දුෂ්කරතා අද්දකිද්දී ඒවා ගේන්නේ යෙහෝවා කියලා අපිට හිතුණේ නැතත් සමහරවිට අපිට හිතෙයි ‘යෙහෝවා මට ආදරෙයිද, යෙහෝවාට මං ගැන ගාණක් නැද්ද’ කියලා. ඒ වගේ සිතුවිලි නිසා ප්‍රශ්නවලට මූණ දෙන්න අපිට ශක්තියක් නැති වෙයි. (හිතෝ. 24:10) දාවිත් සහ හබක්කුක් ගොඩක් අමාරු දේවලට මූණ දුන්නා. සමහර වෙලාවට එයාලට හිතුණා උදව් ඉල්ලලා එයාලා කරන යාච්ඤාවලට යෙහෝවා ඇහුම්කන් දෙනවාද කියලා. (ගීතා. 10:1; හබ. 1:2) හැබැයි එයාලා යෙහෝවාට යාච්ඤා කරන එක නැවැත්තුවේ නැහැ. යෙහෝවා එයාලාගේ යාච්ඤාවලට ඇහුම්කන් දීලා දිගටම එයාලට උදව් කළා. යෙහෝවා ඒ දේම ඔයාටත් කරනවා.—ගීතා. 10:17.

11. ප්‍රශ්න දිහා හරි විදිහට බැලුවේ නැත්නම් මොකක් වෙන්න පුළුවන්ද?

11 අපි ප්‍රශ්න දිහා හරි විදිහට බැලුවේ නැත්නම් ඒවා එද්දී අපිට පුදුම හිතෙයි. අපි හිතයි මේ වගේ දේවල් අපිට වෙන්න බැහැ කියලා. (1 පේතෘ. 4:12) තමන්ට දුක් විඳලා මැරෙන්න වෙනවා කියලා යේසුස් කියද්දී ගෝලයෝ ඒක විශ්වාස කළේ නැහැ. (ලූක් 18:33, 34) උදාහරණෙකට ඒ ගැන යේසුස් කොච්චර පැහැදිලිව කියලා තිබුණත් පේතෘස් හිතුවා දෙවියන් එහෙම දෙයක් වෙන්න ඉඩහරින එකක් නැහැ කියලා. හැබැයි යේසුස් දැනන් හිටියා එහෙම හිතන එක දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔහුට බාධාවක් කියලා. ඒ නිසා ඔහු පේතෘස්ව නිවැරදි කළා. (මාක් 8:31-33) යේසුස් මැරුණාට පස්සෙත් ගෝලයන්ට තේරුම්ගන්න බැරි වුණා ඇයි ඔහුට ඒ වගේ දෙයක් වුණේ කියලා. හැබැයි යේසුස් එයාලා ගැන තිබුණ බලාපොරොත්තු අත්හැරියේ නැහැ. නැවත නැඟිට්ටාට පස්සේ ඔහු ‘ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල්’ පාවිච්චි කරලා එයාලට පැහැදිලි කළා ඇයි ඔහු ඒ විදිහට දුක් විඳලා මැරුණේ කියලා. (ලූක් 24:25-27, 32, 44-48) යේසුස් උගන්නපු ඒ දේවල් ගැන හොඳට හිතන එක ගෝලයන්ට උදව් වුණා ඉස්සරහට එන විරුද්ධවාදිකම්වලට ලෑස්ති වෙන්න. අපිත් දුෂ්කරතා ගැන, පීඩා ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා හොඳට හිතුවොත් ඒවා එද්දී පුදුම වෙන්නේ නැහැ.

12. අපි ඉන්න තත්වේ දිහා හරි විදිහට බැලුවේ නැත්නම් අපිට කොහොම දැනෙන්න පුළුවන්ද?

12 අපි ඉන්න තත්වේ දිහා අපි හරි විදිහට බැලුවේ නැත්නම් සමහරවිට අපිට හිතෙන්න පුළුවන් අපිට අසාධාරණයක් වෙනවා කියලා. ඒක තේරුම්ගන්න මිදිවත්තක වැඩ කරපු සේවකයන් ගැන යේසුස් කියපු උදාහරණේ ගැන බලන්න. සමහර සේවකයන් ලැබුණ කුලිය අසාධාරණයි කියලා හිතලා කන්කෙඳිරි ගෑවා. හැබැයි ස්වාමියා කිව්වා ‘මං ඔයාලට කිසිම අසාධාරණයක් කළේ නැහැ’ කියලා. (මතෙ. 20:10-13) එයාලා කන්කෙඳිරි ගෑවේ ඇත්තටම එයාලට අසාධාරණයක් වුණ නිසා නෙවෙයි එයාලට ලැබෙන්න අයිතියක් නැති දෙයක් ගැන එයාලා බලාපොරොත්තු වුණ නිසයි. එයාලා හිටපු තත්වේ දිහා එයාලා හරි විදිහට බැලුවේ නැහැ. අදත් දෙවියන්ගේ සෙනඟ අතරේ ඉන්න සමහරුන්ට පැවරුමක් නැති වෙද්දී, එයාලා ආසාවෙන් ඉන්න පැවරුමක් ලැබුණේ නැති වෙද්දී එයාලට වුණේ අසාධාරණයක් කියලා හිතෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් අපිට කරන්න පුළුවන් මොනවාද?

අපිට කරන්න පුළුවන් දේවල්

13. දුෂ්කරතා එද්දී මොකක් වෙන්න පුළුවන්ද?

13 දුෂ්කරතා ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා ඔයා දන්නවා ඇති. සමහරවිට අනිත් අය ඒවාට මූණ දෙද්දී ඔයා එයාලට සහනයක් වෙන්න ඒවා එයාලත් එක්ක බෙදාගන්නවත් ඇති. හැබැයි ඔයා පෞද්ගලිකව දුෂ්කර දේකට මූණ දෙද්දී ඒක දිහා යෙහෝවා බලන විදිහට බලන්න ඔයාට අමාරු වෙන්න පුළුවන්. උදාහරණෙකට යෙහෝවා ඔයාට දඬුවම් කරනවා කියලත් ඔහු ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලත් ඔයාට හිතෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ප්‍රශ්න දිහා හරි විදිහට බලන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

14. දුෂ්කරතාවලට මූණ දෙද්දී ඔයාට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද? (ෆිලිප්පි 4:13)

14 යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. ඔයා මූණ දෙන අමාරු දේ මොකක්ද කියලත් ඒ නිසා ඔයාට දැනෙන්නේ කොහොමද කියලත් යෙහෝවාට කියන්න. ඔයා ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ උදව්වක්ද කියලා නිශ්චිතවම ඔහුට කියන්න. ඔහුගෙන් බලය ඉල්ලන්න. මොකද ඒ බලයට පුළුවන් ඕනෙම දෙයක් දරාගන්න ඔයාට ඕනෙ කරන ශක්තිය වගේම ප්‍රඥාව දෙන්න. හැබැයි මතක තියාගන්න ඔයා බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් විදිහේ උත්තරයක් යෙහෝවා ඔයාට දෙන්න පුළුවන්. (එෆී. 3:20) සමහරවිට ඔහු දේවදූතයන් මාර්ගයෙන් නැත්නම් සහෝදර සහෝදරියන් මාර්ගයෙන් ඔයාට ඕනෙ කරන උදව් දෙයි. (ගීතා. 34:7) ඔහු ඒ මොන විදිහට උදව්ව දුන්නත් ඒක පිළිගන්න. ඔයා මූණ දෙන ප්‍රශ්නේ කොච්චර අමාරු එකක් වුණත් ඒක දරාගන්න ඕනෙ කරන බලය ඔයාට දෙන්න යෙහෝවාට පුළුවන්.—ෆිලිප්පි 4:13 කියවන්න.

15. දුෂ්කරතා දරාගන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

15 යෙහෝවාත් එක්ක තියෙන බැඳීම රැකගන්න උදව් වෙන දේවල් දිගටම කරන්න. ඔයා අමාරු දේකට මූණ දෙද්දී කලින් කළා වගේම ඒ දේවල් කරන්න බැරි වෙයි. හැබැයි “දුක් වේදනා, දුෂ්කරතා අද්දකිද්දී” තමයි ඔයා කලින්ටත් වඩා වැඩියෙන් ඔයාගේ මනස යෙහෝවාගේ සිතුවිලිවලින් පුරවගන්න ඕනේ. (ගීතා. 119:143) ඒ නිසා වරද්දන්නේ නැතුව බයිබලේ කියවන්න. ඒක අධ්‍යයනය කරලා ඒ ගැන හිතන්න කාලේ ගන්න. ඔයාට පුළුවන් උපරිමයෙන් සේවේ හවුල් වෙන්න. රැස්වීම්වලට ගිහින් ඒවාට සහභාගි වෙන්න. සහෝදර සහෝදරියන් එක්ක කිට්ටුවෙන් ඉන්න. තනියම ඉන්න ඕනෙ කියලා හිතෙන වෙලාවල් තියෙයි. හැබැයි ඕනෑවට වඩා එහෙම ඉන්න එපා.—හිතෝ. 18:1.

ඉස්පිරිතාලේ ඇඳේ ඉන්න සහෝදරයෙක් වීඩියෝ කොන්ෆරන්ස් හරහා “මුරටැඹ” සාකච්ඡාවට හවුල් වෙනවා. එයා එයාගේ “මුරටැඹ” සඟරාවයි, බයිබලෙයි ළඟ තියාගෙන රැස්වීමට ඇහුම්කන් දෙනවා.

යෙහෝවාත් එක්ක තියෙන බැඳීම රැකගන්න ඔයාට කරන්න පුළුවන් දේ කරන්න (15 ඡේදය බලන්න)


16. අමාරු දේකට මූණ දෙද්දී මොන වගේ සැකයන් ඔයාගේ මනසට එන්න පුළුවන්ද? ඒවා නැති කරගන්න පුළුවන් කොහොමද? (2 කොරින්ති 10:4, 5)

16 හිතට එන සැකයන් නැති කරගන්න. ඔයා අමාරු දේකට මූණ දෙද්දී ඔයාට ඔයා ගැන, යෙහෝවා ගැන එක එක සැකයන් එන්න පුළුවන්. ඒවා හරියට ‘ශක්තිමත් බලකොටු වගේ.’ (2 කොරින්ති 10:4, 5 කියවන්න.) හැබැයි බයිබලෙයි, අපේ ප්‍රකාශනවලයි තියෙන “දෙවියන් ගැන දැනුමට” පුළුවන් ඒ සැකයන් බිඳලා දාන්න. උදාහරණෙකට යෙහෝවා ඔයා ගැන සතුටු වෙනවා කියලා ඔයාට සැකයිද? එහෙමනම් පාවුල් ගැන අධ්‍යයනය කරන්න. පාවුල් ගොඩක් අමාරුකම්වලට මූණ දුන්නත් එයාට පුළුවන් වුණා දිගටම සේවේ කරන්න. යෙහෝවායි, යේසුයි එයා ගැන සතුටු වෙනවා කියලා ඒකෙන් එයාට ස්ථිර වුණා. (2 කොරි. 11:23-27) ඔයා අතීතයේ කරපු වැරදිවලට යෙහෝවා ඇත්තටම සමාව දීලාද තියෙන්නේ කියලා ඔයාට සැකයිද? එහෙමනම් යෙහෝවා සමාව දෙනවා කියලා පෙන්නන බයිබල් පදවල ලිස්ට් එකක් හදාගන්න. (යෙසා. 43:25) ඒවා කියවලා ඒවා ගැන හොඳට හිතන්න. (ගීතා. 119:97) ඔයා ආදරේ කරන කෙනෙක් හරි ඔයා හරි විපතකට මූණ දීලා නම් ඉන්නේ යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව ඇත්තටම ආරක්ෂා කරනවාද කියලා ඔයාට සැකයිද? එහෙමනම් යෙහෝවා දුක් කරදරවලට ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලත් මොන දේට මූණ දුන්නත් ඔහුත් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ කියලත් පෙන්නන තොරතුරු අධ්‍යයනය කරන්න. (ගීතා. 91:9-12) දුෂ්කර දේවල් මැද්දෙන් විශ්වාසවන්තව ගිය සහෝදර සහෝදරියන්ගේ ආදර්ශ ගැනත් ඔයාට අධ්‍යයනය කරන්න පුළුවන්.a

17. අමාරු දේක ඉද්දී අපි කරන්න ඕනෙ මොකක්ද?

17 ඔයා දැන් මේ ගෙවන්නේ කරදර නැති දවසක්ද? එහෙමනම් ඔයාට යහපත් දේවල් දුන්න එක ගැන යෙහෝවාට ස්තුති කරන්න. (දේශ. 7:14) හැබැයි දුක් කරදර ආපු දවසට ඒ දිහා යෙහෝවා බලන විදිහට බලන්න. ඔහු ගැන තියෙන විශ්වාසේ දිගටම ශක්තිමත්ව තියාගන්න. එතකොට ‘ඒක දරාගන්න පුළුවන් වෙන්න යෙහෝවා ඔයාට උදව් කරනවා.’ (1 කොරි. 10:13) එතකොට දුෂ්කරතාවලට මූණ දෙන අපේ සහෝදර සහෝදරියන්? එයාලට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ඔයාගේ අදහස මොකක්ද?

  • අපි දුෂ්කරතා දිහා බලන්න ඕනෙ කොහොමද?

  • දුෂ්කරතා දිහා හරි විදිහට බැලුවේ නැත්නම් ඒක අපිට හානියක් වෙන්නේ කොහොමද?

  • අමාරු දේකට මූණ දෙද්දී අපිට කරන්න පුළුවන් මොනවාද?

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

a සහෝදර ඩේවිඩ් මේසා සහ එයාගේ පවුලේ අය පුතාගේ මරණය දරාගත්තේ කොහොමද කියලා දැනගන්න jw.org එකේ “දුක සැප එක සේ විඳගත් අපි අද සතුටින්” කියන ජීවිත කතාව කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න