ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 අප්‍රියෙල් 2-7 පි.
  • පොඩි කාලේ ඉඳන්ම යෙහෝවා මාව පුහුණු කරා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොඩි කාලේ ඉඳන්ම යෙහෝවා මාව පුහුණු කරා
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පුහුණුව දිගටම
  • පුරෝගාමි සේවෙන් ලොකු සතුටක්
  • සෙනගාලයේ සේවේ
  • නිව් බ්‍රන්ස්වික්වල සහ ක්විබෙක්වල සේවේ
  • විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ව අදටත් මතකයි
  • විශ්වාසවන්ත සහෝදරයන්ගෙන් පාඩම්
  • එක්සත් ජනපදයට
  • ආදර්ශවත් අයගෙන් ඉගෙනගත්ත නිසා මං ආශීර්වාද ලැබුවා
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අවංක සැලකිල්ල නිසා ආශීර්වාද රැසක්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ සේවකයන්ව පුහුණු කරයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • හරි තීරණ ගත් නිසා ජීවිත කාලය පුරා සන්තෝෂයෙන්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 අප්‍රියෙල් 2-7 පි.
සහෝදර ඩේවිඩ් ස්ප්ලේන් එයාගේ මේසේ ඉඳන් වැඩ කරනවා.

ජීවිත කතාව

පොඩි කාලේ ඉඳන්ම යෙහෝවා මාව පුහුණු කරා

ඩේවිඩ් ස්ප්ලේන්

සහෝදරයෙක් පොඩි කොළයක් ගෙනල්ලා මගේ අතට දුන්නා. ඒකේ ලියලා තිබ්බා “ඩේවිඩ් ස්ප්ලේන්, 1953 අප්‍රියෙල් 8: අර්මගෙදොන් ගැන දේශනා කරන්න” කියලා. “මොකක්ද මේ” කියලා මං ඇහුවා. එතකොට එයා කිව්වා “ඕක තමයි සේවා පාසැලේa ඔයාට දෙන්න තියෙන දේශනය” කියලා. “මං කවද්ද පාසැලට ඇතුල් වුණේ” කියලා මං එයාගෙන් ඇහුවා.

මං කතාව පටන්ගත්තේ මැද්දෙන්නේ. ඉන්නකෝ මං මුල ඉඳන්ම කියන්න. මං ඉපදුණේ කැනඩාවේ කැල්ගරිවල. ඒ දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේ. 1940 ගණන්වල අන්තිම හරියේ තරුණ සහෝදරයෙක් වුණ ඩොනල්ඩ් ෆ්‍රේසර් අපේ ගෙදරට තට්ටු කරා. අම්මා බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න එයා ගොඩක් ආස කරා. හැබැයි එයා හිටියේ අසනීපෙන් නිසා දිගටම රැස්වීම් යන්න එයාට බැරි වුණා. ඒත් අම්මා පුළුවන් විදිහට දේවල් කරලා 1950දී බව්තීස්ම වුණා. බව්තීස්ම වෙලා අවුරුදු දෙකක් යන්නත් කලින් අම්මා නැති වුණා. ඒ වෙද්දී තාත්තා සත්‍යය පිළි අරන් තිබුණේ නෑ. හැබැයි මළ ගෙදර වැඩකටයුතු සාක්ෂිකරුවන් කරන විදිහට කරන්න තාත්තා ඉඩ දුන්නා.

මළ ගෙදර වැඩ ඉවර වෙලා දවස් කීපයකට පස්සේ අභිෂේක ලත් සහෝදරියක් වුණ ඇලිස් මට කිව්වා රැස්වීමකට එන්න කියලා. එයා මාව හොඳට දන්නවා. මොකද අම්මාට රැස්වීම් යන්න පුළුවන් වුණ දවස්වලට අම්මා මාවත් එක්කං ගියා. ඉතිං මං තාත්තාගෙන් ඇහුවා රැස්වීම් යන්නද කියලා. තාත්තා “හා” කිව්වා. තාත්තා කිව්වා එයාත් මාත් එක්ක එදාට රැස්වීමට යන්න එනවා කියලා. මොකද තාත්තාට ඕනෙ වුණා අම්මාගේ මළ ගෙදර දේශනය දුන්න සහෝදරයාට ස්තුති කරන්න. එදා තිබුණේ සේවා පාසැලයි, සේවා රැස්වීමයි. තාත්තා ගිය පළවෙනි රැස්වීමම නියමයි. තාත්තා කට්ටියක් ඉස්සරහා දේශන දෙන විදිහ ගැන පාඨමාලාවක් කරලා තිබ්බා. එදා දේශන දුන්න විදිහට තාත්තාගේ හිත ඇදිලා ගියා. ඉතිං තාත්තා හැම සතියකම ඒ රැස්වීමට යන්න තීරණේ කරා. ඊටපස්සේ ටිකෙන් ටික තාත්තා අනිත් රැස්වීම්වලටත් යන්න පටන්ගත්තා.

ඒ දවස්වල සේවා පාසැල මෙහෙයවන කෙනා රැස්වීම පටන්ගද්දී සේවා පාසැලේ ඉන්න සහෝදරයන්ගේ නම් හැමෝටම ඇහෙන්න කිව්වා. එක් එක් කෙනාගේ නම කියද්දී එයාලා “ඉන්නවා” කියලා උත්තර දෙනවා. ඉතිං දවසක් මාත් ඒ සහෝදරයාට කිව්වා ඊළඟ සැරේ මගේ නමත් කියන්න බැරිද කියලා. ඒ සහෝදරයා කිව්වා “ෂා! ඒක කොච්චර හොඳද” කියලා. හැබැයි ඒ විදිහට ඇයි නම් කියන්නේ කියලා නං එයා මට පැහැදිලි කළේ නෑ.

මං දැනං හිටියේ නෑ රැස්වීමේදී ඒ විදිහට නම් කියන අය සේවා පාසැලේ දේශන දෙන්න ඕනෙ කියලා. ඉතිං ඊළඟ සතියේ මගේ නමත් කිව්වා. මාත් හරිම සතුටින් “ඉන්නවා” කියලා උත්තර දුන්නා. රැස්වීමෙන් පස්සේ කට්ටිය ඇවිත් මාව ගොඩක් අගය කරා. ඊට සති කීපයකට පස්සේ තමයි අර මං කලින් කිව්ව විදිහට සහෝදරයෙක් ඇවිල්ලා මගේ අතට පැවරුම් කොළයක් දුන්නේ.

මං මාර අමාරුවක වැටුණේ. ඒ කාලේ සේවා පාසැලේ ශිෂ්‍යයන්ට බයිබල් කියවීමක් ලැබුණේ නෑ. විනාඩි හයත් අටත් අතර කාලෙක දේශන තමයි ලැබුණේ. මගේ දේශනය හදාගන්න තාත්තා මට උදව් කරා. රැස්වීමට ගිහින් ඒක දෙන්න කලින් තාත්තා මාත් එක්ක ඉඳලා ඒක 20 වතාවක් මට පුරුදු වෙන්න උදව් කරා. දේශනයෙන් පස්සේ මට හරිම වටින උපදෙස් ලැබුණා. ඇත්තටම පහුගිය අවුරුදු ගාණ පුරාම යෙහෝවා මගේ තාත්තා මාර්ගයෙන්, ආදරණීය සහෝදර සහෝදරියන් මාර්ගයෙන්, ඔහුගේ සංවිධානය මාර්ගයෙන් මට පුදුමාකාර පුහුණුවක් දුන්නා.

පුහුණුව දිගටම

මං කලින් කියපු සහෝදරි ඇලිස් සේවේ ගිහිං කතා කරන්න ඕන විදිහ මට පුහුණු කරා. ඒ දවස්වල අපිට කියන්නේ ගෙහිමියන්ට බයිබල් පද තුනක් පෙන්නලා ඊටපස්සේ අපේ ප්‍රකාශනයක් දෙන්න කියලා. ඉතිං මගේ වාරේ ආවාම සහෝදරි ඇලිස් එයාව අඳුන්වලා දීලා කතාබහ පටන්ගන්නවා. ඊටපස්සේ එයා මට කියනවා පළවෙනි බයිබල් පදේ පෙන්නන්න කියලා. එතන ඉඳන් දිගටම කතාබහ ගෙනියන්නේ මං. ඉතිං මං දෙවෙනි, තුන්වෙනි බයිබල් පද පෙන්නලා ඊටපස්සේ ප්‍රකාශනයක් දෙනවා. පස්සේ මං ඉගෙනගත්තා ගේකට ගිහිල්ලා මාව අඳුන්වලා දීලා කතාබහක් දිගටම කරගෙන යන්න. 1954දී තාත්තා බව්තීස්ම වුණාට පස්සේ මාව සේවේ පුහුණු කරන වැඩේ තාත්තා භාරගත්තා. අම්මාත් නැතුව සත්‍ය මාර්ගේ මාව ගෙනියන්න තාත්තා ගොඩක් මහන්සි වුණා. සේවේ, රැස්වීම් තමයි එයාගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ. රැස්වීම්වලටයි, සතිඅන්තයේ සේවෙටයි අපි අනිවාර්යයෙන්ම යනවා කියලා මං දැනං හිටියා.

ඉස්කෝලේ මං ගොඩක් දක්ෂ ශිෂ්‍යයෙක් නෙවෙයි. හැබැයි ඉස්කෝලේ ගිය අවුරුදු 12 මං ඉගෙනගත්ත දේවල් මගේ ජීවිතේට ගොඩක් උදව් වෙලා තියෙනවා. එහෙදී මං ඉංග්‍රීසියි, ගණනුයි ටිකක් වැඩිපුර ඉගෙනගත්තා. විෂයක් විදිහට ඉංග්‍රීසි හදාරපු එක, දක්ෂ විදිහට ලියන්න ඉගෙනගත්ත එක දැන් මං ලේඛන අංශයේ කරන මගේ පැවරුමට ගොඩක් උදව් වෙලා තියෙනවා.

කට්ටිය මගෙන් නිතරම අහනවා මං සංගීතයට ආස ඇයි කියලා. ඇත්තටම මගේ අම්මායි, තාත්තායි දෙන්නාම සංගීතයට ආසයි. අවුරුදු හතේදී මං පියානෝ ගහන්න ඉගෙනගන්න ගියා. හැබැයි මගේ ටීචර් නං හිතුවේ මට හොඳට පියානෝ ගහන්න බෑ කියලා. ඉතිං එයා තාත්තාට කිව්වා මං ක්ලාස් එන එකේ තේරුමක් නෑ කියලා. එයා එහෙම කිව්වේ ඇයි කියලා මට හිතාගන්න පුළුවන්. මොකද ඒ කාලේ පියානෝ ගහන්න මට ලොකු උනන්දුවක් තිබ්බේ නෑ.

මාස කීපයකට පස්සේ තාත්තා මාව තව ටීචර් කෙනෙක් ගාවට දැම්මා. එතනදී මං පියානෝ වගේම සිංදු කියන්නත් ඉගෙනගත්තා. ඇත්තටම ඒ කාලේ මං ඒ දෙකම හොඳට කරා. පොඩි කාලේ මට හරිම ලස්සන කටහඬක් තිබ්බා. මං තරඟ පවා දින්නා. මට ඕන වුණේ සංගීතය පැත්තෙන් උපාධියක් අරන්, ටීචර් කෙනෙක් වෙලා, ඒ හම්බ කරන සල්ලිවලින් පුරෝගාමි කරන්න. හැබැයි මට තේරුණා උපාධිය ගන්න නං ඒ විභාගවලට ලෑස්ති වෙන්න සෑහෙන කාලයක් යනවා කියලා. ඉතිං මං සංගීතය හදාරන එක නවත්තලා ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා. ඒ 1963දී.

පුරෝගාමි සේවෙන් ලොකු සතුටක්

මං අවුරුද්දක් විතර පුරෝගාමි කරාට පස්සේ මට ඔන්ටාරියෝ ප්‍රාන්තයේ කැපස්කේසිංවල විශේෂ පුරෝගාමියෙක් විදිහට පැවරුමක් ලැබුණා. මාත් එක්ක සේවේ කරන්න දැම්මේ සහෝදර ඩැනියෙල් ස්කිනව. එයා මට වඩා ගොඩක් වැඩිමල්. සභාවේ වැඩ සංවිධානය කරන විදිහ එයා මට ඉගැන්නුවා. අවුරුදු 20දී මට සභාවේ සේවා කමිටුවේ සේවේ කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මට ගොඩක් දේවල් ඉගෙනගන්න තිබුණා. ඇත්තටම සංවිධානයෙන් ආයෙත් තරුණ අයව පුහුණු කරන්න වැඩි අවධානයක් දෙන එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. ඒ පුහුණුවෙන් ප්‍රයෝජන ගත්තොත් එයාලට පුළුවන් යෞවන වයසේදීම යෙහෝවාට ලොකු සේවයක් කරන්න.

කැපස්කේසිංවල සේවේ කරද්දී අභියෝග තිබ්බා. ශීත කාලෙට එහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 44 වෙන කල් බහිනවා. උණුසුම් වෙද්දී යාන්තං සෙල්සියස් අංශක ඍණ 33ට නඟිනවා. ඩෑනුයි, මායි ගොඩක් වෙලාවට හැම තැනම ගියේ පයින්. ඔය පැවරුම කරද්දී ලැබුණ ආශීර්වාද අතරින් එක ආශීර්වාදයක් තමයි සහෝදරි ලින්ඩා කෝල්ව මුණගැහුණ එක. එයා තමයි පස්සේ ලින්ඩා ස්ප්ලේන් වුණේ.

ලින්ඩා හරිම උද්‍යෝගයෙන් සේවේ කරපු සහෝදරියක්. එයාට ගොඩක් නැවත බැලීම් තිබ්බා. එයා අනිත් අයට දේවල් දෙන්න කැමති, කාරුණික, හැම තිස්සේම කට්ටියත් එක්ක ඉන්න කැමති කෙනෙක්. එයාගේ අම්මා ගෝල්ඩි හරිම විශ්වාසවන්ත සහෝදරියක්. එයාගේ තාත්තා ඇලන් මුලදී නම් සත්‍යයට විරුද්ධයි. ඔය විරුද්ධවාදිකම් මැද්දේ තමයි සහෝදරි ගෝල්ඩි ලින්ඩාවයි, එයාගේ මල්ලිලා දෙන්නා වුණ ජෝන්වයි, ගෝඩ්න්වයි රැස්වීම්වලට, සේවෙට අරන් ගියේ. ලින්ඩාගේ අම්මායි, ලින්ඩායි, මල්ලිලා දෙන්නායි ඒ හතරදෙනාම පුරෝගාමි කරලා තියෙනවා. අවුරුදු ගාණක් ගියාට පස්සේ ලින්ඩාගේ තාත්තාත් සත්‍යයට ආවා. පස්සේ එයා නමස්කාරයේ දේවල් බැහැලා කරා.

1965දී තව වැඩිපුර පුහුණු වෙන්න මට කැනඩාවේ තිබුණ පත් කළ සහෝදරයන් සඳහා පාසැලට ආරාධනාවක් ලැබුණා. ඒ පාසැල මාසයක් තිබුණා. ඒ පාසැලේදී මට කිව්වා ගිලියද් අයදුම්පත පුරවන්න කියලා. මං ජීවිතේට හිතුවේ නෑ මට මිෂනාරිවරයෙක් වෙන්න පුළුවන් කියලා. හැබැයි මං ඒක පිරෙව්වා. ඉතිං මට 42වෙනි ගිලියද් පාසැලට යන්න අවස්ථාව ලැබුණා. ගිලියද් පාසැලේදී සාමාන්‍යයෙන් එක එක ශිෂ්‍යයාගේ දියුණුව කොහොමද කියලා උපදේශකයන් නිතර නිතර කියනවා. එයාලා මට මුල ඉඳන්ම කියපු දෙයක් තමයි පුළුවන් තරම් සංවිධානය ගැන ඉගෙනගන්න කියලා. අවුරුදු 21ක තරුණයෙක් විදිහට ඒක මට ගැළපෙන උපදෙසක්.

ගිලියද් පාසැලේදී අපිව පුහුණු කරපු එක පැත්තක් තමයි රේඩියෝ, ටීවී, පුවත්පත් මාධ්‍යය එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. ඇත්තටම මං ඒ ගැන ඉගෙනගන්න ගොඩක් ආස වුණා. හැබැයි මං දැනං හිටියේ නෑ එදා ඒ ලබපු පුහුණුව ඉස්සරහට මට කොච්චර උදව් වෙයිද කියලා. මං ඒ ගැන පස්සේ කියන්නංකෝ.

සෙනගාලයේ සේවේ

ගිලියද් පාසැලෙන් පැවරුම ලැබුණාට පස්සේ මායි, මාත් එක්ක මිෂනාරි සේවේ කරන්න පැවරුම ලබපු සහෝදර මයිකල් හෝලෙයි අපේ අලුත් පැවරුමට ගියා. ඒ අප්‍රිකාවේ සෙනගාලයට. ඒ කාලේ එහේ ප්‍රචාරකයන් සීයක් විතර ඉන්න ඇති.

මාස කීපයකට පස්සේ එහේ ශාඛා කාර්යාලයේ සතියකට සැරයක් සේවේ කරන්න එන්න කියලා මට කිව්වා. මිෂනාරි නිවාසෙක කාමරයක් තමයි ඒ කාලේ ශාඛා කාර්යාලය විදිහට පාවිච්චි කළේ. හැබැයි ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක විදිහට සේවේ කරපු සහෝදර එම්මානුවෙල් පාටරාකිස් මට හැම තිස්සේම මතක් කරපු දෙයක් තමයි මේක පුංචි තැනක් වුණාට මේකෙන් මේ රටේ යෙහෝවා දෙවිගේ සංවිධානය නියෝජනය කරනවා කියලා. එක සැරයක් සහෝදර පාටරාකිස්ට ඕනෙ වුණා එහේ සේවේ කරපු මිෂනාරිවරුන්ව දිරිගන්නලා ලියුමක් යවන්න. ඒ කාලේ ලියුමක් පිටපත් කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒකට සෑහෙන ගාණක් ගියා. ඒක නිසා අපිට වුණා ටයිප්රයිටර් එකක ලියුමෙන් ලියුම ටයිප් කරන්න. ඒක හරිම පරෙස්සමින් කරන්න ඕනෙ වැඩක්. පුංචි වරදක්වත් වෙන්න බෑ.

එදා මං වැඩ ඉවර වෙලා ගෙදර යන්න හදද්දී සහෝදර පාටරාකිස් ඇවිත් මට ලියුමක් දුන්නා. එයා කිව්වා “ඩේවිඩ්, සංවිධානයෙන් ඔයාට ලියුමක් එවලා” කියලා. මං ඒක ඇරලා බැලින්නං ඒක මං ටයිප් කරපු ලියුම්වලින් එකක්. ඒ සිද්ධියෙන් මං ඉගෙනගත්තා අපි සංවිධානයේ වැඩ ලොකු තැනක කළත් පොඩි තැනක කළත් සංවිධානයට ගරු කරන්න ඕනෙ කියලා.

සහෝදර ස්ප්ලේන් සතුටින් ඉන්න තවත් සහෝදර සහෝදරියන් එක්ක ෆොටෝ එකකට හිනා වෙලා ඉන්නවා.

1967දී සෙනගාලයේ මිෂනාරිවරු එක්ක

සභාවේ හුඟක් අය මගේ යාළුවෝ වුණා. හුඟක් වෙලාවට මං සෙනසුරාදා හවස් වරුව ගත කළේ සභාවේ එක එක පවුල්වල අයත් එක්ක. ඒවා හරිම සුන්දර මතකයන්. අදටත් මං එයාලට කතා කරනවා. එහෙදී මං ප්‍රංශ භාෂාව වැඩිපුර පාවිච්චි කරපු නිසා ඒක මට උදව් වුණා එක එක ශාඛා කාර්යාලවලට යද්දී ප්‍රංශ භාෂාව දන්න සහෝදරයන් එක්ක කතා කරන්න.

1968දී ලින්ඩායි, මායි විවාහ ගිවිසගත්තා. ඊටපස්සේ මාස කීපයක්ම මං ඒ පැත්තෙම අර්ධකාලීන රස්සා හෙව්වා. හැබැයි ඒ පැත්තේ හුඟක් වෙලාවට රස්සා දුන්නේ පිට රටින් ආපු අයට වඩා ඒ රටේම ඉන්න අයට. ඉතිං අන්තිමේදී මං ආයෙත් කැනඩාවට එන්න තීරණේ කරා. විවාහ වුණාට පස්සේ අපිට නිව් බ්‍රන්ස්වික්වල එඩ්මන්ඩ්ස්ටන් නගරයේ විශේෂ පුරෝගාමීන් විදිහට පැවරුමක් ලැබුණා. ඒක ක්විබෙක් ප්‍රාන්තයේ දේශසීමාව ළඟ තිබුණ පුංචි නගරයක්.

ඩේවිඩ් සහ ලින්ඩා ස්ප්ලේන් මල්වලින් වට වුණ තැනක හිනා වෙලා ඉන්නවා.

1969 අපි බැන්ද දවසේ

නිව් බ්‍රන්ස්වික්වල සහ ක්විබෙක්වල සේවේ

අපිව එහෙට දාන්න කලින් ඒ නගරයේ ප්‍රචාරකයන් හිටියේ නෑ. හිටියේ බයිබලේ පාඩම් කරපු කීපදෙනෙක් විතරයි. එහේ අයගේ ජීවිත පාලනය කළේ කතෝලික පල්ලියෙන්. හැම ගෙදරකම වගේ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එන්න තහනම්” කියලා ගහලා තිබ්බා. ඒ කාලේ එහෙම දේවල් ගහලා තිබ්බාට අද වගේ එච්චර ගණන් ගන්නේ නෑ. ඒ නිසා බෝඩ් එකක් ගහලා තිබ්බත් නැතත් අපි හැම ගෙදරකටම ගියා. හැම සතියකම කතෝලික පල්ලියෙන් පත්තරේ දැන්වීමක් දැම්මා “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හොයලා පන්නලා දාමු” කියලා. ඇත්තටම එහෙම පන්නලා දාන්න එයාලට හිටියේ වික්ටර් සහ වෙල්ඩා යුවළයි, ලින්ඩායි, මායි. ඉතිං ඔය දැන්වීම් දාන්නේ කාටද කියලා අපි දැනං හිටියා.

චාරිකා සේවක එහෙට ආපු පළවෙනි සැරේ නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. සතියක් අපිත් එක්ක හිටියට පස්සේ එයා කිව්වා “මෙහේ ඉන්න කාලේ ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි සාක්ෂිකරුවන් ගැන මිනිස්සුන්ගේ හිතේ තියෙන අදහස වෙනස් කරගන්න උදව් කරන එක” කියලා. එදා ඉඳන් අපිට ඕනෙ වුණේ ඒක කරන්න. අන්තිමේදී අපි සාර්ථක වුණා. ටිකෙන් ටික මිනිස්සු තේරුම්ගත්තා සාක්ෂිකරුවන්ගෙයි, කතෝලික පූජකයන්ගෙයි වෙනස. දැන් එහේ පුංචි සභාවකුත් තියෙනවා.

එහේ අවුරුද්දක් විතර සේවේ කරාට පස්සේ අපිට ආරාධනාවක් ලැබුණා ක්විබෙක්වලම ලොකු සභාවක සේවේ කරන්න. ඒ සභාවේ ආදරණීය සහෝදර සහෝදරියන් එක්ක අපි හරිම සතුටින් මාස හයක් විතර සේවේ කරා. ඊටපස්සේ අපිට චාරිකා සේවේ කරන්න ආරාධනාවක් ලැබුණා.

ඊළඟ අවුරුදු 14 පුරාම අපි ක්විබෙක් ප්‍රාන්තයේ චාරිකා සේවේ කරා. එහේ සේවෙට සෑහෙන හොඳ ප්‍රතිඵල තියෙනවා. එහේ සභාවල පවුල් පිටින් බව්තීස්ම වෙන එක සාමාන්‍ය දෙයක්.

විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ව අදටත් මතකයි

කැනඩාවේ ඉන්න ප්‍රංශ භාෂාව කතා කරන සහෝදර සහෝදරියන් හරිම හොඳයි. එයාලා කෙළින් වැඩ කරන, සතුටින් ඉන්න, ලොකු උද්‍යෝගයක් තියෙන අය. හැබැයි එයාලට සත්‍යයට එන එක නං ලේසි වුණේ නෑ. මොකද පවුල්වලින් එයාලට ගොඩක් විරුද්ධවාදිකම් ආවා. සමහර දෙමාපියන් යෞවනයන්ට කිව්වා “එක්කෝ සාක්ෂිකාරයෝ එක්ක පාඩම් කරන එක නතර කරන්න, නැත්නම් ගෙදරින් යන්න” කියලා. හැබැයි හුඟදෙනෙක් ඒ අභියෝගයට සාර්ථකව මූණ දුන්නා. යෙහෝවා එයාලා ගැන ගොඩක් ආඩම්බර වෙනවා ඇති.

ඒ කාලේ ක්විබෙක්වල සේවේ කරපු ස්ථාවර, විශේෂ පුරෝගාමීන් ගැනත් මතක් කරන්න ඕනේ. එයාලා ආවේ කැනඩාවේ වෙනත් පැතිවලින්. ඒ අයට ප්‍රංශ භාෂාව ඉගෙනගන්න වුණා විතරක් නෙවෙයි ඒ පැත්තේ මිනිස්සු හිතන පතන විදිහට හුරු වෙන්නත් වුණා. මොකද එහේ අය කතෝලික පල්ලියේ බලපෑමට අහු වෙලයි හිටියේ.

හුඟක් වෙලාවට විශේෂ පුරෝගාමීන්ව දැම්මේ ප්‍රචාරකයන් අඩු, හුදෙකලා පැතිවලට. එහේ අය සාක්ෂිකරුවන්ට අකමැති නිසා ඉන්න තැනක් හොයාගන්න, අර්ධකාලීන රැකියාවක් හොයාගන්න ලේසි වුණේ නෑ. අලුතින් විවාහ වුණ දෙන්නෙක්ට වුණත් අටදෙනෙක් එක්ක විතර ඉන්න තැන බෙදාගන්න වුණා. මොකද වෙනම තැනක් ගන්න තරම් වියදමක් දරන්න එයාලට හැකියාවක් තිබ්බේ නෑ. ඒ පුරෝගාමීන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු අය. එයාලා පාඩමක් පටන්ගත්තොත් ඒ කෙනාට උදව් කරන්න පුළුවන් හැම දේම කරනවා. දැන් ක්විබෙක්වල ගොඩක් ප්‍රචාරකයන් ඉන්නවා. ඒ නිසා ඒ පුරෝගාමීන් දැන් ප්‍රචාරකයන් අඩු වෙනත් පැතිවලට ගිහින් තියෙනවා.

අපි චාරිකා සේවේ යන කාලේ සාමාන්‍යයෙන් සෙනසුරාදා උදේට යෞවනයන් එක්ක සේවේ කරන්න දාගත්තා. ඒ නිසා අපිට පුළුවන් වුණා එයාලා මූණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද කියලා තේරුම්ගන්න. දැන් එයාලාගෙන් සමහරු වෙන රටවල මිෂනාරිවරු විදිහට සේවේ කරනවා. තවත් අය වෙනත් පැවරුම් කරනවා.

ඒ දවස්වල සමහර සභාවලට චාරිකා සතියේ අපේ වියදම් බලාගන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. ඒ නිසා සමහර වෙලාවට මාසේ අන්තිම වෙද්දී අපේ අතේ සල්ලි තිබ්බේ නෑ. ඒ වගේ වෙලාවට අපිට සම්පූර්ණයෙන්ම යෙහෝවාව විශ්වාස කරලා වැඩ කරන්න වුණා. මොකද ඔහු විතරයි දැනං හිටියේ අපි හිටපු තත්වේ. ඔහු අපිව කවදාවත් අත්හැරියේ නෑ. කොහොමහරි විදිහකින් එක සභාවකින් අනිත් සභාවට යන්න අපිට පුළුවන් වුණා.

විශ්වාසවන්ත සහෝදරයන්ගෙන් පාඩම්

මං කලිනුත් කිව්වා වගේ ගිලියද් පාසැලේදී ජනමාධ්‍යය එක්ක වැඩ කරන විදිහ ගැන තිබුණ පුහුණුව මං ගොඩක් අගය කරනවා. ඒ දවස්වල ක්විබෙක්වලදී අපිට රේඩියෝ එක, ටීවී එක සහ පුවත්පත් මාධ්‍යය හරහා හොඳ සාක්ෂියක් දෙන්න ගොඩක් අවස්ථා ලැබුණා. මං ඒ කාලේ වැඩ කළේ සහෝදර ලේයොන්ස් ක්රේපෝ එක්ක. එයාත් චාරිකා සේවේ කරපු සහෝදරයෙක්. එයා ජනමාධ්‍යය එක්ක වැඩ කරන්න හරිම දක්ෂයි. හැබැයි මාධ්‍ය ක්ෂේත්‍රයේ ලොකු ලොක්කෝ එක්ක වැඩ කරද්දී එයා ගොඩක් දේවල් දන්නවා කියලා කවදාවත් පෙන්නන්න හැදුවේ නෑ. ඒ වෙනුවට එයා කිව්වා “සර්, මායි මගේ යාළුවයි දේවසේවකයන් විතරයි. අපි මාධ්‍යයෙන් කතා කරන්න දක්ෂ නෑ. අපේ සංවිධානයෙන් අපිට භාර දීලා තියෙනවා ඉස්සරහට තියෙන සාක්ෂිකරුවන්ගේ ලොකු සමුළුවක් ගැන මාධ්‍යය හරහා කියන්න. ඔයාලා ඒ වෙනුවෙන් කරන උදව් අපි ගොඩක් අගය කරනවා.” ඒ විදිහට එයා නිහතමානීව කතා කරපු නිසා හුඟක් අය අපිට උදව් කරා.

ඊටපස්සේ මාධ්‍යයේ ප්‍රසිද්ධ වුණ, ටිකක් අමාරු නඩු සම්බන්ධයෙන් වැඩ කරන්න ශාඛා කාර්යාලයෙන් මාව සහෝදර ග්ලෙන් හව් එක්ක දැම්මා. එයා අපේ නීතිඥයෙක්. ගිලියද් පාසැලෙනුයි, සහෝදර ලේයොන්ස්ගෙනුයි ලැබුණ පුහුණුව මට එයාත් එක්ක වැඩ කරන්න ගොඩක් උදව් වුණා. ඇත්තටම සහෝදර හව් එක්ක වැඩ කරන්න ලැබුණ එක මට ලොකු ආශීර්වාදයක්. එයා සංවිධානය වෙනුවෙන් පෙනී ඉන්න චුට්ටක්වත් බය වුණේ නෑ. හැබැයි ඊටත් වඩා එයාගේ කැපීපෙනුණ දේ තමයි එයාගේ හිතේ යෙහෝවා ගැන තිබ්බ ආදරේ.

1985දී මගේ තාත්තා හිටපු කැනඩාවේ බටහිර පැත්තට අපිට චාරිකා සේවේ කරන්න පැවරුමක් ලැබුණා. ඒ නිසා අපිට තාත්තාව බලාගන්න පුළුවන් වුණා. හැබැයි අපි එහෙට ගිහිල්ලා මාස තුනකට පස්සේ තාත්තා නැති වුණා. අපි 1989 වෙන කල්ම එහේ චාරිකා සේවේ කරා. ඊටපස්සේ අපි හිතුවෙවත් නැති විදිහට එක්සත් ජනපදයේ බෙතෙල් එකේ සේවේ කරන්න අපිට ආරාධනාවක් ලැබුණා. ඒ විදිහට අවුරුදු 19කට විතර පස්සේ අපිට චාරිකා සේවෙට සමු දෙන්න වුණා. ඒ අවුරුදු ගාණ පුරාම අපි සිය ගාණක් ගෙවල්වල නැවතිලා හිටියා. අපේ ආදරණීය සහෝදර සහෝදරියන් එක්ක දහස් ගාණක් කෑම වේලවල් බෙදාගත්තා. අපිට ගෙදර දොර ඇරපු, අපිත් එක්ක කෑම මේසේ බෙදාගත්ත ඒ හැමෝටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

එක්සත් ජනපදයට

බෘක්ලින්වලට ගියාම මගේ පැවරුම වුණේ සේවා කමිටුවේ වැඩ කරන එක. ඒකෙන් ලැබුණ පුහුණුව මං ගොඩක් අගය කරනවා. මං ඉගෙනගත්ත එක දෙයක් තමයි මොකක් හරි දේකට සම්බන්ධ හැම තොරතුරක්ම තේරුම්ගන්න කලින් ‘ඒ ගැන මං දන්නවා’ කියලා හිතන එක වැරදියි කියන දේ. පස්සේ 1998දී මගේ පැවරුම ලේඛන අංශයට මාරු වුණා. මං තාමත් මේ අංශයෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා. අවුරුදු කීපයක්ම මට අවස්ථාව ලැබුණා ලේඛන කමිටුවේ සම්බන්ධීකාරක විදිහට සේවේ කරපු සහෝදර ජෝන් බාර් එක්ක වැඩ කරන්න. ඇත්තටම එයාගෙන් ලැබුණ පුහුණුව, එයාත් එක්ක ගත කරපු කාලය මට ගොඩක් වටිනවා. එයා ලස්සන ගුණාංග තිබ්බ සහෝදරයෙක්.

ඩේවිඩ් සහ ලින්ඩා ස්ප්ලේන් ජෝන් සහ මිල්ඩ්‍රඩ් බාර් එක්ක ෆොටෝ එකකට ඉන්නවා.

ජෝන් සහ මිල්ඩ්‍රඩ් බාර් එක්ක

ලේඛන කමිටුවේ සේවේ කරන සහෝදර සහෝදරියන් හරිම යටහත්පහත්. එයාලත් එක්ක වැඩ කරන්න ලැබුණ එක ඇත්තටම සතුටක්. එයාලා පැවරුම කරද්දී හැම තිස්සේම යෙහෝවාගෙන් උදව් ඉල්ලනවා. එයාලා දන්නවා එයාලාගේ පැවරුම හොඳට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ එයාලාගේ හැකියා, දක්ෂතා නිසා නෙවෙයි යෙහෝවාගේ උදව් නිසා කියලා.

සහෝදර ස්ප්ලේන් සහෝදර සහෝදරියන් 20දෙනෙක් ඉන්න වොච්ටවර් ගීතිකා කණ්ඩායම මෙහෙයවනවා. ඒ ළඟ සහෝදරියක් පියානෝ එක වාදනය කරනවා.

2009 වාර්ෂික රැස්වීමේදී ගීතිකා කණ්ඩායම මෙහෙයවන ගමන්

සහෝදර ස්ප්ලේන් හරිම සතුටින් සහෝදරියකට බයිබලයක් දෙනවා.

2014 කොරියාවේ සෝල්වල තිබුණ ජාත්‍යන්තර සමුළුවේදී බයිබල් බෙදා දෙන ගමන්

රටවල් 110ක ඉන්න අපේ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ව හම්බ වෙන්න ලැබුණ එක ලින්ඩායි, මායි ලොකු ආශීර්වාදයක් විදිහට සලකනවා. අපි දැක්කා මිෂනාරිවරු, ශාඛා කමිටු සාමාජිකයන් සහ අනිත් පූර්ණකාලීන සේවකයන් යෙහෝවාට කොච්චර ආදරෙයිද කියලා. ඒ වගේම යුද්ධ, ආර්ථික ප්‍රශ්න, විරුද්ධවාදිකම් මැද ප්‍රචාරකයන් උද්‍යෝගයෙන්, විශ්වාසවන්තව දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන විදිහත් අපි දැක්කා. ඇත්තටම යෙහෝවා එයාලට ගොඩක් ආදරෙයි.

පහුගිය අවුරුදු ගාණ පුරාම මට ලැබුණ පැවරුම් හොඳට ඉටු කරන්න ලින්ඩාගෙන් මට ලොකු උදව්වක් ලැබුණා. එයා මිනිස්සුන්ට හරිම ලෙන්ගතුයි. කොයි වෙලාවෙත් බලන්නේ කාට හරි උදව් කරන්න. මිනිස්සු එක්ක කතාබහක් පටන්ගන්නත් එයා හරි දක්ෂයි. එයා හුඟක් අයට යෙහෝවාට ළං වෙන්න උදව් කරලා තියෙනවා. ඒ අතරේ අක්‍රියාශීලී අයත් ඉන්නවා. ඇත්තටම එයා මට යෙහෝවාගෙන් ලැබුණ වටිනා තෑග්ගක්. අපි දෙන්නාත් ඉතිං ටිකෙන් ටික වයසට යනවානේ. ඒ නිසා අපිට ගමන්බිමන් යන්න, වෙනත් දේවල් කරගන්න උදව් කරන තරුණ සහෝදර සහෝදරියන්ට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.—මාක් 10:29, 30.

ගෙවුණු දශක අට දිහා බලද්දී මගේ හිතේ තියෙන්නේ ලොකු අගයක්. මටත් දැනෙන්නේ ගීතිකාකරු කියපු මේ දේමයි. “දෙවියනි, බාල වයසේ ඉඳන් ඔබ මට හුඟක් දේවල් ඉගැන්නුවා. ඔබ කරලා තියෙන පුදුමාකාර දේවල් ගැන මම අදටත් කතා කරනවා.” (ගීතා. 71:17) ජීවත් වෙලා ඉන්න කල් මට ඕනෙ ඒ දේ කරන්නයි.

a අද මේ පුහුණුව ලැබෙන්නේ සති මැද රැස්වීමේදී.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න